ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමනල සඳෙස 4

සමනල සඳෙස 4

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2023-September

සමනල සඳෙස 4

දතයුතු කරුණු ගොමුව – 2

උණුසුම් වූ උතුවන

51. සමනල, නුඹට මා කිව යුතු දෙයක් ඇත
සුකොමලකමට යන විට තව තැනක් වෙත
ගහ-කොළ හොඳට තිබුණත් කඳු පෙලක් මත
කළබල කරයි ඇසු පමණින් නමක් සිත

52. හද ගැහුණත් එ නම ඇසු පමණින් නුඹගේ
නද දිය යුතු නොවෙයි ඔහු අද නැහැ සිරගේ
තදකොට තබා පණ නළ සිඳුවත් මර-ගේ
මදනල හමයි සුවඳත් අරගෙන මොහුගේ

53. වග-තුග හොදට දැනගෙන කඳු වට උතුවන්
අග-මුල හොදට පහදයි එ ගමේ උගතුන්
මග-දිග හොදට රැක හිඳ කළ කෙළි මෙපුතුන්
සග-“යකු”මොහු වික්කෙ මුදලට සතුටු සිතින්

54. නමට ගිය කන්ද උතුවන සර්දියෙල්ට සබද
එමට ඇත තව ම උනුසුම කළ – කී දෑ නිබද
නිවට නොවී මිටට ගත්තෙ ඇතිවුන්ගෙන් රදළ
කමට දුන්නෙ දුක්පත් දනගේ සැපතට මුදල

55. ගසා පියපත් පියඹ-පියඹා
ඉතිරි දෑ දැක නුඹ නෙතින්
අසා දැනගෙන උගත් පිරිසෙන්
සර්දියෙල් ගැන හදවතින්
වසා ඇස පොලිසියෙ උකුසු
සුදු අදිරදුන්හට පහර දුන්
තොසා ඇතිවෙ ද රැගුම එළිවන
විට දි උතුවන ගිගුම් දුන්

56. පැණ ඇසු පමණින් ම ඔහු නම
රුදුරු මිනිසකු ලෙස ම දැනුණේ
දැන නොසිටිය ද දැක-පුරුදු නැති
වුව ද බියකරු වෙස ම මැවුණේ
තැන එ දවසෙහි කිසි කෙනෙකු
පසු බිමට වටුණ ද කළුව සැළුණේ
මැන නොගොස් පිය සිටියෙ ගෙතුළෙ ම
බයට ම ලු දැන-දැන ම මරණේ

57. ඉඳින් සමනල සබඳ නුඹෙ සිත
බිය සදන්නට නොව කියන්නේ
සොදින් දැක-හදුණා දැණුම නිසි
ලබන්නට ම ය තතු සොයන්නේ
කවුද-කොහෙදි ද කුමට ද මේ
තරම් රුදුරු ව සතුරු වැන්නේ
නම-ගම ද ඉපැදුණු දින ද මා
කියන්නම් නුඹ සිතට ගන්නේ

58. කිතුණු වසරින් එක දහස්
අටසිය පහේ තිස් හි දී බිහි වුණ
පිරුණු දෙකොපුල් ඇති බරින් වැඩි
ලොකු බිළින්දෙකු මවට පුතු වුණ
පිච්චොහාමිගෙ කුළුදුලේ
ඉපදුණු පුතා නම් සර්දියෙල් වුණ
සමර කරමින් වනන්නෙමි මම
වීර හෙළ පුතෙකුගෙ වරුණ රණ

59. මහබිරිතානියේ සුදුවුන්
සර්දියෙල් හරි හැටි නොදත්තේ
කුඩා කල සිට සර්දියෙල්
“නාහෙට අහන්නැති” වග ම ගත්තේ
තුරුණු විය වෙත පා තබන ඔහු
බිය කුමක් දැයි නැති ලු දත්තේ
නැගුණු කළබල ඉවස බැරි තැන
පිච්චොහාමිත් තැති නොගත්තේ

60. පැහැර ගිනි අවි කිසිවකුට
නොදැනෙන ලෙසින් සඟවා තබා බැද
නිතර “ආ-ගිය” තැන වෙනස්කොට
සැඟ ව ගොස් මීගමු පියසෙ හිද
පලා ගිය කදවුරෙන් යුද හුද-
-කලාවේ ඔහු සැරිසරන සද
දෛවයේ සරදමින් දෝ ඔහු
අතින් නැසුණේ මිනිස් දිවි සොද

61. තැනින්-තැන පැන හැංගි-හැංගී
මිනී මරුවකු ලෙසින් උන්නේ
වසින් විසි හත් වැනි කලෙක දී
අතැර ගම වෙනතකට පැන්නේ
අසු වුණත් ඔහු පොලිසියට කජු
කන ලෙසින් ම ය කටුව ඇන්නේ
පුදුමයකි මට නොමැති වී නම්
සුද්දගේ ලෙය වතුර වැන්නේ

62. පහත රට සිට ගමින්-ගම පැන
කඳු මුදුනට ම රිංග ගත්තේ
“උතුවනයි” නම ගම ද කන්ද ද
ගම්මු කවුරුත් සුවය ගත්තේ
තවත් සගයෙක් වී ය ඔහුගේ
ළග ම ඇසුරට හදුණ ගත්තේ
නමින් “මම්මල මරික්කාර”යි
“තකට-තක” ගිවිසුමයි ගත්තේ

63. නිවට අදිරද වාදය ද
රදළයන්ගේ අදිපනත් සුන් කර
පොහොසතුන්ගේ මුදල් පොදි ගෙන
දුගී අසරණ දිවිය පුන් කර
“සිරිමලා” නම් තවත් සගයකු
මුණ ගැසී දෙදෙන ම කළේ මුර
තව ද “යන-එන” එවුන් ගැන ඔත්-
-තුව දෙමින් සර්දියෙල්හට නර

64. කෙනෙක් අනුමත කළ ද නොකළ ද
සිංහ ලේවල බලය පෙන් වූ
හෙළ රටාවට හරඹ කරමින්
පිළිමලුන් “සා විලස” පැන් වූ
ඇති එකාගෙන් පැහැරගෙන
නැති එකට ම දී දිවිය ගැල් වූ
ඔහු ය අසරණ-සරණ විරුවන්
එදා උතුවන ගම ම දැල් වූ

65. යනෙන මංකඩ අසල සැංගී
මුළු දිවා රැය ඔත්තු බැලුවේ
තැනින්-තැන නිළ දැරුවො තබමින්
පණපිටින් අල්ලන්ට තැනුවේ
ජා තුවක්කුව – පොලිස් පතරොම
ඇඟේ මයිලෙට මාන බැලුවේ
බිය නොහදුණන ඔහු ද එය “පැටවුන්
කෙළින” ලෙසකින් ම දුටුවේ

66. එවක සිටි දිසිපති “සෝන්ඩර්ස්”
අබැට පුපුරණ මුහුණ පෙන්වා
ගමේ මිනිසුන් කිහිපදෙනෙකුට
මුදල් දී ඔහු වෙතට නම්වා
ගතු කියන්නට සර්දියෙල් ගැන
සිටින උතුවන බලය නන්වා
“ඇඹල” පිරිසක් ඉදිරිපත් වී
දෙන්න මුදලට විරුන් පාවා

67. හෙළ රුධිර වීරත්වයේ ඇති
බලය මුළු රට තුළ ම පෙන් වූ
හදවතේ එක් කොණක පැස වූ
“නිදහසේ වියරුව” ද දැන් වූ
අදිරදය සුදු ලක් බිමේ සිටිවුන්ට
පෙන්වා උන්ව සෙල් වූ
“රොබින් හුඩ්ගෙන්” පසු ව වීරත්වයේ
සිහසුන මොහුට වෙන් වූ

68. ලැබුණු රැකියාවේ “අරක්කැමි”
කදවුරෙහි යුධ ගෙයක මුල හිමි
පෙනුණු දවසින්-දවස ඉරණම
වෙනස් වන හැටි ඔහුට තැන හිමි
හදවතේ තෙරපුණු දෙයකි
පිළිතුරත් දැන සිටියේ ඔහු ය පිමි
පනින්නට පෙර සිතා බැලුවේ නම්
ඔහුගෙ නමටත් බැදෙයි පෙමි

69. පොලිස් දැල දැමුවත් සොයන්නට
සර්දියෙල් සිටිනා තැනක් නැත
කැලය මැද කවුරුත් බියෙන් තොර
නොයන්නේ ඇති මරණ බිය තැන
සර්දියෙල් එ තරම් ම බිහිසුණු
දාමරික මිනි මරණ ලෙස කැන
රට පුරා පතල ව තිබුණු බව
නොරහසකි දැන-නොදැන වතගොත

70. කෙමෙන් තද කළ බලය තැන-තැන
යොදවමින් කය බලැති මිනිසුන
සතර කොණ උතුවන ද යොදමින්
පොලිස් – හමුදා පිරිස් අවිගෙන
හීන් නූලෙන් කෙළෙන් කටයුතු
සිරිමලා ඇම ලෙසින් යොදමින
ඇට වු උගුලට සර්දියෙල් හමුදා
පොලීසියෙ අතට අසු වුණ

71. මහා යුධයක් දිනූවුන් සේ
එ දා හමුදා – පොලිස් බැලයන්
මහා මරුවෙක් සෙවූවුන් සේ
මහා සතුටක් වින්ද ලොකුවුන්
මහා කරුමක්කාරයකු ලෙස
සර්දියෙල්ටත් මෙලොව පලදුන්
මහා විරුවෙක් තමයි කවදත්
කළ නොහොද මතුවුණත් මෙලෙසින්

72. සිත දිරිය ඇති ගත සවිය පිරි
නැති එකා ගැන සිතට දුක ඇති
සත දුකට වන් එකා ගැනමයි
දිවා – රැය කල්පනා කර නිති
මත සිතට වුණි දුක්පතුන් වුව
ඇති එවුන් සේ සිටිය යුතු වෙති
විත තියා බැරි එකාට ම දුන්
මිස නිවටයකු නොව සුදට ගැති

73. උදේ හත්වැනි දිනේ මැයි එක
දහස් නමසිය හැට හතරෙ දී
එතෙක් නාමය සර්දියෙල් තැබු
රැව් දිදී ලක සතර කොණ දී
ගෙන අවුත් පෝරකය වෙතට ම
නගින ලෙස අණ කෙරුණු හඩ දී
අනේ ඒ විරු මරු වෙතට ගියෙ
ඔන්න ඔහොමයි එම දිනේ දී

74. කොතෙක් බලතල වීර ගති – ගුණ
නොවේ දිවි මග තර කරන්නේ
හුදෙක් කළ පව් – පිනට හෝ කළ
හොඳ – නොහොදම ය රැගෙන යන්නේ
අද හෙට ද නොව කවදට ද පල
දෙන දවස ගැන කවුරු දන්නේ
දිටිදමේ වේදනියෙ කම්මෙ ද
සර්දියෙල්ටත් විපත් දුන්නේ

75. ඉදින් සමනල හිතවතාණෙනි
උතුවනේ සර්දියෙල් වාගෙ ම
සිතින් එඩි පා ගතට බල ගෙන
සිතු ලෙසේ එහි මිහිර විද හැම
පෙමින් හැඩ වී ළයට සී දෙන
මිහිගෙලෙහි වට බැන්ද මුතුදම
නෙතින් බල නුඹෙ හදවතට එන
කවි රටා සුළගෙහි ලියා අම

සමනලයා දුටු උතුවන

76. ගත සිත නෙත මන ද ඇති කෙනෙකුට ම සැම
පෙත කඳු නුවර යන සිට අගනුවර ඉම
කවියනි – කිවිදියනි රස මකරන්ද කිම
මන ආනන්දනීයයි විරු පුවතෙ පෙම

77. සිත කවිකාර ගෙන එන පද මන නන් ද
සත තතු දකින කාගෙත් නෙත් නැති අන් ද
ගත සී කරන මිහිගෙල වට මුතු බැන් ද
නෙත ආකර්ෂණීයයි උතුවන් කන් ද

78. කලතන සිසිල මැද ළමැදෙහි දෙන සුසිර
සවනත වැටෙයි මග යන – එන වෙණ මිහිර
ගොලුවත රකිනු බොරුවකි ඇති නම් නහර
පිනවයි ගලා දෙ පසින් නිල් දිය දහර

79. මහරජ මැති – ඇමතිවරුනගෙ රජ දහනයි
උඩරට රදළවරුනගෙ සැප තෝතැන්නයි
මහඔය ගලයි නුබ සුදු සේලය ගානයි
උතුවන් කන්ද සිරිලකට ම අභිමානයි

80. බොහො සත් ගුණෙන් සිත වැඩි දුක් බරට ගියේ
පොහො සත් දනන්ගේ වස්තුව පැහැර ගියේ
නොප – නත් – කමින් ඇති -නැති පරතරය ගියේ
එන – මුත් එයින් දුගු මන සිරි මතට ගියේ

81. මතකය රදවන්න උතුවන් කන්ද ඉතා
රසකර පුවත ගැන විරු සර්දියෙල් පුතා
“මග රැක පහර දී වස්තුව ගනී ඔතා”
යනුවෙන් බැද තිබුණි එ දවසෙ බොහෝ කතා

82. සොයමින් ලැබුණු මොහොතකදි ම දෙන ඔත්තූ
කරමින් පරාජය සිටුවරු – ධන – වත්තූ
හැගුමින් “ නැතිවුනට – ඇතිවුනගෙන්” ගත්තූ
දන් දුන් විරුයි “උතුවන් කන්දේ පුත්තූ”

(මතු සම්බන්ධයි.)