Category: සඳැස් කවි
සොයමි සතුට
පියඹා ගියා මනසින් අද නොයෙක තැන
සොයමි කිමඳ යයි පැහැදිලි නෑ තවම
ගසක රිකිලි මැද තුරුලිය රැඳන තැන
සුවඳ පියුම ලඟ, බමරුන් සොයන රොන.
එතැනින් පියඹ යමි නිල්වන් සයුර ඉම
විඳිමින් හමන සිසිලස රැලි සමඟ එන
නෙත ගත සුවය ලද කිමදැයි සොයනු මම
තවමත් නොපැහැදිලි යමි, එතනින් නික්ම
දසමස කුස රැඳු සුරතල් දියනි පෙම
නැතිනම් සුරුබුහුටි මුණුබුර දුටුව සම
අඩ ශතකයක් ගෙවු සැමි ලඟ සොයමි මම
නැත, යලි පියබ යමි සොයමින් යෙහෙලි සැම.
මතකයි සිනහබර සමයක් ගෙවූ සඳ
ලැබුනා සැම විටම සුවයක් ගයන සඳ
ආදර හැඟුම් පුදනා සිසුවන් සමඟ
සතුටක් ඇතත්, නැහැ සොයනා දෑ නිබඳ.
හැරුනා යන්ට ඈතට කෙලි සම වෙතට
මව් පිය සොදුරු බස ආච්චිගෙ තුරුලෙ සිට
සෙව්වා සෑම තැන, දැනුනා යම් සතුට
ලැබුන සැනින් සුනුවිය, අනෙ
රිදුනි මට.
සොයනා යමක් ඇත්තේ කුණ කය තුලද?
නැතිනම් ගෙවී යන කාලයෙ සැඟවිලද?
මොහොතින් නගින බසිනා සිතිවිලි ලඟද?
නැත, එය ඇත්තෙ නොපෙනෙන සිත තුල නොවෙද?
පුරුෂ වෘත
තබා හිස උර මත
නිදන විට නුඹ
නොදකිමි සිහින මම
නොනිදමි මම
දිවි ගෙවමි
සැබෑ මොහොතක
තබා හිස උර මත
නිදන විට නුඹ
ගනිමි නුඹ හිස බර මතු නොව
නුඹ හදෙහි හැම බර
සෙනෙහසින්
එහෙත් නුඹ
අවදිව යළි
බලා ඔය දෙනෙතින්
සෙනෙහසින්
මදකට මා ළඟ රැකවරණයට තැබූ
රැගෙන යයි ඒ බර යළිත්
නොවිමසා කිසිවක්
නිහඬවම සිටිමි මම
නොකියාම මා සිත
උකටලීවම
නොඉල්ලා ඒ බර බෙදා ගන්නට
යන තුරුම නොපෙනී නුඹ
යළිත් හෙට එන තුරු
හිස හොවා නිදන්නට මා උර මත
එතෙක්
සිහින දකිමි මම
බෙදාගන්නට
නුඹට වැඩි බර …..
(මාර්තු 8 කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු 9 සිහිනයෙන් අවදිව ලියමි)
තුරු හිසින නික්මී කාව්‍ය සංග්‍රහයෙන් – 2023
ඇරයුම ලදින්…….
ඇරයුම ලදින් සිත ඉපිලුනි සතුටු සයුරු තෙරේයා
විසල් මහා රුක් පියසක සිහිල දැනුනි හදේයා
හවස 3 ට මං ආවත් යන්නේ කෝම තැවේයා
දෙවියනි මටත් වරයක් දෙනු පුදට බාර කැපේයා
කිරිදිවැල ට ගවු සියයක දුර දැනෙනෙ
තනි මඟ තනිව රෑ පානට බිය ගෙනෙන
හදවත එවා මගේ සුසුමක් දවටා බරට
තුති මල් පුද කරමි මට ඇරයුම දුන්නාට
සුනිල් මැතිද හා නන්දා මැතිනි සඳ
යුගයක ඉසි වරුන් විය හද බැති පෙමින
ඔබ නුග රුකකි දස අත සිසිලස සදන
හද පුදසුනේ හිදුවා මේ හැම මල් පුදමි මම!!!
තුටු සිනා රැඳී ඇත දරුවන්ගෙ මුහුණුවල
ජනී ජනයා පිරුණු සල් පිල් ය දස අතම
කෑම බඩු රෙදි පිළිද නොමිලයේ ලබාදෙන
තුටු සිනා රැඳී ඇත දරුවන්ගෙ මුහුණුවල
අලුත් පොත් නිල ඇඳුම් නොමිලේම ලැබුණු සඳ
නොමිලයේ දෙන බෙහෙත් ගන්ට ආ ලෙඩ දනන්
රෝහලින් පිටව යන සැටි පෙනේ සොම්නසින්
මල් හලද වැසී ඇත රෝහලේ ඉදිරිපිට
මියෙන දන හිඟ නිසා පාඩු විඳිනට බැරුව
ගාස්තුවකින් තොරය මගී රථ සේවාව
සුහද පිලිසඳරක ය දනෝ රියදුරු සමග
ඉන්ධනද නොමිලයේ ලබාදී ඇත රජය
නලා හඬ නැති රියෙන් මාවතම පිරි ඇත
සොම්නස් ය දනන් සිත, නිවහනක් ලැබී ඇත
ණය බරක් නොමැතිවම නොමිලයේ රජයෙන්ම
පාසලේ සරසවියෙ සිප් සතර නිමා කළ
දරු දැරියො සියල්ලට රැකියාව ලැබී ඇත
ඇමතිවරු පාර තොට හුදී ජනයා සමග
සතුටු සාමීචියේ යෙදී ඇත නිබඳවම
අවදිවී එක්වරම දෑස පිසදා බලමි
රම්‍ය වූ සිහිනයෙන් සැබෑ ලොව වෙත පිවිස
අවසන් දිනේ නවම් මාසෙ……
රන්වන් අහස බබලවමින් දිනෙන් දින
අවසන් දිනේ නවම් මාසෙ හැඩ් වෙමින
නිරතුරු ඔබේ හිරු රැස් ලොව පතුරමින
හෙටවත් නඟිනු මැන සිරි ගිර පෙන්වමින!
තවත් අම්මාවරුන්ගේ දිනයක්
මල් පොකුරු
ලොරි පිටින් ඇවිල්ලා
කඩ පිලේ
ලස්සනම මල සොයයි
ගෙනියන්න පුරුද්දට
වසරකට එක් වරක්
පමණක් ම බැහැ දකින ගමනකට ,
නෙත් කෙවනි
රිදෙන තුරු
ගණන් කර දින ගනන්
බලා ඇත
ජනේලෙන්
වීදුරුව දෙබෑ කර
මල් පොකුර
ලැබෙන තුරු
නොවේ ,
දැක ගන්න
මුව බිදක්
බොද වෙච්චි නෙත් දෙකින්
නොඇසෙනා කන් දෙකින්
දිනුමේදි ලෙංගතුම ….හිත්
ලඟ ඉන්න සහ උන්නු අයවලුන් ප්‍රෙජුඩිස් ලු
කරන වැඩ ඇතැමුන්ට කටු අනින විලසින් ලු
කාලයේ මානයේන් කරන දේ වෙනස්ම ලු
වයසේ මානයෙන් ඒකාලෙ එහෙමම නෑලු
හැමදාම එක වාගෙ ඒ ලෙසම ඉන්නැතිලු
එකට බැඳි කරදර ඒකාලෙ හරහට ලු
ඇතුලෙ ඇති හැකියාව පනින්නට ඉඩ නැති ලු
දැන් තමයි කාලය, සහජයට වැට නැතිලු
ප්‍රෙජුඩිස්ව ඉන්න කල් අනිකාව රුචි නැතිලු
කියන හා කරන දේ එකිනෙකට නොදෙවෙනිලු
ඒනිසා ලඟ ඉන්න සමහරෙක් හරි ජේ ලු
දිනුමේදි ලෙංගතුම එපිටින්ම ඇති හිත්ලු
ශානි ඇන්තනි – 30/03/22
(එක්සත් රාජධානිය )
තුන්වන ණය වාරිකය
අල්ලට සිඟා කන්නට හිස නමනු බැරි
කුල්ලට පෙනේරෙට සැලෙනා ලැමකි පිරී
මල්ලට දමයි රබ්බඩ, තද කරන් නෙරී
මුල්ලට වෙන්න කඩ පිල උඩ කතක් සිරී
වෙස්සන්තර කඩේ බඩ තඩි මුදලාලි
පස් පංගුවත් කිරුවේ වහගෙන ලෑලි
කෙස් සුදු, හාමිනේ උන්දැගෙ සුදුමෑලි
ඇස් වහගෙනයි මුදලාලිගෙ යම පාලී
මිලක් කියනු බෑ රබ්බඩ දෙක තුනට
දොලක් පහල විය බනිසක්, දැක කටට
ඇසක් ගසා, වෙස්සන්තර කී ලෙසට
දෙකක් බනිස් බෑ, පලුවක් හෙට ණයට
අල්ලපු වැටේ රබ්බඩ ගහ පල දරපු
හොල්ලපු අතක් නෑ, වවුලෝම බිම හලපු
ඉන් පහු කිසිම පුවකක් නෑ ඈ දැකපු
කල් පහු විනිද බනිසය සිහිනෙන් විකපු
බනිසේ සීනි නාවර, තුන් යම සිහිවේ
පවසේ තරම වෙස්සන්තර නෑ දුටුවේ
අහසේ තාරකා වහලේ හිල් වැසුවේ
දවසේ බනිස, ඉන්පසු අගුවෙයි දුටුවේ
වවුල් මිතුරනේ මායිම් නොම තකන
අවුල් නෑ, පුවක් ගෙන එව් දුරු රටින
ලිහිල් කර නෙරිය නොම රිදෙනා ලෙසට
දවල් රෑ පුවක් හල මැන ඇද ලගට
සොබා දහම
නිසි තැන නිසිකල කැමරා ඇසක ට
හසු කර ගන්නට පින තිබුනට ම ට
අනිසි තැනක සිට ගොදුරක් වන්න ට
සිදුවිය අසරණ සුදු පරෙවියෙකු ට
සොබදම් නීතිය පොදුවෙයි සැමහ ට
නවන්න බැහැ අප නිති ගරු නොකළ ට
ගොදුරේ අයිතිය ඇත්තෙ උකුස්ස ට
උත්සහ නොකෙළෙමි පරෙවිය රැකුම ට
සැරිසර, ♥️
වසන්තයක් ඇවිත් හෙමින්
විලක නෙළුම් පිපී සිතක
සුපෙම් හැඟුම් පවනෙ එතී
දුරක ඇදෙනවා,
සරත් සමේ සිනා කැළුම්
ගිම්හානේ කඳුළු සුසුම්
සඳ වතුරෙන් තෙමා තෙමා
ගලා හැලෙනවා,
පිපෙන පිපෙන මල් අතරේ
කැකුළු නගන අතු පතරේ
විරාමයක සහන සොයන
සිතුම් පුරනවා,
ගිලන් වු රෝහල තුළ නැගෙන සිතුවිලි
සම කල නොහැකි මුත්
ගසක අතු ඉති නටු
අනුපාතයක් ලෙසින්
හිරු එළිය දිය යුතු
මුදුන් මුල ගහේ බර
දැරුවත් ලෙස විරූ
නටුවටත් තැනක් ඇත
ගහේ මල් පල දැරු
වෙන් කලොත් එකිනෙකින්
ගසෙන් මුල් ඉති අතු
පලන්නට දර ලෙසින්
සිදුවේවි මින් මතු
ලබන්නට සෙවන හා
මල් පල ද නිසි තතු
මුළු ගසම රැකීමට
සැම සිතට ගත යුතු…
Photo; Jeremy Bishop
සීතල දුරුත්ත
සීතල දුරුතු මහේ
පිණි විසිරෙන හිමිදිරියේ
ලා හිරුරැස්
මල් පෙති අග පිණි
මිණි මුතුසේ දිලිසේ
ඇවිදයමුද අපි වැව් ඉවුරේ
පිණි පොද පෑගී
තොල් පෙති වියලී
හිරිගඩු පිපිලා
උනුසුම දෙන්නම්
ලංවීලා
කෙස් රොද විසිරී
නෙත් අග ඇලලී
ඔසරිය ඉනවට පැටලීලා
මුරංඩු සුලගක් ගත වෙලිලා
අපේ නිහඬ ගී
ඇහිලා වාගෙයි
තාල රටාවට පෙරලි කරනවා
දංඩි පැටව් දිය බොරකරලා
වැව් ඉවුරට ගොඩවෙන්ට වගේ
මවු බස් දින තෙත් වෙන දෑ මවු නෙත් ….
ඉගැනුම සුදු බසින්
ඉහළැයි සිතා අගයෙන්
මවු බස සිප් හලෙන්
ඉවත ලන්නේ කවුරුන් ?
දැනුම සහ සිතනුම
වැඩෙයි මවු බස යෙදුණම
පර බසින් ඉගෙනුම
නො දෙයි එම මුවහත්කම
පර බසෙහි වැහැරුම
පිණිස සිසු හට සුරුකම
දෙනුව එ බසින් උගැනුම
ඇවැසි යැයි කිම සිතනුම ?
ලොවැ දියුණු රටවල
සිය බසින් ඉගැනුම කළ
නමුදු බිහි වන සිසු කැල
වහරති විදෙස් බස් පෙළ
එම හුරුව අප සිසුට
දෙනුමට සිතනු වෙනුවට
පර බසින් ඉගැනුමට
යෙදෙත දැයෙ පණ වෙයි මොට
මවු බසින් ඉගැනුම
එ කල තිබුණෙන් විදු බිම
ලැබු අය නැණ – දැනුම
සිඳිති මවු බස එයයි සරදම !
තමන් නැඟි හිණිමඟ
සිඳිත සිප්හලෙ පා රඟ
මවු බස් දිනෙහි ළඟ
දැයෙ මවගෙ නෙත එයි කඳුළු නැඟ …!
2024/02/21
නැවතිලා ඉමුද එක මොහොතක්….
මල් පිපෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිරියක්
හිම වැටෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිසිලක්
ඇහැ කොනින් බලනට බැරිනම්
කිම දකින්නේ හැඩයක්
හැඩය අරුමැසි වෙනසක්
සරු පසක් හිමි නැතිනම් , කිම හැදෙන්නේ පල වැල්
හිරු එළිය දැක නැතිනම්, කිම දිලෙන්නේ දල්ලක්
රැය විදින්නට බැරිනම්
කිම දකින්නේ තරුමල්
රටාවකි ඒ වියමන්
හැඩ මවන්නට බැරිනම් , හැඩවේද හඳ මෙතරම්
තනි රකින්නට බැරිනම් , හිත බැදේවිද මෙතරම්
එසිත රඳනට බැරිනම් ,
සතුට දෙනවද පහසක්
ලබැදි සුවයක හැඩයක්
ඉවසලා ඉන්නට බැරිනම් , විසිරේද හැගුමන් මෙතරම්
කලබලය අඩු නැත්නම් , පෙනේවිද සිරි මෙතරම්
හති හලා දුවන මේ ලෝකෙන්
නැවතෙමුද අනේ අපි පොඩ්ඩක්
නැවතිලා ඉමුද එක මොහොතක්
අමු කවිය
අමුම අමු කවියක
රසය නීරස වෙන්නට
නොගැලපුවෙමි පදපෙලක්
කපා කොටකර මකමකා
ඒත්මදි රැඩිකල් මදි
නැවත ලියුවෙමි නුහුරු වමතින්
නොතේරෙන තරමටම
අමුගතිය වැඩිවේ
රස මෙලඩියක් තමයි මදි
කවිසිංදු කරනා
තිපල් කසායක් කියා දැනදැන
දාමු අපි එක සීනි හැන්දක්
රස වෙනස්වෙයි නේද එතකොට ?
Photo; Kelly Sikkema
තාත්තා තනිවේද
ගියා අනෙ අපි දෙන්න මෙතනින් දහස් සැරයක් මේ වගේ
ඔයා අද නැහැ වෙනදා වාගේ තදින් අල්ලන් අත මගේ
නොයා කොහොමද මේක අවසන් වරයි අපි යන එක මගේ
කියා ගන්නට බැරි දුකක් සීතලට එනවා නෙතු අගේ
තාත්තේ මම ආවා දුවගෙන ඇස් වහන් හිටියා ඔයා
හාදුවක් දී වෙනදා ඇහුවා මගෙ පුතේ කොහොමද කියා
තාම නම් නැහැ කරට දනුනේ හැබැයි හදවත බර නියා
ඒත් අද ඔබ මගේ කරපිට වෙනදා නම් මා ගෙන ගියා
ඉහළ ඔසවා තැබුවෙ වෙහෙසී මාව බරයැයි නොම කියා
ගැලුව දහදිය මල් වෙලා දෙයි සුවඳය ඔබ දෙපසින් තියා
තනිව තියලා කොහොම එන්නද ඒත් කොහොමද මා නොයා
අම්මා අපි රැක බලාගන්නම් සාමෙ සැතපෙන්නකො ඔයා
ලියනු මැනවි පිළිතුර සිතෙන
ඔබට බැඳුන සිත ඔබෙන් මිදී
සමු ගෙන යනු බැරි දුකෙන් හිදී
සුවඳ මලක තතු විමන් වැදී
සිත ඇතුලෙ නිදයි යස රුවින් රැඳී
පිපි රොබරෝසිය මල් වියපත් ව
ඇගෙ දෙපා සිඹිනු දැක මන ලොල් ව
සිත වෙහෙස කරයි දුක රසයක් ව
අද නව රස ගී මුමුණයි එක් ව
ඔබ කවුරු කියූවත් මුසපත් ව
පෙම ගැනම ලියූ කවි හිතවත් ව
ඇය තවම නොඇසු රස රහසක් ව
මම කොහොම ලියමි එය වියපත් ව
පොත සිතටම බැඳගත් යුගයක ය
අත එකට බැඳී සිටි පහසක ය
ගත ලඟම රැඳී පිදු උණුසුම ය
කිම තවම මගේ සඳ තනිකඩ ය
පඩි පෙළ ම සිඹින පා යුග එක් ව
පසු දිනෙක ඇවිද ගිය මග වෙන් ව
ඇය ගිලිහි ගිය දිනේ හර සුන් ව
මම ලියූ කවිය ඇත සිත බුන් ව
එක දිගට ලියපු අකුරෙහි රැඳුන
සුව සැදුන රසය මිහිරකි මිදුන
නුඹ කිවිඳියෙක් වුනත් රස බෙදන
දැන් ලියනු මැනවි පිළිතුර සිතෙන
Photo: Kristina Litvjak
නොබැඳි යදම.
මලක් පිපුනත් අතිර
සසරට…
සිතක් කොතරම් බරද
මලකට…?
විසක් ලඟ රැඳි දෙබර
කුලයට..
විතක් අහිමිව ගියා
අකලට….!
විලක් සසලව බඹර
තුඩඟ’ට….
බිඳක් රොන්සුනු නොලද
වරදට… !
මඳක් ඉවසුම් නැති
මුසාවක…
හිතක් සිර කල හැටි
අතීතෙක…!
යමක් අතහැර ගියත්
සිරකොට…
පලක් වෙද නොබැඳුනොත්
යදමට..!
වියන් බැඳ පේ උනත්
කුමකට…
දෙව් රුවක් නැති පාළු
දෙවොලට….?
2024.02.24
ඉදිරියටම යමවු……….
අත්තාපල් මුත්තාපල්
මෝල්ගහේ දළුලන තුරු
අපේ උන්ගෙ මොළ ගෙඩි ටික
හැදෙන්නෙ නැතුවා……
මිනී කාක්කොත් එක්කල
මහළු මඩමෙ මහල්ලො ටික
දියවන්නාවෙන් මෙගොඩට
ඔන්න ඇවිල්ලා…….
ඕං රීං කට්ටු කට්ටු
බයිස්කෝප් පෙන්න පෙන්න
ටීටර් නැට්ටුවො රොත්තම
සබේට එන්නා……
ඩෝං ඩෝං මගෙ අම්මෝ
පුච්චන මේ ධනස්කන්දෙ
දැක්කොත් අපෙ මුතුන්මිත්තො
නැගිටල එන්නා……
පපුව දීපු උන් වගේද
යටින් ගේම් ගහන එවුන්
බයියො ටිකක් ලං කරගෙන
උඩ වැජඹෙන්නා……
හැත්තැහයක් කෑ නිදහස
කාපල්ලා බීපල්ලා
උන් ඔක්කොම එකයි මල්ලි
ඉණි මං බැන්දා…..
නිගන්ඨයෝ එක්ක ඉද්දි
රෙදි අඳින්නෙ මොකටද බොල
ටෙලිවිසොමට අපෙ ආච්චි
වරමක් ගත්තා………
ලක්ස ගණන් කෝටි ගණන්
පැයකට දෙකකට හිලව්වෙ
ශේෂ පත්‍රයේ දෙපැත්තෙ
හර බැර වෙන්නා…….
සිමෙන්ති බ්ලොක්ගල් බිත්තියෙ
යකඩ ඇණේකින් එල්ලිල
දිවිපිදු එක රණ විරුවෙක්
නිවනට යන්නා……
රෑ බෝවෙල ඉර වැටෙද්දි
ණය ගෙවන්න කියල ඔන්න
තවත් අළුත් බදු පණතක්
ඇන්න වරෙල්ලා……
නාහෙ උඩින් වතුර යද්දි
ඔළු ගෙඩියත් යට උනාවෙ
පුදුම ඇටේ පරාණ ටික
බලාන ඉන්නා……….
ගල්බොඩ, වතුරුගම
“අපි තව පිං කරමු “
ඔබ මම සැවොම නෙක දුක් වල එරීගෙන
ගෙන යන දිවියේ සැප එන්නේ පෙරීගෙන
සුභ නැත යන අයුරු වැඩ ටික කෙරීගෙන
අපි තව පිං කරමු දිව රෑ මැරීගෙන
දිවියෙහි නොතිර බව ගන්නට නොහැක සිතා
යන්නට වේවි මරුවා කළ විටදි කතා
එදවස අදද හෙටදැයි දත් කෙනෙකු නැතා
එනිසා දැන්ම තව තව පින් කරමු ඉතා
මැද කණ්ණාඩියෙන් වාහනයක තිබෙන
ඉදහිට බැලිය යුතුවෙයි පසුපස සොදින
එදෙසම බලා සිටියොත් ඉදිරියේ තිබෙන
අනතුර නොදැක විපතට දෙනු ඇත මුහුණ
ජීවිතයෙදිත් දුක් කරදර මැද සිටින
ඉදහිට අතීතය සිහි කළ යුතු සිතින
ඒ ගැන සිතා තැවෙමින් සිටියොත් නිතින
හෙට වෙන විපත නොපෙනෙනු ඇත නිසි ලෙසින
2024/02/22
ප්‍රේමය ලදැල්ලකි සියුමැළි දළුලාන
මතකයෙ සියුම් තැන් ඉඳහිට සමාරාන
අපි උන් අතීතය බොඳවිය මිහිරාන
අදටත් හිතේ කොනකට වී ඉකිලාන
ප්‍රේමය ලදැල්ලකි සියුමැළි දළුලාන
දෝතට අරන් මුව මල සිඹ සනසාන
ඔය මුදු දෙතොල් රස සයුරකි කුමරාන
නළලත තැබූ හාදුව පෙම උතුරාන
නුඹ මගෙ අඳුරු අහසට වැඩි සඳපාන
පොත් කවර චිත්‍ර නිර්මාණ ශිල්පිනි
කුමුදි නෙත්තසිංහ
Photo : Oziel Gómez
මෙහෙකාර ගීතය
දිනිඳු සමනොළ ගිරඟ වඳින්නට පෙරාතුව
අවදිවෙමි මෙහෙවරට තුන් මහල් මන්දිරේ
අහේතුව නිසා මව් පියන් මට අහිමිවුණු
කණකොකා හැඬුවාය කටුක ජීවන මඟට
තිමිර කඩ තිර ඉරා ළමා විය පහන් කළ
යංතමින් දොළොස් විය ඉක්මවූවා පමණි
මාළිගයෙ අපායට පිය නගන්නට වුණින්
යව්වනය දියවුණිය කරුමයට පණ දෙමින්
නිදි කිරයි පෑන්ට්‍රියෙ මැෂිම රෙදි සෝදනා
කච්චියක් සළු අතින් සෝදමිය හඬ හඬා
නොදැල්වෙන විදුලි ගිනි උදුන දෙස බල බලා
දර ළිපට ගිනි පිඹිමි වක ගැහී දණ නමා
කසී සළු දුහුල් සළු සේද සළු එකින් එක
කාලයට අනුව ගිම්හානයට වසන්කොට
නෙක රුවින් අඳින සඳ රාජිණියො මහපායෙ
එකම කඩමාල්ලකි මට ඇත්තෙ දවසටම
අතින් පිසෙනා මගේ නොයෙක මසවුලු රසැති
මල් බදුන් පිරිවැරූ මැද සාලෙ මේසයේ
තුන් වරුවෙ හැඩ වුණත් සිහිල් වාරැලි පහසෙ
දංකුඩය පමණි මගෙ කුසේ ගින්දර නිව්වෙ
තරුපතිසෙ එළිය දෙන ළා පැහැති රතු එළියෙ
බුමුතුරුණු මතින්වු සයනෙ වියපත් සුවයෙ
මාළිගයෙ යුවල හුදෙකලාවෙ නිදන සද
මම ඔහේ ගුලි ගැහෙමි පන් පැදුරෙ කුස්සියේ
සියොළගෙහි අපේ දිවු රුහිරු ඩා බිඳු මැදින්
සුඛ වේදනා වෝ විඳිති ධනවත් ඇත්තො
හුස්ම පොද හදවතින් ගිලිහෙනා තුරු දිනෙක
දුක්ඛ වේදනා මය අපට හිමිවී ඇත්තෙ
කලාභූෂන කිවිපති කවිධජ
සාසනකීර්තී දේශාභිමානී
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
ඇඩෝ නමැති බලු රාළගේ, මළ ගෙදර ශෝකප්‍රකාශ කවි කොලය
කුණවත් දුදන දෑසට නොපෙනෙන ලෙසින
දුප්පත් ඇඩෝ අප දා නික්මි ගොසින
වියපත් කලට නෑදෑයෝ නැති බැවින
නැනවත් තීන්දුව නුඹ ගත්, හරි වටින
ආවෝ ගියෝ මෙනි හිතවත නුඹ ඇසුර
කාවෝ කඩදාසි කයි අකුරක් නොදැන
නෑයෝ නොනෑයෝ සැනසෙනු ඇත තුටින
බෑයෝ මොටද රහසේ ගිවිසුම් කඩන
හොස්ස ලගින් මැස්සෙක් ගියෙ නෑ එකල
රිස්ස ගිය කලට උන් ආවා වටල
පස්ස ගාතයක් ගල් මුල් ලැබ බකල
යස්ස පැටවු කැඩුවා වටකර කකුල
පිට්ටු ගෙඩි වගේ පාරේ ගිය චන්ඩි
මට්ටු කල රගේ එක කකුලක් නොන්ඩි
වෙට්ටු දා ගියා තුන් රෝදෙන් වන්ඩි
කෙට්ටු ඉරට්ටක් කාලෙත් පොර හැන්ඩි
කට්ට කරුවලේ වසමේ කරක් ගසා
කොට්ට ගෙවෙන කං ඩියුටිය නොකර මුසා
ඇට්ටි වලට කෑදර මුත් සිතැගි අසා
මුට්ටි දැම්මෙ නෑ ගුනදම් සිරිත් නසා
ඔට්ටු තියා කික්කියෝ කරකාර බැද
මට්ටු කලා නැඩ බල්ලෝ කනින් ඇද
තුට්ටුවට වැටි තව තව නොවි වද
රට්ටු පැතූ ලෙස නොකියා ගිහින් අද
කොහේ ඉදන් ආවාදැයි නොම දන්න
ඔහේ කැරකුනා එක තැන බෑ ඉන්න
බවේ නෑකමට ආවා හමුවන්න
නිවේ සසර දුක් බෑ යලි හමුවෙන්න
මංගල තෑග්ග
මේ තමයි ජීවිතේ හරිම හොඳ කාලය
ළං කරන් විඳීමයි නුඔට හිමි කාරිය
දැන් ඉතින් අහවරයි ඔප්පු කල බාරය
මමත් ඈතට වෙලා දෙමි ඇයට වාරය
ඇස් අසල තියාගෙන ගතකලත් කාලය
මැන නොබල කිරි කරල පෙවූවත් ආලය
ගෙට ගේන කල පුතුන් දුවක් මෙන් ලේලිය
සින්නක්කර ලියමි නොතිය මට බාගය
AnA 2/2024
The Rain
….Then evaporated the drizzle
weighted foggy black herds of clouds
flattered wings slightly
Be alive backed caked puddles
deformed by envious rays of nothing
earthen smell climbed again
upon the deep nostrils
after a long time
withered pain of tiny flower buds
half dead on earth
danced their necks tossing
රැඩිකල් සමනලිය
ඈ කවුද ?
සොයනවා ඇය තවම !
නාමය ?
“පූජා”. මට මතක හැටියට !
ඉර – හදට පෙම් බඳින,
තරුවකට කවි ලියන,
බලාපන්කෝ හදවතක තරම,
සිතිජයක් ලුහු බඳින !
නිධානයක බර,
තනිව දරණ
මායාකාරියකි ඇය !
නොවේනම් කොයිබින්ද ඔය,
හඩන – හිනැහෙන
දෙනයන ?
ෆැන්ටසියක රැදෙමින්
කණාමැදිරියන්ට අත වනන,
ප්‍රේමයට කෝඩු ඇය,
දොඩන්නේ කිම,
ටොන් ගාණක වචන ?
කදුලු අගයන,
සිනහවෙන් දග කරන,
තනිව තටු සලන,
නුඹයි මා දුටු
“රැඩිකල් සමනලිය..!”
මවකට වඩා වෙන කවුරුද දිවි අරුණ
පිළිසිඳ කුසේ දසමස රැකවල දීලා
උපතක වේදනා මිහිරක ගල්වාලා
සිරුරේ රුහිරු සුදු මව්කිරි ලෙස දීලා
කිසිදින ගියේ නැත අප හැර හැංගීලා
රස මසවුළු ගෙනත් පළසක් මත හොවලා
දරු සෙනෙහස පෑවෙ හදවත් මුව සිඹලා
වදනක් ලියමි උතුරා යන ගුණ තෙපලා
මව් නමදින්න දෙපතුල මත හිස තබලා
සඟවන කඳුළු දාරක සෙනෙහස පිරුණ
යුතුකම් නොමැත ඒ වෙනුවෙන් මඟ හැරුණ
කොපමණ ලියා ගැයුවත් ඔබෙ ගුණ වරුණ
මවකට වඩා වෙන කවුරුද දිවි අරුණ
*උපාලි සර්ට උපහාරයක්*
අපේ සර්ලා දින දින සමු ගන්නේ…
අතරින් පතර අප මිතුරොද එහි යන්නේ..
නොදැවී තවම අපි ටික පිටියේ ඉන්නේ…
සුන්දර මතක Set වූ කළ සමරන්නේ..
Saturday බොරැල්ලෙදි ආදාහනය…
නාලන්දයේ ලෙන්ගතු අපෙ ගෞරවය…
පුදකර අපි අපිම පාලා යහගුණය…
අඩියක් ගසා සුසුමක් යැවුවොත් හොදය…
අපිටත් වයස ගිය බව දැන් තේරෙන්නේ…
පඩිපෙල් නගින විට දනහිස් ඇවිලෙන්නේ….
මධුවිත “ෂොට්” එකක් ගැහුවම Fit වෙන්නේ…
ඒකත් ටිකයි ඉස්සර වගෙ නෑ බොන්නේ…
ඒ. බී. ලලිත් ද සිල්වා
2024/02/28
ගන්දබ්බයෙක් ..
මෙතේ බුදු වැඳ විවරණ ලබනට තරම
රිසියෙන් කිමිදුනෙද මහ සමුදුර වන් දහම
අතු රිකිලි මැද සරන ගන්දබ්බයෙකි තාම
හිඳින්නට වේවිද කල්ප ගානක් මේම
මහට අමතක අතීත ජවනිකා එකින් එක
පුළුල් තිරයක විලස දිගහැරෙන අයුරු දැක
පසක් වේ එක හෙලා පමාවට හේතු කාරක
මානය මමත්වය දෙක දැවී යයි ඇසිල්ලක
විදුලි වේගෙන් ශුන්‍ය රික්තෙක යන ගමන
එක්සැන තිගැස්සින සංසාර බිය මතු වින
සොම්නස සතුට උතුරන තුසිතයම දිස්වින
පතිරූප දෙස බැවින සිත උද්දාමෙන් පිරින
නගමින් මන්ද්‍ර නද ගන්ටාවක් හඬන සඳ
හමා එයි මඳ සුළඟ සේපාලික මල් සුවඳ
සැකයි නොදකීවිද යළි සැලෙන බව මහද
කෑගසා හඬන්නද තව ඇබින්දක් ඉන්නද
15.02.2024
වඩාගන්න බැරුවා
පුතේ නුඹ දැන්
තරුණයකු බව
මම දන්නවා
ඒත්
ආච්චි අම්මාට නම්
නුඹ තාම පොඩි එකා
මා ළඟින් හිටගෙන
උරහිස් එකට වද්දා
උස බලන විට
ආඩම්බරයි මටත්
ඒත්
දුකක් ඇත සිත පතුලේ
මට දැන් ඔබව
වඩාගන්න බැරුවාට
සසර හුය
ඇය ට හැකි දෙන්නට
තුනු සපු විල
මන නඳන ප්‍රියයෙකුට
සිය මනාපෙට
කිමිද සැනහෙන්නට
දිව ගා විඳින්නට
නමකි ඒ දානයට
ප්‍රේමය
කැමති නම් පසුවට
රාමු කර ගත හැකි
විඳ විඳ බලන්නට
බල බලා විඳින්නට
ඇය ට හැකි දෙන්නට
එ හැම යම් මිලකට
නමකි ඒ ගැහැණියට
පුරඟන
දෙන විට එ හැම ඇය
මිලෙන් එපිටට
රජෙකුට රජ පැටියකු ට
නමකි ඒ ගැහැණියට
මැතිනිය ඇමතිනිය මෙහෙසිය
නටයි මුළු ලෝකය ම
ඇගේ පද තාලයට
මාරු කර ඈ පා තියයි
ලෝකයේ තාලයට
ඇයයි මුල හැම පටලැවිල්ලට
ඇයයි හේතුව සතුටට
මොහොතකට
ඇය යි හේතුව දුකට
දින සති මාස සදා කාලයට
ඇයයි හේතුව උපත ට
එ යයි හේතුව මරණයට
හුයයි ඇය බැඳ තබන
අප හැම සසර ගමනට
29-05-2021
ගැහැනිය විවිධ භූමිකා රඟමින්
සියුම් අදෘශ්‍යමාන හුයක් මෙන්
අප හැම බැඳ තබා ගෙන සංසාර චක්‍රයේ රැගෙන යයි
පියවි ලොවට……..
සැලෙන විටකදි සිතක්
මතක යළි එබෙනවා
දුහුවිල්ල අතීතයෙ
මාවතක නැඟෙනවා
ඒ අතර මැකී ගිය
පියවරත් දකිනවා
ඔබේ සුවඳින් හදවතේ
මල් පිපෙනවා.
දිලෙන තරු කැළක් මැද
පුන් සඳක් දකිනවා
වසන්තයෙ සිහින මල්
සිත් කොනක පිපෙනවා
නොදැනීම ආ මගේ
දුරස් බව දැනෙනවා
නෙත් දියෙන් හදක පිපි
සුවඳ මල් පෙඟෙනවා.
අලුත් වැස්සක් වැටී
දුහුවිල්ල නිවනවා
පිපුණු මල් ජීවිතයෙ
දෙපස වී සිටිනවා
තැවුනු සිත් දිවි මඟේ
නොතැවි සැරිසරනවා
දිවිය දියඹට යන්න
පියඹ අත වනනවා.
සමහරක් මතක වෙති
සමහරක් මතක වෙති
බෙහෙවින්ම සුවඳැති
ආත්මයම පුරවති
සිත් පතුලේම නිදියති…
සමහරක් තැන් ඇති
මතක පුරවන් ඇති
පුරුද්දටම එහි යති
ගොස් කඳුලු රැගෙන එති…
සමහරක් මිනිසුන් වෙති
කිසි දිනක මුණ නොගැසෙති
ලඟින් ඉන්නා ලෙසිනි
තුන් සිතම පුරවා ඇති…
අවසන් හුස්ම
අපි දෙන්නගෙ සතුට මතකද
ඔයා කැන්දන් ආපු දා
සසර හමුවක් කියා කිව්වා
සුදුහාමිනේ මට ළං වෙලා
එදා ඉදලා නුඹගෙ සුවදින්
මුළු ගේම ඉතිරී ගියා
හුගක් අඩුවා වැඩට යනකොට
නිවාඩුව අවසන් වෙලා
හුස්ම නොගෙනම එදා ඉදලා
මහ පාන්දර නැගිටලා
ඔතා දෙන බත් ගෙඩිය අරගෙන
හදිසියේ පිටවී ගියා
සති අන්තෙ ඕටී වැටෙනකොට
ඔයත් කට පියාගෙනම හිටියා
අපිට අපි මගහැරි හැරී
සති මාස ගෙවිලා ගියා
සුදූ හාමිනේ අපිට නොදැනීම
අපිට අපි මඟ ඇරි තිබුණා
හැල්මේ ඔහේ දිව්වා මිසක්
සතුට අපි හැර ගිහින් තිබුණා.
කාලෙකට පසු පෙරේදා මම
ඔබගේ සුන්දර වුවන දුටුවා
සිනිඳු යහනක නිදහසේ
මගේ සොඳුරිය නිදා සිටියා
දින තුනක් නිදිවරාගෙන මට
ඔය මුහුණ දෙස බලා සිටියා
සදහටම ඔය රුවත් අරගෙන
මගෙන් ඈතට ගිහින් තිබුණා
ගොඩක් දේවල් හිතේ තිබුනා
කියන්නට ළගටම වෙලා
ජීවන අරගලේ මැද
තිස්පහක් අවුරුදු
අපට නොදැනී ගෙවිලා තිබුණා
බලං ඉඳලා ඔයත් යන්නැති
කඳුළු හිත යට තද කරන්
මහන්සියි දැන් මටත් හරියට
ළඟදීම එනවා නුඹ සොයන්
සභාතොමෝ සතුටින් විසිරයා……..
සිංහයෝ බැස්සොත් හොඳයි දැන් බිමට
ලෝකය හිනැස්සුවා ඇති හොඳට
මෙච්චර අවනඩු ඇති රටක
කඩුවක් මොටද අම්මපා නුඹෙ අතට.
ඇඳගනින් ඔය කොඩිය උඹෙ ඉනට
පුම්බාපන් කේසර ටික හොඳට
කඩු කොටේ ගනිං පපුව හරි මැදට
හිටගනින් පපුව දා පෙරට.
කමාන්ඩර් වෙයන් උඹ මොහොතකට
උඹ ගිහින් අර වෙඩි තියන උන් ලඟට
හරවන්න කියාපන් තුවක්කුව සභා මැදට
අන්න එතකොට පුළුවන් සිංහයෝ
යන්න ආයෙමත් කොඩියේ මැදට.
කන හැට් අපා දන්නේ කුස්සියේ ලිපා.
මසකට කලින්මයි කොවුලා හඬන්නේ.
අවුරුදු එන බවද නුබ ඔය කියන්නේ .
ඇති මේ රටේ තතු නැහැ නුබ දකින්නේ .
මේ සිරිලකට නෑ අවුරුදු බොලන්නේ.
පාසල් නොයති දරුවෝ නැති කොට සල්ලි.
බෙහෙත් ඩින්ගෙනුත් ගහලා ඇත පිල්ලි.
රජයන විටදි සිරිලක තුළ හොර කල්ලි
දුප්පත් මිනිසුන්ට කොයි ලෝකෙන් සල්ලි
පාලකයින්ට ඇතිමුත් ඇති තරම් සැපා.
හොයනා තුට්ටුවත් බදු ලෙස ගනියි කපා.
කන හැට් අපා දන්නේ කුස්සියේ ලිපා
එළවනු සොඳයි හොර රැළ දරහැවේ දපා.
තැන තැන පෙනෙන්නේ දුප්පත් කමන නොවෙද..
බණ බණ දෙසති ඒ කය්වාරුව නොවෙද
පණ නල රැකෙන එක පමනකි ඒ මදිද
කොහු කොහු ගෑවාට මෙහෙ මොන අව් රුදුද.
ඔබ නැතුව ඔබ එක්ක
ගෙත්තම් පාන පසුකර මහ දඹට උඩින්
සිත්තම් සේම විහිදෙන හිරු කිරණ යටින්
මනරම් ප්‍රේම අන්දරයක් රසට ගොතන්
ඇත්නම් බෝම දුර යන්නට සිතමි උදෙන්
ඔරවන රවන රවි රජවුණු දහවලක
පියඹන සිසිල ගෙන පාවෙන මේ කුලක
සැඟවෙන ලෙසින හිඳ අසලම තව පැයක
හිනැහෙන අයුරු දකිනෙමි සිහිනෙන් විටක
අස අස ගීත ගයනා සවනත පිනන
මදහස කෝල සිත පිනවන සේ පිපෙන
සරතැස නිවන මදනල සේ සැරි සරන
හවසක සුවය මවනෙමි අසලදි දැනෙන
සැනසෙන පැතුම සතපාගෙන හිස ළයක
නිමවෙන විටදි දුහුවිල්ලක් ලෙස පයක
අපමණ දුරක එළි විහිදෙන තරු ඇසක
හැඩගෙන හිඳිමි සඳ නිදියන කළු රැයක
වැරදි වැටහීම්…!
තදවී ගලට උන්නත් දිරියෙන් යුතුව…
වදවී ඇයට අත දෙයි සිතටම නතුව…
හද වී සිදුරු , කිම ඇය නැත්තේ සතුව..,
ඇදවී ඉහළ නැගුමට ශක්තිය
පැතුව?…
අතකින් එල්ලිලා උන්නත් ඇය එලෙස…
සිතකින් විඳවනා බිය පවසනු
කෙලෙස…
දලෙකින් විදීදෝ සර්පය නොවි අලස…
නෙතකින් බලා වෙවුලනවා මසු
විලස…
බැරි ඇයි ඔහුට මා ඉහළට
ඇද ගන්ට?…
දිරියක් නැතිද , සිතමින් විය
දුක් වන්ට…
විරියක් නොමැතිකම හැක දැන්
මැනගන්ට…
පිරිමින් මෙවැනි, හොඳ නියරේ සිටවන්ට…
දෙදෙනම මෙලෙස අනෙකා ගැන තරහ සිතින්…
නොදැනම වරද පටවන කල
දමා අතින්…
පෙනුනම අපට වැටහෙනවා
ඉතා බැතින්…
නොවුනම මධ්‍යස්ථ, වරදියි
දිවිය ඉතින්…
ප්‍රේමය..
උතුරනා කඳුළකින් මා නෙත නුඹේ ගෙමිදුල මල් පිපේ නම්
ගිලිහෙනා තෙක් බිඳුව අවසන් කොපුල් දියවෙන තුරු හඬන්නම්
උපදිනා මේ සසර මතු මතු යළිත් නුඹ පසු පසම එන්නම්
පැරදුණා මං දුකක් නැහැ තුටු සිතින් ඔහු හට දිනුම දෙන්නම්
හිනැහිලා තොල් රිදෙන තුරු සොම්නසින් අප සිත් බැඳුණු යුගයක
හමුවෙලා ඔය දෙතොල් රසකළ මතක මල් අළු වුණා සොහොනක
සැරසිලා දෙවඟනක් සේ නුඹ යන්න යළි හමු නොවන ගමනක
සැතපිලා සිව් රියන මත හෝ දරාගන්නම් දැනෙන මේ දුක
සිහිනයෙන් වත් නොඑමි කිසිදා මට උරුම නැති නුඹේ ලොව වෙත
එක සිතින් සමු දෙන්න දෙඅදර තබා මිය යන මගේ කොපුලත
කඳුළකින් දෝවන්න දියවී මැකෙන තුරු රසබර මතක පොත
දැන් ඉතින් ඔබ යන්න අත ගෙන එපා නෙත් හරවන්න මාවෙත
රෝස කැකුලී
සුරඟනක් ලෙස එදා මාවෙත
පැමිණියේ සිහිනයක දැවටී
සද නොමැති රැය තාරකාවිය
හිනැහුනා තරුවලට සැගවී
කැකුළු පෙති විකසිතව දින දින
හිරු මඩල යට හිදී හිනැහී
සුමුදු මද නල හඹා ඒවී
රෝස පෙති නුබ හිදින් නොසැලී
නොබෝ දිනකම නුබේ හිමිකරු
කොහේ හෝ සිට පියඹ ඒවී
සුපිපි ඒ මල අපේ උයනේ
නෙලාගෙන ඉන් යන්න යාවි
එදා මෙන් හිරු සදුත් තරුකැට
නීල අඹරේ සැරි සරාවී
නුඹ සුවෙන්දැයි බලායන්නට
එන්නදෝ සිහිනයක දැවටී
Photo;Salsabeel Ehsan
සම්භාව්‍ය ප්‍රේමය
ඔව්
අපි
බොළඳ නැති
බොහොම බරසාර සම්භාව්‍ය මිනිස්සු
ඇත්තක්
ඒත් ඔයාට තිබුණා
ලෝකෙට හොරෙන් හරි මට දෙන්න
අඩුගානෙ දාස් මල් පෙත්තක්
ගඟක් වක්වන තැන
තමයි සුන්දර ලොව ම කිව්වත්
නැවෙන, පෙරළෙන, බිඳෙන තැන්වල
රිදෙනවා ගඟේ හිතටත්
ඒක කවුරුත්
දැන දැන ම සඟවන සත්තක්
කඳුළු දිය කර සඟවා ගංතෙර
ඉවසුම් ඉවර නොම කර
නතර නොම වී ගඟ ගැලූවත්
ගඟත් ආසයි දවසක්
නවතින්න දූවක
ඔරුව හා සවසක්
වෙන් කර දූපතක නැවතුම්
අණ කර රතු රෝස සැරසුම්
සන්කර ගඟ ආස මසවුළු පිසුම්
සිහිකර පෙම් කෙරූ කළ මී පිරි සිපුම්
නිහඬ කර ඔරුවට එන ඇමතුම්
නිදි කර දුර බණුවෙ විමසුම්
නිවා සඳ තරු රහස් පැවසුම්
දල්වා ඉමිහිරි ඉටිපන්දම්
සියල් සකසා ගඟට රහසින්
අල්වා ගඟෙහි ඉඟ අදරින්
“ස්තූතියි මාව ඉවසනවට
ආදරෙයි මාව නළවනවට”
හාදුවක තවරා කියමින්
ගඟ විස්මපත් වනයුරු නරඹමින්
සැනසුම් තොස විඳින පැතුමන්
අනේ ඔරු හිත ජනිත වේ නම් !
අනේ ගඟටත් එකමෙක දවසක්වත්
මඳක් නවතා ගැලුම , පෙරලුම
ඔරුව තුරුළේ සැතපෙන්න තිබුණා නම් !
” ආදරෙයි අතරමඟ දූපතක නොනැවතී
කරදරකාර ගඟක් එක්ක
මේ තරම් දුරක් ආවට ”
ඔරු බඳට වාරුව කොඳුරන්න හැකි වී නම් !
ඒත්
අපි
බොලඳ නැති
බොහොම බරසාර සම්භාව්‍ය මිනිස්සු
මේක කොහෙත් ම නොවිය යුත්තක්
මේ කවිය පවා නොලියා
හද බිතෙහි ගැඹරෙම සඟවා
මතක බණ කියා මිහිදන් කරවා
නොසලකා හැරිය යුතු පැත්තක්
නොපැළඳූ තෝඩුවක්…
ඒ චූටි සංදියේ
පාරේ යන අතරමග
ගෙදරට ගොඩවැදුනු
සාත්තර කියන්නී
කොණ්ඩේ මුදුනට බැඳන්
ඔලොගුවක් උර දරන්
පිටේ පැටියෙක් බැඳන්
මිදුල මැද ඇන තියන්
අම්මාට ලං වෙලා
මොන මොනවදෝ කියපු
සාත්තර කියන්නී..
ගෙඩි මාල පැළඳගෙන
අතේ වළලුත් ගොඩයි
ඒත් මතකයේ නොමැකි
තාරුකාවක් වගේ
නාසයේ දිලිසුනා
රවුම් පොඩි තෝඩුවක්
එදා ඉඳලම දැක්කේ
එකම එක හීනයයි
පළඳින්න නාසයේ
පුංචි තාරුකාවක්..
කනට මිස නාසයේ
නෑ තෝඩු දාන්නේ
කන් දෙකට මේ තෝඩු
හරිම හරි හැඩයි නෙ
අම්ම කිව් නිසාමයි
පුංචි රන්තෝඩු දෙක
මගේ කනේ එල්ලුනේ..
හීන අන්සතු වුනා
කාලයත් ඉක්මුනා
අමතක කරන්නට බැරිව
පැළඳ ගන්නත් බැරිව
අදත් රන් තෝඩුවක්
තාරුකාවක් වගේ
දිලිසි දිලිසී තියේ
තාම මගේ හිත් කොනේ!!!
අප්පච්චි මම සිංහසීවලී
අම්මාගෙ වත්කම ම
අපි දෙදෙන කීවා
අයියාට බෝ සොඳුරු
හීනයක් තිබුණා
අප්පච්චි එක්ක ඒ
පාරෙ මග වැහුණා
ඒ නිසා අයියා ම
ලෙනේ දොර බින්දා
අප්පච්චි වගෙ හිමේ
අයියා අඩි තිබ්බා
අම්මගෙයි මගෙයි අත්
අත් නොහැර හිටියා
ඒ වුණත් අප්පච්චි
හිතට බය දැනුණා
අප්පච්චි හිටියනම්
හොඳ නේද හිතුනා
යන්න පෙර දිනේ රෑ
නින්ද මග හැරුණා
මුකුලිතව තරු මලුත්
හැංගිලා තිබුණා
සිසිල් නැති මද පවන
හිත කඩා දැම්මා
රැහැයියන් වැඩ වරා
නිසසලව උන්නා
පිට වෙන්න කලින් මම
ලෙන සිතින් සිම්බා
බෙහෙත් ඖෂධ ඔබේ
පිළිවෙලට තිව්වා
හිමේ මල් පරදවා
ඔබෙ සුවඳ දැනුණා
දැන් එතැයි දැන් එතැයි
මගේ හිත කිව්වා
තනි වෙන්න මේ හිමේ
බය හිතුන හින්දා
අප්පච්චිගේ හීන
මේ මමත් බින්දා
එක දිනෙක මගෙ හිසේ
බරැති අත රන්දා
පපුව මැද හොවාගෙන
සිප ගනියි හිතුණා.
ප්‍රේමය..
උතුරනා කඳුළකින් මා නෙත නුඹේ ගෙමිදුල මල් පිපේ නම්
ගිලිහෙනා තෙක් බිඳුව අවසන් කොපුල් දියවෙන තුරු හඬන්නම්
උපදිනා මේ සසර මතු මතු යළිත් නුඹ පසු පසම එන්නම්
පැරදුණා මං දුකක් නැහැ තුටු සිතින් ඔහු හට දිනුම දෙන්නම්
හිනැහිලා තොල් රිදෙන තුරු සොම්නසින් අප සිත් බැඳුණු යුගයක
හමුවෙලා ඔය දෙතොල් රසකළ මතක මල් අළු වුණා සොහොනක
සැරසිලා දෙවඟනක් සේ නුඹ යන්න යළි හමු නොවන ගමනක
සැතපිලා සිව් රියන මත හෝ දරාගන්නම් දැනෙන මේ දුක
සිහිනයෙන් වත් නොඑමි කිසිදා මට උරුම නැති නුඹේ ලොව වෙත
එක සිතින් සමු දෙන්න දෙඅදර තබා මිය යන මගේ කොපුලත
කඳුළකින් දෝවන්න දියවී මැකෙන තුරු රසබර මතක පොත
දැන් ඉතින් ඔබ යන්න අත ගෙන එපා නෙත් හරවන්න මාවෙත
කඩුපුල් මලක කවක්…
කඩුපුල් මලක් වූවෙමි මම පිබිදිච්ච…
නුඹ දිවකරයි ලොව නින්දෙන් ඇහැරිච්ච….
නුඹගේ රැසට මගෙ හදවත දියවෙච්ච…
මලක් වුණෙමි ප්‍රේමයෙන්ම මියදෙච්ච…
රජ වූ ප්‍රේමය
සිහසුනට හිනියම් ව
හිනැහුනත්
කඩු කිනිසි…
ප්‍රේමයට සීතල යි..
හිම පියලි මල්
වගෙයි..
රජුන් රැජිණින්
වැනසෙද්දි
රජකමට…
තිත තබා
රජ වුණා
ප්‍රේමයේ ද්වාරයට..
එහෙව් පෙම් කවක්
යළි ලියවෙයිද
ලක් දෙරණේ…
සාලියට පෙම් බැන්ද
අශෝකමාලා…
පෙමක් දැන් ඇති වේද…
( හිරා සිරාවට
✍️ලියන කවි)
2024/01/11
යාචක පියාගේ ආයාචනය
කැත කුණු වලම ඉපදී දුක් විදින ඔබ,
හිස ගෙල දෑත මිණි බරනින් පිරී නැත,
කේසය වැවී නමුදත් එය ලෙසට නැත,
යාචක දියණියනි මගෙ සිත ඔබට ගැත….
ආලය බොහෝවෙත් එනමුදු ඔබට එය,
තෝරාගැනීමට තරමක් උරුම නැත,
මවමින් ඔබව මා සතු කරගන්ට සිත,
දෙනවද පියානෙනි ඔබගේ දිළිදු දුව….
මගෙ ලග මිල මුදල් එතරම් නොවේ අද,
ඔබ ඉල්ලුවෙ මා ලග ඇති එකම පණ,
යාචක වුනත් දියණිය නොඉදුල්ව ඇත,
ඔබෙ පණ තරම් රැක ගනු මගෙ හුස්ම පොද….
මන්දෝදරී හදපානේ මියුණු දිනේ,
මගෙ මල් කුමාරී හිටියේ ළදරු වියේ,
අම්මා මැරී විසිවසරක් ගෙවුනු දිනේ,
මගෙ දූ කුමාරී ඉන්නෙ දැන් තුරුණු වියේ….
රථයක නැගී සුරගන පුත් කෙනෙක් තෙමේ,
මගෙ මනමාලි කැන්දන් යන්නට පැමිණේ,
අනේ පුතේ රැක ගනු නුබෙ දෙඇස් මෙනේ,
මට ඇති එකම සම්පත මගෙ දුවනි වෙතේ….
❤️ *sew* ❤️
Photo; Andres Molina
සමීක්ෂණය
නුවර පටු මාවතක
නිවසකි ගරා වැටුණු
මේසයක් පුටු දෙකක්
කුඩා සාලයේ කොනක
තැනින් තැන ඔප රැඳුණු
පෙට්ටගම තව කොනක
දොර කවුළුවෙන් එබුණු
මහලු කත මාගරට්,
‘කවුද තව ඉන්නේ මෙහෙ?’
මමයි මල්ලියි,මාක්,
එයා නම් වැඩ අදත්
ටිකක් රෑ වෙයි එන්න.
ටවුමේ සපතේරුවා
හවස් වෙනකන්ම වැඩ
නත්තලත් ළඟනේ දැන්!
ඒකපාර්ශික
සඳක් වගේ පායා හිනැහෙමින් එබී
පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී
ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී
අදත් ලියනවා මේ ප්‍රේමයට කවී
යන්තං ගැටෙද්දි යන එන මගදි ඇසේ
වත්තං කරපු සෙනහස මදහසින් හැලේ
තෙත අඩි තියා ඇවිදිනකොට හිතම වටේ
කඳුළක් වෙලා ප්‍රේමය නෙත් අගින් වැටේ
මලක් වුනත් අන්සතු උයනක සුපිපී
රසක් තිබේ නොකියූ ප්‍රේමෙක සිරවී
පවනක් වෙලා ඔබෙ කෙහෙරැල්ලකට ඇලී
සසරක් වුනත් දුර යන්නට එයම ඇතී
දුවේ
දුවේ මා හද පිපුණු පරම පිවිතුරු කුසුම
දෙගුරුන්ට අවනතව දීග ගිය කොඳ කැකුල
වැරදුනා දිවි ගමන නොසිතු නොපැතූ විලස
දුවේ මට නොතේරේ කිමද අප කල කරුම
කැදැල්ලේ සිටින තුරු රැක්කේය මං නුඹව
දීග ගිය පසුත් නුඹ සවිය වුනි හැකි පමණ
සල්ලාල සැමියෙක් ය ලැබූයේ පෙර පවට
දුවේ මං කෙලෙසකද සදන්නේ ඒ වරද
වියපත්ය අප දෙදෙන සදෑ සමයේ සිටින
කෙසේ නම් නුඹ දමා හැරයම්ද මතු දිනෙක
සඟවමින් කදුළු කැට නුඹ විදින දුක් ගොන්න
දැනෙනමුත් මා සිතට හිදිමි නොදැනෙන විලස