ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපි කොයිතරම් කළු පාට ද ????

අපි කොයිතරම් කළු පාට ද ????

කෞශල්‍යා ජයලත්
2021-July

බොහෝ කලකට පෙර
කළු පාට වුනා ජූලිය
නොබෝ කලකින් ම
කළු පාට වුනා ජනවාරිය
සන්ධ්‍යාව ප්‍රකම්පිත කළ
ඒ කළු පාට ජනවාරිය
නංගියේ නුඹටත්
කළු ම කළු පාට වූ අරුමය

සියුමැලි කොමළ මුහුණක
කඳුලැලි තැවරු ඒ කළු රැය
කාකි ගොම පාට හොරු රැල
හොරෙන් අරගෙන ගියා හිරු මල

සඳ හිරු ද ගොළු වී බිය වී
තරු ඇස් අන්ධ වී සැඟවී
ලේ රතු ජනෙල් රෙද්දක්
පමණි ඇහැරී දුකින් ඇඹරී

ඇකයේ සුපිපි සඳ මඬල ය
ගැබ තුළ නොපිපි තරු කැකුලය
හද තුළ මියැදි හිරු මඬල ය
ජීවිතය බෝ දුරය කටුකය

කහ ඇඳන් සිල්වත් උදවිය
සුදු ඇඳන් බලවත් උදවිය
කළු සුදු නීතියේ දේවිය
ඒවි උඹගේ කඳුළු පිසිනට

නොරැවටෙන් නංගියෙ ඒවට
උන් එන්නෙ ගන්නයි ලාබෙට
ලෝකෙ තනිවෙච්ච ගැහැණියකට
පද හදන්නට එවුන් ඕසෙට

නුඹට තනි නෑ නැගණිය
මනෝරානි අම්මා නුඹේ පසුපස
නුඹට බය නෑ නැගණිය
නිමල රාජන් අම්මා නුඹේ වම් පස
නුඹට දුක නෑ නැගණිය
නිර්මලාවන් සිටී දකුණත
කඳුළු වල අයෝමය ශක්තිය
සන්ධ්‍යාව පායලා හිස මත

මුලින් කළු පාට ජූලිය
දැන් කළු පාට ජනවාරිය
ඉතුරු මාසත් කළු පාට වන තුරු …. සැතපෙන
අපි කොයිතරම් කළු පාට ද …. ????????

**** 2016 කළු ජනේරුවේ එක් අඳුරු රැයක දී ,
සිඟිති දැරියක හා ගැබිණි බිරිඳක මෙලොව අසරණ කරමින් ,
පොලීසිය විසින් , ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම්
තරුණයාව කුරිරු ලෙස ඝාතනය කරන ලදී.