ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

4 ට ළඟයි,…….!!

4 ට ළඟයි,…….!!

නික් ග්ලෙන් - උතුරු අයර්ලන්තය
2023-September

කැඩෙමින් ගැයු කවි
දුඹුටු බැඳුන වියන යට
දුම් සමග දබරව
පිසූ බත හවහට හවහට

රත් දෙපෙති අඳුරු
උවන දී අමාවකට
එළිය සිඳුන දෙතරු
කවිය නෑ සවනට සවනට

දරදඬු අත පය
නුහුරුය නුඹේ කිසිවිට
ලද බොලඳ මියැසිය
කිම නිහඬ මෙලෙසට මෙලෙසට

යුග අත් පපු මත
ස්වෙතෙන්‍ වැසුණු ගත
නව වස් නෙරුව කුස
බිලිඳි අත මුත්,…නුඹ නැත නැත!

ඇය,…..;

යට යට දුම්මැස
වැලි කොස් ඇට මුල්ල ඇත
වගාවත් ගෙයි පස
ඇති ගෙවා ගන්නට තුන්මස!

එක එක රැපියල
වලලපු මන්චි ටින් එක
ලිග්‍ගල යටින් ඇති
ඕන වෙයිනෙ කිරි පිටි වලට

හඬ හඬ දුක්විඳ
ඉන්නෙපා මගෙ රන්කඳ
දූට අර නම දී
අනේ පොඩි එකි හදාගන්‍න

වෙයි වෙයි යන්නට
වෙලාව ළඟයි හතරට
ඉතින් මට අවසර
ඒත්,…ඇහැකිද තනිව නුඹට?

13/07/23
වම් කොහොල් ගී (ඔහු) හා දකුණු කොහොල් ගී (ඇය)