ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉසිදාසි නඩු මගට.

ඉසිදාසි නඩු මගට.

තුෂාරි ජයසිංහ - මහනුවර
2023-September

මගෙ පරපුරේ උන්
මම වගේමයි
උන් රඟන්නෙත්
ඒ චරිතමයි

දාස බාරී. මාතු බාරී

කිළුටු සේරම හෝද හෝදා
හෙලා දා දිය හොයා සපයා
බතින් බුලතින් ඔවුන් සරු කර
මසත් දන් දී සතුටු කරවයි.

වදා දරුවන් උස් මහත් කර
රැක වලෙක් සේ දුවා පසුපස
වැටුප් රහිතය නිවාඩුත් නැත
පියන්නට නෙත අවසරත් නැත.

සියලු මෙහෙකම් කරද්දී උන්
නොදැනී නොපෙනී ලෙසම සිටිමින්
දෙමින් ගුටිබැට කරන අවමන්
තවත් විඳිනට දිය හැකිද මට.

ගුණ නුවණ පිරි නිවසෙ කුල කත
ගෙනෙන විට ආදරෙන් සිරිකත
මදි පාඩු පිරිමසා ගන්නට
යාවි නම් ගෙයි දොරින් එපිටට

ස්වාමිනි මට අවැසි යුක්තිය
ලබාදී ඒ ගෙවුණු කාලය
සෙනෙහසින් මිළ ගෙවනු බැරි නම්
දෙනු මැනවි බෝ තදින් දඩුවම්.

මතුත් සසරක හමු නොවන්නට.

තුෂාරි ජයසිංහ
2023.07.15.