ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනවරත මායාව

අනවරත මායාව

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2022-August

ඈත සිට සඳ එළිය මැලවුණු

කළු වළාවක පැටලි පැටලී

දඟකාර ලෙස උසට විහිදුණු

රුක් මුදුන් හරහා පෙරී විත්

වැටෙන පණ ගිය කිරණ පිහිටෙන්

නුඹේ මුව පැහැදිලිව නොපෙනේ

සදා මා හද පිරී ඇවිලෙන

රශ්මි දහරා එළිය විහිදා

නුඹේ මුව මා දෙනෙත් දුටුවේ

නුඹට හොර රහසෙනුයි සොඳුරේ

නුඹට මා නොපෙනේය අඳුරේ

මාද නුඹ නොදකීය අඳුරේ

ඈත මිලිනව දිලෙන සඳ රැස්

විලස දිලිසේ මහද අරණේ

හීන් අඳුරින් මලොව වැසිලා

නුඹට මා නොපෙනෙන්න සළසා

මසිත ගොළු කොට වියළි කරවා

සිහින් මද නළ හමා යනවා

ගස් කොළන් වැල් එකට එතෙමින්

මල් පලින් බර වෙලා හිනැහී

මදෙස බලමින් ඉඟිපාන සේ

සෙනෙහසක් හද තුළ නැගෙන්නේ

නභෝ-මණ්ඩල මිනිස් සිත තුළ

පුරා පැතිරුන හිස් අහසවන්

සිතේ මායා ලෝකයක් වේ

නුඹද නොදනී මාද නොදනී

[මා විසින් රචිත ‘හඬනා උතුනී’ කාව්‍ය සංග්‍රහයේ පළවූ කවියකි]