ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ශුද්‍ර බිරිඳගේ ශෝකාලාපය

ශුද්‍ර බිරිඳගේ ශෝකාලාපය

කපිල කුමාර කාලිංග
2021-July

(කිසියම් ශුද්‍රයෙකු වැරදීමකින් හෝ ශුද්ධ වේද වාක්‍යයන්
හදාරනු අසා සිටියේ නම්,ඔහුට දඩුවම් පිණිස, කණෙහි
රත්කළ ඉටි වත් කළ යුතුය යනු පුරාණ භාරතයේ පැවති නීතියකි.)

බමුණු මැදුරෙහි
ගෙඋයනෙහි
වැඩෙහි සිටිය දී
ඇසුණි යැයි මහිමිට
වේද වැකි පරිශුද්ධ
රත්කළ ඉටි වත්කර දෙසවනට
දඩුවමට සැරසෙති උන්.

සුළග නුඹ නොවෙද ඒ වදන්
ගෙන ගියේ උයනට
අහඹු ලෙස නොවෙ ද
මහිමි සවන් වැකුණේ
ඒ වේද වදන්

වහා ගොස්
පවසන්න බමුණාට
මහිමි අත වරද නැති බැව්
කුමට ද ඔහුට ඇති පල
අනුන්ගෙ වේදයෙන්

උපන්දා සිට දුක් විදින
මහිමිට තිබූ එකම සැනසුම
සෙනෙහසින් මා තෙපළන
මුදු වදන් පමණි
සුළග වහා දිවයන්න
රැක දෙන්න මා හිමි දෙසවන්