ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංසාරික ආදරයක්….

සංසාරික ආදරයක්….

මයුරි කොඩිකාර - ගම්පහ
2023-September

එකම එක මොහොතකට
මේ පුංචි පපුව ඇතුලෙ
ධමනි ශිරා මාරුවෙද්දි
නුඹේ සෙනෙහස උඩු දිව්ව
කේෂනාලිකා දිගේ
විදුලි වේගයෙන්………

කපාට වැහිල ගිහින්
රුධිර නාලිකා අවහිර වෙද්දි
හුස්ම පවා නැවතුනා
තත්පරෙන් තත්පරේට
පපුව හිරවෙලා සීතල වුනා
ඒ ආදරෙන්….

හීනෙන් වගේ
“චූටි මැණිකේ” කියල කියද්දි
අනන්තෙට පාවුනා
මම හදාගත්ත
මගේ ලෝකය ඇතුලෙ
උඹට පින්සිද්ද වෙන්න…..

අතුරු සිදුරු නැතුව
ගඟ පිටාර යද්දි
නවත්තන්නෙ කොහොමද
ලෝබ හිතුනා
මහ ගොඩක්…….

හිතුනෙ නෑ
මගේ කරගන්න
හඳ ඉල්ලල ඇඬුවෙ නෑ මං
ඒ එළිය ඇති මට
ජීවත් වෙන්න…….

එකම එක ප්‍රාර්ථනාවක්
පැය විසිහතරෙම
තුන්සිය හැටපස් දවසෙම
තත්පරයක් ගානෙම කලා
හිමිවෙන්න……….

සසර අතර මග
එකම එක ආත්මයක
මගේම වෙන්න
මේ පපුව නවතීවි එදාට
උඹ වෙනුවෙන් රන්…….