ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුනරාවර්ත

පුනරාවර්ත

දයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය
2021-July

ඊයක් විද හළෙමි මම් ඉමහත් වැරෙනී
වේගෙන් එය ගියේ නිල් අහසේ නොපෙනී
ඊයට කුමක්වීදැයි දුන්නද නොදනී
කවුරුන් දනීවිද යළි නොම එන බැවිනී

ගීයක් පිඹ හළෙමි මම් උරුවම් හඬිනී
මුසුවී වා තලෙහි එය සවනින් මැකුණී
කොහි වෙද ගීය තොරතුරු දැනගනු රිසිනී
කවුරුන් සමත් වෙද මගෙ සිත නම් නොදනී

බොහො කලකට පසුව වන පෙදෙසක රමණී
හමුවිය ඊතලය තුරු කඳකට ඇමිණී
ම එදා ගැයු ගීය නව අරුතක් දෙමිනී
කිසිවෙකු මුමුණමින් මග යනවා ඇසුනී