ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒකම උනා තංගම්මට

ඒකම උනා තංගම්මට

නුවන් තොටවත්ත
2021-July

සීතල ඇවිත්
වද දෙනකොට
බංකුවේ ලී පටි වලට
මතක තිබුනේ නෑ
සුමනාවතී අම්මට
කලින් ආවේ තංගම්මා ද තමන් ද
කියන එක

නන්නාඳුනන නිසා
දෙකොනේ දුරින් ඉඳගෙන
මාරු කර ගන්නකොට
ලැවරියා බාගයක් – වඩේ කෑල්ලකට
සීනි වත් කොලෙස්ටරෝල් වත්
මතක් උනෙ නෑ දෙන්නටම

නොම්මරේ ගන්න යනකොට අතට

එබිලා හැඹිලියෙන් එලියට
ජයසේන හිනාවෙනකොට
සුමනාවතී අම්මට
සද්ද නොකරම හිනාවුනා
නඩරාජා තංගම්මාට

වෙනස් වුනත් පොඩ්ඩක් විතර
පුල්ලි රටාව
දෙන්නම ඇඳල හිටියෙ නිල ඇඳුම්
එකම විදිහක

” දෙන්නගෙම
ප්‍රෙශර් එක වැඩිවෙලා
හොඳටෝ ම
කනව නේද ලුණු
කියන දේ නාහ හැමදාම
මැරෙන්නද හදන්නේ
ඉක්මනට ”

පුංචි දොස්තර නෝනගෙ
ගෝරනාඩුව

“මැරෙනවා නං නෝනා
ලුණු කෑවට
මැරිලා ගොඩක් කල් අපි

ලුණු වලට

මෙච්චර කල්
බීපු කඳුලු වල”

තංගම්ම දෙමලෙන් කීවෙත්
ඒකම බව
තේරුණෙ නෑ සුමනාවතී අම්මට

ඒකම උනා තංගම්මට