ඔබමය අපට මග පෙන්වන තරු ලකුණ
කළු ජූලිය මතකයෙන් බැහැර නොවූ කවීන් එය පිළිඹිබු වන කවි ඒවා තිබිණ. අප ඇමතූ ජ්‍යෙෂ්ට කිවීන් කිහිප දෙනෙක් ද ඒ හා බැඳුණු කවි එවූහ. ඒ කවි සමහරක් කළින් පලවී තිබුන ද ඒවා මෙහි පළවන්නේ ඒවායේ අගය එදාටත් වඩා අද අපට පසක් වී ඇති නිසාය.
ඔබමය අපට මග පෙන්වන තරු ලකුණ
සිහිනෙකි සොයන ජීවිතේ
රහසකි විඳින ජීවිතේ විතේ
මළ මිනිස්සු අතරේ සැඟවුන
මනුස්සකම කොහේදෝ
පුරවර උමතු මාළිගා
ලිඟු පෙළ බලන් යාලුවේ
අමු සොහොන් බිමෙන් මෝදුව
අහස උසට නැගෙනා
ජීවිතයේ උමං කොනේ
දෑස අයා උකුසු ඇසින්
මග රැක්කා… මා රැක්කා …
මගෙ ආදර පිය නිරිඳා ...
සීරුවෙන් , කිරිකෝඩුවෙන් ,
කෝලයෙන්, කෙලි ලෝලයෙන්
හැංගිමුත්තන්, ඔට්ටු සෙල්ලම්,
චාටු ඔච්චම් නිවස පිරුදා
සෙල්ලම් බත් පිසු එදා…
කොංඩෙ කරලක් ගෙතුම් කලදා
තාත්තා ... ඒ මගෙ තාත්තා...
දැනුම් සයුරේ ඔරුව නම් මම
රුවල වූ ඔබ අමර විරු මට
පෙරමගට හිඳ ඔබ තැනූ ඒ ලොව
විස ඝෝර රුපු මැද සුරුව ජයටැඹ
දෑ පියුම් මුදු පුසුඹ පිරුමට
මහ මෙරක්සේ නොසැලී ඉන්නට
වියත් කෙත සරු පන පොවන්නට
පියරජුනි ඔබ කල යෝධ ඇල මම
වැඩිමහලු දරුවා වීය ලබැඳිව
තාත්තා මගෙ මහරු ගුරු වෙද
අසිරිමත් ආදරෙන් පොඟා නහවා
ඔබ පන පෙවූ මා ... මුදු වියත් යුවතිය
ඒ මතක සිත්කලු සිත්තරා ඔබ
තාත්තා ... මා මිතුරු සුමධුර
මියැසියක් මැයි තාත්තා
තාත්තා ... ඒ මගෙ තාත්තා
20/06/2021
සිවදීපන් උඹෙ සීතල අත දීපන්
කරෙයි නගරයේ තල් පත් දෙවැට මතින්
මං එන විට මට අමුතු අසිංහල
මධු ගී සරයෙන් - අමු හසරැල්ලෙන්
ආයෙත් වෙඩි තියපන්!
පුස්තකාලයෙන් කීරමලෙයි පොකුණෙන්
තවමත් ඇහෙනා මිමිණුම් රාවෙන්
මා ගලවාගෙන චැලියෙන් එක්ක ගිහින්
තල් රා පෙම් ශ්‍රාවය මට බොන්න දියන්
බුදුවරු සහ දෙවියන් වැඩ වසනා
අල්තාරය යට පිච්ච පලස එලපන්
භූමිය බස නොතකන මනු සුවඳින්
මගේ ආත්මය වසඟෙට අරගෙන
කටරොළු පැහැ ඇති හිම කිරමක
ඔය සිනහව දිය කරපන්!
යාපනයේ කඩ මණ්ඩිය අයිනෙන්
ආදරයේ මිදි පැසක් අරන් දී
කසුරීනාවේ නිල් රැල්ලක් මෙන්
ආපහු සැරයක් වැළඳ ගනින්!
****சிவதீபன்*** - Lakshantha Athukorale - Manchester - United Kingdom
உன் குளிர்மையான கையை எனக்குத் தா சிவதீபன்!
காரைநகரின் பனையோலைப் பாதையில் நான் வரும்போது,
வெறியூட்டும் தெரியாப் பாடல்களோடும் பச்சைப் புன்னகைகளோடும்,
மீண்டும் என்னைச் சுட்டுவிடு!
கீரிமலைக்கேணியிலும் நூலகத்திலும் கேட்கும் முணுமுணுப்பிலிருந்து என்னைக் காத்து சாலி சைக்கிளில் காவு.
அன்பின் சாறாகிய பனங்கள்ளை எனக்காக வாங்கு.
கடவுள்களும் புத்தர்களும் வாழும் மேடையின்கீழ் மல்லிகைப் படுக்கையை அமை.
நிலத்தையோ மொழியையோ கண்டு கொள்ளாத மனிதம் மணக்கும் என் உயிரை ஏற்றுக்கொள்.
சங்குப்பூ நிறக் குளிர்களியில் உன் சிரிப்பைக் கரை.
ஒரு கோணி அன்புத் திராட்சையை யாழ்ப்பாணச் சந்தையருகே தா,
மீண்டும் என்னைத் தழுவு!
கசூரினாவின் நீல நீரலையைப் போல!
Translated into Tamil by : Balakrishnan Sivatheepan
*Sivadeepan* - Lakshantha Athukorale - Manchester - United Kingdom
Give me your cold hand Sivadeepn!
When I come
on the path of Palmira leaves in Kareyi Town,
with that tipsy unknown Songs and raw smiles,
shoot me again!
From the murmurring heard
at the library and in the Keeramalei pond
Salvage me and carry by the Chally bike
And buy for me the Palmira toddy,
the juice of love.
Set the carpet of jusmine under the stage where the Gods and Buddhas live.
Taking my soul
mesmerizing by the human scent
which doesn't care the land or the language
Just mingle your smile in an ice cream coloured Katarolu flower
Besides the market of Jaffna
giving me a sack of love grapes,
Hold me again!
Like a bluish torrent of Kashurina!
නොදැනී මවගේ ඇකයෙන් වැටුණද
දෝණි අකීකරු තහංචි පැන්නද
ලෙන් පැටික්කී බිමට වැටීලා
අතරමංවූ දා පටන්
පාන්කඩ තිරෙන් කිරි බිවුවා උරා
දුව පැන්නා පුංචි දැල් කූඩුව පුරා
ටීනු කියා හුරතලේට නම වැටුණා
උස් මහත් වෙලා යොවුන් වියටත්
පත්වුණා ලේනී,
එත් හරි පුදුමයි
අත හැරියත් සේපාලිකා ගහට තියා
කූඩුව හොයන් ගෙදරමයි එන්නේ
මේ හුරතල් ටීනූ.
මේ අල්ලපනල්ලේ
දඩාවතේ ගිය බැළලියක්
කිරි කැටියන් තිදෙනෙකු වදා
ගෙට රිංගයි බලහත්කාරයෙන්
හිසට හෙවනක් හොයන්
කොහොමද එළවන්නේ
සත්ව කරුණාව වැඩි හින්දා
එතැන් පටන්
දඩයම් ලෝලී හොර බැළලී
නිතරම කුරුමාණමේ
නිදහසේ උන් හුරතල් ලේනී
බයේ ගැහි ගැහී කූඩුවේ
හිතට නිවනක් නෑ ඉතින්
සත්ව කරුණාව හින්දා
දවසක් උදාවුණා - අව්රැල්ල හරි පැහැබරයි
අව්ව තපින්නට ලේනීගේ - හිත හරිම කලබලයි
සේපාලිකා ගහ හෙවනේ - අව්ව තපිනව, ටීනු කූඩුවේ
පුංචි පැටික්කන් තුරුලු කරන්
ගෙයි අගුවේ කිරි දෙනවා බැළළී
සඳලු තලේ මුර සේවයේ - මං ඉන්නේ විපරමින්
මේ අතරේ ටීනු කෙරේ ලෝබයෙන්
ලේන් පෙම්වතෙක් ඇවිදින්
දුවනවා පනිනවා ටිං ටිං ගාමින්
පුංචි කූඩුව වටේ - ඉවසුම් නැති සෙනෙහසින්
උන්මාද චිත්‍රා හොයන් දීඝ ගාමිණී ඇවිදින්
පෙම්වතුන්ගේ කලබලෙන්
ඇහැරී බැලුවා හදිසියෙන් බැළලී
විසිකර දමා කිරි පැටික්කන් - මෙන්න ඇදෙනවා
කොටි දෙනක් සේ කුරුමානම් අල්ලමින්
බියපත් සිත මගේ මුසපත් වෙයි
සිදුවන්නට යන විනාසය දකිමින්
සූ සූ ගා අත ගැසුවත් හඬගා
සතේකටවත් මායිම් නෑ බැළලී
පෙරටම පෙරටම ඇදෙනවා දඩයමට ලෝබයෙන්
කෝපයේ ගිනි පුලිඟුව
මොලවයි මා සිත සුසම්ලමින්
දිවි රකින චේතනාවෙන් සුරතල් ලේනුන්ගේ
වට පිට බලමි එවිගස - බරැති ලී දණ්ඩකි අත ළඟ
පළවා හරින්නට බැළලිය - බියපත් කර
දමා ගසමි සඳළුතලේ සිට
ලී දණ්ඩ බැළලිය අසලටම
අහෝ මොන පවකින්ද - පතිතවෙයි හෙනයක් සේ
ලී දණ්ඩ බැළලිගේ හිස මත
කොහි සිට ආවාද මේ මරු පහර
විලාප දී - මර හඬ නඟා අඬමින් - උඩ පනී බැළලී
මරු විකලේ ඒ මේ අත දුවයි සිහිමුලාවී
මවගේ විලාපෙන් බියපත් පැටික්කෝ
උනුන්ට ගුලිවෙති සංත්‍රාසයෙන්
කෝප ගිනි හීතලවී - ඇවිලෙයි සියොළඟ මගේ
ලැව් ගින්න සංවේගයේ - සත්ව හිංසාවේ
අහෝ! නිර්මාංශ ආහර බුදිමින්
නොමරා හිංසාකාරී මැසි මදුරුවන් පවා
පුරනා මහා සත්ව කරුණාවට මගේ
කුමන නම් විපතක්ද මේ සිදුවුණේ
මරහඬ දී බිම පෙරලුන බැළලී
නිසල වූවා සැණෙකින්
ලේන් පෙම්වතා ද පැන ගිහින්
තවම කූඩුවේ ටීනු බයේ ගැහෙමින්
ගැහි ගැහී කකියන හදවතින් - බැසයමි සඳැල්ලෙන්
ලංවෙමි බැළලිය නිසලව නිසලව වැටී සිටිනා තැනට
අප්‍රාණික සිරුරින් වැතිරී
අසරණ බැල්මක් හෙළයි මා දෙස බැළලී
"අනේ මා මරන්නට එපා" කියන්නා සේ
පොළොව පැලී එතැනම එකවර මා
නිරයට ඇදගන්නාසේ දැනේ
ඊට පෙර අත දිගුකරමි - සමාකර ගන්නට හිස අතගා
එහෙත් බියපත් බැළලිය පැනයයි
වෙලෙවි සිරුරින් ඈතට
මිය යාද බැළලිය පසු විපාක දී මරු පහරේ
දෙගිඩියාව නලියයි හිත පාර පාරා
දවසින් දවස ගෙවුණා - අනතුරක් නොවී බැළලියට
එහෙත් නොසිතූ ලෙසින් - ලෙඩින් වැටුණා සුරතල් ලේනී
නොදනිමි මර බියෙන් ලෙඩවීද ටීනූ
කුසගින්නේ මිය ගියා ලේනී පසුදා උදෑසන
දුරින් සිට තම ගොදුර දෙස
බලා සිටියා බැළලී සෝකයෙන්
අවමඟුල සිදුකරද්දී නිවැසියන්
බැළලිය දකිනා මොහොතක් ගානේ
වැලපෙයි සිත මගේ
මා අතින් වූ ප්‍රාණ වධය සිහිවී
"චේතනාහං භික්කවේ කම්මං වදාමී "
සැනසිලි දේද සිතා මේ අයුරින්
දඩයම් බැළලිය මරා දමන සිත් - නැත උපන්නේ මා තුළ
සුරතල් ලේනුන්ගේ දිවි රකින චේතනාව මිස
එහෙත් රැව් පිළිරැව් දෙයි - බැළලිය නැඟූ මර හඬ
මැකී යා ද ඒ හඬ මනසින් - මගේ දිවි ඇති තුරා
සියල් සතුන්ගේ මරබිය මේ යැයි කියාදුන්.
16/06/2021
මහා ගත්කරුවකු විසින්
දෙකඩකර පෑන් තුඩකින්
දෙමගක යවන ලද්දන්ය
ජිනදාස සහ ජිනපාල
එකී පෑන් තුඩින්
ගමක් පෙරළන අතර
එහි තෙරපුමට යටකර
තුන්ඈඳුතු බවින් බැහැර
වසංගත කැකෑරෙන
විවෘත භූමියක් කරා
යොමුකරන ලද්දෙක්ය ජිනදාස
එකී පෑන් තුඩින්
ජූනියර් ගිනිවැල්ලේවරයෙකුට නතුකර
අතවැසිබව නම වෙත ඈඳුතුකර
දූවක අභිරහස් අතර
යෞවන ශ්‍රමය වගුරුවන්නට සිදුවන
සංවෘත භූමියක් කරා
යොමුකරන ලද්දෙක්ය ජිනපාල
දෙකඩකර පෑන් තුඩකින්
විධාන දී - ඉතා සූක්ෂම බසකින්
උනුන් හමුනොවන විලසින්
මහා ගත්කරුවකු විසින්
දෙමගක යවන ලද්දන්ය
ජිනදාස සහ ජිනපාල ..
පැල් බැඳගෙන වහින වැස්ස
අවට වෙලාගෙන ඇති සැටි
දවස ම අල්ලන පාටයි
ඒත් අපේ ගමේ ගෙදර
පොල් අතු වහලෙන් බේරෙන
වහින වැස්ස නෙවෙයි මේක
"ගියාට ගම හැරදාලා
ඉගෙන ගන්න සිදාදියට
අපි අමතක වෙයි අයියට"
වැස්ස කපාගෙන මතුවෙයි
කොමල සොඳුරු නෑනගෙ රුව
"හැම තිස්සෙ ම වෙන ලෝකෙක
මං බැලුවේ කොහෙද කියල
ජනේල වීදුරුව කඩල
ටොක්කක් ඇනගෙන ඔලුවට
පුටුවෙන් නැගිටල හිටගෙන
බැලුවා නං හොඳට පෙනෙයි
කවදත් නැති අමුතු වැස්ස
මේ.....ඕයි! සිලින්ඩරේ ගෑස් ඉවරයි ;
කන්ඩ නෙවෙයි වෙන්නෙ රෑට"
ඩල්සිගෙ ගෙරවුමත් එක්ක
නැඩ හෙණ පතයක් ගුගුරා
විදුලි ඉරක් දිස්නෙ දුන්නෙ
යා කරමින් ඈත-මෑත
නොපෙනෙන බහුබූත බල වලම ඇලි ඇලී
කොපමණ වරක් අපි රැවටෙමුද යලි යලී
ලියවෙන නිසා හිත යට තියෙන විමසිලී
ඇස කන තියෙන ඔබ වෙත නගමි මැසිවිලී
උතුර දකුණ බටහිර සහ නැගෙනහිර
විසිර පැතිර කොවිඩ් රැලි නැගෙන වර
සොයුර සොයුරියනි හිතවත සෙනෙහෙබර
මෙවර අපට යා හැකි කොපමණද දුර?
කෑගලු පුරේ කාලිගෙ දම්මික පැණිය
බීවට ඇමතිටත් කෝවිඩ් වැලදුනිය
ජීවත් වෙන්නෙ මේ විගඩම් පෙනි පෙනිය
මීහරකුන් වගේ අපි නිහඬය තනිය
කාලක මධු විතක් අරගන්න අමරස
ගාලක හරක් මෙනි මත්සලක අබියස
මේ ලක රකින්නට උවදුරෙන් නිසි ලෙස
පාලකයින් වැඩියි දී තිබෙන නිදහස
තුන්බිය වැදුන විට නුවරට විසාලා
සම්මුදු හිමි රතන සුතුරය දෙසාලා
දුන්නලු සියලු දුක් කරදර නසාලා
දැන් බැරි මොකද අපි බැලුවද හොයාලා ?
පෙරපර පසිඳු මහ දෙවි විමනෙ තිරුපතී
නර පනු කැලම කෝවිඩ් වලට අසුවෙතී
කරදර වලට විසදුම සොයන බල ඇතී
සුර රජ කිමද තව මෙම විපත දැක නැතී ?
බැතිබර කිතුනුවන්ගේ අග රජ දහන
අති උත්තම පාප් හිමි සඳ වැඩ වසන
වතිකානුවෙත් කෝවිඩ් දැක දොර වැසින
ගැති බැතිමතුන් වෙත කාගෙද පිළිසරණ ?
දෙයියන් නහුතයකි අප වසන ලක්බිම
කොයි ලෙස වුනත් පැරදී සිටිති ඔක්කොම
වයිරසයකට බයවී වැසුනි මක්කම
ඇයි නබි හිමි නිහඩ මේ විපත දැක්කම ?
වැඳුමට හැටහුටකි දෙවිවරුන් වටපිට
නැති විට පිලිසරණ වෙහෙසෙමුද කුමකට
අද හෙට අසු නොවී වයිරසයෙ ගොදුරට
ගෙදරට වී සිටිමු කල් දීල මරනෙට
බලා ඉන්නට බැරුව
කොතෙක් දැයි බර
උර පතුත් ඇලවෙලා
අඩමානෙක ඇසුත්
ඒත් දරනවා තාමත් අපි,අපිව.
කඹුරනවා තවම
ඔසොවනවා , බරම
හිනාවීගෙන තනිව
සරඹ, ක්‍රීඩා ,දවසෙම.
බරපොදිය හිස තබා
තලනවා බත්කෙදි මාල
උරපත් එක්ක මිතුරුව.
ඒත් මහ රෑ ජාමෙට
තනියම කෙදිරි හිනාවක.
ඇත්තටම හිනාවෙන්නේ කාටද
අපි අපිටද ?
නුවර කුලී මිදුලක
තාමත් ලගින පැටවුනට
කෙළි බඩු නම් කුමට
බතක් මසක් මිස........,.....
ඒත් හිනාවේගෙන කන බොනවා ගානට.
ලෙඩෙක්,මහල්ලෙක්,මළකදත්
ගසා යනවා තෙරකට
පෙරැති ඇසුර සිහිකර
කදුළක් වැටුනමුත් දියකට
හිනාවෙනවා අපි පහුදා උදයෙම
අහස් උස තරමට
හැදුවත් කුළුණු ,හීනෙක
නිදිගැට කඩා බැලුවිට
හැදුනුම්පතද අහිමිව..
ඒත් හිනාවෙනවා අපි තනියම.
කඹුරනවා තවම
හිනාවෙවී දවසෙම
ඇත්තටම හිනාවෙන්නේ අපි අපිමද ?
20.06.2021
මෙට්ටය වක ගැසුණු ඇඳ
මට හොඳට නින්ද යන
ගින්දර රත ළාවට තැවරුණු
බත් මුට්ටියේ සුවඳ
අක්කාගේ මුහුණ
හාන්සි පුටුව ළඟ බිත්තියේ
තාත්තාගේ බුලත් කෙළ සිතුවම
කළගෙඩි ළඟ දියසීරාව
ලොකු නංගී
අතුගා කුණු හංගන
දොර මුල්ල
දෙවියනි මට හොඳට පාඩම් හිටින්න
පොත් යට පත්තරයේ ලියා ඇති
සුදු නංගිගේ පාඩම් මේසය
බිස්කට් ටින් එක තුළ හිරවුණු
නූල් කැරලි බොත්තම් අවුල
මේ ඔක්කොම මගේ ගෙදර
ආයුබෝවන් කියා එම්බ්‍රොයිඩර් කර ඇති
දොර රෙද්දේ ගෑවී ඇතුළු වන
සංසාර චාරිකා ගමන් සංචාර අපමණ
ගෙදර යන ගමන වන තවත් ගමනක් තියේවිද?
ඒත් මල්ලියේ
මට හමුවුණා පවුලක්
අම්මා, අප්පා, ආච්චී,
අක්කා, අන්නා,
තම්බී, තන්ගෙයි
ට්‍රැක්ටරයෙන් ඒ ගමන යන
මොනවාද උන්ගේ
මුහුණුවල තිබුණේ
සාමය ද සාපය ද
භීෂණය ද සන්තෝෂය ද
දෙයියො තමයි දන්නේ
බෝම්බ ගර්ජන පරදා,
විලාප ජයගත්
ගින්දර තැවරුණු මතකය
ලොරි, ට්‍රැක්ටර්, ටිපර්වලට නැඟ පලා ගිය
හාරාගෙන හාරාගෙන හාරාගෙන ගොස්
අඳුරේ සැඟවුණු ජීවිතය
අවුරුදු අටකට පසුදින
දහවල් එළියෙන් ආපහු ගෙදර එන්නේ
රොසෙල් බාත්රූම් ටයිල්ස්
රෝයල් කිචන් ෆිටින්ග්ස්
අහසත් අහිමි කළ
යෝධ දැන්වීම් පුවරු
අනන්තය වසාගත්
රයිනෝ සෙවිළි
ආපහු එන්නේ
වාටියට ලයිට් කණු සැරසිලි
සුදු ඉරි ගැසූ පාරක
"සෝරු පෝට්ටු සාප්පිඩාලම්"
කාපට් පාරේ - අපි යන්නේ
හබල් ගසා වතුරේ යනවා වාගේ
මෙහෙමම දිව්‍ය ලෝකයට යන්න හිතෙනවා
ඔතනින් හරවන්න
ඔතනින් හරවන්න
ඔය බෝක්කුව ළඟ
කෝ අපේ ගෙදර
කෝ රාජන්ලගෙ ගෙදර ?
අර තියෙන්නෙ ලිඳ
අර අතන අඹ ගහ
නවහිරු රැස් පොදක් රඟදෙන අතර දියේ
පාසල් යනු පිණිස මෙතැනින් ඉවත ගියේ
නැහැ! තොරතුරු කිසිත් වැඩිවෙයි! රිදුම ළයේ
මා අමතක උනා! එහෙනම් බොළඳ පියේ
සැන්දෑ වළාකුලු පාවෙන නැළවිල්ලේ
මට නොගෙනෙයි ද? පණිවුඩයක් සැනසිල්ලේ
අඩු වූ නිසා රළු ගතියට නල රැල්ලේ
නාමල් පෙති හැලෙයි ගඟ බඩ සුදු වැල්ලේ
ගන ඇඳිරිය සමග පොර බදමින් ඊයේ
මළහිරු රැස් දල්ල මොන කරුණ ද! කීයේ
හඬ අමිහිරි උනේ ඇයි! පළගැටි ගීයේ
මා දැක ගන්න නැතිව ද! පෙර ලෙස ආයේ
වසක් පුරා පෙම් ගඟ මැද ඔරු පැද්ද
අපගේ මිහිර සැඩ සුළියට අසු වෙද්ද
රසවත් මුහුණුවර වෙන කවුරුත් දෙද්ද
විශ්වාසයට කොතැනකවත් ඉඩ නැද්ද
දිය රැළියට අසු වී ගං ඉවුරු දිගේ
හැපි හැපි පනින මල් පෙති මල් කැකුළු වගේ
සිතුවිලි රැළි වැදී හදවත් පවුරෙ මගේ
ඉවතට ඇදෙන හැටි! සැනසිලි සුවයෙ අගේ
විඳි සිසිලසක රසගෙන එන සුළඟ හෙමින්
ඔබ සැනහුනොත් ඔය ගඟ බඩ නිහඬ වෙමින්
පණ යන තෙක්ම හුදු නො නැසෙන බැඳුණු පෙමින්
මම කල් ගෙවන්නෙමි! හිතවත ඔබගෙ නමින්
පෙමබර හදවතට තුඩු දුන් කනක තරූ
ඇද හැලුන ද! පියේ ! ඉමිහිරි රසය ඉරූ
දැඩි උණුසුමක් ළයකට නැති නමුදු හුරූ
සැනහෙමි! අනේ! අලුයම හිරු නැඟෙන තුරූ
ඇඟ මස් පවා කකියයි! වැගිරෙයි කඳුලූ
මෙහෙමද! හැම තැනම හැම පෙම් ගිරි දුදුලූ
කොඳුරා කියන මුත් රහසක් තුරු වදුලූ
බැහැ! ඉවතට ගන්න! තැලුවත් ඇට මිදුලූ
වරදක් ඇතොත් මේ දඬුවම විඳ ගන්නම්
අලුයම හවස රෑ උණු කඳුළැලි බොන්නම්
මහ ගැටලුවක ගැට ටික ටික විසඳන්නම්
ලියුමක් ලැබුණු පසු මඳකට සැනසෙන්නම්
(නවීන පද්‍ය රචනා - අභිනව සංස්කරණය 1960 ජූනි
සංස්කාරක මීමන ප්‍රේමතිලක )
අලිමංකඩ කලපුව ළඟ
මහපාරේ එක පැත්තක
පාර මැදින් දමන පොල්ල
යගදාවක් සේ උස් වී
එකමත් එක එකම රටක
පාර බෙදන්නට බලා ඉන්නවා
දමිල සගෙක් හෙළ සගයෙක් එක්වී
කාකි ඇඳුම් ඇඟ ලාගෙන
උතුරෙන් දකුණට යන අය
දකුණෙන් උතුරට යන අය
"චෙක්" කරනව.........
එකමත් එක එකම රටක
එකමත් එක එකම පාර - මැද
දමිල කාකි පොලු සිහලුන් මතුපිට
සිහල කාකි පොලු දමිලන් මතුපිට
සිහලුන් දමිලන් රණ්ඩු කරනවා
දමිලන් සිහලුන් වෛර කරනවා
දමිල කාකි වුව - සිහල කාකි වුව
කාකි පොල්ලෙ බල සේනාවෝ
එකම අණක් යට - එකට රැස්ව ඇත
එකම තැනක සිට - එකට පනින්නට
"කාකි පොල්ල අයිති කාට?"
"දමිළයන්ට?......සිහලයන්ට?"
"අනේ මගේ කට ......"
"වහගන් උඹේ කට ......"
අලි මංකඩ ළඟ - උදේ පාන්දර
උඩහට ඉස්සෙන - මුර පොල්ලේ
මුදුන් කොනට වී
තට්ටෙ ගියපු කලු කපුටෙක් ඉඳගෙන
කාක් කියනවා - දකුණ බලනවා
කාක් කියනවා - උතුර බලනවා
(ප්‍රේමතිලක පේරුකන්ද විසින් 1976 වර්ෂයේ දී
පළ කරණ ලද "කවි" කලාපයක පළ වූවකි)
මුහුද රළු විය නැවක් මුල් විය
රණ තිසර යුවලක් නැවත මතුවිය
උම්ම දෙන්නට ගියපු ඇත්තෝ
වාසලේ සිට ආපු අය විය...
දුවන මිනිසා ඇවිලු පන්දම
එහෙට විසි වී මෙහෙට විසිවිය
අලුත් බිම් මල් පිපී පරවිය
අලු අතරෙ සිට චරිත මතු විය
රජුට පින් දී මුවා දුව ගිය
මිහින්තලයත් සැණින් යටවිය
උදුවපේ එන දුමිදු ගමනය
පුවත් පත් වල සිරස්තල විය
කොසොල් රජ දුටු සිහින සිහි විය
සතර අතකින් ගොනුන් මතු විය
වැස්ස ගෙන එන වලා යට විය
හාමතේ ඇති රටක් බිහි විය
බර අදින්නට ගොනුන් ඉන්නේ
ලපටි එවුනුයි පෙරට එන්නේ
අශ්වයෝ දෙපසින්ම කන්නේ
සිවලො රන් මත චූ ද දැම්මේ
කපුට වටකොට රන හංස සේනා
මොනව වෙනවද අනේ මන්දා
මාසයක් මත පුවත් මැව් හැටි
සිරිලකේ සිට මතක් වෙන්නා...
බොහෝ කලකට පෙර
කළු පාට වුනා ජූලිය
නොබෝ කලකින් ම
කළු පාට වුනා ජනවාරිය
සන්ධ්‍යාව ප්‍රකම්පිත කළ
ඒ කළු පාට ජනවාරිය
නංගියේ නුඹටත්
කළු ම කළු පාට වූ අරුමය
සියුමැලි කොමළ මුහුණක
කඳුලැලි තැවරු ඒ කළු රැය
කාකි ගොම පාට හොරු රැල
හොරෙන් අරගෙන ගියා හිරු මල
සඳ හිරු ද ගොළු වී බිය වී
තරු ඇස් අන්ධ වී සැඟවී
ලේ රතු ජනෙල් රෙද්දක්
පමණි ඇහැරී දුකින් ඇඹරී
ඇකයේ සුපිපි සඳ මඬල ය
ගැබ තුළ නොපිපි තරු කැකුලය
හද තුළ මියැදි හිරු මඬල ය
ජීවිතය බෝ දුරය කටුකය
කහ ඇඳන් සිල්වත් උදවිය
සුදු ඇඳන් බලවත් උදවිය
කළු සුදු නීතියේ දේවිය
ඒවි උඹගේ කඳුළු පිසිනට
නොරැවටෙන් නංගියෙ ඒවට
උන් එන්නෙ ගන්නයි ලාබෙට
ලෝකෙ තනිවෙච්ච ගැහැණියකට
පද හදන්නට එවුන් ඕසෙට
නුඹට තනි නෑ නැගණිය
මනෝරානි අම්මා නුඹේ පසුපස
නුඹට බය නෑ නැගණිය
නිමල රාජන් අම්මා නුඹේ වම් පස
නුඹට දුක නෑ නැගණිය
නිර්මලාවන් සිටී දකුණත
කඳුළු වල අයෝමය ශක්තිය
සන්ධ්‍යාව පායලා හිස මත
මුලින් කළු පාට ජූලිය
දැන් කළු පාට ජනවාරිය
ඉතුරු මාසත් කළු පාට වන තුරු .... සැතපෙන
අපි කොයිතරම් කළු පාට ද .... ????????
**** 2016 කළු ජනේරුවේ එක් අඳුරු රැයක දී ,
සිඟිති දැරියක හා ගැබිණි බිරිඳක මෙලොව අසරණ කරමින් ,
පොලීසිය විසින් , ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම්
තරුණයාව කුරිරු ලෙස ඝාතනය කරන ලදී.
සාගර ජලය මදි ඇඬුවා මා සින්දා
කීකරු ලඳ ලියෙක් මේ ලෙව් තුළ ඇද්දා
වෙන්කර අදම යන්නේ බුදු බව සින්දා
සුන්කර කෙලෙස් දුරුකර එක සිත් පැහැදා
(කිසියම් ශුද්‍රයෙකු වැරදීමකින් හෝ ශුද්ධ වේද වාක්‍යයන්
හදාරනු අසා සිටියේ නම්,ඔහුට දඩුවම් පිණිස, කණෙහි
රත්කළ ඉටි වත් කළ යුතුය යනු පුරාණ භාරතයේ පැවති නීතියකි.)
බමුණු මැදුරෙහි
ගෙඋයනෙහි
වැඩෙහි සිටිය දී
ඇසුණි යැයි මහිමිට
වේද වැකි පරිශුද්ධ
රත්කළ ඉටි වත්කර දෙසවනට
දඩුවමට සැරසෙති උන්.
සුළග නුඹ නොවෙද ඒ වදන්
ගෙන ගියේ උයනට
අහඹු ලෙස නොවෙ ද
මහිමි සවන් වැකුණේ
ඒ වේද වදන්
වහා ගොස්
පවසන්න බමුණාට
මහිමි අත වරද නැති බැව්
කුමට ද ඔහුට ඇති පල
අනුන්ගෙ වේදයෙන්
උපන්දා සිට දුක් විදින
මහිමිට තිබූ එකම සැනසුම
සෙනෙහසින් මා තෙපළන
මුදු වදන් පමණි
සුළග වහා දිවයන්න
රැක දෙන්න මා හිමි දෙසවන්
මෙම මස 22 දිනට නියමිත කවීන්ද්‍ර කළල්ඇල්ලේ සාගර පළන්සුරිය
ශුරීන්ගේ 60 වෙනි ගුණානුස්මරණය වෙනුවෙන් කවි පෙළක් ලියන්නැයි
මාවැලි කුමාරී කිවිඳියට ආරාධනා කළෙමු. මේ ඇගේ අගනා උපහාර කවි පෙළයි.
නිරන්තරෙන් පනගැන්වූ බස රසට
රුවන්පුරෙන් ලද මැණිකකි ඔබ රටට
සරළ බසින් හදටම දැනෙනා ලෙසට
කවි මිණි පහන් දැල්වූවා නොවැ යසට
මානව දයාවෙන් මුදු සිත පුරවාන
සිප්සත දෙමින් දරුවන් නෙත පාදාන
කවි අම්බරයෙ දිඳුලූ ලෙස සඳපාන
ඔබෙ ගුණ සිහිකරමි කේයස් මැතිඳාන
අහිමිව හැට වසක් ගත වූවද අදට
අමතක නොවේ ඔබ හෙළ සාහිත ලොවට
නිරතුරුවම දිලෙයි ගරු නාමය යසට
බැතියෙන් ගෙතූ කවි මල් පුදනෙමි ඔබට
දෙසුමින් හර බරව මැතිසබ දෙදරමින
ජාතින් සමගි විය යුතු කියමින් සොඳින
කුල මල නැතිව කවුරුත් එකලෙස හැඳින
ඔබ වැනි රුවන් යලි බිහිවේවිද කෙදින
"සුදෝ සුදු" තුලින් මතු කළ ගැමි සුවඳ
පැතිරෙයි දසත අඩුවක් නොමැතිව නිබඳ
"දෙවියන් නැති දෙවොල" සහ "ඉගිලෙන සිහින"
කියවන කල දැනෙයි ඔබෙ නැණ, ගුණ, වරුණ
කීවත් අම්ම හඬවන්නට විහිලු කළා
කඳුළුත් අත දිගේ ගැලුවේ හදම තලා
ඇයගේ කඳුළු නිකරුණෙ නොව ගියේ ගලා
සිරිලක සියළු මව්වරුනගෙ කඳුළු වෙලා
ගරු බව ඉහලින්ම ලැබ "කේයස්" නමට
ගුරු උතුමෙක්ම විය කවි බස කළ සුමට
කොළඹ යුගය තුල බුහුමන් ලැබු බරට
මැතිඳුණි ඔබ අගෙයි අද වාගෙම හෙටට
හෙළ බස හසුරුවා සරළව මන බන්දා
අගනා කෘති රැසක් වෙත අපෙ හිත රන්දා
සාහිත රසය ඉහලම තලයට කැන්දා
ඔබ නැතිවුනේ අප කළ පින් මදි හන්දා
අරුමැති සොබාදම් අසිරිය විඳගන්ට
සුසුනිඳු මලට කවියෙන් ජීවය දෙන්ට
තිබු හැකියාව නම් පුදුමයි අදහන්ට
ඇයි ඉක්මනින් ගියෙ නිවනට ලංවෙන්ට
ලස්සන වදන් ගොන්නක් පෙළ ගැසුවාට
තේරුම් ගන්ට බැරිනම් පළ වෙද කාට
සරලව විනීතව බස ඔපකළ පාට
ඔබ වැනි කිවිරජුන් බිහිවෙද මතු දාට
දැක නැතුවාට කිසි දිනයෙක පියවි ඇසින්
දන්නෙමි හැඳින්නෙමි කවි කල්පනා බසින්
සිටියත් මෙලොව අතහැර දෙව් ලොවට ගොසින්
හෙළයට වඩිනු හෙළ කවි සනසනා ලෙසින්
ළමාවියට ගිනි ඇවිලුණු - කළුවන් කළු ඇසල මහේ
සේකර කිවි සිටියා නම්
වක්කඩ ළඟ වැටෙන දියෙන් එගිනි නිවාවී
පාලු අඳුරු නිල් අහසින් අසනි සලාවී
සරස්වතිය දුරුරට ගිය - කළුවන් කළු ඇසල මහේ
මානවසිහ සිටියා නම්
දේහි දේහි වර දෙන අත් නමැද සොයාවී
මහබෝ වන්නම් දකින්න වඩිනු කියාවී
දෙඩූ බසට මුගුරු නැගුනු - කළුවන් කළු ඇසල මහේ
සමරකෝනුන් සිටියා නම්
එක මවකගේ දරුකැල දැක කදුලු සලාවී
ඇසුන මධුර ජීවන ගී කොයිද අසාවී
ගලන දිය මත
පාවෙන මලක
පෙත්තක
අගිස්සක
කළු කූඹි යුවළක්
රැඟුමක
එතැනින්ද නැගෙන්නේ
මේ සිහින් ගී නද ?
බුදුබණ අසමින් සිත සත පායේ
කුරුපණ කම් ඇරපිය ඒ පායේ
පරපණ නැසුවොත් කවර උපායේ
අපමණ දුක් දෙයි සතර අපායේ
බුදු බණ අසා සිත සංසිඳවා ගෙන, දුරු කට යුතු වූ නීච ක්‍රියා
අත්හැර දමව්! මොන උපායකින් නමුත් පණ ඇති සතෙකු
මැරුවොත් නරකාදී සතර අපායෙහි නොයෙක් දුක් ලැබේ.
නුවණෑත්තවුන් පහකොට දුදනන් සෙවුන
නොමගත් සිත තුළෙහි ගුණ පොකුරඹ ලෙසින
මැදහත් නොව මසුරු ගුණයෙන් දවසරින
රජුටත් එරටටත් අතුරක් නැත වෙතින
ඥානවන්තයින් ඉවත් කර අසත් පුරුෂයන් ඇසුරු කිරීම
නෙලුම් කොළයෙහි ජලය නොරදන්නාක් මෙන් සිතෙහි
ගුණ රැඳීමක් නොමැති වීමත්, මධ්‍යස්ථ බව නැතිව මසුරු
ගුණයෙන් කල් ගෙවන රජුටත් රටටත් ඔහුම මිස වෙන
අන්තරායක් නැත.
පුංචි කාලෙ මාත් එක්ක පංචා ඇදපු සින්නමුත්තු
මා හොයාන ගුඩු විදින්න හවසට ආ සින්නමුත්තු
කොලු රෑනට එකතු වෙලා බේදබින්න කිසිත් නොදැන
සිංහල ඉස්කොලෙ වත්තෙ
රට අල්ලපු සින්න මුත්තු
උඹ කොයිබක ඉගිලුනාද?
උඹෙයි මගෙයි පුංචි රටේ උඹ උපන්න අපේ ගමේ
අපෙ පංතියෙ ගම්මු රෑන උඹව ගමෙන් එලෙව්වාද?
උඹත් එක්ක එක හවුලේ රට අල්ලපු කොල්ලො රෑන
උඹට තලා එලෙව්වාද?
කඩ පොඩිත්ත ගිනි තියද්දි උඹ යහතින් බේරුනාද?
උතුරුකරේ පැන ගියාද?
රජරට සැදි මහ විහාර
දෙම`ඵන් වැනසූ එපුවත
දෙම`ඵන් මැරු දුටුගැමුණුගෙ
ධීර වීර කතා පුවත
අපෙ ටීචර් කියා දෙද්දි
මා ළඟ උඹ අපහසුවෙන්
හිටි හැටි මට මතක් වෙනවා.
එදා හවස ගෙදර එද්දි - අපි දෙන්නා දෙපිල බෙදී
ඒ පාඩම මුල්කරගෙන - ගහගත් හැටි මතක් වෙනවා.
ගල්කූරෙන් ඇනලා මම - උඹෙ නළලෙන් ලේ ගලද්දි
අසරණ උඹ මහ හයියෙන් - ඇඬු හැටි මට මතක් වෙනවා
ගේ අද්දර වැටේ
ආන් බලාපන් පොඩ්ඩියේ
ඌ රඟනා රඟේ
උරුවම් බා ජැන්ඩි පහට ඇදගෙන සලු පිලි
කවුලු දොරින් එබී බලයි
පුම්බා අත්තටු
වාන් වෙයන් පරිස්සමට
නුඹ පුංචියි දුවේ
කාන්දමක් වගෙ ඇදේවි ලාමක සිත නුබේ
හීන වලට දූ ගෙනයයි
ගීත වලින් උගේ
පාටගාපු අත්තටුවට රැවටී සිත ඇලේ
මල් පිපුණම රොන් සුවඳට බඹරුන් රොද බැඳේ
රොන් ගන්නා තුරු පමණයි උන්ගේ රැවිටිලි
වරදින්නට එක මොහොතයි
කුවේනියට වගේ
අමල් බිසෝ මගේ රන් කඳ දොර නාරින් පුතේ ....
ඊයක් විද හළෙමි මම් ඉමහත් වැරෙනී
වේගෙන් එය ගියේ නිල් අහසේ නොපෙනී
ඊයට කුමක්වීදැයි දුන්නද නොදනී
කවුරුන් දනීවිද යළි නොම එන බැවිනී
ගීයක් පිඹ හළෙමි මම් උරුවම් හඬිනී
මුසුවී වා තලෙහි එය සවනින් මැකුණී
කොහි වෙද ගීය තොරතුරු දැනගනු රිසිනී
කවුරුන් සමත් වෙද මගෙ සිත නම් නොදනී
බොහො කලකට පසුව වන පෙදෙසක රමණී
හමුවිය ඊතලය තුරු කඳකට ඇමිණී
ම එදා ගැයු ගීය නව අරුතක් දෙමිනී
කිසිවෙකු මුමුණමින් මග යනවා ඇසුනී
විදෙන ලෙළෙන නරුබර පුළුලුකුලැ රැඳී
හෙලන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
වටා විහිදෙමින් ලෙලදෙන්නා වූ නෙරිපොට දැවටූ උකුල ඇති,
උස් කරන, පහතට හෙලන අත දෙස නෙත් කොණින් බලන
ආභරණ වල දිස්නය සිරුරේ ගැටීමෙන් රූපයෙන් බබලන්නා වූ,
පිළිවෙලට අනුව නටන්නා වූ ලලනාවන් සැලෙන පහන් දැල්ල
වැනිය.
පොහොර ටික නැතිලු
කුඹුර වපුරන්න බැරිලු
මේ කන්නේ පාළු උනොත්
කන්න බත් නැති වෙයිලු ..
අහස පොළොව ගැටලන්න
තාත්තා කල්පනා කරනවා
උඩ බලාගෙන හූල්ලනවා..
දුකයි මගෙ පුතේ මට
තාත්තා හිතෙන් අඬනකොට..
ඔන්ලයින් පාඩම බැහැලු
සිග්නල් නැහැලු
ඩේටා ඉවර වේගෙන යනවලු..
අඬන්නට එපා මයෙ පුතේ
දුක වාවන්නේ නැහැ හිතට
පපුව මගෙ රිදෙනවා..
දුකට පිහිටක් වෙන්න
මන්තිරිතුමාටත්... ගමට එන්නට බැහැලු..
වාහනේ පරණයිලූ
මග දිගට කැඩෙනවලු...
ඒ නිසා එයාලා ගොඩක් දුක් විඳිනවලු...
අපි ගෙවපු බදු වලින්
ඉතුරු උන "සොච්චමෙන්" ..
අපේ දුක නිවන්නට
එයාලට තෑගි දෙන..
සැප පහසු වාහනය
එන්න තව කල් යයිලු ...
එතෙක් පටි තද කරන්
අපට ඉවසන්න වෙයිලු..
තේරෙනවා පුතේ දැන් මට..
ආපු හැම චන්දෙදිම
මාරුවෙන් මාරුවට
පොරොන්දු මල්ලකට
උන් අපිව රැවටූ බව..
අපි උන්ට රැවටුන බව..
සමාවෙයන් මයේ පුතේ අපට
උඹයි දුක් වින්දේ..
අපේ ගොන්කම් වලට..
හොඳ අනාගතයක් උඹට..
හදා දෙන්නට බැරි උනාට..
මම ගොඩක් වයසයි
වෙහෙසයි දැන් මට...
තව වැඩි කාලයක් ජීවිතේ නැහැ මට..
ලොකු වෙයන් මගෙ පුතේ ඉක්මනට
එපා උඹ රැවටෙන්නට
උන් දෙන චන්ද පොරොන්දු වලට
එපා උඹ අහුවෙන්නට
චන්දෙට කලින් මවන සිහින ලෝකවලට..
පාවිච්චි කරලා මොළය
දායක වෙයන් තිත තියන්නට..
මේ මජර දූෂිත ක්‍රමයට...
හදාපන් හොඳ අනාගතයක්
උඹට නොව උඹේ දරු මුණුබුරන් හට..
හිරිවැටී දෙකන් පිපිරුම් හඬ ඇසී බියෙන් තැතිගත්
මහද යුද බිමේ පිපි රතු රෝස මල අරන්
නුඹ එදා ගියා යාපාපටුන ජය අරන්
ගිනි නිවී ගියත් යුද බිම ඇවිලෙනා මහද දෙවොලට
ගෙන සිසිල යළිත් එනු මැන ආදරෙත් අරන්
මම හිඳිමි මග බලන් ...
අවිදරා මගෙත් සොයුරන් තල් අරණ අරා යුද වැද
නැගුණු දුම්කඳේ සැංගී හමුවෙලා දෙනෙත්
ගොළුවදන් වලින් නොදැනීම පෙම්කළා අපිත්
ඒ වදන් සිංහලද දෙමළද දන්නෙ නෑ මමත්
කෝවිලේ පුදා දෙවියන් දල්වලා පහන් බුදුගෙයි
නෑසියෝ හිඳිති නුඹ පිළිගන්න දී දොහොත්
තාම්බුලම් තට්ටු අරන් එනවදෝ නුඹත්
පාළමට උඩින් අලිමංකඩ පායලා හඳත්
ලස්සන කුරුල්ලෝ
නුඹ ගයයි ගී මිහිරට
නුඹකුස සැරිසරයි උජාරුවට
දකියි නොයෙකුත් විසිතුරු දෑ අප නොදකින
සැඟවී යයි වලාකුළු මත
දෘශ්‍යමාන වෙයි ඉඳහිට
කොච්චර හිටියත් ඉහලින්
නුඹ යැපෙන්නේ පොළොවෙන්
දිරන්නෙත් පොළොවට
සැහැල්ලුවට හිටියට
නුඹ බරක් මහපොළොවට
සීතල ඇවිත්
වද දෙනකොට
බංකුවේ ලී පටි වලට
මතක තිබුනේ නෑ
සුමනාවතී අම්මට
කලින් ආවේ තංගම්මා ද තමන් ද
කියන එක
නන්නාඳුනන නිසා
දෙකොනේ දුරින් ඉඳගෙන
මාරු කර ගන්නකොට
ලැවරියා බාගයක් - වඩේ කෑල්ලකට
සීනි වත් කොලෙස්ටරෝල් වත්
මතක් උනෙ නෑ දෙන්නටම
නොම්මරේ ගන්න යනකොට අතට
එබිලා හැඹිලියෙන් එලියට
ජයසේන හිනාවෙනකොට
සුමනාවතී අම්මට
සද්ද නොකරම හිනාවුනා
නඩරාජා තංගම්මාට
වෙනස් වුනත් පොඩ්ඩක් විතර
පුල්ලි රටාව
දෙන්නම ඇඳල හිටියෙ නිල ඇඳුම්
එකම විදිහක
" දෙන්නගෙම
ප්‍රෙශර් එක වැඩිවෙලා
හොඳටෝ ම
කනව නේද ලුණු
කියන දේ නාහ හැමදාම
මැරෙන්නද හදන්නේ
ඉක්මනට "
පුංචි දොස්තර නෝනගෙ
ගෝරනාඩුව
"මැරෙනවා නං නෝනා
ලුණු කෑවට
මැරිලා ගොඩක් කල් අපි
ලුණු වලට
මෙච්චර කල්
බීපු කඳුලු වල"
තංගම්ම දෙමලෙන් කීවෙත්
ඒකම බව
තේරුණෙ නෑ සුමනාවතී අම්මට
ඒකම උනා තංගම්මට
කුස හොවාන පණ නල දුන්
වැඩෙන්න දස මසක් පුරා
බිහිවූ සද ලොව දකින්න
ලේ කිරි පෙවු - කළ පිරෙන්න
අම්මා ..
කර දඩු උස් මහත් කෙරූ
ඒ පුතු පෙළවහක් කරන්
එක්තැන් වූ පසු වෙන්වී
මාළිඟ මහ විමන් තනා
දෙවු සැප මිහිමත විඳිමින්
තනිකරදා මහළුව ගිය
අම්මා ..
ගරා වැටුනු පැල් කොටයේ
ලෙඩවී ගුලිවී පැදුරක
කන්න බොන්න පවා නැතිව
අන්ත අසරණව තනිවී
කවදා පුතු ඒද කියා
නෙත් අයාන බලා ඉන්න
අම්මා ...
හී සර වේගයෙන් ඇදෙන
කාලය හා පොර බදිමින්
බලාපොරොත්තුව පමණක්
ශේෂව ඇති හද මඩළේ
ඔත්පොලවී ළගින් හිටිය
සැමියා පරලොව ගියදා
උඹ හිටියේ ඒරොප්පයේ
එන්න බැරිව මළගමටත්
පුතේ උඹේ තාත්තාගේ
එහෙව් එකේ උඹ හෙටවත්
මා බලන්න එතැයි කියා
මියැදෙන්න බැරිව තවත්
දෑත දෙපා වාරු නැතිව
ජීවත්වෙයි
අම්මා ....
9.6.2021
පොල් අතු වැටෙන විට ගොක් අතු හිනැහීම
ඇසුපිරු තැනින් එන වදනද මිහිරිමය
ගුණ නැණ සුවඳ සපිරුණු තැන සුවඳමය
ඉවසන සුළු ගතිය කවදත් දැහැමිමය
අන් කිසිවක් නොවෙි එය වැඩිහිටිකමය
අරුනෝදයේ එන මදනල සීතලය
දහවල හිරු එළිය ගෙනදෙයි කලබලය
පොදු වස්තුවකි කොයි කාටත් මිහිතලය
සැන්දෑවක තිබෙයි උණුසුම් සුරතලය
ආගම සදාචාරය නීතිය රැකුම
ලෝකය පිදිය යුත්තන් නිසි ලෙස පිදුම
කරුණක් නොවෙිවා කිසි කෙනෙකුට පුදුම
එය ලොව හොද නරක දෙක අතරෙහි බෙදුම
පොල් අතු වැටෙන විට ගොක් අතු හිනැහීම
පෙන්වයි සමාජයෙ වැඩිහිටි සැලකීම
එය පෙර නිමිති වෙයි කෙනෙකුගෙ පිරිහීම
එක් ඇරි අට මඟක් වෙයි හරි වැටහීම
හසරැලි සරසවන්නට මුවඟ වැඩිහිටි
සේසත් බවට පත්කරවමුකො සැරයටි
අනුවන දනට අමතක කරන හිටිහැටි
දායාදයක් වනු නියතමය හණ මිටි
මද නල තාලයට පැද්දෙයි රටාවට
නටු අග කටුත් නටනවදෝ ලතාවට
පියකරු සුවඳ පතුරයි හැම දිසාවට
ඇසිපිය ලෙසින් පෙති සැලුවෙි කලාවට
විහගුන් සමනලුන් බඹරුන් මී මැස්සන්
ඔරවන් මොකද ? මට යන්නෙ උන් ගස්සන්
එන්නට එපා මගෙ මල නුඹලා ඉල්ලන්
සෙල්ලන් එපා මිතුරනි විය හැක ලෙල්ලන්
ගිලිහෙන්නට නොදි නටුවෙන් රැක ගනිමි
මල් පෙති තලන්නට කාටත් ඉඩ නොදෙමි
අමරස වුනත් රොන් රස මා නොම උරමි
ඔබ මල මගේ මට පමණයි ඔබව හිමි
ඔබේ ඉඳුදුනු දෙබැම ප්‍රභාවෙන් දිදුලමිනි
සලා ඉඟ සුඟ ලලිත නෙතින් මල්සර විදිනි
වලා තිරපට මැදින් සසල රුව නෙත ගැටිනි
සබා ගැබ දෙදරවා තැලෙන අත්පුඩි ඇසිනි
සුවහසක් පිරිස් මැද දුනේ මට තනිකමක්
තැවුල් ළතැවුන් මැදින් ඇසිනි සංගීතයක්
සංකාවේ ගනදුරේ කිමද මේ හීනයක්
පිපාසය දුරලන්න දෙනු ළඳුනි මී විතක්
අමාවක ගනඳුරේ දිලේ තාරකාවක්
සඳ නැතත් තරු පිපී දිලි නිවෙන සිනාවක්
මදින් මද අඩඳුරේ මම දිටිමි කලාවක්
මුදු බඳේ දුවටුනිද සුදුම සුදු වලාවක්
වීනාව දූතකට තදව ඉඳ සෝකයෙන්
සංගීත රාව දෙයි තත් අතර වැද සිහින්
රත් ඇඟිලි මත් දෙතොල යවයි දස අත නුවන්
ඉතින් දුන් ඇති රැඟුම මගේ මේ බස් අසන්
කුමටද ඔබ ඔය හැටි වෙහෙසෙන්නේ
නැතිවද මා ළඟ ඇති බව දන්නේ
නුවන් දහක් මැද ඇයි තෙරපෙන්නේ
මගේ දෙනෙත් තුල ඔබ රඟ දෙන්නේ
මල් පියලි පිණි තුෂර අද්දර
හීත මීදුමෙ හිත තියා
දියතලාවෙදි රුවක් නැගුණා
බදුලු දුම්රිය සරසලා
පාට පිරි කදු මුදුන් හිත මත
පැතුම් කන්දක බර තියා
දෙවසරක් රෑ තැපැල් දුම්රිය
සතුට හිත මත පැල කලා
කදුළු හේදී කදු මුදුන් යලි
ඔයට බොරදිය එක්කලා
ගෙවුණු කාලය නොදැක ඒ නෙතු
පැතුම් සුපැතුම් බොද කලා
වසර විස්සක් ගෙවී කාලය
දෙමෝදර පාලම බලා
යද්දි නිම්මී ගොඩවුණා යලි
පැරණි මතකය එක්කලා
කළු දුමාරය වැද දැවී ගිය
තාල වර්ගයෙ කැහැටු පොල් ගස
පිලිස්සුණු දෑතින් වඩා ගෙන
වාරු කරගෙන සිටියි සඳ වත
චන්ද්‍ර වංශයෙ උපන් කුලවත්
ගිලාන ව ගිය බිළිඳු සඳ වත
ශ්වාස රෝධක කටුක ගඳ තුළ
විසංඥව ගිය නුවර දොරකඩ
බිඳී ගිය පහනක් අතින් ගෙන
එබි එබී බැලුවා පහන් රුක
මිනිස් මුහුනක් සොයා ගන්නට
එක ම බෙහෙතක් අසා ගන්නට
බිඳ වැටුණු ශිෂ්ටාචාරයේ
කොන්ක්‍රීට් හා යකඩ ගොඩ ළඟ
අඩ දණින් නැග සිටියි බිත්තිය
පෙන්වමින් පපුවේ තුවාලය
පැසව පැසවා සැරව වැගිරෙන
වෙඩි තියන්නට එපා කියමින
එකෝමත් එක කුරිරු දවසක
මිය ගියා මෙහි වැටී ප්‍රේමය
බිඳුණු වීදුරු කටු ඇණී ළය
ගින්දරෙන් රතුවුණු යකඩ උඩ
වංස කුල ගොත් දර සෑය මැද
සුළඟ හඬමින් කහින හඬ මිස
මුහුද කෙඳිරිලි නගන හඬ මිස
කුලවතෙකුගේ කිසි හඬක් නැත
ව්‍යාධියෙන් පිරි මහා පුරවර
තුරුල්ලේ දී ම බිලිඳු මිය ගිය
ගොළු මවක මෙනි විසල් නගරය
(ණයක් අවශ්‍ය වැ ඇත )
කියවා හදාරා මනාලෙස
සැලසුම් සහගතව ම
තනියම වැඩියෙ ම් කම්පා ව
ධාතු පිරිනිවීමට පෙර.
තිස්ස නවතිනු තිස්ස....
කුණුම කන කැරපොත්තෝ ම
පිස දාති සිය මුව නිතරම
"හයියෙන් ඝන්ටාර ගහන්නෙම
ලොකුම පවු කාර උපාසක "
අවාසේ පිළිකන්නේ බෝතල් වල
පිරිත් පැන් අඩි ඇත සැරට ගොඩ ගොඩ
දෙවුදත් වොයිස් කට් දෙත් චැනල් වල
සෝපාක දෙසත් මුණි බණ තැබෑරුම් වල
අහෝ මනිඅක්ඛිත -
අනුත්තර දහම දැන් හොඳට මාකට් ය
කුමට වැඩියේ ද කල්‍යාණිය ට
විශාල ශබ්දයක් නංවාන?
කුණු කන්ටේනර් ද ගිනිගන්න ළඟ නැවු ද
ගාණකට ආවොතින් පරමාණු බෝම්බ ද
වඩම්මා ගොඩගහත් සුදුරෙදි හොරු
කරබාත් සිවුරු හොරු
තිස්ස තිස්ස....
නැඟපන් ගල උඩට මුවා එක්කම
මෙ සමය නොවේමැ ය ධර්මය ට
පියාගෙන් හිඟමනක් ඉල්ලා දෙම්
වැසියනට කන්ඩ බොන්ඩ දෙන්ඩ.
තෙ වේලකට අරං දෙමි
දෙ වේලක මිළ සොරාකා
වේලක් කන්න දිය හැක උන්ට.
බරණැස සිට පැමිණි වෙළෙඳුන්ගේ සිත් සතුටු කොට නතුකර ගැනීම සඳහා මූසිල විණා වාදනය කරයි.
මින් මුන් මනායා
කෙරෙමියි තොස මනායා
සිතින් සමනායා
කෙළෙද වීණා ගායනායා
එහෙත් වෙළෙන්දන් එම වාදනය අසා සිටින්නේ කිසිම ලෙසකින් සතුටුව නොවේ.
කොටින්ම ඔවුන් අසා සිටින්නේ නොදන්නා භාෂාවකින් කියන දෙයක්
අසන්නාක් මෙනි. ගුත්තිලයන්ගේ වෙණ නද අසා ඇති හෙයින් අන් සියල්ලම
ඔවුනට මිහිරි නැත්තේය.
බසකින් නොදන්නා
කියන පුවතට පෙන්නා
නොසතුටුව ඉන්නා
දනන් මෙන් උන් බලා උන්නා
සටහන; 'දනන් මෙන් උන් බලා උන්නා' කීමෙන් වෙළෙන්දන් වුවමනාවෙන් ම
එසේ කෙළේ දැයි කුකුසක් හටගනී. 'මෙන්' යන්නෙන් එය තහවුරු කළ හැක.
සංචාරක කුරුල්ලන්
අපේ පඹයා
යාළු කරගෙන......
සරුසාර කෙත් බිමේ
අස්වනු හොරා අරගෙන.....!
ඊ ළඟ වතාවේ
කුරුල්ලන්ගේ
රට බලන්නට ......!
පඹයා කැටුව යන්නට.....!
එන තෙක් කුරුල්ලන්
නොඉවසිල්ලෙන් හිඳී පඹයා
ඇඳුම් බෑගය කරේ දාගෙන .....!
ඒ ජූලියත් ඇවිත් ගියා
ස්ටීවන්
උඹ තාම ස්වීඩන්
පහේ පංතිය තාම ගල් වෙලා
දෙකේ පංතියේ වැඩ නිසා
පහේදි අපට තිබුණේ
ශිෂ්‍යත්වෙ පන්නන්න විතරයි.
උඹට නම් කිරි කජු
උඹ තමයි ෆස්ට්
අන්ඩර් ඉලෙවන් හර්ඩ්ල්ස්.
ඒත් ස්ටීවන්
ඊට පස්සෙයි වැටුණේ
දිගට හරහට බැරියර්
හර්ඩ්ල්ස් වගේ නෙමෙයි බං බැරියර්.
හොඳයි උඹ ගිය එක
චෙක් වෙවී ඉන්න එක චාටර්.
ඉඳ හිට ගියත් ඉස්කෝලෙට
ගල් ගුහාවේ මරිය සුරුවම පිටුපස
අඩියක් ගහන්නට
කැන්ටිමට නම් යන්නෑ .
උඹ ආස
ටින්කිරි ටී එක බොන්න බෑ
තිත්තයි වගේ.
"පේදුරු උඹ පර්වතයකි.
ඒ පර්වතය මත
මාගේ සභාව ගොඩ නංවමි" යි කී
ජේසු ක්‍රිස්තුට
ඇණ ගසන්න හොයද්දී
තුන් වතාවක්
ඔහු නාඳුනන බව කී පේදුරුතුමා
තාමත් බලන් ඉන්නවා
ඉස්කෝලෙ තාප්පෙට උඩින්
බැස යන හිරු දිහා
ස්ටීවන්
මෙහෙට ඉර බැස යන කොට
ඔහෙට පායනවද?
අපේ ආගම ටීචර්
අර රතු කොට සිස්ටර් - සැමුවෙල්
දැන් කන්‍යාරාමයේ මදර් සුපීරියර්
මේ ලඟදි දවසක හමු වී
උඹව ඇහුවා
ජේසු පිහිටයි කියන්නත් කිව්වා.
ස්ටීවන්
එන දවසක වරෙන්
මහල්ලෙක් වෙලා හරි කමක් නෑ
පහේ පංතිය ගැන
කතා කර කර ඉන්නට
පුළුවන් වෙච්ච දවසක
හුස්මක් කටක් ගන්නට.
උදේ වරුවක
ටී එකක් බොමු කැන්ටිමේ
රෑ වෙලා
අඩියක් ගහමු ක්ලබ් එකේ.
මල්වර වූ දිනයේම අල්ලපු ගෙදර අයියා ගෙන් දෙතොල් හාදුවක් (පුවතක්)
හිනැහුනා සමන් මල් හිස මතට වැටෙද්දී
විසිරුණා පිනි බිංදු මැටි කලය බිඳේද්දී
වැගිරුනා කිරි කඳුළු කොස් ගහට කොටද්දී
බිඳුනා පොල් ගෙඩිය ගේ තුලට ඇදෙද්දී
අත් පොඩියේ සුළං පහරට පහනත් නිවා
කහ පාට මල් ගවුම අලුතෙන්ම මස්සවා
චේන් පොඩියක් කරට අරුංගල් කනට ලා
උදා ඉර පිණි දියෙන් විකසිතව නැහැවුනා
නිවී නිවී දිලි යයි ගේ වටේ බල්බ් වැල
සහරා ෆ්ලෑෂ් බැක් කෑ ගසයි සවන් වල
බෝතලුත් හිස් වෙයි එකින් එක මේස වල
මල්වරය විකිණුනා සාදයේ පෙලින් පෙළ
අමතකයි සියල්ලට දෝනි ගෙයි කෙලවරේ
බැලුවා එකින් එක තෑගි ටික කළුවරේ
උඩහ අය්යා හෙමින් දොර ඇරියා කාමරේ
තොල් තෙමි ගෙන ගියා පළමු දා මල්වරේ
අරගෙන අලුත් අරුතැ'ති හෙළ පද වස් සා
පරගැති නොවන ලෙස සකසුරුවම් බස් සා
තරඟය නොමැති තරඟයකට මුල ගස් සා
වර-වර කියන්නට හිටි - වන - කවි දස් සා
අසන දනා තළමින් අත්පුඩිය වැරෙන්
කියන කතා අසමින් නද හඬන සැරෙන්
දසුන මවන මනසේ පද ගැටෙන සරින්
අසුන ගනී දෙ පස ම කවි වරමෙ නමින්
රෙද්ද බැනියම ද කලිසම කමිසය ද
ඉද්ද ගැසූ සේ සැරසුම යුදයට ද
විද්ද පද හියෙන් දෙ පලු ව කැපුමක ද
සද්ද මිසක හිතවත්කම එලෙස ම ද
ප්‍රතිවාදියා වේගෙන් පවසන දේ ම
අනෙකා හරවමින් ඔහුට ම පැවසී ම
තරඟයකට පුරයි දිනුම ද පැරදී ම
වෙනසක් නොවෙයි හැකියාවයි පෙළඹී ම
උපමා - උපමේය ගෙන හැර දක් වන් නේ
කළතා රසය මිහිරත් උපදා දෙන් නේ
වෙසපති නැතොත් විසපති නැටුමට එන් නේ
කිවිපති - කිවිපතිනි කවි හර සර සන් නේ
රස - බර අරුත් දනවන තැන-තැන ගෙතුණූ
කවි -කර කියන අන්දම අහගෙන සිටිනූ
කට - සර වදන් ඉඳ - හිට මතු වෙන ළකුණූ
හැම - වර උලුප්පයි සිත උපදන කරුණූ
සියුමැලි ලෙසට සඟවා පද අතර බ හා
දෙන්නට සොඳුරු සිතුවිලි රූ හදට ව හා
සඟවන අරුත පැති දෙක පිහියකට එ හා
ගෙන යන්නට කියමු කවිකම දන්න ම හා
අවුලා ගනිති සමහරු පද පුපුරු ගිනී
වවුලා වගේ එල්ලී සිල බඳිති වැනී
කොවුලා පරාදයි නිතර ම ගැයෙන තැනී
අහුලා ගනී කට පල්ලෙන් බහින පැනී
සැසැඳුම ගැළැපුම ද පද අරුත ද අ රු ම
වෙසෙසෙකි විමසුමට සෙව්වොත් පද න රු ම
දැනුම ද හැකිකම ද පද පෙරළියෙ පි රු ම
හිටි-වන-කවෙන් කිව හැකි දේ ඇත පු දු ම!!
01/07/2021
කර උස ගියවුන් පසුපස යනෙන තැනෙක සිටියත් මිටි
බාල එකා මං හරි පුංචී
දුව-පැන ඇවිදල උන් හා හරි-හරියට ඔට්ටු කළත්
අපෙ පවුලේ මං නැට්ටිච්චී
කෙළිලොල් වයසේ සිටියත් දඟ කෙළමින් කොලුවකු සේ
ළෙන්ගතුකම මං වෙත වෙච්චී
වෙනවුන් නැති එක ම කෙල්ල මා වූ සඳ වහළය යට
බඩපිස්සිය විය මං පැංචී
ඉපනැල්ලේ වගා බිමේ පඳුරු අස්සෙ හැංගි-හැංගි
හොරා පොලිස් කළ මං හිච්චී
එක මිටියට පොත් අරගෙන වක්කඩ පැන නියර දිගින්
පාසල් ගියෙ අව්වේ පිච්චී
පාසල නිම වී එන විට අම්මා දෙන බත් පිඟාන
එක් වර මගෙ ඔලුවට වෙච්චී
එදා දවසෙ උගත් යමක් ගණිත-මිණිත ශාස්ත්‍රයක්
මතක ඉසව්වේ නැහැ නිච්චී
අපට හොරා දවස් ගියා ඒ දවසට - දෙකට අපේ
කවුරු නැතත් අම්මා - තාත්තා සැර වෙච්චී
හරි - හරියට ගමේ ළමුන් එක්ක ඔට්ටුවට යන්නට
වෙනද වගේ ඉඩ නෑ මට දමා තහංචී
කල්-යල් ගත වෙනකොට මගෙ සහෝදරයො සමඟ වුණත්
දඟ දමන්න ඉඩ නුදුන්නෙ අපේ ආච්චී
අම්මට දොස්-දෙවොල් තියල කියා දුන්නෙ යස පාඩම්
පාසල තුළවත් නැහැ මට එහෙව් ලැබිච්චී
ටික දොවහක් ඔහොම යද්දි ඇඟ හිරි ගඩුමල් පිපෙද්දි
අපේ අම්ම මගෙ ළඟ වෙච්චී
කාරණාව කනට කරල රහසෙ කොඳුර- කොඳුර කියල
ඉවර කරල මං ගෙට වෙච්චී
කට්ට කරුවලැ’ති කාමරෙ පිරිමි පුළුටු දකින්නැ’ති ව
හිටියනෙ දඬුවම් විඳ පිච්චී
නැකැත් බලා කල-වෙලාව හරි මොහොතෙහි නහවා මා
දුන්නැයි හැඳගන්නට කච්චී
නැගී සුපුන් සඳ වාගේ මෝරන නිළ’ඹරෙහි දිලෙන
මගෙ රුව මගෙ නෙතු නොදැක ම මං රැවටෙච්චී
කල-එළි වී පාට ගැහෙන රෝස දෙකම්මුල් පැහැයත්
වැට අද්දර රෝස ගහේ මලට පළච්චී
දෙ කඳු මුදුන් වී තිරසට හිස ඔසවන තිසරුන් සේ
ළැමදෙ හංසයන් දෙ දෙනා දෙ පසට වෙච්චී
වෙනදට දුව-පැන ඇවිද්ද මගේ දෙ පා පසු බසිද්දි
උකුළ මුකුළු නොකර පුළුල් උකුළක් වෙච්චී
ගෙදර-දොරේ වැඩපල මුලුතැන්ගෙයි ඇති ඉවුම්-පිහුම්
කුඹුරෙ ද හේනෙ ද වැඩ ටික-ටික හුරු වෙච්චී
උගෙනුම ගෙනියන්නට බැරි තරමට බර වැඩි වෙනකොට
පාසල් ගමනත් යල-මහට ම ඇති වෙච්චී
දුක් කරදර විඳ - විඳ අත කර ගැටමල් පූදින තෙක්
කුඹුරු-හේන් කර බත සරි කළ අප්පච්චී
කල් යනකොට ඇඳට වැටී “හැම කරදර” බර ඉසිලූ
මහපොළොවයි අප්පච්චිත් මට නැති වෙච්චී
කුඹුරෙ වැඩත් අඳයට දී හේන කරන්නට සිත් වී
වල් කොටලා ගිනි තියලා දඬුවැට බැඳි මේ හිච්චී
බිම පෙරලා වැහි බලලා බෝග ඇටත් වට ඉහලා
පැලවෙන තුරු ඒ රැකලා මට ඇති වෙච්චී
ඇf`ග්-පතේ මහන්සියක් කිසි ම දිනෙක නොපෙන්නුවත්
අප නොදැක්ක ඒ අමාරු ඔහු විඳ ගච්චී
එහෙව් අමාරුව තියෙද්දි දොළක සිනා මුව රැඳිච්චි
අප්පච්චියෙ නුඹේ මුහුණ මට සිහි වෙච්චී
මටත් කලක් ලැබු දවසේ ගෙදරින් මං ගිය දවසේ
අපේ අම්ම තනිපංගලයෙන් කොං වෙච්චී
කර උස් ගොස් හිටිය මගේ සහඋදරයො පිට ගං ගිය
මං නැතිකොට එකා-දෙන්න ගෙට මං ගැච්චී
උන්ගෙ ගෑනු පහුවෙකොට-කොහුවෙලා ගියා ද මං ද
ගෙට ආ උන් එක දිගට ම ගෙදර රැදිච්චී
එදා වගේ නිමක් නැති ව උන්ට උයල කන්න දෙන්න
මගෙ අම්මා හොරෙන් ම මුලුතැන්ගෙට වෙච්චී
හිච්චි නගාගේ සැහැල්ල මින් නිම වෙච්චී!!
හරිත තෘණ භූමියක් වෙන්නම්,
සා ගින්නෙ සරනා මුව රදුන් නුඹ නම්,
ළවැලි පිරි මුදු මංපෙතක් වෙන්නම්
කටුකොහොල් පිරි රළු මගක නුඹ යා නම්
තරු මලක් වෙන්නම්
නුඹේ නෙත ළඟ
රැයේ ගැඹුරෙදි මං,
සඳ එළිය වෙන්නම්
තනි නොතනියට
සෙවනැල්ල රඳවන්නම්.
තෙළිතුඩක් වෙන්නම්
හදේ බිතු, සිතුවමින් සරසන්නම්
පන්හිඳක් වෙන්නම්
හැඟුම් කවි ගී අකුරුකර දෙන්නම්
මද පවන වෙන්නම්
ගතේ දාහය දුරට පළවන්නම්
දොළක් වී ඉන්නම්
නිදනතුරු නුඹ සෙමෙන් මුමුණන්නම්
නිම වන තුරුම මා ආ ජීවන ගමන
නිමවන දවස හැර යමි මම නොම දුකින
එනමුත් මගේ හද පත්ලේ නිති දැවෙන
සුසුමන් නැගෙයි සිහි වී මට දරු පෙමින.......
දරු පෙම මිසක මගෙ හද තුල නිති රැඳුන
අතහැර යන්න නොහැකිව මට දෙයක් නැත
අවැසි වුවත් කෙටි වන්නට මේ සසර
දරුවනි නුඹයි මම සසරට බැඳුණු තැන .......
මිනිසුන්ගෙන්
උපකාර පතා බලා සිට
සියලු බලාපොරොත්තු
සුන්වුණෙන්
මම මගේ ඉල්ලීම්
යොමු කළෙමි
පොළවට හා
ගල්මුල් වෙතට
මහා ඉරාකියානු කවි
හමාඩ් අජ්රඩ්
(පූර්ව ඉස්ලාමික උමය්යාද් (Umayyad) යුගයේ විසූ කවියෙකු වන හමාඩ් අජ්රඩ් (Hammâd ‘Ajrad) ක්‍රි.ව. 778 දී පමණ මියෙන්නට ඇතැයි සැළකේ. ඔහුගේ මේ කවිය උපුටා ගත් මූලාශ්‍රය මෙසේ ය : Le Diwan de la poesie arabe classique, Paris Gallimard nrf 2008, p.142).
මවගෙ තුරුලේ ඇයගෙ සෙනෙහස ලබන පොඩි දරුවකු වගේ
සොබාදහමට තුරුල්වී ඉදිනවිට හුරතල් වෙලා
ගලා මදනල වෙලා සියොලග සෙනෙහසින් මා සිප ගනී
හිරුගෙ කිරණින් ලැබේ උණුසුම් හාදු ජීවන බල වඩා
සොබාදහමින් උපත ලද මා සොබාදහමම බව දැනේ
සොබාදහමින් පිට දෙයක් මාතුළින් දක්නට නැති නිසා
මගේ හිතතුළ මමත්වය යයි සොබාදහමට දියවෙලා
මමත්වය නැති සමස්තය ඇත නිවන් සුවයට පත් වෙලා
නීල නුවන් පුරා සලමින් ඒ රඟ මඬල
සීල වුව මගෙත් කරවන හද සසල
සේල සුදු මුදු ගැබ පුරා කරනා පතල
ආල හැඟුම් සොලවන වුව කුළු විසල
ගිගුම් දී බෙර හඬට පා තබන පද කාලයට
බිඟුම් වුව මත්කරන මුමුනනා නද තාළයට
රැඟුම් දෙන ඔබ දෙවුර නලවන ගෙල මාලයට
හැඟුම් වෙන කෙසේ පවසමිද මතුවුන ආලයට
කොතෙක් කල් ගෙවා දැමුවද රන් චීවරයෙ බර
මෙතෙක් ආ මග නිවා දැමුමට සසර වෙර දර
නෙතෙක් නැත නෙතේ බැඳි හැඩ නොයෙක් වර
කතක් නොම වේද කළ මෙ මිහි මඬල සුර පුර
රැඟුම් කළ දවස අමතක කරනුයෙ නොලසා
හැඟුමි බරව එය කියනුය මෙලෙසා
වැඳුම් පිදුම් ලැබුවද නිසි කළ නිසි විලසා
රිදුම් දෙන හැඟුම් පවසමිද මා වෙන කෙලෙසා
හදසින් රඟන නාලිය කිම බඳු සේය
මසැසින් දකින කිඳුරිය වන සිත් සේය
දුරැසින් බලා වූව රුව වරු එකසේය
මනසින් පෙරුම් පිරුමට වූව දුක සේය
නැගිට්ටා මම උදෙන්
හැමදෙනාටම කලින්
දැන් බලා ඉන්නවා
බෝජනය ලැබෙන තුරු
ඔබත් දැන් අවදියෙන්
පෙනෙනවා මට දුරින්
මගේ රසවත් කෑම
සැදෙනවා ඔබ අතින්
ඊලගට මම ඉතින්
ඇවිදින්න යනවනේ
මගේ හිතේ ඇති සතුට
කියාගන්නට බැහැනේ
අතගගා මගේ හිස
ඔබ දෙදෙන කියනදේ
තේරුනේ නැතිවුනත්
දන්නවා කියනදේ
මගේ බසින් කියන්නම්
මගේ ආදරේ ඔබට
මමනේ ඔබෙ නිවහනේ
ඔබේ සිවුපා පුතුන්
රෝසමල් හිනැහෙයි අවිහිංසක ව
පෙති නොතලා බී මධු
රිදෙතැයි මුදු පෙති - පිරිමැද ආදරෙන්
නොබිදෙන බදුනකට
පුරවා සිහිල් දිය
අසුරා රෝස මල
දුරින් සිට හැඩ බැලු
සෙනෙහසද මෙි!!!
තැලිි කලුතලා වී මුදු කොපුල් පෙති
මුකුලිතවු මලෙකි
සැලෙනා බියෙන්
වාරු නැතිි අතපය රිදුම් දෙයි
එල්ලයක් නැතිව ලද
චණ්ඩ පහරින් දසත
අහස හා මහ පොලොව
ශෝකයෙන් කම්පිතව
නොහෙලා කල්පයක් එකතු කල
කඳුලු වැල් ගලායයි
කල්පාන්ත මෙිඝය බඳුව
ඉකිබිඳුම් අතරින් පෙරි
රෝසපෙති තෙම තෙමා
සොවින් බරවු සුසුම් රැළි
හඬගා කියයි නොකියු කතාවක්
කකියන හදවතක...
අත්කර ගන්ට මත්තෙන්
දුන් සෙනෙහස රෝස කැකුලියට
නෙලා සතුකර ගත් පසු
පලා ගියෙ කොහිදයැයි සිතමින් ..!
ජීවිතේ තනි මංසලේ තනිවුන..
හිතේ කඳුලු බිඳු නිවා දමා..
ම'හිත් කොනේ නුඹ සැඟවුන අරුමය..
තවමත් මට සිහිනයක් වගේ...
සෙනෙහස ඉතිරෙන සොඳුරු සිහිනයේ..
හෙට දවසක් නැති හෝරාවේ..
ප්‍රේමය මනරම් සොඳුරු සිත්තමක්..
දෙහදක් එක්වන නිශාන්තයේ..
එක්වීමක් නැති අපේ කතාවේ..
වෙන්වීමක් පමණයි ඇත්තේ..
ප්‍රේමය රුදුරුයි අහිමි හිත්වලට..
හමූවීමක් නැති මතු දිනයේ..!
පොඩි කෙඳි තුඩින් ගෙන තබමින් රටාවට
කොණ්ඩා කුරුළු යුවලක් නිසි වෙලාවට
ගැබ්බර නිසා දරු සෙනෙහසෙ දයාවට
සැදුවා කැදැල්ලක් දුටුවෙමි මනාවට
මව් සෙනෙහසේ අග රැජිණිය කිරිල්ලී
ලැග සිටිනවා දුටුවෙමි එහි නොසෙල්ලී
තම හිමි ලඟට එයි සෙනෙහෙන් බැලිල්ලී
මොන මොනවාද කිචි බිචි ගා දෙඩිල්ලී
දරු දෙදෙනා ම සුව යහනේ මා ගාව
ලද උණුසුමින් සිටිනව හදවත යාව
දින දෙක තුනක් යනවිට මෙහි සිරියාව
හිමියනි සතුට වඩවයි ඔබ නෙතු ගාව
ඇය කී ලෙසින් කූඩුවෙ කිචි බිචි නාදේ
මව්පිය දෙදෙනගේ ගී මිහිරට යාදේ
ලොකු තුඩු අතර පොඩි තුඩු මුවඟට වීදේ
නව පරපුරක ගමනක පෙර මග පෑදේ
මෝරා වැඩෙන විට සවිබල පියාපතේ
නව ලෝකයට පියමං කළ යුතුව ඇතේ
මා පිය රැකවරණ ලොව දහමකැයි සිතේ
සුරතල් නිවාස පාලුයි ගී මිහිර නැතේ
(සත්‍ය සිදුවීමක් ඇසුරු කර ගෙන)
2020.04.15
වලා වඳුලේ සරා සඳ නැගේද
මවා සුදිලේ දිනා තරු පිපේද
හමා සිසිලේ වෙලී සිප සැලේද
ඔබේ තුරුලේ අමා රස තියේද
මල් සිහින මාවතේ ඔබ ආවාට
මල් දුන්න හීසැරේ ගෙන පෑවාට
මල් තුහින පාවෙලා මම නෑවාට
මල් මාල දාවිදෝ මගේ වූ දාට
පෑව හිනා වත හීනෙන් පේනවද
හීන නොදුටු දිනයක් මට තීනවද
කෝල නොවී දෑතම ගෙන පානවද
රෑට සඳේ සඳ කිරණින් නානවද
තාප්පය උසයි මුදුනේ කටු ඇන්න
ගේට්ටුවෙ දම්වැලයි ලොකු ඉබ්බෙක් ඉන්න
නොකැමති නමුත් කිසිවෙකු මෙහි පිවිසෙන්න
කාගෙන් රකින්නද මේ මුරකා ගොන්න
දෙපයින් ඇවිත් පමණක් හැකි පිට වෙන්න
උරතල මතින් ආවොත් වෙයි නවතින්න
දිවියේ රැස්කරපු හැමදේ හැර යන්න
සිදු වුණ අය එන්නෙ නිරතුරු සැත පෙන්න
ජේසුට නොතිබු දේ පල්ලිය තුළ රකින
අත්හල නමුත් හිමි පන්සල රැස් කරන
සැමදේ රකින්නට මුරකාවල් යොදන
ලොව අරුමයක් වෙද රකිනා එක සොහොන
මරණය සොරා ගන්නද පිටතින් පැමිණ
එලියට ඇවිත් යයිදෝ ජීවිතෙ රැගෙන
මරණය නියත බව තේරුම් නොම ගැනෙන
මිනිසුන් නිසා පවතියි ලොව හැම සටන
සොරකම ඉහළ සිට පහළම තැන තිබෙන
අදවන් දිනක හැකිවිට සොහොනට පැමිණ
තේරුම් ගන්න මේ අති වැදගත් කරුණ
හැරයමු සියළුදේ දිනයෙදි අප මරණ
පුරුකෙන් පුරුක බැඳ නොකැඩෙන ලෙස තදට
භවයෙන් භවයෙ දුක උරුමය ලෝ සතට
ගිනි ගෙන දැවෙන වස විස පිරි සිත් මලට
සමකර තිබුනි ගිනි වැල් රන්දා මුලට
දුක හා දුකත් උපදවනා සියළු මග
එය දුරු කරන රඟ පෙන්වන දහමෙ වග
මගහැරි දනට පෙන්වා දිගු සසරෙ රඟ
ඇත් අස් සිංහ ගව නොනැවති දුවති මග
ඉන්නට ඇලීගෙන සසරේ නොනිමි කලක්
ගන්නට තවත් සොයලා රස නොවන සැපක්
පෙන්වා දෙන්න අසාවට නොමැත නිමක්
නෙළලා තිබුනි සියුමැලි ලිය සදිසි වැලක්
බිඳහැර සියලු තණ්හා බැමි බැඳි නොයෙක
දැන එය නොවෙද ගිලනුයෙ සසරම දුකක
ජලයත් කිරෙන් වෙන් කල සියුමැළි තුඩක
රුවකින් තිසර පෙන්වයි මහිමය සිතක
නසමින් දෝස සසරේ බැමි බිඳ හරිමින්
මනසින් සෑම විටකදි යහගුණ වඩමින්
කෙලෙසුන් පාගමින් එය හිමිහිට මරමින්
පියුමක් පීදිලා නිවනේ සුව මවමින්
පොසොන් සඳ අවපසට යන සඳ
ඇහැල මල් පූදින නිමේශය
තිසා වැව් ජල තලේ පොපියන
තඹර තරමට දන්නෙ කවුරුද ...?
කහම කහ පාටින් දිදුලුවන
සිවුරු පොරවා ගත්තු තුරු පෙළ
ඇසල පෝයට සමිඳු පුදනට
මග දෙපස පේවෙන අපූරුව ......
අතු පුරා එල්ලෙනා මල් වැල්
හමන පවනේ එතී සිහිලැල්
පලාතෙම කහ පැහැය තවරයි
උමතු කරවා බඹර හසරැල්......
මීදුමට සැගවුණු
පිණි තැවරි කැකුලක්
පිබිදෙන්නට කැසකවන
හිමිදිරිය ඇවිදින්
ලංව හිමිහිට
සුවඳ දී නැහැයට
රහසේ කැකුළු තුඩ
අයදමින් ජීවිතය
විඳින්නට නිබදවම
හුස්ම පොද රහසේ
ගිම්හානයට
කලියෙන්
ශීතලේ සළුව යට - කිති කවනු කිමද නුඹ
සඳත් නැත කොඳුරන්න - රැයේ නිදනු ද කෙලෙස
මල්වර වු එසඳ විත් - කවි ගීත මැව්වාට
දිගු ගඟක පදිමි ඔරු - බිඳුනු හබලෙන් දුබල
මහ මූදෙ ඝෝර හඬ - දුරින් ඇසෙනා විටෙක
හබල ඔරවයි බලන් - නුඹේ නෙත් වැසෙන'යුරු
ජේසු සමිඳුන් කුරුසෙ - ඇන සමග සිරවෙද්දි
නුඹ කිමද අනාථවු - ඇට සැකිලි මවන්නේ
ඈත දුර පැල් පතින් - නැගි සුසුම් රාවයෙන්
නැවත පැදවෙන හබල - ඇදෙනවා එගොඩටම
එසැණ ඈතින් හමයි - දුකින් නැගෙනා සුවඳ
කැඩුනු හබලෙන් පදිමි - පිපි එමල සිඹින්නට
නාඬන් පුංචි ළමයිනේ, කෝලම් ගමට ගෙනැල්ලා
පාඩම් හොඳින් මතක් කර, ඇවිදින් වාඩි වෙයල්ලා
සාතන් කඩුව කරකවා, ත්‍රාසය දසත පතුරවා
ජූරිය එකට පටලවා, භීතිය නොමිළෙ බෙදනවා
සාමය පිනට යටවෙලා, යුධ අවි දැයට පුදනවා
රාවණ උතුරු සළුව දා, සුරලොව තතු විමසනවා
නාඬන් පුංචි ළමයිනේ, කෝලම් ගමට ගෙනැල්ලා
පාඩම් හොඳින් මතක් කර, ඇවිදින් වාඩි වෙයල්ලා
කාලය අබුදස්ස වී, සුළඟට ගහගෙන එනවා
ලෝකයෙ පොරි පතුරනවා, රෝබිය බිලි ඉල්ලනවා
රාවණ පෙරහැරෙ යනවා, වට පිට සොහොන් ගණිනවා
සත හට නිවන ලැබෙනවා, සාතන්ලත් තනිවෙනවා
නාඬන් පුංචි ළමයිනේ, කෝලම් ගමට ගෙනැල්ලා
පාඩම් හොඳින් මතක් කර, ඇවිදින් වාඩි වෙයල්ලා
මහා සැඩ පහර අකුණු සැර මා ගතට .......... වැදුණාට
මහා ගිිරි දූර්ඝ, හිම කුණාටු වැසි වර්ෂා .......... ගැලුවාට
මහා සයුර හා ඈත ක්ෂිතිජය නර ජීවිත .......... නැසුවාට
නැත, මා ලතවන්නේ දුක් ගිණි ගොඩ .......... ගැහුවාට
මහා නීල ක්ෂිතිජය, නෙතට මනාව .......... පෙනුණාට
මහා සමුදුර තරණය කර මා නොයමි .......... කිසිදාක
සුභා සුබ සිහින දැක කදුළු නොසළමි .......... කිසිදාක
හොද නොහොද ලොව රජයයි මා නොමියන .......... තුරාවාට
දිරාගිය වියලි කය පන නලක රැඳී
පිහිටක් යදින විට නුහුලන බර කරදී
මසුරන් සොරා ගෙන යදියන්ගේ, දුකදී
සුර සැප විඳින්න ට තව තුසිතයක් සැදී
අබල දුබල ගත වෙර වීරියක් නැතී
මහලු වියට බත සරි කර බැරි විටදී
බදු මුදලින් මස්සක් දෙන නීති නැතී
රජෙක් කුමට දුක හඳුනා ගත නොහැකී ...
දහමක් නොඇසෙනා පරසුද්දගෙ රටෙහී
දිලින්දෝ කොරුද යහමින් දිවි ගෙවතී
වියපත් කලට නොමිලේ සැලකිලි කෙරෙතී
හුදු "මිනිසෙක්" දැහැමි ව රට දැය සුරකී...
*****වියපත් සහ අබල දුබල පුරවැසියන් ගේ
මූලික අවශ්‍යතා ලබාදීම රජයේ යුතුකමකි.
අවාසනාවකට එම මුදල් මැති ඇමතින්ගේ
සුර සැප සඳහා යෙදෙනා රටකි ලංකාව.*****
.07/06/21
පුරේ බරණැස, ඇසල පෝ දා නොවන් සිරියෙන් ඉතිර තිබුනා
නිමිති සතරක්,, උදෑසන දුටු කුමර සිත තුල නැගී වැඩුනා
රැයේ මැදියම්, නළගණන් සිටි විරූ දැක්මෙන් මනස පෙළුනා
සුවේ පස්කම්, අස්ථිරයි. ඉන් නික්ම යන්නට ඔහුට සිතුනා
ලෙඩෙක් අසරණ දුකින් තෙරපුණ, පැවිදි රුවකුත් සෙමින් යන සැටි
රුවක් වැඩිහිටි දුබල ගමනින් මනින පියවර ඔබ බලා සිටි
කයක් මළමිනි අදෝනා මැද ඔබට පෙනුනා රැගෙන යන සැටි
සිතක් නොසැලෙන මෙසේ පෙළබුවෙ, එදා දුටු ඒ සතර පෙර නිමි
නිෂ්පලයි මේ සැපත් සම්පත්, තාවකාලික විනෝදය නම්
දුෂ්කරයි ලොව ලෙඩ දුකින් පිරි, සසර ගමනට නිමක් නැත්නම්
අස්ථිරයි ජීවිතය තණ අග පිනි බිදක් ලෙස විසිනු වේ නම්
සම්පතයි සැම දේම ලෞකික හැර දමා ඉන් ඉවත් වේ නම්
සදාදර වූ කුමරි සුවසේ නිදි ලොවට පිවිසිලා සිටියා
දයාබර වූ පුත් කුමරුවන් ඈ තුරුලෙ සැතපිලා සිටියා
ලයාදර වූ දසුන දුටු මුත් සිතේ තිර බව නොසැලි සිටියා
සදාකල් යලි නොඑන අදහස වෙතම තරයේ එල්බ සිටියා
ආදරය පිරි මුදු පහස යලි කවර දා කෙලෙසින් විදින්නද?
යසෝදර කුමරිය කියූ රස තෙපුල් කවදා යලි අසන්නද ?
බිලිදු පුත් රුව ගෙනෙන සුරතල පියෙකු ලෙස කවදා දකින්නද ?
ලෝ සතුන් වෙත පතල කරුණා ගුණය එතරම් තියුණු වූවද ?
පිපි මල් පරව අවපැහැවී බිම වැටෙන
පරඩැල් සැලි සැලී ඉකිබිඳිමින් හඬන
සියොතුන් ඉගිළ යන අතු ඉති තනි කරන
සැන්දෑවක් ඇවිත් බිම් කළුවර රැගෙන
පොල් අතු වහල වැහි දවසට බිම තෙමන
කළු ගැහි ගැහී කළු රූ අඳුරේ මවන
නොපෙනෙන තැනක ඇවිදින විට රෑ සිහින
කඳුළක් ඇවිත් තනියම ඇස් කොන් තෙමන...
වෙව්ලන ඇඟිලි තුඩඟින් හිස පිරිමදින
නුඹ තනි නැත කියා මට නොකියා කියන
සෙනෙහස අඩු නොකොට මා හදවත රකින
රෑ සිහිනය නුඹද නොපෙනෙන තැන ඇදෙන....
කිසිවකු නැති රැයෙක මා තනියෙන් සිටින
රෑ සිහිනෙන් ඇවිත් පැදුරට මා නිදන
තුරුළු ව සෙනෙහසින් මා හිස පිරිමදින
තනිකම නුඹ ය මගෙ තනියට තනි රකින...
මල් කැකුළු වැනි සිඟිත්තන්
දෙමාපිය දෑස් මෙන් රැකෙයි
ජීවිතය ඔවුනට මල් යහනාවකි
සැප සම්පත් වරුසාවකි
මව් පිය -ගුරුවරුන් බිහි කරති වියතුන්
උසස් නිලතල දරත් අභිමානයෙන්
සුපිරි හෝටල් වල තරඟෙට
විවාහද සිදුවෙයි නොපමාව
මහලු දෙමාපියන් කෑවද බිව්වද
බෙහෙත් වෙලාවට ගත්තද
සහෝදරයන් ඉන්නේ කොහිද
නැත සොයන්නට දැනුමක් -විවේකයක්
පන්සල පල්ලිය අමතකයි
පරිගණකයට පෙම් බඳියි
මතක කෙමෙන් මොටවෙයි
පැමිණි වේගය අඩුවෙයි- පවුල අවුල්වෙයි
ගුණ දම් වඩන මල් කැකුළු
ගල් අතර හමුවෙන මැණික් ගල් මෙනි
ඇවිදින පයේ තදින් හැප්පෙයි
මල් කැකුළු කවදත් ලොව සුවඳ කරයි
දිලි දිලි අඹරෙ නෙක තරු කැට පායනවා
ඒ තරු එලිය යට පැල මල් පූදිනවා
විහඟුන් සතුන් සීපා හඬ රැව් දෙනවා
දහමය ඒ සොබා සැමකල පවතිනවා
ඇළ දොළ ගලන හඬ සැමදා සිහිවෙනවා
කඳුහෙල් මතින් ඒ දිය කඳ බිහිවෙනවා
සරතැස නිවාගෙන මහ තුරු වැජබෙනවා
ලියවැල් සෙවන ලබමින් නීති සැරසෙනවා
හිරු රැස මද නළින් මුසුවී පැතිරෙනවා
දළු කොළ ළපටි මල් සුවඳින් ඉතිරෙනවා
ගෙඩි මල් අතු රිකිළි බරවී මෝරනවා
දසුනින් පවා සිත් සතුටින් ඉපිලෙනවා
මල් පැණි පුසුඹ ලොව දස අත විහිදෙනවා
මීමැසි සියොත් කැළ ඒ වෙත පියඹනවා
පීදුණු ඉදුණු ගෙඩිවල පැණි බේරෙනවා
වඳුරන් ගිරව් ලෙහෙනුන් විගසින් එනවා
මේ නම් අසිරියකි සුන්දර නිති දකින
කොයි කාගෙත් පිනකට නිතැනින් ලැබුන
එහි සුව විඳින ඔබ මා කාගේත් ලකුණ
රැකුමයි සදා දිවි හිමියෙන් පණ ලෙසින
අඳුරු වනාන්තරයේ සෙවනැලි අතරින්
පා සටහන් නොමැති පාළුව ගිය මාර්ගයේ
හති වැටෙන තෙක් ඇවිද ගෙන ගිය විඩාපත් සෙබලෙකු
අවසානයේදී ගරා වැටුණු මන්දිරයක් දුටුවේය
ද්වාරය වෙත අසීරුවෙන් ගිය ඔහු එහි සීනුව හැඞවීය
බොහෝ වේලාවක් සීනුව හැඞවූවද ද්වාරය විවෘත නොවීය
එහෙත් අවසානයේදී ද්වාරය බොල් හඞක් නඟා විවෘත විය
විවෘත වූ දොර පළුවෙන් ඔහු දුටුවේ අභිරූපිකාවකි
කළු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටි අභිරූපිකාව
අමුත්තාට මන්දිරය තුලට එන ලෙසට ආරාධනා කළාය
වෙහෙස නිදිමත කුසගින්න මැඞලා
අමුත්තාගේ සිතට නුහුරු බියක් ආවේය
එහෙත් අඳුරු වනයේ ඇති එකම ක්‍ෂේමභූමිය
දැන් ඔහුගේ දෙනෙත් ඉදිරියේය
කුමක් කරම් ද ? ඔහු මොහොතක් සිතුවේය
එහෙත් දැන් විකල්ප කිසිවක් නොමැත
අමුත්තා මන්දිරය තුලට පැමිණියේය
ඔහු මන්දිරය තුලට පිවිසි විගස
බොල් හඞක් නගමින් බරැති ලී ද්වාරය
ඉතා තදින් වැසී ගියේ අපායේ දොරටුව මෙනි
යුදයේ නිපුණු සෙබළා තැති ගත්තද
ඔහු තම බිය අභිරූපිකාවට නොපෙන්වීය
ඔහු ඇයගේ උන්මාදනීය දෙනෙත් දෙස බලා සිටියේය
මැය කවරෙක්ද ? මහ වනයේ ඇය කුමක් කරන්නේද ?
ඇය දේව දූතිකාවක්ද ? ඝෝර යක්‍ෂණියක්ද ?
කැළඹුණු සිතෙන් ඔහු තමන් ගෙන්ම ඇසුවේය
ඔබට වෙහෙස මෙන්ම කුසගිනි ඇති
කිංකිණි ස්වරය පරදා අභිරූපිකාව කතා කලාය
මගේ සේවිකාවන් සියල්ල මේ වේලාවේ නිදි
නමුත් මා ඔබට කෑම මේසය පිලියෙල කරන්නම්
නොබෝ වේලාවකින් ඇය මේසය පිලියෙල කළාය
මස් මාංශ සහ එලතුරු වලින් පිරී ගිය මේසය මත
තඹ පැහැති වයින් බෝතලයක්ද විය
කුසගින්නේ සිටි සෙබළා මස් ගාතයක් අතින් ගෙන
අනුභව කරමින් තඹ පැහැති වයින් පානය කලේය
එහෙත් අභිරූපිකාව කිසිවක් අනුභව කලේ නැත
ඔබ කවරෙක්ද ? මඳක් කුසගිනි නිවුනු පසු
කුකුස සන්සිඳනු වස් සෙබළා අභිරූපිකාවගෙන් ඇසීය
ඇය අද්භූත සිනාවක් පෑ නමුදු පිළිතුරක් නොදුන්නාය
ඔබ කවරෙක්ද ? ඇය ඔහුගෙන් ඇසුවාය
මම අතරමං වූ සොල්දාදුවෙක්මි ඔහු කීවේය
එහෙත් තමා කවරෙක්ද යන වග ඇය තවමත් කීවේ නැත
ආහාරයෙන් සන්තර්පණය වීමෙන් පසු
ඔහු මේසයෙන් නැගිට්ටේ ඇයට ස්තූති කිරීමෙනි
ඔහු තම දිගැති අසිපත අත පොවනා දුරින් තැබුවේය
ඔබට සයනය කිරීමට මා ඇඳ පිලියෙල කරන්නම්
ඇය සෙබළාට කියා සෙමෙන් ඉවත්ව ගියාය
ඔහු අඳුරු මන්දිරය පුරා නෙතු යවා බැළුවේය
ඉතා වටිනා පෞරාණික ගෘහ භාණ්ඩ
රනින් හා රිදීයෙන් නිම කල පිඟන් බඩු
මේ සිටුවරයෙකුගේ මාලිගාවක්ද ? ඔහු සිතුවේය
දුහුල් ඇඳුමකින් සැරසුනු අභිරූපිකාව ඔහු ඉදිරියේය
වීනස් දෙව්දුව වන් ඇය ඔහුට සයනය කිරීමට ආරාධනා කළාය
ඔහු පුරා රාත්‍රිය ඇය සමග කාම ක්‍රීඩාවේ නිරත විය
ඔහුට නින්ද ගියේ පාන්දර යාමයේය
උදෑසන අවදි වූ හෙතෙම හැඳ පැළඳ ගත්තේය
තම අසිපත සෙවූ නමුත් එය දකින්නට නොමැත
ඔහුට දැන් මන්දිරයෙන් පිටවී යාමට අවශ්‍ය ය
සෙබළා මන්දිරයේ ද්වාරය වෙත ගියේය.
ද්වාරය අසල මහළු එහෙත් ශක්තිමත් මිනිසෙකු විය
ඔහු සමුරායි කෙනෙකු මෙන් සන්නද්ධව සිටියේය
සෙබළා තමන්ට පිටවී යාමට අවශ්‍ය බව කීවේය.
සමුරායිවරයා නිරායුද සෙබළා දෙස තියුණු බැල්මක් හෙළුවේය
මේ මන්දිරයට පය තැබූ කිසිවෙකුට යළි පිටවී යාමට අවසර නොමැති බව
සමුරායිවරයා ස්ථිර හඞින් කීවේය
තරුවක් මොටද සඳනැති කල අහසකට
ඔරුවක් මොටද හබලක් නැති තොටියෙකුට
තොටිලි මොටද නැලවෙන්නට දරුනැති කලට
සිනහව කොහිද දරුවෙක් නැති කුළගෙයට ...
තැනුවත් කැදලි නිති නුඹ හා වෙසෙන්නට
තනියක් නොමැත දැනුනේ ළඟ රැඳි කලට
දෙපැහැ හීන තිබුනත් නිති දිවරෑ දකින්නට
මේ කුස උරුම නැත බෝසත් බිළිඳෙකුට...
නින්ද නැතත් හැම රැයකම දුටුවෙමි සිහින
ඇහැරෙන විටදි නුඹ දුටුවේ බිළිඳෙකු ලෙසින
දෙතනේ නොඑරුණත් කිරි දරුමුව තෙමන්න
මම මව් වුණේ නුඹ හද පිළිසිඳගත් එදින....
සිනිදු සේලයක් විලසට, ඇග පුරාම තිබුනු ලෝම
ඝණ සරුවට හැඩට පේන, සොබා දමින් ලැබුනු දාන.
ඉවක් බවක් නැතුව හපන, නිල්වන් තණ පිට්ටනි මත,
නිරුවත් කළ මස් ගොඩවල්, සේ දිස්වෙයි නිමක් නැතුව.
දුකක් නැතිව කපල අරන්, ලොම් ටික හැඩ කොට පීරන්,
නා නා විධ පාට යොදන්, බොත්තම් එහෙමත් අල්ලන්,
පොරවාගෙන හිසේ සිටන්, උනුසුම් කරගෙන ඇවිදින,
නුබලට විතරද? දැනෙන්නෙ, කටු ඇනෙනා මේ සීතල.
රුදු සීතලෙන් ගැහෙමින්, බේරෙන්න ආවාය ගැහැටින්,
මව්ගෙ තුරුලට සතොසින්, දැනුනි වෙනසක් විගසින්.
ගත වසා සිටි සිනිදු වස්ත්‍රය, නැත අද ඔබ නිරුවතින්,
ලොම් කබාය සොරු ගෙන ඇත, කවුරුන්ද? ඒ සොරුන්.
මව්නි නොවලහා පවසන්.
කලබල නොමවන් පුතුනේ, පෙර භවයක අපි ගන්නැ’ති,
උන්ගෙ ඇදුම් සොර සිතකින් - අද උන් ගෙන අපේ ඇදුම්
නිති ලෝ දම වේ එලෙසින්.
වෙන්නට මවක් පෙරදා ඇය පැතු සිහින
තුන් වන වරට බොඳවී මල් ලෙස මිලින
පැතුම් ගිලිහුනිය ලේ මස හැර විමන
මහමෙර පතිත වුනි ඇයගේ හිස මුදුන
දිවා රැයේ වෙනසක් නැත ඇය දුටුවේ
කලුවර මිසක එලියක් ඇය නැත පැතුවේ
තනිවම හැඬූ කඳුලුත් දෝරෙම ගැලුවේ
දෝං-කාර සුසුමන් ගුවනෙදි හමුවේ
කාලය ඉගිලුනා ඇයටත් හොරාවට
වියපත් බව ඇවිත් නොකියා ගේ දොරට
පාලුව තනියමත් නිවසේ පුරාවට
නූපන් දරුවො සිහිවේ ඒ වෙලාවට
පින් මදි වුනේ නුඹට ද ඉපදෙන්න පුතේ
මගේ පව් වලින් පින් යටපත් වෙලා සිතේ
මැරි මැරි ඉපදෙනා සසරක් අපට ඇතේ
පිළිසිඳ ගන්න ඈ කුස මතු බවයෙ පුතේ
දෙදණින් වැටී නිවටව ජීවත් වීම
ඉවසන්නට බැරිව නිරතුරු පෑගීම
දෙපයින් ඉන්න ගෙදරින් පිටවී යාම
සිහිනෙන් වගේ මතකයි යන්තම් තාම
අඩ සියවසක කාලය ගෙවුනත් එහෙම
ඔහු ගිය ගමන යළි ආවේ නෑ තවම
බැරිවිය හිතා ගන්නට දිවි පිදු දහම
මියගිය විලස සිටියේ උරුමව සුසුම
එරබදු පිපී ගහ කොල රතු වී වැසුණූ
එනමුදු හිතට නෑ කිසි සතුටක ලකුණූ
අවුරුදු එක්ක මතුවෙයි බක්මහ අකුණූ
ඔබ බඳු පුතුන් සිහිවෙයි පරවී වැටුණූ
13/ 06/2021
ඇසළ සැණකෙළි දකිනු රිසියෙන් දිනිදු පායා නැගෙන්නේ
සසල බිඟු කැළ සුපිපි මල් සිප රසැති මී වද බදින්නේ
නිසළ නුඹ ගැබ සරන සියොතුන් ගයන ගී නඳ ඇසෙන්නේ
විසල වාසල දොරටු ඇරිලා කිමද කොළහල කරන්නේ
මෙතැති දේවිය මහාමායා වැතිර සිටියා සිල් අරන්
සුදැති ඇත් පොව් පිවිසියා කුස තුළට පියුමක් සොඩ දරන්
නැණැති බමුණන් ගෙන් අසාරජු සිහිනයේ තතු සිත් දරන්
පිණැති කුමරෙක් දේවි කුසහොත් බව කියා ඇත ගෙන වරන්
සුද්ද සුන් නිරිදුන්ට දාවූ කුමරු සිදුහත් නම් වුණා
සියල් සිරියෙන් නොඅඩු රජ සැප ලැබී කාලය ගත වුණා
කල්ප ගණනක් පිරූ පෙරුමන් ඇසළ පෝදා මතු වුණා
පුතු රහල් සහ දේවි බිම්බා දමා පැවිදිව තනි වුණා
දුක නිවාලන සැපත කොතැනද නැවති ඉන්නට සසර ගමනින්
ඇවිද්දා ගම් දනව් අතරින් ගෙවෙන තුරු ගව් දහස් ගණනින්
නුවණ ලැබුවා එකළ දඹදිව සමණයින් දෙසු දහම් පහනින්
නමුදු නොලැබී ඇත සෙවූ මග රිසිසෙ අත් විදගන්ට මෙතැනින්
අරි අටගි මග යමින් බෝසත් පෙර පිරූ පෙරුමන් බලෙන්
ඇත්ත සතරක් සොයා ගත හැකි වීය කෙළෙසුන් දුරු කළෙන්
මෙදම් මග කාහටත් කියලා මුදා ගන්නට රුදු වලෙන්
වැඩිය බරණැස ඉසිපතනයට මගුල් බණ දෙසනා දොළෙන්
ඇසළ සදවත නැගෙයි අහසේ මගුල් බණ අසනා රිසින්
සුරන් අගනන් එක්ව ගගනත සුපිපි පරසතු මල් ඉසින්
මහණ පස්වග සමග සාවුන් මුවන් වන ගණදුර පිසින්
මගුල් දම් සක් වයත් ගව්තම බුදුන් වැඩ හිද එක් පසින්
මහ කන්තෝරුවක කොටුවේ බැංකුවක
සේවය කලත් මම විගණක අංශයක
විගණන වැඩට ලඟ ශාඛා කිහිපයක
සේවය කලා ඉඳහිට සති දෙක තුනක
නගරය පුරා ශාඛා විස්සක් තිබුණි
ඒ හැම තැනම සේවය කෙරුමට ලැබුණි
ශාඛා සියල්ලම සුරපුරයක් ලෙසිනි
රොන් පිරි මල් වලින් නම් අඩුවක් නොවුනි
හිරිමල් වියේ නාඹර පෙම්බරයින්ට
තෝතැන්නක්වුනා බැංකුව බඹරුන්ට
මල් පැණි සුවඳ බැරිවිය තව උහුලන්ට
රොන් පිරි මලක වැසුවෙමි මල් පැණි බොන්ට
නම "චම්පාය" පිටකොටුවේ ශාඛාවේ
සේවය කලා අඩුවක් නැත රූසපුවේ
බැංකුවෙ වැඩ නිසා හොඳ පඩියක් ලැබුවේ
සවසට හමුවුනෙමු බෝගස යට කොටුවේ
සිදුවුනි සේවයට ගල්කිස්සට යන්ට
බඹරුන් නුදුටු මල් තිබුනා එහි එමට
බඹරුන් සොයා මල් එනවා නම් සුමට
වැසුවෙමි තව මලක ලතවන්නේ කුමට
ඇය "රූපාය" පෙනුමෙන් හරි හැඩකාරී
නොඉඳුල් මලකි හැසිරීමෙන් දඟකාරී
රූපා හමුවුනත් චම්පාගෙන් බේරී
දෙදෙනම දැම්මාය ඉඳහිටලා ගෝරී
ශාඛා දෙකක "චම්පා" "රූපා" දෙදෙනා
වැඩකල නිසා ආදර රහසත් රැකුනා
සේවක මාරු වසරේ අගදී කෙරුනා
"රූපා" "චම්පගේ" ශාඛාවට යැවුනා
වැඩිකල් නොගොස් දුරකථනයෙ සුරතලිය
දැනගත්තාය අපෙ තුන්කොන් අන්දරය
අතිනුත් දමා ලුනු ඇඹුලුත් අඩුවැඩිය
"චම්පට" දුන්නාය උණුවෙම ගිනිගෙඩිය
"චම්පා" "රූපාට" විස දලයක් විද්දේ
දෙදෙනා රණ්ඩුවී ලොකු වලියකි ඇද්දේ
දුරදිග ගියා පරදා යාපන යුද්දේ
මා රට ගියා "මෝටාර්" "බට්ටන්" මැද්දේ
අහස උසටම මහත්තයෝ නුඹ හීන මා ලග තැනුවා
ඉක්මනින් නම් මාව දාලා යන්නේ නෑ බව කිව්වා
දරු පැටව් ටික බලා ගන්නකෝ කියා නම් දෙඩෙව්වා
ආදරෙන් හිසද සිප ගෙන යන්න කියලත් කිව්වා
හුස්ම යන විට මාව මතකෙට එන්න ඇති හැම වෙලාවෙම
උහුලගෙන දුක සිතින් හඩමින් ඉන්න ඇති හැම වෙලාවෙම
මහත්තයෝ නුඹේ ආදරේ මට කියන්නට ඇති හැම වෙලාවෙම
අපිව දලා යන්න සිතුවේ නැතුව ඇති හැම වෙලාවෙම
ඉස්සර වගේ හින මවමින් හිනා වෙන්නට බැරිම වෙයි
දුකක් ආවත් කියා ගන්නට නුඹව මා ලඟ නැතිම වෙයි
දරැ පැටව් ටික තාත්තා කෝ අහන විට හිතේ හයියත් නැතිම වෙයි
එත් මහත්තයෝ නුඹේ හීනත් අරගෙනම මට ජීවත් වෙන්න වෙයි.
උණ එකසිය ගාණ ට
ගඳ සුවඳ නෑ නහය ට
දිවට රස නොදැනෙන කො ට
දනිමි දැන් වෙනදේ ම ට
අනිත් උන්ටත් හැදිල ලු
එවුන් වත් ටෙස්ට් කරල ලු
ප්‍රතිපලෙත් ආව ලු
පෙන්නුම් කළේ කුරුසෙ ලු
ගෙදර ඉන්ටයි වෙන්නේ
මට මමයි දැන් ඉන්නේ
කවුරුත් නෑනෙ එන්නේ
හිටියත් නොහිටියා වැන්නේ
හුමාලයෙ පහසි න්
නැහැවෙයි උගුර යහමි න්
වෙනදාට වැඩියෙ න්
හුස්ම අල්ලා ගෙන ඉඳිමි ම න්
එන්නත් දෙකම ගහගෙ න
හිටියා සන්නද්ද වී ගෙ න
මෙන්න මා හොයාගෙ න
කොරෝනා ඇවිදින්ය රහසි න
කමක් නෑ යාලුවේ උඹ ඉතින් නැවතිය න්
පාලුවේ ඉන්න මට තනි මකන්නට ඉඳි න්
පිංසිද්දවෙයි උඹට එහෙ මෙහෙ ගියත් දැ න්
පෙනහලුවලට නම් යන්නෙපා අනේ බ න්
11/06/2021
දෝරෙ ගලායන සඳරැස් දහරින්
රන් බෝ පත් එකිනෙක සැලුනා
සිහින විමන් වල අතීත සිතුවම්
මතකයෙ යළි යළි මුණ ගැසුනා
ඈත අතීතයෙ ගුලිවුනු සිතිවිලි
හිත පතුලින් හෙමිහිට නැඟුනා
ජීවන සිතුවම් පටයක පිවිතුරු
අසිරින් සිත තුල මල් පිපුනා.
පෑවූවත් සඳ බෝපත් අතරින්
ඒ සඳ පෙර සඳ නොව සිතුනා
කාලයෙ වැලි තල අතරේ පිපි මල්
ටික ටික සුළඟට ඔහෙ වැටුනා
නාදය මිහිරට නැඟි සියොතුන් හඬ
අඳෝනාවකට සම සිතුනා
කාලය නැවතුන ජීවන ගමනක
මතකයෙ මල් බිමටම වැටුනා.
බණකට පිරිතකට වැඩි දිනක් මතක නෑ
කොට්ට ගෙඩි වගෙ කකුල් ඉදිමිලා දැනෙන් නෑ
නයි හබරලා ගාල හතරවට කමක් නෑ
ලොකු හාමුදුරුවන්ට මේ කිසිත් වගක් නෑ
කොස් අරටු තම්බලා පඬු ගැහුව සිවුරු පොට
කොහොල්ලෑ දැලි අඟුරු රබර් කිරි කලවමට
මුව පුරා තැනින් තැන සුදු රැවුල් කොට
අඳනයේ තුත්තිරිය වද නොවේ ගලවන්ට
කළු ගඟ උතුරලා ගමම යට උන දාට
කන්ද උඩ පන්සලයි දෙව්දතුන්ටත් පිහිට
ඔරු අඟුල් නැති කලට පිහිට වෙයි කෙසෙල් කොට
හීතලේ ගැහි ගැහි ගොඩ වදී පන්සලට
චිමිනියේ දැලි වැකුන එකම එක ලාම්පුව
බණ මඩුවෙ පිල උඩයි භූමි තෙල් අඩු නැතිව
පොල් හනසු දර කෝටු කටින් පිබ අඟුරු කර
උණු කරයි හැමෝටම ඇති වෙන්න තේ වතුර
හෝර්ලිස් බෝතලේ සීනි ඇට සූරලා
කහට මුට්ටිය ජෝගු එක වැලක අමුනලා
බීහල්ල හීතලට ඉදහල්ලා ගුලිවෙලා
ඇට තිත්ත කරුවලෙත් හැමෝගෙම රැකවලා
ඇස් දෙකම සුද වහලා පේන්නේ අඩලයට
රෑට බත් ඇබින්දක් කන්නෙ දුරුවලකමට
රෑටත් ගිලිනවා කටින් කට කිව්වාට
ගෑවිලාවත් නෑ තුන් හිතකවත් කහට
කොස් පොලොස් ඇති තරම් කඩාගෙන කාහල්ලා
වතුර බැස යන කම්ම ඔහෙ වැටිලා ඉඳපල්ලා
කන්තෝරුවල ලගින මහ එවුන් ඇවිදිල්ලා
ලිස්ට් හදනකල් ඉදා කැඳ හැදුවා බීපල්ලා
පන්සලේ හතර වට වල් රබර් හේඩාව
කිරි වැරූ මහළු ගස් දරට යන හෝරාව
සුදු වැහුන ඇස් දෙකම පෙන්නුවත් මායාව
පුදුමයකි බෝ පත් රබර් කොල වෙන් කරන ලීලාව
දුවේ හෙට මල් වතුරෙන්
නැහැවුණත් නුඹ සතුටින්
හැමදාටමත් වහින මල්වැහි
හමුනොවේවී දිවියෙන්...
ළදල්ලක් බව දැනුනොත්
කඩා බිම ලයි සැණෙකින්...
මුදුවුණත් හිත දරන් ඇතුළෙන්
අරටුවක් සේ නැගියන්
හදේ දොරටුව සවිමත්
ඉබි යතුරු දා වහපන්..
සැබෑ සෙනෙහෙන් නුඹව කියවූ
එකෙක් ආවොත් හැරපන්.
දොර පියනෙ ඉඩ තිබුණොත්
හිතට එයි වග වලසුන්..
උන් එන්නෙ බණ පද කියාගෙන
හද මැදම අඩි තබමින්..
නේක වැහි හෙණ ආවත්
තෙමෙන්නට හොද නැති තැන්..
මහා සැඩ වැහි හුළං කෝඩෙත්
හිත හදාගෙන රැකපන්...
මලක් සේ නුඹ පිපියන්
ඉහළ අත්තක රැදියන්
නුඹව පසසන ලෝකයට
පිපි ගහේ මුල් ගැන කියපන්..
වියපත්ව මුල් ඉදිරෙනා තෙක්
ගස ලගම වැද වැටියන්
නුඹ පිපෙන්නට වින්ද දුක්ගිනි
සදාකල් සිහිකරපන්..
මල් වට්ටි යට වුණත් ගිනි අවි
රැදෙන බව දැන සිහියෙන්...
මිතුරු වෙස් ගෙන එන අපල
ලග සෙත් කවක් සේ රැදියන්
ඉදුකිලක් සේ ජීවිතේ දුක්
ලගදි නොසැලී සිටියත්...
දියව යන්නට ඇවැසි තැනවල
දියවෙයන් මුදු හැගුමින්...
උවැසියක් සේ හිත නිවාපන්
දකින විට නුඹ දැකුමින්...
ළදරියක් සේ පානු දගකම්
අවැසි තැන සිල් බිදිමින්..
ගගක් සේ නුඹ ගලපන්
ඇවැසි තැන සුළි මවපන්..
නැගෙන ගල්පරවල හැපී ගෙන
සිනාපෙණ පිඩු නගපන්..
දිනෙක සයුරට වැටියන්
සයුර මත්තෙම නැහියන්...
හැබැයි සයුරේ සැගවිලා
මිය ඇදෙන නදියක් නොවියන්...
ගලක් සේ අව්වැසි දරාගෙන
මහමෙරක් වී සිටියත්...
ගැහැණුකම පිරි ගැහැණියක් වී
මියෙනතුරු ලොව රැදියන්.....
හිරු කිරණ නැහැවෙමින් හරිත වන පත් රැහැන
දේ දුන්නෙ වර්ණ බී හැඩගැසුනු පිපි කුසුම
දිවි බොජුන් උදුරගෙන රස ගැනුන ඵල බොහොම
දරාගෙන ඉන්නෙ අද අතුරිකිලි විහිදගෙන!
දිවිය රැක දෙන්නෙ ඔබෙ අම්ල කර හුස්ම ගෙන
කුස ගින්න හැර ගන්න ඔබ සදන දේ නොගෙන
සිටියොතින් අපි ඉතින් එස්කිමෝ වරු සැවොම!
තුරුලියනි, ඔබට නය ගැතිය අපි ලොවෙ සැවොම
තරුණ පෙම් යුවලකට සැනසුමක් ඔබෙ සෙවන
කුරුලු පොඩි ජෝඩුවට දෙව් ලොවකි තුරු රැහැන
රුදුරු අපෙ මිනිසාට සම්පතකි ඔබෙ දසුන
ඔබ නසන දනන් හට වුවද දෙයි නිති සෙවන !
ගොලු වතක් රකින ඔබ සතුව ඇති අනගි ගුණ
බසින සඳ පොසොන් දින තුලින් පෙන්වයි සොදින
වැඩේ නම් මිනිස් ගුණ අපේ, පස්කම් බුදින
ඇසළ සඳ සුව ගෙනෙයි කිසිකලක නොම දැනුන!
ඈත මිහිදුම් අතර සුපුන් සඳ හිනැහුනා
සීතලට ගත වෙලී මද නලද හිනැහුනා
සේපාලිකා මලක්..පෙති විදා හිනැහුනා
රාත්‍රිය නිහඬ වි කවි සිත ද හිනැහුනා
සැහැල්ලුව සතුට පිරි.ගෙවු යුගය සිහිවුනා
මුළු ලොවම දැදුරු කල රෝ බිය ද සිහිවුනා
ඉසිඹුවක් නැතිව යන මේ යුගය සිහිඋනා
හැමදේම වෙනස් උනු ..ජීවිතය සිහි උනා
Zoom ..වල මුවාවී...විවේකය නැති උනා
නෙත් කෙවෙනි තුල රැඳුනු කාන්තිය නැති උනා
ගිම් නිවා...සතුටු විඳි .ජීවිතය .. නැති උනා
Zoom..වල ගෙවෙන කල සුව නින්ද නැති උනා
නිහඬවුනු.කැදැල්ලේ..හිනා මල්.. වියැකිලා
Zoom තුල ..සිරගතව .සොඳුරු විය වියැකිලා
රස හැඟුම් රූ මවන....සිතිවිලි ද .. වියැකිලා
සෙනෙහසේ ගංතෙරේ.. මදනල ද වියැකිලා
රෝ බියෙන් මුලු ලොවම මිදෙන දින ලං වෙලා
සතුට මුවඟින් හෙළන සිනහවන් හමු වෙලා
සුසුම් සැනසුම් ලෙසින් හෙලන්නට හැකි වෙලා
යුගය..යලි එන.. දිනක් පතන්නට හුරු වෙලා
අවදිව හිමිදිරියෙම
දිවි සරි කර ගන්න
හනිකට ගඩොල් ටික අදිනව
ගෙදරට දිව යන්න
ජීවන බර දැනේ දාහය ගත වෙලේ
බැහැනේ පැන යන්න
කීයක් ගඩොලකට ලැබුනොත්
ඇතිදෝ හිනැහෙන්න
සවිමත් මහල් මන්දිර තැනුනත් කදිම
දින දින හිත හඬයි දුටු විට දුක් ගොන්න
වීදෝ බාරයක් ඉන් නිදහස් වෙන්න
රිදියෙන් පුදන්නෙද ගැහැටින් ගැලවෙන්න
ප්‍රීති පෙරේරා
තලවතුගොඩ
2021 ජූනි 12
සඳ ගාවින්ම තනියට
හිටපු ඉරබටු තරුවට
සඳ නේන දවසට
කව්රුවත් ම නෑ නේද තනියට
ඉමක් නැති අහසට
තිබුනාට තරුකැට
සඳ දුන්නු එලියට
හැකිද ගණදුර මකාලන්නට
ඔබ නොමැති දවසට
දැනෙන බර පපුවට
සඳට ඉරබටු තරුවට
වඩා වැඩි බව කියමි අහසට
නිරින්දෝ තම රට මුත්
අන් රටට දිවා සඳ වැන්නෝ
පඬිවර අන් රටක
පැමිණියත් පුන් සඳ සෙ බබළා
රජවරුන් තමන් ගේ රට හැර වෙනත් රටකට ගියහොත්
දහවල පෑවූ චන්ද්‍රයා වැනිය. එහෙත් පඬිවරු වෙනත්
රටකට ගියත් රාත්‍රී කාලයේ පුර්ණ චන්ද්‍රයා ලෙස
බබළති.
හුරුපුරුදු මුහුණක සේයාවකි නෙතු අද්දර
දෑස, දෙබැම, නාසා ඇත ශේෂ වී නටබුන් සේ
වියපත් ලකුණු අතරින් මැවෙද්දී ඒ තුරුණු රුව
වියළුණු සිනා රේඛා නැගිණි මැලවුණු ඔබේ දෙතොලග
මුළු හදින් මා පෙම් කළ, ඔබ කියනු කිම මේ විස්මය
සෙමෙන් සෙමෙන් මා අතහැර
කෙමෙන් කෙමෙන් සැගවී ගිය පෙම්වත
දශක තුනකට පසු, යළිත් ඔබෙ රුව දෙනෙත් අබියස
දෑසට එබී සෙව්වත් දෝරේ ගැලු සෙනෙහස
හිස් බැල්ම පමණයි ඔබේ තුළ මා හමු වුණේ නැත
හාදු තැවරූ දෙකොපුල , අමතකද මගේ උණුසුම
මහිස සැතපු උරතල , බර වැඩි වුණිද සුසුමක
උයන මැද බංකුවක එදා පෙම් කළ දෙදෙන
සායනයේ බංකුවක ගිලන් වී අද දවස
හදවතේ රෝ දුකට ඔසු සොයා පැමිණි මම
රිදුම් දෙන හදවතක් කැටුව යමි නිවහනට
යන තැනක ගෙනියන්න පින් ගොඩක් තිබුනාට
සිත දුවන්නේ නිතර කරපු පව් කන්දකට
පහනකට තෙල් නොදා නිවෙන්නට හැරියාට
අත්හැරිය නොහැකි ඇයි ! ජීවිතය කළුපාට
අතීතය, තරුණ විය නැවත සිහි කළහැකිය
ඇස් පියාගෙන කැමති ලෝකෙකට යාහැකිය
සිත කොහේ ගියත් කය ලෙඩ දුකින් පරිනතය
සියළු දේ හැර දමා දැන් ඉතින් යායුතුය
අවසාන කාලයේ බණ දහම් ඇසුවාට
ඇති තරම් දන් දෙමින් පෙරුම් දම් පිරුවාට
භාවනාවට ගිහින් වරු ගනන් හිටියාට
වියරු වී නැගෙන ගිනි නොහැක වලකාලන්ට
හදවතේ හුස්ම ඇත භාර දී මැෂිමකට
කැපූ තැන් බට දමා වසා ඇත සීරුවට
රෝහලක උඩු අතට සතපවා සිටියාට
බට දිගේ එන රුහිරු කඳුළු වේ හදවතට
ගල් අඟුරු දම දමා යළි යළිත් පන පොවන
දුම්රියක් වගේ දැන් තැනින් තැන නතර වන
ලඟ ම දුම්රිය පොළෙන් බහින්නට සිතුවාට
පන ගසා යළි දුවයි කෙටි කලක් ඉදිරියට
Do not weep
Sitting at your grave
Since you are remembered
Only for a day
Sacred love,
You offered the world
And went away
With silent footsteps
Love sells at any cost
In the holy day of you
Console your mind
And face the reality
If there is no value
To a human life
Will there be any value
To love at all?
සුසානයේ සිට ලියනවගයි
ආදරණීය ඔබ සැමටයි
මරණේ වැඩ ඉවරවෙලා
හත්දොහේ බන කියලා - දානෙත් උයලා පිහලා
හුඟක් මහන්සි ඇති නේද ..
අවමගුලට ඇවිත් හිටිය
හුගක් දෙනෙක් හුග කලකින්
දැක තිබුනෙත් නැහැ වාගේ
හැමෝම වගේ කතා කලේ
රටේ තොටේ දේවල් මිස......
පාන්සකූලේ හමාරවී - අවමංගල සභාවේදී
කවදාවත් මම දැකලම නැති - මන්ත්‍රී තුමා එවා තිබූ
ශෝක ලිපිය කියවද්දී
මා ගැනදැයි ඒ කියන්නේ
සිතා ගන්න බැරිව ගියා
හත් දවසේ පිංකම දා - කල පින් අනුමෝදනා
තවමත් නැහැ නෙව ලැබුනේ
නම හරි හැටි නොකිව්වාද - අතර මගදී හැක් කලාද
සිතට මගේ හරිම සැකයි
ඒ හින්දා තුන්මාසේ - පිංකම කලින් ටිකක්
කරගත්තෝතින් හොඳයි නේද
මතක ඇතිව අටපිරිකර - පන්සේලෙන්ම ගන්න ඕන
එතකොට පින් ගොඩක් ලැබෙයි - තව්තිසාවේ යන්න තරම්
තව්තිසාවේ ගියොත් එහෙම
බාබුත් එහෙ හිටියෝතින්
අහගන්නට පුලුවන්වෙයි
එදා මොකද වුනේ කියලා .......
කෙසේ ලබමිද ඔබේ උණුසුම
අවැසි නැති කල ඔබට මා
සිතෙහි ඇති දේ එහිම රදවා
රැක ගනිමි මම එලෙසටා
පියාපත් නැති මෙමන් කෙලෙසද
පියාඹන්නේ ඔබ කරා
එසේ එන්නට නොහැකි වූ මුත්
සිතින් එන්නෙමි සෑමදා
ඇවිත් ඔබගේ ළයෙහි මා හිස
හොවා හඩනෙමි කෑ ගසා
අනේ මම මේ භවය නිමකර
ඔබ ළගට එමි නිරතුරා
වැට කඩුලු බැද ඇති නමුත් අප
අතර මැද්දේ මේ ලෙසා
සියලු බැමි බිද පලා එන්නෙමි
රැගෙන යනු මැන මා මෙදා
චණ්ඩ රැස් කඳ ගුවන් ගැබයේ
තනි අයිතියයි මුදා ලන්නේ
නීල ගුවනට ඉන්ද්‍ර චාපා
සෙවනැල්ලවත් ලං නොවන්නේ
තමන් හින්දා පිපී හිනැහෙන
මල් කැකුළු එළියෙන් තෙමන්නේ
සතර අග නලියනා මද නල
අලුත් රහසක් දෝ කියන්නේ
වටේ දිව යන වළා කැරලී
නවත්තන්නට මාන බලනා
කොහේදෝ සිට අහම්බෙන් ආ
අඳුර දස අත පා කරන්නා
නීල සළුවේ තැනින් තැන
අළු පාට සෙවනැලි පාට වැටෙනා
බයට දෝ හිරු රශ්මි මාලා
අනේ හනිකට හකුලා ගන්නා
එකම මොහොතේ නොසිතු විලසට
කඳුළු කැටදෝ මේ වැටෙන්නේ
අහුල ගන්නට කෙනෙක් නැතිවද
හෙමි හෙමින් මව් ඇකට වැටුනේ
සීතලට ගුලි වෙන්න පොරකන
ලතා තුරු හිස් මතම රැදුනේ
සුන්දරව ඇරඹුනු දිනක් ඇයි
මෙලෙස කඳුලින් නිමා වූයේ
චණ්ඩ රැස් කඳ ගුවන් ගැබයේ
තනි අයිතියයි මුදා ලන්නේ
නීල ගුවනට ඉන්ද්‍ර චාපා
සෙවනැල්ලවත් ලං නොවන්නේ
තමන් හින්දා පිපී හිනැහෙන
මල් කැකුළු එළියෙන් තෙමන්නේ
සතර අග නලියනා මද නල
අලුත් රහසක් දෝ කියන්නේ
වටේ දිව යන වළා කැරලී
නවත්තන්නට මාන බලනා
කොහේදෝ සිට අහම්බෙන් ආ
අඳුර දස අත පා කරන්නා
නීල සළුවේ තැනින් තැන
අළු පාට සෙවනැලි පාට වැටෙනා
බයට දෝ හිරු රශ්මි මාලා
අනේ හනිකට හකුලා ගන්නා
එකම මොහොතේ නොසිතු විලසට
කඳුළු කැටදෝ මේ වැටෙන්නේ
අහුල ගන්නට කෙනෙක් නැතිවද
හෙමි හෙමින් මව් ඇකට වැටුනේ
සීතලට ගුලි වෙන්න පොරකන
ලතා තුරු හිස් මතම රැදුනේ
සුන්දරව ඇරඹුනු දිනක් ඇයි
මෙලෙස කඳුලින් නිමා වූයේ
ආගම ගැන වාදය නොකරන්නේ
පව් හැම දුරුකර පින් කරගන්නේ
නිතරම සිත පිරිසිදු කර ගන්නේ
ආගම එම යයි පඬි බස වන්නේ
කල්ලගේ සොමි වැල්....
අවන්හලට ගොඩ උනාම - තනිකර නුඹ දුවගෙ ලඟිං
තනි සුද්දෙක් ඉන්නව දැක - පයින්ට් එකක් බියර් අරං
එංගලන්තෙ ඔරිමජිනල් - ගිනස් ස්ටවුට් එකක් අරං
ආතල් එක ඇඟ පුරාම - උණුහුම් කර ගන්න ගමං
සුද්දගේ සුසුම් වැල්.....
දිවි ගමනෙ නාටකේ - තිරය වැසුමට කලින්
මී විතක උණුහුමට - Pub එකට ගොඩ උනත්
නුඹේ සුපුරුදු සුවඳ - සොඳුරියේ දැනෙයි මට
මා නුඹව මුනගැසුනු - අවන්හල එලෙසමයි
හිත තිබ්බෙ උඹ ගාව හැමදාම රැදෙන්න
හිතුවේ නෑ මේ ලෙසට වෙන්වී දාලා යන්න
කාලයක් ආදරෙන් උන් ලෙස ඇරෙන්න
අයිතියක් නෑ තවත් මට හැරී බලන්න
හමු උනොත් වෙන් වෙනා බව හිතන්න
මට තවත් බෑ මෙහෙම හිතින් දුක් විදින්න
උඹේ කඳුළු දැක දැකම පිච්චිලා මැරෙන්න
එක වරක් හිනැහිලා මා දෙස බලන්න
දින ගනිනකොට දවස් උඹ දාලා යන්න
තනි වෙලා ඉන්නෙපා හිත හදා ගන්න
අපි කරපු හැමදේම වලලලා දමන්න
මං එක්ක මතකයන් අළු කරල හරින්න
බැරි උනේ මට උඹට පුංචි පැටියෙක් දෙන්න
උඹෙ නමින් කිරි සුවඳ දෑතෙහිම තබන්න
එච්චරක් පින නෑ මේ ලෝ ලබන්න
මට සමාවෙයන් ඒ පව දැන් පිරෙන්න
හිටියෙ මේ පස් වසර කල්පයක් ලබන්න
බැරිතරම් ආදරය මහ මෙරක් පිරෙන්න
හිතින් වත් හිතුනෙ නෑ වරදක් කරන්න
තප්පරෙත් මං පැතුවෙ පොරොන්දුව රකින්න
උදාවෙන හෙට දවස එපා ඉර නගින්න
තප්පරෙත් වටිනවා උඹ හා ගෙවන්න
සක්වලක් ආදරේ කැටි කර දරන්න
ආසයි පපුව උඩ එක රැයක් නිදන්න
මං මරුණ දවසකට එපා උඹ අඩන්න
මං ආස ගවුමෙන්ම මා හැඩ කරන්න
මැණික උඹ මහා මෙරක් වචන නෑ කියන්න
මගේ නළල හාදුවෙන් විතරක්ම තෙමන්න
තබන හැම පියවරම උඹේ මල් පිපේවා
අව් වැස්සකින් කිසිදා බදා නොවේවා
මතු සසරේදීත් උඹ මගෙ මැණික වේවා
මගේ අවසන් හුස්ම උඹ ලඟම වේවා!
දඩයම් හීය මානා
මිග පා ලකුණු පිට පැන්නූ
මහ රජුනි - තරහ අවසර,
කමා කර කිව මැනවි
ඉතිහාස ලියැවිල්ලේ
කවර රූපකයක් ද ඔබ...?
මිස්සක පව්ව පිට
ඔබ තනා දුන් අත් වැට ය,
සෙල්මුවා පියගැට පෙළ ය..
මිහිඳු හිමියනි අපට ද
නැගගත හැකිය දැන් ඉහළට,
උපදවා ගෙන බැති සිත්
අවට සිරි නැරඹිය හැකිය...
ස්ථූප - පිළිම - ස්මාරක
පෙනේ පූජා නගරය,
දසරාජ ධර්මය මතින්
ගඩොලින් ගඩොල ඉදිවන...
කුකුස නම් හිමියනි,
අතරින් පතර තවමත් ඇසෙයි
සහෝදර මුව රැළක
මරහඬ..
ඉවකින් මෙන් දැනෙයි
දඩ කෙළිය
කෙළවර නැති වග...
උස් ය හිමියනි මේ,
ඔබ නැගුණු ගිරි මුදුනත..
පහදා දෙනු මැනවි හැකි නම්
දඩ කෙළිය - දඩබිම
අප හට නොපෙනෙනා කාරණ...
2021.06.24
(පොසොන් පුන් පෝදා ය)
ඉදි කඩුල්ලට අතක් තියලා විලෝ තුර මංපෙතට එබෙමී
ගෙවත්තේ වතුසුද්ද ගහ ළඟ යටිපතුල් දෙක නතර කරමී
ඇසළ පුර පෝ හතක් ගෙවුනා හඳ අමාවක ඇයිද සිතමී
තිමිර පට දෙස බලා ඉඳ හිට කංසා උගුරක් හෙමින් උරමී
තවත් පොළොවක් එළිය කෙරුමට සඳ එදා සමුගත්ත බැවිනී
වෙනත් අහසක යහන් තලයට සදාකල් පිටුවහල් කෙරුණී
දෙඇස් පියවුණු විගස වගතුග සොයන්නට මුළු හිතම යෙදුනී
මතක දැලි පිරිපහදු කරමින් හද සේම රූ සපුව මැරුණී
වැහි පබළු මුතු මාල අමුණා ලොකු දූගේ ගෙල රටා තිබ්බා
නැකත් නොතබා ඇගේ දෙපතුළ යොවුන් වැලිකැට හෙමින් ඉම්බා
හීන සැඩ සුළි සුළං වීලා හදවතට මහ සැරෙන් පිම්බා
ඉතින් තරිඳුනි අදත් මලකට අතක් තැබුවා නුඹේ බිම්බා
වෙලාගෙන තිබුණත් ලොව, බියකරු අඳුර
කටුක රිදුමට සුසුම් දී, ඈ මුවා වූ විටම
බෙදන විට සිසිල සඟවන් සඳ, දිවියක ආවාට
තරුත් කොනක සිට පිරිනමයි සෙනේ ගංඟාව...
ස්වප්න වලා, නෙක මාවත් රඳවන් සිටියත්
දහවල නිල් අහස...
අනේ ඇත්තමයි,
අහස ලස්සනම රෑට...
යන්තමින් හෝ තෙතමනයක් ලැබුනානම්
පතොක් ගසක් නොවී
රෝස පඳුරක් වෙන්න තිබුනා
යන්තමින් හෝ උණුසුමක් ලැබුනානම්
පල රහිත වෘක්ෂයක් නොවී
පලින් බර රුකක් වෙන්න තිබුනා
යන්තමින් හෝ ආලෝකයක් ලැබුනානම්
වැරදි මගකට ඇතුල් නොවී
හරි පාරේම යන්න තිබුනා
යන්තමින් හෝ සෙනෙහසක් ලැබුනානම්
වෙනත් කෙනෙකුට නතු නොවී
නුඹගේම වී මට ඉන්න තිබුනා
තුරුලු වෙමින් හැන්දෑවට
හිටපු වාර අනන්තයි
කුරුළු පැටවූ දැන් අහසේ
තැන් තැන් වල ගිමන් ලයි
කවුලු පියන් හැර හදවත
ඉඳ හිටලා සුසුම් ලයි
කඳුළු අතර හිනා වෙමින්
දුර කතනෙන් බැලුම් ලයි
එකල නිවස පිරුණු සිනා
සිත ඇතුලේ ගිගුම් දෙයි
මෙකල දවස දිවිය දිනා
දුර ඈතක රිදුම් දෙයි
මලක සුවඳ නොවිඳ දකිම්
පවුලම on line එයි
දොළක ගිලෙන පහස නැතද
දිය දෝතක් අරන් එයි
19/6/2021