ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබ නැතුව ඔබ එක්ක

ඔබ නැතුව ඔබ එක්ක

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2024-March

ගෙත්තම් පාන පසුකර මහ දඹට උඩින්
සිත්තම් සේම විහිදෙන හිරු කිරණ යටින්
මනරම් ප්‍රේම අන්දරයක් රසට ගොතන්
ඇත්නම් බෝම දුර යන්නට සිතමි උදෙන්

ඔරවන රවන රවි රජවුණු දහවලක
පියඹන සිසිල ගෙන පාවෙන මේ කුලක
සැඟවෙන ලෙසින හිඳ අසලම තව පැයක
හිනැහෙන අයුරු දකිනෙමි සිහිනෙන් විටක

අස අස ගීත ගයනා සවනත පිනන
මදහස කෝල සිත පිනවන සේ පිපෙන
සරතැස නිවන මදනල සේ සැරි සරන
හවසක සුවය මවනෙමි අසලදි දැනෙන

සැනසෙන පැතුම සතපාගෙන හිස ළයක
නිමවෙන විටදි දුහුවිල්ලක් ලෙස පයක
අපමණ දුරක එළි විහිදෙන තරු ඇසක
හැඩගෙන හිඳිමි සඳ නිදියන කළු රැයක