ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවියෙකු ගේ සතුට

කවියෙකු ගේ සතුට

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
2022-August

නෙක විසිතුරු දෑ විකිණෙන
දෙපසේ කඩපිල් ඉදිවුනු
ජනයා නිතරම ඇවිදින
නගරය මැද මහ වීදිය

තැනෙක රෙදි ඇඳුම් පැළැඳුම්
රන් අබරණ දිලෙයි දිසෙත
විලාසිතාවන් දක්වන
මහා පුවරු ඇත ඉහළින

කලා කරුවෙකිය කුටියෙක
සිය නිමැයුම් අතර හිඳින
කිසිවකු නැත නෙත් හෙලුවේ
මිලකට ගන්නට සිතුවම්

අසලම ගොඩ වෙදෙක් වීය
හිස් කබලකි මේසය මත
විකිණෙයි තෙල් කුප්පි ගොඩක්
නොමදැන එහි ගුණාගුණය

ගැදි පැදි රස මිණි ඇමිනූ
පොත් රැසකිය තවත් තැනෙක
තිබුනත් ගන්නට නොමිලේ
කිසිවෙකු නොබලති ඇසහැර
* * *
යන්නං වාලේ ඇවිදින
දෙපා දුවන සිත ඇවිලුන
මිනිස්සුන්ට එක්වෙන්නට
කියනව මට මගේ හිතත්

ජීවිතෙ ආදරේ මරණෙ
ගැන කවි කොළ වල ලියලා
ඇවිදින්නට සිතෙයි මටත්
මගෙ ඇඳුමේ එල්ලාගෙන

සෙනඟ අතර තෙරපෙද්දී
ගැලැවී ගිය මගෙ කවියක්
කවුරුන් හෝ අහුලාගෙන
කියවයි නම් සතුටකි මට