ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ධම්මද්වීප වැනුම

ධම්මද්වීප වැනුම

මුද්දිත හිරුෂාන් රණතුංග
2023-September

එදා වගෙමයි සිරිමහා බෝධියේ මළු දෙක තියෙනවා
ඇත්තු පිට යන කරඬු දැක්කම සාධුකාරත් තියනවා
කිරි සුවඳ මැද මහණ වූවන් සිවුරු හැරියම බනිනවා
කුලේ හොයලා සැදැහැවත් අපි ‘අපේ පන්සල’ වඳිනවා

අභිදහම් නොව ළදරු දෙසුමට ෂෝක් බණ යැයි කියනවා
රෝද හතරක් තුනක් ගානේ බුදුන් වැඩලා හිදිනවා
මොනර කොළයට භාවනා කඩ රහත් සහතික මවනවා
දියසෙන්ලා ආගම මතක් වී මනාපෙට පොර බදිනවා

ඇස ගැටෙන කඳු ගැටේ ගානේ බුද්ධ ප්‍රතිමා නෙළෙනවා
වැඩිම ගානට වෙන්දේසි කර කඨින පිංකම් කෙරෙනවා
පන්සලෙන් ගත් අට්ඨ පිරිකර ආයෙ එයටම පිදෙනවා
කොලිටි නොව ක්වොන්ටිටිය මුල් කර සැදැහැවත්කම බෙදෙනවා

හිඟන්නගෙ ළඟ නැති පනම් පන්සලට කොළ වී පිදෙනවා
මහළු මඩමුත් පසු කරන් ගොස් සෑ වටේ කොඩි එතෙනවා
චැනල් දාලත් බණ කියද්දී ඉල්ලමේ හැටි පෙනෙනවා
පුරුදදට මෙන් පරලො සැපතට අපේ නැටි තව වැනෙනවා