ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මවකගේ කඳුළු…

මවකගේ කඳුළු…

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2021-July

පොහොර ටික නැතිලු
කුඹුර වපුරන්න බැරිලු
මේ කන්නේ පාළු උනොත්
කන්න බත් නැති වෙයිලු ..
අහස පොළොව ගැටලන්න
තාත්තා කල්පනා කරනවා
උඩ බලාගෙන හූල්ලනවා..
දුකයි මගෙ පුතේ මට
තාත්තා හිතෙන් අඬනකොට..

ඔන්ලයින් පාඩම බැහැලු
සිග්නල් නැහැලු
ඩේටා ඉවර වේගෙන යනවලු..
අඬන්නට එපා මයෙ පුතේ
දුක වාවන්නේ නැහැ හිතට
පපුව මගෙ රිදෙනවා..

දුකට පිහිටක් වෙන්න
මන්තිරිතුමාටත්… ගමට එන්නට බැහැලු..
වාහනේ පරණයිලූ
මග දිගට කැඩෙනවලු…
ඒ නිසා එයාලා ගොඩක් දුක් විඳිනවලු…

අපි ගෙවපු බදු වලින්
ඉතුරු උන “සොච්චමෙන්” ..
අපේ දුක නිවන්නට
එයාලට තෑගි දෙන..
සැප පහසු වාහනය
එන්න තව කල් යයිලු …
එතෙක් පටි තද කරන්
අපට ඉවසන්න වෙයිලු..

තේරෙනවා පුතේ දැන් මට..
ආපු හැම චන්දෙදිම
මාරුවෙන් මාරුවට
පොරොන්දු මල්ලකට
උන් අපිව රැවටූ බව..
අපි උන්ට රැවටුන බව..

සමාවෙයන් මයේ පුතේ අපට
උඹයි දුක් වින්දේ..
අපේ ගොන්කම් වලට..
හොඳ අනාගතයක් උඹට..
හදා දෙන්නට බැරි උනාට..
මම ගොඩක් වයසයි
වෙහෙසයි දැන් මට…
තව වැඩි කාලයක් ජීවිතේ නැහැ මට..

ලොකු වෙයන් මගෙ පුතේ ඉක්මනට
එපා උඹ රැවටෙන්නට
උන් දෙන චන්ද පොරොන්දු වලට
එපා උඹ අහුවෙන්නට
චන්දෙට කලින් මවන සිහින ලෝකවලට..
පාවිච්චි කරලා මොළය
දායක වෙයන් තිත තියන්නට..
මේ මජර දූෂිත ක්‍රමයට…
හදාපන් හොඳ අනාගතයක්
උඹට නොව උඹේ දරු මුණුබුරන් හට..