ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමරමි තාත්තේ ගුණ කවිමලින් පුදා!

සමරමි තාත්තේ ගුණ කවිමලින් පුදා!

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2023-September

මේ මස දෙවැනි දිනට සියවන වස සපිරෙන ජන්ම දිනය වෙනුවෙන්…
සමරමි තාත්තේ ගුණ කවිමලින් පුදා!
සුරුගුරු හේම අමරසිංහ ශූරීන්

සපරගමුවෙ රන් බිම මිණි පුරය මැදින්
තුන්හදහේන හොලීපිටිය මිල්ලකඩින්
වටකර තිබෙන කිරිඇල්ලෙන් කහංගමින්
ගම වෙයි “දොඩම්පේ” සුරුගුරු උපන් බිමෙන්

දරුවන් සත් දෙනෙකි මොහු වැඩිමල් දරුවා
දැනුමට – කතාවට මුල සිට මුව පිරුවා
පියතුම විදුහලක උප ගුරුකම දැරුවා
දරුවගෙ හැකියාව තව – තව ඔප කෙරුවා

සුපතල දන අතරෙ “සිල්වා” වෙද මහතා
මර්තේලිස් නමට දුන් “නම්බුවට” යුතා
උපගුරු වුව ද වෙදකම – ගොවිතැනට හිතා
තිබු පියකුගේ නම ගෙන ගිය ලොකු ම පුතා

පර අංගී දවස සිට දුන් “සිල්ව” දමින්
නත්තා-පනත්තා කාලෙත් පැවති හෙයින්
වාසගමට එක් වී දිගු නමට මැදින්
“සිල්වා වෙද මයා” විය පරසිද්ධ ගමින්

මව් විය බේබිනෝනා කුරුප්පු අච්චිගේ
දරුවන් සත් දෙනෙකු වැදුවයි තිඹිරිගේ
රට දැයට ම හැදූ දරු කැළ හරි ම අගේ
නිල-තල-බලය ගති නම රදවමින් ඇගේ

ගොවි පවුලක ඉපිද පිය ගුරුකම ද සොදින්
වෙදකම කෙළේ මුදලට නොව සතට පෙමින්
උපයා ගත් දෙය ද දන් දී සතුටු සිතින්
පැතුවේ උප-නුපන් ජාතිත් නිවන බැතින්

ගුරු වුර්තිය ද වෙදකම හා ගොවිතැන ද
එවකට පැවති බල රැකියා මට්ටම ද
ඉහළින් තිබු නිසා සරිලන ලෙස නම ද
“නම්බුනාමෙ” තව ගියෙ පරසිදු ලෙස ද

දරුවගෙ දක්ෂතා දුටු එක් මහත්මයෙක්
ලිපියක් දී “පියත් සමගින් එක් දවසක්
එන්නැයි කියා කිව්” අරගෙන පණිවුඩයත්
පුත දුන්නේ ලු ගෙනගොස් විගසින් ලිපියත්

පාසල් පරීක්ෂක ධරයකු වෙත කැදවා
දරුවගෙ දක්ෂතා තතු ඔහු ළග රදවා
ගමේ පාසලෙ ම තැබුවොත් සිත් බඳවා
ඉහළට ඉගෙන ගනු නැත දියුණට සොදවා

දරුවකුගේ දියුණුවට ම පියකු විසින්
තවත් පියකුගෙන් ඉල්ලන උදව් ලෙසින්
ඉටුකර දෙන්න දරු කැක්කුම සිතට රිසින්
ගත්තේ බර දෙමින් ඉඩ නැවතුමට හිසින්

නැණවත් මෙ දරු උගතුන් ඇසුරට වැටුණා
පත-පොත දැනුම බස් වහර ද තොල වැටුණා
කජු කන විලස “ඉංගිරිසිය” රස වැටුණා
හෙළ බස තරමට ම පර බස මුව වැටුණා

වැඩි කල් නොගොස් කෙළ පැමිණියෙ බසක රසේ
“දැළිපිහියක” ලෙසින් පැති දෙක කැපෙන ලෙසේ
“උගත්කමින්” නිසි පල දෙනු දැයට රැසේ
දුන්නේ හෙළ බිමෙහි දෑ දරුවන්ට තොසේ

මිණිපුර ඉපිද මිණිපුර සීවලි පිය සේ
මුලකුරු කියවමින් කළ කෙළිකම් එක සේ
පතිවරයකු විලස එම විදුහල් සිර සේ
නැණ – ගුණ කියා දුන්නේ පියකු ම විලසේ

දෙස පාලනෙට නතු කර ගත් ගුරු සේවේ
ඊළග මාරුවත් ලැබ රජ රට දීවේ
දරුවන් වෙනුවෙන් ම හිත තිබුණෙන් කීවේ
“මං කොහෙ ගියත් මගෙ කාරිය” ගුරු සේවේ

කහටගස්දිගිලි විදුහල් මාතාව
විදුහල්පති ලෙසින් නංවා සිසු රාව
පියකුගෙ සෙනෙහෙ රදවා සිත තුළ පෑව
කරුණා ගුණය අදටත් දරු කැළ ගාව

මැතිදුන් හේම සිහ නොමැකෙන නම අමර
ගැතියෙන් කිසිදු අවැඩක් නොකෙළේ කවර
බැතියෙන් උගන්වා සිසු කැළ සේ බඹර
තරුමෙන් දිදුල කෙරුවේ වියතුන් අඹර

මිණිපුර – කහටගස්දිගිලිය හැරුණු ඉම
කිරිවත්තුඩුව ඔහු සිත් බැදි තුරුණු පෙම
සැප-දුක දෙක ම එක සේ විඳ ගනු ව සම
සහකාරිය ද ලැබුණයි ලෙස අසම සම

දැන-දැක-බලා නොවෙමින් තම සිතට මුලා
“ඉංගිරිසියෙන්” බස හසුරන හඩට කලා
සිසු දරු – දැරියනගෙ පෙම බැඳි ඇය මාලා
අත ගති පළදවා රන් මුදු මල් මාලා

කාලය හඹා -හඹා ගියෙ දෙහදට ම හොරා
යළි මිණිපුරට යන්නට විය වෙහෙස දරා
තිබුණ ද සිතක් “ගුරුකමට ම” දිවිය පුරා
“දෙසපාලනය” දුනි නීරස හොදට පෙරා

සිත එක ලෙසක නොතබා නව මගක් බලා
පත – පොත එළිය කරනුව සිත ගගක් කළා
වත – ගොත ලියා ඉල්ලුම් පත සකස් කළා
ගත – සිත නෙත ඇදී ගිය මග වෙනස් කළා

මේ වන විට හිටියෙ තිරිවානා කැටියේ
බිරිද දරු ති දෙන සමගින් එක කුටියේ
දිවි මග හිරු දකින රිසියෙන් හිටි හැටියේ
මුදු සිත තද කෙරුණි බිරිදගෙ කිටි-කිටියේ

රජයේ රැකියාව “විදුහල්පතිකම” ය
අවසන ලැබෙයි විශ්‍රාමික “බරපැණ” ය
එතැනින් පැන්න විට පුද්ගලික ය ධනය
ඒකයි සිත ගැහුණෙ බිරිදගෙ පැහැදිලි ය

සිතුවොත් සිතු දෙය ම කෙරුමට චිත්ත ඇතී
ඇසුවොත් යම් දෙයක් පිළිතුර තිත්ත නැතී
සිතුණොත් පහර දෙන්නට පද කිත්ත දැතී
“කිව්වොත්- කිව්ව ම ය” නොම වෙයි සිත්ත ගැතී

අගනුවරට ඇවිත් සුවිසල් මැදුරු තුළ
කළඹන්නට වුණා පත්තර සයුරු රළ
පලගන්නට තවත් සුරතල් සොදුරු මොළ
කැදවන්නට වුණා නව මල් ඉසුරු කැළ

පත්තර කලාවට බැඳි සිත අගනුවරේ
විස්තර කරන්නට මගෙ සිත කරන පොරේ
චිත්තර සමග “සුබසෙත” පත ජන අතරේ
සත්සර හඩ සමග වකු දෙසවනට හුරේ

“විද්‍යාදීප” නිති දරු – දැරියන් අතරේ
වෙසෙසින් පතල විය “මට හුරු නම” මිතුරේ
අද ඒ පුවත් – පත් “නොම දැකුමයි” මැතිරේ
මේ වැනි සුරුන් “නැතිකම” වෙ ද අප අතරේ

පසු කලෙක දී පත – පොත වැඩි කරන්නට
සිත පැහැදී කෙළේ බස් ළග සිටියෙකුට
පත්තර කලාවේ නම ගිය මැදුරකට
ගියෙ “කළමනාකරණය” කෙරුමට හොදට

සත සිත ඇදෙන පත-පොත පෙරමුණට තියා
“විත රත නොදෙන බස රස” සිසු රැසට කියා
ගත යුත රට දැයට අවැසි ව රසට උයා
“පත-පොත වණ තබන සුරුගුරුකමට” ගියා

කොළඹ දෙකෙහි හුණුපිටියේ මගට වැටී
යන විට තිබුණු පොත් කන්තෝරුවෙහි තුටී
“කළමනාකරණයට” මූලික තැනෙහි සිටී
මෙ පුතුගෙ ගුණ කීම නිරතුරු මටත් වටී

මේ මහ මැදුරෙ පළ වූ නෙක පොත් අතරේ
මහැදුරුවරු අතින් නිම අපමණ සතරේ
උගැනුම ලබන දරු – දැරියන් වෙත මිතුරේ
පළකර නොමැති ගත් සෙවුමට සිත නොහැරේ

නම් වශයෙන් කියනු බැහැ නාමාවලිය
කම් කළ නොහැකි තරමට පොත-පත වැඩි ය
වම් අත නොදැන දකුණත දීමෙන් දිරිය
තම් දෙන තදෙන ඇති කළෙ විශ්මිත පිරිය

කතා – නවකතා – කෙටි නවකතා ව
අනුවර්තන – පරිවර්තන රටා ව
කලා සෞන්දර්යය විද්‍යා ව
මෙවන් සකල විෂයන් දත් මනා ව

ආරාධනා කළෙ උගතුන්ටයි “ලියනූ”
පාසල් විෂය ධාරා පිළිබද “සොයනූ”
සා.පෙළ – උසස් පෙළ දක්වා ගත් “වණමූ”
දරුවන් දැයේ නැණවත් උගතුන් “කරමූ”

ගණිතය අංක – සංඛ්‍යානය නව විෂය
රසායනය නව – උද්භිත – භෞතික ය
ජීව විද්‍යා – නීතිය – පරිසර ය
විවිධත්වයෙන් ලියැවුණු පත-පොත සොදය

දෙ විසි වසක් තුළ කළ පොත් කලඑළි ය
පි විසි වගක් ගෙන ඉහළ ම තල පිටි ය
හෙ විසි හඩක් මැද කළ වණ පොත් කැටි ය
දෙ නිසි රසක් කැටි කර දැය කිරිපැටි ය

හේම අමරසිහ වියතාණන් යටතේ
පොත-පත වැඩ කරන්නට බැදුණැයි නියතේ
ඒ අතරේ මම ද සිටියෙමි පොත් මත්තේ
නැවතුම ගැන කියමි එකඟ ව හරි සත්තේ

කොතැනෙත් ඇසිය හැක හැම තැනෙක ම මේවා
“ගිනි ගෙන යන යටින් දිය පන්දම්” කීවා
පුටුවට සිතී තන්හා කළ කී ඒවා
කැරකී තමාටත් එයි නොසිත ව දාවා

එක ගෙයි කෑම හුරු – පුරුදු ව සිටි පැත්තේ
ආ-ගිය කෙනෙකි තැන දෙවැනිය වී ගත්තේ
ලේකම්වරයකුට කේලම් ගිය මත්තේ
දුර දිග නොබැලු විලසකි සෙසුවන් දත්තේ

කොතැනත් නහින ලැබ ගන්නට උස් තැන්න
දේසපාලුවන් විලසට බල මැන්න
ඔිප – දූප එහෙටත් – මෙහෙටත් පැන්න
දියුණට යන රටක තෝතැන්නක් වැන්න

ඉඩ දී “ කර ගනුව” ඔිනෑ විදියකට
ගත්තේ පෑන ලියනට අස් වන බවට
දී එය ලොකු ම මහතැනගේ දකුණතට
පැමිණියෙ සිතට එකග ව එඩි ගෙන සිතට

ලැබ ඒ පුවත බොහො දෙන ඔහු හමු වූයේ
“නැවතත් ගන්න තැන” ලොකු තැනකින් කීයේ
ගත් දැඩි තීරණය නැහැ කවදත් ආයේ
ආපසු ගත්තෙ එඩිකම දිවියෙ ම පෑයේ

කාලය ගෙවී ගියෙ දිනකින් – දිනට සරා
තාලය වෙනස් වී දිවිය ම සිතට අරා
ආලය පත – පොතට තිබු සුරු අතට දරා
නාලය රුහිර කෙරුවැයි තව සුමට වරා

ඉඩ දී බලා සිටියේ දවසින් – දවස
නිවමින් කෙනෙකුගේ බලයට ඇති පවස
සවනට වැටුනෙ මගෙ ඔහු හැර ගිය රහස
පියතුම හිටියෙ නැහැ විදිනට ඒ පහස

හෙළ සුරුගුරුන් දෙස – බස රැක තුළ ම දැයේ
නළ ගැහෙමින් කලක රැදි තැන් එමට තියේ
වළ දා මෙගුරු නාමෙ ද නෙතු වැසුණු රැයේ
කල තවමත් දුවයි නොනැවති පැයෙන් – පැයේ

හෙළ – මිණි වණන්නට අපමණ දුන් සුවද
ගැළ – පුම කවි බසින් කීවත් ළද – බොළද
පෙළ – පිල නොගැසුණත් සුරුගුරු පා නැමද
දළ – කිදු පහන් දල්වමි එ නමින් නිබද!

(හේම අමරසිංහ සුරුගුරු වැණුම සමාප්තයි.)
******