ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මියගිය අයෙක් එවූ ලිපියක කොටසක්…..

මියගිය අයෙක් එවූ ලිපියක කොටසක්…..

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2021-July

සුසානයේ සිට ලියනවගයි
ආදරණීය ඔබ සැමටයි

මරණේ වැඩ ඉවරවෙලා
හත්දොහේ බන කියලා – දානෙත් උයලා පිහලා
හුඟක් මහන්සි ඇති නේද ..

අවමගුලට ඇවිත් හිටිය
හුගක් දෙනෙක් හුග කලකින්
දැක තිබුනෙත් නැහැ වාගේ
හැමෝම වගේ කතා කලේ
රටේ තොටේ දේවල් මිස……

පාන්සකූලේ හමාරවී – අවමංගල සභාවේදී
කවදාවත් මම දැකලම නැති – මන්ත්‍රී තුමා එවා තිබූ
ශෝක ලිපිය කියවද්දී
මා ගැනදැයි ඒ කියන්නේ
සිතා ගන්න බැරිව ගියා

හත් දවසේ පිංකම දා – කල පින් අනුමෝදනා
තවමත් නැහැ නෙව ලැබුනේ
නම හරි හැටි නොකිව්වාද – අතර මගදී හැක් කලාද
සිතට මගේ හරිම සැකයි

ඒ හින්දා තුන්මාසේ – පිංකම කලින් ටිකක්
කරගත්තෝතින් හොඳයි නේද
මතක ඇතිව අටපිරිකර – පන්සේලෙන්ම ගන්න ඕන
එතකොට පින් ගොඩක් ලැබෙයි – තව්තිසාවේ යන්න තරම්
තව්තිසාවේ ගියොත් එහෙම
බාබුත් එහෙ හිටියෝතින්
අහගන්නට පුලුවන්වෙයි
එදා මොකද වුනේ කියලා …….