ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳතරණය භෞතිකය සහ නිර්වාණය.

සඳතරණය භෞතිකය සහ නිර්වාණය.

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
2023-September

හේ ගේ වේලාවෙන් දෙදොහකට පෙර
චන්ද්‍ර මුහුණත සිත්තම් කලෙහි සස රුව
උන්ගේ කාලයෙන් දහස් වසරක් හැර
කියත් ඒ ලප ආවාට වග…
මුසාවෙකි ඒ සසඳාවත….

සිනහ පහලව සක්‍ර
“එබෝසත් බුදුව පිරිනිවී ගොස් ඇත
එහෙත් තීන්තය තවම මා අත –
කලාකරුවා නිවන් නොදකිත්
හුදී ජනයා රසය නොවිඳිත්..’

ආදම් ගේ ඇපල් වත්තේ
ඉන්නකට හිට්ටු ජම්බෝල ගහෙක
මුදුනට බඩගා කළුකුහුඹුවා
ගෙඩියකට නැඟ පොත්ත අතගා
ඇන්ටනා අඬු උස්සා
එවා ඇත මහා පයිණ්ඩය..

“වළ ගොඩැලි බහුලය මේ තැන.
නැත එක සීනි කැටයක්..
ඒත් යෝධ පියවරෙකි
සමස්ත කුහුඹු වර්ගයා තැබූ…”

විෂ ඇපල් උයනෙක
නිරුවතින් මහා ප්‍රීතියෙන්
සිනාසේ ආදම්….

“ඒවා.. ඒවා…
ඇපල් වත්තේ ඉන්නට හිටවූ
ජම්බෝල ගහේ ගෙඩියක
අලුත් ඇවිදින කළු තිතක් දුටුවාද???”