ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒත් දැන් හිතනව ද ?

ඒත් දැන් හිතනව ද ?

ලයනල් ගමගේ ඌරුමුත්ත
2023-September

තණ පඳුරු හැදෙනව ද ?
පවුරු බැමි ගල් හිසක
තුරු ලතා වැඩෙනව ද ?
කොන්ක්‍රීට් බිම් කඩක
කම්බියක හැදෙනව ද ?
ජම්බු ගෙඩියක් රසක
ඒත් දැන් හිතනව ද ?
වෙහෙස වැද තරඟයක

දිය තිබහ නිවනව ද ?
කර පොළොව උඩ වැතිර
ගත සිසිල විඳිනව ද ?
රළු සුළඟ උණුසුමක
වෙණ නලා වයනව ද ?
වේදනා පිරුණු සිත
ඒත් දැන් හිතනව ද ?
සතුට ඩැහැ ගත් රහස

මල් සුවඳ දැනෙනව ද ?
කඩදාසි මල් ගොඩක
ආදරය හැඟෙනව ද ?
ගල් හිතක පැටලුමක
කුණු ගඳට සිටිනව ද ?
නාස් පුඩු අත නොහැර
ඒත් දැන් හිතනව ද ?
විඳින දුක නිවන මග