ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

උක්ත අහිමි ආඛ්‍යාත

උක්ත අහිමි ආඛ්‍යාත

ඩිල්හාන් ෆොන්සේකා
2022-August

ක්‍රියාවක් කරන්නා තමයි උක්තය
කරන ක්‍රියාව ආඛ්‍යාතය
ක්‍රියාවට ලක් වෙන්නා තමයි කර්මය
“ඔය බොරු” මම කිව්වා මිස්ගෙ මූනට
“උක්‍තයක් නැතත් ක්‍රියාවන් කෙරෙනවා”
රතු වෙලා මිස්ව තරහට
ඉස්සුවේ නැතත් වේවැල
රැදිලා තිබුනා මිස්ගෙ සුරතෙම
” ළමයෝ වාක්‍යයක් උනත් කර්ම කාරක
කරන්නෙක් ඉන්නවා ඒ තමයි නියමය”
මම හිටියෙ ඇස් හරව ගෙන බිමටම
“හොදයි කියනවකො තමුන්ගෙ උදාහරණය”
මතක් වෙන්නෙම අක්කගෙ කඳුළු පිරි මුහුණම
“අක්කා තමයි කර්මය”
“බඩට ලමයෙක් දීලා ආක්‍යාතය”
“කොහෙද මිස් එතකොට උක්තය?”
“මරන්නම හැදුවත් අම්මා ඒකිව
කිව්වෙ නෑ උක්තයක් ඇති බව
අක්කා හරි බයයි මිස් අම්මට
උන්නා නම් සහතිකයි කියනව ඒකි ගැම්මට
මිස් හිතන්නෙම උක්තයක් ඕනිමද ආඛ්‍යාතයකට?