
1983
ළමාවියට ගිනි ඇවිලුණු – කළුවන් කළු ඇසල මහේ
සේකර කිවි සිටියා නම්
වක්කඩ ළඟ වැටෙන දියෙන් එගිනි නිවාවී
පාලු අඳුරු නිල් අහසින් අසනි සලාවී
සරස්වතිය දුරුරට ගිය – කළුවන් කළු ඇසල මහේ
මානවසිහ සිටියා නම්
දේහි දේහි වර දෙන අත් නමැද සොයාවී
මහබෝ වන්නම් දකින්න වඩිනු කියාවී
දෙඩූ බසට මුගුරු නැගුනු – කළුවන් කළු ඇසල මහේ
සමරකෝනුන් සිටියා නම්
එක මවකගේ දරුකැල දැක කදුලු සලාවී
ඇසුන මධුර ජීවන ගී කොයිද අසාවී