ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

October

ජාතිවාදෙන් අන්ධ වූවෙක් නොදැන හමුවන නුවර ලන්ඩන
පාර හරහට පනින විලසින මග බලා සිටි ළඳුනි නොපෙනෙන
අතින් ගෙන ඔබ මිතුරියක් ලෙද අනෙක් ලඳ සෙබළියක් විලසින
සෙනෙහෙ පෑ අය සුදු ද කළුව ද දැනුනවත්වද ලැබුණු පහසින

- අනුර
ඡායාරූපය: විල්සන් හෑගොඩ මහතා

ඔක්තෝබර් කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 90 කින් ඔපවත්වීී ඇත
  1. අවමඟුල් තොරණආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
  2. ඇහැළ මහේ අළු දූලිමහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
  3. අම්මා, නැන්දම්මා සහ Mother in Law ලානිශ්ශංක දිද්දෙණිය
  4. කුවේණි වලපචන්ද්‍රවංශ ඥානසේකර - කැලණිය
  5. පැටලී සිතිවිළි දැහැනකආචාර්ය පාලිත ගනේවත්ත - සිඩ්නි
  6. වෙසඟනකගේ දියණිය ඇසූ ප්‍රශ්නයබුද්ධදාස ගලප්පත්ති
  7. අසන්න හිමියනි…චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය
  8. සිතවෛද්‍ය මනෝරි ගමගේ
  9. අහඹු සිතිවිලි …ලාල් හෑගොඩ
  10. යසෝදරාවතේ සිත්ගත් කවිමහනුවර ජනකවියා
  11. අප සමඟ ම කඳු නඟිමින මගෙ දුවේ නුඹ ද ලොකු විණකෞශල්‍යා ජයලත්
  12. නොපෑහෙන ප්‍රේමයවජිර ජයවර්ධන
  13. දිවි මග යෙහෙළියසෝමබන්ධු කොඩිකාර - මෙල්බන් නුවර
  14. කොළපතේ අරුමේමාවැලි කුමාරි කුලතුංග - මහනුවර
  15. ‘හයිවේ’ දසුනක්ජයතිලක කම්මැල්ලවීර
  16. ඉවසනු නොහැක පාළුව…..කපිල කුමාර කාලිංග
  17. මතකවෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ
  18. සුභාෂිතයේ සිත්ගත් කවිඅලගියවන්න මුකවෙටි තුමා
  19. එකෝමත් එක කලෙකමහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම  
  20. කෝවිදියා සමග යහන් ගතව ඇයට හොරා ඔබේ පිටේ කුරුටු ගෑ කවියසුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
  21. දැනගත්තා දැනගත්තාකල්ප පල්ලියගුරුගේ - එංගලන්තය
  22. සිංහයා සහ මාප්‍රීති පෙරේරා - තලවතුගොඩ
  23. එක් නොවැම්බරයකට පෙරමහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර
  24. දෙපා-සිව්පාකිවිපති නන්දසේන පලිහක්කාර
  25. ඇහැළ මහදයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය
  26. පරිගණකය ලැප්ටොප් නැති ඒ කාලේප්‍රීති රන්දෙනිය
  27. නුඹපියුමාල් සමරතුංග
  28. (ජීවි)තේ රසයිද ………රංජිත් ද සිල්වා - නවසීලන්තය
  29. පන්හිඳක කඳුලක්එස් එල් සෙනෙහෙධීර, ලෙච්වර්ත්
  30. කොළඹ යුගයේ සිත්ගත් කවිඉතාලි රණ බිමෙන් - ඉඹුලෙගොඩ ඇම් .ඇස් . ද සිල්වා
  31. මං තිරු වලට ගොං තඩියෝගාමිණි සුමනසේකර
  32. සැලළිහිණි යේ සිත්ගත් කවිතොටගමුවේ ශ්‍රී රාහුල නා හිමි
  33. මෙට්ටෙ හොඳටම සවුත්තු වෙලානුවන් තොටවත්ත
  34. පතල් කවි 2021වෛද්‍ය උදාර කුලරත්න - එංගලන්තය
  35. එදා සහ අදරවිබන්ධු විද්‍යාපති
  36. ඒ ගොඩබිම දැන් හිස් යකනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  37. ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවිවෑත්තෑවේ නා හිමි
  38. මං තරහයි……ඒත්කිවිපති ජනාර්ද ආසිරි විජේසේකර
  39. කෙලෙස මා තලන්නේ කියාපන් පුතේ මටඅනුරුද්ධ හරිස්චන්ද්‍ර වැලිගමගේ- කැනඩාව
  40. ඌරුවරිගේ වන්නිලාඇත්තෝ කී කවියකලාභුශන කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් කේ සරත් විමලසිරි
  41. සරසවියට පියමනිනා දෝනිටවෛද්‍ය ශානි ඇන්තනි - ලන්ඩනය
  42. සිල්වි – අනුවාදයඋදයංග අමරසේකර - ප්‍රංශය
  43. ඉස්සර දවසක මියගිය සෙනෙහසසුනේත්‍රා අලුත්දුන්නෙ
  44. ඔබ බුදු වනු දුටුවා අම්මේ!මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  45. තුරුණු හිතක සංතාපයරේණුකා බණ්ඩාරනායක , පර්ත් , බටහිර ඔස්ට්‍රේලියාවදී
  46. සමිඳුනේ බුදු සමිඳුනේඒ.එම්.අබේසිංහබණ්ඩා - මහනුවර
  47. ඹබේ ගමන මාගේ නොවේසපුමල් බන්ඩාර - ලන්ඩනය
  48. නොගැයූ ගුරු ගීතයතීෂ්‍යා දුල්මිණි - හෝමාගම
  49. දාන පාරමිකංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය
  50. මල්සරා නුඹ කොහිද ..?නිසංසලා දිසානායක - නුගේගොඩ
  51. දිවැස් හෙලනු මැනදීපා ද සිල්වා - ලන්ඩනය
  52. ගැමි සිහිනඅරුණසිරි එදිරිසිංහ - පන්නිපිටිය
  53. මළ පසු මා ….දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
  54. මිනිස් ජීවිතයරත්නපාල ගමගේ - ස්විට්සර්ලන්තය
  55. තායි අඬන්නෙපා – නාඬන් මෑණියනිඩී .අමරසිරි ගුනවර්දන - නවසීලන්තය
  56. සපරගමු විස්සෝපය….!!ලලනී ගීකියනගේ.- රත්නපුර.
  57. විකල් කරයි මා සිත තුන්යමඅනුර හෑගොඩ
  58. ආදරේ ගීතේ කූෂි හේවගේ - ෆෙරේන්සි ඉතාලිය
  59. සුළඟේ එවූ හාද්දක්..රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
  60. දුකයි එත් ඇත්තයිනීතිඥ පද්මිණි දේවි ජයසේකර - ලන්ඩනය
  61. වැළපෙනා ගුරු ගීය……මධුවන්ති කුලසේකර
  62. මහිමි උපහාරනාලිනී කොඩිකාර - මෙල්බන් නුවර
  63. ඉර සේවයඩී. කන්නන්ගර - ලන්ඩනය
  64. නොලියූ කවියකොබවක කාංචනා කුමුදුනි
  65. කොරොනා සහ අසම්මත ප්‍රේම අදෝනාආරි ලියනගේ - ඉතාලිය
  66. නිල් අහසයි, මහවැලියයිකමනිකා මොහොට්ටිගේ
  67. දැල්වූ සදහම්බණ්ඩාරගම මොනිකා නානායක්කාර
  68. සඳ…වෛද්‍ය පද්මලාල් පතිරගේ -ඇතුල් කෝට්ටෙ.
  69. වැලිකතරේ කතකට…සුනිල් පෙරේරා - ලන්ඩනය
  70. COVID 19කුමරිනී පත්මනාභන් - ලන්ඩනය
  71. මහජීවක අපෙ වෙද රජුප්‍රේමචන්ද්‍ර රූපසිංහ - නුගේගොඩ
  72. The MigrantPalitha Ranathunga
  73. අම්මා මමයිතුසිතා සුරේකා - මීගමුව
  74. දැවෙන ගෙවල්නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
  75. දිවිල්ලශ්‍රීමතී සමරකෝන් - රාජගිරිය
  76. වාවන එකයි හුරු ලියනට පතිනි කුලේනාලිකා සමන්කුමාරි - අරාබි එමීර් රාජ්‍යය
  77. ප්‍රේමයම පමණකිහරිණි සුමනසේකර - කොළඹ
  78. සොඳුරු සිත්…!දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
  79. ඇසුනා මතකයිචන්ද්‍රා සේනාධීර -නවසිලන්තය
  80. අලුත් කවියක උපත අබියසඅනුර බී. සෙනෙවිරත්න
  81. කවි සරණියලලිත් ද සිල්වා - නුගේගොඩ
  82. උත්තම ජීවිතයඋතුරු ලන්ඩනයේ එන්ෆීල්ඩ් පන්සලේ පනාමුරේ තපස්සී හිමි
  83. මිතුරුදමශ්‍රියානි උඩුගංගොඩ - මහනුවර
  84. නිර්වාන මගවෛද්‍ය කමල් විතාරණ - ලන්ඩනය
  85. දිවි මගකුමරි විජේරත්න - ලන්ඩනය
  86. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමිපියුමි ජයකලණි වික්‍රම ආරච්චි. එක්සත් රාජධානිය
  87. ම‍ගේ ජීවන ගමනඅසෝකා වල්පිටගම - කොළඹ
  88. නිවටුන්ගේ නගරයවෛද්‍ය ඇනෙස්ටා විජේසිංහ - ඕමානය
  89. පුතුගේ උතුම් මෙහෙවරට සිහිවටනයක්මාලිනී වික්‍රමනායක - කොළඹ
  90. පුතු හෙට යනවාලුම්බිණි විතාන - ලන්ඩනය

අවමඟුල් තොරණ

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

සොහොන ළඟ තොරණ
හරි ලස්සනට ඇන්දාට
එන අයට තමයි ඒ
නොවෙයි මළ උන්දෑට

සුදු තමයි ගැළපෙනා පාට
දුක්මුසු දේට
එත් හැම තැන ම වගෙ
තියෙන්නේ කළු පාට

පෙති හැලෙන මලක්
ඇන්දොතින් පරවෙන රෑට
හොඳ වුණත් මල් මැරෙන බව
මතක දෝ කාට

කඳුළු බිඳුවක් අඳිමු
පෙනෙන්නට සංකාව
අමාරු ම නම් ඒක
අඳිමු අපි ලංකාව

(ගෙත්තම් පාණ, නවතම කාව්‍ය සංග්‍රහයෙනි )

ඇහැළ මහේ අළු දූලි

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඇසළ මහේ අළු දූලි වුණේ
අපෙ මිතුදම් නොව ඔබෙ හරදහම්
අහිමි කළා අපට උන් හිටි තැන්
ඉතිරි වුණේ ඇඳිවත විතරයි
කුමක්ද මේ ජීවිතේ
අපි කවුරුද කවුරුද මේ රටේ
පුංචි කෙනෙකි අපෙ හොඳ අප්පා
ඔහු සමසමාජ වුණත් ඇන්දෙ වෙට්ටියයි කමීසෙයි
සුදු - නම ඇන්තනි - රොක්සාමි - ඒ.ජේ. කරීම්
එක්ක එකට වාඩි උනේ - වයන්න මිහිරි නාද
ඔබ සතුටු කරන
මැන්ඩලීනයත් රැගෙන උදෙන්
ගුවන් විදුලියට ගියේ පයින්
අපි ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ දෙමළ මාධ්‍යයෙන්
සිංහල ලියන්න බෑ - කතා කරන්න පුළුවන්
බැතිමතියකි අපෙ හොඳ අම්මා
ඇසුවා භජන් ගීත නිවසේ
තෝසෙ වඩේ ඉඩ්ලි මෝරු සාම්බාරු හැමෝටම
බෙදා දුන්නා - පේළි ගෙදර - දෙමළ සිංහල
මුස්ලිම් - බෞද්ධ හින්දු - කිතුණු ඉස්ලාම්
අපි හිටියේ කළවමේ - එකට තමා අප්පා
දෙපා සතුන්ට තිරිසන් සතුන් ආවේශ වුණා එදවස
අපේ අප්පල - රොක්සාමි මාමල එක්ක
ඉන් පස්සෙ සිංහල සිංදු වාදනය කරන්න
පටිගත කරන්න සමහර යහළුවන් කැමති වුණේ
නෑනෙ පුදුමෙකට.... එහෙත්
අපේ හින්දු දෙවිවරු කී ලෙස කරුණාවෙන්
තාම වයමු අපි සංගීතේ
විඳින්න සොඳුරු ආදරය ඔබට සතුට දැනෙන
ඩිජිටල් ලෝකයට ගිහින් බලන්න - ඇන්තනීලා
රොක්සාමිලා - කරීම්ලා වාදනය කළ ඒවා
මොහිදින් බෙග් ගැයූ ඒවා
බුදුගුණත් සිංහලකමත්
තිබේ ඒවා අතර

මානව විද්‍යා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අම්මා, නැන්දම්මා සහ Mother in Law ලා

නිශ්ශංක දිද්දෙණිය

මව් පස, පිය පස දෙපසට නෑකම නැන්දම්මා
හෙළ සිරිතට, කට වහරට, හුරුවට නැන්දම්මා
ඇවැසි නිසා හිර ගන්නට ඇවැස්ස නැන්දම්මා
ලේ උරුමෙට උකුකම යා-වෙනවලු නැන්දා + අම්මා

සබඳකමෙත්, බහ දීමෙත් ගැළපුම නැන්දම්මා
අන්කල් විය අප්පොච්චා, ඇන්ටිලු බුදු අම්මා
කැන්දන් ආ කුටුම්බයේ කොටුවුණු මුත් අම්මා
ලේලි ගෙ රොස් පරොස් ඇත්තෙ වනතුරු අත්තම්මා

මව් මිය ගිය පුතු හිරේට ගන්නට යහපත් ලූ
එහෙම වෙතොත් නිනව්ව ලේලිගෙ හොඳ වෙනවා ලූ
පුතාගෙ නැන්දම්මා නම් බෑනට ළෙන්ගතු ලූ
ඒ ගෙදරට කසාදයේ පින්පල දෙනවා ලූ

නැන්දල දෙන්නෙක් එකගෙයි විසුමෙන් වූ හට නේ
අපූරුවට සරච්චන්ද්‍ර නාටකයට නැගුණේ
එලොව-මෙලොව පැටලුණු ලේලිට වූ පලි වැසනේ
නැන්දගෙ ඉරණම් පහරින් ඇය එලොවට යැවුණේ

එක ගෙයි කෑමත්, බින්නෙත් කසාද නෙක පන්නේ
හිර ගැනුමත් කලින් කලට එහෙමයි පැවතෙන්නේ
කලියුග කාලෙට ඕවා කොහොමද ගළපන්නේ?
බාර නොගෙන එන හැටියට වෙන කොහොමද ඉන්නේ?

එකගෙයි හිඳ කෑ කුටුම්බයක නිල කසාද සහතික තිබුණා ද?
ඒක නැතුව ඒ ගම්මැදිවල හිරු පායා අවරට නොගියා ද?
කාලෙට ගැළපෙන චාරෙට ඒ කොයිදේමුත් විරසක වෙනවාද?
එකගෙයි දපන්ට මේ කාලේ බැරි වරදට හේතුත් නැතුවාද?

යුවති-පතිගෙ දෙපැත්තෙ හිටි ගෙදර බුදුන් අම්මා
පති කුලයට හැරුණ විටදි වෙනස්ලු ඒ අම්මා
ඒරොප්පෙදි මුණ ගැහෙනා අරුමෙක සුදු අම්මා
Mother in Law උනාම වෙනවලු කරදර නිම්මා

අම්මගෙ හුරතල් පුතණ්ඩි සින්නෙට ගත් ලේලී
කැන්දාගෙන ගෙදරට ආ හින්දද මේ සෝලී
නැන්දල Mother in Law ලා අල්ලන පෙළපාලී
මෙරට-නොරට, සිරිත-විරිත, ගැළපුම ඇත පැටලී

Mother in Law උනත් මොකද අම්ම නෙ නැන්දම්මා
නැන්දම්මා උනත් මොකද Mother in Law අම්මා
වචන හරඹ උනාට මොක යහගුණ පිරි අම්මා
සිහිකර පදරුත් ගන්නයි බෝ ආදර පෙම්මා

කුවේණි වලප

චන්ද්‍රවංශ ඥානසේකර - කැලණිය

මහ සමුදුරු රළ වෙරළට ඇදුනා
ඒ දිය රැලි තඹ පෑයට හැරුනා
ඉරනම් නෞකා ඒ රළ දැවටී
තම්මැන්නා වෙරළ ට ඇදුනා

ගහ කොළ මොහොතක් නොසැලී සිටියා
අහසේ ඉර හඳ නැවතී සිටියා
කුමරුනි ඔබ දුටු අසුරු සැනේ
සදහට ඔබ රුව මා හද ඇඳුනා

නෑ සිය මිතුරන් ඉවත දැමූ යෙමි
උන් හද තුළ ගිනි අවුලා ලූ යෙමි
මේ බිම ඔබ හට නතු කර ලූ යෙමි
තනියට ඔබ ළඟ නිතර ම සිටියෙමි

මාතින් ඔබ හට වරදක් වී දෝ
නැතිනම නම් ඔබ හිත වෙනත බැඳුනි දෝ
නෑ මිතුරන් වෙත කෙලෙසක යම්දෝ
ඔබ නැති තැන මට ඉර පායයිදෝ

1973

ස්වකීය ආත්මයත් , නෑ මිතුරනුත්
දේශයත් ප්‍රේමයේ නාමයෙන් විජය ට
පාවා දුන් කුවේණියට සිදු වුයේ බලවත්
අසාධාරණයක් නොවේ ද .එහි ශාපයට
ලක් වූ ශ්‍රී ලාංකික ජනතාව මේ අත් දකින්නේ එය ද

පැටලී සිතිවිළි දැහැනක

ආචාර්ය පාලිත ගනේවත්ත - සිඩ්නි

ඕවිට වත්ත කෙළවර පැල ඉණි වැටට
මෑතින් පෙනෙන කුඹුරේ පැල දස අතට
වැනෙනා අයුරු දැක මනසින් මා නෙතට
නැග එන උණු කඳුළු කැට නොපෙනෙද ඔබට

සමුගත් පසුව ගුරු දිවියෙන් පෙර දවස
ලොකු හාමුදුරුවන් දකිනට හැම හවස
ගොස් පිළිසඳර මැද වියැකුණු දම් පවස
හදවත වෙළා යළි මතුවෙයි අද දවස

පන්සල බෝ මළුව සුද මනසින් හඟිමි
උණුවන කඳුළු සඟවා දෙනුවන් වසමී
මනසින් නිබඳ සිරිලක් මව වෙත දුවමි
කුමකට දුරු රටට අවෙම්දැයි සිතමී

මිණිබිරියන් දෙදෙන ගෙන පාසලට යමී
දහවල යළිත් උන් අරගෙන ගෙදර එමී
ලේලිය පිසූ බත කා ඇඳ මත නිදමී
බිරිඳත් සමග ගේ තුළ හිඳ සුසුම් ලමි

ඉඳහිට ගුත්තිලය ගෙන පෙරළා බලමී
වැත්තෑවේ හිමි සමග බරණැසට යමී
මනහර වෙණ වැයුම් නද මනසින් අසමී
දොරකඩ සීනු හැඬවෙයි දැහැනෙන් මිදෙමී

ලේලිය මිණිබිරිය සමගින් දෙනෙත ගැටේ
කෙළිබඩු රැසකි සොම්නස ඇය මුවග නැටේ
හෙළ බස නොම ඇසේ ඉංගිරිසියම කටේ
සීයා යන වදනපමණක් සවන වැටේ

පින්රිසි දනන් ඇරැඹු පෙර දෙවසරක
බොදු අරමක් ඇතිලු නගරය කෙළවරක
ලංකාරාම නම් වූ එහි ගොස් දිනක
හිමි නම හමුව එමි සිටි මුත් පිටරටක

පාළුව මකන්නට ගතවන මෙහි දවස
දොම්නස නසන්නට නිරතුරු ඇති මනස
ලංකාරාමයට ගොස් එමි හැම සවස
සාමීචියේ හිඳ සිඳ ලමිදම් පවස

ඉතිරිය මෙතැනින්...

වෙසඟනකගේ දියණිය ඇසූ ප්‍රශ්නය

බුද්ධදාස ගලප්පත්ති

ඔව් මම වේස ගෑනියෙකුගෙ දුවක් තමයි
ඒක ඇත්ත නිර්මල
ඔයා දැන් මටත් කියන්නෙ
ඒ නම්බු නාමෙ ම මේ බඩේ ඉන්න
දරුවටත් දෙන්න කියල ද?
මම ඒ අම්මගෙ දුවක් වුණා
ඇත්ත
ඒත් මම එහෙම අම්ම කෙනෙක් නොවන බව
හොඳටම දන්නෙ ඔයා
මම අපේ අම්ම වගේ
මෝඩ ගෑනියෙක් නම් නෙවි නිර්මල

අසන්න හිමියනි…

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

දිස්නෙ දෙන මේ බිත්ති වැසුණත් අලුත ගෑ සුදු සායමින්
ඔබ සෙලෙව් මගේ රුහිරු පුසුඹය දැනෙයි ඒ හැම පරයමින්

එබී බැලුවිට උදේ ගෙට වැඩි නවමු කැඩපත මුහුණතින්
තවම පෙනුණේ තැලී පිපිරුණු වත මලයි ඉදිමුණු නෙතින්

දිවිය පුපුරා කැඩී ගියදා මත් පැනේ මහ අනුහසින්
යළිත් කිසිදා සැදිය හැකිවෙද බිඳී ගිය කැඩපත ලෙසින්

සිත

වෛද්‍ය මනෝරි ගමගේ

නොසැලී තියෙන තුරු මතුපිට මල් විලක
හිනැහී ඉඳියි හැම නෙත් පිනවන ලෙසක
කැළැඹී ගියොත් ජල කඳ නොසිතුව දිනෙක
විසිරී දසත පාවෙයි මල් පෙති දුරක

කාලය විසින් කැළැඹුම සමනය කළ ද
පාවෙන රේණු යළි කෙළෙසක හා වෙත් ද
ආලය කෙතෙක් වූවත් යළි පැතිරුවද
වේවි ද එකතු වීමක් කල්පය ගිය ද

නැවතත් විඳිමි මල් විල දියඹට ඇරුණ
සුවඳත් දිදී හිනැහෙයි පෙර වූ ලෙසින
දුන්නොත් දිනෙක වරයක් දෙවියෙකු පැමිණ
පවුරක් යදිමි කැළැඹිලි යළි නොම දැනෙන

අහඹු සිතිවිලි …

ලාල් හෑගොඩ

අහසට වන් දිය බිඳ
සැහැල්ලු සිරුරෙන්
පාවී යන්නේ නිදහසේ

නොබලා
හැරදා ආ තුර දෙස
සැරිසරන්නේ සැරිසරන්නේ මාරුතය හා
මව් ගැබක් සොයමින්

වලාකුළු යුවතිය
මාරුතය හා විඳ සමහන් සුව
ගැබ්බරය දැන්
බරවී දෙපියයුරු
අඳුරු පැහැවී තන පුඬු

බූත වෙස් ගත් පහළ ලොව තුරු
දෑත් ඔසවා ගැයූ අයැඳුම්
පිරිත් ස්වර මැද
වලා ගැබිණිය
බරින් මිදුනිය

වැටෙන වැසි බිඳුවට
බුහුමනින් හිස නමා
නැවත හිස් ඔසවයි
තුරුපත්

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර ජනකවියා

කාරණාව බුදුවෙනවා ලකුණු දැනේ
නෑර කටුව ආවා මම සරණ ගෙනේ
බාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අඳුරුයි අද සුවාමිනේ

නින්දා වැසි අහවර කර
ඔබ කුස මත තැබු පියවර
මිනිසා සඳ මත පියවර
තැබූ අයුර පරදන'යුර

නැවතිණ මග දන විමසන
එක ම පැනය සිත රිදවන
ඇරඹිණ ගහ වැල අදරින
අත දිගු කර ඵල වැල දෙන

ලියැවින හද ඔබ නලවන
මියුරු ගීත පෙර නොඇසුණ
ඔබ හඬතියි සිත බිය ගෙන
කතන්දර සයුර නිමැවිණ

ඔබේ සිඟිති අත පතමින
බෝ කල් අතැඟිලි ගැණ ගැණ
මඟ බැලු පොත්වල සකි දන
තුටින් නට නටා හිනැහිණ

හද වෙරළස රැළි නඟමින
මුතු බෙලි කටුවක නැඟගෙන
දුවේ ඔබ ගෙනා තොස ගැන
වනන උවම් සොයමි කොයින

ගහ වැල මල් ගඟ දිය මින්
සමනලයින් පොඩි විහඟුන්
ඔබ සමග ම ගෙට ගෙවැදින
ගවුම් නැපි අතර හිනැහිණ

හිරු හිනැහිණ කුසුම් පිපිණ
රැය කළු බිඳ සඳ බැබළින
අප සමඟ ම කඳු නඟිමින
මගෙ දුවේ නුඹ ද ලොකු විණ

අපට නෙළා ගනු බැරිවුන
පහන් තරුව දෝතට ⁣⁣ගෙන
කන්ද නඟින දන සනසන
මග සලකුණු පෙන්වනු මැන

නොපෑහෙන ප්‍රේමය

වජිර ජයවර්ධන

ඩාවින්චිටත් බැරි උනා නම්
ආදරේ සිත්තම් කරන්නට
මම කවුද, මම ගැන ඔබට
මොනවගේ කියන්නද

ශේක්ස්පියර්ටත් අන්ධ වී නම්
ඔහු දුටුව සුන්දර ආලය
මගෙ ඇහෙන් පමණක්
එය පේන්නන්නේ කොහොමද

ටජ් මහල් වගේ වටින විදියට
ඉඳිවෙන්නේ කොහොම දෑ ප්‍රේමය
සාලිය වගේ අතහරින්නට
රජ කිරුළ වත් තිබේ දෝ මට

ජිබ්‍රාන්, ඛයියාම් වගේ
කවි ලියන්නට නොහැකි මම
කොහොම නං කවියකින්
මේ ආදරේ ලියා දෙන්නද

ඉරක් ළග තරුවක්
මලක් ළග බඹරෙක්
‍රැජිණ ළග සෙබලෙක්
‍රැලක් ළග වැලි කැටයක්

දරු ගැබක් වගේ දරාගෙන
මුඛවාඩමකින් වසාගෙන
ඇස් දෙක දිහා බලාගෙන
දරාගන්නං මගේ ප්‍රේමය...

දිවි මග යෙහෙළිය

සෝමබන්ධු කොඩිකාර - මෙල්බන් නුවර

මගේ හද වැළද ගත්,
සොදුරු කත.
ගෙවී ඇත බොහෝ කල්.
වියපත්ව ඇත අපද.

සරාගී ආදරය,
මතු නොවේ එදා මෙන්.
ගැඹුරු සෙනෙහසක් ඇත,
පැතිර ගිය හද ගැඹර.

මගේ දරුවන් හැදූ,
මව් කිරෙන්, ගුණ බෙලෙන්,
ඔබයි ඒ දිරිය මව.

වරින් වර නැගී එයි,
මතකයට අතීතය.
ඉන්ද්‍ර ඛීලය ලෙසින්,
නැගී සිටි අයුරු ඔබ,
මා අතින් පැහැර ගිය ,
හැම විටම, ම යුතුකම්.

නැග්ගාද? නමුනුකුල,
කෙලෙස ඔබ පුතු කැටිව.
සනසන්න ලපටි සිත,
මග හැරුනු විට ගමන.

කෙලෙස දැනුනෙද? ඔබට,
මහා විපතක නිමිති.
මට නොවැටහුනු කලට,
පුතුගෙ දැඩි ව්‍යාධිය.

දියණියට හැම විටම,
උතුම් ගුණවත් මවක,
වී දුනිය , ජීවිතය
ගැන නොසෙල්වෙන නුවණ

ඔබට මා ණය ගැතිය
ගුණෙන් පිරි මා පියඹ

කොළපතේ අරුමේ

මාවැලි කුමාරි කුලතුංග - මහනුවර

පුවක් ගහෙන් කොළපත වැටෙනා තුරුම
ඉවසිල්ලක් නැතිව අපි සිටියේ කොහොම
පළවෙනි රවුම යන්නට කාටත් පෙරම
අදටත් මතක්වෙනවා පොරබැඳි තරම

සතුටින් ගියත් ගල්කැට ඇති වැලි පාරේ
කොතරම් රිදුම් දුන්නත් අත නම් නෑරේ
ඇදගෙන යන කෙනාටයි ඊළඟ වාරේ
අමතක නොවේ මට කොළපත් සංචාරේ

කොළපත හිල්වෙලා බරු ගැහුනත් ඇඳුම
පසුපස හමගියත් එය නොදැනුන තරම
අඳුරත් වැටෙනතුරු නිම නොමවෙයි කෙරුම
දන්නෝ දනිති කොළපත් ගමනේ අරුම

ඇල්ලේ උඩ ඉඳන් පහලට රූටාන
හැල්මේ ගියා බය දැනුනේ නැති ගාන
ඉඳහිට පෙරළිලා වැටුනත් මඩ ගාන
කවුරුත් සිනාසී හිටියා ඉවසාන

කොස්කොළ ඔටුන්නක් දා රජවුනු ගාන
ගොක්කොළ ඔරලෝසුවත් අත පටලාන
කූරටියා දුන්න උරකින් එල්ලාන
කොළපත අරා ගියෙ රණ හඬ පතුරාන

කොළපත් වාහනයෙ නැග ලොකුකම් පාන
පොඩිවුන් එදත් හිටියා අණ පතුරාන
කොළපත ඉරුනුපසු කෙළි වෙයි අවසාන
අත්තක් වැටෙනතුරු යලි බැලුවා මාන

පොඟවා පදම්කර "බත් ගෙඩි" බඳින්නට
කිරි දරු පැටව් නාවන කල හොවන්නට
"වාං පතුල්" ලෙස ගොවි පය රකින්නට
කොළපත තමා හිටියේ ලඟ උදව්වට

සොබාවික දෙයක අගයක් නොම දන්නෝ
අරුමෝසම් ලොවක පාවී වැනසෙන්නෝ
අතීතයේ විසිතුරු විඳි අපි වැන්නෝ
මනසින් එවන් අසිරිය දැක සැනසෙන්නෝ

සොබාදම් මවගෙ සුව බර තුරුල්ලේ
ළමා කාළයම ගෙවුනා නිදැල්ලේ
ආයෙත් යන්ට හැකිනම් මේ ඇසිල්ලේ
සැක නැහැ සිත් සතන් සතුටින් ඉපිල්ලේ

09.06.2021
(ඦායාරූප අනුග්‍රහය නිමල් අබේසිංහ මහතා)

‘හයිවේ’ දසුනක්

ජයතිලක කම්මැල්ලවීර

වැහිබර අහස යට
පැතිරුණු පුරන් කුඹුරක
බිම කොටයි
වියපත්, කෙසඟ ගොවියෙක්

නිසරු කෙත්වතු මැද
උස්මහත් වූ කන්ද
බොහෝ ඈතට පෙනෙයි
එහි නැගුණු විහාරය

මීදුමෙන් වැසී යයි
ධවල පැහැ බුදු සිරස
රන්වනින් තෙද පායි
තුඟු, විසල් වට බැම්ම

දුරින් දුරටම ඇසෙයි
ඝණ්ටාව හඬන හඬ
සිහින් කෙඳිරියක් සේ
තෙත්බරව, දුක්බරව

ඉවසනු නොහැක පාළුව…..

කපිල කුමාර කාලිංග

ඉවසිය නොහැකිම දෙය
මේ පාළුවයි.
උණ , හිසරදය
සන්ධි වේදනා නොව
මේ කුරිරු පාළුවයි.

වමත එන්නත් ගැටයෙන්
නැගෙන සේය අත් රිකිල්ලක්
කොරෝනා ඇඳිරියේ.
එහි මලක් - මල් කිණිත්තක්
පිපුණොත්
එයත් අසිරියක් මැයි
නාදුනන බඹරුන් කැඳවන.

ළඟම නිවසින් පවා
කිසි හඬක් නොනැගෙයි
කඩු කිණිසි හඬ පවා
කොතරම් වටනේද
ලොවට පණ ගැසෙන්නට ?

ඉවසනු නොහැකි තැන
පළා යමි,
මුරකාවල් මුළාකර
සුපුරුදු අවන්හල වෙත.
සීතල දොරගුළු දැක
සොවින් ආපසු හැරෙමි.

"හෙටක්" යනුවෙන්
තිබුණි දවසක් පෙර
කොහිද අද එය
සෑම දිනක්ම
එක විලසය

ඉවසිය නොහැකිම දෙය
මේ පාළුවයි
මිනිස් කටහඬින් තොර
මේ පාළුවයි............

මතක

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ

මව්කම අතැර නිවනට යන පාර වැද
අවුරුදු කීපයකි සීතල දුරුතු අද
බිවු රස කිරෙන් සවිමත් දූ පුතුන් හොඳ
මවු ගුණ ගයනු දෙව් ලොව සිට අහනවද

මහ ගෙයි අඩිය තියනා හැම වෙලාවෙම
සුවඳයි පිච්ච මල් ඒ මුළු පලාතම
අම්මගෙ අතින් පැළවුන මල් ගහේ හැම
මලකම රැඳී ඇත්තේ හදවතේ පෙම

සිය පණ විළස දරු කැළ රැකගත් බැවින
දරුවන මහා රුක් සේ උස් වී වැඩින
ඔබෙ පණ නිදන තැන යටි පස මත වැවෙන
මොන මොනවදෝ මල් ඇත හැමදා පිපෙන

හවසට පොරොවගෙන ලිප රස්නෙට එබුන
පස් යට සීතල ද අඳුරු ද ඔබ හිඳින
අම්මට තනි ද කවදත් පිරිසෙම රැඳුන
සදහට ළඟම වැතිරෙමි දවසක නිවුන

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

කුලුණින් ගුණින් නුවණින් පසිඳු හැම තැන
සුදනන් සෙවුන නිරිදෝ ලෙව් සත රකින
දෙහිරුන් මලින් රොන් ගෙන යන මෙන් සෙමින
නියමින් අය ගනිති සත සිත නොතලමින

සැම කල්හි කරුණාවෙන් ගුණයෙන් හා නුවණින් ප්‍රසිද්ධ වූ
සත්පුරුෂයන් ඇසුරු කරණ ලෝක සත්වයා රකින්නා වූ
රජවරු මී මැස්සා මලින් රොන් ගන්නා සේ රට වැසියාගේ
සිත් නොතලමින් නියමය පරිදි අයබදු අයකර ගනී.

එකෝමත් එක කලෙක

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම  

සීත ලන්ඩන් නුවර
සියවසකටත් ලඟයි දැන්
ඔක්ස්ෆර්ඩ් වීදියේ සක්මන් කොට
යූස්ටන් හන්දියේ
පාර පනින්ට බලන් ඉන්න කොට
කවුදෝ අතවැනුවා එහා පැත්තේ
පැන ගන්න බැරිවුණා අනිත් පැත්තට
ගඟක් වගේ ගලන වාහන පෝලිම
රසල්ස්ක්වෙයා උමං දුම්රිය පොළේ
බලා හිටියා  පැය ගණනක්
නුඹ බැස ඒදැයි
විහිදාගෙන රන්වන් කෙස් කළඹ
නුඹෙ ගමේ ඇල්ප්ස් කන්දේ
හිමවගේ සුදෝසුදු
සිනා වෙන් මුව සරසාගෙන
ඇත්තට ම එදානම්  නුඹ ආවා
කොහේ ද අපි  ගියේ
හරියට ම මතකයි
ක්වීන් මේරි රෝස උයනේ
ට්රැෆල්ගා ස්කවෙයා වල
පරෙවියන්ට විලඳ කවා
තේම්ස් ගං ඉවුරේ
හෙවනැල්ලක වාඩිවෙලා
අපි හිටියා පැය ගණනක්
විදිමින් ග‌ඟේ  සුවඳ
ලන්ඩන් ගැලරියට ගියා ඊළඟට
ඔබ කැමති සිත්තරුන්ගේ  නිමැවුම් දෙස  පැය ගණන් බලා සිටියා
වැන් ගෝ ගෙ  සිතුවම්වල කහපාට ට  ඔබ වැඩියෙන් ම කැමතියි
ලෝකෙ තියෙන ලස්සණ  ම පාට
කහපාට බව
කියා දුන්නා ඔබ මට
ඒ වැහි බර දිනක්
එත් නැහැ වැස්සක්
තවත්  කොහේ හරි යමු  අපි
යෝජනා කළා  ඔබ
නැග ගත්ත  ඩබ්ල් ඩෙකර් බස් එකක උඩු මහලට
උඩු මහල  පාලුයි
අපි දෙන්නා විතරයි
ඔබේ දෑතේ සිතල
තවමත්  මා සිරුර හිරිවැ‌ටෙයි
ඒත්  මට පෙනුණා
නොබැලු වත් මා කෙළින්
ඔබේ දැසේ
ගල්වුණ කඳුළු  බින්දු
ලන්ඩන් සීතලේ
දවසටම නොකෑවත් කිසිවක්
ඔබට බඩගිනි  නැහැ කීව
මටත් එහෙමයි
වික්ටෝරියා දුම්රිය පොළේදි
අපි සමුගත්තා
මහාද්වීපික දුම්රියට  ඔබ නංවා
වචනයක් වත් නොදොඩා
වේදිකාවේ ඈතට පියමං කර
මා බලා සිටියා
ඔබ  ගිලගත්  දුම්රිය
හෙමින් ඇදී යන හැටි

උඹ
කඩලා අගුවට විසි කරයි කියලා
මම හිටියේ
දවස් ගැන ගැන.

අන්තිමට හමුවුනා අගුපිලක
සිරීම් කැපුම් කෙටුම් තුවාල
මුව පුරාවට.

පෙරල ගතිමි
හරි අපූරුයි පසු පිට
පැල්ලම් ලප කැලැල් කිසිත් නැති.

මංගල රැයේ
සිරියහන අතුල
පිලිකඩ තරම් සුදුය
සිනිදුය විසල්ය
ඒ පිටුපස.

ඕනෑ තරම් අතගා
කප කපා සිය දහස්වර
කවි ගී බලි රූ
කුරුටු ගෑමට
කැටපත් පවුර තරමටම මහ ඉඩක්.

උඹ
කඩා පාරට නොදැම්මා නම් කෝ
මට කවි ලියන්නට
බලි අඳින්නට
මෙවන් පලලැති පසු පිටක්

17/09/2021
කෝවිඩ් පොසිටිව් තහවුරුව 11 දින

දැනගත්තා දැනගත්තා

කල්ප පල්ලියගුරුගේ - එංගලන්තය

මිහිකත පාඩම් සාගරයක් බව දැන ගත්තා .
විෂයන් පරදා දින දින කියවන පාඩම් ඉගෙනත් ගත්තා
අනෙක් අයට බලපෑම් කළ නොහැකි බවත් වටහා ගත්තා,
මට හොඳම යැයි හැඟෙන පරිදි වැඩ කල හැකි බව දැන ගත්තා .

මිනිසුන් තමන්ගේම බවත් ඉගෙනෙත් ගත්තා,
දන්නා දේ වෙනස් කළ හැකි බවත් දැන ගත්තා
වෙනසට අකමැතිනම් වෙනසට කැමති යුතු බවත් දැන ගත්තා
සියල්ල වෙනස් කිරීමට සිදුවන බව දැන ගත්තා

ඊළඟ වටවල ප්‍රශ්න වැල් එනවිට දුර සිට දැන ගත්තා
කෝප නහරේ කැපිය යුතු බව දැන ගත්තා
ප්‍රතික්‍රියා වෙනස් කරන ආකාරය දැන ගත්තා
එයින් ඇතිවන ධනාත්මක බලපෑමුත් ගැන දැන ගත්තා

සෑම දිනකම පාඩමක් ඉගෙන ගන්න ඇති බව දැන ගත්තා,
අද ගත් පාඩම හෙට වැදගත් වන බව දැන ගත්තා
තමුන්ට තමන් විශ්වාස කල හැකි බව දැන ගත්තා
ඉගෙන ගත් දේ ක්‍රියාවට නැංවිය යුතු බව දැන ගත්තා

සියල්ල සැමවිටම ලැබෙනේ නැති බව දැන ගත්තා
නමුදු වස්සානය නිමවෙන්නට ඇත්තෙ පියවරක් බව දැන ගත්තා
මී විතක තනිවෙන්න අවැසි බව දැන ගත්තා
පස මිතුරන් සමග මී විත හොද නැති බවත් දැන ගත්තා

සිංහයා සහ මා

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

ඒ ජවනිකා තවත් හසරැලි නොදේ නම්
ගල්පර වෙරළ රළ මෙන් හිත සැලේ නම්
මේ හුදෙකලා රාත්‍රියේ දැන්
අරුමයක් දෝ සිදු උනේ

සිංහ කූඩුවේ හිරවී අසරණ වී
දිවි පරදුවෙන් ඉන් ගැලවෙන්න දඟලන
නිහඬව රඟන මේ සත්වයා
මම්ම නේදෝ මට හිතේ

මසිත රිදව රිදවා මුළු රාත්‍රියේ
වියරු සුළඟ මෙන් හිරිහැර දෙන දිනයේ
හැලෙන වර්ෂාවේ තෙමී තෙමී
මාද යාදෝ තනි වෙලා

2021 සැප්තැම්බර්

එක් නොවැම්බරයකට පෙර

මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර

සුමනෙ උඹට මතකයිනෙ
“වානේ පන්නරය ලැබූ හැටි”
“රතු ඔක්තෝබරය”
ඒත් අද රුසියාව වළදාල
අපෙ හිතෙත් ගිනි පුලිඟුවලට
දිස්නෙ දුන් ඒ ඔක්තෝබරය

රේණුටයි මටයි නම්
දැනෙනවා තවමත්
එදා අපේ ඔක්තෝබරයෙ
වෙඩි බෙහෙත් ගඳ
එක වාගෙම

උඹේ කාමරේ බිත්තියේ
අඩි පහමාරක උසින්
තවමත් තියෙනවා තුවාල
වෙඩි උණ්ඩ පසාරු කළ
දණ ගැහුවෙ නැති නිසා
උන් ඉදිරියේ උඹ

ඒ ඔක්තෝබරයෙ මූසල දවසක
මං උඹට විදිල්ලෙන්
"ඒ පණිවිඩය" අරන් එනකොටත්
උන් ඉස්සර වෙලා තිබුණ
බඩකුත් දරා ගෙන රේණු හිටියේ
සිහි විකල්ලෙන්

කාලෙකට කලින්
නිතර නිතර අහන හින්දම
කියා දුන්නා ලොකු පුතාට
බිත්තියේ සනීප නොවෙන තුවාල ගැන

ඒ වුණත්
"තාත්තා" කියනවා
ඌ තවම මට

මරා දාන්න බෑ කවදාවත්
ඒ කකියන ඔක්තෝබරය
මකා දාන්න බෑ කොහොමවත්
ඒ රතු පැල්ලම්
හැව අරිනවා තවම
විප්ලවය

දෙපා-සිව්පා

කිවිපති නන්දසේන පලිහක්කාර

හිත හොඳකම කෙනෙකු සතූ
නැත රන් -මිණි-පබළු-මුතූ
තෙත මනයක් පපුව රැඳී
වත පළවේ අමර තතූ

බත් තණකොළ වෙනස දැනී
ගත් නිවැරැදි අරුත පෙනී
සිත් සුපසන් අසිරිමතා
උත් තම මඟ දෙපිය මනී

ඇති පව්මල නොකර තුනී
ඇති වටතිර අඳුර පෙනී
නැති හැකියා නිගුණ කෙනා
ගති සිව්පා ඇඟට ගනී

දැන සිව්පා දෙපා ගතී
කෙන-කුට කිසි නොවී ගැතී
තැන සුරකී දිනුම් බිමේ
ජන සම්මත කමේ රුතී

පෙර දැකු මෙන් හැදුණු ළමයි
මිනිසකු සතු වටින කමයි
බිළිඳකු වී ඉපදුණාම
පොඩිලොකු කම් උරුම තමයි

තිරිසන් ගති හුරු මිනිහා
සුපසන් ළය ඇත කොනිහා
විමසන් යන යමක් ලොවේ
අවසන් විය යුතු වටහා

විමසා දැන ළබඳ සෙනේ
පවසා යන දුරට පෙනේ
සකසා ගත් නැණස බලේ
මිනිසා සතු පරම දනේ

දැන නොසිටින සතෙකු දෙපා
දෙන වදනට සිනහ පපා
වෙන යටිමඩි ඇතිව සිතේ
එන ගමනෙකි දෙතොල හපා

යන අදහස නැතිව සිතේ
පැන දඟලන හතර අතේ
තැන නොතකා කළ විගඩම්
පින පව සටහනකි පොතේ

පමා දොසින් අඩමානේ
හමා හඹන නර සීනේ
නිමා නොවන දිවි මංකඩ
තමා පමණි අවසානේ

ඇහැළ මහ

දයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය

සිහිනි රුවැති මල් විසුරණ
ඇහැළ මහේ සැන්දෑවක
ඔබේ නෙතග මුතු කඳුලක්
දිදුලනවා පෙනුණේ

ඒ කඳුලැල් බිංදු මැදින්
සෙනේහයේ සුවඳ පද්ම
ඔබේ නමින් මහද විලෙහි
නෙක සිරියෙන් පිපුණේ

දහසක් බිඟු සරත අවට
නොගැසෙන ලෙස කිසිවෙකු ඇස
මා පණ මෙන් ඔබ රැකගත්
හැටි මතකද ළඳුනේ

එක මොහොතක් දුටු මනතින්
සිනා පොදක් දුන් පමණින්
මා අමතක වී වෙනතක
ඔබෙ සෙනෙහස බැඳුණේ

ඔට්ටු ඔට්ටු ඔට්ටු කියලා ඉස්සර කාලේ
පුංචි පුංචි අපි ඔක්කොම හැංගුන තාලේ
රංචු රංචු රංචු ගැසී අඹ ඇට පැන්නේ
අයිස් පයිස් ටින් කඩන්න කවුදෝ එන්නේ

චක්ගුඩු චක්ගුඩු කියලා චක්ගුඩු පැන්නා.
ගුඩු ගුඩු දෙයියං කියලා ගමේම දිව්වා
පොල් පිත්තට අණක් ගහලා හරකෙක් හැදුවා
ජංග් මංග් ජංග් මංග් කියලා ඌව එලෙව්වා

උච්චි උච්චි කියපු ගමන් තෝල් කියනවා
නැට්ට නැති කොලේ ගේන්න අනක් ලැබෙනවා
නැට්ට නොමැති කොල ගේන්න වත්ත පෙරලුවා
පත්තර කොලයක් ගේන්න අපිට බැරි වුනා.

උනුවතුරෙන් දෙකක් දෙනවා ඒක හරි සැරයි.
ඇල් වතුරෙන් තවත් දෙකක් ලැබෙනවා සිකුරුයි
පරඝනකය ටෙලිපෝනය ලැප්ටොප් නැතුවා
ගහ කොල මල් සොබාදහම ගුරුවරුන් වුනා

නුඹ

පියුමාල් සමරතුංග

යුත් උවන් ලිය සදිසි සුපිපුන.....තඹර
ගත් නුවන් යුග ලෙසිනි පියඹන.....බමර
රත් ලවන් ඇති නා දල්ල පරදන.....අදර
සත් රුවන් ලෙද සිත කරවන.....නතර

නෙත් කැල්මෙන් යුතු මිහිරි.....ප්‍රහාසය
රතඳර වේ සම පිපුනු.....පලාසය
සිහිනිඟ පැද්දෙන සොඳුරු.....විලාසය
රැය දිගු කරවයි සිහින.....පරාසය

ඝන නිල් වරලස ගලන.....සොභාවේ
සුළඟේ රඟ දෙන කියඹු.....ලතාවේ
සේ හස සක්මන් කරන.....රටාවේ
සිදඟන වේ මැයි නෙතද.....මුලාවේ

පුන් සිසි විලස ඝනඳුරු නසනා.....එළිය
අම රස සදිසි රස ගෙනෙනා.....විලිය
හද විල පුරා අමදය දෙවනා.....දැලිය
නිදි සුව නොදී හිත සරනා.....අලිය

කොඳ මල් සැඟවෙනා රූ සිරි පිරි.....එළලී
රෑන කිතුල් මල් සේ කෙහෙ යුත්.....ගඟුලී
දුටු කල පාන ලෙද හස දුන්.....සැලලී
ඉරු මල් සදිසි කල මැන ලෝකය.....කලෙලී

(ජීවි)තේ රසයිද ………

රංජිත් ද සිල්වා - නවසීලන්තය

උණුම උණු කහට තේ කෝප්පයෙන්
ඉහල නැගෙන සුදු දුමාරයෙන්
බොඳවුණු වියැකුණු මුහුණක් මතුවී
අසරණ හඬකින් මුමුනයි ලාවට

වසර එකසිය පනස් පහක් පුරාවට
ගැලූ දහදිය කඳුළු ලේ මස් එකට කැටිකොට
පුජා කෙරුවේ තේ ගස් පාමුල - ජීවන බර මුදා හරින්නට
තේ දළු වැඩුණා කොලවන් පැහැයට

උණුවී නටනා ජලයේ තැම්බී
ජෝගුව පතුලේ සිරවී ඉන්නේ
සතුටක් නොදුටුව දුකම උරුම වුනු
මිනිස් පරපුරක් වග පසක් වෙනවිට
තේ බිඳුවක රහ - දිවට දැනේවිද

28 සැප්තැම්බර් 2021

පන්හිඳක කඳුලක්

එස් එල් සෙනෙහෙධීර, ලෙච්වර්ත්

නොපා සඟවා හදේ ගිනිදැල් ලෙවන් සැනසූ කිවිඳියේ ගජමන්

සැපා ලැබගෙන උරා රතිරස ඉවත ලූ නුඹ මුදලි කෝ සුපසන්

කපා ගෙන ගෙල නුඹම සියතින් නික්ම ගියදා සදහටම මෙලොවින්

දෙපා කඳුලින් දොවා සමුදුන් ජෝන් ඩොයිලි මමයි විරහ දුකින්

එදා කරතොට සමිඳු සෙවනත කොලුවෙසක් ගෙන ශිල්ප ලද විලසේ

සදා සැඟවී නොසිටියේ ඇයි සළෙලු ඇලපාතගේ දෑසින් මිදී නුඹ රහසේ

වදා දරුවන් සතර දෙනෙකුත් පතිඳු මියැදුණු ලඳක වෙත රිසිසේ

හදා නෙක කවි හතර පද ඔහු එවා රවටා බැඳුණි රස පහසේ

ලබා නුඹගෙන් නිබඳ කම්සැප දිනෙක මතු නුඹ අතැර යනු රිසියෙන්

සබා මැදවුව නුඹෙන් ලද සැප වනා ඔච්චම් කළා ඔහු නිතියෙන්

නොබා නිති නුඹ ලඟට ආවත් කවිය අවියක් විලස ගෙන රඟමින්

සොබාවකි ඇලපාත මුදලිගෙ හඹාගොස් රැවටීම නිති අඟනුන්

මුදා ගන්නයි නුඹව ඔහුගෙන් දෙවා තනතුරු කළේ පිටමං සිවුරුහළ දවසේ

එදා මානුඹ වෙතට පෑපෙම අත්හළේ ඇයි අහෝ පා යට තණපතක් විලසේ

නොදා නුඹ සා ගින්දරේ කවි උල්පතත් රැක වෙසෙන්නට සුවසේ

සදා මට බහ දෙන්න තිබුණා හිඳින්නට පුන් සඳක් සේ අහසේ

වෙලා අසරණ පතා පිහිටක් ලියා මාවෙත එවූ නුඹගේ සතර පද කවියක්

බලා වාවනු බැරි නිසයි මම නුඹේ නමටම ලියාදුන්නේ විසල් ගම්වරයක්

කලාවට කවි හපන් වූමුත් ගැහැණියකි නුඹ සලෙලෙකුට වූ ගොදුරක්

පෙලා මාහද දවයි ඇසෙනා කලට නුඹ ලියු කවි අදත් නෙතට දී කඳුළක්

කොළඹ යුගයේ සිත්ගත් කවි

ඉතාලි රණ බිමෙන් - ඉඹුලෙගොඩ ඇම් .ඇස් . ද සිල්වා

වසර තිස් පහක් අගනුවර තරුණ කවි සමාජයේ (අතකස)
ගරු භාණ්ඩාගාරික නිලය දැරූ ඇම් .ඇස් .ද සිල්වා ශුරීන්
වසට අසුවක් ආයු වළඳා 2000.09.14 දින අප අතරින් වෙන් වී ගියේය.

ගම්මානයක් ගිනිගත් වන තවම දැවේ
දෙසවන් බිහිරි කොට ෂෙල් වෙඩි පහර දිවේ
මොකවත් නුදුටු ජීවිතයක තුරුණු සුවේ
මේ යුද පිටිය මට මට එතරම් කටුක නොවේ

හිම කැට ඇසුරු කොට උස් කඳුවල ඈත
වනපෙත් මැදින් එයි තද සුළඟක් සීත
වැඩ පළවලට හිර වුණු හොඳටම දෑත
කෝකිලයෝ ගයත් මට කන්කළු ගීත

නිර්දය පහර දුන්නෙමු සතියක් තිස්සේ
සතුරා බොලොඤ්ඤා වෙන් නැත පසු බැස්සේ
පාලම් දමාගෙන සිහිසන් ගඟ ඔස්සේ
කූඩාරම් ගැසිමු එතෙරව මහ වැස්සේ

පය තැබූ ගම් නියම් ගම් සතුරනට නොදී
හැම මරු සටනක්ම ජයගෙන නැතිව නිදී
බිහිසුණු ගොතික් බලකොටු පෙළ දිගට ඇදී
අපි අද ඉඳිමු ලොකු රණ පිටියකට වැදී

කවි කිය කියා ඉස්සර මා ඔරු පැද්ද
කොහොමද අනේ අද රත්ගම් ඔය ඇද්ද
ලක් මව මගේ ලක් මව ගැන පරසිද්ද
මා බිව් කඳුළු මුහුදක් තරමට නැද්ද

1942 - දෙවන ලෝක සංග්‍රාමයේ ඉතාලියේ යුද පිටියේ සිට

මං තිරු වලට ගොං තඩියෝ

ගාමිණි සුමනසේකර

මාලගිරව් ඉගිලෙන රන් ගො‌යම වට
තාල නටන වහු පැටියන් හුරතල ට
බාල අමනයෝ‌ ගරහති උරුමය ට
බෝ‌ම ගරු සරුව අපි වැන්දේ වැවට

දහස් ගණන් ඉතිහාසයෙ දුර යන්ට
ගියත් මෙහෙම දේවල් නැත දැක ගන්ට
වැවක් තො‌ටක් නාඳුනනා පවිටන් ට
මහත්වරුනි බෑ කරුමෙට පින් දෙන් ට

දාගැබ් වෙහෙර බැඳ ජාතිය රැක ගත්තු
තුන් වේලටම බත සරි කලෙ අපෙ පුත්තු
රන් මිලවලට ලො‌බ බැඳගත් වල් සත්තු
මංතිරුවලට ගො‌න් තඩියෝ‌ අවි ගත්තු

බිඳි බිඳි නැගී රළ දිව එන එක පිම්මේ
අඳිමින් රටා විසිරී යයි වැව් බැම්මේ
ඉතිහාසයක අබිමන අහසට දැම්මේ
මතු පරපුරට එය රැක දෙමු ලක් අම්මේ

කිවිපති අප්පුහාමි

සැලළිහිණි යේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල නා හිමි

රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසි
මතකොවු ලේ තුරු වදලේ හඬන නිසි
වන සැවුලේ මඟ අසලේ පොර සැළසි
ගුරුබැවුලේ යව අවුලේ නොවී කිසි

සුර්ය තාපය වැටීමෙන් පිපුණු නෙලුම් මල් ඇති
විල්වලින් ගැවසුනා වූ සුදුසු වූ වදුල් වල මත් වූ
(තරුණ) කොවුලන් දෙපස හඬලන්නා වූ, වළි
කුකුළන් පොරට වැටී තිබෙන මාර්ගයෙහි
කරදරේ නොවැටී යා ගන්න.

"මෙට්ටෙ හොඳට ම සවුත්තු වෙලා" - බිරිඳ

සැබෑ ය
වල ගැසී ගොස් ය
සුව පහසු නැති ය
නුඹ මා නිදන දෙතැන

එහෙත් ප්‍රිය සබඳ,

තවමත් ඉතිරිවැති
සුවපහසු තීරුවකි
අප දෙදෙනා වැතිර
නිදනා දෙතැන අතර

පතල් කවි 2021

වෛද්‍ය උදාර කුලරත්න - එංගලන්තය

නිම්මා නොවන රෝ ගින්නෙන් දැවීලා
ජන්මා දෙරන නෑ ලතැවුල් නිවීලා
සම්මා කම්මන්තයට කරගැට මැවීලා
අම්මා නොදැක දෑවසරක් ගෙවීලා

ඉන්නේ දුරු රටයි සත් සමුදුරින් පිට
බොන්නේ අඩු සීනි පූරුවෙ කල පවට
කන්නට කරවලයි මැල්ලුම් උනු බතට
යන්නේ කවදාද මවුපියො දකින්නට

පිපෙනා නෙලුම ලත් දිය වාසනාවන්
ගලනා කඩිති කෙත් බිම වාසනාවන්
හැලෙනා කදුලු නෙත් අග වාසනාවන්
දකිනා දිනක ගමරට වාසනාවන්

එදා සහ අද

රවිබන්ධු විද්‍යාපති

එදා අද මෙන් නොවී දිවිපෙත්
රුදුරු අඳුරම සැම'ත රජවී
බිහිරි කරවන සැවොම දෙසවන්
ගැඹරෙ නිහඬතා දසත ඇසුනී
එදා සැමතැන වර්ණ නොමවී
කළුව කළුවම ඇසට පෙනුනී
චලන වූ මුත් සලිත සැමදේ
නිසලතාවම ලෙසින් දැනුනී

අද එදා වගෙ නොවෙයි හැමතැන
මිනිස් ඇස් අඳ කරන එළි එළි
හැම විටම කන් තුලට එන්නේ
පිස්සු හැදෙනා සද්ද දසතින්
බලන හැමතැන කලබලෙන්
ඇස් කරකවන මහ පාට ගොඩවල්
දුවයි හැමතැන හිත් සලිත වෙන
වේග රිද්මික චලන ගොන්නක්

28.08.2021

ඒ ගොඩබිම දැන් හිස් ය

කනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

තැරැව්කාර සුළඟට බයේ
සෙයිලෝන් සාගර පූජාසනයට
පරවෙන්නට එන නෞකා කුසුමකි

වානේ පෙට්ටි හදවතක මළ කෑ
ප්‍රේමනීය ඇමරිකානු හීනය
බර්මියුඩා ඇස් අද්දරකවත් නොරන්දා
දුර කතර ගෙවා එයි කරුමය
ඇවිත් ගින්නට පනියි පතිනිය

මියෙන ප්‍රේමයෙ රුහිරු
පොවයි සමුදුරු වැසියන්ට
වසර ගණනකට සෑහෙන
ඔවුන් ගැන මතක් කර යන්නට
කැස්බෑ නියෝජිතයන් එයි
හැම දා ම වාගේ ගොඩබිමට

ඒ ගොඩබිම දැන් හිස් ය
ක්ෂුද්‍ර ජීවී ප්‍රහාරයකට අසු ව
අවුරුදු ගණනකට පෙර
එහි වැසියෝ මළෝ ය

අදත් යන කල අයිනකින් දූපතේ
යාන්තමට ඇසෙයි දෝංකාරේ
මුදලට පොර බැඳි වැසියා
කුලයට පොර බැඳි වැසියා
ජාතියට පොර බැඳි වැසියා
අවසන
මරාගත් හැටි
දීපයෙන් පිට වෙන්න

ඉගෙන සිප් සොඳ සේ
සිටිය බලවත් වයසේ
මට මහලු වයසේ
බැරිය වෙණ ගායනා පෙරසේ

ශක්තිමත් වියෙහි දී ශිල්ප මනා ලෙස ඉගෙන සිටි මට
මහලු වයසේ දී පෙර පරිද්දෙන් විණා ගායනා කළ නොහැකිය.

ම වෙණ අසමානය
ඉන් කළෙමි පෙර මානය
දැන් මට සමානය
ඉතින් විඳ කිම්ද අවමානය

මාගේ විණා වාදනය අසමානය. එබැවින් පෙරදී
උඬඟු වීමි. දැන් මට සමානය. එබැවින් අවමානය
විඳින්නේ මන්ද?

සටහන:
තම සිසු මූසිල තමා සේම විණා වාදනය කරණු අසා
කම්පාවට පත් ගුත්තල ඇදුරු කෙරෙහි එක්තරා
අනුකම්පාවක් ඇතිකරලීමට වෑත්තෑවේ හිමියන්
උත්සාහයක යෙදෙයි. තම සිසු තමනට සමාන වීම
හෝ තමා ඉක්මවා යාම නියම ඇදුරෙකු ගේ
සතුටට හේතු වන්නක් නොවේ ද? ඒ සතුට ගුත්තිල
අදුරුට විඳින්නට ඔහු සිත ඉඩ නුදුන්නේ ඇයි ?

මං තරහයි……ඒත්

කිවිපති ජනාර්ද ආසිරි විජේසේකර

සුදෝ සුදේ ඇඹරී ඇඹරි ඈත ඉදන් ලගට ඇවිත්
පිරිමදිනා ලෙසින් හිසක් කිති කවමින් මගේ ගතත්
ඇවිත් යනවා යළිත් එනවා පසුකරමින් මුහුදු හතත්
කොච්චර සැර පරුෂ වුනත්
අනේ මංදා මගේ හිතත්

හැමවිටකම මා බලන්න ආපු ඔයා එක දවසක්
බලන් ඉද්දි දුරට ගියා
අදහනු බෑ එවැනි දුකක්
මටත් නොකියා යන්න ගියේ හමුවෙන්නද අමුතු කෙනෙක්
කරදිය මැදුරත් මොහොතින් පණ යදිනා සොහොන් බිමක්

උසට උසේ ඝන කලුවට කන්දක් සේ ඔබ එනවා
මා පෙම් කල ඔබදැයි මෙි කියා මගෙ හිත අහනවා
මාවත් බිලිගෙන කල පව තවමත් ඔබනම් ගෙවනවා
මුකුත් නොවුණු ගානට ඔහු තාමත් මෙහෙ ඇවිත් යනවා

කෙලෙස මා තලන්නේ කියාපන් පුතේ මට

අනුරුද්ධ හරිස්චන්ද්‍ර වැලිගමගේ- කැනඩාව

නම් පොතේ නුබ නමට බිංදුවක් වැටුණුවිට
මගේ හිත වෙහෙසුණා නුබේ රුව සොයන්නට
විදුබිමම පොඩි දෙපා පියවරක් නොදුටු බව
කෑ ගසා කී නමුදු මා දෙනෙත සොයයි නුබ

කුඹුරෙ වල් නෙලන්නට , හේනේ පැල් රකින්නට
අප්පච්චි එක්කලා මී දෙනුන් බදින්නට
නෑවිදින් පාසැලට නුබ යලිත් එන කලට
කෙලෙස මා තලන්නේ කියාපන් පුතේ මට

නම් පොතේ නුබ නමට...

වෙහෙසවී පාඩමට වාර අවසානයට
හැමදාම පන්තියේ පළවෙනියා වුණා නුබ
සිත් දරා දිළිදුකම නෙතු සිනා සලනවිට
පුතේ නුබ ගැන හඩයි දුක හිතුණු මගේ හිත

නම් පොතේ නුබ නමට...

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය - ප්‍රියනාත් රත්නායක
ජාතික රූපවාහිනියේ ළමා ගී වැඩසටහනින් විකාශය විය

ගීතය මෙතනින්

1990-1992 කාලයේදී ජාතික රූපවාහිනියේ විකාශය වූ මේ ගීතය
VHS පටිගත කිරීමකින් . උපුටාගෙන ඇති බැවින් එහි ශ්‍රව්‍ය දෘශ්‍ය
තත්වයේ අඩුපාඩු ගැන කමා කරන්න

ඌරුවරිගේ වන්නිලාඇත්තෝ කී කවිය

කලාභුශන කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් කේ සරත් විමලසිරි

සහයෙට ගත් දොහේ සිට ඇඹෙණිය කැකුලී
කුලයට පණ දෙමින් සිටි පතිනිය මුකුලී
අවරට ගිය සඳක් සේ මැකුණිද මිහිලී
හනිකට ඉපදියන් දෙවු විමනක සුරලී

වරිගෙට නොකළ කිසි අවැඩක් මැණික පනේ
චරිතෙට උඹේ ගරු කළ ගහ වැලද අනේ
කොටයට පිලේ විත් කොළ අතු රැගෙන වනේ
තරඟෙට ඇඹෙරෙමින් කඳු ලැලි සලනු පෙනේ

දඩයම්කොරන් ආ වන පොජ්ජෙන් සතෙකු
කිසියම් දෙයක් නොකියා පිස දුන් කෙනෙකු
පෙරයම් දිනෙක මං ගච්චපු මා නොදැකු
කළයම් අඩුව පපු පොජ්ජේ ඇත නොමැකු

වැවු මංකඩෙන් නාගෙන දිය පිරුණු දොලින්
කවු රුත් නොවේ ඔබ දුන් හී කෙටිය මුලින්
ගවු රවයෙන් රැගෙන ගිය වන ගැබට කලින්
මැවු ඒ මතක පුච්චයි පපු සුසුම් දැලින්

මගෙ දෙයියො කියා මා ලෙඩ වුණු දාට
ඇගෙ පතෙ අමාරුව නැතිවෙන තුරු ඊට
තිගෙ සප්පායමෙන් වද නොමදී කාට
නැගෙ හිත් පොජ්ජේ කල දෑ තුන් තිස් රෑට

පැල් කොටයේ තැන තැන හැළි වළං බිදී
වැල් මී පොජ්ජෙ පැනි නෑ කට්ටටම සිදී
පිල් කඩ පුරා කොල අතු කුණු රොඩුද වැදී
හිල් වූ හදුන් පොජ්ජෙන් ලේ කදුළු විදී

ගිණිදා රෑ පුරා පැල පිල හැම දෝම
දිනිදා දකින තුරු අළුයම අඳුරේම
මතුදා මමත් පරලොව යනතුරු මේම
හැමදා දඹානෙම ඉන්නම් තනියෝම

සරසවියට පියමනිනා දෝනිට

වෛද්‍ය ශානි ඇන්තනි - ලන්ඩනය

වහිනා තුටු කඳුලු මැද දූ තෙමුනාවේ
ගලනා දුක් කඳුලු ගඟුලක් තැනුවාවේ
මාපිය සෙනේ ඔරුවක් වී පැදුනාවේ
රුවලට වාරු හෙලු සුසුමෙන් එතුනාවේ

ශිල්ප උගෙන මනු හසරැලි දකීවී
රෝබිය දුරැර හිත් සමනය කරාවී
දින දින ගුණන සිතු වැල් දුව වෙලාවී
දෙවි රැකවරණ නිරතුරු ඈ රකිවී

සංකා තැවුල් සිත් කොන වැට පනින්නයි
හැකි උපරිමෙන් දිවි මග ඔප කරන්නයි
තුරුණු වියේ සුන්දර රස විඳින්නයි
සිහසුන දරන්නට වීරිය ලැබෙන්නයි

අම්මගෙන් ❤️

සිල්වි – අනුවාදය

උදයංග අමරසේකර - ප්‍රංශය

මහා ප්‍රංශ සාහිත්‍යධර ෂොං පියේර් ද ෆ්ලෝරං විසිනි

ආදරයක සතුට
මොහොතක් පමණ රැඳෙයි
ආදරයක වේදනාව
දිවිය පුරා දිවෙයි

මේ සංකර සිල්වි වෙනුවෙන්
මම සියල්ල අත්හළෙමි
ඇය මාව හැරදමා
වෙන මිනිහෙකු ගත්තී ය

මිටියාවත වටකළ
මේ ගඟ ගලන තෙක්
මම ඔබට පෙම් කරමි ය කියා
ඇය මට වරක් කීවා ය
ගඟ තාම ගලයි
නමුත් ඇය වෙනතක ගොසිනි

ආදරයක සතුට
මොහොතක් පමණ රැඳෙයි
ආදරයක වේදනාව
දිවිය පුරා දිවෙයි

සටහන :
ඉහත කවියට අදාළ මූලාශ්‍රය මෙසේ ය :
Jean-Pierre de Florian (1765-1794),
Les Nouvelles de M. de Florian, 1784.
සිතුවම කීර්තිධර ඔස්ට්‍රියානු සිත්තරෙකු වූ
එගොන් ෂියෙල් (Egon Schiele, 1890-1918) ගෙනි.

ඉස්සර දවසක මියගිය සෙනෙහස

සුනේත්‍රා අලුත්දුන්නෙ

ඇසෙයි දුරකින්
ගීත රාවයක්
සැබැවින්ම එය අහම්බයක් .

ඉදින් දැන් දැනෙයි මට
හද සූරන
රිදවුමක් සහ
ඉසියුම් දාහයක්,
විසල් වූ හිස් බවක්
පුරවා දැමිය නොහැකිය
කෙතෙක් වීරිය කළත්.

එසැණ පූදියි මා මනසේ
රත්තරන් ඉර මලක්
පලා නිල් පාටට
වනරේඛාවක් සහ විලක්
ඒ විල වෙත වීය
දඟකැවෙන පටු මාවතක් .

වටවී ඇත එබිම
දාවලෙත් පළඟැටි තටු
ඉබේටම පිරිමැදෙන
අඩ අන්ධකාරයක්.

මී ගසක් විය විල අරා
ඉර එළිය වියනත පතිත.
රිටි සේ ගලයි ඉන්
සිසිල ද උණුසුම ද

සුළඟට මී මල් නටන,
පංච මීමැසි ගී ගයන
කෙම්බිමක්ය වීය එය අපට.

එතැනය හමුවුණේ අප.

මේ දැන් අවසන් වුණි
ඒ ළසෝ ගීතය
අවසන් වූ පසුත් යළි ඇසෙයි
එහි නින්නාදය,
තෙමෙයි රහසේම මා දෙනයන.

"ඔබ නාදුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණි ....."

ඔබ බුදු වනු දුටුවා අම්මේ!

මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

ගෙපැල් බිමේ මැටි සුණු කර බිම ඇතිරූ අම්මා
එබි‌මේ සෙනෙහස මැදිකොට බිත්ති බැන්ද අම්මා
එබැමි උඩින් මුදුන් වෙලා සෙවනක් වූ අම්මා
දෑස් මැදින් යුගත් හොවා උණුසුම දුන් අම්මා

ජයසිරි මහ බෝ සමිඳුට පහන් පිදූ අම්මා
ජයසිරි මහ බෝ සමිඳුගෙ පිහිට පැතූ අම්මා
ජයසිරි මහ බෝ සෙවනේ සක්මන් කළ අම්මා
ජයසිරි මහ බෝ විමනෙන් දරුවන් පැතු අම්මා

අටමස්ථානය වැඳ හෙව බුදුගුණ ගැයු අම්මා
හිත ගත් තානය මැද නිති ප්‍රාර්ථනා නිම්මා
කැපකොට පුද සැළකිලි ලැබ ගන්නට සිත් නම්මා
හැම දෙවියන් තෙද ඇති රැක දුන්නයි අපෙ අම්මා

පිළිසිඳ ගත් බව දැන ගත් දිනේ පටන් අම්මා
නොම රිදවන්නට මුදු ලෙස පියවර මැන පෙම්මා
බඩ දරු බැ`දි සෙනේහයෙන් සයනට වී අම්මා
අප හා ඇය කතා කළේ නොනිඳා නෙත් තෙම්මා

දරු සෙනෙහස දෝරෙ ගලා ළය පිරවූ අම්මා
ළයෙහි රුහිර කිරි කර කිරි කළ-කළ පෙව් අම්මා
නොකා නොබී නිදි වරමින් අප මත්තෙ ම අම්මා
දෑත් දෙපා මොළකැටි හැඩ ගැස්සෙව්වේ අම්මා

ඉපල් එක්ක උරණ වෙලා ගිනි බත කළ අම්මා
එබත් කටින් සා ගිනි දැල නිවා දැමූ අම්මා
හෝඩි පොතේ පිටු අතරේ සැඟවී සිටි අම්මා
අකුරු අතර අප සෙව්වේ සැඟවුණු අපෙ අම්මා

පාසල් යන්නට පය ඔසවන්නට පෙර මඟ ගත්තේ
දෙමාපියන්ගේ ගුරුහරුකම් පෙරහුරුවයි වත්තේ
“අයන්න අල්මයන්න මා” අම්මා දැක සත්තේ
ගෙදර බුදුන් වැන්දා පළමු ව මව්පිය මත්තේ

සුදු පිරුවට ඇඳි අම්මා බෝපත් සමිඳුන් වැඳලා
භාර-හාර ඔප්පු කළැයි තුටුපඬුරුත් ගැට ගසලා
මතකයි අප කැටුව ගොසින් ඒ ගැන සිහිපත් කරලා
කළුතර බෝ සමිඳුන් අබියස ඇය වැටුණා හඬලා

කළ වරදට සමා දෙමින් පෙන්වා හරි මඟ නිරතුරු
කෝප නොගෙන කියා දෙමින් ලෙස හිඳිමින් අපෙ සුමිතුරු
සහය වෙමින් කය වෙහෙසූ පියාට අපෙ ලොව දිවයුරු
ඔබයි අපේ ලඟින් ඉඳන් සිසිල දුන්න සඳ සොමියුරු

මිනිසුන් මැද මිනිසුන් විලසට ඉන්නට අම්මේ
පහණක් වී සිරසින් සිටියා අප හා අම්මේ
දුටුවන් මන බඳිමින් යහගුණ පෙරමඟ අම්මේ
සිටියෙන් හදමින් ලෝකය අපට අපේ අම්මේ

බැබලෙන හද නිලඹර සඳ නුඹ ම ය තරු ගොන්නේ
නොසැලෙන යද විලසිනි ඉදිරියට ම පිය මැන්නේ
එන-යන සෝ සුසුමට දිවි මඟ දුක් තෝ- තැන්නේ
අල්පේච ව හිටියෙ නුඹයි අප ඒ මඟ ගන්නේ

දුක් දුන් නැති දුක විඳ ගත් දුක නොපෙන්වු අම්මේ
අප කුස ගිනි පිස කුස ගිනි උහුලා සිටි අම්මේ
වරදක් වේ නම් අප අත සමා වෙලා අම්මේ
අපෙ හිත්වල දුක නිවන්න යළි එනව ද අම්මේ

හද වෙහෙරේ වෙහෙර ගැබේ නිරතුරු ඔබ අම්මේ
හිඳිනු දැනේ මට නිබඳ පූජාසනෙ අම්මේ
වළලු මැදින් දිදුලන සලපතළය නුඹ අම්මේ
කිරි වෙහෙරේ කොත් මුදුණට වඩිනු මැනවි අම්මේ

උගත්කමේ උසස් ගුණය උඩින් තබා උස හැදුවා
මිනිස්කමේ උතුම් ගුණය බුදු සිරිතෙන් ගෙන බෙදුවා
පුහුදුන් සිතිවිලි හැර දා සිරිදුල් කර සිත් පිදුවා
සිරිමහ බෝ සමිඳුන් ළඟ ඔබ බුදු වනු අප දුටුවා

හැම අම්මා කෙනෙකුට ම මේ කවිමල් පූජා වේවා!
සාධූ! සාධූ!! සාධූ!!!

ඉතිරිය මෙතැනින්...

තුරුණු හිතක සංතාපය

රේණුකා බණ්ඩාරනායක , පර්ත් , බටහිර ඔස්ට්‍රේලියාවදී

මුලු ගෙදරම පාලුවෙලා

සිනා ඔබේ හොරු ඇරගෙන

ඔබ හදගත් ඒ කුමරා

ඔබට හොරෙන් සමු අරගෙන

ගිය සතියේ මා දුටුවා

ඔබ තනියම හිනැහෙනවා

පුංචි දුවේ කීවේ නැහැ

සතුට ඔබේ මැකෙයි කියා

ඊයේ අපි සැන්දෑවේ

මුහුදු වෙරළේ පිය නගද්දී

මා දැක්කා ඔබේ දෙනුවන්

යුවළක් වෙත පියෑබුවා

කුමරු ඔබේ ඉගිලුනාට

එපා දුවේ ලතවී ඉන්න

හෙට දිනයේ අලුත් හිතක්

ඔබේ දිවිය පුබුදුවාවී

සමිඳුනේ බුදු සමිඳුනේ

ඒ.එම්.අබේසිංහබණ්ඩා - මහනුවර

සමිඳුනේ බුදු සමිඳුනේ
යොමා කුළුනෙත අද දිනේ
කරනුමැනේ මනුදනන්
යලිඳු ලොවේ සුවපත්.......

එදා දඹදිව බුදුන් දවසේ
තිබු තුන්බිය නුවර විශාලා
දුරුකලේ අප මහා මුනිඳුන්
රතනමහා සුතුර බලයෙන්......

සමිඳුනේ බුදු සමිඳුනේ.................

මෙදා ඉන්දිය දිල්ලි නුවරද
විශාලාවක් වැනිය හිමියනි
අනේ සමිඳුනි යොමා කුළුනෙත
මෙලොව තුන්බිය නසාලනු මැන

සමිඳුනේ බුදු සමිඳුනේ......

වඩින්නට යලි නොහැකි නියාවෙන්
දෙන්න සරණය තුනුරුවනේ බලයෙන්
කරන්න මනුදන මෙලොව සුවපත්
මහා කරුණාවෙන් බුදු සමිඳුනේ..............

ඹබේ ගමන මාගේ නොවේ

සපුමල් බන්ඩාර - ලන්ඩනය

(ගීතයකටද අගේ)

සිහින තොටු පලේ
නැව් නැග යන්නට සැරසීලා
අසනු එපා ඔබහා එක්වන්නට
ඔබේ ගමන මාගේ නොවේ

බැ‍දී වෙලී උනුසුම් යහනේ
ලොවුතුරැවු මනරම් රහසේ
නමුදු එය සිහිනයකි
ඔබේ ගමන මාගේ නොවේ

ඔබහට යන්නම ඕනානම්
මා පෙම සියුමැලි වැඩිවේනම්
කමක්නෑ ඔබ යන්න
ඔබේ ගමන මාගේ නොවේ

නොගැයූ ගුරු ගීතය

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම

දයාබර අල්තිනායි,

මදිද තවමත් කඳුළු සැලුවා - ඇස් කෙවෙනි ලේ පැහැය වෙනකම්...
මදිද තවමත් සුසුම් හෙළුවා - මහා පර්වත සැලී යනකම් ...
මදිද තවමත් රිදව ගත්තා - ගැහුණු හදවත පැලී යනකම්...
මදිද තවමත් බලා සිටියා - අතැර ගිය ඔහු යළිත් එනකම්...

දයාබර දුයිෂෙන්,

පමා නෑ තව ඇය බලන්නට
පුරුදු පොප්ලර් ගහේ පාමුල...
ඊයෙ තැනවූ සොහොන් කොත යට
තාම ඉන්නවා ඇය බලා ගෙන ...

ලොවක් සිටියත් ඇයට ළබැඳිව
ඇගේ බැති පෙම නුඹට බර වුණ...
නුඹට පේ වූ ගුරු පඬුර ලෙද
නුඹේ සතුටයි පැතුවෙ සැම දින...

මිය ගියේ ඇය බොහෝ කල් සිට
එදින විය නුඹ ඇගෙන් වෙන්වුණ...
ලොවක් නිදනා රෑක රහසෙම
පොප්ලර් ගහකුත් කීවා අහසට...

(මෙය මාගේ කුළුඳුල් නවකථාව වන වසන්තයේ දවසක් කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි)

දාන පාරමි

කංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය

වෙස්සන්තර දරු දෙදෙනා දන් දුන්නා සේ
සිරිසගබෝ තමන් සිරස දන් දුන්නා සේ
නුඹ දන් දෙමි ඇයට, මැයට
නුඹ සිත් ගත් බොහෝ අයට
සිතත් කයත් රැගෙන යන්න
කිසිවක් මට ඉතිරි නොකොට!

ස්වයංවරය අමතක කර
⁣තෝරාගත් කුමරුවාය
සැක බිය පිරි පෙම් පුවතක
රැගුම් රැඟු මල්සරාය
කටු ඔටුන්න හිස රඳවා
සිත රැවටු සුන්දරාය
නුරා ලඳුන් සුරා බඳුන්
ළඟ වැජඹුණු පෙම්බරාය

දැැගිලි බැදි හුය විසිකර
වෙනතක ගිය බව සැබැැය
යලි භවයක මුණගැහෙන්න
අකැමති බව දත මනාය
සිතින් කයින් නිදහස්වෙමි
කදුලු නොඑන බවසැබැැය
සතුටු සිතින් නුඹ දන්දෙමි
නොරැඳිි යනු මැන මනාය!!

27 September 2021

මල්සරා නුඹ කොහිද ..?

නිසංසලා දිසානායක - නුගේගොඩ

'පවුලෙන් ම ලස්සන එකී' '
අපෙ පිනට පහළ වුනු'
අම්මා එහෙමයි කිව්වෙ
කාලෙකට පෙරදි නම්..!

කලවයස ගෙවී ගිය
ගෙදරටම කොටු වෙච්චි
පවුලෙ වැඩිමල් එකී
හැමෝටම දැන්නම් බරක්...!
අසුබ පෙර නිමිත්තක්..!!

කැඩපතට එබෙන කොට
දුටුව මම නර කෙසක්
නළල මැද්දට වැටුන..!
මට නොදැනි පලායන..
මගෙ භද්‍ර යව්වනය..!
රැ පුරා හීනෙන් සරන..
සඳ කුමරුනේ වඩිනු ...!
මා කැන්දගෙන යන්න..
මගෙ හීන සැබෑවී පැතුම්
මල් පිබිදෙන්න...!
දිනෙන් දින ගත වෙවී
කල්යද්දි මගෙ දීගෙ
හිත ගත්තු ඔහු එක්ක
හැංගිලා රැ පානෙ
මද්දුමියෙ නුඹ ගියත්
තරහ නෑ කිසිදාක....
නුඹට බෑ මං හින්දා
හීන නුඹෙ බිඳගන්න..
ඇවිත් පලයන් ගෙදර
අම්ම මග බලාගෙන...!

පොඩ්ඩියේ හෙට දිනේ
නුඹත් දීගෙක යනව
ගෙයි මැද්දෙ කලබලය!
කෙළිකවට,හිනා හඬ...
සතුට පිරි නුඹේ වත..!
හැඟෙනවා නුඹෙ හැඟුම්
කඳුලු මගෙ හංඟගෙන
පතන්නම් සුබ පැතුම්!
මට අහිමි නුඹට හිමි
යුග දිවිය සරුවෙන්න..!!

මගෙ පැතුම කවදාක
ඉටුවෙයිද දන්නෙ නෑ..
කීරි ගස්සන හිතම
තනිකමද උරුම මට..!
තනිකඩව, පාළුවෙන්
ගතවෙයිද මගෙ දිවිය..
මගෙ හිතේ දුක්, සුසුම්
පවසම්ද කාට මම්...!
මල්සරා නුඹ කොහිද ..?
මඟ අරියි නුඹෙ දුන්න ...!!

දිවැස් හෙලනු මැන

දීපා ද සිල්වා - ලන්ඩනය

තෙද බල රිවි කිරණ පතුරා අහස් තලේ
හිනැහෙන කුසුම් පෙති සිඹිමින් ඔකඳ කලේ
තුරු ලිය ලඟට විත් පෙන්වා තිබෙන බලේ
රහසක් කියන මද නල ඒ සමග සැලේ

රන්වන් කරල් හිරු රැස් පහසින් දෝවයි
පළවැල රසින් සරු වී පදමට මෝරයි
කල් යල් බලා වැසි ලැබ මිහිකත සාරයි
දිනකර ඔබට මේ තුන් ලෝකෙම බාරයි

රෝ දුක් වසංගත ආ විට පෙර කලදී
ඔබෙ රැස් කඳ ලඟදි ඒවා නිති පරදී
මෙතරම් සැහැසි වූ වයිරසයක් ලඟදී
බලා සිටින්නේ කිම පිලි රූ පරිදී

ඔසවා දෙඅත පිහිටක් අයදිනා විට
අවුහරණක් ම විය මනු සත් හදවතට
කිසි දා අහක බැලුවේ නැහැ මේ ලෙසට
දිවයුරු කිමද වුයේ තිබු තෙද බලට

අසරණ වෙලා මිහි මවගේ දරුවො කැලක්
දිනිසුරු තුරුල්ලට විත් අයදියි පිහිටක්
බිහි වූ නමුත් පිළියම් ගණනින් සියයක්
එක රශ්මියක් ලඟ ඒවා වැටෙයි දනක්

හිරු දෙවිදුගේ කරුණා ඇස යොමුවේවා
ලොව මේ උවදුරෙන් විගසින් ගැලවේවා
වෙනදා පුරුදු සිනහව යලි බෝවේවා
සැමටම සැනසිල්ල නැවතත් ලංවේවා

ගැමි සිහින

අරුණසිරි එදිරිසිංහ - පන්නිපිටිය

හේනේ පැලේ කුඹුරේ වෙල් ඉපනැල්ලේ
ඇළ කණ්ඩියේ වැව් ඉවුරේ සිහිලැල්ලේ
ගැමි දිවි සුවඳ මුසු කර සිත සැනසිල්ලේ
ගත කළ දිවිය ගෙන දුනි මුව හසරැල්ලේ

යන විට ඇඹුල අරගෙන වෙල් නියර දිගේ
නැළවෙන නිතඹ මුහුලස හා තරඟ නැගේ
කහවන් ගොයම මද නල හා රඟන රඟේ
තාලෙට සිතේ ආදර මල් පිපෙයි නගේ

බක් මී ගසේ බක් මී මල් මුසු සුවඳේ
සමනල පියාපත් ඒ මේ අත ලෙළදේ
මී මැසි බඹර ගුමු ගුමු නාදය නිබදේ
මුසු කර නැඟෙන රාවය මිහිරකි මහදේ

නා දළු ලවණ බුලතේ රත් පැහැය යොදා
හසරැලි නගන විට දෙනයන රසය මුදා
ජීවන ගමන් මග සැනසිලි සුවය ලදා
මා දුටු සිහින රසබර බව දැනුනි සදා

වන මල් පිපෙන්නේ බමරුන් සනසන්න
සඳ තරු දිලෙන්නේ සිසිලස නාවන්න
ඇළ දොළ ගලන්නේ දිවි මග සරසන්න
පැතුමන් පුරන්නේ දෙහදක් එක්වන්න

මළ පසු මා ….

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

ජීවිත කාලෙ බොහෝ සැප විඳගෙන වැඩුන
සිරුරට මළ පසුව දිය හැකි සැප කුමන
උත්සව අවමගුල් නෙක වියදම් කරන
අපැහැට නොපෙන්වයි ජීවිත දුක් විඳින

පණනැති සිරුර කාටත් වැඩකට නොවන
ලී කොටයක් වේවි දරටද නොම දමන
විකුණති මව්වරුන් කය දරුවන් රකින
මළගමෙ සල්ලි රුකුළකි ඔවුනට ලැබෙන

වැඩකට ඇති කොටස් වෙත්නම් ගලවගෙන
ලැබදී කෙනෙකුහට අවැසිව සොයන
හැකිනම් රෝගියෙක් මරණින් මුදවගෙන
ජීවය සදමු මරණෙට අගයක් දෙමින

පිටිපස බැලූවිට අමු හෙළුවෙන් සිටින
මළකඳ කොහි යාද හැඳ ඇඳුමක් වටින
දරුවන් විළි වසා නිර්වස්ත්‍රව හඬන
පිබිදිය හැකිය ලොව සොඳුරුම මල් උයන

හදවත මගේ හැමගෙම දුකකදි හඬන
සැදුවා නෙතේ උල්පත කඳුලින් තෙමන
පිසදා කඳුළු දිළිඳෙකු නෙත නැති සරණ
දානය වේය දියහැකි මගෙ නම රඳන

දූහුවිල්ලෙන් සැදුන කය දූවිල්ලට හැරෙන
සතපන මුදල පෙට්ටියෙ පොළොවට දිරන
දිරලා වහල පොඩි හිරිපොදටත් තෙමෙන
සාදා එයින් දෙමු පවුලකටම සෙවණ

මරණය තුළත් නම්බුව නාමය සොයන
දිවියට අගය නැති ලෝ බොරුවම දිනන
විය පැහැදමින් මරණෙට නැත ඵල ලැබෙන
දුගිනට සෙතක් සළසා යමු වෙත නිවන

මිනිස් ජීවිතය

රත්නපාල ගමගේ - ස්විට්සර්ලන්තය

වැදි රජුගේ සිත ළඟ
දුක් සිහින මැවුනා
කොරෝනා නිසා
සොරබොර කඳුඵ පිරුණා
දොර දොර මිනී බෙර
මිනිසුන් හැමට කරදර
කොරෝනා උවදුර
රට හැමතැනම ජර මර
මැරෙනකම් බණ අහන
අහන බණ පිළිනොගෙන
කියන දේ නාහන
සිටිති ගල් පිළිම සේ මහදන
ආදා මරු කොරෝනා
දිවිය අස්ථිර බව දැනුනා
මග වැටි මිනිසුන් මැරුණා
ක්ෂණයකින් ඒ පුවත ඇසුනා

සුවඳ විලවුන් ගල්වා
සළුපිලි ඇඟ වටේ දවටා
මුහුණේ වත්සුණු තවරා
රඟති මරුවා එන තුරා
වැජබුනත් මේ පියවි ලොව
මැරුණු පසු ශතකට නොවටින
දෙයක් වේ නම් මේ ලොව
මිනිස් ජීවිතය නම් වේය එය

තායි අඬන්නෙපා – නාඬන් මෑණියනි

ඩී .අමරසිරි ගුනවර්දන - නවසීලන්තය

මූන සිහිවුනේ අප්පගෙ - තනපයි !
අල්ලද්දි අරක්කු ගඳ පිස්තෝලෙ කණට
ගලාගෙන ගියා ලේ කෝවිල ගාව
අන්න මැරුම් කෑව ඉස්කෝලෙ කාලෙ
පිස්ටල් උණ්ඩෙලු කන් පලන් ගියෙ

මූන බලල අන්දලා යන්න එන්න අම්ම
තන්දයි! මගෙ රත්තරන් අම්ම
බල්බ් දෙකක් වෙලා පිච්චුනා ඇගෙ දෑස්
මානව අයිතියළු රකින්න ඕනෙ
එහෙන් මෙහෙන් ඇහෙන කතා
අම්මත් කියල ගියා තමයි ගිය සැරේ
නළල ලඟින් යද්දි අරක්කු ගඳ පිස්ටල් කට
තල තෙල් සුවඳ තෝසෙයි - මසල වඩෙයි
අරගෙන එන අම්මමයි
මැවි මැවී පෙනුනෙ - තායි

හිතුනේම නෑ නැගිටින්න
හිතුන ඉස්සර වගේ ඇඟට පැනලම මැරෙන්න
එතකොටම ආව තනියෙන් ඉන්න අම්ම
පැනල මැරුනොත්
හිරේට හරි ඇවිත් පුතේ කියන්න
එකෙක් නැතිව මැලවේවි ඒ මූන
මට අඬන්න බෑ අම්මේ - මට ඇඩෙන්නෙ නෑ

තන්දයි! තල් ගහේ ලස්සන
බලමු - හඳ එලිය වැටුනම

[තනපයි - පියා, තන්දයි - මෑණි, අන්න - අය්ය, තායි - අම්ම]

සපරගමු විස්සෝපය….!!

ලලනී ගීකියනගේ.- රත්නපුර.

පසිඳු පෙරහැර සිරිලක
එරඳු නෙපුදට නොමින් හිඳ
කරවූ සරසිරි පුරවර
සපරගමු දන හා ලෙව් සතට....!

සුදු නෙළුම සොඬින ගෙන
කිරි ගිජිඳු වාහනේ..
වර දුන්න බැති බරින
පුද ලබන සුරිඳුනේ....!

සමන් ගිර දෙවොල් මිණි
කිකිණි හඬ නැංවුනේ...
සවනතර පොරණ කල
යාතිකා විසිරුනේ....!

(එහෙත් අද ...?)

ඉත සිතින් පා සිනා
මැදුර යට දැවටෙනා..
දහස් දන නරඹනා
පෙරහැරට වින උනා....!

"දිග්ගෙයට" වස් දෙනා
යකු සෝලි කරවනා...
"බඹා කෝලම" වනා
බැඳි සලඹ විසිරුනා.....!

රැඟු නැටුම පැටළුනා
රජ සිරිත නිමවුනා...
ඇතු කරඬු හිනැහුනා
පමාවී ගෙවැදුනා.....!

දෙව් බඹුන් පුදදෙනා
සමන් ගිර වැළපුනා ....
මහ දොරටු ⁣ නොඇරෙනා
රස අඳුන් වියැකුනා....!

විසල් මග සිරි නොමැත
මන්දිරය විය අඳුරු...
පාළු කඩපිල් නිසල
වීදි නොම විය සොඳුරු....!

කුමක් වී දැයි නොදැන
සමන් දෙවි රුව මහරු....
"රටේ විපතකි අපට"
රසෝඝය විය නුහුරු....!!

2021.09.22.

හඬ හඬා හඹා එයි පසුපස
එහි පිරී තිබේ නෙක පිරිපත
ඇයි බද්ධ කලේ මේ හද මට
ගැලවෙන්න හැකිද යළි කිසිදින

දිගු නෙතකි බොඳව වියැකෙන
ඉරි තැලී ගොසිනි එහි සඳවත
මට බද්ධ කරපු ඒ හදවත
වේදනා සදයි මට නිතියෙන

සැඟවිලා ආලයක් නොකියම
කැටි ගැසුණු ගී හඬින් දුක්බර
මට බද්ධ කරපු ඒ හදවත
විකල් කරයි මා සිත තුන්යම

ගායනය: අමරසිරි පීරිස්
සංගීතය : නවරත්න ගමගේ

ආදරේ ගීතේ

කූෂි හේවගේ - ෆෙරේන්සි ඉතාලිය

තනි ඉරකින් වත් නෑ කැපුවේ
අකුරු පේලි අමුණා ගනිමින් ලියූ ,
ආදරේ ගීතේ..
උක්ත ආඛ්‍යාත යොදමින්
පබැඳූ පද වැලක් වූයේ
සප්ත ස්වරයට සම වන්නට දෝ..
ආදරේ ගීතේ. ./

තත් යොදා තැනු පද අස්සේ
සොයා සැනසී නෙලා ගත් ඒ
සප්ත ස්වරයේ ඇරඹුමයි මේ
ආදරේ ගීතේ...
ආදරේ ගීතේ..

සරිගම ගලපා නිවන්නට වූ
කැලඹු සිත් අහසේ..
වින්දේ ඇයි මේ තරමට,,මේ
ආදරේ ගීතේ..ආදරේ ගීතේ..

සුළඟේ එවූ හාද්දක්..

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

කලබලේ දුවන වළාවකට
කිව්වාම දුක
නෝක්කාඩු කිය කිය ගියේ
බරයි කියලා මේ සුසුම් වැල්.
හිත වටේ කරක් ගහද්දී
දරා ගන්න බැරුවාම
කොට්ටෙට යි රිදුනේ
තදට වැදිලා නිය පහර.

අතින් වත් නොඅල්ලා
දෙනෙත් මත වත් නොරැඳුනු
දෙසවනේ පැටළුනු ආදරය...

දෑස් පියාගෙන තැවරුවා
හදවත පුරාම.
නන්නාදුනන බවක් කීවාට
කොතරම් දන්නවාද අපි
එකිනෙකාගේ හද රිද්මය ගැන
කවුදෝ කෑ ගසා කීවා
නොනිදා ගතවුණු රෑ මැදියමේ
එක් නිහඬ මොහොතක.

ලඟ තියාගෙන ඉන්න බැරිම තැන
ඔබ වෙතටම එවූ
සෙනෙහසේ සුමුදු තිළිණය

නිදහසේ පාවී
නාදුනන කොදෙව් වල නොනැවතී
කටු අකුල් වල පැටලී
රිදුම් පිරිමදිමින් පමාවී
ආයාසයෙන් නොනිමි ගමනක තවම.

ඔබ සිටින ඉසව්වක් නොදැන වුව
කොපුලත වැතිරී දිනෙක
ගිමන් හරින්නට තතනන

සුළඟේ එවූ හාද්දක්
මගේ ආදරය.

දුකයි එත් ඇත්තයි

නීතිඥ පද්මිණි දේවි ජයසේකර - ලන්ඩනය

සංයමය සංවරය නැති දනන් වැඩිවෙලා
සතුට සාමය මුළු ලොවින් ගිලිහිලා
මනුෂ්‍යත්වය සමග ගරුසරු ද නැති වෙලා
ගුණධර්ම පිරිහිලා ,සොබාදහමත් අපව කොන් කළා

මුල් තැන දිනා ඇත්තේ කාම රසයයි
පවුල් අවුල් කරනා ආයතන එමටයි
පර අඹුවන් ,ගණිකාවන් සනසන පිරිමි වැඩියි
තම බිරිඳගේ කඳුළු වලට කිසිවකු වග නොකියයි

අහිංසක හදවත් රිදවන්නේ ඇයි සබඳ
හැම ගැහැනියකටම කල හැකිද ප්‍රේමේ
බෙලිකපා ගෙලවැලලාගෙන අපාගත නොවී
රකින්න තම පවුල රන්සේ එයයි දිවිය ලෝකේ.

වැළපෙනා ගුරු ගීය……

මධුවන්ති කුලසේකර

පිනි වැටෙන හිමිදිරියෙ…කුකුළා දෝතින් රැගෙන
වෙනදා මෙන් බස් රියේ…ඉස්කෝලෙ යනවා මම
රතු ඉරිද නම් පොත් ද…පෙලපොත්ද සටහන්ද
කලු ලෑලි හුණු කූරු ..තවම මගෙ ලගම ඇත
නුඹ පමණි දරුවනේ..ලග නොමැති එකම දේ
තනු රහිත බව දැනේ..ගුරුගීය හදවතේ……..

රෝහලේ පිං බේත්..බෙදන දිග පෝලිමේ …
හිටන් ඉන්නා දිනක දැක්කා මම නුඹ පුතේ ..
ටයි පටිය ගෙල වටේ..වෙද නලාවද කරේ..
හොවාගෙන ඇවිද යයි ..ගාම්භීරෙන් වගේ …
පසුපසින් ඇවිද ගොස්..නුඹව නවතා බිදක්..
ඇසුව මම මතකයි ද නුඹේ එක වසරෙ මිස් …
ඉන්න බෑ පංතියේ..යන්න ඕනා ගෙදර ..
හඩතලා පෙරලෙමින්..ඇඩුව නුඹ මහ හඩින් …
හඩන නුඹ වඩාගෙන ..කොරිඩෝවෙ තියාගෙන
නලවගත් ටීච මම …මතකෙ නැතුවට නුබට
කට කොනින් මද සිනා ..පා හැරී යන ගමන් ..
ටිකක් මතකයි වගේ.. කීව නුඹ මහකමින්..
දන්නෙ නැහැ පුතේ නුඹ..සතුටු වෙන තරම මම..
මූසිලට මෙත් වඩන..ඇදුරු ගුත්තිලයි මම ..

මහ චන්දෙ ළග එද්දි ..හතර අතටම වදින ..
නුඹට අමතකයි අද ..නැමදුමට ගුරු දෙපය.
පාට කොඩි වැල් මැදින්..මල් මාල ගොමු මැදින්..
වේදිකාවට ගොහින්..ගිරිය පුප්පා වැරෙන් ….
කෑ ගසා.. හුදී ජන ප්‍රසාදය යදිනු දැක..
සෙනග පීරා ගොසින් …නුඹට ලං වී මදක් ..
ඇසුව මම මතකයි ද ..නුඹේ දෙක වසරෙ මිස්..
එහා වත්තේ තිබුන…ගෙඩි පිරුණු අඹ ගහට…
ගහපු පොලු පාරකින් ..පිපිරුණා නුඹෙ නළල…
අම්මා එනකල් නොබල…මම ගියේ රෝහලට ..
මතක නෑ නෙවද පුත…දෙකේ ටීචර් නෙ මම ..
ලොකු මතකයක් හිතේ…තාම නම් නෑ මගේ…
කතිරයක් දෙන්න මිස්..ඉදිරියෙන් නම මගේ..
දිනා මහමහජන වරම ..ප්‍රීති ඝෝෂා ගොඩේ.
නුඹව දැක තුටු උනා …ගෝලයෙකි ඒ මගේ …
දන්නෙ නෑ පුතේ නුඹ ..සතුටු වෙන තරම් මම ..
මූසිලට මෙත් වඩන ඇදුරු ගුත්තිලයි මම …
එකයි තිහ කණිසමෙන්… ඉවර නෑ ජරමරේ
හවස හිටියා අදත්..කොට්ටාශ තරගනේ..
සෙනග පිරි බස් රියේ…යමි ගෙදර හාමතේ …
පුතේ නුඹලා නිසා…මම තවම මාවතේ..

මහ ඉඩමෙ පත් ඉරුව ..අරගන්න ගිය දිනක..
දුටිමි මම නුඹ දුරක…කලු ලෝගු පැලද ගෙන ….
වැරදි වැරදී දුවන මිනිස් ජීවිත වලට ..නීතියේ පිලිසරණ සොයා දෙනවා නේද …
නීති අවනීති වල.. වෙනස දැන දැනම නුඹ …
පැමිණිල්ල විත්තියේ වෙනස නොදකින විලස…
කාසි බර වැඩි පසට…සොයා දෙයි පිලිසරණ ….
දුර තියා දුටු නමුත්…අදුරගෙන නෑ නේද ..
මතක නැතුවැති පුතේ …තුන වසරෙ ටීච මම …
පාසලෙන් චාරිකා ..ගිය දිනක පොඩි කාලෙ..
ආවෙ නෑ කවුරුත් ම ..ගෙනියන්න නුඹ ගෙදර ..
බලා ඉදලා පුතේ ..බැරි තැන රෑ අටට..
ගෙදරට ම ඇරලුවා…මතක නැතුවැති නුඹට …
සුපිරි රථයක නැගී..පාවෙලා යන අරුම ..
බලා සිටියා පුතේ..හරිම සතුටුයි හදට…
දන්නෙ නෑ නුඹ පුතේ සතුටු වෙන තරම් මම
මූසිලට මෙත් වඩන..ඇදුරු ගුත්තිලයි මම …

ශිෂ්‍ය භට කදවුරේ ….රිදී ජම්බෝරියේ..
මා කෙලින් කල කොන්ද..කඩාගෙන නැමි නැමී…
කාකි ඇදුමක් ඇදන්… තරු සහිත උරහිසේ..
පුතේ ඇයි නුඹ උනේ…අතකොලුව පාලනේ…
නුඹට මාවත පෙන්නු..ගුරුන් යන මාවතේ …
කාකි බාධක දමා ..පෙන්නුවා නුඹ බලේ…
නුඹට පිටුපා යන්න ..බැහැ ඉහළ ඕඩරේ…
වැල යන්නෙ කොහාටද…මැස්ස ගහපන් පුතේ ….

අගේ නැති මැටිපිඩැලි..අතට ගෙන වැඩ දමා….
අමිල නිමවුම් රැසක්..ලොවට අප හෙලිකලා…..
මොනව කීවත් කලත්..අපි ගියේ නෑ පලා ….
අපෙන් හොරකම් කරල…අපිට හොරු යැයි කියන…
කෙලෙහි ගුණ නැති රටක…උපදින්න පව් කලා….

දිවියේ සාරයත් යයි..දිනෙන් දින සිදි සිදී…
කමක් නෑ පුතේ තව ..බිදක් ඉතිරියි සවි
පරපුරෙන් පරපුරට ..නුඹේ දරු දැරියන්ද..
එවාපන් අපි ලගට…හදන්නම් උන්ගෙ හෙට …..

මහිමි උපහාර

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

ඉමක් කොනක් නැති ජීවිත සයුරේ
රැළි පිට රැළි මැද දිය සුලි අතරේ
වෙරළක් සොයනා කිඳුරිය විලසේ
සිටිනා මොහොතක - වෙරළට ගොඩ බට
මා ගලවා ගත් කිඳුරිඳු ඔබ මට

කිසිදා කිසිවිට - නපුරක් කෙරුමට
ඉඩක් නොදී මා - සුරකින විලසට
දැලක් එලා මා - රැක ගත් තෙද ඔද
සිහ රජ, ඇත් රජ, මහ රජ ඔබ මට

ලියැවුණු කවියෙක මිහිර හඳුනනා
ඇඳුණු සිතුවමක අගය පවසනා
සෑදූ අහරක රසය අගයනා
රසවතෙකි, ගුණවතෙකි ඔබ මට

නිල් දිය කඳුරේ සිසිලස ඔබමය
හිරු රැස් දහරේ උණුසුම ඔබමය
මහ සැඩ සුළඟේ රිද්මය ඔබමය
කඳුලක් පිසිනා සෙනෙහස ඔබමය

විටෙක මට සොහොයුරෙකි
විටෙක මට ගුරු තුමෙකි
මා කළණ මිතුරාණ
මුළු සොබා දම ඔබය.

ඉර සේවය

ඩී. කන්නන්ගර - ලන්ඩනය

පර්සියාවෙ නිෂ්පාදිත
සුසිනිදු සුදු බුමුතුරුනින්
කෙලින්ම පසුපස අසුනට
අවුඩි ජීප් රථයට වන්
අසූ අටේ මහලු පියා
එරීගියා සැප අසුනේ
"හෙමින් යමන්"
විධානයක්!මුණුබුරාට
පිටිපස්සේ පරිවාරක
රථ තුනකම දරු දැරියෝ
මුනුබුරු සහ මිනිබිරියෝ
සතුටක්නැති කුතුහලයක්
තානායම් බිම් හතරක
නතරකලත් වාහන පෙළ
මහළු පියා නොකා නොබී
එක එල්ලේ සිතිවිල්ලේ

අම්පාරේ අතුරුමගේ
අති දුෂ්කර පන්නල්ගම
සොයා ඇදුනි සුදු බණ්ඩා
අසුහයේ මේ ගැමියා
හැට හතරක් වගේ පෙනුම
අඩ සියවසකත්වඩා අට වසරක් තවත් පැරණි
අති උණුසුම් හමුවීමක්!!

උබලා දැන් පලයල්ලා
දරු මුනුබුරු දුසිම් දෙකට
සීයාගෙන් නියෝගයක්!
විස්සෝපය දුක දොම්නස
ඉතිරීගිය නිමේෂයක්
එහෙමට කොහොමද තාත්තෙ
කිසීම පිළිවෙලක් නැතුව?
වැඩිමල් දුව කදුළු පෙරයි
ගැබුරු හඩින් ප්‍රතාපවත්
සීයාගෙන් විධානයක්!
මම සිංහලෙනුයි කියන්නෙ
උබලා දැන් පලයල්ලා
හැඩුම්!වැදුම්!මහල්ලාට
අකමැත්තෙන් දුක සමගින්
වාහනපෙළ කොළඹ බලා

මේ ජ්‍යෙෂ්ට පුරවැසියා
දිගුසුසුමක් ඉවතහෙලා
සුදුබන්ඩේ අමතන්නේ
හෙට උදේම ඉරසේවය
බලන්න මම හරි ආසයි
වැවළග ලොකු ගල්පොත්තේ
රෑට නිදාගන්න හිතයි
"පිස්සුද සුදුහාමු"ඔහෙට?
සුදුබන්ඩා විස්සෝපෙන්
පුංචිකාලේ කරපු රැගුම්
දැන් ඉවරයි නේද හාමු?
'උබට බැරිද ' අණදීමක්
රොටී සමග ලුණුමිරිසක්
මහලුපියා ගල් පොත්තේ
ඉරසේවය හමාරවී
අඩ හෝරාවකින් පමණ
සුදුබන්ඩා ලහි ලහියේ
වැවළග ගල්පොත්ත ලගට
සතුටු සිනා මුව රදවා
ඉරසේවයකුත් නරඹා
මහළුපියා එලොව ගොසින්...

ඉතිරිය මෙතැනින්...

නොලියූ කවිය

කොබවක කාංචනා කුමුදුනි

මහ වැසි මැදින් හමනා විට සුළං රොද
ආවේ කිති කවා පිණි මල් පොකුරු හද
කිය ගනු නොහැකි හැඟුමන් සිත පතුල කිඳ
කිසි දින නොලිව් කවියක් ලිය වුනිය අද

සෙනෙහස තුරුළු කර දෙහදක පැතුම් පොදී
හිනැහුනෙ රැයට විඳිමින් සඳ කිරනෙ වැදී
අදහනු නොහැකි සිහිනය නෙතු මතම රැඳී
සිදුහත් පෙමට කවි ලියවුනි සිතක බැඳී

සංචරනයේ සීමා තව දුරැස් වෙලා
කොටුවී නිවෙස් කුටි තුල සුසුමන්ද හෙලා
ඇගෙ දුරකතනෙ චරපුරුෂයො බැල්ම හෙලා
තහනම් පෙමට වයිරසයත් හරස් වෙලා.

පෙම් බස් දොඩන්නේ වෙරලක හිඳ කොඳුරූ
ලබනේ සුවය තුල සිනමා හල අඳුරූ
සරනට ලොව සිහින පෙර කළ මෙන් මහරූ
දකිනේ කවදාද මුව කමලේ සොදුරූ

ඇට්ටේරියා මල් සුවදක් දැනෙන විට
පුරහඳ රැස් කැලුම් ඔබ රුව මවන කොට
සුලඟේ සුසුම් මුසුකොට නෙතු හඩන විට
ඉවසා සිටිය හැකිදෝ සොඳුරියේ මට

මෙමා බිඳ දිනක සීමා නීති රට
දමා බැමි යඳම් කෝවිඩ් වයිර සට
පමා නොවී මගෙ රැජිනම කර ගන්ට
අමා වකට එන්නෙමි කැන්දන් යන්ට.

නිල් අහසයි, මහවැලියයි

කමනිකා මොහොට්ටිගේ

බෙදා හිරු කැන්, මුදා අඳුරෙන්
පැතුම් කොඳමල් පිබිදවූ...

වලා වියනෙන් ගලා සඳකැන්
තුහින කිරි පෙණ සසැලුනූ...

සලා නෙතුකැන්, කුඩා තරු මල්
රහස් කොඳුරා හිනැහුනූ...

නුඹයි නිලඹර, අගෙයි මහවැලි
ගඟෙත් ගමනේ ගිම් නිවූ...

දැල්වූ සදහම්

බණ්ඩාරගම මොනිකා නානායක්කාර

හා...........හා....
හ්ම් .......... හ්ම්....

දැල්වූ සදහම් අම මිණි පහනින්
බිඳ ගණඳුර ලෝකේ
වදිනෙමි පා යුග සණරාමර හිමි
ගෙන දුන් ආලෝකේ //

හා ...........හා...
හ්ම්..........හ්ම්....

වඳිමි බුදු පියේ සිරිපා අභියස
බැතිනි කුසුම් හද මලිනි පුදා //
සම්මා සම්බුදු හිමිසඳුනේ ඔබ
පමණයි සසරේ දුකට වෙදා

හා ............හා....
හ්ම් ..........හ්ම්....

දැවෙන කතර මත මෙන් හිම කඳුමත
ගමන් වැඩිය මෙත් පා සමසේ //
හිමියනි ඔබගේ මහ කරුණාවට
හිරු දුටු පිණි මෙන් දුක දුරුවේ

හා............. හා....
හ්ම් ...........හ්ම්....

දැල්වූ සදහම් අම මිණි පහනින්
බිඳ ගනඳුර ලෝකේ
වඳිනෙමි පා යුග සණරාමර හිමි
ගෙන දුන් ආලෝකේ ....//

සඳ…

වෛද්‍ය පද්මලාල් පතිරගේ -ඇතුල් කෝට්ටෙ.

චමත්කාරයක සේයා නැති සඳ
සිත්මල් මිලිනව පරවී යන සඳ
පෑවූ දිනයෙත් කළුවර නම් සඳ
පායනු කුමටද අහසේ පුන් සඳ

ගඟදිය රැළි මත නොවැටේ නම් සඳ
තුරුහිස් මුදුනින් නොනැඟේ නම් සඳ
පෙණකැටි වන් සුදු වළා නොමැති සඳ
පායනු කුමටද අහසේ පුන්සඳ .

බෝපත් සිපගෙන ගලා නොයන සඳ
සුදු වැලි මළු වට නොපායනා සඳ
පිණි මත තරු මල් නොපිපී ඇති සඳ
පායනු කුමටද අහසේ පුන්සඳ.

සුරූපි ලොවකට මාගෙන ගිය සඳ
විරූපි ඝණදුර තුල සැඟවුනු සඳ
වසා ගනී නම් අඳුරු වළා සඳ
පායනු කුමටද අහසේ පුන්සඳ..

වැලිකතරේ කතකට…

සුනිල් පෙරේරා - ලන්ඩනය

උපමා රැගෙන සඳ තරු හා දේදුනු ද
වැනුමට හැකිය නළලත නෙත් ඇහිබැම ද
සඟවන නිසා කලු සලුවක පහස වි ඳ
ඉතිරිය වතේ දැකුමට බාදා ඇයි ද

ගිරා තුඩක හැඩ දෝ ඔබගේ නා සේ
නාදලු දෙතොල් පොපියාදෝ මද හා සේ
රෝස පැහැය ඇතිදෝ කම්මුල් දෙප සේ
සිතින් සිඹින්නට අවසර දෝ රහ සේ

ඇත්දල වැනිද ඔබගේ අත් යුගල ළ ඳේ
දෙනවද අන්දන්න සාරිය සුමට බ ඳේ
රස්නය වැඩි කමට තෙරපෙයි නම් ලමැ දේ
නිදහස් කළ නොහැකි තිසරුන් හිතට ව දේ

නිතඹත් සමග කෙහෙරැලි එක දිසාව ට
පැද්දෙනවා ඇති ද ඇවිදින ලතාව ට
සිහිනිඟ පුලුල් උකුලක් ගැන සිතීම ට
ඉඩ නැත වැසුණු හින්දා දිග ඇඳුමක ට

ඇස් දෙකකට පමණි ඔබ රුව දැක ගන් න
අවසර ලැබෙන්නේ සැමියා වී ඉන් න
ලස්සන දකින්නට ආසා ඇස් තියෙ න
අයටත් දෙන්න වරයක් එය දකින පි න

COVID 19

කුමරිනී පත්මනාභන් - ලන්ඩනය

දෙදහස් විස්ස වර්ෂය අමතක නොවේ මට
සුනාමියක් වැනි වසංගතයක් බිහිවුනි ලොවට
කිමදෝ කොයින්දෝ එය විසුරුනි දෙසට
වවුලද මිනිසාද එය පැතිරුවෙ සැමට?

ගෙවල් තුලට වී අප සැම දෙන සිටිනු ඇත
කෑමට බීමට වත් පිටතට පිවිසන්නෙ නැත
සොයුරුන් මිතුරන් හා ගැවසෙන්නෙ නැත
දුරකථනය වේය අපගේ දිවියේ ඇති සෙත

මෙවන් දෙයක් මතුවට සිදු නොවේවා
හමුවෙන අයට සුව පතමින් දිවි ගත වේවා
මිතුරන් හා නෑදෑයින් සුවපත් වේවා
නැවත හමුවෙනතුරු සුවෙන් ගතවේවා

Covid 19 - Kumarini Padmanabhan

Year 2020 stays in my memory forever
From a far distance like Tsunami this plague did appear.
And started to spread across to corners everywhere
From a bat in far away land or just a spore from somewhere

Locked in our houses we stay away in hiding,
Not even for food that we are seen ever roaming
With friends or relations,we are not even mixing
Telephone is the savour for sanity's keeping.

May not such a thing ever happen again,
let's hope to see some good things arising.
Friends and relatives, I give them my blessing,
I wish them good health till we meet again.

මහජීවක අපෙ වෙද රජු

ප්‍රේමචන්ද්‍ර රූපසිංහ - නුගේගොඩ

මුළු සියනෑ කෝරළයම
ජිවකයයි නම පටබැඳි
කල්කටාවෙ සිප් හැදෑරු
පොඩි ජීවක රැලක් හැදූ
මහජීවක අපෙ වෙද රජු
බුලත් අතින් පඬුරු ගත්ත
නිකමට ඒ පැත්ත නොබැලු
මරණය දළ රලින් එහා
ජීවිතයම දිනා දින්නු
මහ ජීවක අපෙ වෙද රජු
අත අල්ලා නාඩි බලා
මුනි ඉසිවර බැල්ම හෙළා
සර්වාංගෙ ඇති රෝබිය
සොයාගත්තෙ විනාඩියෙන්
මහ ජීවක අපෙ වෙද රජු
මුන්නැහෙ මේ බේත අරන්
මේක බොනවා දවස් හතක්
එක වඩියයි ලෙඩේ හොදයි
දනෝ සැවොම වැඳ වැටෙතෙයි
මහ ජීවක අපෙ වෙද රජු
කොලස්ට්‍රෝල් ප්‍රෙෂර් වැඩියි
දියවැඩියා තුන්සියයයි
මැරෙන්ඩ හදනවද තමුසේ
ඇතුල්වෙනවා වාට්ටුවට
එක දවසට හත් දහසයි
වැඩිම වුනොත් දින දහයයි
ඉන්ෂුවරන්ස් තියනවාද
නලාව තබමින් පපුවට
පපුවක් නැති වෙද සිටුවරු
හොරෙන් බලති කාර් එකේ
යතුර දිහා පේෂන්ගේ

The Migrant

Palitha Ranathunga

I am displaced like a tropical tree
newly planted in an icy land
the very sensitive edges of
its roots cannot adjust to
The coarseness of the hard soil,

The manure and water are bitter
Having no homely air to breathe
the coldness in the night unbearable
and other plantations around
genetically mutated and artificial
not friendly or sensitive at all,

No familiar birds, butterflies or little squirrels
No laughter, love and affection around
No sweeter melodies of gentle breeze
carrying the fragrance of distant flowers
blooming and hidden within green mountains
I have ben desperate for salvation
similar to the sufferings of Dick Wittington*
who had fled for green pastures in London
dreaming of the streets made of gold
and houses made of diamonds and
people who ate only chocolate cream?

This is not re-writing a fairy tale, for
there will be no masters with such kindness
there will be no one eyed cats
to be sold for a half kingdom.
And of course
No such foolish kings around
offering such prizes,

Nor will there be Royal dinners
where rats play hell on a dinning table,

The Big Ben would be dumb for a poor
migrant
Ben only sings at Royal Weddings

There will be no such fair elections
for such an unknown to become
The Mayor of London.

* (Dick Wittington - Dick Wittington and his Cat is the name of English folklore surrounding the real-life Richard Wittington (c. 1354-1423), wealthy merchant and later Lord Mayor of London, telling story of how he supposedly escaped his poverty-stricken childhood and made his fortune thanks ratting abilities of his cat.)

අම්මා මමයි

තුසිතා සුරේකා - මීගමුව

මහලු මඩමේ දොරටුවෙන් මට විටින් විට උබෙ රෑපෙ මැවෙනව
පුංචි කව්ළුව සිප හමා එන සුලගෙ උඹගේ සුවද දැනෙනව.
මතක් වෙනකොට පුතේ උබ මට මටත් නොදැනිම දෑස තෙමෙනව
ආයෙමත් උබ එන්නෙ නැතුවද ,මගෙන් හිත රිදිනිදෝ හිතෙනව.

හරිම පාලුයි පුතේ මට මෙහෙ මිනිපිරියගේ සිනහ මැවෙනව
ඇපල්, මිදි ,රස දොඩම් මොකටද ,උබව දැක්කොත් හිතම පිරෙනව.
පෙනීමත් දැන් ගොඩක් දුබලයි හැමෝවම උබ වගේ පෙනෙනව.
ගෙදර ඇවිදින් උබත් එක්කල එදා වාගේ ඉන්න හිතෙනව.

වාරුවත් දැන් බොහොම හීනයි කොයි වෙලේ මං යයිද හිතෙනව
මියගියොත් මම නුබව නොදැකම එලොවෙදිත් මේ දුකම ගෙවනව.

එකම එක සැරයකට ඇවිදින් අම්මෙ කියලා කතා කරපන්
සන්දියේ වාගේ උබේ පොඩි බෙල්ල බදලා මූණ ඉබපන්
පොඩි වෙලාවක් ලගින් ඉදගෙන උබේ විස්තර ටිකක් කියපන්
මියඇදෙන්නට පෙරාතුව මන් මහලු මඩමට ඇවිත් පලයන්.

දැවෙන ගෙවල්

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

දිනෙක දැවෙන ගෙයක් දිටිමි
උස් ගිනි බුරබුරා නැගිනි
ගෙයි තුල මම දනන් දිටිමි
පිටවන්නැයි හඬා කීමි

නමුදු ඔවුන් ඇසී විමති ඇසින්
කිම දිව යනු අප මේ නිවසින්?
නිරතුරුව හමන සැඩ සුළඟින්
මහ වැසි වැටුනොත් අහසින්

අන් සරණක් නැත අප හට
උන් හිටි ගේ මිස පෙර සිට
ඔය කියනා ඇවිලෙන ගිනි
අප හට නම් තව නොදැනිනි

පතා තම නිදහස
ඔවුන් දැරූ අදහස
ගැන නොවී උදහස
සිත් නැගුනි මදහස

පිටව ගියෙමි නිහඬව
අන් අතකට යුහුසුළුව
ඒ නිදහස යනු කුමක් දෝ
ගෙයි සිටිම් දෝ පිට දුවම් දෝ

වසංගතේ මහ ලැව්ගිනි පැතිරෙද්දී
එන්නත පතා ලෝ දන පෙල ගැස්සෙද්දී
තම අයිතිය තකා ඇතමුන් බණ දෙස්සද්දී
උස් පොඩි ගෙවල් දස දහසින් දැල්වෙද්දී

ගෙයි සිටියොත් ගින්නට තෝ දැවී නසී
පිට දිව්වොත් වැස්සට තෝ තෙමී නසී
සැරිසැරුවොත් ලැව් ගින්නට අනුන් නසී
වසංගතේ මට තෝරා දියන් සකී

දිවිල්ල

ශ්‍රීමතී සමරකෝන් - රාජගිරිය

අපි හැමෝම දුවනවා
රේස් එක දුවනවා
පාසලට යනවා
ටියුෂන් පංති යනවා
රාජකාරි කරනවා
දුවනවා දුවනවා
උයනවා පිහිනවා
අදිනවා දුවනවා
වන්වේ පාරවල්
ට්‍රැෆික් වැඩියි පාරේ
බනිනවා බනිනවා
බැන බැන අපි දුවනවා
උපන් දින සාද
විවාහ උත්සව
අවමඟුල් උත්සව
දාන ගෙවල් අඩු නැතුව
ටෙලිවිෂන් බලනවා
සින්දුවක් ඇහෙනවා
ඉද ගෙන එක තැනක
කෑම ටික කන්න
වෙලාවක් කොහෙද
අපට
වහිනවා වහිනවා
පාරවල් පිරෙනවා
ගංවතුර ගලනවා
මිනිසුන් මැරෙනවා
පව පින
කර්මය පුනරුත්පත්තිය
ඇහෙනවා ඇහෙනවා
ඒත් අපි දුවනවා
නැවතිලා බලන්න
වේලාවක් නැතුව අපි
දුවනවා දුවනවා
අපි තවම
දුවනවා

වාවන එකයි හුරු ලියනට පතිනි කුලේ

නාලිකා සමන්කුමාරි - අරාබි එමීර් රාජ්‍යය

අරුණළු හෙමින් ගෙට ඇවිදින් කතා කරයි
සමනලු තවම මල් සිහිනෙක නිදා සිටියි
කඩමළු පැදුර අකුලා මුල්ලකින් තබයි
දොඩමළු නැතිව ඇය මුළුතැන් ගෙයට දුවයි

ගිනිදැල් පමණි තනියට ඇගෙ ලඟ ඉන්නේ
පරඬැල් ගැහුණු අත පය කඩිසර වන්නේ
දියවැල් දෙඇස වැද වද දී දඟ ලන්නේ
සුණුසල් බතට එහෙමයි ලුණු රස එන්නේ

දහවල මෙන්ම රැයටද වන පලා නෙළා
සවිබල තැනුවෙ දරු මුව තුළ ගුණය හලා
නිසසල සොඳුරු ආදර විල් දියට වෙලා
මහනෙල වගේ මුළු නිවසම සුවඳ කලා

පාවෙන සුළඟෙ ආ කුණු රොඩු නොමැත පැලේ
ජීවන ඔරුවෙ තනි හබලෙයි තිබුණෙ බලේ
වේළුණ නමුදු හිඳිලා දිවි දියඹෙ ජලේ
වාවන එකයි හුරු ලියකට පතිනි කුලේ...

ප්‍රේමයම පමණකි

හරිණි සුමනසේකර - කොළඹ

නිම් නැති පැතුම් දහසක් පුරවා ඉඳිනා
මේ සිත අරුමයකි නොහිතූ තැන බැදෙනා
එනමුත් නුඹේ රුව නිති සිහිනෙන් දකිනා
නොහැකිය දැකගන්න මේ නෙත් යුග වලිනා

ඔබ මේ ලෙසින් පෙම් බස් තෙපුලන්න එපා
මේ ලෙස මගේ අභියස ඔබ ඉන්න එපා
මේ තරමටම මගෙ හිත පාරන්න එපා
ප්‍රේමය විනා අන් කිසිවක් ඔබෙන් එපා

සොඳුරු සිත්…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල

දින දින ඇසෙන දකිනා දුක්
මුසු සිද්දී...
දන මන පෙලනකල කඳුළක්
නැග එද්දී...
කන බොන පිරිස් මැද අනෙකුන්
වැලපෙද්දී...
යන එන ගමනෙ මෙය දැක ගියෙ සිත ඇද්දී...

ගනු ගනු සිතන සිතුවිලි හද පුරවද්දී...
දෙනු දෙනු සිතක් නැති අය දැන්
වැඩිවෙද්දී...
දිනු මනුසත් බවට අගරුම කෙරවෙද්දී...
'හනුමනු' මුත් සිනහ උපදයි,
ඔහෙ පැද්දී...

මැද ඉඳ විහඟ කැලගේ කුස පිරවෙද්දී...
විඳ විඳ ලබන සතුටින් මොහු පසුවද්දී...
හද හොඳ බැවින් කවදා හෝ මියයද්දී...
වද බිඳකුත් නොලැබෙ සිතෙනව, එයවෙද්දී...

ඇසුනා මතකයි

චන්ද්‍රා සේනාධීර -නවසිලන්තය

අමිමාගෙ ඇවිටිල්ලට
බත් කටක් දෙකක් ගිල දමමින්
එක හුස්මට
ඇද ගතිමි පාට ගවුමක්
ගලවා දමා සුදු ගවුම
ඇඳ උඩට
අම්මා සෑදු වැලි තලප
පිඟාන ගෙන බඳට
ටියුෂන් පොත් බෑගය
ගෙන උරට
ඉගිලුනේ බස් නැවතුම් පලට
වැලි තලප පිඟාන මුදලාලට
බස් ගාස්තුව මගෙ අතට
පන්තියෙ කෙලි කොල්ලන්
අතරින් රිංගා බසයට
කවුළුවක් අල්ලා ගත්තෙ
සුළං රැල්ලක පහස ලබන්නයි
කාමර කුලියට දිමට
පුවරු පසු කරමින්
බසය ඇදෙයි ඉදිරියට
මා ළඟින් වාඩිවී සිටින
කටකාර කොල්ලා පන්තියෙ
ඇස් කොන් හෙලමින්
මුමුණනවා මගෙ කනට
අපි මෙතනින් බහිමු
ඔයාගෙ ගවුමෙ
හොඳ පිට පෙරලා ඇඳ ගන්න
සිතල වුණා මගෙ ගත
අම්මා පෙරදා ඇසු බණ
මතකයි ඇසුනා දෙසවනට
ගවුමෙ කන පිට හොඳයි මට
පෙරලා ගන්නවාට වඩා
ඡිවිතයෙ කන පිට.

23 September 2021

අලුත් කවියක උපත අබියස

අනුර බී. සෙනෙවිරත්න

හිරුට ඉස්සර දවස පිළිගෙන
උඳුපියලි පිනි පලස පාගන
ඔබේ මුව මත ඇඳෙන මඳහස
විඳින්නෙමි මම ඔබේ ළඟ හිඳ

මගේ උවටැන් නොඅඩුව ම ලද
ගෙමිදුලේ රතු රෝස පඳුරක
අලුත් මල් කැකුලක පහස දැක
නැගෙන මුදු හස විඳිමි ඔබ මුව

අවට ගස්වැල් අතුපතර හිඳ
වැයෙන සන්ධවනියක රස විත
නෙතු පියා නිති හරවමින් හිස
විඳින මඳහස් රුව විඳිමි මම

කමටහන් පරිකල්පනය වන
අලුත් කවියක උපත සිදුවන
ඒ අසිරිමත් මොහොත ළඟ බව
ඔබ අසල හිඳ හැඳින ගමි මම

කවි සරණිය

ලලිත් ද සිල්වා - නුගේගොඩ

කවුදෝ කෙනෙක් ලන්ඩනයට ගොඩවීය
අතකස නිසා ඉන්නට බැහැ කවි ලිවිය
ලන්ඩන් කවි කොලය අවුළන හුළු එළිය
දල්වන්නට සිතුනි මෙය වෙයි මගෙ කවිය

දත්ත ටිකට දෙවියො වැඩක් දෙන්නෙ නැත්තෙ ඇයි
අපෙ වාරික ණය මකන්න දෙවියො නැත්තෙ ඇයි
'ක්ලවුඩ්ස්' වලම දෙවියො අරක් අරන් ඉන්නෙ ඇයි
බෙහෙත් ලොක්කො ඕව දන්නෙ I dont know why

ඩොලර් පවුම් නිතර නිතර හැප්පෙන්නේ ඇයි
රුපියල් සත ඒකාලෙට උණ ගන්නේ ඇයි
රුපියල ජිම් ගිහින් වගේ කෙට්ටු වෙන්නෙ ඇයි
බැංකු ලොක්කො ඕව දන්නෙ I dont know why

උත්තම ජීවිතය

උතුරු ලන්ඩනයේ එන්ෆීල්ඩ් පන්සලේ පනාමුරේ තපස්සී හිමි

සෙනෙහස සිසිල් දිය සපිරුණු ගඟකි දයා
ගෙන දෙයි සැමට එහි දියබිඳු පවස සොයා
හෙමිහිට ගලන විට හැම තුටු කරන නියා
මා දුටු සෙනේ ගඟ සම්බුදු සමිඳු පියා

දුටුවිට වරක් කෙනෙකුට තව දෙතුන් වරක්
හිතෙනව බලන්නට හැරි හැරි තවත් වරක්
හිමි කර ගනු පිණිස සුන්දර මෙවැනි රුවක්
පින්කර ගනු මැනවි හැම මොහොතකම තවත්

මදහස පාන විට කුසුමකි සොඳුරු බර
වැඩ සිටි විටදි ඇස පිනවයි දකින වර
සිහිවන විටදි සිත සැනසෙයි දුරැර බර
බුදු හිමි හිරුය දුකඳුර දුරු කරන තිර

ඇත්නම් දකින්නට දවසට දෙතුන් වරක්
පෙර කළ පිනකි මට නම් ඇත එබඳු පිනක්
ලැබගනු පිණිස ඔබ සැම දෙන එයට ඉඩක්
බුදු හිමි දකින්නට කරගනු මැනවි පිනක්

සුමිහිරි සුමුදු බස කරුණා දයාපිරී
ගෙනදෙයි කණට සැම දුක් බිඳ අමාසිරී
පවතිනු පිණිස ඒ මිහිරිය පිරීතිරී
පානය කරනු මැන දම් රස සුමීහිරී

මිතුරුදම

ශ්‍රියානි උඩුගංගොඩ - මහනුවර

ශානිදාවේ හැන්දෑවේ එකතු වී මිතුරන්
පුරද්දී සව්දිය නෙක කතා කියමින්
ඇසුනි මේ කතාබහ ඇතිව මහ අබිමන්
පිරි අයුරු අපුරුයි නොවැ මගේ දෙසවන්

ගරු ඇමති තුමා නම් මගේ හොද මිතුරෙක්
චන්ද කාලෙට තිබුණි ඉතා ලඟ ඇසුරක්
දැන් ඉතින් ඔහුට නැහැ කිසිම ඉඩ හසරක්
හමු වෙන්න අවැසි බව පැවසුවා දවසක්

ඊ ලඟට තව කෙනෙක් පැවසුවේ මෙලෙසින්
රෝහලේ වෙද තුමා අප ද හොඳ මිතුරන්
පවුලේ අය ලෙඩ වුනොත් හමුවෙලා සැනෙකින්
පෝලිමේ ඉදිරියෙනි බිල ගෙවූ විගසින්

කතරගම යන පාරේ කුඩා ගොවියෙක් මගේ
හිතවතෙක් විය සැනින් හමුවෙලා මහ මගේ
හාල් එළවලු මල්ල හැම මාසෙ මුල වගේ
එවයි ඔහු නිවසටම සොහොයුරෙක් ලෙස අගේ

මිතුරු දම් උනු උනුන් අතරේ උදාරයි හැමදාම
හදවතින් ධනවතුන් නොවේ රුපියලට ගිජු වීම
හිතවතුනි හිතන්නට දෙයක් ඇත හැමදාම
කැඩපතින් ඔබ දකින රුව නිබද එය ඔබගේම

නිර්වාන මග

වෛද්‍ය කමල් විතාරණ - ලන්ඩනය

එකත්පස්ව බුදුරුව ලග සිටින්නේ
මලක් නෙලා පැන් දෝතක් ඉසින්නේ
හඩින් බුදුන් ගුණ ගයමින් වඳින්නේ
නිවන් දොරෙහි හරි අගුලද අරින්නේ

නිවනට යන්න නම් බුදුබන අසන්නේ
කෙලෙසුන් මුලින් උදුරන්නයි තියෙන්නේ
ඇල්මෙහි ගැටීමෙහි නැත්නම් බැඳෙන්නේ
මජ්ජිම ප්‍රතිපදාවයි නුඹ වඩන්නේ

සතුටෙහි ඇයිද ඔය තරමට ඇලෙන්නේ
තරහෙහි ඇයිද ගිනිගෙන ඔය දැවෙන්නේ
මැදිහත් සිතින් ඇයි සිහියෙන් නොඉන්නේ
අරිය අට මගෙයි පියවර මනින්නේ

දිවි මග

කුමරි විජේරත්න - ලන්ඩනය

කුළුදුල් කැකුළ ලෙස අප පවුලේ සැමට
සැනසුම දුනිමි පෙන්වාලා සිනා කට
ගුණදම් ඇතිව පිපෙනා කුසුමක් ලෙසට
ලස්සන කළා ජීවය ලද පැල අවට

දුව පැන ඇවිද ගමවට තිබු ඉපනැල්ලේ
සමනළයින් පසු පස ගොස් නැළවිල්ලේ
පොඩි සුරතලුන් දක්කාගෙන දූවිල්ලේ
එකොළොස් විය ගෙව්වා මම සැනසිල්ලේ

සරසවි බිමේ ආ ගිය තැන්වල ආයේ
ඒ සුවදමයි මගෙ දිවියට ළන් වුයේ
හදවත පැතූ සෙනෙහසමයි මට පෑයේ
අවුරුදු විසිදෙකේදිය ඔහු මට හමු වුයේ

හෙළ කුල සිරිත පෝරුව හැම අත නෑර
මනමාලියක් වූවා මම හැඩකාර
ලැබ දූ පුතුන් අඩුවක් නැති පින්සාර
තිස්තුන් වියේ විය මම පෙමකට බාර

නව නිපැයුම් ලොකයෙ ඉදිරියට ඇදී
ජීවිතයම මහ ලොකු තරගයක වැදී
වැඩි දුර ඉගනීම නිලතල අතර රැඳී
හතළිස් හතර පිටරටවල ගෙවනලදී

දුක සැප යස අයස ලබමින් හැමදාම
දරුවන් තනන්නට දුක් වින්දා බෝම
දෙමාපියන් ජීවිතයෙන් හැරයාම
පනස් පහත් අමතක කරමිද කෝම

දනට පිනට දෙන්නට අත සරුව ඇත
ක‍ළ පින් වලට හිත පතුලේ සතුට ඇත
හැට හය වියත් හරි සතුටින් ගතව ඇත
පින් පුරවන්න තව කලය ඉතිරි ඇත

ඉපැරණි මිතුරු මිතුරියො නෑ මා අවට
දරු මුණුපුරන් ඉන්නේ ලොව සතර වට
ලෝ දම ගැන සුබවාදිව සිතන කොට
හැත්තෑ හතෙදිත් සතුටම ලැබුනි මට

යුද බිය රෝගබිය සුනාමි ගෙවුන යුගේ
හද සෝසුසුම්, නෙත් අස්සට කදුළු නැගේ
අසූ අටක් ගතවූවත් හෙමින් වගේ
ගත සිත සවිමත්ය තාමත් එදා වගේ

ආපසු හැරී ජීවිතෙ දෙස බලන විට
සතුට පැත්ත බර වැඩි බව දැනෙයි මට
සමුගන්නම් හොද සිතිවිලි ඉතිරි කොට
අවුරුදු අනූනමයක් ගතවුනා මට

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි. එක්සත් රාජධානිය

පැටවුන්ගෙ ලේ උරා බොන්නට
මදුරුවෙකු ඉව අල්ලනා කල
මළ සිරුර ශේෂයක් නැති ලෙස
වැරෙන් පහරක් එල්ල කරමින්
නොහිත දෙවරක් තලා දැමුවෙමි

සාප්පුවකට යමිය පවසා
දොර වසාගෙන මහ මගට බැස
ඉතා දුෂ්කර පැය ගණන් කර
රිටි පන්නයෙන් කකුල් එල්ලන්
බැංකුවේ පෝලිමේ හිටගෙන
පොතට මුදලක් සඟව ආවෙමි

මාස් පඩි දින ඔහුගෙ කලිසම
සාක්කුව වාටිය ද සෝදිසි
කරන් සන්සුන් වෙලා හිඳමින්
ඔහුගෙ උස් හඬ ඇසෙන කල දී
කලිසමේ හිල් හැමතැනම ඇත
පිළිසකර කර මසා දෙන්නට
පොරොන්දුව, ඇඳ පහල කැටයට
හොරෙන් මුදලක් බහා තැබුවෙමි

සීතලම ප්‍රිය සාද වලදී
බීර වීදුරුවකින් මත්වී
රතු වයින් බිඳකින් ද සැනසී
හිතවතුන් හා සතුටෙ ගිලෙමින්
ගී ගයා රංගනයෙ යෙදෙමි

ආගමත් ආදරය වූ කල
නිරාගමිකව හැරී බලමි
දර්ශනයෙ සළු පැළඳ ගනිමි
නමුදු ,
තවමත් පණ ලෙසින් රැකි
තෙවන ශික්ෂා පදය
රකිමී...

ම‍ගේ ජීවන ගමන

අසෝකා වල්පිටගම - කොළඹ

මෙලොව එලිය දුටුවේ හැට එක වසරේ
දෙවියන් වන් දෙමව් පිය යුවලක් සෙවනේ
හැදුනා වැඩුනා කිසි අඩුවක් නෑ තිබුනේ
කෙමෙන් වයස ගෙවුනා මට නෑ දැනුනේ

යොවුන් වියත් පසු කර මැදි විය එළඹී
එන්නට ප්‍රථම හමුවිය මගෙ සහකාරී
වැඩිහිටි අසිරි මැද අප දෙදෙනා එක්වී
නෑනයි මස්සිනයි යුග දිවියට පත්වී

වසරක් දෙකක් ගෙවුනා නෑ කිසි අඩුවක්
තෙවෙනි වසරෙදී ලැබුනා චුටි දුවෙක්
සිව්වන වසරෙදිත් ලැබුනා චුටි පුතෙක්
කිසි අඩුවක් නෑ අපි දැන් පොඩි පවුලක්

දුවගෙයි පුතාගෙයි කථනය අඩු හින්දා
කිවුවා පියා පෙන්නමු දොස්තරට කියා
ශ්‍රවනය දෙදෙනගෙම හොඳටම අඩු හින්දා
තමයි නැත්තේ කථනය යයි හෙළි වුවා

මුළු ලොව අප ඉදිරියෙ ඇත කඩා වැටී
කරනුයෙ කුමක් දැයි සිතනට වත් නොහැකී
මත්පැන් වලට යොමු වුයේ ටික දිනකී
විසදුම එය නොවන බව මා හට වැටහී

සොයමින් සිටින විට විසදුම් ප්‍රශ්නයට
හමුවිය අපට මව්තුමියක් පෙර පිනට
රාගම පල්ලියට ගිය විට හමුවන්ට
සිදුවිය අපට ඇය එනතුරු සිටින්නට

පිටුපස බිත්තියේ ඇගෙ මේසෙට ඉහලින්
තිබුනා ලියා වදනක් මහ ලොකු අකුරින්
තේරුම් ගත් දාට ප්‍රශ්නය හොඳ හැටියෙන්
සියයට අනුවක් එය විසදෙයි එසැනින්

එතැන් පටන් අප දෙදෙනා එකම සිතින්
දුන්නා දැනුම අප හට හැකි සැම විලසින්
මව් පිය නෑදෑ හිත මිතුරු හැම සහයෙන්
දුන්නා මුහුණ ජීවිතයට සැබෑ ලෙසින්

නැත හොත් ප්‍රශ්න නම් එය ජීවිතය නොවේ
එනමුත් සෑම ප්‍රශ්නයටම පිලිතුරුත් නොවේ
එන සැම ප්‍රශ්න ජයගෙන ජීවිතයේ අපේ
දෙනවා මුහුණ දම්මියි මමයි එකා වගේ

නිවටුන්ගේ නගරය

වෛද්‍ය ඇනෙස්ටා විජේසිංහ - ඕමානය


සඳින් සරසන සුමුදු සවසේ
සතුට සත්සර ස්වර සැලුනේ
සිතේ සිත්තම් සමග සෙවනේ
සඳට සුසරව සිහින සෙව්වේ


වසන්තය වසඟයට වන්නේ
වනේ වල් වැදී වලස් වැන්නේ
විනේ විය වහලියක විමනේ
වසන්තය විරසකව වැයූනේ


නුඹේ නම නොවැ නිතර නැසුනේ
නගා නරකලු නඩේ නැගුනේ
නිරය නුඹටලු නිවන නොමවේ
නිදිවදින නිවටුන්ගෙ නගරේ

පුතුගේ උතුම් මෙහෙවරට සිහිවටනයක්

මාලිනී වික්‍රමනායක - කොළඹ

විස්සයි විස්ස වසරේ ලැබු බක් මාසේ
බලවත්,දුබල ඇති නැති සැමටම සමසේ
මතකයි කොරෝනා රකුසගෙ ආවේසේ
ලන්ඩන් සිහිනෙ කැළඹුනි මා පුතු මනසේ.

දොස්තර කෙනෙකු වී කොල්චෙස්ටර් යන්න
සතුටක් උනත් කාලය හොඳ මදි ඔන්න
සිත ඇති ගොඩක් අය සිතුවත් වලකන්න
අපි සිතුවා පුතුගෙ ගමනට ඉඩ දෙන්න.

බිහිසුණු පරිසරය පෙනි පෙනි දිරිය අරන්
ඔහු ගුවනින් ගියා රණවිරු පුතකු ලෙසින්
සඟවා අපේ හද තුළ තිබු සෙනෙහෙ වදන්
නිහඬව උණිමු පෙරමග සුභ ලකුණු බලන්.

මොහොතින් මොහොත ලන්ඩනයේ තතු ඇසුවා
දින දින ජීවිතත් බිලිවුණු හැටි දුටුවා
පුතුගේ උතුම් මෙහෙවර අදිටනෙ සිටුවා
තෙරුවන් සිහිකරන් රැකවරණය පැතුවා.

වෙදකම ඔබේ දිවියට එළියක් වෙන්න
මුදලට එහා ගිය මෙහෙවර පෙන්වන්න
එන එන ලෙඩා සුවපත් කර හරවන්න
පෙරලා ලැබෙයි දිවි මග සතුටින් ඉන්න .

මරුවා සමග පොර බදනා රෝගින්ට
ඔබ පොර බදන්නේ දිවි ගලවා දෙන්ට
ලැබුනොත් එවැනි එක දිවියක් ගොඩගන්ට
වෙන පින් මොටද සසරින් ගැලවී යන්ට.

ඔබ සහ ඔබේ වෙද මිතුරන් සැනසේවා
හිරුදුටු පිනි වගේ කරදර දුරුවේවා
ගතසිත දෙකම ඔබෙ සවිබල ගැන්වේවා
නැණ ගුණ බෙලෙන් මුලු ලොව සුවපත් වේවා !

පුතු හෙට යනවා

ලුම්බිණි විතාන - ලන්ඩනය

අල්මාරියේ තට්ටු එකින් එක
හිමි හිමිහිට හිස් වෙනවා........
සෝදා නවාගත් නැවුම් ඇදුම්
එක දෙක සීරැවට
සුට් කේසයේ ඇතිරෙනවා......
කාලයක් පුරා පොත් රාක්කයේ
හිනැහුනු පොත් මිටි ටික
පෙට්ටියකට පිලිවෙලට පැටවෙනවා.......
මුලු ගෙදරම පාලුව අදුර රජ කරමින්
මේ සේරම මගේ
පපු කුහර උඩ තෙරපෙනවා......
හිස් අල්මාරිය මට ඔරවනවා
පොත් රාක්කය මට නියවනවා
බඩු පිරැනු බෑගය මට හිනැහෙනවා
බොදවුනු ඇස් දෙක මැදින්
මේ සේරම හිමි හිමිහිට නොපෙනී යනවා.....