ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තනිකම නුඔය මගෙ තනියට තනි රකින

තනිකම නුඔය මගෙ තනියට තනි රකින

ප්‍රවීන ජනමාධ්‍යවෙිදිනි සුමුදු චතුරාණී ජයවර්ධන
2021-July

පිපි මල් පරව අවපැහැවී බිම වැටෙන
පරඩැල් සැලි සැලී ඉකිබිඳිමින් හඬන
සියොතුන් ඉගිළ යන අතු ඉති තනි කරන
සැන්දෑවක් ඇවිත් බිම් කළුවර රැගෙන

පොල් අතු වහල වැහි දවසට බිම තෙමන
කළු ගැහි ගැහී කළු රූ අඳුරේ මවන
නොපෙනෙන තැනක ඇවිදින විට රෑ සිහින
කඳුළක් ඇවිත් තනියම ඇස් කොන් තෙමන…

වෙව්ලන ඇඟිලි තුඩඟින් හිස පිරිමදින
නුඹ තනි නැත කියා මට නොකියා කියන
සෙනෙහස අඩු නොකොට මා හදවත රකින
රෑ සිහිනය නුඹද නොපෙනෙන තැන ඇදෙන….

කිසිවකු නැති රැයෙක මා තනියෙන් සිටින
රෑ සිහිනෙන් ඇවිත් පැදුරට මා නිදන
තුරුළු ව සෙනෙහසින් මා හිස පිරිමදින
තනිකම නුඹ ය මගෙ තනියට තනි රකින…