ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැපයට කරමු හරිදෙය

සැපයට කරමු හරිදෙය

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2023-September

යන යන තැනදි කරනුයෙ අන් අයට වින
පැන පැන පණ නසති සතුනගෙ හිසට ඇන
දින දින ගෙවෙන විට කාලය නොදැන මන
ගැන ගැන සිටිනු ඇත දින ඔහු නිරයෙ යන

බල බල කළ යුත්ත නොපැකිළ නොකළ කල
සල සල කඳුළු මුළු දිවියම වැටෙති වල
පල පල ඇවිද පින කළ අය පබල දල
පල කළ ඵලය දැක කරලමු කුසල බල

දර දර නොයෙක් දුක් කරදර
සිතෙහි බර
කර කර පමණ නැති වැඩ යමු ගමන දුර
දිර දිර යන කයට සිත සවි එකතු කර
මර මර කෙලෙස් මරු ඇරගමු නිවනෙ දොර

මද මද නොවේ පොදි බැඳ දුක් කඳුළු මැද
ලද ලද දෙයින් තුටුවී දිවි ගෙවන සඳ
සිඳ බිඳ දමා වද දෙන නෙක ගැටළු කඳ
අද අද ලද යුතුය ඔද හද බැදෙන ලෙද

බිඳ බිඳ අඳුර බිඳ පුර සඳ නැගෙන සඳ
ඉඳ ඉඳ එළියෙ කණමැඳිරියො විඳිති වද
සිඳ සිඳ වෙහෙස දන කැල නිවහනට වැද
වැඳ වැඳ බුදුන් හද බැතියෙන් පුදති පුද

වෙර දර දරා සිදුකර කර වැඩද බර
දුර හැර දමා ලන්නට අපි කරන වැර
තිර සර නොවේ සසරට මඟ තිබෙන වර
වර තර නිවන සැපදෙයි දුක නතර කර