ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රහස් රහසක් වූ තරමට ය මිහිරැති

රහස් රහසක් වූ තරමට ය මිහිරැති

කෞශල්‍යා ජයලත්
2023-September

සුරඟන කතාවල විය නොහැක්කක් නැති
අතෑරුණ තැන ඔබ අත මකා පිටු ඇමිණිය හැකි
මගෑරුණ තැන ඔබ මා පෙමින් පිරියම් කළ හැකි
සිනාසෙන ඉමෝජියකින් ඔබට පිළිතුරු දිය හැකි

හසුන් නවයෙන් නැවතුණ අකුරු නැවතත් ලිව්වැකි
දසුන් සමඟින් පණිවුඩ අත් බණුවකින් එව්වැකි
කසුන් සමනොළ තටුවක සුවය තැවරූ තොල් පෙති
අසුන් ගන්නා නළලක් මටත් හිමි විය හැක සකි

ලියුම්, දුර බණු කතාතර ඉපදුණු පිළිසඳර වැකි
බියෙන් හැංගූ එකමෙක හමු වූ දවස මැකුවැකි
වදන් හිඟ වූ ගොළු ගිරවියට නැවත පණ පිම්බැකි
අවන් හලකින්, කෝපි රසකින් පිටුව නැවතත් ලිව්වැකි

නමුත් සුරඟන කතාකරුටත් අතපසු වීම් විය හැකි
නමුත් නගරත් ලියන අතරෙ දි මතක පැටළුම් විය හැකි
ඔබත් ඔහුවත් සසඳනායුර ඔහුත් දන්නේ නැතිවැති
මමත් නොසොයමි රහස් රහසක් වූ තරමට ය මිහිරැති

© කෞශල්‍යා ජයලත්