ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බඹරුන් නුදුටු මල්

බඹරුන් නුදුටු මල්

සිසිල් මාන්නප්පෙරුම - Brampton, Canada
2021-July

මහ කන්තෝරුවක කොටුවේ බැංකුවක
සේවය කලත් මම විගණක අංශයක
විගණන වැඩට ලඟ ශා‍ඛා කිහිපයක
සේවය කලා ඉඳහිට සති දෙක තුනක

නගරය පුරා ශාඛා විස්සක් තිබුණි
ඒ හැම තැනම සේවය කෙරුමට ලැබුණි
ශාඛා සියල්ලම සුරපුරයක් ලෙසිනි
රොන් පිරි මල් වලින් නම් අඩුවක් නොවුනි

හිරිමල් වියේ නාඹර පෙම්බරයින්ට
තෝතැන්නක්වුනා බැංකුව බඹරුන්ට
මල් පැණි සුවඳ බැරිවිය තව උහුලන්ට
රොන් පිරි මලක වැසුවෙමි මල් පැණි බොන්ට

නම “චම්පාය” පිටකොටුවේ ශාඛාවේ
සේවය කලා අඩුවක් නැත රූසපුවේ
බැංකුවෙ වැඩ නිසා හොඳ පඩියක් ලැබුවේ
සවසට හමුවුනෙමු බෝගස යට කොටුවේ

සිදුවුනි සේවයට ගල්කිස්සට යන්ට
බඹරුන් නුදුටු මල් තිබුනා එහි එමට
බඹරුන් සොයා මල් එනවා නම් සුමට
වැසුවෙමි තව මලක ලතවන්නේ කුමට

ඇය “රූපාය” පෙනුමෙන් හරි හැඩකාරී
නොඉඳුල් මලකි හැසිරීමෙන් දඟකාරී
රූපා හමුවුනත් චම්පාගෙන් බේරී
දෙදෙනම දැම්මාය ඉඳහිටලා ගෝරී

ශාඛා දෙකක “චම්පා” “රූපා” දෙදෙනා
වැඩකල නිසා ආදර රහසත්‍ රැකුනා
සේවක මාරු වසරේ අගදී කෙරුනා
“රූපා” “චම්පගේ” ශාඛාවට යැවුනා

වැඩිකල් නොගොස් දුරකථනයෙ සුරතලිය
දැනගත්තාය අපෙ තුන්කොන් අන්දරය
අතිනුත් දමා ලුනු ඇඹුලුත් අඩුවැඩිය
“චම්පට” දුන්නාය උණුවෙම ගිනිගෙඩිය

“චම්පා” “රූපාට” විස දලයක් විද්දේ
දෙදෙනා රණ්ඩුවී ලොකු වලියකි ඇද්දේ
දුරදිග ගියා පරදා යාපන යුද්දේ
මා රට ගියා “මෝටාර්” “බට්ටන්” මැද්දේ