ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වන්දාමි සාධු මමලං ජිනදන්ත ධාතුං………………

වන්දාමි සාධු මමලං ජිනදන්ත ධාතුං………………

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
2023-September

සම්මා සම්බුදු ගෞතම ශ්‍රී දේහය සෑයෙහි දැවෙනවිට
ඛේමා රහත්හිමි එර්දි බලය ගෙන මතුවට සුරකින්නට
වම් අකු ධාතුව ගෙන වඩිමින් එදවස කළිඟුරට
බඹදත් රජු පිහිටුවා තිසරණේ දුන්නා දළදාවත් ඔහුට

ගරුසිත් ඇතිව දඹදිව බඹදත් රජු පවර
අසුනක් සාදවා මිණිමුතු දෙක එකතුකර
දළදා සමිඳු වෙනුවෙන් ඒ කළිඟු පුරවර
ඉදිකර තිබුණාලු පළමු දළදා මැදුර

කල්ගත්වෙද්දි බලයට ආවා රජු ගුහසීව
දැහැමින් කලා රට දසරජ දහමට අනුව
එමතතු ඇසූ සමහර රජවරු විරසකව
සිතුවා ඩැහැගන්න රජු පරදා සිරි දළදාව

සුරැකීව තිබූ කළිඟුරට එතුවක් සිරිදළදා හිමියන්
පැමිණුන සතුරු බලයෙන් සදා රැකගනු රිසියෙන්
දන්ත කුමරුවන් කුමරිය හේමමාලාවද සමඟින්
හෙළදිව වඩමවා ආවේ මහරජ ගුහසීව අණින්

මහසමුදුර තරණය කර පැමිණි සියළු බාධා මැදින්
දන්ත ධාතු සඟවාගෙන කෙස් කළඹේ ඉතා සොඳින්
දළදාගමනය කළේ මහ භාරතයේ වූ කළිඟුරටින්
භාරදෙනු සිතා ලක්රජුහට අපේ මහසෙන්

හෙළදිව ගොඩබසිනවිට දළදාවත් ගෙන නැව්තොටින්
මහසෙන් රජු මියගිහින් රජවීය පුතු කිත්සිරි මෙවන්
ලක්දිව වැඩමකළ බව උත්තම දළදා සිරි දළදා සමිඳුන්
වැඳපිළිගත්තෙ මේඝගිරියට ගොස් බුද්ධාලමිභන තුටින්

සදා කරඬුවක් පළිඟු රුවනින් දළදා හිමි වැඩහිඳුවා
මහරජතුමන් මනාලෙස වැඳ පුදපූජා පවත්වා
මහ පෙරහරින් අනුරපුරයට ගෙනගොස් වඩම්මවා
රජමැදුරේ තබාගෙන පුදපූජා නිතියෙන් පැවැත්වුවා

වැඳුම් පිදුම් නිතියෙන් කළ නිරිඳුන් වසරින් වසර
දළදා සමිඳු වෙනුවෙන් කර ඇත දළදා පෙරහැර
මතුවට රජවන රජවරුනද ලක්දිව මහනොහැර
පුදපූජා කළයුතු බවට ඇත මහරජු නියමකර

කිත්සිරිමෙවන් රජ දවසේ සිට මෙසිරිලක
පුදපූජාවන් කළා රජදරුවන් හැකි සැමවිටක
පරසතුරන් නිසා කැඩුනත් පිළිවෙත යම්විටක
තුන්හෙලයන් එකතුව කරනව පෙරහැර සිරිලක

සඳකැන් ‍ගලන සඳ නුවරට අද පුර නිකිණි සඳින්
ගිජිඳුන් සරන සඳ කරඬුව ගෙන සුදු පාවඩය මැදින්
සතුටින් බුද්ධාලම්භන පොදුජනතා සාදු නදින්
වන්දාමි සාදු මමලං ජිනදන්ත ධාතු බැතින්