ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇයට නොපෙන්වන කවිය

ඇයට නොපෙන්වන කවිය

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම
2022-August

ඉන්පසු බොහෝ වේදනාකාරී දින උදාවේවි

අතීතයේ අප ගත කල

නිදහස් යෞවනත්වය පිරි දවස්

ඒක පාර්ශ්වික මතකයන් පමණක් වන

ඒ ගැන සිහි කෙරුම පවා

හදවත හිමින් රිදුම් දෙන

අමිහිරි දින බොහොමයක් උදාවේවි

ඔබ නැතුව ඔබ එක්ක ගත කරන්නට

ඔබේ මතකය විතරක්ම ඉතිරි වුනු

එකිනෙකා සනසා ගන්නට

වැඩිපුර නිහඩව මෙනෙහි කරන්නට

අනන්ත රාත්‍රීන් වල

තනිවම මතකය තුල සරන්නට

බොහෝ වේදනාකාරී දින උදාවේවි

හැම විටම සිනාවෙන්ම පිරුණු,

මුරණ්ඩු හිතක් ඇති

තරහ දවස් වල අහක බලන් යන

අවුල් කෙස් ලොකු ඇස් ඇති

උද්‍යෝගිමත් ගැහැණු ලමයා

නැවත නොඑන්නම අතහැර යන බව

ඒ පැරණි දේවදාර ගස් පෙල දැන සිටියාද?

නිය ආලේපන නොගෑ අතැගිලි

සිනාසෙමින් හිස හොලවා කතාකල

නවාතැන් වල නවතින්නට අකමැති

පියාට දැඩි ලෙස ආදරය කල

මේ කුඩා දැරිවිය

ඉක්මනින්ම පියා ලගටම ‍යන්නට යන බව

පියාට වත් කියා තිබුනාද?

ඉක්මනින්ම ඔබේ කෙටි පණිවිඩ නවතීවි

ඔබ එක්ක වෙනුවට

ඔබ ගැන කතා කරන්නට සිදුවේවි

වේදනා මැද ඔබ සිනාසුනු හැටි

සාමදානව වේදනාව ගැන කිව් හැටි

නිවෙන්නට කිට්ටු පහනක් මෙන්

වඩ වඩා ආලෝකවත්ව දැල්වුනු හැටි

හිමි හිමින් නිවී ගිය පසු

මතක වස්ත්‍ර පැන් වඩා සිහිකල පසු

බොහෝ වේදනාකාරී දින උදාවේවි

(වෛද්‍ය විද්‍යාලයේ ලගින් සිටි මිතුරියක දරුණු

පිළිකාවක් සමග සටන් කරන අවසාන දවස් වල

ඇය ගැන සිහිකරමින් ගත කරන

අදුරු වැසි බර රැයක…)

06/02/2022