ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙමගක යවන ලද අය

දෙමගක යවන ලද අය

රුවන් බන්දුජීව
2021-July

මහා ගත්කරුවකු විසින්
දෙකඩකර පෑන් තුඩකින්
දෙමගක යවන ලද්දන්ය
ජිනදාස සහ ජිනපාල
එකී පෑන් තුඩින්
ගමක් පෙරළන අතර
එහි තෙරපුමට යටකර
තුන්ඈඳුතු බවින් බැහැර
වසංගත කැකෑරෙන
විවෘත භූමියක් කරා
යොමුකරන ලද්දෙක්ය ජිනදාස
එකී පෑන් තුඩින්
ජූනියර් ගිනිවැල්ලේවරයෙකුට නතුකර
අතවැසිබව නම වෙත ඈඳුතුකර
දූවක අභිරහස් අතර
යෞවන ශ්‍රමය වගුරුවන්නට සිදුවන
සංවෘත භූමියක් කරා
යොමුකරන ලද්දෙක්ය ජිනපාල
දෙකඩකර පෑන් තුඩකින්
විධාන දී – ඉතා සූක්ෂම බසකින්
උනුන් හමුනොවන විලසින්
මහා ගත්කරුවකු විසින්
දෙමගක යවන ලද්දන්ය
ජිනදාස සහ ජිනපාල ..