ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජීවිතේ මට බයක් බං

ජීවිතේ මට බයක් බං

ජනක ජයවික්‍රම
2022-August

කටට හරිම කාලකණ්නි රහක් දැනෙනවා බං
අසරණකමයි, සල්ලි නැති කමයි
පැලෑනක් පෙන්නන්නෙම නෑ
ජීවිතේ බයක් බං.

පුතාගේ පන්ති සල්ලි
දූට අලුතින් සපත්තු
වයිෆ්ගේ සීනි බෙහෙත්
කිසි දෙයක් හිතා ගන්නවත් බෑ බං
පර්ස් එක සූරල සූරල
වීල් එකට ලීටර දෙකක් ගැහුව
වැඩට යන්නත් එපෑය
නැතිනම් පඩි කපනව
ජීවිතේ මට බයක් බං.

පෙරේදා ගත්ත ඇඩ්වාන්ස් එකෙන්
යන්තම් සිලි බෑග් එකකට බඩු ටිකක් ගත්තා
රෑට උයන්න දෙයක් නෑ කියල වයිපරේ අද උදේ කිව්වා
ඊයෙ දවාලට කාපු ගමං ඒ ගෑනි මුකුත් කාලවත් නෑ මයෙ හිතේ
මං කාපු පාං කෑල්ලෙන් ඒකිටත් කැව්වා උදේ
සිනී වලට පාං හොඳ නෑලු දොස්තරයනම් කිව්වා
ජීවතේ හරි බයක් බං.

කෙල්ල ගේ ඇතුලෙමයි
ඉස්කෝලෙ යනවා විතරමයි
අලුත් ඇඳුම් ඉල්ලුවේ නෑ කාලෙකින්
කොල්ල පාඩම් කරනවා
භූමිතෙල් නැති නිසා ඒකා
රෑට කලියෙන් නිදනවා
උන් දෙන්නටම දැන් තේරෙනව
ජීවිතේ මහ බයක් බං.

සති දෙක තුනක වෙලේ ඉඳලා
මගේ කකුලත් ඉදිමිලා
ප්‍රෙෂර් වෙන්නැති වයිෆ් කිව්වා
ඒත් කෝමද චෙක් කරන්නේ?
සල්ලි නැතිකම දැනෙනවා
ළමයි දෙන්නගෙ ඇස් ඇරෙනකම්
කෝම හරි මං ඉන්නවා
ඒත් උන්ටත් අනාගතයක්
ඉතුරු වේවිද හිතෙනවා.

මගේ දුක සැප අහන උඹටත්
ප්‍රශ්න තියෙනව දන්නවා
ඒත් මොනවා කරන්නද මං
උඹට මගෙ දුක කියනවා
යාලුවෝ මට හිනා වෙනවා
වෙනස සැපදැයි අහනවා
හරි බයයි බං ජීවිතේ ගැන
ඉන්නකම් දුක ගෙවනවා.