ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිත ගිය අතීතය….

සිත ගිය අතීතය….

වෛද්‍ය පද්මලාල් පතිරගේ - ඇතුල් කෝට්ටෙ
2021-July

දෝරෙ ගලායන සඳරැස් දහරින්
රන් බෝ පත් එකිනෙක සැලුනා
සිහින විමන් වල අතීත සිතුවම්
මතකයෙ යළි යළි මුණ ගැසුනා
ඈත අතීතයෙ ගුලිවුනු සිතිවිලි
හිත පතුලින් හෙමිහිට නැඟුනා
ජීවන සිතුවම් පටයක පිවිතුරු
අසිරින් සිත තුල මල් පිපුනා.

පෑවූවත් සඳ බෝපත් අතරින්
ඒ සඳ පෙර සඳ නොව සිතුනා
කාලයෙ වැලි තල අතරේ පිපි මල්
ටික ටික සුළඟට ඔහෙ වැටුනා
නාදය මිහිරට නැඟි සියොතුන් හඬ
අඳෝනාවකට සම සිතුනා
කාලය නැවතුන ජීවන ගමනක
මතකයෙ මල් බිමටම වැටුනා.