ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පණ්ඩිත විමල් අභයසුන්දර දුටු කුමුදුගෙ කවි ඇස

පණ්ඩිත විමල් අභයසුන්දර දුටු කුමුදුගෙ කවි ඇස

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2023-September

කලාකීර්ති – ශාස්ත්‍රපති
පණ්ඩිත විමල් අභයසුන්දර දුටු
කුමුදුගෙ කවි ඇස

වැලිතොට – වැලිලබඩ පිටියට බල දුන්නූ
බෙන්තර – වලල්ලාවිට කෝරලෙ තැන්නූ
ඒ බල රැගෙන අගනුවරට පය පැන්නූ
බොදු හෙළ පුතකු ගැන මගෙ මතකය පෙන්නූ

කවියට නගන්නේ කවිකම උගත මනා
සවියට පද සිහල මැනැවින් වියත තනා
සබයට කෝල නැති එඩිතර සුරත වනා
මොනවට කියමි මම කවිකර දියත දිනා

එක දස් නමසියේ විසි එක් අවුරුද්දේ
බිනර මහේ දාහත් වැනි දිනට ඇදේ
ඉපදුණු කුමරු එදිනේ යුවළක් මැද්දේ
සුපිපී සුවද දුන්නැයි සුරතලෙන් හදේ

හෙළ බොදු පියසෙ උගෙනුමකට පෙරුම් පිරූ
තොල ලනු අකුරු මුල් වරට ම පෙළට සරූ
මුලකුරු කියවනුව වැලිතොට හිමිට ගරූ
කළ ඉල්ලුමට සිත දුන්නැයි හිමිගෙ සුරූ

අතිගරු ශිරෝමණි පණ්ඩිත නාහිමියන්
ඤාණතිලක මහ නායක ගුරු හිමියන්
කියවූහයි අකුරු මුල්පොතෙ සිත බැතියෙන්
“සුන්දර අභය විමල” ද හඬ ගෑ එ සැණින්

කාලය හඹා ගියෙ කවදත් ඇගට හොරා
තාලය දෙමාපිය ඇසුරෙන් සුමට පෙරා
මානය ඉගෙනුමට සිත-කය-මනස පුරා
තානය වතුරෙගම පාසල ගත්තෙ අරා

පස් වසරකට පසු තොල ගා මුල් අකුරූ
පස් වසරක් ගෙවා වතුරේගම සොදුරූ
අස් වී ලබනු වැඩිදුර ඉගෙනුමට හුරූ
දස්-කම වුණේ ඉගෙනුම පිරිවෙණ් වැපුරූ

අඹගහපිටිය “ශසනොද” පිරිවෙණෙහී දී
ලබමින් මූලික ව පිරිවෙණ් ඉගෙනුමෙ දී
පසු කල මාළිගාකන්දේ “විදුදයෙ” දී
උකහා ගත්තෙ “නෙක විෂයට” සමතය දී

සිංහල – පාලි -සංස්කෘත-හින්දි ද තර්ක
ඡන්දෝලංකාර – ප්‍රාකෘති – න්‍යායක
“අතිවිශිසයට” වී සමතකු නියාමක
ලෙස පෙන්වී ය යා යුතු නිවැරැදි මගක

එක-දස් නම-සියේ හතළිස් අට වසරේ
ලබමින් “තෑගි පිට තෑගි” ම සෙසු අතරේ
පෙන්වා දෙමින් ඉදිරිය “දෙ පතේ” ගස සේ
තව-තව උගත්තේ නොනැවති සිත කියු සේ

ලෝරන්ස් විදුහලත් පෙම්බ්‍රොක් අගනුවරේ
අනද විදුහලත් ඔිල්කොට් ඒ අතරේ
ඉංගිරිසිය උගෙන ගන්නට ගිය සතරේ
පාසල්වල අගය කිව යුතු ම ය මිතුරේ

ශාස්ත්‍රපති කලා පණ්ඩිත වෙසෙස කළා
සිංහල පමණි නොව ඉංගිරිසිය ම වෙළා
නොනිදන රටෙහි හිඳ තව ඒ ප්‍රගුණ කළා
ඉංගිරිසියෙන් හැම විෂය ම සමත් කළා

නැවත පැමිණ දෙස වැඩ ඇති පුතකු ලෙසින්
ලිව්වේ පත-පොත ද තව දෙස-බසට පෙමින්
එක – දස් – නම-සියේ තිස් හත වසර මුලින්
පැදි ගත “විමලසර” විය “ගුණ සමර” ලෙසින්

එ කිව් වසර සිට දෙ – දහස් – පහ මැදිවා
පැදි ගත් ගණන කෙළෙ පහළොවකට වැඩිවා
ඒ හැම පැදි ගතක් සමමානෙන් ලගුවා
ලැබ දෙස – බසට දන් දී මෙතුමන් දිනුවා

රත්නමාලි – වංශ කතාව ද එ රැසේ
දුක්මුසු – සුදු නංගි -යුග බැදි හද එ රසේ
මහවැලිය ද නව බග සද ගත් පැදි සේ
තුන් සේසත් රටා අමතක කරනු කෙසේ

මේ ගත් අතර ගී සහ නාටක ද වෙ තේ
චරිතාපදාන ද බොදු කව් සරණි ඇ තේ
සුදු වැලි තලාවේ ගුම් දෙන සෙල්ගී තේ
ලංකාධීශ රාවණ නාටක චරි – තේ

ගත් ඇත සතළියකටත් වැඩියෙන් කෙරුණූ
පැදි – ගැදි – කවි – ගීත – සංගීතය එබුණූ
ඉතිහාසය ද බොදුකම සිත – ගත බැදුණූ
නෙක ගත් කෙළේ මෙතුමන් දැයෙහි ම හැදුණූ

මේ සා දැයට දුන් අපමණ දේ පතු ර
“මළපත අකුර හා අම්මා” පැදි මතු ර
“ජනරජ සිතුමිණ” ද “දරු නැළැවිලි” යතු ර
“කවිකම් විකුම් පෑ” ගත් නොදැනෙ ද මිතු ර

මහැදුරු වුව ද කවියකු – රචකයකු ලෙසේ
ගුවන් විදුලියේ නාටක පෙළට ඇසේ
“යශෝදරා” – “ ජයසිරි මහ බෝ” විලසේ
“අම්බපාලි” – “සදකඩ පහණ” ද වෙසෙසේ

රන්පත්තිරු – නිබ්බුත පද – ධර්ම ප්‍රදීපිකා
මන්දෝදරි – සුහානි – නව දැලිහේනේ වෙලා
නිෂාදි – වීනා – එළිය පහන් – බිසව් සොයා
මිහින්තලාවේ අබිනය රූ මැදිරියෙ හොවා

ගුවන් විදුලියේ ගී නට අරුණ කෙළේ මෙසා
ගීතමීය ප්‍රනීතාංග දුන් මිහිරිය ඉතා
සකු සංහාර ද පුනරාලෝකය දන පිනා
ශිව තාණ්ඩය මතක ද ගුවනින් රස දුන් උනා

මගුල් බක්මහා – පොසොන් ද – පෞර්ණමි වෛශ්‍යාඛ
රාධා මාධව – බුද්ධ ගද්‍යයෙන් ද ගීත
ජන ලංකා – පිළිරැව් නිදහසෙ – සාධන දේශ
සන්ධ්‍යා පූජා – වීර සන්දර්ශන – බුද්ධ
වන්දනා – ගී උදාන – විමුක්තියේ ජීව
සිද්ධාර්ථ කුමරෝත්පත්තිය – සම්බුදු සිරිත

හෙළ දිව් පුවත – කැප්පෙටිපොළ තුම වීර
පාරමිතා දස – ජාතිකොත්සව සන්දර්ශනය
තරංගාවලිය – ආලෝක ධ්වනි – එළිමහන් දර්ශන
මධු මාධවී ඇතුළු මේ සියලු අංග
මොහුගෙ විකුමන් ගුවන් විදුලියෙ එවකට

විශ්ව විමුක්ති – රන් දෙවොල – මහා ගජබා
සදුන්මාලී
ආලකමන්දා -මේඝ දූතය – ගීත නාටක
සවන් මී දී
ගුවන් විදුලියෙ අනූපම සේවාව කළ
මෙතුමන් ම වැන්නී
කෙළෙස යුග පුරුෂයන් අමතක
කළ හැකි ද මට පැනය තැන්නී

සරසවි සද රැසින් කතුවරකම ද දරා
ලංකාදීපයේ අනුකතුකම ද වරා
දිනමිණ පුවත්පත් අනුකතුකමෙහි සරා
විශ්ව කෝෂයේ වැඩ කටයුතු ද අරා

රස මංජරී කවි මඩුව ද කවි කාර
පද්‍යාවලිය – යොවුන් සමාජය භාර
මේ හැම තැනෙක ප්‍රතිභාවෙන් අති සාර
පෙන්වූ ඔබට ම ය මේ කව් උප හාර

මහැදුරු – කලාකීර්තී – පණ්ඩිත යන නා ම
අභයසුන්දරත් උපතින් නොගෙනා ව
ඉගැනුම කෙළෙන් දොර – දොර හැර මනා ව
“උගත මනා ශිල්පය ම ය” නියා ම

දොළොස් වැනි දිනේ දෙදහස් අට වසරේ
පොසොන් මහේ හිරු-සදු කෙමි වැටෙනතරේ
විමල් අභයසුන්දර පඩිතුම මිතුරේ
මේ ලොව හැර ගියේ ලෝ දහමට සසරේ

සාහිත කලාවට ගතට ද බසට ලැදී
ජාතික මමත්වය වෙනුවෙන් රසට වැදී
මාහැගි මෙහෙවරක යෙදෙමින් දැයට සැදී
යා යුතු ගමන ගියෙ අනියත මගට වැදී

අප හැර ගිය ද මෙතුමන් රට – දැයට ගෙනා
“සුන්දර තවත් මිනිසෙකු” ඇත මගෙහි තනා
“හරි දේ හරියට ම කරමින්” ඔහු ද මනා
ප්‍රනීත් අභයසුන්දර දකු සිත ද පිනා

බිනර අඩක් ගෙවුණ ද පසු දෙ වැනි දිනේ

එතුමගෙ උපන් දින සැමරුම එ දින ගෙනේ

සියවස් පිරි තවත් දෙ වසක් දිනට ගැණේ

එතුමන් කළ මෙහෙය සිහිකර ගයමු ගුණේ!!!

(විමල ගුණ කව් කුමුද නිමීයේ.)