ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Sept 2023

ගිම්හානය අවසන් කොට එතෙක් තිබුණු කල්
නොටින්හිල් සරසා ගෙන එන පෙරහැර ගිනි දැල්
සදෙව් ලොවින් බැසි අඟනුන් රඟතිය මන ලොල්
ඇස් දහසක් මදි විඳිනට එහි බිඳෙතිය සිල්

-අනුර

2023 සැප්තම්බර්

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 106 කින් ඔපවත්වීී ඇත
  1. නයි පෙන – විසල් හදක කවි විල්සන් හෑගොඩ
  2. ගේයපද නිර්මාණිත සක්විත්තෙක් වූ කලණ මිතුරෙක් නිශ්ශංක දිද්දෙණිය
  3. මතක සුවඳ මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
  4. සුවඳ ඉතිරි කර යමි Inbox අනුරාධා ගුණසේකර - හොරණ
  5. ඉරිවෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
  6. වන්දාමි සාධු මමලං ජිනදන්ත ධාතුං……………… ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
  7. ඉකි බිඳින කඳුළු අනුරාධා ගුණසේකර - හොරණ
  8. සුභාෂිතයේ සිත්ගත් කවි අලගියවන්න මුකවෙටි තුමා
  9. පන්සලක කතාවක්. ආරි ලියනගේ - ඉතාලිය
  10. ලන්ඩන් අහස ආරියරත්න ජයසිංහ - මහරගම
  11. මල් දෙකක් ……….. අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
  12. To Infinity & Beyond චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  13. දිනක් එක පාළු හේනක… චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  14. කෝලය හරස් වේවිද මට සැකය මලින් චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව
  15. ♥️ කිම මෙසේ, ♥️ චමින්ද ලියනගේ - බලංගොඩ
  16. නටු⁣වේ කටු රෝස මලේ චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
  17. REPLY චාන්දනී ආර් වේරගල - මීගොඩ
  18. සඳතරණය භෞතිකය සහ නිර්වාණය.වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
  19. මිලානවු සඳම විය අම්මා චමිලා ඉහළගමගේ
  20. උල් අඩි සපත්තු ….. චමරි වික්‍රමසිංහ - පිලියන්දල
  21. මගෙ හිත…. චන්දි ජයසිරි
  22. ඡිවිතයේ අභිමන් චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
  23. බලා ඉමි රංකඳ දකින්නට……. දියත් රන්සර අතපත්තු - පුලතිසිපුර
  24. අම්මා දීපා ද සිල්වා - ලන්ඩනය
  25. සොඳුරු සෙර ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව
  26. පරෝපකාරය…! දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
  27. කිවිපති ගාමිණී සුමනසේකර
  28. පෙරහැර පෙරමඟ මග වැනුමා… ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
  29. සතියක්ම තනියම හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
  30. අම්මා ඉෂංකා මිහිරි කුමාරතුංග
  31. යසෝදරාවතේ සිත්ගත් කවි මහනුවර යුගයේ ජන කවියා
  32. රහස් රහසක් වූ තරමට ය මිහිරැති කෞශල්‍යා ජයලත්
  33. බිගුන් මමන මැදියම කුශාන් ලවන්ග
  34. සමනල සඳෙස 4ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  35. ලන්ඩන් කවි සන්සදයවෛද්‍ය කමල් විතාරණ - කොල්චේස්ට - එංගලන්තය
  36. පණ්ඩිත විමල් අභයසුන්දර දුටු කුමුදුගෙ කවි ඇසගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  37. ගසකි සොඳුරු කපිල ෆොන්සේකා - කොළඹ
  38. සමරමි තාත්තේ ගුණ කවිමලින් පුදා!ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  39. අමතක වීම!!! ලුම්බිණි විතාන - ලන්ඩනය
  40. ලොකු අක්කා ————————- ලුෂානි දමයන්ති - කැකිරාව
  41. ඒත් දැන් හිතනව ද ? ලයනල් ගමගේ ඌරුමුත්ත
  42. අත්තෙන් අත්තට ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
  43. දුම්රිය ලතා ද සිල්වා - නවසීලන්තය
  44. රටක් කොහි ද නිදහසෙ මල් පිපෙන්නටමහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
  45. පරාජය….! ලලනී ගීකියනගේ - රත්නපුර
  46. ගැහෙන පන ටික සේදුවා.. ලියෝමි චාමිකා
  47. තුන් බියවෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා
  48. Weeping willowආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
  49. කණාමැදිරි එළි….. මාලා විජේකෝන් - උතුරු කැලිෆොර්නියාව
  50. දර කෑල්ල මුදිතා ඩයස් - කොට්ටාව
  51. අවසනට කලින් ..මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
  52. මතක මාලිනී හෑගොඩ - USA
  53. සඳුමෙන් බැබලෙමින් මාක් ඇන්ටනි කුමාරගේ
  54. මරණය
  55. ධම්මද්වීප වැනුම මුද්දිත හිරුෂාන් රණතුංග
  56. සංසාරික ආදරයක්…. මයුරි කොඩිකාර - ගම්පහ
  57. කුස නම් මම ඇයව නිර්මාණය කළෙමි මහින්ද රුද්‍රිගු
  58. අසිරිමත් සොබා දම මල්ලිකා කුමාරසිංහ - බදුල්ල
  59. මාලු…… නයනශාන්ති දිසානායක
  60. ඔබ සුදු පියුම සැමදා මාහා රැඳුණ…. නදී ශානිකා - මහනුවර
  61. 4 ට ළඟයි,…….!! නික් ග්ලෙන් - උතුරු අයර්ලන්තය
  62. අනිත්‍ය දැකගතිමි නාලක ගම්මැද්දේගෙදර
  63. හෙණපත නිමල් අබේසිංහ - කඳාන
  64. අවාරේ නදීෂා වීරසිංහ - සහකාර කථිකාචාර්ය - රුහුණ විශ්වවිද්‍යාලය
  65. පා ගමනින් ආවා නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
  66. මචං මනමේ… ( මනමෙගේ සොහොන්වළ ළඟ සිට වැද්දා ) නිදුකි ගමගේ - බද්දේගම
  67. මවක් ගියා මැද පෙරදිගආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
  68. අහිමි බව දැන දැනත්……….. පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
  69. මගේ අදහස.. පුෂ්පලතා කැකුළාවල
  70. මගෙ සිහිනය රෝස මල්ය .. 🎶 ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
  71. ආදරේට නව අරුතක් ප්‍රියන්ති ඕපාත
  72. තිබහට බොන්න බැරි නම්……….. රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
  73. It’s youආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
  74. ඇය ආයෙමත් ඇවිදින්… රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
  75. එක වරක් රේණුකා වීරසිංහ - මෙල්බර්න්
  76. මනාපේ මට දෙන්න…… රංජිත් ද සිල්වා - නවසීලන්තය
  77. භාරත හිමකර තරණ කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
  78. ආදරේවෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
  79. “ලියපන් කවියක්..” සචී ජයවර්ධන
  80. සරසවිගෙ තුටු පඬුර කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
  81. නෑ පලක් සුමිත්‍රා ආරියවංශ - මහනුවර
  82. පරිනත වීම ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
  83. බැදුම් නැතිසිත රිදුම් නැතිවේ: සපුමල් බන්ඩාර - ලන්ඩනය
  84. රාමුව……… ෂර්මිලා බංදුනී දංවත්ත
  85. ගීතයක පද වෙන්න……….. සුදර්මා වීරක්කොඩි
  86. අම්මා එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
  87. සමුගත් ලාල් සරත්රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  88. පිංකළ පන්හිඳ අනුල ද සිල්වාරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  89. තෙවසරක් පිරි අතැර සඳ හිරු – ජී.එම්.අජිත් කිවිසුරුරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  90. ගස් ‍හැලී ගොස් …….. සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
  91. ආදරය ශර්මිලා බන්දුනි දන්වත්ත
  92. පොල් කොට මංගල තෑග්ග සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
  93. සලඹියෝ සිසිර කුමාර කොග්ගලහේවා
  94. අම්මා ඩී.කේ.එච්. සම්පත්
  95. සැපයට කරමු හරිදෙයරාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
  96. ඉසිදාසි නඩු මගට. තුෂාරි ජයසිංහ - මහනුවර
  97. සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
  98. අත් හැරීමම තමයි ප්‍රේමය … තිලිණි ලක්ශාන්ති - මහනුවර
  99. සේන් ගං තෙර දිගේ තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
  100. ප්‍රේමණීය මෝසම WGD තාරක
  101. සතුට ගෙනාවේ උපාලි අත්තනායක - මහනුවර
  102. ඇට්ටේරියා සුවඳයි සොඳුර උදිත සත්කුමාර
  103. මැටි ඝටයේ ගීතය උදයංග අමරසේකර - ප්‍රංශය
  104. සම්භවය ඉන්දියාවේ පදිංචිය ලංකාවේ විමල් ඇම්. ගමගේ
  105. ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි වෑත්තෑවෙ හිමි
  106. බේබිලා ට මළ… වජිර ජයවර්ධන

විල්සන් හෑගොඩ කිවිඳුන් ගේ 39 වන අනුස්මරණය සැප්තැම්බර් 13 වන දිනයි

මම මගියෙක්මි මේ ජිවිත අතර මගේ
කෙලවර නොදැක යන්නෙමි සුබ ලකුණු දිගේ
සපු වග වලස් කොලහල මා ලඟම වගේ
පවතී එහෙත් ගමනට පා යුවල නැඟේ

හදවත මගේ පොත් පිටුවක් මෙනි විවට
එහි නැත නපුරු සටහන් බස් මිස කවට
එනමුත් වෙසෙන සමහර උදවිය අවට
විරිදුව නැග සිටිති පා පෙර කළ පවට

නොඇනී යන්න හැකි වූවත් හොඳින් මට
පාරේ තිබෙන බෝතල කටු අයින් කොට
යන මා වැන්නෙකුට විපතක් කරන්නට
වෙහෙසෙනු කිමද විමසමි හද සොවින් සිට

පසුවූ මග වැඩියි යා යුතු ගමන ටිකයි
අවහිර නැතිව යා ගන්නට හැකිද සැකයි
නොපැතූ තරඟ බිම් හමුවිය සිතට දුකයි
දිනුවත් පැරදුනත් මට දැන් දෙකම එකයි

සාවුන් දුවන තැන උරුලෑවෝ දුවතී
මුතු ඇට රැඳෙන වෙරළේ කුණු රොඩු නවතී
දෙවොලේ නයින් දැන් ඇසුරේ කල ගෙවතී
ලොකු කලකිරීමක් මා සිත තුල පවතී

මොනරා ඉදිරිපිටදී කළුකුමා නටයි
සුදු හංසයා දැක ලංවී කොකා කොටයි
ඉටිකිරි බිංදු හැපුණේ මුතු ඇටය පිටයි
යොමුවී තිබෙන්නේ තරඟය හිනාවටයි

රතු කැට අසල උළු කැට අගනා ගල්ද
දිය බෙරලිය මලත් මහනෙල් ළඟ මල් ද
වෙරි වූ රැඟුම් ඇති රා කඩ රඟ හල් ද
වැඳිරියකගෙ විහිළු සොඳුරක සුරතල් ද

උණ දළු නැගී එයි ඇත්දළ බිඳින ලෙසින්
පුදුමයි සඳුන් ගස වැටුණොත් එඬරු ගසින්
ලොව දෙස බලනමුත් මා කලකිරුණු ඇසින්
නොකරමි වැරැද්දක් කෙනෙකුට කිසිම ලෙසින්

ඉසිබර ඉඟිය නයි පෙන දිග හැරීමකී
නැතිනම් එකට ඉඳගෙන මිනි මැරීමකී
ඔවුනගෙ ඇසුර දුකකට මුල පිරීමකී
මා තුල උපන්නේ දැඩි කලකිරීමකී

මල්පෙති මැදින් උල් කඩුපත් ඉහළ නැඟේ
යන්නෙමි අහිංසක ලෙස එය නොදැක වගේ
කවිකම එළිය කොට ගනිමින් අඳුර දිගේ
තනියට රැගෙන යමි කැමරා කටුව මගේ

1963 ලන්ඩනයේ දී

උල්පත් පෑදිලා ලක් සාහිත කඳුරේ
ගංඟාවක් වෙලත් හෙළ මහ ගී සයුරේ
අෂ්ටක දශක පුරණා කල දිවි කතරේ
ගිනි රස්නයට තෙතමන සෑහෙද මිතුරේ

කුණ්ඩුමනී හිස පීරී මේ ඊරී
හෝඩි පොතෙන් පෑදුව ගීයත් මිහිරී
නිහඬය එහෙත් හඬවන මීයැසි තන්ත්‍රී
නොව පැරණිය වෙයි රමණිය සපුතන්ත්‍රී

නුවණින් එළිය වන මිනිසා ළා හිරු සේ
දසතින් සුවඳ වෑහෙනවිකසිත මලසේ
ගීයෙන් ලියූ හඬ පෑ සුනිලුන් විලසේ
ගිලනුන් ලෙසින් පරවී වැටිලා එකසේ

එහෙව් රටේ නුඹ ඉපදී කල් ගෙවනා
මෙහෙව් සතුට සුතනඹු සමගින් විඳිනා
නොරිදා උනුන් ගතසිත යහගූණ වඩනා
සමහම් මග කියාදෙන් විමතිය ගෙනෙනා

සතුට ඇත්තේ ධනය මත නොව පරම ධනයම සතුටමයි
ඒත් ධනයට යමක් කළහැකි සතුටු වන්නට බොරු නොවෙයි
කලාවට මැන බලන අයගේ ගණිත වික්රම නම් බොහොයි
ඇත්ත බොරුව ද බොරුව ඇත්ත ද සපුට ගාණක් නම් නැතෙයි..

මතක සුවඳ

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

වසරක් ගතවුනා දැනුනේ නැති තරම
කටහඬ සුවඳ නිරතුරු දැවටෙයි ලඟම
ගමනකි මෙය දිනෙක අප කාටත් උරුම
අත්වේවා ඔබට නිවනේ සුව පරම

නෑදෑ හිත මිතුරු සමගින් සැදැහැ සිතින්
ඔබෙ ගුණ සුවඳ සිහිකරමින් තෙමුණු නෙතින්
සඝ ගත දක්ෂිනා පුද දී ඔබගෙ නමින්
අනුමෝදන් කළෙමු පින් පෙත් පිරුණු බැතින්

දූ දරුවන් සමග සතුටින් ඉපිලෙද්දී
ඔබටත් හොරෙන් ඔබ දිවියෙන් සමුගද්දී
පිළිගනු නොහැකි සිත තවමත් වැලැපෙද්දී
වෑවෙමි කෙළස ඔබෙ සිනහව සිහිවෙද්දී

මුවගෙහි සිනාවන් සැමදා පවතීවා
දුක් වේඳනා කිසි විටෙකත් නොමවේවා
යස ඉසුරින් සපිරි දිවියක් අත් වේවා
නිවන් දකිනතුරු යළි යළි හමුවේවා

28/08/2023

සුවඳ ඉතිරි කර යමි Inbox

අනුරාධා ගුණසේකර - හොරණ

නකජීමා සං...
සපථ වෙමි
ලෙන් දොර නොබිඳිමි
නුඹ ප්‍රිය දියණිය
අරන් පිට නොවෙමි...

වැදි රජු අතින් මා
මිය ගියොත් යමි දිනෙක
මළවුන්ගේ අවුරුද්ද
ආයෙමත් එනතුරා
තනිවේවි වනය මැද
අහිංසක නොරිකො සං...

ලෙන් දොර වසාලම්
ලෙන් දොරෙන් පිටව යමි
ඇය කිව් හින්දාම
සුවඳ ඉතිරි කර යමි....

ඉරි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය

ඉරි ඇඳ වෙන්කෙරුව මහ ගේ හා වත්තේ
ඉරු අඔ ලෑලි ගොඩ දෙක වෙන් කර ඇත්තේ
ඉර හඳ යට කෙරුව කොන වදුලක පැත්තේ
ඉරුවක් තනි වෙලා බෙදනට බැරි ඔත්තේ

කර දඬු උස ගියත් බෙදුනේ එක උරය
කිරි එරවා දිය කෙරුවෙත් එක ගතය
කිරුවත් දුන්නු දේ සමවිය නැත සැකය
කරුමය කුමක්දෝ අතපසු වුණු හැඩය

වන්දාමි සාධු මමලං ජිනදන්ත ධාතුං………………

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර

සම්මා සම්බුදු ගෞතම ශ්‍රී දේහය සෑයෙහි දැවෙනවිට
ඛේමා රහත්හිමි එර්දි බලය ගෙන මතුවට සුරකින්නට
වම් අකු ධාතුව ගෙන වඩිමින් එදවස කළිඟුරට
බඹදත් රජු පිහිටුවා තිසරණේ දුන්නා දළදාවත් ඔහුට

ගරුසිත් ඇතිව දඹදිව බඹදත් රජු පවර
අසුනක් සාදවා මිණිමුතු දෙක එකතුකර
දළදා සමිඳු වෙනුවෙන් ඒ කළිඟු පුරවර
ඉදිකර තිබුණාලු පළමු දළදා මැදුර

කල්ගත්වෙද්දි බලයට ආවා රජු ගුහසීව
දැහැමින් කලා රට දසරජ දහමට අනුව
එමතතු ඇසූ සමහර රජවරු විරසකව
සිතුවා ඩැහැගන්න රජු පරදා සිරි දළදාව

සුරැකීව තිබූ කළිඟුරට එතුවක් සිරිදළදා හිමියන්
පැමිණුන සතුරු බලයෙන් සදා රැකගනු රිසියෙන්
දන්ත කුමරුවන් කුමරිය හේමමාලාවද සමඟින්
හෙළදිව වඩමවා ආවේ මහරජ ගුහසීව අණින්

මහසමුදුර තරණය කර පැමිණි සියළු බාධා මැදින්
දන්ත ධාතු සඟවාගෙන කෙස් කළඹේ ඉතා සොඳින්
දළදාගමනය කළේ මහ භාරතයේ වූ කළිඟුරටින්
භාරදෙනු සිතා ලක්රජුහට අපේ මහසෙන්

හෙළදිව ගොඩබසිනවිට දළදාවත් ගෙන නැව්තොටින්
මහසෙන් රජු මියගිහින් රජවීය පුතු කිත්සිරි මෙවන්
ලක්දිව වැඩමකළ බව උත්තම දළදා සිරි දළදා සමිඳුන්
වැඳපිළිගත්තෙ මේඝගිරියට ගොස් බුද්ධාලමිභන තුටින්

සදා කරඬුවක් පළිඟු රුවනින් දළදා හිමි වැඩහිඳුවා
මහරජතුමන් මනාලෙස වැඳ පුදපූජා පවත්වා
මහ පෙරහරින් අනුරපුරයට ගෙනගොස් වඩම්මවා
රජමැදුරේ තබාගෙන පුදපූජා නිතියෙන් පැවැත්වුවා

වැඳුම් පිදුම් නිතියෙන් කළ නිරිඳුන් වසරින් වසර
දළදා සමිඳු වෙනුවෙන් කර ඇත දළදා පෙරහැර
මතුවට රජවන රජවරුනද ලක්දිව මහනොහැර
පුදපූජා කළයුතු බවට ඇත මහරජු නියමකර

කිත්සිරිමෙවන් රජ දවසේ සිට මෙසිරිලක
පුදපූජාවන් කළා රජදරුවන් හැකි සැමවිටක
පරසතුරන් නිසා කැඩුනත් පිළිවෙත යම්විටක
තුන්හෙලයන් එකතුව කරනව පෙරහැර සිරිලක

සඳකැන් ‍ගලන සඳ නුවරට අද පුර නිකිණි සඳින්
ගිජිඳුන් සරන සඳ කරඬුව ගෙන සුදු පාවඩය මැදින්
සතුටින් බුද්ධාලම්භන පොදුජනතා සාදු නදින්
වන්දාමි සාදු මමලං ජිනදන්ත ධාතු බැතින්

ඉකි බිඳින කඳුළු

අනුරාධා ගුණසේකර - හොරණ

සොයද්දී පීරමින් තරු අතර මහ රෑක
හිනැහෙමින් නුඹ හිටියේ එකම තරුවක් මානේ
බොඳ වෙමින් නෙතු අතර නුඹ එක්ක මැවි හීන
නොඑන්නම යන්නමි තුටින් ඉනු ඇය ගාව

මතකයක් අමතක කරන්නට බැරිව අද
දැවෙන්නට මේ තරම් මා කරපු පව කිම
සංසාර ප්‍රේමයක අහිමි උණුසුම මැද
මේ ගෙවෙන්නේ හරි අමාරුම දවස් ටික

නුඹ තනිව විඳගන්න ආපු හැම වෙලාවෙම
එකම තරුවක් ඇයි නුඹ ළඟම හැම විට
මගෙ මැණික නුඹ විතරමයි කියල කීවාට
ඉතින් ඇයි ඒ තරුව ඉඟි කරන්නේ නුඹට

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

තිරසර ගුණැති සුදනෝ පරවැඩ නැතිද
වරසුර පුරෙහිවත් නොවසති නිරය ලෙද
ගොරතර නිරෙහිවත් පරහට වැඩ ඇතිද
සුරපුර ලෙසට හැසිරෙත් සුවසේ නිබඳ

පන්සලක කතාවක්.

ආරි ලියනගේ - ඉතාලිය

නිවෙන්න ගිය පහණට
තෙල් බිඳක් දැමූ දෑතට
වෙන්න එලියක් සදහට
පිණක් නැහැ මැටි පහණට.

දැවෙන කූරක හඳුන්
සුවඳ විහිදෙන සැනින්
දැවී අලුවී යයි සෙමින්
අනිත්‍යය නොදුටුවෙ දනන්.

සතර පෝයටම සිල්
පුදන දසදහස් මල්
බණ පිරිත් තුන් කල්
රකිනවද එකෙක් පන්සිල්.

දෙසන්නේ බණ මුදලට
වඩින්නේ සුපිරි රථ පිට
වලඳන්නෙ බොජුන් ගිජුවට
නොදකින්නේ මොක්පුර සදහට.

ලන්ඩන් අහස

ආරියරත්න ජයසිංහ - මහරගම

සඳවත වැසිලා වලාවකින්
කුණාටුවක පෙර නිමිති වගෙයි
දෙනෙතින් විදුලි කොටයි
මේඝ ගර්ජනාද ඇසෙයි

එසැණින් කඩා හැලෙයි
වැස්ස වැටෙයි දෙනෙතින් රූරා.

මොහොතින් නිසසල වෙයි
ළා හිරු පායා එයි
ඇගේ වත පැහැබර වී
ටික ටික අව්ව වැටෙයි.

ලන්ඩන් අහස වගෙයි
වැස්සක් නොවැටුන ගානයි.

මල් දෙකක් ………..

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව

ඉසුරුමුණි හන්දියේ
මල් කඩය අද්දරට

යා නොයා බැරිවුණේ

නෙළුම් මල් අරගන්න

ඉන්දුගේ අත උඩට

මල් වට්ටි වැඩිදාක

එළිය වුණු හද එළිය

විදුලියක් විණි එසැණ

දම්මිගේ අත අරන්

හෙමි හෙමින් සීරුවට

පා යුගල ඇවිද්දත්

හිත තාම නැවතුමක

දරු ගැබක් පතාගෙන

බෝධියට යන කලට

ඉන්දු පැන්නා පාර

ගැබක් කුස දරාගෙන

To Infinity & Beyond

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

It's raining and I'm so cold
What's my happiness right now? No idea
I'm just watching outside through the window
But wait. I see something shining
Hey, it's you who are coming to steal my heart
And thank you.!

Wait for a long. How could I tell you
I can't. Even now. An excuse
A big reason.
But trust me, I'm with you
Call me whenever you want
And I'm counting down to take my phone.

Do you feel it?
I'm just asking about the warmth.
A smile
How to reply. You're in a deep sleep
Between my arms and close to my heart
An imagination. I'm happy because it's you..!

Wish you were here with me, I know,
Physically far but close with minds
The tea is cold. Never mind
I'm still writing
Little princess, be mine
To infinity and beyond, you're loved!

දිනක් එක පාළු හේනක…

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

රක්ත හිරු රැසින් වෙළී වැහැරුණු සිරුර,
තද සුළඟට ඇඹරී ඇට බැසි ගිය
නාටුව ගැසුණු ගසක් සේ ය.
ඇටගොන්න වසා හිඳ සම ද රැළිවැටී,
ගොරහැඬි ව වියැකී ගොස් ය.

එමැද, වියළි දූවිලි සුලියක ගසා ආ
වරා මලක් වැද තදට,
පපු කැණැති පලා,
තියුණු උල් කටු ඇණී,
වැදී මස් කැබලි වී,
හදෙහි ප්‍රාණය ගිලිහුණාදෝ..?

මහ පොළව හා උරිනුර
පැය ගණන් ඔට්ටු වී, වෙහෙසී
වන සතුන් හා කරට කර
පොර බදා විටෙක මරණයට බිය ද වැද
රැයට හේනේ පැලේ, පැල් රැක
අළුයමේ යළි අවදි වී,
ගෙවයි දින එක-දෙක මැරි-මැරී..
තාලයේ හඬ මැදින් කියයි ඔහු ගෙවන කර්කෂ ජීවිතය,
ඇහෙන්නට අඹුවට, දරුවනට ගොවි රජ පැලට වී...!

කෝලය හරස් වේවිද මට සැකය මලින්

චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව

සියපත් සිනාසෙන විට බිඟු බමන වට
ලා හිරු සිනා සී පෙම් ගී කියන විට
සීතල ජලය සුහදව කිති කවන මට
පවනට මුසුව සුවඳක් මුසු කරමි බට

මිණිකැට පරාදයි අවටම තණ බිස්සේ
එලලා වැන්න මල් තුහිනය පොද රිස්සේ
දිස්නය දිදී බබලන විට හිත අස්සේ
මේවා අසෙන්නට කිසිවෙකු නැත පස්සේ

කාලය ගෙවී ඉර සැඩවට වෙන්න කෙලින්
තාලය කොඳුරමින් සවනත වැයෙන පෙළින්
මාලය කරවටක් බැඳ කැඳ වන්න කලින්
කෝලය හරස් වේවිද මට සැකය මලින්

♥️ කිම මෙසේ, ♥️

චමින්ද ලියනගේ - බලංගොඩ

නුඹ ද මා විය
මම ද නුඹ විය
නුඹට මා විය
මටද නුඹ විය
එදා නම්,

සිතක් ඇවිදින වේගයෙන්
වෙනස් වන මේ විශ්වයේ
ගති සොබා හඳුනන්න බෑ
එක්ව විමසමු කිම මෙසේ,

නොයිවසිල්ලෙන් දුවන යාමේ
රකින්නට ළැදි පරපුරක්
විරාමයකින් නිදැල්ලේ
හුස්ම ගන්නට නෑ ඉඩක්

මහමෙරක් බර හිස තියන්
හෙටක් දකිනා සිහිනයේ
කප්පරක් කල් ඇවිද යමු අපි
සොයා ගන්නට ජීවිතේ,

නටු⁣වේ කටු රෝස මලේ

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය

නටුවේ කටු රෝස මලේ
කටු ඇණුනා ම තමයි දැණුනේ
ඔය මන බඳින රූපේ යට
මොන හලාහල විස තියෙනව ද

සුවඳ හැඩ රුව සැබැයි
ලංවෙන්න හිතෙනෙවා තමයි
ඒ වුණත්- බලාගෙනයි
කටු තියෙනවා ම යි
සැඟවිලා මුදු පෙති යට

පැණි පිරෙන්නේ මල් කෙමි වල
බමරුන්ට රස උරන්නයි
මකරන්ධයෙන් මත් වෙන්නයි
සසර මඟ දික් කරන්නයි

සසර මඟ දික් වුණාවේ
නියඟලා විස වුණාවේ
මගෙ⁣ පණ කෙන්ද ගියා වේ
ලං නොවී ඉන්න නං බැරුවා ම යි

02-02- 2023

REPLY

චාන්දනී ආර් වේරගල - මීගොඩ

If only I could hold his hand,
when he released his last breath.
If only I could tell how much I loved him,
before he closed his eyes.
If only I could see his dear face,
before he was finally gone.
If only I could leave a kiss on his lips,
to bid him farewell.

If only I could show his child,
the place of his eternal rest.
If only I could go there,
to sit and cry my heart out.
If only I could plant a tree there,
to protect him from sun and rain.
I could have made up my mind,
to say 'I do again'

සඳතරණය භෞතිකය සහ නිර්වාණය.

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

හේ ගේ වේලාවෙන් දෙදොහකට පෙර
චන්ද්‍ර මුහුණත සිත්තම් කලෙහි සස රුව
උන්ගේ කාලයෙන් දහස් වසරක් හැර
කියත් ඒ ලප ආවාට වග...
මුසාවෙකි ඒ සසඳාවත....

සිනහ පහලව සක්‍ර
"එබෝසත් බුදුව පිරිනිවී ගොස් ඇත
එහෙත් තීන්තය තවම මා අත -
කලාකරුවා නිවන් නොදකිත්
හුදී ජනයා රසය නොවිඳිත්..'

ආදම් ගේ ඇපල් වත්තේ
ඉන්නකට හිට්ටු ජම්බෝල ගහෙක
මුදුනට බඩගා කළුකුහුඹුවා
ගෙඩියකට නැඟ පොත්ත අතගා
ඇන්ටනා අඬු උස්සා
එවා ඇත මහා පයිණ්ඩය..

"වළ ගොඩැලි බහුලය මේ තැන.
නැත එක සීනි කැටයක්..
ඒත් යෝධ පියවරෙකි
සමස්ත කුහුඹු වර්ගයා තැබූ..."

විෂ ඇපල් උයනෙක
නිරුවතින් මහා ප්‍රීතියෙන්
සිනාසේ ආදම්....

"ඒවා.. ඒවා...
ඇපල් වත්තේ ඉන්නට හිටවූ
ජම්බෝල ගහේ ගෙඩියක
අලුත් ඇවිදින කළු තිතක් දුටුවාද???"

මිලානවු සඳම විය අම්මා

චමිලා ඉහළගමගේ

සිතුවිලි තෙත බරව නැග එයි දිය කඳුරු දෙකකින්
මනවිල කැළඹිලිව සිහි මද විය අඳුරු බවකින්
සමයක තිබු රැඳුම ගිල ගෙන දිවග පවසකින්
ගොළුවත මය පෙළුම නැග විඳි හද මතක කුළකින්

තැවරිලි තිබුනි ශිකරෙක පවා වැඩිම උසකින්
රැඳවිලි ලිහුනි බිඳ වැටි මහා රුකක සැනෙකින්
මැතිරිලි පිරුනු දිනයක සුවේ පමණි මනකින්
ලතැවිලි එතුනි දකිනෙමි සඟේ මතුව හසකින්

ගලාගෙන ගිය සෙනෙහස උල්පත් වියලිලා යන හැටී
දරාගෙන ගඟ ගැළුව නිල්වන් සයුබලා ගෙන වැටී
පලාගෙන ලය ලැබුව වත්කම් ගිලිහුන බව දුටී
ඉරාගෙන නෙත කඳුළු පැල්ලම් සැරසිලා රැක සිටී

කැණිමඩල පමණක් තියා යටලීය කැඩුනවු ඇසිල්ලක්
හද තුලක තැවුලක් ලියා ගිලිහීය මිලිනව රැඳිල්ලක්
රඟහලම හරිමින් පියා සැඟවීය උදුලවු සියල්ලක්
හිමිකමද පසෙකින් දමා හමුවීද සදතන විඳිල්ලක්

උල් අඩි සපත්තු …..

චමරි වික්‍රමසිංහ - පිලියන්දල

ඒ රතු මැයි ගස යටින් යද්දී
තිබුනා කියන්නට කතාවක විත්තී
මල් පිපෙන කාලයටත් යටත් වෙද්දී
නොබලා ඉන්නේ නෑ ඒ තතු විත්තී

ඊයෙ පිපුනු මල් අතු හැර දමා,යද්දී
බඹරෙක් රමණය කල මලක් ඒ අතර වෙද්දි
ඵල හට ගන්න කලින් වැටුනාද රත්තී.
කියා,හැඬුවා ඒ අතු ඉත්තී

පාරෙ යන නෝනලා පාගද්දී
අඩි උස සපත්තුවට පෙති හිල් වෙද්දී
අර රමණය කල පොඩ්ඩී
එතනම මියදුනා ගැබ දැරූ ඇත්තී

පාරෙ ලයිට් කනුවට මුවා වෙද්දී
කඳ කොල උදවු කල ඒ ඇත්තී
ඈ මේ මැයි කඳට පිට දෙද්දි
රෑ ගනනක රහස් ගස දරද්දී

වෙනස් මූනු නුඹ හැමදාම ඉඹිද්දී
බඹර වෙස් ගත් උන් හා,ලගිද්දී
කට ඇරියෙ නෑ නුඹ රත්ති
වැදූ පැටියා ඈ පාගද්දී.

මගෙ හිත….

චන්දි ජයසිරි

විටකදි දැනෙයි එය වාගෙ මහ මුහුද
කලඹයි නිතර අවිහිංසක වුව මහද
ඇවිදින නමුදු එක තැන නවතනු බැහැද
කිව්වට ඉතින් හිත මගෙ එව්වා අහද

පෙර මතකයන් ලඟ විටකදි රැඳේවී
හිමිනැති පෙමට හරියට ඉකි බිඳීවී
හිතුනම ඉතින් බොඳ සිතුවම් අඳීවී
තනිවූ විටදි ගී කවිපද බඳීවී

කය හා බැඳුන හිත මේ දිවි තිබෙන තුරා
හිනැහෙන වගයි විටකදි මා නොමර මරා
වරදට පොලඹවන්නට දී හැඟුම් නුරා
නිහඬව හිඳියි කියලා නුඹ ගනින් දරා....

ඡිවිතයේ අභිමන්

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

සන්සුන්ය සිත සැනසිල්ලේ
නොඇසේ හඬවල් ධාවන පථයෙන්
ඒත්,.......
හද කකියනවා ........
සිහි වෙද්දී කුරුලු රෑන්,.......
කිචි බිචි නාදය මිදුලේ,..
අවදි කරයි අප උදැසනින්ම
මිදුල පුරා තරඟෙට ගනිමින් අහර
ගී ගයා සතුටින් රැගුම් පාමින්
සිරියාව ගෙනාවේ හදට,....
අත් හැරියා හැම දෙයම,.......
සිත හරිම සන්සුන්,......
ඒත්,........
තවමත් බැහැ
අමතක කරන්න කුරුල්ලනේ,.......
කවි ලියැවුණා සිත පුරා මනරම්,...
ලොවට දකින්නට .......
කුරුල්ලනේ ඔබගේ ලොවෙ කිමිදෙමින්
අපෙ නව නිවහන තුන් වෙනි මාලයේ
කවුළු තුළින් ඈතින් දිස්වන කඳු යාය
තුරු ලතාවන් පිරී......
හරිත පැහැය නෙතට ගෙනදෙයි සිසිල
පාවෙනා නිල් වලාවන්,...... ..
නෙතට ගෙනදේ සිසිල

කඳු පාමුලට විටෙක මහ මුහුදෙන්
ගලා එන ජල කඳ.....
සුළඟට මුසුව සිසිලස ගෙනදෙයි සිතට,......
භාවනාවෙන් ලබන ශාන්ත සුවයක් ලෙසින්
ගත සිත පිරී යයි හැම විටදී,.......
පුතුගේ අපේ රත්තරන්,......
සතුටු වුණා හද පත්ලෙන්ම
Step up කරයි කියා අපෙ දිවිය ඉදිරියට,...

විවිධ මත නාද පැවසෙන විට.....
ගත් පියවරට එරෙහිව
මිතුරිය මගෙ නීතිඥවරිය
Brilliant thing you did,. ...
සැනසුවා මා හද සුව පැන් ඉසිමින්,... ...

20/08/2023

බලා ඉමි රංකඳ දකින්නට…….

දියත් රන්සර අතපත්තු - පුලතිසිපුර

පින්නෙ පීදෙන කැකුළු වාගෙයි ලපටි කාලෙම බැන්ද ආලේ
ලිව්ව කවී ගී සිංදු ගැයුවා අපේ අම්මගෙ පුරුදු තාලේ
සිද්ද පත්තිනි දේවි බැල්මන් ලැබුණු හින්දා තුරුණු කාලේ
සද්ද බෙරහඩ රබන් ආසිරි මැද්දෙ මතකයි පැලඳු මාලේ

බිමට ගොමමැටි තැවරුවාමයි නැවුම් එලියක් ගෙනෙනු හැක්කේ
ඔබගෙ වත්කමෙ සුවය සුවයයි; පහන් සිතකිනි, එයද දැක්කේ
පිරුණු නාඹර යොවුන් ගතියට ගැටිසි දෙනුවන් වලින් රැක්කේ
බිළිඳු හඬකට සුවය සැදුමට සුරලොවක් මැවුමටයි ඔක්කේ

ඉල්ලමක් මතුකරල ගන්නට පතල් දෝනා තුල එබෙන්නට
කලින් බැතිබර සමන් දෙවිදුට මතක් කරලම බාර වෙන්නට
පැලේ පහනත් දල්වලා තව උතුම් තෙරුවන් ගුණ රදන්නට
පතා මා මග දෑස දල්වා බලා ඉමි රංකඳ දකින්නට

ලහිරු අබියස දිලෙන පිණී වැනි ගලන දහබිඳු ළමැද ඔස්සෙ
වියපු වේවැල් පුටුවෙ ඉඳගෙන මුදුව පිසලමි සිතට රිස්සේ ....
සිසිල් දියරැඳි ගඟට ගියකළ දැවටි දැවටී නුඹගෙ අස්සේ
පිපෙන නාදළු දෙතොල් තෙමමී ලැබෙන උණුසුම් හාදු වැස්සේ

පිසුව බත ගෙන මාළූ පිනි හා මඩක්කුවකටම බෙදද්දී
හොඳට වැටහුණ සුදා කී දේ බොරු තරහ ගෙන රවද්දී
තවත් කොයිබද එවන් සතුටක් අන අනා එය කවද්දී
ගසට පොත්තයි සෙනෙහෙ දිවියට ලැබුණු ජීවිතෙ විදිද්දී

බටිති මාලති සැඟවුනාදෙන් අඳුර ; මුළු වටපිට එතූ
එළිය ලන්තෑරුමෙහි දල්වමි සහන් එළියක් ගැන සිතූ
පිරූ මධු මී රෝස දෙපෙතිත් අදිටනින් බමරට නතු
ඉපිළ පොපියයි සොඳුරු මේ රැයෙ පැහැය මදිතිය මෙනි රතූ

- දියත් රන්සර අතපත්තු -
පුලතිසිපුර

අම්මා

දීපා ද සිල්වා - ලන්ඩනය

වැටෙන විට
මුක්කුවකි
කදුළු පොගනා
පත් කඩකි
දුක් සීරුවට බේරන
නෙළුම් පතකි
සිනහවට මං කියන
ඉඳුවරකි
ආදරයට තව නමකි
අම්මා

සොඳුරු සෙර

ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව

සොර ලියකි මහ රැයේ මං පහරන
දිනයි නුඹ මට උරුම පැරදුම
තිබුන දෙය තිබුණු තැන දමා යන අලුයම
නින්ද පමණක් පැහැර ගෙන යනු කිම

සීත රැයකට මවා ගණ'ඳුර
ධවල සඳ එළි අතුළ අහසේ
මුසු කළා රෑ දකින සිහිනෙට
පොපියනා මිග දෙනෙත වුවනේ
දවටලා සිත තත් සරට නොව
මිහිරි වෙණ බඳ වෙතට රහසේ
මත් කළා නිදි නොමැති දෙනයන
ඔවැනි දඟකම් කිමද මිහිරේ

වලා සළු පොට උනා අහකට
සඳත් ලස්සන වෙලා අඹරේ
තෙතයි කවි සිත සක්ක පද වුව
නාරි කුසුමක සුවඳ වෑහේ
දිගයි හැම රැය නින්ද නැති මුත්
ශේෂයක සරතැසක් නොනැඟේ
සොඳුරු හෙර නුඹ නිසා හද දොර
අගුළ මලකෑ සෙයක් දිස්වේ

පරෝපකාරය…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල

එකිනෙකාට උදව් කෙරුම
මාහැඟි ගුණයක්...
වැකියෙන් පමණක් කරතොත් එයනම් විණයක්...
නොකියම සවි දෙන උදවිය
අපහට ධනයක්...
විකිණෙන ලොවෙ සමහරු අද වන්නෙම ඇණයක්...

'පරෝපකාරය' යනුවෙන් දහමෙදි කියවේ...
නනාප්‍රකාරය මිනිසුන්, විවිධම අයවේ...
මනෝවිකාරය ඇති කල ගුණදම් දියවේ...
ප්‍රතිඋපකාරය නොතකයි රටෙහැටි
මෙයවේ...

ගහ යට දෙදෙනෙකි පෙනෙනා, තම දිවි මරණා...
දහයට ගණනය බැරි කල නැත
අන් සරණා...
සහයට ආ මිතුරාගේ ගෙල
සිර කරනා...
නහයට නාහන නරුමෙකි මේ
තැත දරණා...

හොඳ දේකට උදව් කෙරුම වූවත් යහපත්...
මඳකට වත් නොසිතිය යුතු සියපණ නැහුමත්...
සිඳගත් කල දිවි ඒ අකුසලයම
බලවත්...
විඳවන්නට ප්‍රේතාත්ම වෙයි ලැබ
ගැනුමත්...

නිවනින් සැනසුම ලබන්න
ඇවසිම වනදේ...
නුවණින් බල, "ක්ෂණ සම්පත", නොලැබී යන,දේ...
මරණින් පසු ගොඩඒමක් නැත,
දුක ගෙනදේ...
සරණින් තුන්, පතනෙමි නොවනට
හද දන දේ...

කිවිපති

ගාමිණී සුමනසේකර

පෙරහැර පෙරමඟ මග වැනුමා…

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය

එකොළොස් පෝයෙන් සොළොසට වන්නට දස දිනකට ආපසු ගැන්නේ
කප් උස් කෙරුවෙන් දෙවිනුවරින් වැඩ සෙංඛණ්ඩින් ගෙවැදී ගන්නේ
තුන් තිස් ගණනින් දේව අසුන් එහි උඩින් වියන් හෙම බැඳ ලන්නේ
ද්වි තිස් දිවමන් සද්ධාතුන් වැඩ කරඬු ගජසුනෙන් වැඩමන්නේ

වඩින්න වස් කල දෙවියන් රැස් විද අවසර සද්දෙට ගුගුරන්නේ
දමන්න හිස් සත පාප ගින්න ඒ විදුලි රැසින් සලකුණු දෙන්නේ
තෙමන්න සෙස් ලොව මේඝ බරින් දම් මඟඑළි තැන තැන රැස්දෙන්නේ
නඟින්න උස් මේ අහස් කුළට හිමි පෙළහර සහසක් පාමින්නේ

රිදී උඩැක්කිද රිදී වළල්ලද ගදඹ පෙළින් සැදුවයි වැනුමා
සැදී අඩක් ඇඳ මලය රජුන් දැරු සූරිය අභරණ මඟ නැටුමා
මිදී මිටක් කොට පාළොස් සඳ රැස සුරඹ සෙනඟ විද්දයි වැඳුමා
නදී සොඬක් මහවැලී ඇතෙක් සේ දළදා වැන්දයි නෙක රැකුමා

සතියක්ම තනියම

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

කන්දක්ම රෙදි සෝදා
වෙලෙනු පිණිස වැනුවෙමි
ඉනික්බිති මා නගරයට ගියේ
තරමක් අවිවේකී වනු පිණිසයි
මා යළි ගෙදර එද්දී
රෙදි වැල මත
ඔබේ හොඳම කමිසයේ අත
මට ආචාර කරන්නට මෙන් එසැවිණි
අප දෙදෙනාගේ රෑ ඇඳුම්
සිහින් මඳ සුළඟෙහි
වෙළෙමිනි… ලෙහෙමිනි

එළඹුණත් රාත්‍රිය මා වෙත
දහවලය ඔබට, ඔබ සිටින තැනට
පිරී ඇතිමුත් සරත් සඳ
විසිරුණු වලාකුළු
මුවාකර ඇත එහි දීප්තිය
කැන්සාස් නගරය තරමට
පළල් ය, පැතලි ය
ඇඳේ ඔබ නිදන තැන
ඔබේ කොට්ටය පෙනේ
තරව, සිසිල් ව
රූපකයක් ව

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘Alone for a Week’ by Jane Kenyon

Jane Kenyon (1947- 1995) ඇමෙරිකානු ජාතික කිවිඳියක් සහ පරිවර්තිකාවක් විය. ඇගේ නිර්මාණ සරල වූවත් ඒවා මානුෂීය හැඟීම් වලින් පොහොසත් ය. ඈ කවි පොත් හතරක් පළ කර තිබේ

Photo- Caspar Rubin on Unsplash

අම්මා

ඉෂංකා මිහිරි කුමාරතුංග

ලෝකය නුඹම වෙලා
ඇවිදන් යද්දී මඟ සොයා
සැරයටියක් වී ලඟට වෙලා
සවි අරන් සෙවනැල්ල වෙලා...
ලඟ උන්නා නම් ....
අම්මේ නුඹ පමනී....

තන්හා මානය ලග සිත නැවතී
පසු පස දුවනා සිත් බැදී
අනෝරා වැස්සේ දකිනා මිරිගුව ලගදී
දෙපා නවතනා මායාවකී
අම්මේ නුඹ මායාවකී.....

සෙනෙහස රැදෙනා නෙක මායිම් ලගදී
නිමා නොවනා පෙම දෑසෙ රැදී
සිත සනසනා...නෙත පවසනා
අම්මේ නුඹ ලෝකයකී....
අම්මේ නුඹ වසන්තයකි...

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර යුගයේ ජන කවියා

කාරණාව බුදුවනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අද අඳුරුයි සුවාමිනේ

සුරඟන කතාවල විය නොහැක්කක් නැති
අතෑරුණ තැන ඔබ අත මකා පිටු ඇමිණිය හැකි
මගෑරුණ තැන ඔබ මා පෙමින් පිරියම් කළ හැකි
සිනාසෙන ඉමෝජියකින් ඔබට පිළිතුරු දිය හැකි

හසුන් නවයෙන් නැවතුණ අකුරු නැවතත් ලිව්වැකි
දසුන් සමඟින් පණිවුඩ අත් බණුවකින් එව්වැකි
කසුන් සමනොළ තටුවක සුවය තැවරූ තොල් පෙති
අසුන් ගන්නා නළලක් මටත් හිමි විය හැක සකි

ලියුම්, දුර බණු කතාතර ඉපදුණු පිළිසඳර වැකි
බියෙන් හැංගූ එකමෙක හමු වූ දවස මැකුවැකි
වදන් හිඟ වූ ගොළු ගිරවියට නැවත පණ පිම්බැකි
අවන් හලකින්, කෝපි රසකින් පිටුව නැවතත් ලිව්වැකි

නමුත් සුරඟන කතාකරුටත් අතපසු වීම් විය හැකි
නමුත් නගරත් ලියන අතරෙ දි මතක පැටළුම් විය හැකි
ඔබත් ඔහුවත් සසඳනායුර ඔහුත් දන්නේ නැතිවැති
මමත් නොසොයමි රහස් රහසක් වූ තරමට ය මිහිරැති

© කෞශල්‍යා ජයලත්

බිගුන් මමන මැදියම

කුශාන් ලවන්ග

මී ඔය සුරින සුර නා දළු අගන යුග
ඈ රමනීය පුන් පියුමන් අදර බර
රෑ සියෝලගම සද උකුවී පහන් විද
ඒ එළියෙන්ම රස ගෝමර පතිත විය

බිගුවැල් යොමා ඹබරින්දූ සොදින් වඩා
හසකැන් දිගේ ඒ එන මග ලවන් පුරා
මී සර දිගේ කොපුලත තව පිරිස් සලා
කෝකිල රග මඩල වෙතටම හීයක් එල්ල කලා

ඉදුවර තඹර පෙති මත පුන් පයෝ සද
වුවනත සදළු පාපෑගුන රෝස පට
ලා රතු ගිනි හිරු රැස් සුසුම් වෙත
සීතලම කෛලාශ උණුසුම් හැගුම් ගොඩ

හසකැන් මුවින් දෑසින් පවසමී බෝම
රස පෙති තළා වුව රොන් ගන්නේ නොමැත
දළ මද කිපුන ඇතුනුත් බිද හලා ගෙන
පැමිණී සුර අන්තයකට සද මැදි වෙන්ට පෙර

--kushan lavanga--

සමනල සඳෙස 4

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

සමනල සඳෙස 4

දතයුතු කරුණු ගොමුව - 2

උණුසුම් වූ උතුවන

51. සමනල, නුඹට මා කිව යුතු දෙයක් ඇත
සුකොමලකමට යන විට තව තැනක් වෙත
ගහ-කොළ හොඳට තිබුණත් කඳු පෙලක් මත
කළබල කරයි ඇසු පමණින් නමක් සිත

52. හද ගැහුණත් එ නම ඇසු පමණින් නුඹගේ
නද දිය යුතු නොවෙයි ඔහු අද නැහැ සිරගේ
තදකොට තබා පණ නළ සිඳුවත් මර-ගේ
මදනල හමයි සුවඳත් අරගෙන මොහුගේ

53. වග-තුග හොදට දැනගෙන කඳු වට උතුවන්
අග-මුල හොදට පහදයි එ ගමේ උගතුන්
මග-දිග හොදට රැක හිඳ කළ කෙළි මෙපුතුන්
සග-“යකු”මොහු වික්කෙ මුදලට සතුටු සිතින්

54. නමට ගිය කන්ද උතුවන සර්දියෙල්ට සබද
එමට ඇත තව ම උනුසුම කළ - කී දෑ නිබද
නිවට නොවී මිටට ගත්තෙ ඇතිවුන්ගෙන් රදළ
කමට දුන්නෙ දුක්පත් දනගේ සැපතට මුදල

55. ගසා පියපත් පියඹ-පියඹා
ඉතිරි දෑ දැක නුඹ නෙතින්
අසා දැනගෙන උගත් පිරිසෙන්
සර්දියෙල් ගැන හදවතින්
වසා ඇස පොලිසියෙ උකුසු
සුදු අදිරදුන්හට පහර දුන්
තොසා ඇතිවෙ ද රැගුම එළිවන
විට දි උතුවන ගිගුම් දුන්

56. පැණ ඇසු පමණින් ම ඔහු නම
රුදුරු මිනිසකු ලෙස ම දැනුණේ
දැන නොසිටිය ද දැක-පුරුදු නැති
වුව ද බියකරු වෙස ම මැවුණේ
තැන එ දවසෙහි කිසි කෙනෙකු
පසු බිමට වටුණ ද කළුව සැළුණේ
මැන නොගොස් පිය සිටියෙ ගෙතුළෙ ම
බයට ම ලු දැන-දැන ම මරණේ

57. ඉඳින් සමනල සබඳ නුඹෙ සිත
බිය සදන්නට නොව කියන්නේ
සොදින් දැක-හදුණා දැණුම නිසි
ලබන්නට ම ය තතු සොයන්නේ
කවුද-කොහෙදි ද කුමට ද මේ
තරම් රුදුරු ව සතුරු වැන්නේ
නම-ගම ද ඉපැදුණු දින ද මා
කියන්නම් නුඹ සිතට ගන්නේ

58. කිතුණු වසරින් එක දහස්
අටසිය පහේ තිස් හි දී බිහි වුණ
පිරුණු දෙකොපුල් ඇති බරින් වැඩි
ලොකු බිළින්දෙකු මවට පුතු වුණ
පිච්චොහාමිගෙ කුළුදුලේ
ඉපදුණු පුතා නම් සර්දියෙල් වුණ
සමර කරමින් වනන්නෙමි මම
වීර හෙළ පුතෙකුගෙ වරුණ රණ

59. මහබිරිතානියේ සුදුවුන්
සර්දියෙල් හරි හැටි නොදත්තේ
කුඩා කල සිට සර්දියෙල්
“නාහෙට අහන්නැති” වග ම ගත්තේ
තුරුණු විය වෙත පා තබන ඔහු
බිය කුමක් දැයි නැති ලු දත්තේ
නැගුණු කළබල ඉවස බැරි තැන
පිච්චොහාමිත් තැති නොගත්තේ

60. පැහැර ගිනි අවි කිසිවකුට
නොදැනෙන ලෙසින් සඟවා තබා බැද
නිතර “ආ-ගිය” තැන වෙනස්කොට
සැඟ ව ගොස් මීගමු පියසෙ හිද
පලා ගිය කදවුරෙන් යුද හුද-
-කලාවේ ඔහු සැරිසරන සද
දෛවයේ සරදමින් දෝ ඔහු
අතින් නැසුණේ මිනිස් දිවි සොද

61. තැනින්-තැන පැන හැංගි-හැංගී
මිනී මරුවකු ලෙසින් උන්නේ
වසින් විසි හත් වැනි කලෙක දී
අතැර ගම වෙනතකට පැන්නේ
අසු වුණත් ඔහු පොලිසියට කජු
කන ලෙසින් ම ය කටුව ඇන්නේ
පුදුමයකි මට නොමැති වී නම්
සුද්දගේ ලෙය වතුර වැන්නේ

62. පහත රට සිට ගමින්-ගම පැන
කඳු මුදුනට ම රිංග ගත්තේ
“උතුවනයි” නම ගම ද කන්ද ද
ගම්මු කවුරුත් සුවය ගත්තේ
තවත් සගයෙක් වී ය ඔහුගේ
ළග ම ඇසුරට හදුණ ගත්තේ
නමින් “මම්මල මරික්කාර”යි
“තකට-තක” ගිවිසුමයි ගත්තේ

63. නිවට අදිරද වාදය ද
රදළයන්ගේ අදිපනත් සුන් කර
පොහොසතුන්ගේ මුදල් පොදි ගෙන
දුගී අසරණ දිවිය පුන් කර
“සිරිමලා” නම් තවත් සගයකු
මුණ ගැසී දෙදෙන ම කළේ මුර
තව ද “යන-එන” එවුන් ගැන ඔත්-
-තුව දෙමින් සර්දියෙල්හට නර

64. කෙනෙක් අනුමත කළ ද නොකළ ද
සිංහ ලේවල බලය පෙන් වූ
හෙළ රටාවට හරඹ කරමින්
පිළිමලුන් “සා විලස” පැන් වූ
ඇති එකාගෙන් පැහැරගෙන
නැති එකට ම දී දිවිය ගැල් වූ
ඔහු ය අසරණ-සරණ විරුවන්
එදා උතුවන ගම ම දැල් වූ

65. යනෙන මංකඩ අසල සැංගී
මුළු දිවා රැය ඔත්තු බැලුවේ
තැනින්-තැන නිළ දැරුවො තබමින්
පණපිටින් අල්ලන්ට තැනුවේ
ජා තුවක්කුව - පොලිස් පතරොම
ඇඟේ මයිලෙට මාන බැලුවේ
බිය නොහදුණන ඔහු ද එය “පැටවුන්
කෙළින” ලෙසකින් ම දුටුවේ

66. එවක සිටි දිසිපති “සෝන්ඩර්ස්”
අබැට පුපුරණ මුහුණ පෙන්වා
ගමේ මිනිසුන් කිහිපදෙනෙකුට
මුදල් දී ඔහු වෙතට නම්වා
ගතු කියන්නට සර්දියෙල් ගැන
සිටින උතුවන බලය නන්වා
“ඇඹල” පිරිසක් ඉදිරිපත් වී
දෙන්න මුදලට විරුන් පාවා

67. හෙළ රුධිර වීරත්වයේ ඇති
බලය මුළු රට තුළ ම පෙන් වූ
හදවතේ එක් කොණක පැස වූ
“නිදහසේ වියරුව” ද දැන් වූ
අදිරදය සුදු ලක් බිමේ සිටිවුන්ට
පෙන්වා උන්ව සෙල් වූ
“රොබින් හුඩ්ගෙන්” පසු ව වීරත්වයේ
සිහසුන මොහුට වෙන් වූ

68. ලැබුණු රැකියාවේ “අරක්කැමි”
කදවුරෙහි යුධ ගෙයක මුල හිමි
පෙනුණු දවසින්-දවස ඉරණම
වෙනස් වන හැටි ඔහුට තැන හිමි
හදවතේ තෙරපුණු දෙයකි
පිළිතුරත් දැන සිටියේ ඔහු ය පිමි
පනින්නට පෙර සිතා බැලුවේ නම්
ඔහුගෙ නමටත් බැදෙයි පෙමි

69. පොලිස් දැල දැමුවත් සොයන්නට
සර්දියෙල් සිටිනා තැනක් නැත
කැලය මැද කවුරුත් බියෙන් තොර
නොයන්නේ ඇති මරණ බිය තැන
සර්දියෙල් එ තරම් ම බිහිසුණු
දාමරික මිනි මරණ ලෙස කැන
රට පුරා පතල ව තිබුණු බව
නොරහසකි දැන-නොදැන වතගොත

70. කෙමෙන් තද කළ බලය තැන-තැන
යොදවමින් කය බලැති මිනිසුන
සතර කොණ උතුවන ද යොදමින්
පොලිස් - හමුදා පිරිස් අවිගෙන
හීන් නූලෙන් කෙළෙන් කටයුතු
සිරිමලා ඇම ලෙසින් යොදමින
ඇට වු උගුලට සර්දියෙල් හමුදා
පොලීසියෙ අතට අසු වුණ

71. මහා යුධයක් දිනූවුන් සේ
එ දා හමුදා - පොලිස් බැලයන්
මහා මරුවෙක් සෙවූවුන් සේ
මහා සතුටක් වින්ද ලොකුවුන්
මහා කරුමක්කාරයකු ලෙස
සර්දියෙල්ටත් මෙලොව පලදුන්
මහා විරුවෙක් තමයි කවදත්
කළ නොහොද මතුවුණත් මෙලෙසින්

72. සිත දිරිය ඇති ගත සවිය පිරි
නැති එකා ගැන සිතට දුක ඇති
සත දුකට වන් එකා ගැනමයි
දිවා - රැය කල්පනා කර නිති
මත සිතට වුණි දුක්පතුන් වුව
ඇති එවුන් සේ සිටිය යුතු වෙති
විත තියා බැරි එකාට ම දුන්
මිස නිවටයකු නොව සුදට ගැති

73. උදේ හත්වැනි දිනේ මැයි එක
දහස් නමසිය හැට හතරෙ දී
එතෙක් නාමය සර්දියෙල් තැබු
රැව් දිදී ලක සතර කොණ දී
ගෙන අවුත් පෝරකය වෙතට ම
නගින ලෙස අණ කෙරුණු හඩ දී
අනේ ඒ විරු මරු වෙතට ගියෙ
ඔන්න ඔහොමයි එම දිනේ දී

74. කොතෙක් බලතල වීර ගති - ගුණ
නොවේ දිවි මග තර කරන්නේ
හුදෙක් කළ පව් - පිනට හෝ කළ
හොඳ - නොහොදම ය රැගෙන යන්නේ
අද හෙට ද නොව කවදට ද පල
දෙන දවස ගැන කවුරු දන්නේ
දිටිදමේ වේදනියෙ කම්මෙ ද
සර්දියෙල්ටත් විපත් දුන්නේ

75. ඉදින් සමනල හිතවතාණෙනි
උතුවනේ සර්දියෙල් වාගෙ ම
සිතින් එඩි පා ගතට බල ගෙන
සිතු ලෙසේ එහි මිහිර විද හැම
පෙමින් හැඩ වී ළයට සී දෙන
මිහිගෙලෙහි වට බැන්ද මුතුදම
නෙතින් බල නුඹෙ හදවතට එන
කවි රටා සුළගෙහි ලියා අම

සමනලයා දුටු උතුවන

76. ගත සිත නෙත මන ද ඇති කෙනෙකුට ම සැම
පෙත කඳු නුවර යන සිට අගනුවර ඉම
කවියනි - කිවිදියනි රස මකරන්ද කිම
මන ආනන්දනීයයි විරු පුවතෙ පෙම

77. සිත කවිකාර ගෙන එන පද මන නන් ද
සත තතු දකින කාගෙත් නෙත් නැති අන් ද
ගත සී කරන මිහිගෙල වට මුතු බැන් ද
නෙත ආකර්ෂණීයයි උතුවන් කන් ද

78. කලතන සිසිල මැද ළමැදෙහි දෙන සුසිර
සවනත වැටෙයි මග යන - එන වෙණ මිහිර
ගොලුවත රකිනු බොරුවකි ඇති නම් නහර
පිනවයි ගලා දෙ පසින් නිල් දිය දහර

79. මහරජ මැති - ඇමතිවරුනගෙ රජ දහනයි
උඩරට රදළවරුනගෙ සැප තෝතැන්නයි
මහඔය ගලයි නුබ සුදු සේලය ගානයි
උතුවන් කන්ද සිරිලකට ම අභිමානයි

80. බොහො සත් ගුණෙන් සිත වැඩි දුක් බරට ගියේ
පොහො සත් දනන්ගේ වස්තුව පැහැර ගියේ
නොප - නත් - කමින් ඇති -නැති පරතරය ගියේ
එන - මුත් එයින් දුගු මන සිරි මතට ගියේ

81. මතකය රදවන්න උතුවන් කන්ද ඉතා
රසකර පුවත ගැන විරු සර්දියෙල් පුතා
“මග රැක පහර දී වස්තුව ගනී ඔතා”
යනුවෙන් බැද තිබුණි එ දවසෙ බොහෝ කතා

82. සොයමින් ලැබුණු මොහොතකදි ම දෙන ඔත්තූ
කරමින් පරාජය සිටුවරු - ධන - වත්තූ
හැගුමින් “ නැතිවුනට - ඇතිවුනගෙන්” ගත්තූ
දන් දුන් විරුයි “උතුවන් කන්දේ පුත්තූ”

(මතු සම්බන්ධයි.)

ලන්ඩන් කවි සන්සදය

වෛද්‍ය කමල් විතාරණ - කොල්චේස්ට - එංගලන්තය

අවියකි කවිය හදවත වුව දෙපලු වන
ලන්ඩන්කවිය කවි ගබඩා පුරව වන
කවියක අරුත දැනුනත් හද සසලවන
කියමුද තාලෙකට කවි කන් දෙදරවන

ගුත්තිල සුබාසිතයේ කවි නොඇසු කන
පිත්තල සෙම්බුවකි පතුලත් සිදුරු උන
ලන්ඩන් සන්සදය හැර වෙන කොහෙද වෙන
ලියනට ඔබේ මුල් කවියට තැනක් දෙන

දැක්කද නදිය තේමස් අර ගලා යන
ග්ලොස්ටර් ඉදන් අග නුවරට ගලා එන
කවියක පද වගේ නැග බැස ගිලා යන
දිය බිදු වුවත් ඇති කවියට අරුත් දෙන

පණ්ඩිත විමල් අභයසුන්දර දුටු කුමුදුගෙ කවි ඇස

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

කලාකීර්ති - ශාස්ත්‍රපති
පණ්ඩිත විමල් අභයසුන්දර දුටු
කුමුදුගෙ කවි ඇස

වැලිතොට - වැලිලබඩ පිටියට බල දුන්නූ
බෙන්තර - වලල්ලාවිට කෝරලෙ තැන්නූ
ඒ බල රැගෙන අගනුවරට පය පැන්නූ
බොදු හෙළ පුතකු ගැන මගෙ මතකය පෙන්නූ

කවියට නගන්නේ කවිකම උගත මනා
සවියට පද සිහල මැනැවින් වියත තනා
සබයට කෝල නැති එඩිතර සුරත වනා
මොනවට කියමි මම කවිකර දියත දිනා

එක දස් නමසියේ විසි එක් අවුරුද්දේ
බිනර මහේ දාහත් වැනි දිනට ඇදේ
ඉපදුණු කුමරු එදිනේ යුවළක් මැද්දේ
සුපිපී සුවද දුන්නැයි සුරතලෙන් හදේ

හෙළ බොදු පියසෙ උගෙනුමකට පෙරුම් පිරූ
තොල ලනු අකුරු මුල් වරට ම පෙළට සරූ
මුලකුරු කියවනුව වැලිතොට හිමිට ගරූ
කළ ඉල්ලුමට සිත දුන්නැයි හිමිගෙ සුරූ

අතිගරු ශිරෝමණි පණ්ඩිත නාහිමියන්
ඤාණතිලක මහ නායක ගුරු හිමියන්
කියවූහයි අකුරු මුල්පොතෙ සිත බැතියෙන්
“සුන්දර අභය විමල” ද හඬ ගෑ එ සැණින්

කාලය හඹා ගියෙ කවදත් ඇගට හොරා
තාලය දෙමාපිය ඇසුරෙන් සුමට පෙරා
මානය ඉගෙනුමට සිත-කය-මනස පුරා
තානය වතුරෙගම පාසල ගත්තෙ අරා

පස් වසරකට පසු තොල ගා මුල් අකුරූ
පස් වසරක් ගෙවා වතුරේගම සොදුරූ
අස් වී ලබනු වැඩිදුර ඉගෙනුමට හුරූ
දස්-කම වුණේ ඉගෙනුම පිරිවෙණ් වැපුරූ

අඹගහපිටිය “ශසනොද” පිරිවෙණෙහී දී
ලබමින් මූලික ව පිරිවෙණ් ඉගෙනුමෙ දී
පසු කල මාළිගාකන්දේ “විදුදයෙ” දී
උකහා ගත්තෙ “නෙක විෂයට” සමතය දී

සිංහල - පාලි -සංස්කෘත-හින්දි ද තර්ක
ඡන්දෝලංකාර - ප්‍රාකෘති - න්‍යායක
“අතිවිශිසයට” වී සමතකු නියාමක
ලෙස පෙන්වී ය යා යුතු නිවැරැදි මගක

එක-දස් නම-සියේ හතළිස් අට වසරේ
ලබමින් “තෑගි පිට තෑගි” ම සෙසු අතරේ
පෙන්වා දෙමින් ඉදිරිය “දෙ පතේ” ගස සේ
තව-තව උගත්තේ නොනැවති සිත කියු සේ

ලෝරන්ස් විදුහලත් පෙම්බ්‍රොක් අගනුවරේ
අනද විදුහලත් ඔිල්කොට් ඒ අතරේ
ඉංගිරිසිය උගෙන ගන්නට ගිය සතරේ
පාසල්වල අගය කිව යුතු ම ය මිතුරේ

ශාස්ත්‍රපති කලා පණ්ඩිත වෙසෙස කළා
සිංහල පමණි නොව ඉංගිරිසිය ම වෙළා
නොනිදන රටෙහි හිඳ තව ඒ ප්‍රගුණ කළා
ඉංගිරිසියෙන් හැම විෂය ම සමත් කළා

නැවත පැමිණ දෙස වැඩ ඇති පුතකු ලෙසින්
ලිව්වේ පත-පොත ද තව දෙස-බසට පෙමින්
එක - දස් - නම-සියේ තිස් හත වසර මුලින්
පැදි ගත “විමලසර” විය “ගුණ සමර” ලෙසින්

එ කිව් වසර සිට දෙ - දහස් - පහ මැදිවා
පැදි ගත් ගණන කෙළෙ පහළොවකට වැඩිවා
ඒ හැම පැදි ගතක් සමමානෙන් ලගුවා
ලැබ දෙස - බසට දන් දී මෙතුමන් දිනුවා

රත්නමාලි - වංශ කතාව ද එ රැසේ
දුක්මුසු - සුදු නංගි -යුග බැදි හද එ රසේ
මහවැලිය ද නව බග සද ගත් පැදි සේ
තුන් සේසත් රටා අමතක කරනු කෙසේ

මේ ගත් අතර ගී සහ නාටක ද වෙ තේ
චරිතාපදාන ද බොදු කව් සරණි ඇ තේ
සුදු වැලි තලාවේ ගුම් දෙන සෙල්ගී තේ
ලංකාධීශ රාවණ නාටක චරි - තේ

ගත් ඇත සතළියකටත් වැඩියෙන් කෙරුණූ
පැදි - ගැදි - කවි - ගීත - සංගීතය එබුණූ
ඉතිහාසය ද බොදුකම සිත - ගත බැදුණූ
නෙක ගත් කෙළේ මෙතුමන් දැයෙහි ම හැදුණූ

මේ සා දැයට දුන් අපමණ දේ පතු ර
“මළපත අකුර හා අම්මා” පැදි මතු ර
“ජනරජ සිතුමිණ” ද “දරු නැළැවිලි” යතු ර
“කවිකම් විකුම් පෑ” ගත් නොදැනෙ ද මිතු ර

මහැදුරු වුව ද කවියකු - රචකයකු ලෙසේ
ගුවන් විදුලියේ නාටක පෙළට ඇසේ
“යශෝදරා” - “ ජයසිරි මහ බෝ” විලසේ
“අම්බපාලි” – “සදකඩ පහණ” ද වෙසෙසේ

රන්පත්තිරු - නිබ්බුත පද - ධර්ම ප්‍රදීපිකා
මන්දෝදරි - සුහානි - නව දැලිහේනේ වෙලා
නිෂාදි - වීනා - එළිය පහන් - බිසව් සොයා
මිහින්තලාවේ අබිනය රූ මැදිරියෙ හොවා

ගුවන් විදුලියේ ගී නට අරුණ කෙළේ මෙසා
ගීතමීය ප්‍රනීතාංග දුන් මිහිරිය ඉතා
සකු සංහාර ද පුනරාලෝකය දන පිනා
ශිව තාණ්ඩය මතක ද ගුවනින් රස දුන් උනා

මගුල් බක්මහා - පොසොන් ද - පෞර්ණමි වෛශ්‍යාඛ
රාධා මාධව - බුද්ධ ගද්‍යයෙන් ද ගීත
ජන ලංකා - පිළිරැව් නිදහසෙ - සාධන දේශ
සන්ධ්‍යා පූජා - වීර සන්දර්ශන - බුද්ධ
වන්දනා - ගී උදාන - විමුක්තියේ ජීව
සිද්ධාර්ථ කුමරෝත්පත්තිය - සම්බුදු සිරිත

හෙළ දිව් පුවත - කැප්පෙටිපොළ තුම වීර
පාරමිතා දස - ජාතිකොත්සව සන්දර්ශනය
තරංගාවලිය - ආලෝක ධ්වනි - එළිමහන් දර්ශන
මධු මාධවී ඇතුළු මේ සියලු අංග
මොහුගෙ විකුමන් ගුවන් විදුලියෙ එවකට

විශ්ව විමුක්ති - රන් දෙවොල - මහා ගජබා
සදුන්මාලී
ආලකමන්දා -මේඝ දූතය - ගීත නාටක
සවන් මී දී
ගුවන් විදුලියෙ අනූපම සේවාව කළ
මෙතුමන් ම වැන්නී
කෙළෙස යුග පුරුෂයන් අමතක
කළ හැකි ද මට පැනය තැන්නී

සරසවි සද රැසින් කතුවරකම ද දරා
ලංකාදීපයේ අනුකතුකම ද වරා
දිනමිණ පුවත්පත් අනුකතුකමෙහි සරා
විශ්ව කෝෂයේ වැඩ කටයුතු ද අරා

රස මංජරී කවි මඩුව ද කවි කාර
පද්‍යාවලිය - යොවුන් සමාජය භාර
මේ හැම තැනෙක ප්‍රතිභාවෙන් අති සාර
පෙන්වූ ඔබට ම ය මේ කව් උප හාර

මහැදුරු - කලාකීර්තී - පණ්ඩිත යන නා ම
අභයසුන්දරත් උපතින් නොගෙනා ව
ඉගැනුම කෙළෙන් දොර - දොර හැර මනා ව
“උගත මනා ශිල්පය ම ය” නියා ම

දොළොස් වැනි දිනේ දෙදහස් අට වසරේ
පොසොන් මහේ හිරු-සදු කෙමි වැටෙනතරේ
විමල් අභයසුන්දර පඩිතුම මිතුරේ
මේ ලොව හැර ගියේ ලෝ දහමට සසරේ

සාහිත කලාවට ගතට ද බසට ලැදී
ජාතික මමත්වය වෙනුවෙන් රසට වැදී
මාහැගි මෙහෙවරක යෙදෙමින් දැයට සැදී
යා යුතු ගමන ගියෙ අනියත මගට වැදී

අප හැර ගිය ද මෙතුමන් රට - දැයට ගෙනා
“සුන්දර තවත් මිනිසෙකු” ඇත මගෙහි තනා
“හරි දේ හරියට ම කරමින්” ඔහු ද මනා
ප්‍රනීත් අභයසුන්දර දකු සිත ද පිනා

බිනර අඩක් ගෙවුණ ද පසු දෙ වැනි දිනේ

එතුමගෙ උපන් දින සැමරුම එ දින ගෙනේ

සියවස් පිරි තවත් දෙ වසක් දිනට ගැණේ

එතුමන් කළ මෙහෙය සිහිකර ගයමු ගුණේ!!!

(විමල ගුණ කව් කුමුද නිමීයේ.)

ගසකි සොඳුරු

කපිල ෆොන්සේකා - කොළඹ

ගසකි සොඳුරු
උස පියකරු
අතු විහිදුණු
සෙනෙහෙ පිරුණු

උදයෙම අවදිව
අතු අග පිණි ඉස
සිත පිරිසිදු කර
හිනැහී සැරසෙන

ගසකි සොඳුරු
සිත පිබිදුණු
කිමද කරුණු
මග විමසනු?!

මගදිග ගස ළඟ
උදයෙම අවදිව
යන එන දනවෙත
සිසිලස සනසන

ගසකි සොඳුරු
සිසිල පිරුණු
දැඩි හිරු රැස
දැක නොසැලුණු
සම නෙත කෙස පැහැ
ගැන නැති විමසිලි
වත රැඳි හස පමණක්
විමසන නිති

ගසකි සොඳුරු
ගසකි මිතුරු
ගසකි ගසකි
යන මග අස...

සමරමි තාත්තේ ගුණ කවිමලින් පුදා!

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

මේ මස දෙවැනි දිනට සියවන වස සපිරෙන ජන්ම දිනය වෙනුවෙන්...
සමරමි තාත්තේ ගුණ කවිමලින් පුදා!
සුරුගුරු හේම අමරසිංහ ශූරීන්

සපරගමුවෙ රන් බිම මිණි පුරය මැදින්
තුන්හදහේන හොලීපිටිය මිල්ලකඩින්
වටකර තිබෙන කිරිඇල්ලෙන් කහංගමින්
ගම වෙයි “දොඩම්පේ” සුරුගුරු උපන් බිමෙන්

දරුවන් සත් දෙනෙකි මොහු වැඩිමල් දරුවා
දැනුමට - කතාවට මුල සිට මුව පිරුවා
පියතුම විදුහලක උප ගුරුකම දැරුවා
දරුවගෙ හැකියාව තව - තව ඔප කෙරුවා

සුපතල දන අතරෙ “සිල්වා” වෙද මහතා
මර්තේලිස් නමට දුන් “නම්බුවට” යුතා
උපගුරු වුව ද වෙදකම - ගොවිතැනට හිතා
තිබු පියකුගේ නම ගෙන ගිය ලොකු ම පුතා

පර අංගී දවස සිට දුන් “සිල්ව” දමින්
නත්තා-පනත්තා කාලෙත් පැවති හෙයින්
වාසගමට එක් වී දිගු නමට මැදින්
“සිල්වා වෙද මයා” විය පරසිද්ධ ගමින්

මව් විය බේබිනෝනා කුරුප්පු අච්චිගේ
දරුවන් සත් දෙනෙකු වැදුවයි තිඹිරිගේ
රට දැයට ම හැදූ දරු කැළ හරි ම අගේ
නිල-තල-බලය ගති නම රදවමින් ඇගේ

ගොවි පවුලක ඉපිද පිය ගුරුකම ද සොදින්
වෙදකම කෙළේ මුදලට නොව සතට පෙමින්
උපයා ගත් දෙය ද දන් දී සතුටු සිතින්
පැතුවේ උප-නුපන් ජාතිත් නිවන බැතින්

ගුරු වුර්තිය ද වෙදකම හා ගොවිතැන ද
එවකට පැවති බල රැකියා මට්ටම ද
ඉහළින් තිබු නිසා සරිලන ලෙස නම ද
“නම්බුනාමෙ” තව ගියෙ පරසිදු ලෙස ද

දරුවගෙ දක්ෂතා දුටු එක් මහත්මයෙක්
ලිපියක් දී “පියත් සමගින් එක් දවසක්
එන්නැයි කියා කිව්” අරගෙන පණිවුඩයත්
පුත දුන්නේ ලු ගෙනගොස් විගසින් ලිපියත්

පාසල් පරීක්ෂක ධරයකු වෙත කැදවා
දරුවගෙ දක්ෂතා තතු ඔහු ළග රදවා
ගමේ පාසලෙ ම තැබුවොත් සිත් බඳවා
ඉහළට ඉගෙන ගනු නැත දියුණට සොදවා

දරුවකුගේ දියුණුවට ම පියකු විසින්
තවත් පියකුගෙන් ඉල්ලන උදව් ලෙසින්
ඉටුකර දෙන්න දරු කැක්කුම සිතට රිසින්
ගත්තේ බර දෙමින් ඉඩ නැවතුමට හිසින්

නැණවත් මෙ දරු උගතුන් ඇසුරට වැටුණා
පත-පොත දැනුම බස් වහර ද තොල වැටුණා
කජු කන විලස “ඉංගිරිසිය” රස වැටුණා
හෙළ බස තරමට ම පර බස මුව වැටුණා

වැඩි කල් නොගොස් කෙළ පැමිණියෙ බසක රසේ
“දැළිපිහියක” ලෙසින් පැති දෙක කැපෙන ලෙසේ
“උගත්කමින්” නිසි පල දෙනු දැයට රැසේ
දුන්නේ හෙළ බිමෙහි දෑ දරුවන්ට තොසේ

මිණිපුර ඉපිද මිණිපුර සීවලි පිය සේ
මුලකුරු කියවමින් කළ කෙළිකම් එක සේ
පතිවරයකු විලස එම විදුහල් සිර සේ
නැණ - ගුණ කියා දුන්නේ පියකු ම විලසේ

දෙස පාලනෙට නතු කර ගත් ගුරු සේවේ
ඊළග මාරුවත් ලැබ රජ රට දීවේ
දරුවන් වෙනුවෙන් ම හිත තිබුණෙන් කීවේ
“මං කොහෙ ගියත් මගෙ කාරිය” ගුරු සේවේ

කහටගස්දිගිලි විදුහල් මාතාව
විදුහල්පති ලෙසින් නංවා සිසු රාව
පියකුගෙ සෙනෙහෙ රදවා සිත තුළ පෑව
කරුණා ගුණය අදටත් දරු කැළ ගාව

මැතිදුන් හේම සිහ නොමැකෙන නම අමර
ගැතියෙන් කිසිදු අවැඩක් නොකෙළේ කවර
බැතියෙන් උගන්වා සිසු කැළ සේ බඹර
තරුමෙන් දිදුල කෙරුවේ වියතුන් අඹර

මිණිපුර - කහටගස්දිගිලිය හැරුණු ඉම
කිරිවත්තුඩුව ඔහු සිත් බැදි තුරුණු පෙම
සැප-දුක දෙක ම එක සේ විඳ ගනු ව සම
සහකාරිය ද ලැබුණයි ලෙස අසම සම

දැන-දැක-බලා නොවෙමින් තම සිතට මුලා
“ඉංගිරිසියෙන්” බස හසුරන හඩට කලා
සිසු දරු - දැරියනගෙ පෙම බැඳි ඇය මාලා
අත ගති පළදවා රන් මුදු මල් මාලා

කාලය හඹා -හඹා ගියෙ දෙහදට ම හොරා
යළි මිණිපුරට යන්නට විය වෙහෙස දරා
තිබුණ ද සිතක් “ගුරුකමට ම” දිවිය පුරා
“දෙසපාලනය” දුනි නීරස හොදට පෙරා

සිත එක ලෙසක නොතබා නව මගක් බලා
පත - පොත එළිය කරනුව සිත ගගක් කළා
වත - ගොත ලියා ඉල්ලුම් පත සකස් කළා
ගත - සිත නෙත ඇදී ගිය මග වෙනස් කළා

මේ වන විට හිටියෙ තිරිවානා කැටියේ
බිරිද දරු ති දෙන සමගින් එක කුටියේ
දිවි මග හිරු දකින රිසියෙන් හිටි හැටියේ
මුදු සිත තද කෙරුණි බිරිදගෙ කිටි-කිටියේ

රජයේ රැකියාව “විදුහල්පතිකම” ය
අවසන ලැබෙයි විශ්‍රාමික “බරපැණ” ය
එතැනින් පැන්න විට පුද්ගලික ය ධනය
ඒකයි සිත ගැහුණෙ බිරිදගෙ පැහැදිලි ය

සිතුවොත් සිතු දෙය ම කෙරුමට චිත්ත ඇතී
ඇසුවොත් යම් දෙයක් පිළිතුර තිත්ත නැතී
සිතුණොත් පහර දෙන්නට පද කිත්ත දැතී
“කිව්වොත්- කිව්ව ම ය” නොම වෙයි සිත්ත ගැතී

අගනුවරට ඇවිත් සුවිසල් මැදුරු තුළ
කළඹන්නට වුණා පත්තර සයුරු රළ
පලගන්නට තවත් සුරතල් සොදුරු මොළ
කැදවන්නට වුණා නව මල් ඉසුරු කැළ

පත්තර කලාවට බැඳි සිත අගනුවරේ
විස්තර කරන්නට මගෙ සිත කරන පොරේ
චිත්තර සමග “සුබසෙත” පත ජන අතරේ
සත්සර හඩ සමග වකු දෙසවනට හුරේ

“විද්‍යාදීප” නිති දරු - දැරියන් අතරේ
වෙසෙසින් පතල විය “මට හුරු නම” මිතුරේ
අද ඒ පුවත් - පත් “නොම දැකුමයි” මැතිරේ
මේ වැනි සුරුන් “නැතිකම” වෙ ද අප අතරේ

පසු කලෙක දී පත - පොත වැඩි කරන්නට
සිත පැහැදී කෙළේ බස් ළග සිටියෙකුට
පත්තර කලාවේ නම ගිය මැදුරකට
ගියෙ “කළමනාකරණය” කෙරුමට හොදට

සත සිත ඇදෙන පත-පොත පෙරමුණට තියා
“විත රත නොදෙන බස රස” සිසු රැසට කියා
ගත යුත රට දැයට අවැසි ව රසට උයා
“පත-පොත වණ තබන සුරුගුරුකමට” ගියා

කොළඹ දෙකෙහි හුණුපිටියේ මගට වැටී
යන විට තිබුණු පොත් කන්තෝරුවෙහි තුටී
“කළමනාකරණයට” මූලික තැනෙහි සිටී
මෙ පුතුගෙ ගුණ කීම නිරතුරු මටත් වටී

මේ මහ මැදුරෙ පළ වූ නෙක පොත් අතරේ
මහැදුරුවරු අතින් නිම අපමණ සතරේ
උගැනුම ලබන දරු - දැරියන් වෙත මිතුරේ
පළකර නොමැති ගත් සෙවුමට සිත නොහැරේ

නම් වශයෙන් කියනු බැහැ නාමාවලිය
කම් කළ නොහැකි තරමට පොත-පත වැඩි ය
වම් අත නොදැන දකුණත දීමෙන් දිරිය
තම් දෙන තදෙන ඇති කළෙ විශ්මිත පිරිය

කතා - නවකතා - කෙටි නවකතා ව
අනුවර්තන - පරිවර්තන රටා ව
කලා සෞන්දර්යය විද්‍යා ව
මෙවන් සකල විෂයන් දත් මනා ව

ආරාධනා කළෙ උගතුන්ටයි “ලියනූ”
පාසල් විෂය ධාරා පිළිබද “සොයනූ”
සා.පෙළ - උසස් පෙළ දක්වා ගත් “වණමූ”
දරුවන් දැයේ නැණවත් උගතුන් “කරමූ”

ගණිතය අංක - සංඛ්‍යානය නව විෂය
රසායනය නව - උද්භිත - භෞතික ය
ජීව විද්‍යා - නීතිය - පරිසර ය
විවිධත්වයෙන් ලියැවුණු පත-පොත සොදය

දෙ විසි වසක් තුළ කළ පොත් කලඑළි ය
පි විසි වගක් ගෙන ඉහළ ම තල පිටි ය
හෙ විසි හඩක් මැද කළ වණ පොත් කැටි ය
දෙ නිසි රසක් කැටි කර දැය කිරිපැටි ය

හේම අමරසිහ වියතාණන් යටතේ
පොත-පත වැඩ කරන්නට බැදුණැයි නියතේ
ඒ අතරේ මම ද සිටියෙමි පොත් මත්තේ
නැවතුම ගැන කියමි එකඟ ව හරි සත්තේ

කොතැනෙත් ඇසිය හැක හැම තැනෙක ම මේවා
“ගිනි ගෙන යන යටින් දිය පන්දම්” කීවා
පුටුවට සිතී තන්හා කළ කී ඒවා
කැරකී තමාටත් එයි නොසිත ව දාවා

එක ගෙයි කෑම හුරු - පුරුදු ව සිටි පැත්තේ
ආ-ගිය කෙනෙකි තැන දෙවැනිය වී ගත්තේ
ලේකම්වරයකුට කේලම් ගිය මත්තේ
දුර දිග නොබැලු විලසකි සෙසුවන් දත්තේ

කොතැනත් නහින ලැබ ගන්නට උස් තැන්න
දේසපාලුවන් විලසට බල මැන්න
ඔිප - දූප එහෙටත් - මෙහෙටත් පැන්න
දියුණට යන රටක තෝතැන්නක් වැන්න

ඉඩ දී “ කර ගනුව” ඔිනෑ විදියකට
ගත්තේ පෑන ලියනට අස් වන බවට
දී එය ලොකු ම මහතැනගේ දකුණතට
පැමිණියෙ සිතට එකග ව එඩි ගෙන සිතට

ලැබ ඒ පුවත බොහො දෙන ඔහු හමු වූයේ
“නැවතත් ගන්න තැන” ලොකු තැනකින් කීයේ
ගත් දැඩි තීරණය නැහැ කවදත් ආයේ
ආපසු ගත්තෙ එඩිකම දිවියෙ ම පෑයේ

කාලය ගෙවී ගියෙ දිනකින් - දිනට සරා
තාලය වෙනස් වී දිවිය ම සිතට අරා
ආලය පත - පොතට තිබු සුරු අතට දරා
නාලය රුහිර කෙරුවැයි තව සුමට වරා

ඉඩ දී බලා සිටියේ දවසින් - දවස
නිවමින් කෙනෙකුගේ බලයට ඇති පවස
සවනට වැටුනෙ මගෙ ඔහු හැර ගිය රහස
පියතුම හිටියෙ නැහැ විදිනට ඒ පහස

හෙළ සුරුගුරුන් දෙස - බස රැක තුළ ම දැයේ
නළ ගැහෙමින් කලක රැදි තැන් එමට තියේ
වළ දා මෙගුරු නාමෙ ද නෙතු වැසුණු රැයේ
කල තවමත් දුවයි නොනැවති පැයෙන් - පැයේ

හෙළ - මිණි වණන්නට අපමණ දුන් සුවද
ගැළ - පුම කවි බසින් කීවත් ළද - බොළද
පෙළ - පිල නොගැසුණත් සුරුගුරු පා නැමද
දළ - කිදු පහන් දල්වමි එ නමින් නිබද!

(හේම අමරසිංහ සුරුගුරු වැණුම සමාප්තයි.)
******

අමතක වීම!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය

අහන්න එපා මට මතකද කියලා.....

කියන්න එපා මට මතක් කරන්න කියලා.....

මා එක්ක තරහා ගන්න, වෛර කරන්න එපා....

මා වෙනුවෙන් අඩන්න එපා.....

ඔබ දුකින්

ඒ බව මම දන්නවා.......

ඔබට මෙය දරාගන්න අමාරුයි.

තවමත් මගේ ඇස් දකිනවා ඔබ නොදැක්කට

තවමත් මගේ කන් ඇහෙනවා ⁣ඔබට නොඇසුනාට

එත්...........

මගෙන් අහන්න එපා ඒ මොනවද කියලා ......

එතකොට මට දුක හිතෙයි..... ඔබට තරහා යාවි.

මගේ අමතක වන මතකය අමතක කරන්න.

මගේ ලගින් ඉන්න

මට ආදරය කරන්න

මාව අමතක නොකරන්න.

(මේ ලියවැල Dementia රෝගයෙන් පෙළෙන සුන්දර මිනිසුන් වෙනුවෙන්)

ලොකු අක්කා ————————-

ලුෂානි දමයන්ති - කැකිරාව

නිවසේ මව්පිය අහිමිව ගියදා
බැලුවේ සොයුරිය පමණයි සැමදා
බාධක ඇතිමුත් එය හැම පරදා
ඇයගේ සෙනෙහස ලැබ දුනි විහිදා

ඉගනුම අහකට විසිකර ලන්නී
මුළුතැන් ගෙයටම වයසට යන්නී
දැළිකුණු තැවරුණු පිලි ඇඟ ලන්නී
රසබර කෑමත් සකසා දෙන්නී

අක්කා සොයුරන් සොයුරිය බලලා
උන්හට යන්නට මංපෙත හදලා
ඇත්තෙම සතුටක් ඇය හට දැනිලා
නෙත් අග කඳුලැළි බිඳුවක් රැඳිලා

නිල්වන් වරලස සුදුවට හැරිලා
දත් ටික සේරම නැහැ දැන් හැලිලා
සුන්දර පෙනුමත් මුහුනේ මැකිලා
අක්කා හොඳටම වයසට ඇදිලා

තම දිවි කැපකර නොගොසින් දීගේ
වැඩිමල් සොයුරියො සිටි මුත් කාගේ
බෑලුවයි අවසන රූපය ඈගේ
කාලය ගෙවිලා නොදැනුනි ඈගේ

-ලුෂානි දමයන්ති-
කැකිරාව

ඒත් දැන් හිතනව ද ?

ලයනල් ගමගේ ඌරුමුත්ත

තණ පඳුරු හැදෙනව ද ?
පවුරු බැමි ගල් හිසක
තුරු ලතා වැඩෙනව ද ?
කොන්ක්‍රීට් බිම් කඩක
කම්බියක හැදෙනව ද ?
ජම්බු ගෙඩියක් රසක
ඒත් දැන් හිතනව ද ?
වෙහෙස වැද තරඟයක

දිය තිබහ නිවනව ද ?
කර පොළොව උඩ වැතිර
ගත සිසිල විඳිනව ද ?
රළු සුළඟ උණුසුමක
වෙණ නලා වයනව ද ?
වේදනා පිරුණු සිත
ඒත් දැන් හිතනව ද ?
සතුට ඩැහැ ගත් රහස

මල් සුවඳ දැනෙනව ද ?
කඩදාසි මල් ගොඩක
ආදරය හැඟෙනව ද ?
ගල් හිතක පැටලුමක
කුණු ගඳට සිටිනව ද ?
නාස් පුඩු අත නොහැර
ඒත් දැන් හිතනව ද ?
විඳින දුක නිවන මග

අත්තෙන් අත්තට

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

තුරු අග සිටින සියොතෙක් වීමට සිතෙමි
හිරු දෙන කිරන සිපගන්නට උඩ බලමී
දඹ දිව වෙතට නිතැතින් නෙත දිසා වුනි
මුලු ලොව පුදන බුදු ගෙය ඉදිරියෙ පෙනුනී!

සැම ඉරියව්වකින් වදිනා දන නඟන,
හඬ මුසු සුලඟ ගෙනෙ දෙන මිහිරිම වදන,
මිහිපිට තිබෙන උත්තම බුදු, බිම පෙනුන
දින සිහිවුනේ! සැමටම සුව පතමි ගුණ.

පියඹා ගියෙමි පහලින් තිබු රිකිල්ලට,
රජමහවෙහෙර කෝට්ටෙ නෙත ගැටුනු මට
ආච්චිගේ අතේ එල්ලී ගිය මතකයට,
සිල් රෙදි හැලි හැලී යන කෙලි එමි නෙතට.

කුසුමින් පිරුන අතු වෙත පියඹූ විගස,
වජිර රාමයේ නාගස මල් පියැස,
මහ තෙර නරද, පැනසිහ
පියදසි. මනස,
සුවපත් උනෙමි, ඇසු විට ඒ දහම් රස.

පලයක් බුදීමට සිතිලා ඉගුලු නෙමී
ලංඩන් විහාරයෙ පුද රස නිති දැනුනී
බංදුල, සිල් විමල තෙරුවන් වෙත සොදිනී
දානය පිදූ ව්ට මගෙ කුසගිනි නිමුනී.

අලස කමක් දැනුනා ගස කඳ ඉඳලා
පාවී ගියා නොසිතා කොහෙ යයි කියලා
අතු අග ඉදන් බැලුවිට ඇසි පිය ගසලා
තේම්ස් විහාරය කොඩි වැල් සරසාලා.

අවුරුදු උත්සවයටයි මා ගොඩ බැස්සේ
ගීයක් ගයන්නට රට ගැන පෙරදින සේ,
ඇරයුම් ලැබුන පොඩි නම ගෙන් වැඩ අස්සේ
ලොකු නම දෙසන බන සැනසුම දුනි පෙරසේ.

නැවතත් පියඹ එන්නට අනෙ මට සිතුනා,
අහසේ දිලෙන තරු අතරින් මතු වෙමිනා
කේතුමතී වෙහෙරේ සුව මට ලැබුනා,
මහතෙර දෙසන බන පද අරුතය දැනුනා.

අත්තෙන් අත්තටම පැනලා සුව වූවා,
තිබු අසහනට ඔසුවක් මේ දැන් ලැබුවා,
උත්තම බුදුන් සිහිවන බිම් හැසිරෙව්වා,
ගිලනින් ගෙවන සැමි වෙත ආසිරි පැතුවා!

දුම්රිය

ලතා ද සිල්වා - නවසීලන්තය

ඇසෙනව උදේ දුම්රිය දුවයන සද්දේ
එහි ඇති පෙට්ටි අතෝරක් නැතිවම පැද්දේ
යකඩ පටි දෙකක් මත රෝදය මැද්දේ
තනිකම දැනෙනවද යනවිට මහා බැද්දේ

නවතින තැන්වලදී නැහැ සද්දක් නිසලයි
දස දහසක් පිරුන ඒ මිනිසුන් අසලයි
රතු එළියක් ලඟදි කිකරුවී සසලයි
ඔබ කරනා මෙහෙය මුළු ලෝකෙට පතලයි

දුවනවා නවතිනවා දුවනවා නවතිනවා
නැවතුමේ සිටින මිනිසුන් ළඟ හිනහෙනවා
මිනිසුන් නගිනවා බැන බැන බැස යනවා
සසල නොවී ඔබ යන ගමනේ යනවා

කන්තෝරුව ඇරෙන විට නැවතුමට වෙලා
සියලුම මගීන් නගිනා තුරු ඉදන් බලා
ටක ටක ටකට ටක් හඬ යයි ඈත ගලා
දුව දුව සැම තැනම ලෝකය මවිත කළා

30 අගෝස්තු 2023

රටක් කොහි ද නිදහසෙ මල් පිපෙන්නට

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර

රටක් කොහි ද නිදහසෙ මල් පිපෙන්නට
පාණදුරාවාදයෙ ජය නොවන්නට ...?

ගම දෙස රැස යට කළ රුපු වැටෙන්නට

බිම දැමු සුදු අදිරද බල බිඳෙන්නට

සැම අත දැයෙ නිදහසෙ මල් පිපෙන්නට

කෙම ජය පාණදුරයෙනි යළි නැඟෙන්නට ...!

කම හෙළ-බොදු පැවැති දුබලව නැසෙන්නට

ඉම කොණ යටත් යුගයෙහි නැති පෙනෙන්නට

නිම වෙ ද අපල අදිරද බැමි සිඳෙන්නට

එම සියවස-එකඩ පෙර ජය නොවන්නට ?

පෙම දෙස යළි වියැකෙන’යුරු පෙනෙන්නට

සැම යුතුකම උවදුරු නෙතු දකින්නට

නොම දෙමු ඉඩ සෙවෙර දැයෙ සෙට බිඳෙන්නට

බිම සුරකිමු පුතුට හෙට ලොව දිනන්නට ....!

2023 අගෝස්තු 26

පරාජය….!

ලලනී ගීකියනගේ - රත්නපුර

උයන් කෙළි කවට මල් කුමරියන් කෙරෙන්...!
අරන් රොන් රසය මල් කුමරෙකුගෙ තුඩෙන්....!
පවන් වැද සැලුන මල් මකරන්ද සෙමෙන්..!
සුරන් යහන සලසා සුරඟනට හොරෙන්...!

මලින් උපන් මල් කුමරිගෙ ලීලෙ පුරා.....!
ගලින් කල පිළිම නොසැලී සිටී දරා......!
උනුන් මත නැහුනු කාලය මියෙන තුරා...... !
කලින් ගිය නුවන ඇතු ලඟ ආල නුරා...!

පවන් රැලි රැගෙන හිරු දාහය
නිවුනේ...!
වියන් රන් පතින් කුමරුට ආ වැඩුනේ..!
බවුන් වැඩි තපස බිඳ සසරට ඇළුනේ....!
ඉතින් පරාජය හිමි ඔබටයි ලඳුනේ.....!.

ගැහෙන පන ටික සේදුවා..

ලියෝමි චාමිකා

තුරුණු සිත මගෙ පාව යද්දී
සැඩ සුළඟ වෙත මම ගියා
පෙමින් වෑහෙන නුරා වැස්සට
මමත් හසු වී තෙත් වුණා

සිතේ හටගත් රාග ගින්නට
මමත් හසු වී අළු වුණා
අළු ගසන්නට පමා වෙද්දී
කුස මගේ සෙළවී ගියා

තිබුණු මගෙ තටු බිදී යද්දී
සිනිදු සළුපිළි සැඟවුණා
ගැහෙන පන ටික ශේෂ කරමින්
සැඩ සුළඟ දුර ගමනක් ගියා

සිත සිතා අපි මැව්ව හීනත්
මටම රහසින් සැඟවුණා
ළයට උණ ගෙන, හද හඩද්දිත්
ගැහෙන පන ටික සේදුවා...🥺

තුන් බිය

වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා

රෝ බිය ලියලනා තරම
හුස්මෙ ගෑවි ගෑවී
සෝ ළතැවිලි නෙතින් නෙතට
කඳුළු හිමි කරාවී

ලෝ තලයට සිසිල බෙදූ
මේකුළු දුර යාවී
කෝ හිනැහෙන බිම් මල්
පිනි පොදක් බිම නොවේවී..

(අ)මනුස්සයො බිය අරගෙන
කැදලි වෙත එබේවී
අගු පිල් මත අසරණ දන
අවතැන් ව හිඳීවී

අමතක කළ තුන් බිය අළු
අතරින් මතු වෙවී
අඳ(/ද) ගොළු ලෙස රතන සුතුර ,
කුළුණු දම නොපාවී..?
.
.
.
"දුර්භික්ෂෙට, රෝග බියට
මෙතින් සෙත පතන්න
නිර්මල දම පිරුණු හදට
ඇහැක සැක නොගන්න ..!

දුර්ජනයින් ලෙසින් උපන්
අමනුස්සයො ගොන්න
ගර්ජන ලෙස සුතුර දෙසයි !
හැකිද ගිනි නිවෙන්න..?

Weeping willow

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

Wonderful moonlight, why are you not bright?
Where is your tranquility and beautiful smile?
Anxious or worried? are you helpless by the sight?
Your wrinkles on the face are revealing feelings of the night

Artistic landscape hasn't reached your shadow
No smell of the night scented blossoms once adorn
Owls, on the top of the smelly piles starring below
Weeping my landscape flooding tears like a widow

කණාමැදිරි එළි…..

මාලා විජේකෝන් - උතුරු කැලිෆොර්නියාව

තවත් රැයක අඳුර මැදින් සඳ එබි එබි බලනා
ගසුත් වැලුත් තරඟ වැදී ඇද හෙවනැලි අඳිනා
තරුත් පොකුරු පොකුරු ගැසී එක යායට දිලෙනා
කවක් ලියමි පද එක් කර අකුර අකුර අමුණා

නැගුණොත් සඳ අහස් තලේ තරුත් සමඟ දිලෙන
මොහොතක් හෝ නොහිඳ බිදෙයි අඳුරු පටල සැණින
කවදත් මෙන් හමන සුළඟ තුරු ලිය පිරිමදින
සුවයක් දී සිසිල බෙදයි ගත සිත ගිම් නිවන

නිමක් නැතිව අහස පුරා විදුලිය ඉරි අඳින
දවස් තිබේ වැහි බර වුණ මේකුළු සළු ඉරෙන
එතෙක් සිටියෙ ඉවසිල්ලෙන් නිදි දැහැනින් මිදෙන
මමත් දකිමි කණමැදිරින් රැයේ අඳුර විඳින

දර කෑල්ල

මුදිතා ඩයස් - කොට්ටාව

නුඹව උන්ට
ඕන වුණේ
බඩ ගින්න නිවාගන්න
උයාගන්න විතරමයි

නුඹව උන්ට
ඕන උනේ
සීතල ට ගැහෙන කොට
උණුහුම් කරගන්න විතරමයි

නුඹව උන්ට ඕන වුණේ
කිරි ටික උතුරගෙන
ජීවිතේ සරුසාර
කරගන්න විතරමයි

නුඹත් උන් මත්තෙම
නැහීගෙන පිච්චිලා
ජිවිතේම කැපකරලා
අළු වුණා විතරමයි

අවසනට කලින් ..

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්

කතරක හිඳිමි ගත සිත පීඩා දැනෙන

ත නියම තැවෙමි කිසිවෙකු නැත දුක අසන

ර හසෙම හඬමි හඬ සඟවා ඉකි ගසන

ක විපද ගොතමි සිතුවිලි එකිනෙක අමුණ

පෙරදින පිපුණ මුදු පරවුණු පෙති හලලා

ර තුමල තිබුනි තවමත් හිත මත පිපිලා

දි ගටම පැතිමි සැනසුම ගොස් දුක මැකිලා

න වතිනු ලෙසට පොද වැසි දාහය නිවලා

හදවත රිදුම් ඉවසා ගෙන ගලක් ලෙස

ද වසක් දෙකක් නොව හිටියෙමි මසක් දස

ව රදක් නොකළ මුත් ඇහුනෙම වහස් බස

ත වදුර ඉවස ඉන්නට බැරි තරම් වස

සසරක බැඳුම් එකිනෙක බිඳ වැටී ගිහින්

ස සලව සිතත් ඇත හදනට බැරිම ලෙසින්

ර වටන එකත් නවතා මම මමම සිතින්

ක රලමි ගමන අවසන අවසනට කලින්

2023 බිනර මස

මතක

මාලිනී හෑගොඩ - USA

එදා පායපු හඳ ද අදත් මේ පායන්නෙ
එදා හැමු සුළඟමද මේ සීත ගෙන එන්නෙ
එදා අඩ අඳුරමද මා වටා කැරකෙන්නෙ
සදා මතකය ඇයි ද මගේ හිත පාරන්නෙ

හඳ එළිය එදා ඇඳි රටා නෑ අඳින්නේ
සීතලම මිසක් උනුහුමක් නැත දැනෙන්නේ
පිණි කඳුළු විතරමයි මා එක්ක දොඩන්නේ
පිණි වලට ලුණු රහක් කවුද එක් කරන්නේ

මට වගේ පාළුවක් දැනිලා ද දන්නෙ නෑ
උල ලේනි වෙනදාට මෙහෙම නම් අඬන්නෑ
වලාකුල් බර වුණත් වැස්ස නම් වැටෙන්නෑ
ඔබ ඉතින් කිසිදාක ආයෙ මෙහෙ එන්නෙ නෑ

ඒ රටට දැන් උදේ මට මෙහේ රෑ වෙලා
ඔබ අවදි වී වැඩට යනව ඇති පේ වෙලා
ඇය ඉන්නවා ඇතිනෙ එනතුරුම මග බලා
ලෝකයේ මේ කොනේ මං ඉන්නෙ තනි වෙලා

2023 අගෝස්තු මස 14 වන දින
ඇමරිකා එක්සත් ජනපදයේ
ෆොල්සම් නුවර දී ය.

සඳුමෙන් බැබලෙමින්

මාක් ඇන්ටනි කුමාරගේ

කවියට සවිය දෙන්නට වෙර දරන්නෝ
හරියට යමක් කරනට නිති සිතන්නෝ
සැමහට සුහද ලෙස ඇරයුම් කරන්නෝ
සතහට සෙත් පතා කවිපද ලියන්නෝ

විහඟුන් අහසේ ඉගිලෙනවා දකින්නේ
වියතුන් යමක් පවසනවා ඇසෙන්නේ
නිවටුන් සැ'මත සිටිනා බව පෙනෙන්නේ
කවියන් කවිය ගලපන්නට සිතන්නේ

මරණය ජීවිතය අවසන් කරන්නේ
කරුමය එයයි යනුවෙන් ඇයි කියන්නේ
ප්‍රේමය බොහෝ කවි පදයට නඟන්නේ
සාමය නැතිව තරහෙන් සිත් පිරෙන්නේ

කැරකෙන ලොවේ සුන්දර බව රැඳෙන්නේ
වනසන මිනිස්සුන් නිතරම සිටින්නේ
සැනසෙන දනන් ගේ තුන් සිත් නිවෙන්නේ
පවසන බොහෝ දේ සුළඟට ඇදෙන්නේ

වැස්සක් පිටු පස්සෙ නියඟය තියෙන්නේ
විස්සක් ගණන් කර තිහ දෙස බලන්නේ
කැස්සක් හැදුනු කල උගුරට දැනෙන්නේ
පොඩ්ඩක් ගොම වැටී කිරි විසි කරන්නේ

දැනුමෙන් අයෙක් මහා ඉහළින් සිටින්නේ
පෙනුමෙන් රැඳෙන රුව කලකින් මැකෙන්නේ
කෙරුමෙන් යහපතක් ලෝකෙට වටින්නේ
සඳුමෙන් බැබලෙමින් සැම කල් වෙසෙන්නේ

මරණය

කෙනෙකුට දුකකි
කෙනෙකුට සැපකි
තව කෙනෙකුට බලාපොරොත්තුවකි
තව කෙනෙකුට සිනහවකි
තව කෙනෙකුට ඇඬුමකි
තව කෙනෙකුට සැනසීමකි
තව කෙනෙකුට උත්සවයකි
තවකෙක්ට ව්‍යාපාරික අවස්ථාවකි
තව කෙනෙකුට වෘතියකි
තවකෙක්ව දිරිමත් කරවයි
තවකෙක්ව මානසිකව වට්ටවයි
තවකෙක්ව ලිංගිකව තෘප්තිමත් කරවයි (ඩාර්මයෙක්)
.
.
ඉඳින් ජීවිතය නියතයි
මරණය අනියතයි

-මන්දාර ලියනගේ-

ධම්මද්වීප වැනුම

මුද්දිත හිරුෂාන් රණතුංග

එදා වගෙමයි සිරිමහා බෝධියේ මළු දෙක තියෙනවා
ඇත්තු පිට යන කරඬු දැක්කම සාධුකාරත් තියනවා
කිරි සුවඳ මැද මහණ වූවන් සිවුරු හැරියම බනිනවා
කුලේ හොයලා සැදැහැවත් අපි 'අපේ පන්සල' වඳිනවා

අභිදහම් නොව ළදරු දෙසුමට ෂෝක් බණ යැයි කියනවා
රෝද හතරක් තුනක් ගානේ බුදුන් වැඩලා හිදිනවා
මොනර කොළයට භාවනා කඩ රහත් සහතික මවනවා
දියසෙන්ලා ආගම මතක් වී මනාපෙට පොර බදිනවා

ඇස ගැටෙන කඳු ගැටේ ගානේ බුද්ධ ප්‍රතිමා නෙළෙනවා
වැඩිම ගානට වෙන්දේසි කර කඨින පිංකම් කෙරෙනවා
පන්සලෙන් ගත් අට්ඨ පිරිකර ආයෙ එයටම පිදෙනවා
කොලිටි නොව ක්වොන්ටිටිය මුල් කර සැදැහැවත්කම බෙදෙනවා

හිඟන්නගෙ ළඟ නැති පනම් පන්සලට කොළ වී පිදෙනවා
මහළු මඩමුත් පසු කරන් ගොස් සෑ වටේ කොඩි එතෙනවා
චැනල් දාලත් බණ කියද්දී ඉල්ලමේ හැටි පෙනෙනවා
පුරුදදට මෙන් පරලො සැපතට අපේ නැටි තව වැනෙනවා

සංසාරික ආදරයක්….

මයුරි කොඩිකාර - ගම්පහ

එකම එක මොහොතකට
මේ පුංචි පපුව ඇතුලෙ
ධමනි ශිරා මාරුවෙද්දි
නුඹේ සෙනෙහස උඩු දිව්ව
කේෂනාලිකා දිගේ
විදුලි වේගයෙන්.........

කපාට වැහිල ගිහින්
රුධිර නාලිකා අවහිර වෙද්දි
හුස්ම පවා නැවතුනා
තත්පරෙන් තත්පරේට
පපුව හිරවෙලා සීතල වුනා
ඒ ආදරෙන්....

හීනෙන් වගේ
"චූටි මැණිකේ" කියල කියද්දි
අනන්තෙට පාවුනා
මම හදාගත්ත
මගේ ලෝකය ඇතුලෙ
උඹට පින්සිද්ද වෙන්න.....

අතුරු සිදුරු නැතුව
ගඟ පිටාර යද්දි
නවත්තන්නෙ කොහොමද
ලෝබ හිතුනා
මහ ගොඩක්.......

හිතුනෙ නෑ
මගේ කරගන්න
හඳ ඉල්ලල ඇඬුවෙ නෑ මං
ඒ එළිය ඇති මට
ජීවත් වෙන්න.......

එකම එක ප්‍රාර්ථනාවක්
පැය විසිහතරෙම
තුන්සිය හැටපස් දවසෙම
තත්පරයක් ගානෙම කලා
හිමිවෙන්න..........

සසර අතර මග
එකම එක ආත්මයක
මගේම වෙන්න
මේ පපුව නවතීවි එදාට
උඹ වෙනුවෙන් රන්.......

කළු වලාවක පැහැය අරගෙන
ගලන ගඟුලට මුසුකලා
එය මනාවට කැටයමක් කර
ඇගේ වරළස නිමකලා
නට නටා ඇති කියඹු වැලකින්
නලල මැද ලස්සන කලා
හැඩ දමා කල දෑසමන් මල්
දමින් සිරි එහි වැඩිකළා

පුන්සඳෙත් නැති සුමුදු මටසිළු
පෙනුම ගැන සිත කැළඹුනා
පින්සලෙත් ගෙන දවස් ගනනක්
ඇගේ වත ලග ගැවසුනා
නෙත් යොමාගෙන ඇගේ මුහුණට
දැහැනකට මම පිවිසුනා
වස්තුවේ ඔය දෙනෙත් සැර වැද
මගේ නෙත් ගිණිකන වුනා

මනා පියවුරු ලැම මඩලෙ ඉරි
වළලු තුනකුන් සැරසුනා
කනේ පෙත්තද ටිකක් දික් කර
කර්ණ සක ලෙස සැකසුනා
කතා කරනා දෙනෙත් සැදුමට
දින දෙකක් මට ගත වුනා
සදා නිමවන විටම සොඳුරිය
අනේ මා හා හිනහුනා

සැට්ටයේ යට විවර කොටසෙහි
නාරි හැඩතල පිබිදුනා
දිස්න ගහනා නලල් තලයට
තිළකයත් තව එක්වුනා
රන් බදේ මැද නැබ හදද්දී
මගේ අතැගිලි ගැස්සුනා
ලස්සනේ බැහැ ඇගේ සුලලිත
මවන විට මට වැටහුනා

හැඩය වටකුරු නිතඹ මැද මම
රඹ කදන් යුගලක් වියා
බෙදෙන අන්දම සකස් කෙරුවේ
දුන්නෙ කද නැවෙනා නියා
අඹන විට ඇගෙ මුහුණ දුටුවෙමි
සිනාසෙන බව නෙත් අයා
නිකට කම්මුල සකස් කෙරුවෙමි
එයට හරියට ඉඩ තියා

මුහුණ පෙන්වන ප්‍රභශ්වර බව
ගන්න වරුවක් වෙහෙසුනා
ඝන රනෙන් මම නෙළුව එම රුව
සිහිනෙනුත් මට හමුවුනා
එක දිනක් නොව නිතර ඇවිදින්
හදවතේ මගෙ නැවතුනා
සුර ලොවෙහි මිස මනු ලොවෙහි නම්
මෙවැනි අඟනක් නොමවෙනා

නෙරිය පහළින් එකින් එක රැළි
සේද සාරිය හැඩවුනා
ගිගිරි හඩ දෙන පාද සළබය
වළලු කර උඩ සැතපුනා
පළිගු එබ්බෙවු මිරිවැඩිය තුළ
පතුල් පොඩි ඇගෙ සැගවුනා
මහගු නිමැවුමෙ කෙළවරට මම්
පැමින ඇති බව සිහිවුනා

කලාවක් නොව සැබෑවක් ලෙස
මගේ පිලිමය හැඩවුනා
මුලාවක් වෙයි නොඇල්ලුවොතින්
පිඹින්නට පණ නොදැනුනා
කැතේ උපතත් කැවුම් මුහුණත්
කරුමෙකින් මට හිමිවුනා
නෙතේ පෙනුමක් නොමැති එක හොද
දුටුවොහොත් ඇය බියවෙනා

අසිරිමත් සොබා දම

මල්ලිකා කුමාරසිංහ - බදුල්ල

සැලි සැලි මල් පොතුරක්
තුරු මතේ
වෙලි වෙලි වෙලි නැලැවෙත්
මගෙ සිතේ
දිලි දිලි විහිදෙත විල්
දිය වෙතේ
යලි යලි ළබැඳේ රූ
සියපතේ

මත් බඹරුන් සමනල් මී කැලා
වත් සිඹිමින් රොන් සුණු තවරලා
සිත් පුබුදා සතුටින් පුරවලා
සත් වෙත පිළි ගන්වයි පල වැලා

පත් තිදසෙහි අසිරිය බන්දලා
සිත් පුබුදයි අහසේ රන් වලා
නෙත් අදහනු බැරිලෙස රන්දලා
යත් සියොතුන් මේකුළු හංගලා

හති දුරලයි රිදවුම්දෙන වදේ
මැතිරෙයි මල්සර ගී හද මැදේ
සිතිවිලි දස අතටම පෙළ සැදේ
අති රමණීයයි සිරි මේ උදේ

මාලු……

නයනශාන්ති දිසානායක

මානසික අස්වැසුම

අරං පීනා න එන

සලිත නුබෙ වරලිකින්

දහසකුත් ගිම් නිවන

කෑම ඇට දහයකට

චනලිනුත් නොමැතිවම

කවුන්සිලින් කරන

මාලුවෝ නුබ තමයි

හොද හිතැති දොස්තර...

ලොකු පුංචි ඉඩ අතර

ලැබෙන නිදහසක් විද ගෙන

කිසි දාක කිසිම කිසි

වගපලක් නොකියාම

සලිත කරමින් සරයි

නුබේ හිත නොදන්නා උන්ට

"සතුට" නම් "මේං" පාමින….

ඇල දොලක ගං දියක

සිසිල ඇති ද වත් නොදැන ම

විශ්වයම මේ තරම් යැයි

මියෙන තුරු හිතාගෙන

ටැංකියේ මුලු අතර

ජීවිතේ සතුටින්ම පා කරන

මා නුබයි කැඩපතින් මා දකින..

2023/08/11

කඩුපුල් මලක පෙති
මත පිණිබිඳු විසුල
පැහැදුල් සඳ කුමරු
වී සිතුවිලි අතුල
මනකල් හද විලක
සුව සුසුමක උඳුල
හැමකල් ඔබ හිඳී
මගෙ හදවත පතුල....

අරුණට පෙර පෙති
රැස හකුළුවා ගමි
ලොවටම සඟවමින
පපුතුර හොවා ගමි
සුසුමක ඉසිඹුවට
හෝ හැර නොයමි
සසරක පුරාවට
ඔබ හා බැඳෙමි....

ඉර සඳ සයුර නුබ
මඳනල හා රැඳුණ
ලොව පොබ කරන....
නෙක සැමදෙය
හා බැඳුණ
ආදරණීය හදක
සිතුවිලි එකතු ව
ඔප නැඟුණ
ඔබ සුදු පියුම
සැමදා මාහා
රැඳුණ....

- නදීශානි හේරත් -

4 ට ළඟයි,…….!!

නික් ග්ලෙන් - උතුරු අයර්ලන්තය

කැඩෙමින් ගැයු කවි
දුඹුටු බැඳුන වියන යට
දුම් සමග දබරව
පිසූ බත හවහට හවහට

රත් දෙපෙති අඳුරු
උවන දී අමාවකට
එළිය සිඳුන දෙතරු
කවිය නෑ සවනට සවනට

දරදඬු අත පය
නුහුරුය නුඹේ කිසිවිට
ලද බොලඳ මියැසිය
කිම නිහඬ මෙලෙසට මෙලෙසට

යුග අත් පපු මත
ස්වෙතෙන්‍ වැසුණු ගත
නව වස් නෙරුව කුස
බිලිඳි අත මුත්,...නුඹ නැත නැත!

ඇය,.....;

යට යට දුම්මැස
වැලි කොස් ඇට මුල්ල ඇත
වගාවත් ගෙයි පස
ඇති ගෙවා ගන්නට තුන්මස!

එක එක රැපියල
වලලපු මන්චි ටින් එක
ලිග්‍ගල යටින් ඇති
ඕන වෙයිනෙ කිරි පිටි වලට

හඬ හඬ දුක්විඳ
ඉන්නෙපා මගෙ රන්කඳ
දූට අර නම දී
අනේ පොඩි එකි හදාගන්‍න

වෙයි වෙයි යන්නට
වෙලාව ළඟයි හතරට
ඉතින් මට අවසර
ඒත්,...ඇහැකිද තනිව නුඹට?

13/07/23
වම් කොහොල් ගී (ඔහු) හා දකුණු කොහොල් ගී (ඇය)

අනිත්‍ය දැකගතිමි

නාලක ගම්මැද්දේගෙදර

තප්පරයෙන් අංශුමාත්‍රයක් බදු ජිවිතය
කප්පරක් සේ දැනේන්නට
ඇලෙමින් ඇලෙමින් ඇලෙන්නට
විදිමින් විදිමින් විදින්නට
සොයමින් සොයමින් සොයන්නට

ආලයේ පැටලෙන්නට
රාගයේ වෙලෙන්නට
කුඩු තනන්නට
පැටවුන් වදන්නට
උස්පුටු හින මත උන් උඩ තියන්නට
පැටවු කරකාර දෙන්නට
වුන්ගේ ගැටලු විසදන්නට
වෙහෙස වන්නට
පැටවුන්ගේ පැටවු හදන්නට
වහෙස වන්නට
ගිලන් වන්නට
හැරි බලන කල ජිවිතය
ආද්යාත්මය සිහි වන් විට
කාලය ඉවර බැව් සිහිවු විට
කාලයක් තිබේද අපට
ආද්දියාත්මය සොයන්නට

මරන මංජකය සිහි වේ හෙට
දරුමුනුබුරන් වටවේ ඇදවට
ඇරබිය කසු කුසුව රැ ජාමෙට
උරුමයෙන් ගෙදර මල්ලිට
මහකුඹුර අපිට
නංගිට උගන්වපු ටිකම ඇතිය
කටු කුටුව ඇසෙයි හෙමි හෙමිහිට

කහ සිව්ර පෙනිනි ජායාවට
බොදවිනි දෙනෙත් තැබිලි පාටට
පාවිනි අහස් තලයට
පෙනිනි සනුහරයම කුරුලෙකු විලසින

දැල්විය පහන නිසොල්මන් මාලග
පිරවිය තේල් අඩුවෙන අඩුවෙන ගානට
දින හත ගෙවිනි සනුහරයම මැද
වැලෙලිනි අඩ් හතක් පොලව යටටම
දැල්විනි පහන් මා පපු තලය මත
නැවතිනි මොහොතක් මා එය මත
දැල් වි නිමෙන පහන් දෙස බලමින
අනිත්‍ය දැකගතිමි මා ගන්දබ්බ මනසින

හෙණපත

නිමල් අබේසිංහ - කඳාන

පෙරදි ගලා ගිය ගඟුලැල් සුදු පෙන පිඩු විහිදුවා
වියලිගොස්‍ ය වැලි ගල්පර මව මවා
පියලි නැගුණ ඒ රුක්ඛය තිබුණේ අතු විහිදුවා
සියලු දෙයම ඇති නැති වෙයි සොබාදමත් කියනවා

සිඳුණ විලස දිය උල්පත
කව් ලියන්නෙ නෑ මගෙ සිත
සිතිවිලි අකුරුද මියැදෙත
නුඹ හින්දද මේ හෙණපත

අවාරේ

නදීෂා වීරසිංහ - සහකාර කථිකාචාර්ය - රුහුණ විශ්වවිද්‍යාලය

අවාරේ වැහිකෝඩ
ගිගුම් දෙන්නේ කුමට
නොපීදුණු මල් පොට්ටු
රිදවමින් වහින්නද

වස්සානෙ වසන්තය
කැන්දනා බව සත්ත
නිදහස් ම ළපලු මත
තවරමින් පිනි වැස්ස

විදා සුන්දර ම පෙති
සලා රොන්සුණු සේම
සිපගන්න වැහි පින්න
වැහෑපන් වාරේක

පා ගමනින් ආවා

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

දඹදිව් දකුණින් නැව් නැග ආවා
මන්නාරම් වෙරළින් බැස ආවා
ජීවන ගමනේ පණනල රැකුමට​
සරණ සොයා ආවා​
පා ගමනින් ආවා

මහ වන ගිරි හෙල් පසු කර ආවා
රෝ බිය මරු බිය නොතකා ආවා
ජීවන ගමනේ පණනල රැකුමට​
සරණ සොයා ආවා​
පා ගමනින් ආවා

අනන්ත බාධක දුක් පීඩා මැද​
කඳුකරයේ රිය ම‍ං නිම​​ කල​
බෑවුම් වල තේ වතු බිහි කල​
රට නැගුමට ලේ දහදිය හල​​

දෙසිය වසක් කල් පරම්පරා ගත
මලය දමිල සොහොයුරු ජන වෙත
සැම​ උපහාරය වෙවා!
ඔබ කල කම් ඇගයේවා!

නිරන්ජන් සෙල්වදුරේ (Sydney, Australia)
Context:
A Padayatatra commenced its journey from Mannar on 28th July 2023 to commemorate the 200th anniversary of the arrival of Tamils of Indian origin in Sri Lanka. The march retraced the exact route the first contingent took to reach Matale two centuries ago.

නිච්චි ඇති බො.ට කෙටුවෙ කඩුවෙන්
වැද්ද මං ඉතිහාස ගැටුමේ
ඇස් පලන්නට හදන කඳුලක්
බිම හලන්නට ආවෙ අද මේ
එදා සටනෙදි කඩුව එක්කම
හිත නොදුන් එක තමයි පුදුමේ
දවස ගානේ මැරෙනවා මං
උඹ මැරුනෙ එක වරයි මනමේ...

සටන අහවර පැවසුවා ඇය
ආදරෙයි මට තදින්ම
හුරුවුණා ඈ මගේ පපුවේ
ගැඹුරු තැන්වල ලගින්න
ගල් තලාවක් තිබුනෙ නෑ අපෙ
උණුහුමක රහ නොදන්න
නියං කාලෙට කලින් කොහොමත්
වහිනවනෙ බන් පැලෙන්න...

වසන්තය මැදහරිය යද්දිම
ඉඩෝරයෙ රළුකම් එබෙයි
රජ වචන ඇගෙ උහුලගනු බැරි
රැහේ උන් දුරකට ඇදෙයි
හෙලුව හුරු නැති ඇගේ පා යුග
සඟල මිරිවැඩි දැන් සොයයි
තාවකාලික රාග ගඩොලින්
හැදූ මාලිග බිම හැලෙයි...

ඉඳහිටක මගෙ ප්‍රේම උයනේ
හිස්තැනක් ඈ දකිද්දී
එහෙව් හිස්තැන් වලින් උබගේ
තඩි මතක මල් උපද්දී
ඉරි තලාගිය කැළල් පපුවම
ආයෙ ආයෙම පලද්දී
ඇතැම් ගෑ.නු.න් පිරිමි උන්ගේ
සංසාරගත ඇබැද්දී...

ඒ.කි වැදුවා පුතෙක් දැන් ඌ
වයස අවුරුදු දෙකේ
දොට්ට යන දුක ඇදන් උඩහට
හදමි මහවැව් ඇහේ
ගෙල සිඳින කල දුටිමි උබගේ
බඩවතේ තිබු ලපේ
කිසිදු වෙනසක් නැතිව තියෙනව
උගෙත් ලපයක් නැබේ...

අමාවකදා හඳේ හිඩැසට
මං ඇදෙනකොට කුර ගගා
"තරුව අහකට වෙලා ඉඳපන්"
ඈ කියයි මට හඬ නගා
දැනුනු ප්‍රේමය උදුරගන්නට
පපුව ඇඬුවත් මොර ගගා
මනමෙ ආයේ කිසිදු භවයක
අනුන්ගේ ගෑ.නු.න් එපා...

වලෙන් නැගිටල මනමෙ එනවද
නාටකේ යළි රඟන්න
උබල එනවා දකිනකොට මට
කැලේ පෙරළන් දුවන්න
ටිකක් මෙතනින් ඈදිගන්නද
නොකී දේ ඇත කියන්න
ඒව කොහොමත් අහන්නට බෑ
මැරුණු එකෙකුට ඇරෙන්න...
---------------------------------------------
පසුවදන -:

දැනුණු ප්‍රේමය කියා අන්සතු
තැනක නුඹ නැවතුනේනම්,
සුහද නුඹ වෙනුවෙන්ම ඉපදුණු
ප්‍රේමයක් ලොව මැරේ යම්...

මවක් ගියා මැද පෙරදිග

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව

නිදිබර දෙඇස පියවෙන
ඈතක දිවෙන මනසින
දරුහිමි නිබඳ සිහිවෙන
නංවයි කඳුළු දෙනයන

නො රටක විසල් මැදුරක
මුළුතැ න් ගෙයක බිය දෙන
පිඹිමින් උරස ගිනිදෙන
උණුදිය වැදුණු පහරින

නො නිදන සිරුර වෙහෙසින
පුදනට රැයෙහි ගෙහිමිට
නො පිරුණු ඔහුගෙ මන දොළ
වැලමිට පහර විඳිනට

පනිනට බිමට මහලෙන
නසනට දිවිය සිත දෙන
දූ දරු වූවන සිහිවෙන
හදවත හඬා වැලපෙන

(මේ කතුවරයා 2005 දී පළ කළ 'ඇසි පිය' කාව්‍ය සංග්‍රහයෙනි)

අහිමි බව දැන දැනත්………..

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

පරවීම දැන දැනම මල් පොකුරු පිපීම
වෙරළ සිප ගනු රිසිව රළ ඇවිත් බිඳීම
බැස යාම නියත වග හැඳින ඉර නැගීම
සුන්දරම, අහිමි බව දැන දැනත් නිවීම

මගේ අදහස..

පුෂ්පලතා කැකුළාවල

දැන් මිනිසුන්ගෙ සිතුවිලි හද ගිනි ගෙනය
ඉන් නැතිවෙලා ලැජ්ජා බය සහ විනය
කන් යොමලා බැලුවොත් ඇසුණෙම බණය
උන් ඔක්කොම තවමත් ඒ සිටි තැනය

මඟ බැස යන්න පොඩි එකෙකුට වත් හැකිද
දුටු විට කාම සිතිවිලි එන්නේ කිමද
පොඩි මල් කැකුළු තලමින් තව දී වදද
විසි කර දමයි කොහෙ හරි මේ අපෙ රටද

තනිව යන්න බැහැ කතකට මඟ බැසලා
හොර මැරකම් දූෂණ මත්කුඩු පිරිලා
මකුළු දැල්ද දූවිලි බැඳි පිස දමලා
කිමද පෝරකේ ගත්තොත් දැන් හිතලා

මගෙ සිහිනය රෝස මල්ය .. 🎶

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

මගෙ සිහිනය රෝස මල්ය .. 🎶

නවමු මිහිරෙන් දන මන බඳින
රන් හුයෙන් මකුළු දැල වියන
දඩබ්බර ඉන්ද්‍රජාලිකයෙක්
රෝස මල් සිහින දකින මොහොත
පඬුපුල් සලසුන ගිනි අරන්

කැඳවන හසුන් පත ඉවතලා
බැතියෙන් ප්‍රශස්තිය ගයන
ගිරා පොව්වකු නොවෙමැයි සිතා
ඇරයුමට පිටු පාන බව දකින
දිව්‍ය මණ්ඩලය උදහස්ය

රඟා අවසන සියළු ජවනිකා
බගවතුන් දෙපා මුල එකත්පස් වන
පටාචාරා කුමරි නාටකය
කෙතරම් සෝක ජනකද
බෝ බිය සැක නැගේ හද ගැබ

දිසාපාමොක් මෙන් සිප්සතර දුන්
සිසුන් අසුරක සැනින් සැඟවිද
මේ යන ගමන- දුෂ්කර තරණය
අවාරය බෑන සමනලය මෙනි
දසුන පරිසරය විස්මිත ...

* සුනිල් සාන්ත මතකයෙන්

18.08.2023

ආදරේට නව අරුතක්

ප්‍රියන්ති ඕපාත

ටජ්මහලක් ඔබ නමට බදින්නම්
රෝමියෝ ජුලියට් මෙන් පෙම් බදින්නම්
සීගිරි කුරුටු ගීයක් හදවතේ කොටන්නම්
සදකඩ පහනක් හදවතේ නෙලන්නම්

ඉසුරුමුනි පෙම්යුවල මෙන් ගල් නොවී
විජය කුවේණි මෙන් වෙන් නොවී
සාජහන් මුම්ටාස් මෙන් දුරස් නොවී
පෙර කරපු පින් බලෙන් ලංවෙමුද හැමදාම

වැසි නොමැති මල් පිපුණු සුන්දරම දවාලක් වෙලා
මීදුමින් වැසී ලස්සනම රාත්‍රියක් වෙලා
ලස්සනට පිණි වැටුණු සුන්දරම උදයක් වෙලා
මියෙනතුරා ඔබේ හදවතේ රැදෙන්නම්

තිබහට බොන්න බැරි නම්………..

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

ඉරත් නිවී ගිය මොහොතක හීනයක
දුරින් ඉඳන් නුඹ හිනැහෙයි හිත ලඟම
අතින් ගිලිහුනත් පිණි බිඳුවක් විලස
සිඳු සම සෙනෙහසකි
එය නුඹටයි උරුම

කඩා වැටෙන තරු දකිනා විට රෑක
දරාගන්න බැරි හැඟුමන් එයි හිතට
සරා සඳවතව හිමිවී අහසකට
පැතු පෙම් පැතුම් පවනැල්ලක
සැඟවුනිද?

පෙම්බර සිතක් ඇත අදරින් පිරිමැද්ද
හැඟුමන් මිදුණු ගිනි කන්දකි, හා නැද්ද
විලකුත් තියේ නිල් දිය පිරි නිශ්ශබ්ද
තිබහට බොන්න බැරි නම් මොන රෙද්දක්ද?

It’s you

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර

Am never alone
As U are with me......!!!
I know........
U never leave me
Sometimes.......
U take over my whole body.....
Sometimes.......
U lodge in my mind too....
But.....
It's so difficult when U lodge
In my heart...........!!!!!

I hate U.........!!!!!
When U come closer.....
Am happy if U can leave me forever......
Suddenly.........!!!!
I myself realize.....
I myself feel
That......
U are ready to leave......
One wick on a lamp will shine brightly
When U actually leave me.......
I already feel so lonely
U were with me
Since my birth..........!!!!
PAIN.......!!!!!!
It's U........!!!!!
Sadly don't want to say
Good bye.......!!!!!!

Dr Ramya Attanayake.
Ukdandugoda,
Pethiyagoda,
Gelioya.

ඇය ආයෙමත් ඇවිදින්…

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

දිනක් කොට්ටාව නගරය
පසුකරන බස්‍ රියක
ඉදිරිපස අසුනක
ජනේලය අයිනක
ජංගම දුරකථන යක්
නරඹමින් ගමන්කළ ඇය
විජිතයේ අගරැජින මෙන්
දුටු මගේ සිත
දිවගියේ මගේ ප්‍රථම
පෙම්වතිය දෙසටය.
වෙන්ට බෑ..මේ ඇයම තමයි
මුව මඩල දෙනයන
ඇරපු අතක් නෑ
මගේ සිත හඬ ගායි
ඇයි මේ වද දෙන්නෙ
මම හනිකට නිවසට පැමිණ
බිරිඳ ටත් නොකියා
වේලාසනින් ම නින්දට ගියෙමි
මැදියම්‍ රැයේ ඔබ ඇවිත්
ඇද ළඟ දැවටි දැවටි
මොනවදෝ කියවයි
ඇයි මේ වද දෙන්නෙ
ඇය ආයෙමත් ඇවිදින්...

එක වරක්

රේණුකා වීරසිංහ - මෙල්බර්න්

මට ආසයි තවත් වරක්
ඔය ඇස් දෙක යට
කිමිදෙන්න
අනේ තව එක වරක්
ඔය ඇගිලි තුඩු වලින්
මගේ හිස පිරිමැද ගන්න
දෙතොල් තව උනුසුම්ද
කියාමට පවසන්න
වහල යට සිටිනමුත්
සිතින් නුඹ දුර යන්න
කල වරද එක වරක්
කියා දීලා යන්න

රේණු 30/08/23

මනාපේ මට දෙන්න……

රංජිත් ද සිල්වා - නවසීලන්තය

අවංකයි - එඩිතරයි
අංකය මගේ විසිහතර
යුක්තියේ ශක්තිය - හදවතේ මනාපය
කන්ද උඩරට මැන්ඩෙලා මමයි
නින්දෙන් උනත් වැඩ නම් තිතට

මනාපේ පටන් ගත් දා ඉඳන්
ජන්දේ තිබ්බ හැමදාමත්
ලයිට් කණුවේ - තාප්පේ - බිත්තියේ
අපි දැක්ක පෝස්ටරේ - එහෙමයි ලිය වුනේ

අවංකව කල දෙයක්
එඩිතරව කි දෙයක්
දක්ෂකමෙන් වැඩ කිරීමක්
කොතනකවත් නැහැ වුනේ

කඩ හැලුණු රටක්
බිඳ වැටුණු සමාජයක්
පමනයි ඉතිරි වුනේ

ආයෙත් චන්දයක්
තිබුනොත් හෙට දිනේ
හිතන්න ඔබ දෙවරක්
නොරැවටී ආයෙත්

28අගෝස්තු 2023

භාරත හිමකර තරණ

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම

පුරවර භරත ධජ ළෙල දෙයි ඔද නංවා
හිමකර තරණ කොට විදුනැණ ඔප නංවා
පර්චස ගැටලු සිරිලක ඇත පොර නංවා
පිරිවර එහෙට යව යුතු යානයෙ නංවා

ආදරේ

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

අපිත් අපට අහිමිව ගිය අහස යට
හිතක් කොහොම වාවන්න ද රිදෙන කොට
ඇහැත් මිරිකිලා එනවිට කඳුළු කැට
ටිකක් ඉවසලා ඉමු හිත් හැදෙයි හෙට

ඔබත් ඉන්න තැන යහතින් ඉන්න එක
මගෙත් හිතට සැනසීමකි අහිංසක
හෙටක් ගැන හිතමු ඉන්නා කාලෙ ටික
කොහෙත් එකයි හිත සතුටින් විඳින දුක

මහත් උසට බැඳි මාලිග බිඳී යත
එහෙත් එයට කළ හැකි වෙන දෙයක් නැත
එකක් ලොවේ අප වෙනුවෙන් රැඳී ඇත
හිතක් මැරෙන ඉපදෙන ආදරේ මත

“ලියපන් කවියක්..”

සචී ජයවර්ධන

පිපාසෙන් පැලවෙද්දි උකුසෙක්
පට්ට කළුවට පායද්දි රෑ ඉරක්
ඉතිං කොහොමද කියපන්
අමුණන්නෙ කන්කළුම පදවැල්

රහත් වෙන පෙම්බස්
පලද්දිත් හෙනහුරා බැලුමන්
උඹට මට හෙට දවසක්
පෙන්නුවේ රෑ අහසේ හොල්මන්

අතින් අත ගත් හෙවනැලි
පාළුවට ගියත් පෙර මැසිවිලි
ගහමරා ගන්ඩ නැති ඇවිටිලි
ජීවත් වෙන්ඩ තව පින ඇති

- සචී-

සරසවිගෙ තුටු පඬුර

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම

සිළුමිණෙකි ඔපය දුන් පත්තරේ මහගෙදර
සුනිලුනගෙ පන්හිඳේ උල්පතය මහඇදුර
සරසවිය සිරිලකට එවූ සේ තුටුපඬුර
තරුපතිගෙ මෙහෙය ඔබ අඹරෙ සාහිත විසුර

( පසුගිය ජූලි 28 වන දා ජන්ම දිනය යෙදුණු තිලකරත්න කුරුවිට බණ්ඩාර ධීමතාණන්ට උපහාර පිණිස ය.)

නෑ පලක්

සුමිත්‍රා ආරියවංශ - මහනුවර

නුඹට මතක නැද්ද දිනකදි නුදුරූ
මාව ළගට ගත්තෙ මල වගෙ කපුරූ
කලට හීනෙන්වත් වරදක් නොකෙරූ
ඉතින් වෙනවද මේ කුමකට නුපුරූ

මම ඉල්ලන විට සෙනෙහස එක බිදක්
උඔ කීවෙ එවිට දෙන්නම් මහ මෙරක්
මෙහි තබා ගිහින් නොකියම ගිනි ගොඩක්
දැන් ජීවිතේම වෙලා කඳුළු ගඟක්

ඉස්සර ඇලවෙන විට ගගා කොහොල්ල
ඇස් ඇර හිටියේ උඹ බිදක් නොහොල්ල
දැක්කෙම නැතිව මෙතෙක් නැහෙන නැහිල්ල
අන්තිම අයින් කරා ලෙසට වහල්ල

මම පැතුවෙම හරි සුන්දර මැදුරක්
උඹ හැදුවෙම එතනත් ලොකු සිදුරක්
දැල් වෙන්නට හිතුවද ලෙස පහනක්
මැවුවේ නොනිමෙන ගින්දර පුපුරක්

පිපී හිටි කල ලෙස මහනෙල් මල් විලක්
උඹත් ඇවිත් එතන අත හැරියා ගලක්
නිලක දිය කැටේම කරා කඳුළු ගඟක්
මමත් යන්නම යනවා නෑ ඉද පලක්...

පරිනත වීම

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

දොඩමළුව හැමදාම අනුන් දුක ඇසුව
රිදුනු හිත රැය පුරා ගෙවී නිදි නැතුව
අගුළු දා කථාවට පතාගෙන හිත සුව
මොන තරම් සොදුරුයි ද මේ නිහඩ බව

ගෙවී ගිය ජිවිතේ දරා නෙක බර
මා මගේ නොවූ බව නිසි පසක් කර
අගුළු දා දෙසවනට යතුර නැති කර
බොරළු කැට දිලිසෙයි ද අසල මහමෙර

මහසයුර තරණයට පාරු කුමට ද
කදුළු මුදුනෙ සැතපෙන්න වාරු ඇවසිද
නිමා කල යුතුකමක අගය කුමටද
නිහඩවම නිහඩ වෙමි හේතු කුමට ද

බැදුම් නැතිසිත රිදුම් නැතිවේ:

සපුමල් බන්ඩාර - ලන්ඩනය

සොයා තනා බැඳලා ගනුරිසිසේ
හොවා බලා සිතලා දැනෙනාසේ
බැඳුම් නැතිසිත රිදුම් නැතිවේ
නැතිවිට ඇතිබව නොම දැනෙනාසේ

රාමුව………

ෂර්මිලා බංදුනී දංවත්ත

දොරකඩ......
රතු මැයි ගස
අතු ඉති මල්
බිම හැලුවේ
එක විදිහකට

හරියට ම........
ඊයේ රෑ ඔයා
අපේ මගුල් පිංතූරය
බිම ගහපු විදිහට ම

අද උදේ........
රාමුවෙන් පිට පැන්න අපි
හිටියේ
බිත්තිය ට පිට දීලා
නිරුවත්ව

ඒත්.....
ඵ් මුහුණු වල
තිබුණා හිනාවක්
පෙර නොතිබිච්ච

ආයෙම......
රාමුවෙන්න අදහසක්
මගේ නෑ
ඔයාගෙත් එහෙම නේද

ගීතයක පද වෙන්න………..

සුදර්මා වීරක්කොඩි

හීනෙ හොද හරිය ලග
පායාවි ලප නැති සද
අමාවක එන්න පෙර
යන්න සදවත ලගට

තරු පිපුන රැය අහල
සැගවුනත් සිසිලකර
කලුවරේ හිත ලගම
තුසරක දැවටෙන්න..

හීන පිපෙනා විටක
හොදම තනුවක් වෙන්න
තත් අතර නුඹ පිපී
ගීතයක පද වෙන්න

අම්මා

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

සැප්තැම්බරය කඳුළු මතකයක් කර මීට 13 වසරකට පෙර අප අතරින් වියෝවූ ආදරණීය මෑණියන් වෙනුවෙනි.

මනු සපුන් පිරි වනේ සෙනෙහසේ ගිරි ලෙනේ
වසා ලෙන් දොර නිබඳ මා සුරැකි අම්මා
කඳුළු පිනිදිය බරින් නෙතු වැසෙන හැම රෑක
දෙව්රුවක් වී ඇඳෙන අම්මා

හිරු මියැදි වන පෙතේ මං ලකුණු පෙන්වන්න
ඈත ගිරගින් නැගුණු සඳ එළිය අම්මා
සියොත් කැළ ඉගිලගිය පාළු හදවිල පිපුණ
සෙනෙහසේ සුදු නෙළුම අම්මා

පන්සලේ බුදුකුටිය පුරා ඉතිරී ගලන
ලොව්තුරා සුව ගෙනෙන මල් සුවඳ අම්මා
ජීවිතේ සිරමැදුර මැද දිලෙන රන් සිළුව
සදා නොනිවෙන පහන අම්මා

සමුගත් ලාල් සරත්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

(ප්‍රවීණ හඬ කැවීම් ශිල්පී රංගධර
ලාල්සරත් කුමාර වියෝවීම වෙනුවෙනි)
---------------------------------------------------------------
වළා සළු පිළි පටල අතරින්
මෝදුවී දිදුලමින් යුගයක්
පබාමත් කළ සොදුරුමිනිසෙක්
ඒ වළාසළු.ගැඹෙහි සැගැවී
අනන්තයටම බැස ගිහින්

හඬ සරට නිම්නාද වූ හඬ
පුබුදමින් ඇසි දිසි පුරාවත
ගගනතෙහි සිත්තම් කළාවූ
සහස් සිත් ආලෝකමත් කොට
අරුම දනවන ව්ලාසෙන්
සූර පප්පා කාටුනය තුළ
ජුලියස් සීසර් ගෙ චරිතය
යළි යළිත් ඔබැ අවදි කළ යුරු
සිත් හී ඇත ඇතිතුරා හිරු සඳු

කාලයක් ඔබ මහගෙදර තුළ
රැදී සිට කළ හඬෙහි සිත්තම්
අදත් ඇත විද්‍යුත් තලාවෙහි
සුසර නංවා සවන් අතරේ
රාජ්‍යය සම්මාන ලැබූ ඔබ
ශිල්පියෙකු ලෙස ගුවන් විදුලියේ
කළාවු පෙර නාට්‍යයකට
අති විශිෂ්ඨ වු රම්‍ය වූ

සුරත් ඵල රස බෙදාදුන් ඔබ
රංග ප්‍රතිභා හඬ කලාවෙන්
හෙටත් ජන හද පුබුදු කරමින්
රැදී පවතිනු නියතමයැ
ඔබට ඔබ පැතූ සොදුරු ලොවකට
ඉදින් යන්නට අවසරයි

පිංකළ පන්හිඳ අනුල ද සිල්වා

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අරුණ දිවයුරු ලෙසින් සිවුදෙස
එළිය කරනා ඝනඳුරෙන්
පුවත්පත් ලොව පබාමත් කළ
වසර ගණනක් එක ලෙසින්
ගැහැණියක සේ ඉපදුනත් ඕ
පිරිමයකු ලෙස කඩිනමින්
එදා වැඩකළ දුරාතීතය
රනින් ලියැවී ඇත දැයේ

ඈ ලියූ මුල් නවකතා වෙන්
එදා උන්මත්තකයෝ නමින්
අදත් සුවැඳැති නෙළුම් පුබුදයි
ජනඟ සිත් හදවත් විලෙන්
දශක හයකට පමණ කලියෙන්
ළමා ලෝකය පුබුදු කරමින්
එදා මිහිරෙන්
මිහිර ගෙනදුන්
පසුව තරුණී සමග එක්වී
බැදි එහි මුල් පුටුව දරමින්
රැදී පත්තර මහා මැදුරෙහි
කලාවේදිණියකව සුපසන්
නමින් අනුල ද සිල්වා නම්වු
ඒ දඹ රන් පහන් සිළුවත්
නිවී ගොස් පසු දශක අටකට
පහන් කළ ලොව අඳුර නසමින්

නවකතා කෙටිකතා පොත්පත්
විටෙක අනු- පරිවර්ථනත්
සියයකට වැඩියෙන් ලියූ ඈ
මියෙන තුරු කළ අමිල සේවය
ආශ්චර්යයි අමරණීයයි

තෙවසරක් පිරි අතැර සඳ හිරු – ජී.එම්.අජිත් කිවිසුරු

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සිතකය සමග බැදි.රැස් කවි සමුළු වියත්
ශතකය වියැකුනත් එලෙසම තිබේ හෙටත්
චිතකය ළග ඔබේ නෙත් පිරි කදුළු අජිත්
මතකය සමග ඇත තෙවසක් ගෙවී ගියත්
---
අත් බැදි බාල යව්වන වැඩිමහළු සැම
සත් තයි ඔබේ දුටු වග ගුණ පරම අම
සිත් නැති මිනිස්සුන් ඍණ දෑ කළත් තම
ඇත් තට කිමැයි නොදුටුවෙ ඔබැ මිනිස්කම
--
පැය විසිහතරෙ කවි මඩු මුල්වරට කළ
සිය ශක්තියෙන් කවියට දුන් අමිල ඵල
ගිය ගිය කොතැන මුත් කවි මිණි සෙලවු නිල
දිය තම ඔබේ හදුනති කවි හඬෙහි බල
---
වත ගොත එකතු කොට කවි කිවිදියන් රටේ
අත කුරු පවා රැස් කොට අගනුවර කටේ
ගත පණ තිබෙන තුරු වැඩකළ හතර වටේ
මත කය සදා ඇත හදවත් ඉවුරු තොටේ
--
කොතැනක කවුරු මිය ඇදුනත් කවි හැදුණු
මොහොතක පමණ හෝ එහි ගොස් ගුණ ගැයුණු
සොහොනක නුදුටුහොත් ඔබැ රුව එහි දිලුණු
අහසක සඳක් නැති මෙනි අඳුරෙහි ගිලිණු
---
සුදු පැහැ ඇදුම පැලටත් මැදුරටත් හුරු
නඳු නුයනෙහි මලක් මෙන් මදු සුවඳ දැරූ
කදු හෙල් නොඹා ගිය කවි මුළු වලට ගරු
සඳු මෙන් ඔබැයැ සිටි කවි නුබ ගැබෙහි හිරු
---
පත්තර පුවත් සගරා කවි පොත් දැයට
සිත් තම් කර පිදූ ඔබ සුළු මුදලකට
සිත් සන්තොසින් ගෙන දුටු දුටු විට අතට
අත් පොත් කරති දරු දැරියෝ අද එමට
---
පවනට නිවෙන මුදු සිසිලක් ගෙන දෙන්න
සවනට හදවතට මුදු සුවයක් වෙන්න
ගිමනට දිය පොදක් වී සරතැස ලන්න
නිවනට කලින් නොගොහින් යළි මෙහි එන්න

17/8/2023

ගස් ‍හැලී ගොස් ……..

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

යන්න නොහැකි පීරාගෙන
මුල් හෝ මතුපිට නොපෙනුන
සරුවට ගස් වලින් වැසු න
ඝන කැලයකි කලෙක තිබුන

කොළ අතු පතරින් විරහිත
ගස් නිරතුරුවම දික්වෙ ත
කාලය අරුමයකි නියත
මුඩුබිම තැනෙකින් දිස්වෙත

කපා හෙලන අරමුණු නැත
කැලයේ ඝණ බව අඩුවෙත
වටරවුමක කෙටි ගස් ඇත
හිස් තලයකි බිම මුදුනත

අව්වට දැවෙනා හිසකට
හිස්වැසුමකි දැනට පිහිට
කරණවෑමියෙකුගෙ ලඟට
යනු කුමටද කෙස් නැතිවිට

ආදරය

ශර්මිලා බන්දුනි දන්වත්ත

අමරණීය යි කිව්වට
දැනන් හිටියනම්
මරණීය බව
" අ" යන්නට
ආදරය නොකරන්න තිබුණා

ඒත්.......

දැනන් හිටියත්
මරණීය බව
"අ" යන්නක් ලියාගෙන
ආදරය කරන්න ම තිබුණා

පොල් කොට මංගල තෑග්ග

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර

තිස් හත් වසක් සපිරුනි පොල් කොට දෙකට
ඉස්සර වගේ පොනුමක් නෑ නොවැ ලගට
හිස්කර ගියත් කාලය දොඩමින් කවට
තිස්සෙම හිස නමමි "පොඩ්ඩේ දෙසු" බණට

හතර වරිගේ නෑයෝ වටකර ගත්තු
නිතර හමු නොවෙන දුර නෑ බෝසත්තු
සසර මග දිගට හමුවුන ගජ ඇත්තු
කවර දුනි මොනරු කෙල තලි නා ගත්තු

ලස්සන පිට කවර වාගේ හැඩැති කතා
වස්සන සුවද මනරම් කවි පදද ගොතා
ගැස්සෙන සැන බිදෙන වීදුරු යසට ඔතා
උස්සනු බැරි තිළිණ බර පොදි තබති අතා

අවසන් පැයේ පොල් කොට කර තබාගෙන
ගනිමින් නැකත් නොව නිසි කල් සොයාගෙන
"සැනකින් බිදෙයි වීදුරු බඩු බලාගෙන"
බලමින් හුනිමි පොල් කොට ඔහු තබා යන

වීදුරු බදුන් බිදුනා පෙර ලද තිලින
කෑදර උනත් රැකගනු බැරි විය ඉතින
සාදර සිතින් පොල් කොට පසුවේ තුටින
ආදර පොඩ්ඩෙ මට ඔබ සිහිවේ නිතින

අඩු පාඩුවක් නෑ පොල් කොටවල දැනුනේ
පඬු සේදුන සිවුරු පොටවල් ලෙස පෙනුනේ
කඩු ගෑ ගලුත් දියවි යනවා සෙමිනේ
මඩු පල්ලියත් පත්තිනි දෙවොලකි පොරණේ

පොල් කොට පලන පොඩ්ඩෙ අපෙ ගමේ විසු
ඇල් මෙන් එදා බණ පදයක් ලෙසින් දෙසු
කල් යල් ගියත් තවමත් පොල් කොටන් මසු
මල් වඩමක් වෙයන් මගෙ ඇස් වැසූන පසු

සලඹියෝ

සිසිර කුමාර කොග්ගලහේවා

කල ඉක්මෙනා කල වියපත් බව
සඟවා
මන දොල රවටමින් මතුපිට රස
පොඟවා
තාලෙට ඉඟිමරා සූ සැටෙ ප්‍රමෙ
යොදවා
ආලෙට අතවනයි ඉඟ සුඟ බඳ
නලවා

හුරතල් වෙමින් යටි සිතෙ අරමුණු සපුරා
ගනුවස් නිසරු බොල් බිජු කතරෙහි වපුරා
දර දිය අද්දවා මිරිඟුවෙ රස කොඳුරා
ගිජු ළිහිනියෝ ඩැහැගනි සාරය උදුරා

අම්මා

ඩී.කේ.එච්. සම්පත්

දරා දුක් ගිනි එය නොපෙන්වා විරහවත් විඳ නුරා සැප හැර
නිරාමිස සුව ලැබිය යුතුමය මතු දිනක ඔය හදට ගෙන වෙර
පුරා හද සේ අඳුරු අහසේ කලු වලාවන් ටික ඉවත් කර
අරා වැඩ හිඳ මගේ දිවි මග එලිය කළ මැන මව් දයාබර

දරුවො ලඟ කොයි මොහොතෙදිත් මව් ළය මඬල සීරුවට උණුවේ
කුසට රස මසවුළු නැතිවම යි දුක දරා රජවරුන් තැනුවේ
හිත් නිවන සනසවන පද වැල වීය ගැයෙනා මිහිරි තනුවේ
රැජින සේ සිහසුනක වැජඹිය යුතු බැවිනි නුඹෙ ගුණම වැණුවේ

කදු මුදුන පල්ලම බහිද්දී මුළු සිරුර දහදියෙන් තෙම්මා
මෘදු සිනාවෙන් හැඟුම් මැඩගෙන වෙහෙසකර බව ඉවත දැම්මා
වැදු පිනෙන් ,විවරණ ලැබූවත් සුවය විද ගැනුමටත් සම්මා
බුදු වන්ටවත් වෙලාවක් නෑ දරුවෝ මත්තෙම නහී අම්මා

සැපයට කරමු හරිදෙය

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

යන යන තැනදි කරනුයෙ අන් අයට වින
පැන පැන පණ නසති සතුනගෙ හිසට ඇන
දින දින ගෙවෙන විට කාලය නොදැන මන
ගැන ගැන සිටිනු ඇත දින ඔහු නිරයෙ යන

බල බල කළ යුත්ත නොපැකිළ නොකළ කල
සල සල කඳුළු මුළු දිවියම වැටෙති වල
පල පල ඇවිද පින කළ අය පබල දල
පල කළ ඵලය දැක කරලමු කුසල බල

දර දර නොයෙක් දුක් කරදර
සිතෙහි බර
කර කර පමණ නැති වැඩ යමු ගමන දුර
දිර දිර යන කයට සිත සවි එකතු කර
මර මර කෙලෙස් මරු ඇරගමු නිවනෙ දොර

මද මද නොවේ පොදි බැඳ දුක් කඳුළු මැද
ලද ලද දෙයින් තුටුවී දිවි ගෙවන සඳ
සිඳ බිඳ දමා වද දෙන නෙක ගැටළු කඳ
අද අද ලද යුතුය ඔද හද බැදෙන ලෙද

බිඳ බිඳ අඳුර බිඳ පුර සඳ නැගෙන සඳ
ඉඳ ඉඳ එළියෙ කණමැඳිරියො විඳිති වද
සිඳ සිඳ වෙහෙස දන කැල නිවහනට වැද
වැඳ වැඳ බුදුන් හද බැතියෙන් පුදති පුද

වෙර දර දරා සිදුකර කර වැඩද බර
දුර හැර දමා ලන්නට අපි කරන වැර
තිර සර නොවේ සසරට මඟ තිබෙන වර
වර තර නිවන සැපදෙයි දුක නතර කර

ඉසිදාසි නඩු මගට.

තුෂාරි ජයසිංහ - මහනුවර

මගෙ පරපුරේ උන්
මම වගේමයි
උන් රඟන්නෙත්
ඒ චරිතමයි

දාස බාරී. මාතු බාරී

කිළුටු සේරම හෝද හෝදා
හෙලා දා දිය හොයා සපයා
බතින් බුලතින් ඔවුන් සරු කර
මසත් දන් දී සතුටු කරවයි.

වදා දරුවන් උස් මහත් කර
රැක වලෙක් සේ දුවා පසුපස
වැටුප් රහිතය නිවාඩුත් නැත
පියන්නට නෙත අවසරත් නැත.

සියලු මෙහෙකම් කරද්දී උන්
නොදැනී නොපෙනී ලෙසම සිටිමින්
දෙමින් ගුටිබැට කරන අවමන්
තවත් විඳිනට දිය හැකිද මට.

ගුණ නුවණ පිරි නිවසෙ කුල කත
ගෙනෙන විට ආදරෙන් සිරිකත
මදි පාඩු පිරිමසා ගන්නට
යාවි නම් ගෙයි දොරින් එපිටට

ස්වාමිනි මට අවැසි යුක්තිය
ලබාදී ඒ ගෙවුණු කාලය
සෙනෙහසින් මිළ ගෙවනු බැරි නම්
දෙනු මැනවි බෝ තදින් දඩුවම්.

මතුත් සසරක හමු නොවන්නට.

තුෂාරි ජයසිංහ
2023.07.15.

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

සසරින් මුදා ලොව් සදහම් සමාදී
එකඟින් මුනිඳු හුන් වැනි නිපරමාදී
ලකුණින් සපිරි පිළිමය දැක සමාදී
වැඳගන් මිතුර තුන් සිත කර සමාදී

අත් හැරීමම තමයි ප්‍රේමය …

තිලිණි ලක්ශාන්ති - මහනුවර

ඇස් පියන් මත දරන්නට
බැරිම උණු කඳුල නුඹ
අත් නොහැර රැක ගනිමි
නුඹෙ සුවඳ රැඳි මතක…

සිර කරනු බැරිම විට
මුදා හල සුසුම නුඹ
යා නොදී රැක ගනිමි
පෙම් සුවඳ සිත පිරුන…

තබා ගන්නට මා ලඟම
නොහැකි විට යා නොදී
අත් හරිමි ප්‍රිය සබඳ
අත් හැරීමම තමයි ප්‍රේමය …

සේන් ගං තෙර දිගේ

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම

සේන් ගංතෙර දිගේ....
දෙඅත් පටලන් අපේ...
ඇවිද ගිය ඒ දිනේ...
ගලයි මතකේ මගේ...

හිම තුහින කැට සැළී...
දිලෙන නුඹෙ කෙහෙරැළී...
දකින විට මල් ලිලී...
මවයි නුඹෙ හසරැළී...

පද රචනය - තීෂ්‍යා දුල්මිණි
සංගීතය හා ගායනය - රුවින් හසමල්

ගිම්හානයේ නව දවසක ඇරයුම ලබලා
ඉරු රැස් දිලෙයි පෙරදා නැති සැර මවලා
වියලුන පොලවේ උනුසුම සුසුමක දැනිලා
කවි සිත තැවෙයි තුරුලිය මල් ගැන සිතලා
මාරුතයට පවා දුක වාවනු බැරි හින්දා
මේකුළු ගෙනාවද අහසම අදුරින් පුරවා...?

මහ වැසි ලගය
මෙරු රැල මරණය පතනා
ජීවය කෙටිය
තණ අග පිණි සේ බිදෙනා
විරහව පවා
ප්‍රේමයෙ ඵලයක් හින්දා
කවි සිත වෙලෙයි
ප්‍රේමය - මෝසම ගලපා

දෑල පිට ගලා ගං දිය ලෙස ඇදෙනා
අසනි වැහි පබළු කෙහෙරැලි සේ දිලෙනා
සීත පිණි වෙලී සියොළඟ හැගුමන් පානා
මේසම් වැසි වසී නුරාවේ රස මවනා...

නීල නිල් තඹර මල සේ පෙනෙනා
ධවල තිසර රැගුමින් මදහස පානා
නග්න තුරුලතා පුළුලුකුලින් ලෙලෙනා
ලියකම් ඇදී ඇත මෝසම් වැසි තෙමනා...

සතුට ගෙනාවේ

උපාලි අත්තනායක - මහනුවර

සතුට ගෙනාවේ
සැලෙන කඳුළු නෙතගින් මුතුඇට සේ
නෙතග බැලුම් තරුකැට එළියයි
සිනහ කැකුළු පියුමක් වීලා
මියැසි තෙපුල් ගී හඩක් වෙලා

ගලන දියේ සිසිලස එක්කර
පිපෙන කුසුම් සුවඳින් මුසුකර
කුරුළු ගීත තාලෙට මුමුණා
මගෙ ජීවිතයට සතුට ගෙනාවේ
ඔබම තමයි

තුරුළු වෙලා සෙනෙහස ගෙනදී
දෙඩූ වදන් හදවත් පතුලෙන්
නිහඬ දෙනෙත් අඩවන් වීලා
ආදරයෙන් සතුට ගෙනාවේ
ඔබම තමයි

වතුසුද්ද මල් කිනිති
නිදිගැට කඩ කඩා
ඈනුමක් දෙකක්
යවනකොට තමා
මුළු පළාතම
ඉන්ඩ බැරි තරම්
සුවඳ

ඊයෙ රෑ පැවති
චන්ද්‍ර සාදයෙන් පසු
හොඳටෝම වෙරි වූ
සේපාලිකා
පෙනෙයි තැනින්
තැන නිදන

පත්‍රයක් දෙකක්
අතගා
මහත් වූ ස්නෙහයෙන්
අසල වූ ඇට්ටෙරියා
හිතවතා සමඟ
සුහද වූ කතා බහකි
හුළඟ

ගේ මැද්දෙ
දරුවන්ට බත් කටක්
කවන්නට
යුධ වදින
දයාබර සොඳුර

මටත් බත් මුලක්
බැඳ
රෙදි ඉස්තිරික්ක කර
මිදුල් අතු ගා
අස්පස් කර
ටයිල් ටික මොප් කර

සාලයෙ දොරකඩට වී
ජීවිතේ හතරෙන් තුනක්ම ගෙවන
ආදරණීය සොඳුර

ඔයාට මේ කවි අහුර

මැටි ඝටයේ ගීතය

උදයංග අමරසේකර - ප්‍රංශය

උදෑසන
මම පිබිද වැඩට යමි
ඉර අවරට වන් කල
මම පැදුරට වැටෙමි
පවසට ලිඳ කණිමි
බඩසයට හේන කොටමි
මහාධිරාජයාගෙන්
ඉතින් මට ඇති අමුතු කම් කිම්?

දාහත්වැනි සියවසේ විසූ
අඥාත චීන කවියෙකු විසිනි

අනුවාදය:
උදයංග අමරසේකර
ප්‍රංශය

මූලාශ්‍රය :
P. GUILLERMAZ, LA POESIE CHINOISE,
MARABOUT, PARIS, N° 66/50A, P.40.

සිත්යාය අභිමුවේ මල් හීන වපුරලා
මන්නාරම තොටුපළට ගෙන ආවෙ රවටලා
දුක් හීන පොදි බැඳන් ලයිමකට කොටුවෙලා
පරපුරෙන් පරපුරම මේ පොළව සරු කළා

පොල් නොමැති තෙල් රොටිය තුන් වේලම කන්න
මත් වතුර අරගන්න දුක් හීන බොඳවෙන්න
ගව් ගනන් දුර ඈත තනිවෙල වැලපෙන්න
කල වරදක් ඇද්ද මේ පොළවේ වැලලෙන්න

සිනා පොකුරු බොඳවීලා එක දිගට
රටක් නැතුව කඹුරන්නේ ඇයි අපට
සියවස් දෙකක් අවසානයි මුලාවට
තවමත් නුඹල හරි ඈතයි අපෙ කමට

සරා සලෙලු දන සතොසේ
සුරා පාන කරන ලෙසේ
පුරා අවුළු නොයෙක රසේ
සරා අවන් හල් සහසේ

බේබිලා ට මළ…

වජිර ජයවර්ධන

මල වගේ
හිතුවාට උං ගැන උං
අපිට පේන්නෙම
මළ වගේ
ස්වේත වස්ත්‍ර
පිසාචයෝ
පෙරේතයෝ
ජීව සිරුරු ඇති
කුම්භාණ්ඩ හැත්ත

අත්පුඩි ගහන්නේ
පිටකරන්නට තරහා
උං දන්නේ නෑ තමයි
විසිල් වල වේදනා
රට දාල යන සෙනග
අඬ අඬා යන ගමන්
සුබ ගමන් සේ පෙනෙන
අබුද්ධික අමනයන්

ඔන්න ආයේ එනවා
පරණ කුණු අවුස්සං
උඩුබුරණ සුනඛයන්
‍රට කාපු අබලයන්
අනේ ඒ ළග ඉන්න
පුත්තලං බූරුවන්
පස් යටට යනව නං
මේ රටත් රත්තරං