ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මතක

මතක

මාලිනී හෑගොඩ - USA
2023-September

එදා පායපු හඳ ද අදත් මේ පායන්නෙ
එදා හැමු සුළඟමද මේ සීත ගෙන එන්නෙ
එදා අඩ අඳුරමද මා වටා කැරකෙන්නෙ
සදා මතකය ඇයි ද මගේ හිත පාරන්නෙ

හඳ එළිය එදා ඇඳි රටා නෑ අඳින්නේ
සීතලම මිසක් උනුහුමක් නැත දැනෙන්නේ
පිණි කඳුළු විතරමයි මා එක්ක දොඩන්නේ
පිණි වලට ලුණු රහක් කවුද එක් කරන්නේ

මට වගේ පාළුවක් දැනිලා ද දන්නෙ නෑ
උල ලේනි වෙනදාට මෙහෙම නම් අඬන්නෑ
වලාකුල් බර වුණත් වැස්ස නම් වැටෙන්නෑ
ඔබ ඉතින් කිසිදාක ආයෙ මෙහෙ එන්නෙ නෑ

ඒ රටට දැන් උදේ මට මෙහේ රෑ වෙලා
ඔබ අවදි වී වැඩට යනව ඇති පේ වෙලා
ඇය ඉන්නවා ඇතිනෙ එනතුරුම මග බලා
ලෝකයේ මේ කොනේ මං ඉන්නෙ තනි වෙලා

2023 අගෝස්තු මස 14 වන දින
ඇමරිකා එක්සත් ජනපදයේ
ෆොල්සම් නුවර දී ය.