ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අලිමංකඩ මුරපොල්ල

අලිමංකඩ මුරපොල්ල

ඩබ්ලිව්.ජයසිරි
2021-July

අලිමංකඩ කලපුව ළඟ
මහපාරේ එක පැත්තක
පාර මැදින් දමන පොල්ල
යගදාවක් සේ උස් වී
එකමත් එක එකම රටක
පාර බෙදන්නට බලා ඉන්නවා

දමිල සගෙක් හෙළ සගයෙක් එක්වී
කාකි ඇඳුම් ඇඟ ලාගෙන
උතුරෙන් දකුණට යන අය
දකුණෙන් උතුරට යන අය
“චෙක්” කරනව………
එකමත් එක එකම රටක
එකමත් එක එකම පාර – මැද

දමිල කාකි පොලු සිහලුන් මතුපිට
සිහල කාකි පොලු දමිලන් මතුපිට

සිහලුන් දමිලන් රණ්ඩු කරනවා
දමිලන් සිහලුන් වෛර කරනවා

දමිල කාකි වුව – සිහල කාකි වුව
කාකි පොල්ලෙ බල සේනාවෝ
එකම අණක් යට – එකට රැස්ව ඇත
එකම තැනක සිට – එකට පනින්නට

“කාකි පොල්ල අයිති කාට?”
“දමිළයන්ට?……සිහලයන්ට?”
“අනේ මගේ කට ……”
“වහගන් උඹේ කට ……”

අලි මංකඩ ළඟ – උදේ පාන්දර
උඩහට ඉස්සෙන – මුර පොල්ලේ
මුදුන් කොනට වී
තට්ටෙ ගියපු කලු කපුටෙක් ඉඳගෙන
කාක් කියනවා – දකුණ බලනවා
කාක් කියනවා – උතුර බලනවා

(ප්‍රේමතිලක පේරුකන්ද විසින් 1976 වර්ෂයේ දී
පළ කරණ ලද “කවි” කලාපයක පළ වූවකි)