ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

April

ඈත හිමයේ සැඟව සිට නලවලා හද උණුසුම් සුසුම්
වසන්තයෙ විසිතුරට ලංවී සුවඳ විඳ විඳ නෙක කුසුම්
දෙදෙන පසුපස එක වැලට එන කුඩා පැටවුන් හඬ ඇසුම්
ඉටුවෙයිද සොඳුරියේ හිමයෙදි තුඩට තුඩ දී පැතු පැතුම්

අනුර
ඡායාරූපය: මේනු හෑගොඩ

අප්‍රේල් කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 97 කින් ඔපවත්වීී ඇත
  1. විසල් හදක කවි – මොකටද මල් වඩම්සැමුවෙල් රුද්‍රිගෝ
  2. මාවත් නොදැනුණු….සමන් අතාවුදහෙට්ටි
  3. අලි දුක සහ මිනිස් දුකකෝ ආනන්ද - පැරීසිය
  4. සිරකරුවා දුටු හීනයලූෂන් බුලත්සිංහල
  5. සංග්‍රාමසුදත් දේවප්‍රිය
  6. බිරිඳසංගීතඥ නවරත්න ගමගේ
  7. ගල් කුලේ විළාපයචන්දන ගුණසේකර - වොට්ෆඩ් - එංගලන්තය
  8. ආදරේ නිල්පාට ද නිල්පාට ආදරේ දබුද්ධදාස ගලප්පත්ති
  9. ජාතියේ මළ ගමමහාචාර්ය ලලිතසිරි ගුණරුවන්
  10. කන්ද නැති වෙලාඅනුරාධ හිරිපිටියගේ
  11. ලන්ඩන් උමං දුම්රියවිල්සන් හෑගොඩ
  12. පන්සලේ අලියාවෛද්‍ය රුවන් එම්. ජයතුංග - කැනඩාව
  13. පින් පව්කෞශල්‍යා ජයලත්
  14. ගෞරවයෙන් දිනු ප්‍රේමයවජිර ජයවර්ධන
  15. නො ඉඳුල් ඉඳුල්ඩබ්ලිව්. ජයසිරි
  16. තොත්ත බබාතලන්ගම ජයසිංහ
  17. සීත රැයක්කපිල කුමාර කාලිංග
  18. සරසවි යන දියණියන්ටවිශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එංගලන්තය
  19. අඳුරට එරෙහිවනිලාර් එන්. කාසිම්
  20. වසන්තය ඇවිත්වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
  21. මොස්කව් සිහිනමහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම
  22. ගුත්තිල ඇදුරාණෙනි !!පරාක්‍රම නිරිඇල්ල
  23. සිංහළ අවුරුදු සිහිනදයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය
  24. ඇහලෙ පොල වැලපුමප්‍රීති රන්දෙනිය
  25. ඉතින් අවුරුදු සමරමුද කෙලෙසින් ?එස් එල් සෙනෙහෙධීර , ලෙච්වර්ත්
  26. හීතලද මෙතරම්, නැති දිනෙක ප්‍රේමයක්නුවන් තොටවත්ත
  27. එ දවසආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
  28. පන් සිල්නීතිඥ සුනේත්‍රා යූ. ආර්. වනිගසේකර - වත්තල
  29. නුඹ නැති සොවින්කිවිපති ආසිරි විජේසේකර
  30. මට…..කුමුදු අමරසිංහ - උතුරු ලන්ඩනය
  31. නිල්සුනේත්‍රා අලුත්දුන්න - මාතලේ
  32. විදේශ ගත ශ්‍රී ලාංකිකයෙකුගේ සිංහල අවුරුදු සිතුවිල්ල…….සුගත් අමරසිංහ - නයිජීරියාව
  33. හිච්චි සංකල්පනාවෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
  34. තුන් කොන් ප්‍රේමයඅල්පා - ලන්ඩනය
  35. හඳ එළියමහාචාර්ය ටී.එස්.අබේවික්‍රම - ලන්ඩනය
  36. NowSapumal De Alwis - London
  37. දුරු රටක අවුරුදු සිතුම්රේණුකා බණ්ඩාරනායක , යාන්ත්‍රික ඉංජිනේරු , පර්ත් , බටහිර ඔස්ට්‍රේලියාවදී
  38. සිලිලාර සැණකෙළියදීපා ද සිල්වා - ලන්ඩනය
  39. අවුරුද්දට අළුත් ඇඳුම්කංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය
  40. සිතන්න දෝණියඊ.ඒ.පී .අරුණසිරි - පන්නිපිටිය
  41. කියන් කොහෝ මට අවුරුදු ඕනා..දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
  42. මිනිසත්කමචන්දන ෆොන්සේකා - එක්සත් රාජධානිය
  43. මග බලා ඉමි….විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ - පන්නිපිටිය
  44. මයුර සංදේශයේ සිත්ගත් කවිගුරුළුගෝමී හෝ ගුරුළු දැමී හෝ ඔවුන්ගේ මුනුබුරා විසින්
  45. මගේ අනුබුදු සමිඳුණේඅමර ගුණසේකර - ප්‍රංශය
  46. නයිටිය පරක්කුයිනීතිඥ නීල් ගුණසේකර - කොළඹ
  47. සොබා දහම …හාජියාණී සෙයිද් ෆිර්දවුබී හනිෆ්ඩීන් - කොළඹ මාළිගාවත්ත
  48. To a widowed daughter-in -lawGunasekara Hiripitiya - Homagama
  49. විශ්වාසය රැවටුණිය රැයේආචාර්ය ඥානතිලක හේවාගමගේ, ඕස්ට්‍රේලියාව
  50. දියණි ඔබ ?චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව
  51. රත්නවල්ලි ගේ ගීතයඅනුර හෑගොඩ
  52. ලාල් හෑගොඩ වර්චුවල් ගැලරියලාල් හෑගොඩ වර්චුවල් ගැලරිය
  53. පොඩි පුතේවෛද්‍ය වරුණ ජයසිංහ (එක්සත් රාජධානිය)
  54. අම්මාවෛද්‍ය රසිකා ජයතුංග - එක්සත් රාජධානිය
  55. යසෝදරාවතේ සිත්ගත් කවි – අප්‍රේල්මහනුවර යුගයේ ජන කවියා
  56. ජනකවි මිහිරජන කවියා
  57. සොඳුරු හිතවතියනීතිඥ කල්‍යානප්‍රිය ජයසූරිය - කොලඹ 07
  58. පුත රාහුලපුල්ෂි චන්දිමා ජයසිංහ - කුරුවිට
  59. මා හොයන මමකිත්මිණි ජයසිංහ - ලන්ඩනය
  60. සිව්පා විමුක්තියදයානන්ද කන්නන්ගර - ලන්ඩනය
  61. වසංගතයේ පිපි පියුමනාලිනී කොඩිකාර - නුගේගොඩ
  62. අවුරුදු මොකටද ?මාවැලි කුමාරි කුලතුංග - මහනුවර
  63. නංගියේ ඔබනිමල් රන්ජිත් කන්දමුල්ල - ඉතාලිය
  64. සුභාෂිතයේ සිත්ගත් කවි – අප්‍රේල්අලගියවන්න මුකවෙටි තුමා
  65. ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි – අප්‍රේල්වීදාගම මෛත්‍රිය හිමි
  66. හෙළබස “පට්ට” ගැසීමසිසිල් මාන්නප්පෙරුම, Brampton, කැනඩාව
  67. සුභ අවුරුද්දක්චමිලා නවගත්තේගම - ලන්ඩනය
  68. කොළඹ යුගයේ සිත්ගත් කවිසාගර පලන්සුරිය
  69. මුහුණු පොත් සහ පියවි නෙත්සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
  70. දියණීවෛද්‍ය පද්මලාල් පතිරගේ - ඇතුල් කෝට්ටෙ
  71. හිත හඬයි සැඟවි රහස් කොනකහිතාශි පිටිගල - කළල්ගොඩ
  72. සියල්ල දත්!!!!!!නිමල් පෙරේරා - ඇමෙරිකා එක්සත් ජනපදය
  73. අවාරේකල්ප පල්ලියගුරුගේ - ලන්ඩනය
  74. කුලී සොල්දාදුවන් යුදබිමට බැහැලාඅතුල රත්නායක - ලන්ඩනය
  75. නැගිටිමු දෙපයින්වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක - පුංචි බොරැල්ල
  76. සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවිතොටගමුවේ ශ්‍රී රාහුල හිමි
  77. කෝවිඩ් වැලපුමදමයන්ති රූපසිංහ - බ්‍රිස්බේන්
  78. හෙවනැල්ලරුවන් රූපසිංහ, වැලිවේරිය
  79. එරබදු මල් කළු පාටයිරංජිත් ද සිල්වා - නවසීලන්තය
  80. කෙවිලියගේ රහසසමන්මලි සේනානායක - එක්සත් රාජධානිය (ගී පද රචිකාවී)
  81. කොරෝනාව පරදා ජයගත් දාටවෛද්‍ය ටියුඩර් ද සිල්වා - කෙන්ට්, එංගලන්තය
  82. රාත්‍රිය ඇවිත් සුනිල් එස්. සිරිසේන - මහනුවර
  83. මේ මහ විපත දැක දැක නිහඬව ඉන්නේනිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
  84. රියැලිටි ඛේදවාචකයකමල් සේමගේ - කතරගම
  85. ගැටුමට අලි-මිනිස් අලියන් වෙද නිවට?කිවිපති අජන්ත සෙනෙවිරත්න
  86. What a wonderful world –Wasantha Tennakoon - London
  87. සාමනේර සිතුවිල්ලශ්‍රියානි උඩුගංගොඩ - මහනුවර
  88. සිතිවිලි!ලුම්බිණි විතාන - ලන්ඩනය
  89. පෙම් කවක්රොඩ්නි විදානපතිරණ
  90. කළු ඉරිදාවෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - ඕමානය
  91. ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවිවෑත්තෑවෙ හිමි
  92. කොහොමද කොහොමදවිශේෂඥ වෛද්‍ය කේ. එල්. වික්‍රමරත්න - කොළඹ 5
  93. ඈවරයි, දෑවරයි, තුන් ඈවරයිසුඛිත විජයමුණි ලන්ඩනය
  94. ඇය නැති දිනේ අවුරුදු මට ඇතුවා ද?පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - එංගලන්තය
  95. අලුත් අවුරුද්දරොෂාන්ති විජේසිංහ - කොළඹ
  96. කලාවචතුරි වික්‍රමාරච්චි - වොෂින්ටන් DC
  97. මවගේ බලාපොරොත්තුවරත්නා විජේසිංහ - කොළඹ 5

විසල් හදක කවි – මොකටද මල් වඩම්

සැමුවෙල් රුද්‍රිගෝ

(පුවත්පතකින් උපුටා ගන්නා ලදී )

නොගිහින් කිසි දිනක කිසිවකු පසු පස්සේ
ජීවත් වුනෙමි දහසක් කරදර අස්සේ
මගෙ දුක බලා කව්රුද එළියට බැස්සේ
මොකටද මල් වඩම් මට මැරුණට පස්සේ

කුමටද ගුණ කතා සැරසිලි වැඩක් නැතී
හොඳටම වැඩි උනොත් සුදු කොඩි දෙකක් ඇතී
මැරුණට පසුව කිසි කෙනෙකුට බරක් නැතී
මිනිසකු මළා කීවොත් මට එයත් ඇතී

ජීවත් වෙලා සිටියදි මව් පියන් හට
කන්නට අඳින්නට කිසිවක් නොදුන් නට
මැරුණට පසුව නම් ඉහළින් පෙනෙන් නට
පින්කම් කරනවා දෙව් ලොව යවන් නට

පුළුවන් කාලයේ හොඳ හැටි කන්න හපා
කිසිවක් නොදුන් දරුවෙනි දරු කමද නොපා
පණ යන මොහොතෙ බොරුවට ආදරය පපා
හිරවී මැරෙයි මොකවත් ගිල්ලන්න එපා

කවදා නමුත් දවසක මිය ඇදුන විට
නැති ගුණ ගයා රොක් වී ගෙන ගේ තුලට
මගෙ දරු පිරිස බොරුවට වත් අඬන විට
නැගිටිමි පෙට්ටියෙන් පුළුවන් උණොත් මට

මාවත් නොදැනුණු….

සමන් අතාවුදහෙට්ටි

මා
පිණි බිඳක්
මහ කන්දක් මතට වැටුණ

මා
දිය පොදක්
මහ සයුරක් තුළට හැළුණු

මා
තරු කඩක්
අහසින් ගිලිහිලා වැටුණු

ඒ බව නොදැනුණු
කන්දත් ඔබම ය
සයුරත් ඔබම ය
අහසත් ඔබම ය

මාවත් නොදැනුණු ....

අලි දුක සහ මිනිස් දුක

කෝ ආනන්ද - පැරීසිය

සද්දන්ත නම් දළ දන් දුන් බෝසත්තූ
ඒ පරපුරෙන් පැවතෙන අපි අලි ඇත්තූ
වන රජ දහන පෙර උරුමය අර ගත්තූ
මිනිසුන් අප මරා කිම දළ අර ගත්තූ

පිපාසයට දිය බොනවා වැවම දනී
කුස ගින්නට කොල කනවා කැලෑ දනී
දරුවන් එක්ක යන මං කඩ අවුර ගනී
මරුවැල් ඇද මරනා හැටි තොපම දනී

කැලේ වැදී වැල් කොළ කා උන් අපට
කැලේ කිසිම වරදක් නොකරන කමට
කැලේ දෙයියො රැකගෙන ඉන්නා පිනට
කැලේ නැති කළේ ඇයි පහදනු සොඳට

වනන්තරේ රැකදුන් තිරිසන් සත්තූ
වනන්තරේ ගිනිදුන් නිරිසන් සත්තූ
වනන්තරේ සිරි සුන්දර අලි සත්තූ
වනන්තරේ සිරි සුන්කළ මනු සත්තූ

+++++++++++

මල් පැලේ පහන තියලා ගිය දෙවියෝ
වල් කොටලා ගොවිතැන් බත් දුන් දෙවියෝ
සල්ගස සේම මල් පලගෙන දුන් දෙවියෝ
වල් අලිනේ කිම බිලිගතු මගෙ දෙවියෝ

පාපයක් කළා නම් මා නොදනිද්දෝ
සාපයක් ම නම් පඩිසන් දීමක් දෝ
ලෝකයක් මැවූ දෙවි නම් උඩ ඉන්දෝ
අලි අතුනේ උඹලට දරු දුක නැතිදෝ

සීනයක් දුටිමි නපුරක් වෙන ලෙසිනී
පේනයක් ඇසූ නපුරක් නැති පිනෙනී
දානයක් දුන්න දා පහළ වූ සිතෙනී
කරුමයක් කියා වාවනු ද කෙලෙසිනී

එළිකළ කැලෑ පොජ්ජට පලි නිරන්තරේ
අලි බිලි මිනිස් අප නොවෙදෝ නිරන්තරේ
පිළියම් නොදී මර බියමයි නිරන්තරේ
යළි යළි මිනිස් අලි දුකමයි නිරන්තරේ

සිරකරුවා දුටු හීනය

ලූෂන් බුලත්සිංහල

නීති තර්ක විතර්කයෙන්
උසාවි ප්‍රජාව තහවුරු කළා - විනිසුරු අසුනට
"දිළිඳුකමත් අපරාධයකී"
යුක්තිය අයැද සිටි දිළිඳු මිනිසාට
නියම විය සිර දඬුවම්
නීතියේ රැහැනට හසුවූ නිසා
හොරෙන් පොල් කැඩූ වරදට
කුසගිනි නිවන්න දරුවන්ගේ

සිරගතවූ දා රාත්‍රියේ
අඳුරු දුගඳ සිර කුටියේ
යන්තම් ඇහැ පියවුණු යාමයේ
අසරණ සිරකරුට නින්දෙන් පෙනුණා
මෙන්න මේ නපුරු හීනේ

යුක්තියේ දෙවඟන අහසින් වැටුනා සේ
යුක්ති ධර්මයේ මහ දෙවොල අබියස
දෙවඟන පිළිමය කඩා බිම ඇද දමලා
සියුමැලි අතැඟිලි අත් පා වෙන් කරලා
දෙවඟන පිළිමය අතක දරා සිටි
නීති යුක්ති දණ්ඩනයේ කඩුව නමා
කෑලිවලට කඩලා
අතකින් ගෙන සිටි තරාදිය
යුක්ති සාධාරණයේ
කුඩු පට්ටම් කරලා
හිස සුන් පිළිම කඳ උඩුබැලිවී වගුරයි ලේ
පිළිමයේ හිස නෑ දකින්නට
පෙනෙන තෙක් මානයේ

මේ කුරිරු බිහිසුණු විපත කළවුන් උදම්වෙමින්
ඔල්වරසන් ගී ගයමින් නටමින්
කිරිබත් කනවා යක්ස පෙරේත පිසාච වේසයෙන්
බිම දමන්න බැරි තරම් මහ විසල් තුරු අතු පතරේ

රෑන් රෑන් ඇවිදින් ගී නද පතුරනවා
සුදු රෙදි හොරු කුරුල්ලෝ
සැරසී කලු දිග පිහාටු ලෝගු වලින්
රෑන් රෑන් ගැහිලා - කැරැව් කරනවා කාකයෝ
කහවන් සේද පිහාටු සලු පොරවන්
සෙත් පතා ගී ගයනවා - රෑන් රෑන් කහ කුරුල්ලෝ

මේ විපරීතය නරඹා ඉවසුම් නැතිවී යද්දී
සිරකරුට ඇසෙනවා ඉකිබිඳුමක් ළඳකගේ
විපරම් කර ඒ හඬ එන දිසාව
යනවා ඔහු ඒ දිහාට සැකයෙන්
"අනේ දෙවියනේ " කියැවුණි සිරකරුට ඉබේම
නෙත ගැටුණු ඒ දසුනේ කම්පනයෙන්

කාණුවට පෙරළා දැමූ - පිළිම හිස ඉකි බිඳිනවා
එබී බැලුවා විතරයි ඔහු - ළ0වී දෙවඟන මුහුණට
පිළිම නෙතේ බැඳි කඩතුරා ඉරාගෙන
දිගු දෑස එසවුණා ඔහු දෑස වෙත
පිළිම දෑසට උනන ලේ කඳුලු - රූරා වැටෙයි නොනවතී ඉකිබිඳුම ද
තිගැස්සුණි සිරකරු මුසපත්ව සංවේගයෙන්
ඇහැරුණා එසැනින් ඔහු නපුරු හීනයෙන්
දුකඳුරම හිත පෙළයි සිරකූඩුවේ

26-3-2021

සංග්‍රාම

සුදත් දේවප්‍රිය

(උතුරේ යුද්ධයෙන් පසු
කොලඹ ආ හමුදා සොයුරකු
තමාටම වෙඩි තබා ගනී.)

තරහින්ද නුඹ තවම
ජoගමෙත් ලෙඩ අරන්
ඔරවනවා මටම
ඇත්තමයි තoගනී
මo මටම යුද්ධයක

"දාලා යන්න නම්
ඇයි ආවෙ මo ලගට "?
ඔයා අහනකොට
උත්තර තිබුනෙ නෑ මට

තල් අරඹ ගිනිතියා
අපිත් එහෙ මෙහෙ ගියා
බයිනෙත්තු මෝටාර්
ඔයා හීතල කලා

කොළඹ ආ වැඩමුරේ
රජගෙදර පෙරහැරේ
රෑට යනවා අණට
මහසෝන් සමයමේ

පෙරහැරේ යන සුරිඳු
අලුත් සෙල්ලම් ගෙනා
ටයර් සෑ වැදගෙනම
කොලු පැටවු වැතිරුනා

තල්ගහේ යුද්ධයම
මෙහේ ඇවිදින් කලා
නිදා නොනිදා රැයම
මරණයට හිනැහුනා

ආයෙ දැන් හැරෙනු බෑ
ඉස්මුදුන රිදෙනවා
හිත්කැඩූ යුද්දෙටම
මoම වෙඩි තියනවා

ඉතින් තරහද තාම
ආදරෙයි තoගනී
ආදරයකට පස්සෙ
ආදරය ලැව්ගිනී

සිඹිමි අත් හරිමි යලි
සිඹිමි නුඹෙ සෝගිනී
බදාගත් ගිනිකදින්
මුවග විද සැනහෙමී..

බිරිඳ

සංගීතඥ නවරත්න ගමගේ

සංසාර ගමනේ ආත්ම ගණනාවක් වගේ
හැම තැනම මහා කඳුවැටි
එකට එක්ව බැඳී පවතින මහා කඳුවැටි
මේ මිටියාවත් වලින් ගලා බසිනා
මහා ජාල ධාරාව ඇයමයි
වෙනස් නොවී එක ලෙස
මේ එකම මගක බදාගෙන ගලා බසිනා
තුරුළු කරගෙන ගලා බසිනා
සංසාර ජාල ධාරාව ඇයමයි.
සෝ සුසුම් දැනෙන තරමට ඇය මට ලංවී ඇත

සෙනෙහසේ නවාතැන් පොළවල් නැත
එකම නවාතැන් පොළ ඇයමයි
සැමදා ඉර පායනු ඇත
ඒ බව ඇය පවසයි

සෙනෙහසේ වර්ණ ඔබ දුටුවා ද?
ඔබ එය අසා තිබේ ද ?
ඇයට ලියැවෙන කවි කල්පනා නැත
සෙනෙහස ඇති තැන කවිය ද නැත
කවි සිත කියන්නේ දෙබිඩි සිත ද
නැතහොත්
ඇය ද?

ගල් කුලේ විළාපය

චන්දන ගුණසේකර - වොට්ෆඩ් - එංගලන්තය

වෙස්ස ගිරිය පාමුල ඇති වන අරණේ
එක පවුලක් විලසින් සිටියා පොරණේ
නර පතිඳුගෙ අණකට නතු වී දෙරණේ
අම්මා ගෙන ගියා නැති වුනි තිබු සරණේ

කපා කොටා ඔප දමලා මවගෙ වත
මණරම් පෙම් වතුන් යුවලක් අඹල ඇත
නොදුටුව නමුඳු කඳුළින් පිරි ඇයගෙ නෙත
දුටු හැම දනෝ තම සිතු පහදවා ගත

පියා හිරවුනේ මුර ගල් රුවට වැසී
සොයුරා වැතිර ගති සඳකඩපහණෙ පිසී
නැඟෙණිගෙ විලාපය ඇය ගෙන යද්දි ඇසී
හෙලුවා කඳුළු මිස වෙන මා කරනු කිසී

නුඹගේ විස්කමින් හැම දන තුටුවූවා
පිවිතුරු කලා නිමැවුම් යැයි පැසැසූවා
එකටම සිටිය අප පවුලෙන් වෙන්වූවා
අප නැඟු දුක් සුසුම් ගල් තුල සිරවූවා

ආදරේ නිල්පාට ද නිල්පාට ආදරේ ද

බුද්ධදාස ගලප්පත්ති

ඔයා කියනව
මං ආසයි නිල්පාටට
නිල්පාට ඩෙනිම් කලිසම්
නිල්පාට සොෆ්ට් ඩෙනිම් කමීස

නිල්පාට කිව්වම
කොච්චරක් නිල්පාට තියෙනවද අනේ
Sea Blue
Sky Blue
Peacock Blue
මං ආස ඒ හැම නිලකම තියෙන
එක නිල්පාටට
ඒ කියන්නෙ ඔයාගෙ ඇස් දෙකේ නිල්පාට වගේ

බොරු කියන්නෙපා
මගේ ඇස් දෙකේ කොහෙද නිලක්?

නෑ සත්තයි ඔය දිළිසෙන්නෙ නිල්පාටට
' නීල උත්පල දිගැටි දෑසයි... නීල චංචල කිඳුරු දෑසයි...'

සේකර ඒ කියන්නෙ සුබා ථෙරණියගෙ
ඇස් ගැන

ඉතිං සේකර හරි නේ

එහෙම නම් මමත් සුබා ථෙරණිය වගේ
ඇස් දෙක ගලවල දෙන්නද ඔයාට මතක් වෙන්න?
පිස්සු නැතුව
මගේ කම්මුලට හාද්දක් දෙන්න
මගේ බෙල්ල බදාගෙන
නිල්පාට ඇස් - බොරු කතා

නෑ සත්තමයි රෑට නින්දෙදිත් මට පේනවා

නින්දෙදි පේනවද මෝඩයො ඇස්
ඇයි මාත් එක්ක කියල තියෙන්නෙ
කැම්පස් යන කාලෙ නින්දෙදි මතක් වෙන්නෙ
සන්ධ්‍යකුමාරිල විජිතල කියලා
ඒ ගොල්ලන්ට තිබුනද නිල් ඇස්
මම කියන්නෑ රෑට දැක්කෙ මොනවද කියල
විහිලු කතා කියන්නැතුව
මට කිස් එකක් දෙන්න

නිල්පාට ආදරේ ද
ආදරේ නිල්පාට ද

මං දන්නෑ හරියටම මොකක්ද කියල
ඒත් මං ආසයි ඔයාගෙ ඇස්දෙකට
කතාකරන ඇස්
නිල්පාට ආකාසෙ
නිල්පාට මහ මුහුද
නිල්පාට නිල්පාට
ජීවිතේම නිල්පාට

28.03.2021

ජාතියේ මළ ගම

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්

දැය රුක මුල හෙළ බස වග නො වැටහිලා
හෙළ බල මුළ නැහැ උවදුර ගැන හිතලා
වහරෙහි බල බස රැස සුරැකුමට නොලා
ඇති කිම පල, දැය රැකුමට ගිරිය පළා?

සරසවි තුළ හෙළ බස වහ කදුරු වෙලා
විදුබස නිල නීතියෙහි පර බසට ලොලා
පෙර පාසල යන ඉංගිරිසියට ගලා
සිහළෙහි කල දවස හොඳටම අඳුරු වෙලා

කොහි ද උරුම ඉංගිරිසිය රජ කෙරුණු
රැකෙ ද දැයක් පෙළපොතෙ පර බස යෙදුණු?
ගැහෙ ද හදක රිද්මය මවු බස සිඳුණු?
කිම ද නොවැටහෙනු බස මිය යන ලකුණු ?

ආදියෙ උරුම රැකුමට යුද වැදුණාට
වාපියෙ දාගබෙහි සවි තර කෙරුවාට
වීදියෙ සිහළ පුරසාරම දෙඩුවාට
ජාතියෙ පණ නැසෙයි හෙළ බස මළ දාට !

කන්ද නැති වෙලා

අනුරාධ හිරිපිටියගේ

ටකරං කෑලි පස් අස්සෙන් උඩට ඇද
විපරම් කරයි ලේ තැවරුණු කමිසෙ ගඳ
දඹ රන් පිළිමෙ වැළලී ගොස් පොළව මැද
මිහිදන් වෙවී යයි නෙතු අග කඳුළු පොද

හිරු කැන් නෙතු ගැටුණ පෙම්බර කඳු මුදුන
අවමන් කළේ ඇයි මවලා කළු අඳුන
සුසුමන් උඩට එන්නට පස් යට රැඳුන
කියපන් වචන අප්පච්චිගෙ හිත බැඳුන

පොලිසිය ඇවිත් වට කර කහ පටිය බැඳ
ඇසිපිය වසති ගම් වැසියෝ පෙළට හිඳ
ගිහි ගෙය - 'කැණිමඬල' - උණුහුම නොමැති සඳ
බොර දිය පහරෙ කැරකෙයි ජීවිතයෙ තෙද

ලන්ඩන් උමං දුම්රිය

විල්සන් හෑගොඩ

මහ ගොඩනැඟිලිවල මාවත් හතර වටින්
පවතී නගර කොලහලයක දෙරණ පිටින්
ගිලිහුණු කුරුල්ලකු දිවයන පරිදි මිටින්
දුවයයි උමං දුම්රිය මහ පොලව යටින්

පැමිණෙන කවර මොහොතක හෝ පොළොව ගැබේ
හැම තුන් විනාඩියකම දුම්රියක් තිබේ
පතුරොම වගේ යන රයිෆල් කඳක ඉබේ
දුම්රිය අඳුරු බිම් කුහරෙහි දුවනු ලැබේ

ඔන්චිලි පහන් හෝ නිල් කොඩි වැනිලි නැත
නොපිඹෙයි නලා දැළි නොබැඳෙයි ඇඳුම මත
දොරවල් තිබෙන තැන යන රිය මැදිරි වෙත
දිගටම වේදිකාවේ කළ ලකුණු ඇත

මගියෝ නියම තැන වෙති ඇති ලකුණු කර
දුම්රිය අවුත් නවතී හැර විදුලි දොර
ඉක්බිති වැහෙයි දොර මඟියන් නැඟුණු වර
නොදුටිමි උමං දුම්රිය වෙත නඟින පොර

ගැහැණිය බිම තබා මිනිහා රියට නැඟ
පොරකාගෙන ගොසින් නොහිඳී කවුළු ළඟ
වැරදීමකින් වැදුණොත් යම් කෙනෙකු ඇඟ
පවසයි "සමාවන්නැයි " පා සිනහ ගඟ

මගියෙක් තවත් මගියෙකුගේ ඇඳුම ගැන
නොසොයයි එමෙන් නොඅසයි ඔහු යනෙන තැන
මඟිනට වමෙන් යන්නැයි බැස පිටට යන
කීවොත් නොයනු ඇත දකුණින් ඉවත පැන

කළු සුදු වෙනස හෝ පෙම්බර පැටලිල්ල
නොතකති උමං දුම්යාණෙහි යන ගොල්ල
මල් ඉහිරෙන වියේ සිටි රූබර කෙල්ල
නොලබන්නීය මැහැලිය ලද සැලකිල්ල

වයසක දුබල කත රිය වෙත නඟින විට
අත දෙන ඇගේ මුළු බර ගෙන අසල සිට
සමහර කෙනෙක් තරුණියකගෙ සිනහ කට
නොතකති ඒ තරම් ලොකුවට අගය කොට

සැතපුම් පනහ හැට වැනි කඩිසර සිලී
ගමනැති උමං දුම්රිය යන මත පිළී
ඇස සනසවයි පිරිසිදු ගතියෙන් හේලී
ඇඳුමෙහි නොගෑවෙයි බිඳකුදු දැලි දුලී

කැමරා ඇසට නිසි පියකරු දසුන සොයා
ලඟදී උමං දුම්රිය හත අටක ගියා
ලක්දිව අපේ දුම්රිය වල ලියන නියා
නොතිබුණි මැදිරි වහලේ කුණු හරුප ලියා

1963 වසරේ දී

පන්සලේ අලියා

වෛද්‍ය රුවන් එම්. ජයතුංග - කැනඩාව

පන්සලේ හාමුදුරුවන් ගේ අලියා
පැටියා කාලේ දායකයෙක්
අමතක කරලා ගිය නිසා
කන්න දීලා හදාගත්තා

පන්සල් වත්තේ අලියා බැඳලා
කකුල් හතර කිටි කිටියේ
හැරෙන්නවත් බෑ
හොඞය වනනවා

යකඩ දම්වැලට
කකුල තුවාල වෙලා
දම් පාටින් බේතක් ගාලා
තුවාල වල මැස්සෝ පිරිලා

ලොකු හාමුදුරුවොත්
ලොකු හාමු කෙනෙක් වෙලා
අලි ඇත්තු තමන් සන්තක කරගෙන
මහ රාජා කෙනෙක් වගේ

ගමන් බිමන් යන්නෙත් පත වාහනයක
නිතරම සෙල් එක කනේ
ඉන්නේ දේශපාලකයෝ පිරිවරාගෙන
පිරිවර සමග සසරින් එතර වෙන්න

අපට නම් කිව්වේ උන්නාන්සේ
සියල්ල අත් අරින්න කියලයි
කුසල් සිතින් අපි අත් ඇරියම
උන්නාන්සේ ඒවා තදින් බදාගත්තා

චිරාගත සංස්කෘතිය රකින්න ඕන නිසා
අලි පැටියෙක් කැලයෙන් අල්ලන් එන්න
කියලා උන්නාන්සේ අලි රොෂාන්ට කිව්වේ
ඇසෙන නෑසෙන ගානට

මිසදුටුවෝ - බෞද්ධ විරෝධීන්
එන්.ජී.ඕ කාරයෝ
බොරු සත්ව කරුණාව ඇත්තෝ
හමුදුරුවන්ව විවේචනය කරනවා

කැලේ ඉන්න අලි අල්ලගෙන
උන්ව දම්වැල් වලින් බැඳලා
කුම්බස්තලයට හෙණ්ඩුවෙන් ඇනලා
දසවද දෙනවා කියනවා

උන් අහනවා මේවා බෞද්ධ වැඩද
බුදුන් වහන්සේ දේශනා කලේ මේවද
අරකද මේකද කියලා
හාමුදුරුවන් ගෙන්

හාමුදුරුවන් නම් කියන්නේ
අලි කියන්නේ බෝසත්තු
උන් අපේ සංස්කෘතිය එක්ක බැඳිලා හිටියා
බෝසත් ඇතා පිට උඩ තමයි ධාතු කරඞුව වඩම්මන්නේ

මිසදුටුවෝ - බෞද්ධ විරෝධීන්
එන්.ජී.ඕ කාරයෝ -බොරු සත්ව කරුණාව ඇත්තෝ
උන් කියන විදියට ධාතු කරඞුව වඩම්මන්නේ
මහ ඇමතිගේ ඩිෆෙන්ඩරයේද ?

මේවා මහ මෝඩ කතා
පන්සල් වල අලි එදත් හිටියා
අදත් ඉන්නවා
හෙටත් ඉන්නවා

උන්ව හැමදාම දම්වැල් වලින් බැඳලා
හෙණ්ඩුවෙන් ඇනලා
මෙල්ල කරලා තමයි
ලොකු හාමුදුරුවන් ලඟ වන්දවන්නේ

පන්සලේ අලියෙක් ඉන්න එක
කොච්චර නම්බුද
මැති ඇමතිවරු අටපිරිකර අරගෙන එනකොට
පේන්න ගැට ගහල ඉන්නේ ආවාසේ ඉස්සරහම

අලියා කියන්නේ සංකේතයක්
අපේ අනන්‍යතාවයක්
සංස්කෘතික නිමිත්තක්
ඒ නිසා ඌ සතෙක් නෙවෙයි
වෙන මොකක්ද එකක්

ඉතිරිය මෙතැනින්...

පින් පව්

කෞශල්‍යා ජයලත්

වැවේ බැසන් මල් නෙළුවේ මං වෙච්චී
නවේ ළඟින් ඉස්කෝලෙන් නැවතිච්චී
දුවේ කියන් කීවේ මගෙ අප්පච්චී
ලොවේ දනන් හට මල් කෙල්ලක් වෙච්චී

ලෙඩේ දුකෙන් ඔත්පල වූ අප්පච්චී
කඩේ ඉඳන් තනි රකිනා මලු හිච්චී
වඩේ දෙකෙන් කුස රවටන තංගච්චී
බඩේ බැඳන් පිහිනමි මම නැත නිච්චී

හිමේ ගොසින් ඵල වැල නෙළු අපෙ අම්මා
එලෝ ගොසින් අපෙ දුක් නම් නැත නිම්මා
නිවේ අඟුරු ලිප් බොක්කේ කර පෙම්මා
පිදූවොතින් බුදු පාමුල මල් අම්මා

නෙළුම් මලින් මල් මාලා ගොතාගෙන
සඳුන් දුමින් බුදු සමිඳුන් පුදාගෙන
නිවන් පතන් තුන් සුතුරේ කියාගෙන
දොහොත් මුදුන් දී වඳිනට කොහි ද පින

විලේ නෙළුම් මල් යායට. පිපෙන්නේ
මලේ නුඹෙන් විතරයි දන් ලැබෙන්නේ
බලේ පනම් අපටයි දුක් දෙවන්නේ
මලේ මිලට ඒ හින්දයි හැරෙන්නේ

පවේ අරා මල් විකුණූ වැරැද්දිනේ
භවේ පුරා මල් කෙල්ලක් වේ ද අනේ
මඩේ එරී මල් නෙළු මට නැති ද පිනේ
කුඩේ දරා මිලදී ගත හැකි ද පිනේ

දැනේ නුඹට අපෙ දුක මට හිතෙන්නේ
රනේ රුවට එනිසයි මල් පිපෙන්නේ
බණේ අපට පහදා දෙන ලෙසින්නේ
අනේ මලේ නුඹ සුර ලොව වඩින්නේ

බලා ඉන්න පුලුවන් නම්
ඉන්නව ඇස් පියවෙන කං
එහෙම තමයි ප්‍රේම ලෝකෙ
බොහෝ කතා පටං ගන්නෙ ...

එකින් එකට දඟර ගැහුන
එතී දිවෙන ප්‍රශ්න වැලක්
රාග වැලේ දැවටෙන කං
රෝස මලෙකි ඒ ප්‍රේමය
ඊට පස්සෙ තමයි ඉතිං
සූට් කේස් ඕන වෙන්නෙ
ගෙදර පවුල මතක් වෙන්නෙ
දරුවන් ගැන හිතට එන්නෙ

කාට ඉතිං මේක උනත්
බලං ඉන්න අයට ෆිල්ම්
ටිකට් නොගෙන සුපිරි දසුන්
නළු නිළියොයි අපා දුකේ

ගේ ඇතුලේ ප්‍රේම කතා
දිගින් දිගට අරං යන්න
එදා වගේ අද හෙටටත්
‍සීල රාග ගුණ වයන්න
නෑ එතකොට කවදාවත්
වැරදි එකින් එක පේන්නෙ
ඕන වෙන්නෙ ප්‍රේම කතා
ගෙයින් පිටට අරං යන්න

වැරදි වෙනව කොයි කාටත්
විසිකරන්න පරණ කතා
පරණ ආල සුව විඳින්න
නිවසම දැං ප්‍රේම විලක්
මල් පිපෙනා සුවඳ ලොවක්
පිසලයි මහ කඳුළු ගඟක්
ඉතිං නෝනෙ පටං ගනිමු
අපි කරන්න ප්‍රේම කතා...

දරාගැනීමයි ප්‍රේමය
වැඩි ඉවසීමයි ප්‍රේමය
ගෞරවයෙන් හිත දීමයි
සතුටට පත් වෙන ප්‍රේමය...

නො ඉඳුල් ඉඳුල්

ඩබ්ලිව්. ජයසිරි

මුදුන් මුලට ඕන නැද්ද
අත්ත මුදුන අගට පිපුනු
සුවඳ කුසුම
නො ඉඳුලේම පරවෙනතුරු
බලාගෙනයි
එහෙම නොවෙයි
මුදුන් මුලේ
උජාරුවට
මී මැස්සෙක් පියඹා
එයි
මල්කෙමියට
නො දැනෙන්නම
පියලිඋඩින්
කෙඳිරිල්ලේ
සිපගන්නා
ඔබ මුවගට
සිණාගඟක්
ගලාහැලෙයි
බලාගෙනයි

[13/03, 10:31]

තොත්ත බබා

තලන්ගම ජයසිංහ

සීත රැයක්

කපිල කුමාර කාලිංග

බොහෝ සීතලයි, මේ රාත්‍රිය
සුබ රැයක් නොපතාම
නිදන්නට ගොසිනි ඇය.

දුර ඈත කදු පෙළෙහි
නොපැහැදිලි එළි රැසකි
නිවි නිවී දැල්වෙනා, මීදුමෙහි
ඇගෙ නිවස, කොතැනදැයි නොදනිමි

බලා සිටින්නෙමි - ඒ දෙස
සුසුම් ලන - සෝ සිතිණි
මෙය බොහෝ දිගු රැයකි
පතයි උණුසුමක් සිත

තුරු මුදුන් - අතු පතර
සැළෙයි - සෙවණැලි මවන,
සුබ රැයක් නොපතාම - ඇය නිදයි
මේ රාත්‍රිය - බොහෝ සීතලයි

2021/03/07

Bitter bitter is this cold night - Kapila Kumara Kalinga

Bitter bitter is this cold night,
She's gone to sleep without bidding good night .
A faint light in a far away hill soothes my sight,
Bitter ,bitter is ,this cold night.

That can be the place where she dwells
in blithe ,
So I keep looking at that speck of light
Then I feel a surging sorrow in my heart's tide,
Bitter bitter is this cold night.

Now I see its gradual fading
Through an ethereal mist of veiling ,
Until it glows again ,am waiting
In this bitter cold night at freezing .

Translation Sunethra Aluthdunne

සරසවි යන දියණියන්ට

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එංගලන්තය

වහිනා සඳට මල් වැස්සක තෙමීයන්
හමනා සුළඟ රොන් සුවඳින් පිරීයන්
වැටෙනා හිරු රැසින් මුදු වත දීලියන්
හීනෙන් දකින විට දිවවිත් වෙලීයන්

රන්මසු සුවවෙනා දරුවකු හසරැල්ල
අබරණ රෝ බියෙන් මිදි සිත සැනසිල්ල
වත්සුණු මිනිස් සුවඳින් පිරි නැලැවිල්ල
සිහසුන පින් පුදන දන මෙත් සිතිවිල්ල

පැදුරේ නිදන්නාටත් වේදනා දැනේ
මැදුරේ වෙසෙන්නාටත් තනි නොතනි දැනේ
අඳුරේ හිඳිමි ගෙයි පහනක් පිදුව දිනේ
නුදුරේ ලොවක් ඒ පහනින් දිලෙනු පෙනේ

අඳුරට එරෙහිව

නිලාර් එන්. කාසිම්

සිඳී ගිය පියාපත සවිමදි ද
විඩාබර නෙතු දෑලෙ කඳුළැලි ද
විහඟුනේ ඉසිඹුවට කල් වැඩිය
පියාඹමු හිරු වඩින නිම් තෙර ට

සිනාසෙන්නට සිටින දරුවන් ට
සිනාවක් රැගෙන එමු පළදින් ට
පියාපත් පිරිමදින තුරු නො ඉඳ
පියාඹමු හිස සිඹින සිහිනය ට

තටු සලන මුදු සිතැඟි ඇහැරෙන්න
මං වසන කළු අඳුර බිඳලන්න
රතු අහස විළිලාන එන විටෙක
පිපෙන මල් කැකුළු පෙති සිපගන්න

'පැහැසර අරුණක' ගී පොත - 1999

වසන්තය ඇවිත්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

දුෂ්කර සරත් කාලය ඇත පෑල දොර
ලස්සන වසන්තය අත ලඟ පේන දුර
පස් යට නිදන මල් ඇට සැනසීම බර
හුස්මක් ගන්න හඬ ඇහෙනව නේද සැර

අතු සිඳි රෝස පඳුරේ දඬු වල අගිසී
සතු නව ලදළු දැන් වස්සානය පැවසී
රතු ඩේලියා අල පණ අරගෙන සැරසී
මතු වී පිපෙන්නට අර අඳිතී වෙහෙසී

වෙනදා නොමැති කඩිසර කම් එකතු කල
පෙර දා තනිව ගැවසුණ නෙක කුරුළු කැල
දෙදෙනා බැගින් වළඳති ආදරේ ඵල
පිපෙනා වසන්තයෙ ලා හිරු කිරණ වල

මොස්කව් සිහින

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම

ලොව රස ම හිම කිරම
මොස්කව් නුවර ඇත
ලොව සුන්දරම ළඳ
මොස්කව් නුවර වෙත
ලොව රසම කවි පද
පුෂ්කින් ලියා ඇත
ඔහුගේ උපන් දින- (ජූනි 06)
මුළු මොස්කව් නුවර
කවි මඩුවකට පෙරළෙත
සොඳුර ඔබ කියා දුන්
පුෂ්කින්ගෙ කවි පද
මට තවම මතක ඇත

"I want to understand you,
I study your obscure language "
- Alexander Pushkin

අපැහැදිලි ඔබේ බස
මට තවම මතක ඇත
ඒත් තවමත් නොහැක
තේරුම් ගන්න ඔබ

පුෂ්කින් ගෙ උපන් දින-
මොස්කව් නුවර දන
කියවද්දි ඔහුගේ කවි හඬ නඟා
හිම කිරම රස පරයා
ගලා යයි කවි රසය
මහා නගරය පුරා
සොඳුර ඔබ කියා දුන්
පුෂ්කින් ගෙ කවි රසය
සමග ඔබෙ කොමළ වත
නොමැකේය මතකයෙන්

"I've lived to bury my desires
and see my dreams corrode with rust
now all that's left are fruitless fires
that burn my empty heart to dust
- Alexander Pushkin

‘මා ජීවත් වූයේ මගේ ආශා මිහිදන් කරන්නයි
මගේ සිහින මළ කා දිරා යනු දකින්නයි
ඉතිරි වී ඇත්තේ පලක් නැති ගිනි පමණි
මා බොල් හදවත දවා අළු දූවිලි කරන’

ගුත්තිල ඇදුරාණෙනි !!

පරාක්‍රම නිරිඇල්ල

ඔබෙන් ශිල්ප නිම කළ සිසු මූසිල
කියා සිටින වග අසනුය ගුරුතුම
පවිටු දුදන ගති ඇති අදමිටුවෙක
කියා නිගරු නොකරන් මට මෙලෙසින

වසර සතින් ඔබෙ මහ සිප් සයුරත
තරණ කළෙමි නැණ නැවිනිය සිතු ලෙද
එයිනි එපිටද ඔබෙ සිප් පරයන
සයුරු සතක් විය මා තරණය කළ

සයුරු අටක සිප් දුටු මම ගුරුතුම
ඔබෙ සිප් සයුරෙහි දුටුවෙමි පටු බව
එයිනි උගත් පටු නැණ ඇති දන හට
මගෙන් ශිල්ප දෙමි වෙද එහි කිසි දොස

ඇදුරු තුමනි පරසිඳු මුළු දඹදිව
තරණ කෙරුව මා එසියල් සයුරත
කරණ සඳෙහි උන මෙත්නෙන එතරත
මරණු කිමද මා බැට කැට මුගුරින

සිංහළ අවුරුදු සිහින

දයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය

අළුත් අවුරුදු කුමරු වඩින සඳ පෙර ගිරේ
මලානික වන වදුලු සිනා පැහැයෙන් පිරේ
ඈත් වී හිතවතුන්, දෙමාපිය, සනු හරේ
සුසුම් පසුතැවිලි මිස කුමක් වෙද බට හිරේ

දොළොස් මස් ගෙවී එන සිරියාව බක් මහේ
ගව් ගණන් දුර නමුදු සිතින් සඟවනු නොහේ
ගෙදර කල එළි වෙවී ඉදෙයි රඹ කැන් ගහේ
එවන් සිරි යළිත් මා දකිනු කවදා කොහේ

නැකැත් සැණ එන තුරා වෙලා බල බල ඉන්න
අළුත් ඇඳුමෙන් සැදී පහන් වැටි දල් වන්න
රතිඥඥා හඬ අසා උදෑසන පිබි දෙන්න
අනේ ආසයි මටත් යළිත් ගම රට යන්න

බැඳේ ඔන්චිලි ගසේ නැගුණු සඳ ගුවන් යන
මිදේ කිරි ඇතිළියෙහි දකින සිත් පහන් වන
සැදේ අතිරස කැවුම් සුවඳ නොයිවසුම් වන
බිඳේ දොම්නස මැදින් රබන් හඬ ගිගුම් දෙන

වැටේ එරමුදු ගසේ හැඩට රතු මල් පිපෙන
ගමේ කජු ගස් මුදුන කොහා පිළිරැව් නගන
කැවුම් කිරිබත් සුවඳ රබන් පද පිරි වැරුණ
දැනේවා පෙනේවා මටත් අවුරුදු සිහින !

ඇහලෙ පොල වැලපුම

ප්‍රීති රන්දෙනිය


ඉතින් අවුරුදු සමරමුද කෙලෙසින් ?

එස් එල් සෙනෙහෙධීර , ලෙච්වර්ත්

වඩියි හිරුදෙවි නුහුරු ගමනක සොවින් පිරි දෙනෙතින්
ඇසෙයි ඉකිබිඳ හඬනු කොවුලන් රිදවමින් දෙසවන්
මැවෙයි ගිණිමල් නැගුණු'යුරු දෙව් මැදුරු පියසි මතින්
හඬයි හදවත, ඉතින් අවුරුදු සමරමුද කෙලෙසින් ?

දරාගෙන දුක දෑත පා මම මගේ දෙවිඳුන් යදින අතරේ
මරා මා නුඹ නුඹේ දෙවියන් පුදනු ඇදහිය නොහැක මිතුරේ
කුරා කුහුඹුවෙකුටත් වරදක් නොකළ සියයක් දනන් අතරේ
මරාගෙන මියැදෙන්න තරමට කළේ අකුසල් කිමද සසරේ ?

බිඳී විසිරුණු දෙව්රුවේ ලේ කඳුළු පිසදා සෙනෙහසින්
සිඳී අත්පා දිවිය සුරැකුණු ගිලන් දන නිති සනසමින්
හිඳී නම් ලෝසතට මෙත පා එකම මනුලොව සුරකිමින්
වඳී දෙවියොත් අපට මෙහිවිත් ලැගුම් ඉල්ලා මනු ලොවින්

හිම කබා නැති
හීත සමයක
ඇගේ උණුහුම් මතක අරගෙන
සීත කාලය ඇවිත් යනවද
ආයෙමත් හුරු පුරුදු නුවරට

නෙතේ සිරවුණ
මිදුණු කඳුලට
ඔහේ ඉන්නට දෙමු කියා

දෙතොල් මත ඈ ලියූ කවි ගැන
නුඹටවත් මා නැත කියා

එකදු බැල්මක
නෙතග කැල්මක
කිසිඳු දින ඈ නැත ලියා

ප්‍රේමයක් ළඟ නැති දිනක්
මේ තරම් හීතල යැයි කියා

එ දවස

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

මතක නම් ඒ දවස
මතක ඇති සැඩ සුළඟ
සුසුම් දහසින් තැනුණ
කුණාටුව වූ සුළඟ

කුණාටුව තැනු උනට
පියාපත් බර පමණ
නොවී යසිසුරු දිනන
කැදලි තනනා සිහින

බැගෑපත් වී යදින
තැලී පොඩිවී හිඳින
සුවාසක් ජනයිනට
දිනා දෙන ලොව පමණ

තුමුල වාසල් පවුරු
විකුම් පෙළපත් මහරු
කම්පාව සැඩ නලින
සැළුම් වෙවුලුම් කෑය

පිපී එරබදු රුසිරු
නැඟූ කූජන මියුරු
උදා බග සඳ වතෙහි
තැබී සසලප රුහිරු

වියැට විසිරී මඩට
කිඳී කලලෙහි යටට
මළ ද ඒ මරණයද
අස්වැන්න වේ හෙටට

2021.03.18

පන් සිල්

නීතිඥ සුනේත්‍රා යූ. ආර්. වනිගසේකර - වත්තල

රුදුරු අවි දෑතින්ම දරණා
හන්ටින්ය සොඳුරු සිරි වදනා
අහිංසක වන සතුන් මරණා
ප්‍රාණ ඝාතනයම සිදු කරණා
පාප මිතුරන් අතරෙ සරනා
සිල් පදය ඔබ අතින් බිඳුනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇණ
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

කම්හලෙහි වැඩ කරන
අසරණවු දනන් හට
සොච්චමක් දී පඩිය නිතිනා
ඉන් ලබන ලාභයෙන්
තමන්ගේ මඩිය තර කරණා
සැපරියෙන් යන ගමන බිමනා
තමන්ගේ දියුණුවම පතනා
සොරකමය දැන දැනම කරණා
වන සම්පතත් හොරෙන් කපනා
ඒ තුලින් ගජ වාසි ලබනා
භූ ජලය ඉක්මනින් සිඳුනා
පරිසරයෙ සිරි අසිරි නිවුනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

කාමයේ හැසිරෙමින්
පවිටු මිතුරන් ඇසුරෙ හිඳිනා
නිවස තුළ අඬ දබර රඳනා
සැනසීම නැත කිසිදු සරණා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

කෲරතර වදනින්ය
කම්හලේ අඬහැරය
දුටු මතින් හැම දෙනම බියෙනා
ඉපිලයන හැටි ඇසට ගැටෙනා
පාප මිතුරන් කැටුව දොඩන විට
තමන්ගේ හිස් බවම
ප්‍රබල කොට ප්‍රලය කොට පෙනෙනා
නිරන්තර කට නිසා නැසුනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

සුරාවෙන් මත් වෙමින
නුරාවෙන් බස් දොඩන
අපායට සහය දෙන
ඔබගෙ මිතුරන් සමග
හිස් කරයි රට බීම
තලු මරයි ගව මස්ද එවිටා

රටට සුදනන් ලෙසට පෙනෙනා
සුදු වතක් ගත නිතර රඳනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

මුළු රටට වින කරන
මෙ මහතුන් සැමට
ආවඩා ආයු බෝ වේවා
ආවඩා ආයු බෝ වේවා

දෙවොල තුළ නැත දෙවිඳු
දෙවිඳු පැන ගොස් ඇතිලු
බොහො කලක් ගත වීලු ඇසුනා
දිව හඬක් හැම දෙසින් ඇසුනා

නුඹ නැති සොවින්

කිවිපති ආසිරි විජේසේකර

ඔබ ලියු කවි වලට කවදත් පෙම් බැන්දා
අරුතක් සමග මිහිරක් නිරතුරු වින්දා
දුක සැප ලඟදි හැමදා ළඟ සිටි හින්දා
නුඹ නැති සොවින් මගෙ හදවත ඉකිබින්දා

අමතක මතක සිහිවී හදවතට වද
සැනසුම දුන්නෙ ඔබ හා නෙතු කඳුළු බිඳ
සොහොයුරු පෙමින් අප තුල ඇති සෙනෙහෙ කඳ
දියකළ හැකිද පවසනු මට මගේ හද

මට…..

කුමුදු අමරසිංහ - උතුරු ලන්ඩනය

සමාවෙයන් මගෙ මල්ලියෙ - එක්කන්
යන්නට නාවට
පොල්රුප්පේ මං තනිය ම - රැක්කෙ
අම්මා තාත්තාව
තල් අරණේ කළබැගෑනි - දින දින
උඩ මතුවෙන විට
නුඹ ගියා ද අපව දමා - කාටත්
නොකියා රහසෙ ම

පොල්රුප්පේ කොහෙ හිටියත්
ඉන්න අපේ වුන් වාගෙ ම
තල් අරණේ කොහෙ හිටියත්
ඉන්න වුනුත් අපි වාගෙ ම
රණ්ඩු දබර වෙලා ගියේ
උන්ගෙ වුවමනා හින්ද ද
කොයි දේසෙත් එකෙක් - දෙකෙක්
දිය යට ගිනි නොගෙන ගියෙ ද

ඒ ගින්දර පත්තු වුණේ
මව්පියො-සියොළඟ නොවේ ද
පාතිඅම්මා කුරුපන් තල්
අරණේ වැළපුණා නේ ද
පත්තු කෙළේ ඒ ගින්දර
උන්ටත් නුඹටත් නොවේ ය
ඉහළින් වැඩ කරපුවුන්ගෙ
ඉහ - මොළ පල්ලේ නිසා ය

නුඹත් ගියා උනුත් ගියා
අනෙක් වුන්ගෙ දෑස් තෙමා
ඒ කඳුළැලි කෙදිනක හෝ
නැගුණු ගින්න නැති කරාවි
එදිනට දුක - සැප බලන්න
බුදු මල්ලියෙ ඇවිත් යන්න!

අකාල මරු කතරේ
රට-දැය සුරකිනු ව
මරු අතරේ සැඟවුණු
යසද් ජයනාත් අමරසිංහ
නම් වූ මගේ මල්ලීට
මගේ කවි කුමුද
උපහාරයක් ම වේවා!

ඉතිරිය මෙතැනින්...

නිල්

සුනේත්‍රා අලුත්දුන්න - මාතලේ

සොරාගමි මහ සයුරෙන්
නිල් පැහැති දිය බිංදු අහුරක්,
අහුලමි නිල් කටරොළු මල් මත
රැඳෙන හිරුගේ නොයිඳුල් ප්‍රථම කිරණින් මිටක්,
ඉන්ද තෝරා වෙන්කරමි නිල්වන් හිරු කෙඳිම සියයක් ,
සොයමි ඉන්පසු සප්ත වර්ණයෙන් දුලන
ඉඳුපිළාවන් හි ඇති නිල්පාට පමණක් ,
මධ්‍යහ්න ගගනතින් ද සූරාගනිමි තද නිල් පාටින් බිඳක්
නෙළාගෙන වනවිලක සුපිපි
සුපුල් ඉඳුවර මලක්
තලා තනමි ඉන් ඉතා මෘදු පත්තක්
ඉන්පසු කළතමි මුසුකොට සියලු නිල්
එක වාරයක් .
සාදාමි කිසිදිනෙකත් ඔබ නොදුටු
පසන් නිල් පැහැයක්,
පෙන්වමි ඔබට පමණක්
කිව් බැවින් ඔබේ ප්‍රියතම පැහැය
නිල් යැයි කියා
පුබුදුවා හසරැළි දහසක්

කෑම හදන්නට උවමනා බඩු ටික ගන්න
රෙදි කඩවල තෙරපි තෙරපි රෙදි තෝරන්න
ගෙදර සුද්ද කරලා ලස්සනට තියන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

කෙසෙල් කැනක් දුම් ගහලා ඉදවලා ගන්න
ආස්මියට දවුල්කුරුදු හොයලා දෙන්න
ලොකු අක්කගෙ කොන්ඩ කැවුම් රසය බලන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

සුදු ඇදගෙන පුණ්‍ය කාලෙ පන්සල් යන්න
නැකත් වෙලාවට ලිප ගිනි මොලවා ගන්න
බුලත් හුරුළු දී වැඩිහිටියන් නමදින්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

කෑම මේසයට පහනෙන් එළියක් දෙන්න
කැවිලි පෙවිලි මේසෙට පුරවලා තියන්න
ගෙදර හැමෝටම කිරිබත් කෑලි කවන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

පාට පාට සරම් ඇඳලා එහෙ මෙහෙ යන්න
අහල පහල ගෙවල් වලට කැවිලි බෙදන්න
පහල කොස් ගහේ ඔන්චිල්ලාව පදින්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

අහස් කූරු පාර දිගේ යවලා දුවන්න
නිලා කූරු ළමයි ටිකට ගෙනල්ලා දෙන්න
නැකත් වෙලාවට රතිඤ්ඤ පත්තු කරන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

අවුරුදු උළෙලේ අවුරුදු කුමරා වෙන්න
පිල් බෙදිලා හොර කරලා පංච දමන්න
වැටි වැටි හරි කඹ ඇදලා පිල දිනවන්න
මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න

හිච්චි සංකල්පනා

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

උපන්දා සිට ගල් වලේ මයි ඇය
අතේ කරගැට විතරමයි
අතට හම්බෙන සොච්චමෙන් මට
රැගෙන දෙන්නේ එක පොතයි

ගණිත ගුරු මට හොඳයි කිව්වේ
කුරුටු පිටු නොදුටුව නිසයි
එකම පිටුවේ ලියූවත් හැම
හිතේ ලියු රචනා නම්, ගොඩයි

දොහොත් මුදුනින් මවුන් නමැදා
සිප් හලට යන්නේ ඉපිලෙමින්
හිල්වැදී,බිඳි, මිරිවැඩි සඟල කුලුපග,
මා දමා යන්නේ දුකින්

අඹ යාලුවෝ මගෙ උත්තරය කොපි කලෙ
මං හා කියන්නත් කලින්
උත්තරය හරි නම් ගුටිය මොකටද
දුක නැද්ද මං හරි හිත බරින්

ශිල්ප දෙන්නේ නැණ වඩන්නයි
පොතේ ලිව්වා නොලීවයි
මකල ලිව්වත් ලියල මැකුවත්
නැණ වඩන්නේ පතාලයි

ගුරු මව්නි පිය වරු උගන්වනු පෙර
කුළුණු ගුණ හිත් වගාවයි
ගල් වලේ අත් වල කරම කරගැට
පිරිමැදිය හැකි නම් මනාපයි

- 06/01/21

තුන් කොන් ප්‍රේමය

අල්පා - ලන්ඩනය

මරණය නුඹත් හරියට,
නව යොවුන් තරුණියක් වගේ.
නුඹ පතාගෙන...
බලා හිඳිනා තුරාවට;
නුඹ ලඟටවත් එන්නෙ නෑ....

ඒත් නොසිතුව...
නොපැතු මොහොතක,
නුඹ ඇවිත් මම...
දන්නෙ නෑ.

එහෙම ආවම...
නොසිතු මොහොතක ,
ආයෙ නුඹ නම්...
යන්නෙ නෑ.

එවිට අසරණ...
මගෙ හිතේ දුක,
පැවසුවත් නුඹ...
අසන් නෑ.

ආව විලසට...
යන්න වෙන බව,
නොදැන නොව...
හිත දන්නවා....

ඒත් එතකොට "ජීවිතය"...
මම නුඹට,
පෙම්බැඳ...
හඬනවා...!!!

18/03/2021.

හඳ එළිය

මහාචාර්ය ටී.එස්.අබේවික්‍රම - ලන්ඩනය

ඉරේ එළිිිය බව හඳෙන් ගලන්නේ
බැලු බැල්මට නෑ අපට පෙනෙන්නේ
ඉරේ චණ්ඩ බව හඳට උරාගෙන
රතු ලේ කිරිකර පොවන මවක මෙනි
සිසිල් එළිය හඳ අපට පොවන්නේ
මවු ගුණයයි හඳ එළියෙ තියෙන්නේ
ඒ වාගේමයි ශෝක භාවයෙන්
කවියන් කරුණා රසය මවන්නේ
ඉරේ ප්‍රභාවයි ප්‍රතිභාවක් වී හඳෙන් පෙරෙන්නේ
ඒ නිර්මාණේ අපූර්වත්වයෙනි
චමත්කාරයක් හිතට දැනෙන්නේ

Now

Sapumal De Alwis - London

I am not an English poet
I am a collective poet
You are a real poet
We are writing poems now

Before we need everything
Now we need life
Why before and now
There is no before and now

Only need few in life
Oxygen water food
And few bits and bobs
Remember before and now ?

If you sent love
You will receive love
Do not cry now
Oh no one calling me now

There is no war now
Also no suicide now
Do you know why now
We all fight same war now.

දුරු රටක අවුරුදු සිතුම්

රේණුකා බණ්ඩාරනායක , යාන්ත්‍රික ඉංජිනේරු , පර්ත් , බටහිර ඔස්ට්‍රේලියාවදී

එරබදු මල් පිපී නැතත්
කොවුල් හඬක් ඇසුනෙ නැතත්
හිත ඇතුලට නව අවුරුදු
සිතුම් පැතුම් ඇවිද ඇවිත්

රටකින් රටකට ඇවිදින්
රාහු කාලෙ ඉවත ගිහින්
දර ළිප නැහැ දැන් නිවන්න
සිත් ගිනි පමණයි ඇවිලෙන

සිරුරු සුවය රැක ගන්නට
අනුභව නම් තෝරාගෙන
හිතේ පුදුම ආශාවක්
කොණ්ඩ කැවුම රස බලන්න

සතුට සැපත උතුරා ගොස්
රෝ බිය සැම දුරුවේවා
සිත් පිරි සතුටින් පවසමි
සැමටම සුබ අවුරුද්දක් !

සිලිලාර සැණකෙළිය

දීපා ද සිල්වා - ලන්ඩනය

සිනිදු නිල් පට සේල වයිරමින් හැඩ කෙරූ
පලින් පල ඔප වැටේ රුවන් කැට මවන රූ
වැටෙන දඹ රත්තරන් පහස මැද රඟන රූ
සුරන්ලිය ලවන් යුග දිගන්තය මත් කෙරූ

සරාගී බැලුම් දී රජුන් වෙත නෙත් හෙලා
එලා ගත් සළුව වෙත රැස් දහර ගොනුකළා
අනන්දය පා සොදුරු වසන්තය ලංකළා
අවාරේ හමා යන මද පවන මත්කළා

ගිනි පුලිඟු සීතලෙන් ගුලි වෙන්න හදනවා
කෝඩු හිත උණුහුමින් කිටි කිටිව ගැහෙනවා
හාත් පස නිහඩ බව පාවාඩ එලනවා
සංසාර හුරු පුරුදු කතාවක් ලියනවා

පලිඟු ලෝහිත පලසෙ හිත් දෙකක් තුරුල්ලේ
නුවන් කුංකුම කැලුම් රන් ගුවනෙ ඇතිල්ලේ
සතරැසක් එකැස් වන මේ සොදුරු සැදැල්ලේ
ඇසෙයි මංගල ස්ලෝක මදුරාව නිදැල්ලේ

සිදු හසන් ඔවිල්ලේ තුන් සිතම ඔකඳ වී
කෝල බැල්මේ පහස තුසිතයක් මවාවී
මන්දාරමේ පවන් ගිනි සිසිල නිවාවී
සීරුවට හිමි හිමින් අඳුර ලොව ගිලීවී

අවුරුද්දට අළුත් ඇඳුම්

කංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය

(රබන් පදයකි )

මාර්තු පඩිපත අතට ලැබුනු විට
සිත උඩ පැන නටතෙයි
මල්, කොටු, තිත් ඉරි පාට මෝස්තර
අලුත් ඇඳුම් සිහිවෙයි
තෙතෙයි තෙයි
වෙන මොකොවත් නොහිතෙයි

රෙදි කඩ ගානේ ඇවිද ඇවිද ගොස්
අතගා බලමින්, ඇගලා බලමින්
දිලිසෙන බොත්තම්,රේන්ද ඇල්ලුු
අළුත් ඇඳුම් සොයතෙයි
තෙතෙයි තෙයි ⁣
සොයලා හති වැටිතෙයි

රෙද්ද අනර්ඝයි,මැහුම විශිෂ්ඨයි
අළුත්ම පන්නෙට අත්, කර ඇල්ලුව
දේදුනු පාටින් හැඩට මෝස්තර
අළුත් ඇඳුම් සොයතෙයි
තෙතෙයි තෙයි
දවස් ගනන් ගතවෙයි

ආයෙත් කවදා ගන්න ලැබෙිවිද
මෙි ගතවන්නේ ලොව අවසානය
පොරකන ⁣දගලන පොදියට එක්විි
අළුත් ඇඳුම් සොයතෙයි
තෙතෙයි තෙයි
සොය සොය තව දුවතෙයි

අම්ම තාත්තට නංගිට මල්ලිට
නැන්දට, මාමට, අරයට මෙයාට
අතේ තියෙන පිච්චිය දියවෙනකල්
අලුත් ඇඳුම් ගනිතෙයි
තෙතෙයි තෙයි
ඇඳලා හැඩ බලතෙයි!

සිතන්න දෝණිය

ඊ.ඒ.පී .අරුණසිරි - පන්නිපිටිය

ජීවන මංපෙත එකලු කරන්නට
බලාපොරොත්තුවෙ කිරුළ දරා
සෙනෙහස ගඟුලෙන් දිවි ගංගාවට
ගලන්න දෝණිය සතුට දරා

දකින දකින හමුවන දෑ 'තර
රවටන රැවටෙන දේ හමුවෙයි
සිහියෙන් නුවණින් සලකා සියල්ල
යා යුතු නිසි මඟ යා යුතුමයි

තමා හිසට තම අත සෙවනැල්ලයි
උපාය දන්නා අපායෙ නොවැටෙයි
සෙමෙන් සිතා යන සෙමෙන් ගමන තුළ
ආලෝකයෙ අරුණලු හමුවෙයි

ලොවක් තනන්නට ලොවක් දිනන්නට
මනු පරපුර යුතුකම ඉටු කරනට
මේ භව කතරේ දරනා වෑයම
ජීවන කුසුමට සුවඳ ගෙනෙයි

හමනා මඳනල ගලනා ගංගා
වසිනා වැහි බිඳු සැදෙනා තුරුලිය
මට නොව අපටයි සිතන්න පතන්න
නිවන් මගට කැඳවා සුවදෙයි.

කියන් කොහෝ මට අවුරුදු ඕනා..

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

මල් පිරිලා ඇති රතුවට එරබදු අතු අතර
කජු පුහුලන් පිරිලා ඇති අතු බිඳෙන්න විතර
මී අඹ පිරි ගහ මුදුනේ ඉඳන් මිතුරෙ නිතර
කොහෝ කොහෝ හඬ දීපන් සැරින් නොකර නතර

හිරු කුමරුට මුකවාඩම් වාරණ දෙත හැකිද
ඔහුගෙ ගමන නවත්වන්න නීති රීති ඇතිද
බක්මාසේ ළඟ එනවා ලොව වහගෙන නිදිද
අවුරුද්දට ගෙදර යන්න කොහෝ මගක් ඇතිද

ගුමු ගුමු ගා මීමැස්සන් හාදු දිදී රඟනා
පිපිලද මල් ගම පුරාම මිහිරි සුවඳ හමනා
පසුවෙන්නේ කාලයක්‍ය ලොවම දුකින් ගෙවනා
කිරි උතුරමු කොහෝ සුබයි නව අවුරුද ලබනා

තෑගි අරන් දෙමාපියන් බලන්න ගම යන්න
සහෝදරයො නෑයො එක්ක සතුට බෙදා ගන්න
රෝග ඇවිත් ගෙනා විපත් අමතක කරලන්න
කොහෝ නුඹට හැකිද මාව ගමට අරන් යන්න

කැවුම් කොකිස් මුං අලුවා කැවිලි රසට හැදෙනා
රබන් ගසා විනෝදවෙන වෙන මගුලක් නොවෙනා
දොළොස් මහක් දුක් විඳිද්දි එකම සතුට තිබෙනා
මට අවුරුදු ඕනා කියන් කොහෝ හඬින් ඇහෙනා

මිනිසත්කම

චන්දන ෆොන්සේකා - එක්සත් රාජධානිය

සංසාරේ දුක් විඳ ලබාගෙන මිනිසත් කම
අඩු වයසින් මිය යනවද සිතනු ඔබ සැම
ඔළුවක් තිබුණට එය නිසි ලෙස පරිහරණය
නොකළ නිසා යන්න වුනා - පරලොව අවසන

අම්මා කෙනෙකුගේ කුසින් ඔබ මෙලොව බිහිවෙලා
තවත් ගැහැණියක නසන්න - ඔබ ඔබටම රැවටිලා
ඇඟේ පතේ සවි ශක්තිය - ධනය බලය රූපය
ගෙල වැල දා මිය යන විට - සිටියේ නැත ඔබ ළඟ

තහනම් ගහේ ගෙඩි කන - කොයි කාටත් සිහිවෙන
මේ සිද්ධිය පාඩමක්ය - හැදෙන්න මුල සිට
සිතුවිළි ආ පලියට - සිතන්න ඔබ හැම විට
කෙරුවොත් අත් වෙන - ඉරණම ඔබටත් සැමටම

අහිමිව පිය සෙනෙහස - දුක් විඳීවී දරු කැළ
සෙනෙහෙවන්ත බිරිඳක් ඇත - අහිමිව සෙනෙහස
දුව එනතුරු මඟ බලා - අම්මෙක් ඉන්නවා කියා
මෝහෙන් සිත මුලා වුනා - තහනම් ආලය නිසා

සිදුවූ දේ සිදු වුනා - නෙතේ කඳුළු වැගිරුණා
දහසක් පැතුමන් අකලට - උඩු සුළඟේ පාවුනා
දුවේ පුතේ ඔබ සැම - මෙය ගෙන ආදර්ශෙට
සිහි නුවණින් වැඩ කෙරුවොත් - වරදින් නැහැ මතුවට

07/03/2021

මග බලා ඉමි….

විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ - පන්නිපිටිය

පියලි හිම දියවුනා වැටුන රන් හිර රැසට
වියලි ගිය අතු පතර පලා පැහැ වුනි ජයට
කැකුලු මල් එකක්වත් නෑවිදින් අතු අගට
සැඟව ගොස් වගෙයි අද කොරෝනා වට බියට

ගිය වසර පෙති විදා නටපු සුදු ලිලී මල්
බලා ඉන්නවද තව සුව කලක් ලබන කල්
යායටම සලු පැළඳු නේක පැහැ. රෝසමල්
තාම හැංගී ඇයිද එන්න දැන් හරිය කල්

තැනින් තැන හීමීහිට හිඳින හිස ඔසවලා
මොකද මේ ටියුලිප්ස් තාම පෙති අලවලා
බියෙන් දෝ එනු අතැයි වයිරසය පියඹලා
ඉන්නවද මුව වැසුම් දෙනතුරා හැකිලිලා

ආදරෙන් කියන්නේ මල් වලට අහගන්ට
හෙට දිනේ හරි හෙමින් එන්න වෙනවා ලොවට
අප ගෙවූ වසරක්ම අඳුරු මූසල කමට
නිම කරන්නට හැකියි ඉක්මනින් පැමිනිවිට

ගෙවී ගිය වස්සානෙ ලෝකයම හැර පියා
ලස්සනම හදවතුත් පොළොවෙ සැඟවී ගියා
ආදරය ඔවුන්ගේ මලක පෙති මත තියා
ගේනවද ලෝකයම තවත් හැඩ වන නියා

මයුර සංදේශයේ සිත්ගත් කවි

ගුරුළුගෝමී හෝ ගුරුළු දැමී හෝ ඔවුන්ගේ මුනුබුරා විසින්

විසිතුරු පුරඹ වටොරට පැරද විළියෙන
නිරතුරු යනෙන ලස ගමනැය නරඹමින
පිවිතුරු සුතන් හැර යනු බැරිව තැන තැන
රඹතුරු නමා සිටිනෙව් මුව කුඩා වන

නිරන්තරයෙන් ලාලිත්‍ය ගමනින් යන එන
එපුර කාන්තාවන් නරඹමින් ඔවුන්ගේ වටොරට
පැරදී ලජ්ජාවෙන් මුහුණ පහතට හෙලා සිටින
කෙසෙල් ගස් කුඩා පවිත්‍ර දරුවන් හැර දමා යනු
බැරිව සිටියාක් මෙන් විය (කාන්තාවන් ගේ
වටොර ප්‍රදේශය කෙසෙල් කඳන් වලට සමාන
කිරීම සාමාන්‍ය සාහිත්‍ය සම්ප්‍රදායයි)

මගේ අනුබුදු සමිඳුණේ

අමර ගුණසේකර - ප්‍රංශය

නොවැඩියා නම් තම්බපණ්ණිය
වණ සතුන්ටම වෙන්ව යාවී
හුදෙකලා වූ දේශයක් වී
සිතියමෙන් ඉවතටම යාවී
රජුගේ පසුපස හඹා ගෙන ගිය
රැළක් සේ විදිණට සතුන්

නොවැඩියා නම් තම්බපණ්ණිය
වණ සතුන්ටම වෙන්ව යාවී
මගේ අනුබුදු සමිඳුණේ

ඉහළ අහසට නැඟුණු ගල්කුළු
මුදු මොලොක් වී ලොවට දුන්නේ
සතර බඹ විහරණ ගුණෙන් පිරි
පෙති පිළිම සඳකඩ පහන්
සමිඳු දෙසු දම් පද අසා
මැවූ අසිරිය ලොවට පැතිරූ
වැවයි දාගැබ ලඟම සිටියා
අපේ කම හදවත දරා
මගේ අනුබුදු සමිඳුණේ

ගමයි පන්සල එක ලෙසේ
දේශයම පිබිදූ කසාවත
ජාතියට දිරි දුන් කසාවත
මිහින්තලයෙන් තම්බපණ්ණිය
මගේ අනුබුදු සමිඳුණේ

නයිටිය පරක්කුයි

නීතිඥ නීල් ගුණසේකර - කොළඹ

නිරුවත්ව හුන් රතැඟිල්ල
ඔපවත්ව රන් මුදුවකින්
උයා පිහා දෙයි ; මැගී
අගේ කර
මට නොවෙයි ; ඔහුට
අළුත් නයිටිය
වෙනදාට වැලට යන්නේ
පාන්දර

සොබා දහම …

හාජියාණී සෙයිද් ෆිර්දවුබී හනිෆ්ඩීන් - කොළඹ මාළිගාවත්ත

සූර්ය පුත්‍රය, හනිකට වඩිනු මැනවි
හිමිදිරියේ මේ මට ඔච්චම් නොකර
ලොවෙහි මල් ඵල දරන්නට
ලහි ලහියේ හනික වඩිණු මැනවි...!

ඔබද සැගවුණු සූර්ය කුමාරයා?
ඔබත්, මට ඔච්චම් කරනවා ද?
ගණදුර නසා රාත්‍රිය සොඳුරු කරන්නට
වඩිණු මැනවි චන්ද්‍ර පුත්‍රයාණනි

ඔබේ දෑස් නිල් අඹරේ තරු කැට සේයා
ඔබේ වතද අරුණෝදේ ළහිරුන් සේයා
මගේ දෑස් නිල් ජල පිරි පොකුණක් සේයා
හනික වඩිනු මැන රන් සමනළයෙකු සේයා

To a widowed daughter-in -law

Gunasekara Hiripitiya - Homagama

A few years ago
Tears rolled down
You became a widow
Having to care for two children
Compelled to leave me
To take refuge in your parents’ abode
I pity your situation
With a very responsible task
Ahead of you
To see the welfare of the two loved children
Money, time and health
Your needs of the hour
You have to remain employed
Daughter-in-law
Be courageous
Think of the world’s first woman Prime Minister
And the first woman President
Both were widows
Yet, they excelled in life
Never be disheartened
There’s no doubt
Your dear parents and friends
Will be there with you
To guide and help you
In times of need
I hope and pray
Long life for your loving parents
Who look after you and the little ones
Remember
Life’s journey is with ups and downs
And never one way
And when one door closes
Another door opens
Aim high
With your strong will power
Face the future
With courage without fear

විශ්වාසය රැවටුණිය රැයේ

ආචාර්ය ඥානතිලක හේවාගමගේ, ඕස්ට්‍රේලියාව

පුරහඳ කළුවර වුණා රත්තරන් - අපගේ දිවිමග සෑම දිනේ
පරාදීසයක ඉසුරු නෙළන්නට - ඒකයි සමුගෙන පිටත් වුණේ

ඇසෙ දිලිසී සිත පැටලුණු සලකුණු - මායාවන් දෝ අමාවකේ
මහා සාගරේ පැද්දෙන කුටියක - කල ගෙවුණේ නොවිඳිනා දුකේ

රැයක දවාලක වෙනසක් නෙත නැත - සිරගෙයකයි පණ නල රැඳුනේ
නන්නත්තාරව ගොඩ බට බිම් කඩෙ - ඉරනම් ගමනෙද ඉම තිබුණේ

සුඛිත මුදිත දිවි බලාපොරොත්තුවෙ - තෙරපුම නැත සිත අතැර ගියේ
කර්ණ රසායන වදන් වැලක අග - විශ්වාසය රැවටුණිය රැයේ

තනිවන ජීවිත නිහඬව ගිලලන - ආශාවන් හට ගොදුරු පෙනේ
නිදිදෙවු සුව දුන් ඒ අසපුවමය - මැරි මැරි ඉපදෙන සෑය වුණේ

දියණි ඔබ ?

චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව

පියෙක් නමට ඔසවා තැබු දියණි නුඹ
සියක් අතර දිදුළනු සිතුවේය දඹ
දිනක් නොවේ වරුවක් නිහඬවම නුඹ
සිතක් පෑරුවා ගිණි කඳු පැරද සිඹ

ඇස්දිස් තියන් මානේ රඳවා බලපූ
වස් දොස් යවා සුන්දර සිහිනෙක සැතපූ
ඇට්ටර කමට මම අතහිත බොට තියපු
වස්තුව මෙයද මට දුන් ගින්දර කියපූ

වරදක් දුටුව තැන උපදෙස් දීම ගැටී
දවසක් දෙකක් නොව ජීවිත රැඳෙනු හැටී
නුවණක් ඇතොත් ඒ දෑසින් දකිනු වැටී
පොත්තක් පාට වූ පමණින් ගස නොවටී

වෙණ වයා ගී ගයා
රඟ රඟා අත් බලා
සාස්තර කියනවා
සාස්තර අහන්නෙ නෑ
වැටකොටු නෑ තන්හා නෑ
රත්නවල්ලියේ

කොයිබ සිටන් ආවත් ඇල්ලි මැල්ලියේ
දෙපය ගිගිරි ගෙවුණේ සෙල්ලි සෙල්ලියේ
පොලව නොරිද ඇවිද ගාඩි කල්ලියේ
කවදා විඳින්නද සෙනෙහස සල්ලියේ

මිහිකත සූරලා කරණා කොල්ලයේ
වහලුන් වුනේ නැත අප දේව වල්ලියේ
විඳින දහම් මනරම් එක එල්ලයේ
සසර අපට කෙටි වෙයි රත්නවල්ලියේ

ගායනය : විශාරද නන්දා මාලිනී
සංගීතය ; ආචාර්ය රෝහණ වීරසිංහ
(ප්‍රචාරය වීමට නියමිතය)

සිතුවම ; එස්.එල්.සෙනෙහෙධීර

ලාල් හෑගොඩ වර්චුවල් ගැලරිය

ලාල් හෑගොඩ වර්චුවල් ගැලරිය

දැන් නිසඳැස් වුවත් සඳැසින් පෙර ලිව්ව
කැමරා කවිය දෙකටම හිමිකම් කිව්ව
තෙවෙනි ඇසෙන් සිව්වෙනි ඇසකුත් සෙව්ව
ගැලරිය වර්චුවල් බල මැන රස මැව්ව

-අනුර

 

ලාල් හෑගොඩයන්ගේ ''සොළසක් රූ'' චායාරුප ප්‍රදර්ශනය අන්තර්ජාලය හරහා නොමිලේ පහත ගැලරියෙන් දැන් නැරඹිය හැකිය .

View Gallery | ගැලරිය

පොඩි පුතේ

වෛද්‍ය වරුණ ජයසිංහ (එක්සත් රාජධානිය)

"අමතක කර ඉංගිරිසිය,
සිංහල රජයේ බස කොට
අපිව අතරමං කරලා
බණ්ඩා කෑවා මේ රට"
මූණු පොතේ උඹ කී බව
පොඩි දුව මට පැවසූ විට
අපෙ හත් මුතු පරපුර ගැන
හිතුනා පවසන්න උඹට

කිරිකිත්තා උඹේ හිටියෙ
රාජ සබාවෙලු උඩරට
උඹ වගේම සමර්තයලු
ගණිත මිනිත නැකැත් වැඩට
රජ්ජුරුවන් ඇල්ලුවාම
පැනල ගිහින් වෙල්ලස්සට
කැරලි ගහපු උන්දැ මැරුණෙ
පපුව දීල වෙඩි උණ්ඩෙට

කැත්ත පුරුදු නැතත් අතට,
ගින්දර දැනෙනවනෙ බඩට
නත්තා, පනත්තා උඹගේ,
හුරු වුනාලු හේන් වැඩට
කිරෙන් ඇරුනු දා සිට මේ
පොළව මත්තෙ හැපුනු උන්ට
මොන ශිල්පද? අකුරක්වත්
ලැබිලා නෑ ඉගෙන ගන්ට

කන්න දෙකක් අතර හේනෙ
ලඳු කැලෑව වැවෙනා කොට
සුද්දො ඒක අරගත්තලු
යටකර මුඩු බිම් පනතට
අඩු කුලයේ යයි කවුරුත්
දක්කන කොට පිළිකන්නට
උඹෙ මුත්තට සිද්දවුනේ
යන්න උන්ගෙ කුලී වැඩට

ඩී ඇස් උන්නැහෙ, ගල් ඔය
ගොවි ජනපද ඇති කල විට
පොළවෙන් අඟලක් ආයෙත්
ලැබුනා මගෙ අප්පච්චිට
කන්නන්ගර මැතිඳු ගෙනා
නිදහස් අධ්‍යාපනේට
පින් සිදු වෙන්නට ලැබුනා
යන්න මටත් ඉස්කෝලෙට

ගොවිතැන් වැඩ වැඩි කාලෙට
මාත් ගියේ නෑ අකුරට
ඉංගිරීසි කොලීජි නම්
තිබුනෙම නෑ වෙල්ලස්සට
ඒත් ආණ්ඩුවෙ කටයුතු
හැරවූ පසු සිංහලයට
මටත් හැකි වුනා බැඳෙන්න
රජයේ ලිපිකරු සේවෙට

කිරිකිත්තා වගේ උඹත්
හරිම සමර්ථයි ගණිතෙට
මම කොළඹට ආවෙ, පහසු
වෙන්න උඹේ ඉගෙනීමට
මොන කරදර ආවත් උඹ
දිගටම නැග්ගා ඉහලට
ඉංජිනේරු උපාධියත්
අරගෙන යනතුරු පිටරට

දැනුම ඇතත් හුරු මදි එක
වතුර වගේ 'කඩු හරඹෙ'ට
කරදරයක් වුනාට, වින
කලේ නෑ නෙ උඹෙ ගමනට
හැබැයි පුතේ උඹ බැන්නත්,
සියබස රජ නොකරන්නට
උඹත් තාම කාස්ටකේ
බිම් කොටනව සමහර විට

ඉතිරිය මෙතැනින්...

අම්මා

වෛද්‍ය රසිකා ජයතුංග - එක්සත් රාජධානිය

තරිඳු රශ්මි කාන්තියයි
සරස්වතී බුද්ධි ගුණයි
ළය උතුරන ආදරයයි
දේදුන්නක පාට හතයි
බෝධිසත්ව කරුණාවයි
නිමක් නොමැති ඉවසීමයි
හසරැල්ලක නැවුම් බවයි
එකමුතු කර දෙවියො මැවූ
දෙවඟන ඔබ අම්මා

දස මාසේ කුසේ තබා
ආරක්ෂාවන් සලසා
ආදර නදියෙන් නහවා
එක සියලෙන් ඇරඹු දිවි
දිනෙන් දිනම ලොකු කරවා
අතිශය දුක් ගිනි විඳවා
වේදනාව තද ඉවසා
දිවි ගතකල අම්මා

ලපටි තෙපුල් දිරි ගන්වා
සුමිහිරි බොජුනෙන් පිනවා
අනාගතය එළි කරවා
පිය නගන්න මග පෙන්වා
බාල සේවනය වලකා
ගුණදම් හොඳ පුහුණු කලා
දරු නැලවිල්ලෙන් සනසා
නිරෝගි සම්පත සලසා
දෙවඟන ඔබ අම්මා.

කිරි උතුරන හසරැල්ලක්
සීමා නැති ආදරයක්
මන සනසන මුදු බැල්මක්
ආදර ඔවදන් වදනක්
දෙව්ලොව සිට ආ අඟනක්
අප කාගෙත් අම්මා.

ලෙඩින් දුකින් අසරණ වී සිටින විට
රෑ නිදිමරන් ඔබ අසලින් සිටිය ඇය
මුදු පහසින් පිරිමදිමින් ඔබගෙ ගත
සැනසෙව් හැටි මතකද දැන් ඔබ සිතට?

ඇය දැන් දුබලව වී ඇත අසරණ
දැඩිකළ දරුවා සැමවිට අහළ පහළ නැත
සැනසිලි වදනක් හෝ ඇය හට දෙනවද
සැතපුම් ගණනක් ඈත පිට දේසෙක සිට?

නොසැලෙනවූ නොනිමෙනවූ අචලවු ආලය
බිහිකළ දාසිට පෑවේ එක ලෙස ඔබ වෙත
ඔබ වෙයි ඇය සතුවූ එක වටිනම වස්තුව
එය රැකුමට වෙහෙසයි ඇය නිරතුරු දින දින

ඇගෙ දහඩිය කඳුලින් ඔබ නිතියෙන් ලද සැප
මුළු ජීවිතයම ඔබගේ නොනිමෙයි ඒ ණය
අප මව් පියවරු වෙනවිට වැටහෙයි සියලට
ඈ කල ඒ උපරිම වූ පරිත්‍යාගය

මවකගෙ මුළු ජීවිතයම
කැපවෙයි ඇගෙ දරු වෙත
අස්ථිර මේ ලෝ තලයේ
ඇගෙ ආලය ස්ථිර

18.03.21

ඉතිරිය මෙතැනින්...

පැතුන් බලෙන් දෙන්නා ආවේ පේවී
කතුන් සැමට නායක බිම්බා දේවී
ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී
ගොසින් බුදුව එනකල් සිටපන් දේවී

ජනකවි මිහිර

ජන කවියා

ලිඳේ ගැඹුර දන්නේ කුඩමස්සාය
මලේ සුවඳ දන්නේ මී මැස්සාය
කැලේ පළල දන්නේ අලි වස්සාය
ළඳේ ඔහොම නොබලන් මම පිස්සාය

සොඳුරු හිතවතිය

නීතිඥ කල්‍යානප්‍රිය ජයසූරිය - කොලඹ 07

ලැබුවෙමි මිතුරු දම ඔබ හා පැතු විලස
සසරේ පුරුද්දකි ඔබ මා නොසිතු ලෙස
ගිණිගත් රෝම නගරය නරඹනු පිණිස
සපැමිණි දිනය අප හමුවුනු මුල් දවස

කාලය වැලිතලාවේ දුර ගමන් ගොසින්
සිටියද එබව දැනගන්නට නැහැ හැඟුමින්
එතරම් සමීපව උන්නේ අප ඇසුරින්
සම සිත සේම සම මෙත ගැලපුණි සැබැවින්

මහා දෙරණ මෙන් ඉවසීමේ ගුණය
සිසිළස පතුරුවන පවනකි ජීවනය
මුසුවී ඇති ඔබේ සිව් බඹ විහරණය
මොනවට කියයි දහමින් ලැබු පෝෂණය

ඇසුරින් ලද සියළු නොමසුරු දෑ අගනා
සලකන්නෙමි ලෙසින් මුතුහර සේ වටිනා
කළගුණ පසක් කරමින් ලෙස බුදු වදනා
සැම කල සිහි කරමි මතකේ ඇත රඳනා

එක් තිස් තලය මැද ඇති යස මනු ලොවය
දෙව් බඹු අසඤඤත තල ඒ හට යටය
මල් දම් ගොතා නඳුනුයනේ ඔබ සිටිය
අමතක කර එන්න වඳිනට බුදු කුටිය

01.03.2021

පුත රාහුල

පුල්ෂි චන්දිමා ජයසිංහ - කුරුවිට

තබන පා සටහනෙන් මහීකත සැනසුනා
වඩින මග දෙව්බඹුන් මලින් පුද සරසනා
නිවෙන සනහන රුවකි කසාවත දරමිනා
දිලෙන පුරහඳ වැන්න නුඹෙ පියා වඩිමිනා

දුටුවෙ නෑ ඔහු තරම් නිවා සැනසුන සිතක්
සැරුවෙ නෑ නෙත් අදර බැතිබර වු තව රුවක්
පැතුවෙ සසරින් සසර එක්ව යන දිවිමඟක්
ලැබුවෙ නිවනින් නිවුණු මහා පින්බර සඳක්

මවක් ලෙස පදවියෙන් මා උතුම් කොට පුදා
පියෙක් වී ලෝ සතට නිවන් මග එලි සදා
පුතෙක් දායාද කර අඹරෙ තරු සේ එදා
කලක් ගත වී ගියා කඳුළු සයුරේ කිදා

පාවාඩ මත තබා දෙපා අදරින් පුදා
දායාද ඉල්ලන්න පුතුනි සෙනෙහස රදා
ආශාව දුරලලා නික්ම ගිය මුත් එදා
සේයාව හඳුනාවි වුවත් අමවක මෙදා

මා හොයන මම

කිත්මිණි ජයසිංහ - ලන්ඩනය

ඔබව දුටුවෙමි
කැඩපතින් නොව හැබැහින්
හැඳිනුවෙමි ඔබව
නොපෙනුනත් මගෙ
මනසින්......

මගේ රුව දෙස
බලා සිටියෙම් එලෙසින්
පෙළ ගැසි සිතුවිලි
ගලා එයි දසතින් ...

ඒ එකක්වත් අහුලන්න
බැරි හිතකින්
කොහෙ හොයන්නද
මාව නොපෙනෙන
ඇසකින්.......

දැනෙයි සිතුවිලි
පාවෙලා යන මනසින්
හොයන්නද මම
මාව විසිරෙන හිතකින්.....

ඔබව දැක්කත්
දුර ඉඳන්
මගෙ මනසින්
තවම සොයනව
මම මාව
හමුවන තෙක්........

සිව්පා විමුක්තිය

දයානන්ද කන්නන්ගර - ලන්ඩනය

බැරි බර අදින්නට ගැලමත දැම්මාට
වලිගය නවා අඹරා එය කැඩුවාට
අඹරා නයි මිරිස් ඇස්වල ගෑවාට
තරහක් නෑ හිතේ දසවධ දුන්නාට

තම දරුවන් ලෙසම සලකා දයාවෙන්
සලකති අපට මනු වෙස්ගත් දේවවරුන්
සවි නැති දිනට බර අදිනට අපේ කරින්
ජීවිතයම අපේ අවසන් මස් කඩයෙන්

සැම මිනිසුන්ම එකලෙස සලකන්න එපා
විවිධයි මිනිස්ගති රවටයි ඔමරි පපා
අප ගවයන්ය කිසිදා නොලැබෙනා සැපා
කිරිටික බොන්න මගේ ඇඟ මස් කන්න එපා

බැරිබර දරමින්ම ගැල් ඇද වෙහෙසවෙලා
සැපයක් නොමැත අපටම දුක උරුම වෙලා
ඇරුණු ආර්තිකයට පින් සිද්ධවෙලා
ගැල් දැන් නැතිනිසා අපි නිදහස්ම වෙලා

කරත්තයක් අද දරුවන් නොදකින්නේ
ඉස්සර බාග සහ බරකරතුයි තිබුනේ
දහවල් වගේමයි රෑටත් අපි නැහුනේ
හැත්තෑ හතෙන් පසුවයි අපි ඉන් මිදුනේ

ත්‍රිවීලර් සමග බට්ටන් ඉගිලේය
අපි තණ කමින් නිදහස් සුව විඳිනේය
ගවමස් කෑම දැන්නම් මෙහි නැතිනේය
අගමැතිතුමා අප මුදවා හැරියේය

ඉත්තෑ, කිඹුල්, සාවුන්, මුව කොටි හපුවා
සංරක්ෂණය කරමින් මරණෙන් මුදවා
නීතිය හරස්කර ඇත්තේ හ‍ට මරුවා
කල පින්කමට අපි අද ණයගැති සොඳවා

ලැබුවත් විමුක්තිය තිරිසන් සතුන් මෙහේ
මිනිසුන් දහස් ගණනින් මරු දකිති ඔහේ
පාතාලයට බිලිවෙන හැටි දකින ඇහේ
කදුළට නොමැත අනුකම්පා මිනිස් රැහේ

සැමදෙන එක්ව ගහකොළ සහ සතුන් රකී
ලෝකය පුරා මිනිසුන් එහි හොඳක් දකී
හොඳ සහ නරක වටහනු මට මෙකී නොකී
මිනිසුන් රකින්නට කිසිවෙකු හ‍ට නොහැකී

දෙවියන් යදින්නට පල්ලිය වෙත ඇදුනු
මිනිසුන් සියගණන් තිරිසන් ලෙස මැරුණු
සැකකරුවන් සොයන්නට මේ අති දරුණු
කොමිසන් පලක්වෙද ඉහ නිකටත් පැහුණු

මිනීමරුවන් සමග ඇති මගඩියක් මත
නිදහස් කර යවා යන්නට සිතුනු අත
අදිකරණයට තිබ්බේ මුන් දකුණු අත
ඉම්මුද තවත් අපි හරවා බිමට වත?

ඉතිරිය මෙතැනින්...

වසංගතයේ පිපි පියුම

නාලිනී කොඩිකාර - නුගේගොඩ

විකසිත වී බැලිමි හාත්පස…

හිරුත් සමග හාද වෙලා,
විල පුරාම මල් පිපිලා,
නැලවි නැලවි කොමළ පපා,
පරිසරයම හැඩ කරලා.
මල් කුමරියො කිම තනිවී?

විල වට ගැවසෙන නිසැකව,
කොළු පැටවුන් නැත දකිනට.
නිබදව මල් නෙලමින් යන
තරුණ ලියන් කොහි ගියාද?
ඇග පුරාම මඩ තවරා,
මල් අගනන් වෙත ඇදෙන්නෙ,
පෙමට ඇදෙන බමරුන් ලෙස.
කෝ අද උන්, කොහි ගියාද?

විල මත පෙති විසිරී ඇත,
මල් කුමරියො තනිවී ඇත.
සෝක බරිත හදින් යුතුව,
මල් අතරින් ගොඩ වූයෙමි,
සොයනට කිම මේ අරුමය.

බෙල්ලන්විල විල අද්දර,
මල් ලෑල්ල ඇත, මල් නැත.
දළදා මැදුරෙහි මලසුන,
හිස්වී ඇත ඒ විලසම.
අදහා ගන්නේ කෙළෙසද?
ආයෙමි පුදබිම කැළණිය,
අහෝ! නොමැත මා මිතු කැළ.
තනිවී ඇත මල් ආසන.

නිසැකව මහ සෑ අභියස,
දහසක් මල් පිදෙනු නියත.
සල පතල මළුව මත,
සෙමින් තබමින් දෙපා,
මහා සතුටින් ඉපිල,
සෙවූයෙමි මම අවට.
එකම සිය පතක් වත්,
නැතොත් පරසතු මලක්,
දෙව් බඹුන් පුදන ලද,
නොමැත මල් අසුන් මත.

සිරි මහ බෝ සමිදු මළුව,
වියලී ගිළිහුන බෝ පත්,,
ඇතත් පැතිර වැලි මළුවම,
කොයිද පුදන ලද සියපත්?

හදුන්, තෙල් සුවද නැත,
පුදන උවැසියන් නැත.
රිලවුන් හා බල්ලන් හට,
නිජ බිම වී ඇත පුද බිම.

බොදුනට පමණද මෙවිපත?
දිව ආයෙමි දෙව් මැදුරට.
දැල්වී අවසන් වී ගිය,
ඉටි පන්දම් කැබලි මිසක,
එහිදු නොමැත ම මිතුරු කැළ.

පිච්ච මලින් ගෙතු මාලා,
කෝවිල තුල නැත දක්නට.

දිව යමි මල් ශාලාවට,
ඇත්දයි සොයනට එහි මල්.
කැඩුනු පතුරු,, කම්බි මිසක,
මල් වඩමෙහි නැත කිසි මල්.

සොහොන මතද ,නැත පිදු මල්,
අමතක වී දෝ මලවුන්?

මහ විපතෙකි මිනිසුන් හට,
නැත බෙදුමක් ආගම් ලෙස
කුල මල, දෑ ,ගොත් එක ලෙස
එක පොකුරට ගොදුරුව ඇත.

ඉතින් කුමට මා පිපුනේ?
පිදෙනු නොහැකි නම් බුදුනට.
මියෙනු යෙහෙකි වැළද පොලොව.
සමුගමි විල මත මිළිනව.

ඉතිරිය මෙතැනින්...

අවුරුදු මොකටද ?

මාවැලි කුමාරි කුලතුංග - මහනුවර

නැතිබැරි එවුන් හැමදාටම තැලුනෝය
ඇතිහැකි උන්ට ක්‍රම සහ විධි පිරිලාය
ගැතිකම් කරන්නන් මුලු රට වනසාය
මිනිසුන් හොඳවුනොත් අවුරුදු හැමදාය

වියසනයෙන් ගරන්නන් වැහි වැහැලාය
අසමත් වුනත් බලයට තවමත් ගාය
අවිනිශ්චිත බවින් මුලු රට පිරිලාය
මගෙ අවුරුද්ද සත්‍යය ජයගත් දාය

පිටරට වැඩට ගියවුන් අසරණ වීය
සියරට එන්ට නොහැකිව උන් ලත වේය
විනිමය ලැබෙනතුරු නම් කිරි පැණි සේය
උන් නැති අළුත් අවුරුදු මොකටද ආය

පක්ෂය ජාති කුල මල පුද්ගල නාම
පසුපස ගියොත් වැනසෙයි අප හැමදාම
එක්වී සිටියහොත් ලක් දරු කැල සේම
ඕනැම ජගතෙකුට වුව දිය හැක ගේම

උස්මිටි නොහොදකම් හඳුනා පසෙක දමා
රැකගෙන මිනිස්කම විරසක ඉවත දමා
වැරදී ඇතොත් නිවැරැදි වී නොකර පමා
ජයගන්නවා සිකුරුයි රට ගොඩම තමා

නංගියේ ඔබ

නිමල් රන්ජිත් කන්දමුල්ල - ඉතාලිය

නංගියේ ඔබ
පසුව ඇවිදින්
ගියේ ඇයි කඩිනමින්
අපව හඬවා

සුවඳ කුසුමකි ඔබ
එදා සිපගත්
අදත්
සිහිනෙන් සිඹින

ලස්සන වු මල්
මඩ ගොහොරුවේ පිපුනත්
ඔබ මලකි සුවඳවත්
පිපී මඩ ගොහොරුවට ගිය

ජීවිතේ කටුක බව
පසක් කර ගත්
නිහඬවම මුහුණ දුන්
යකඩ ගැහැණියකි ඔබ

අදත් මා දකින්නේ
මා ළමා කල දුටු
ඒ පුංචි අහිංසක
දඟකාර පැංචියයි

සිතා සැනසෙමි නඟේ
නැවත කවදා හෝ
යලිත් හමුවෙමු
වැලඳ ගන්නට
සොයුරු ප්‍රේමෙන්
වෙන් නොවන්නට
තුසිතයේදී ♥️

සුභාෂිතයේ සිත්ගත් කවි – අප්‍රේල්

අලගියවන්න මුකවෙටි තුමා

පරසිඳු පබු දනන් සෙව් පමණින් මහරූ
බෙලෙනිඳු මඳ වුවත් නොකරති රුපුන් සරූ
බරනිඳු ගෙල වෙසෙන නා රද වෙමින් ගරූ
ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු

ප්‍රසිද්ධ ප්‍රභූ ජනයා ඇසුරු කල තරමින් දුබලයෝ
තම සතුරන් ගණන් නොගනිති. ඒ කෙසේද යත්
ඊශ්වරයාගේ බෙල්ලෙහි සිටින නාග රාජයා තම
සතුරු ගුරුලා වෙතින් දුක සැප කෙසේදැයි ඇසූ
අයුරිනි.

සටහන: තනිව සිටිය දී නයා ගුරුලාට අසුවුනහොත් කෑල්ලක්වත් ඉතුරු වන්නේ නැත. සුභාෂිතය ලියූ සීතාවක යුගයේත් අදත් වැඩි වෙනසක් නැත.

සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණ සොබනා
මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා

මහා බ්‍රහ්මයන් විසින් සිය හිසින් වඳිනු ලැබූ
(මහා බ්‍රහ්මයාගේ හිසේ දෙපා පිසීම ද කළ
හැකි) සැරියුත් මුගලන් යන දෑගසව් මහ
රහතුන් වහන්සේලා ගේ පරම්පරාවෙන්
නොකඩවා පැවත එන්නා වූ, හොඳ හැටි
සිල් රැකීමෙන් සාර වූ, උත්තම මහා
සංඝයා වහන්සේ ද මම දෙඅත් හිසේ
තබා භක්ති ප්‍රේමයෙන් වඳිමි.

හෙළබස “පට්ට” ගැසීම

සිසිල් මාන්නප්පෙරුම, Brampton, කැනඩාව

හෙළ බස හසුරුවන හැටි සමහර හෙළයින්
දුටු විට දුක දැනේ හද කකියයි නිතැතින්
මතු පරපුරට හෙළ බස රැක නොදුනහොතින්
හෙළයට බසක් නැතිවෙයි වැඩිකල් නොගොසින්

බත් උයනවා නොව "බත් ගහනවා" වෙලා
හරබර වචන දැන් ඔක්කොම මොට්ට වෙලා
හරසුන් හිස් වදන් පොකුරක් "පට්ට" වෙලා
හෙළ බස් වහර නැති හෙළයේ රටක් වෙලා

පෙම් බස් දොඩයි නම් ඇය "මල් කඩනවලූ"
උදව් ගත්තොතින් "දත් ගලවනවාලූ"
අරාවුලට හරි වචනය "කොක්කක්ලූ"
කේන්තියක් ආවිට "මල පනිනවලූ"

පියකරු යුවතියක් "පට්ටලු" කෑල්ලලු"
"ගෙඩියලු" "බඩුවක්ලු" නැත්නම් "සතෙක්මලු"
පිටගම් "පොරක්" "ප්ලග්වුනොතින්" "වලියක්ලු"
"මල පැන්නොතින්" ඉල්ලන්නෙම " ගේමක්ලු"

"හොඳ කකුලක්" "පොරක්" විය හැක ගැටවුන්ට
"මැන්ටල්" කියයි වයසක සීයලා හට
"අවුලක් නැහැ" කියයි සමහරු හැම දෙයට
අවුලක් තිබේ හෙළ බස දත් හෙළයින්ට

සුභ අවුරුද්දක්

චමිලා නවගත්තේගම - ලන්ඩනය

අවුරුදු එන්නෙ කවදාදැයි ඇඟිලි ගනන්
සිටියා අපිත් ආශාවෙන් සිහින මවන්
ගමේ කුරුට්ටන් අරගෙන හනික ගිහින්
ගත්තේ රතින්ඥා පිල් බෙදා ගන්න ගමන්

කැවුම් කොකිස් තල අළුවා රසට හැදේ
කෙසෙල් කැනත් ගේ මුල්ලේ ජයට ඉදේ
ඈතින් ඇහෙයි අවුරුදු ජය බෙර සද්දේ
අපි හැම පළමුවෙන් බෝ මළුවත් වැන්දේ

ගමටම තිබුනෙ හරි ලස්සන අතීතයක්
අද දින කොහෙද අප හට ඇති විවේකයක්
අවුරුදු දවසෙ නැහැ හරියට නිවාඩුවක්
එත් ඉතින් සමරමු සුභ අවුරුද්දක්

කොළඹ යුගයේ සිත්ගත් කවි

සාගර පලන්සුරිය

උපුටා ගැණීම - සුදෝ සුදු කාව්‍යය - කවි 103 - 109

නෙත් අඳ පුතා දවසක් මව වෙත පැමිණ
සිප ගණිමින් නොපෙණෙතත් මවගේ මුහුණ
"අම්මේ මේ ළමයි හොඳ නැහැ බොරු කියන"
කිව්වම ඈ විතාලා "මොකදැයි කරුණ"

"මල් ලස්සනයි හොඳ හොඳ පාටයි" කීවා
"පෙණෙනවා" "දකිනවා" කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොලොක් බව තේරෙනවා මටද
"එළියක් කියා" මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්න අම්මේ බැරි මොකද

උණුසුම දැනේ දහවල් මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මම කණකොලුවෙක්ලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා

ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙලෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
"පාට" කියා ඇත්නම් ගතියක් මලක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

"ලස්සන" කියන දේ නැහැයට වත් කණට
මගේ දිවට හරි මගෙ අත පය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු හෙලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඩන් අම්මේ නාඩන් මම විහිළු කළා
එන්ටද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

මුහුණු පොත් සහ පියවි නෙත්

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර

වසන්තේ නිදාවුන් කොවුලා කියා
මගේ අතේ තරු අකුරින් ලියා
යලි නොඑන බව කොඳුරා කියා
හමුවූ දිනම සමුගෙන ගියා

මගේ මුහුණු පොත පෙරලා බලා
මගේ කවි ගීත දැක වී මං මුලා
හමුවන්න ආ මුත් පුලපුලා
හමුවූ දිනම සමුගෙන ගියා

අවුල්වූ නර කෙහෙ බලා
ලය සුසුම් පොද මුව ලඟ හෙලා
නාදුනන සුවදක් තියා
බාල බාලොලිය නොපෙනී ගියා

දියණී

වෛද්‍ය පද්මලාල් පතිරගේ - ඇතුල් කෝට්ටෙ

නිල් තරු යුවලක් පායා දිදුලයි රන්වන් ආකාසේ
පියවෙන මා නෙත් විවරව සැනෙකින් බොඳවන ලෙස රහසේ
පුලුන් රොඳක් ලෙස පාවී යන මගෙ නෙක සිතුවිලි අහසේ
හිනැහෙන දූ පොඩි ළඟ නවතියි මගෙ හදවත හොර රහසේ.

සමනළියන් සේ මලින් මලටයන
දඟ ගති ඇති බෝමා
සෙමින් සෙමින් විත් සියොළඟ දැවටී සිත පුබුදන සේමා
දිනූ ලෙසක් ලොව දැනෙනා සඳ පරදා සිවුරඟ සේනා
මගෙ ලොව හිරු සඳු සැමදා ඔබවෙයි බබලන එක සේමා.

පිණි බිඳුවක් සේ පිවිතුරු වනු මැන
හිමිදිරි තණ පහසේ
තරු කැට ලෙස සනසනු මැන ලෝකය සඳ නැති රෑ අහසේ
මල් සුවඳක් සේ මිහිකත සනසා
හිනැහෙන මතු දවසේ
අප දුටු සිහිනය තුල රජවනුමැන
සිඟිතියෙ හෙට දවස

හිත හඬයි සැඟවි රහස් කොනක

හිතාශි පිටිගල - කළල්ගොඩ

කියාගන්න බැරි තරමට
සිත අසරණ වී.....
හඩන්නවත් බැරි තරමට
කඳුලු නතර වී......
ඔබෙ මුදු ආදර සුසුමන්
එකිනෙක සිහි වී.........
අදටත් මගෙ සිත මට නොදැනිම
නවතී වී......

අතීතයේ සොඳුරුම තැන්
සිත්තම් කල සකි සඳුනේ....
පාලුව තනිකම හිත වට
ගී ගැයුවා මද පවනේ......
ඔබේ සුවද දැනෙනා විට
තාමත් මා සිත් යහනේ.......
බැඳුනු රැහැන් සිඳ බිඳ දා
එන්න සිතෙයි ගණ අදුරේ.......

අදටත් මා නොදනිමි ඇයි මන්ද පෙමින්
සුමුදු නුඹට......
ඔබේ රුවයි පෙනෙන්නෙ මා ඇස් අද්දර
නිරතුරැවම ........
නලලත එකිනෙක ගාවා දෙනුවන්
දැල්වූ සෙනෙහස ......
සිහි වන විට තාමත් හිත
හඩයි සැඟවි රහස් කොනක.......
කියාගන්න බැරි තරමට
සිත අසරණ වී.....
හඩන්නවත් බැරි තරමට
කඳුලු නතර වී......
ඔබෙ මුදු ආදර සුසුමන්
එකිනෙක සිහි වී.........
අදටත් මගෙ සිත මට නොදැනිම
නවතී වී......

අතීතයේ සොඳුරුම තැන්
සිත්තම් කල සකි සඳුනේ....
පාලුව තනිකම හිත වට
ගී ගැයුවා මද පවනේ......
ඔබේ සුවද දැනෙනා විට
තාමත් මා සිත් යහනේ.......
බැඳුනු රැහැන් සිඳ බිඳ දා
එන්න සිතෙයි ගණ අදුරේ.......

අදටත් මා නොදනිමි ඇයි මන්ද පෙමින්
සුමුදු නුඹට......
ඔබේ රුවයි පෙනෙන්නෙ මා ඇස් අද්දර
නිරතුරැවම ........
නලලත එකිනෙක ගාවා දෙනුවන්
දැල්වූ සෙනෙහස ......
සිහි වන විට තාමත් හිත
හඩයි සැඟවි රහස් කොනක.......

සියල්ල දත්!!!!!!

නිමල් පෙරේරා - ඇමෙරිකා එක්සත් ජනපදය

උදයෙ හිටන් රෑවෙනතුරු කොච්චර මැද්දත්
ඉඳල හිටල දොස්තරවරු කරනව සුද්දත්
ගලවන්නට කලින් දතට බෙහෙතක් විද්දත්
ගලවනකොට "එපෝ" කියල කරනව සද්දත්

වයස හතෙන් දත් වැටීම වෙනවළු සිද්දත්
හෙලවෙන දත් පුංචි ළමයි දිවෙනුත් පද්දත්
අඬුදාගෙන දොස්තරවරු එළියට ඇද්දත්
ගලවගන්න බැරිවෙනකොට හරියට රිද්දත්

දත් කැක්කුම හැදුනදාට නෑනොවැ නින්දත්
නරක ඒව ගලව දාල අලුතින් බන්දත්
උඩ යට ඇඳි නැතිදවසට දහ දුක් වින්දත්
විදුරු මසත් හිල්කරලා අළුතින් ඉන්දත්

අළුත් දතක් ඉල්ලාගෙන ලේනට වැන්දත්
තරහ ගියොත් උඩ යට ඇඳි එකටෙක වද්දත්
උපදෙස් වටිනව,දෙන අය අපෙ දත් ගැන දත්
පිළිගන්නට ඕනැ අපිත්, ඒවා කවදත්

අවාරේ

කල්ප පල්ලියගුරුගේ - ලන්ඩනය

ගැලුවත් ගඟ හැමදාකම මුහුදට
වැහි වතුරත් එක් වෙන්නෙත් ගඟටම
සඳ නැඟෙතත් පෝදා රෑ ජාමෙට
අවාරේ පිපි මේ පෙම මගේ මැණිකට

නුඹට පුදන්නම් මගේ සිත් මල් යායම
රැක ගනු ඔබ මා සතු මැණික් යායම
නුඹේ පණ මෙන් මගේ පණ යායම
ඔබය සැමදා ප්‍රාණ සිතුවම ජීවන

කිසිවෙකු ළඟක නැති මොහොතක
මට නුඹ නැතිව දැනෙන තනිකම
ආදරය නුඹ කියා සිතත් මේ ලෝකෙම
නුඹ නැතිව මට දැනෙන දේ ආදරය ද

ආදරයට විහිළු කරාට
විහිලුවට ආදරය නොකරාට
හොයපු තැන් වල ආදරය නොතිබුනාට
ලැබෙන කාලෙක ලැබෙයි ඒ ආදරය

රෝද හතරෙ යුද්ද ටැංකි රෝද දෙකේ රෝද තුනේ
මහා බුදුන්වරුන් බුදුවන මේ හිමිදිරි පාන්දරම
කටුබැද්දෙන් පටන් අරං
ගාලුපාරෙ හෙමින් හෙමින්
ඇස් ඇස්වාට්ටුවට යමි මම
බම්පෙට බම්පේ තියාන
හෝන් ඔබන ලයිට් ගසන
දුම්පිඹ පිඹ තෙල් පුච්චන්
හිටගෙන බ්‍රේක් ගසන්
එන්ජීම කන් පුපුරන්නට
ඇක්සලේටරේ නහුතෙට
බඩගාමින් ගාට ගාට
පොඩි ඉඩකින් මා පසුකර
පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට
ඇදෙන් තව එකෙක් දුටුවිට
ඇඩ්රිනලින් උතුරායන
පුදුම කෝපයෙන් පිපිරී
ජීවත් වෙන්නද නැතිනම්
මඟදි මැරෙන්නද අපි මේ යන්නේ?

නැගිටිමු දෙපයින්

වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක - පුංචි බොරැල්ල

දසතින් නැගී එන කොරොනා මහ රැල්ල
කොයි ලෙසටවත් කරගනු නොහැකිව මෙල්ල
රට අසරණයි, සිත ලං කළ හසරැල්ල
වැස්මට යටින් වත් නැත දෙවියන් පල්ල

එකසිය වරක් මා ගෙන යන්නට කැන්දා
කොරොනා යකු කොතෙක් දඟකෙරුව ද මන්දා
නොහැදී බේරුණේ පෙර කළ පින හන්දා
වැඩිදෙනෙකුට තිබේ අද සුදු සළු අන්දා

විස්සයි විස්සෙ ගේ ඇතුලටම කොටු වුනේ
සතයක් වුව අතට එන මගය ඇහිරුණේ
පොඩිවුන් හිරේ දැම්මා වගෙයි හැසිරුණේ
සතුටයි මුහුණු වැස්මට යටින් දියවුනේ

නහයට දමන රිදවන කිති කවන වදේ
පොසිටිව් වුනොත් ගිණි කන්දක් ගෙයට ඇදේ
වටපිට සීල් මැද ගිලිහුන සුසුම හදේ
අවසන් ගෞරවෙත් නැතිවම දෙනක රැඳේ

දුටු ලෙස වලාකුළ මැද වුව රිදී ඉරක්
සිංහල හිතක ඇති සවි බල මහාමෙරක්
පුදුමයි දරා ගත් හැටි මේ වගේ බරක්
නැවතුන තැනින් යාමට ඇත ලොවේ දුරක්

විස්සයි විසිඑකේ රඟ කොහොමද බලමු
එන්නත් වලින් ළය පිරිමැද හිත හදමු
දෙවියනි වසංගත දුරුකර රට අරිමු
අවසන් ගමනෙ අයිතිය හිමි කර ගනිමු

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

කස්තුරි තිලක සැදි නළලත සුමුටාන
පුල් මහනෙල් මල්දම් හිස දවටාන
සලෙළුන් යනෙන නිති කරැ කෙළි කවටාන
රිවි මුදුනත වදු වන මැද සුමුටාන

කදිමට මටසිළුටු වූ නළලෙහි කස්තුරි තිලකයන් තබාගෙන,
පිපුණු මහනෙල් මල් මාලා හිසවටා දවටා ගෙන, කෙළි
කවට කරමින් සල්ලාලයන් යන එන, වනාන්තරයක් මැද්දේ
තිබෙන්නා වූ සුමුටාන ග්‍රාමයට, හිරු මුදුන්වන වේලාවෙහි
සැපත් වන්න.

සටහන; වාසනාවට අද සුමුටානේ (හිඹුටානේ) හිසේ මල් ගසා
ගෙන රස්තියාදු ගසමින් සිටින තරුණයින් දක්නට නැත.

කෝවිඩ් වැලපුම

දමයන්ති රූපසිංහ - බ්‍රිස්බේන්

මගේ ආදර සැමියා
ගෙදර සිට වැඩ
තිරයක් බලාගෙන
මොනවදෝ මුමුණයි
කන් දෙකෙත් ඇබ

දරු දෙදෙන නිහ‍ඬයි
සිටියත් නැති ගානයි
මුලු ගෙදරම පාලුයි
අපේ කාලේ නෙමෙයි
ගුරැන් නැති පාසැලලු

මිනිස් පුලුටක් නෑ
පේන තෙක් මානෙක
මාවත පාලුයි
හැල්මෙ ගිය වාහන
කොහේ සැඟවුණිද?

එළිය හරි සීතලයි
අහස අඬනව වගේ
මුලු ලොවම එකතැන
නතර වී දිගු කලක්

හෙට ඉර පායයිද...?

හෙවනැල්ල

රුවන් රූපසිංහ, වැලිවේරිය

අලුයම සවස බඹ අට දහය දිග ඇදී.
කුලුපග ලෙස දවල් විත් දෙපය මත වදී.
කලුවර වැටෙන මොහොතේ රැගෙන හොර නිදී.
මුලු දිවියෙහිම ඔබ මා සමග ලඟ හිඳී.

සිටගෙන සිටින විට ගොස් ගල් තලය වෙත .
යට බෑවුමට පැන වල් කටු පඳුරු මත.
සටහන් තබනු සවසට දැක පුරුදු ඇත.
මට ඔබ තරම් මේ ලොව හිතවතෙකු නැත.

රටුනට වැඩක් පැවරූ විට අසල සිටී.
ඉටු කළ පසුව දිය යුතු පුද පඬුරු තැටී.
දුටුවෙමි එහෙත් යන එන හැම තැනම වැටී.
වැටුපක් නැතුව මා ලඟ තනි රකින හැටි.

අඹ තුර දිනිඳු රජ වැජඹෙන සියළු පැයේ.
බබලන එලිය අතහැර කිසි තැනක නොයේ.
සුභ නැති නිසා සැඟවෙනු ඇයි අඳුරු රැයේ.
ඔබ කොයි ගියෙද අඳුරට මේ තරම බියේ.

කුඩා කලදි සටහන දැක පහන කෙරෙන්.
විඩා රැගෙන අත වැනුමට ඔබට හොරෙන්.
දොඩා නොකරවයි මා කල දෙයම සැරෙන්.
අඬා හුනිමි බැට දී බිත්තියට වැරෙන්.

ගෙතුලෙහි පහන් දල්වනු දැක අඳුර බිඳී.
මතු වී පසෙක පසු වෙයි බිත්තියට ඇදී.
ඇතුලට සුලඟ ආවොත් කවුලුවෙහි වැදී.
බිතුවෙහි නටයි ඔබ මට මඳ සිනහ දිදී.

ජීවන ගුණය ඔබ අතහැර ඉවත නොයයි.
රෑ වෙන විටදි මා වාගෙම එලිය සොයයි.
මා ගෙන පෑන කවි ලීවොත් ඔබ ද ලියයි.
නෑසෙන බසින් ලඟ ඉඳ කවි පෙලම කියයි.

දිසි වන මගේ හැඩ නිල අඩු නැතුව පිරී.
නිසි ලෙස කරයි මා කල දේ කොහොම හරී.
කිසි විට එහෙත් සිටියදි ඉදිරියට හැරී.
ඇසිපිය සලන්නට මා මෙන් ඔබට බැරී.

විපතෙහි අතුරුදන් වන නෑ මිත් ගොල්ල.
සැප දැක ඇදෙති උදුරන්නට සැනසිල්ල.
එපවත් එසේ වුව ගෙඩියට ලෙස ලෙල්ල.
උපතේ සිට ලදිමි නොවෙනස් හෙවනැල්ල.

එරබදු මල් කළු පාටයි

රංජිත් ද සිල්වා - නවසීලන්තය

රතු පාට මල් පිපුණු
එරබදු ගහක් සොයාගෙන
උතුර - නැගෙනහිර - බටහිර - දකුනෙත්
සතර අතට පියාසර කල කොවුලාට
හැමතැනම පෙනුනේ
කලුපාට මල් පිපුණු එරබදු ගස්

ඒ කලුපාට මල්
වියරුව කෝපෙන් දත් විලිස්සා
කොවුලා දෙස බලද්දී - කොවුලා බයවුණා

අවුරුදු සිරියාව - පාස්කු සතුට
ගීතවත් කරන්නට
මෙවරත් නොහැකි වග කොවුලාට තේරුණා

කැලයකට පියාසර කල කොවුලා
ගසක අත්තකට වී ඈත බැලුවා
කැලයේ ගස් අඩුවී පාළුවී යන බව පෙනුනා
කොවුල් ගීතය වෙනුවට
කොවුලා මහහඬින් විලාප නැගුවා

එත් අනේ ඒ හඬ අසන්නට සිටියේ
කැලය තුල හෝටලයක් හදන්නට
තැනක් බලන්නට ආ
සුදු ඇඳගත් කලු මැතිතුමාත්
ඔහුගේ ආරක්ෂාවට තුවක්කු අමෝරාගත්
භට පිරිසත් පමණයි .......

06 මාර්තු 2021

කෙවිලියගේ රහස

සමන්මලි සේනානායක - එක්සත් රාජධානිය (ගී පද රචිකාවී)

හිරු කුමරුන් ගම වඩිනා බක් මාසේ
එරබදු සිනාසී පෙර මග සැරසෙන්නේ
කොවුලන් ගයන ගී මිහිරෙන් ඇහැරෙන්නේ
ගම්මානෙටම කිරි බත ගෙයි ඉතිරෙන්නේ

කැවුම් කොකිස් සුවඳ හමා මුලුතැන් ගෙය පිරෙන්නේ
දෙමාපියන් හට වැඳලයි කිරිබත් කට ගාන්නේ
මවු පිය දු දරු බැඳීම සැම සිත ගත පිරෙන්නේ
එවන් ගමක අටු කොටුවල දන ධාන්‍ය රැඳෙන්නේ

එදා වගේ ගම්මානේ සවුසිරි නෑ පෙනෙන්නේ
විහඟුන් හට නැහැ පලතුරු ගස්වැල් වල ඉදෙන්නේ
රැහැයියන්ගෙ ගී නාදය තාමත් නැහැ ඇසෙන්නේ
කෙවිලිය රහසින් මේ ගැන කොවුලාගෙන් අසන්නේ

සිරිත් විරිත් ගමේ රැකුන දෙමාපියන් වෙසෙන්නේ
අද වැඩිහිටි නිවාසයේ කදුලින් නිදි වරන්නේ
අවුරුද්දෙම එක දවසයි මවු පිය ගුණ දැනෙන්නේ
එතුම් ගුණය නොදත් ගමක නෑ සවුසිරි රැඳෙන්නේ

කොරෝනාව පරදා ජයගත් දාට

වෛද්‍ය ටියුඩර් ද සිල්වා - කෙන්ට්, එංගලන්තය

කොරෝනාව පරදා ජය. ගත්. දාට
යමු මිතුරේ අපෙ. ලස්සන. ගම රටට
පැහුනු ගොයම් යායක හැඩ බලන්නට
පාසිකුඩා වෙරලේ පා. තෙමන්නට
අලුත් මාලු හොද්දක. රස. විදින්නට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට

කොරෝනාව පරදා ජය. ගත්. දාට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට
දලදා සමිදු තවසැරයක්. වදින්නට
සිරිපා ගිරේ ඉරසේවය. බලන්නට
අනුරපුරේ ශිමා බෝ. පුදන්නට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට

කොරෝනාව පරදා ජය. ගත්. දාට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට
අවුකන බුදුරුවේ. විශ්මය. . දකින්නට
සමාදි පිලිමයේ සිසිලස. විදින්නට
සීගිරි ගලේ බිතුසිතුවම් බලන්නට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට

කොරෝනාව පරදා ජය. ගත්. දාට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට
වැලමිටි වන්ගු පසුකර කදු. නගින්නට
කදුකරයේ තේවල රස. බලන්නට
තුන්පත් ‍රෑන උඩවලවේ. සොයන්නට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට

17 මාර්තු 2021

රාත්‍රිය ඇවිත්

සුනිල් එස්. සිරිසේන - මහනුවර

නුඹ ඇවිත් වේලාසනින්
ගෙවුන දවසේ අඩුවැඩිය
මිටි බැඳ පසෙක තබයි
සීරුවට .......

මඟ හැරී අත්හැරුණු
එකෙක් පැන ගොස්
පන අදින පහන් දැල්ලේ පතිත වී
තටු සිඳී ඇද වැටෙයි
පහන් එළිය ද නිවාගෙන

මිහිදන්ව තැනින් තැන
වූ මතක පහුරු ගා
යළි යළිත් යා නොදෙන
අයාලේ යන ගමන - අඳුරටම දිය වෙලා
ඉතිං වත් නතර වෙයි .

මේ මහ විපත දැක දැක නිහඬව ඉන්නේ

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය

කොඳු ඇට පෙළට හෙන ගහලද මිනිසුන්නේ'
(එස් .මහින්ද හිමි මතක් උනා)

රක්ෂිත වනය දැන් තැන තැන එළිවෙන්නේ
වන සත්තුන්ට උන් හිටි තැන් නැතිවෙන්නේ
අලිමංකඩ වසා වැටවල් ඉදිවන්නේ
විදුලිය වැදී ඇත් රජෙකුත් මිය යන්නේ

ගංගා හාරමින් වැලි ගොඩ දමමින්නේ
පර්මිට් නැතිව පස් ලොරි ටික පිටවෙන්නේ
අතමිට සරුව මුදලාලිලා හිනැහෙන්නේ
රත්වෙන තුරු හැළිය කකුළුවො නටමින්නේ

"කපලා කඩොලාන පිට්ටනියක් දෙන්නේ
කන්නද ඔක්සිජන් කියලයි ඉල්ලන්නේ "
ජල පෝෂක වසා හෝටල් ඉදිවන්නේ
ලාභය හොඳයි - නව රැකියා බිහිවන්නේ

අපි පිට කරන හුස්මයි ගස් අරගන්නේ
පිරිසුදු වාතයයි ගස් අප හට දෙන්නේ
ගස් වැල් නැතුව කොහොමද ලොව පවතින්නේ
මොළයක් නැත්ද ඇයි මෙය නොම තේරෙන්නේ

පරිසර පද්ධතිය අඩපණ වී යන්නේ
දියවැල් සිඳුන හොත් වතුරත් නැතිවෙන්නේ
මේ යන ගමන අපි කොතැනද නවතින්නේ
මතු පරපුරේ අවසානෙද ලං වෙන්නේ

මහ ගස් පවා ඩෝසරයට යටවෙන්නේ
ගහකොළ නැතුව කොහොමද හුස්මක් ගන්නේ
'මේ මහ විපත දැක දැක නිහඬව ඉන්නේ
කොඳු ඇට පෙළට හෙන ගහලද මිනිසුන්නේ'

පැළයක් හිටවලා කැලයක් එළිකරන
චන්දය බලාගෙන මායිම් ගසාගෙන
ඉඩමක් විලස මහ වනයක් බෙදාදෙන
දෙස් පාලකයෝ අද ඇයි මේ හැටි අමන

21. 03. 2021

රියැලිටි ඛේදවාචකය

කමල් සේමගේ - කතරගම

කුඩා දැරියක් උදේ …… පොලීසියෙ අඬනවා
මවකගේ විලාපය ……. අතර ඇය කියනවා

මගේ කිරි කැටි පැංචි …… මම ගෙදර නැති වෙලේ
ජිනේ දූශනය කර ……….. පැන ගිහිං දෙයියනේ

මේ දැරිය නේද අර ………… රියැලිටියෙ සිංදු කිව්
කොට ගවුම ඇඳ හැඩට ….. වේදිකාවේ නැටූව

“ඔබෙ දෙතොල් සිපගන්න … ඔබේ වත දැකගන්න”
ගැයූ ගී පදවැල් ……………. මවක තෝරලා දුන්

විනිසුරු මඬුල කිවි …... ….. හරි හැඩයි ගායනය
සිත් පිනයි ඇගෙ නැටුම…… උචිත ගීතය සමග

නීතියේ ඇත්නම් ඉඩක් ….. ගන්නවා එක පෙලට
අරිනවා දඟ ගෙයට……...නැගනියේ නුඹ ඇතුලු
විනිසුරු මඩුල්ලත්

ගැටුමට අලි-මිනිස් අලියන් වෙද නිවට?

කිවිපති අජන්ත සෙනෙවිරත්න

විඳිමින් තුරුලතා ලැබ දෙන සිත සතුටක්
විලසින් ගලා ඇදෙනා සේ දිය දහරක්
ගනවන් ඇතුන් පෙළහැර වඩිනව ගමනක්
බුහුමන් පුදයි මග රැඳි සැම වන දිවියක්

සිහිල් වගුරන වන උයන් මැද මනාසේ
නිමල් සිත් පිරි දේවතාවන් විලාසේ
විසල් කළු සෙල් පෙළක් පෙරළේ ජලාසේ
ලකල් සිරි විඳ වනන්තරයක් සිනාසේ

වන රොද අරක්ගෙන සිටියට සිත් සතොසේ
පන රැක ගන්න හැකිවෙද වියැලු‍ණු පියසේ
වන පෙත් මාරු වෙන්නට එකලට රහසේ
දැන මග ගමන යති අලි මංකඩ පහසේ

සලා දෙකන් පෙති දුර දිග අසමින්නේ
හෙළා නෙතග අවිහිංසක කැල්මෙන්නේ
වෙළා රෑන එකිනෙක ඇඟ හැපමින්නේ
කළා වකට අලිමංකඩ පියමැන්නේ

මිනිසා මිහිතලය තනි උරුමයට ගෙන
වනසා තුරුලතා අහුරා අලි ගමන
සරසා සිමෙන්තිය අහුරා හෙලු‍ විමන
කෙළසා දමා අලි යන මග කටියි වින

ඉන්නට හැකිවේද කුසගිනි ඇති කඳට
යන්නට තැන් වේද යන මං නැති කලට
කන්නට කුසට සිඟමන් යති ගෙයින් ගෙට
ගැටුමට අලි-මිනිස් අලියන් වෙ ද නිවට

පැහැ සරණිය රැඳි සිරිලක වැඩි මුනිඳු
ගෙල කිකිණිය හඬවයි පෙරහැර ගිජිඳු
සිත වෙනතය වෙන දේ දකිමින් සුරිඳු
සැළලිහිණිය එනු දකිනට දුක ගිජිඳු

What a wonderful world –

Wasantha Tennakoon - London

(Modified version that was written during the
first lock down of the pandemic)

I see trees of green
Sunshine through
No man in sight
For days and nights
And I think to myself, what a wonderful world

I see skies of blue
And clouds of white
The clean air days
Are here to stay
And I think to myself, what a wonderful world.

We given the space and time
For the nature to heal itself fine
Also the people to have quality family time
I know friends staying home caring for each other too
They are really saying, I love you

I hear birds chirping high
I watch them fly
The nature cares more
Than we did before
And I think to myself, what a wonderful world.

සාමනේර සිතුවිල්ල

ශ්‍රියානි උඩුගංගොඩ - මහනුවර

සිදු වූ මළගමක හත් දවසක දානේ
බණ දේශනාවට ඇරයුම ලැබුනානේ
පෙර කාලේ නම් මේ ලෙස බර නෑනේ
ලොකු හාමුදුරුවන්ගේ පසුපස වැඩි යානේ

හිත එකලස් කලත් සැනසුම නම් නැත්තේ
නායක හිමි නැතුව ගමනක් යා යුත්තේ
හෙට නම් ඉතින් මට පිළිසරණක් නැත්තේ
බණ පද වෙතත් පන්සිල් වත් හිත නැත්තේ

මහානාහිමි වරුන් දෙසු ඒ දම් අහලා
තිබුනත් අනේ මම නම් නෑ බණ කියලා
දනවා මගේ බඩ පපුව ද ගිනි වැදිලා
මංගල බණ හෙටයි අද මගෙ හිත දැවිලා

පාලි වලින් ඇති ගාථා වල අරුමේ
තේරුම් කර දෙන්න වෙයි හෙට පස් වරුවේ
පාඩම් කරකරත් ඇයි මන් නිදි මැරුවේ
සරදම් බවකි මට අද සිවුරෙන් කෙරුවේ

කාලය ගෙවී ගොස් දිනයේ හිරු බැසුනා
සුපුරුදු අයෙක් ලෙස මා ඒ නිවසට වැඩියා
පා දෝවනය කර හරසර කර හිටියා
නමස්කාරයෙන් පසු පන්සිල් ගෙන හිටියා

ගිනි ගත් හිත නිසා දහඩිය සිවුර තෙමයි
පවන් ගහන වටා පතින් සෙනග පෙනෙයි
ඇස් සියයක් මා දෙසටම බැලුම් හෙලයි
අත් ඔසවා මුළු පිරිසම සාදු කියයි

දන්නා සියලු ගාථා මතකෙට නැගුවා
හඬගා බැතින් බුදු හිමිගේ ගුණ ගැයුවා
මහා සයුරක් වැනි දම් දැනුමක් නැතුවා
බුදුගුණ වලින් බිඳුවක් හැමටම බෙදුවා

කීරි ගසන හද තුල සහනය දැනුනා
බුදු හිමියන් ගුණ සුවඳේ සුව දැනුනා
සාදු හඩින් දෙසවන් මගෙ හිරි වැටුනා
මට නොදැනීම මංගල බණ නිමකෙරුනා

වෙනදා නොමැති අබිමන් ගතියක් දැනුනා
ආවාසය වෙතට නොදැනිම පිය නැඟුනා
අහසේ වළා තුල සිටි මා බිම වැටුනා
නායක හිමිගෙ මුව අග හසරැල් පෙනුනා

ඉතිරිය මෙතැනින්...

සිතිවිලි!

ලුම්බිණි විතාන - ලන්ඩනය

මගේ ඇස් දෙකට පේනවා........
මට නොපෙනුනාට.
මගේ කන් දෙකට ඇහෙනවා......
මට නොඇසුනාට.
මගේ මතකයට එනවා........
මට මතක් නොවුනාට.
මා තුල තවම මම ඉන්නවා........

ඔබ නොදුටුවාට!!!!

(ඩිමෙන්ෂියා රෝගියෙකුගේ සිතිවිලි)

පෙම් කවක්

රොඩ්නි විදානපතිරණ

නැති බැරි කමෙන්
ප්‍රේමය වියැකී ගිය
කතරක හෙම්බත්ව
දිය පොදක් අයදින
අරගල කරන
වැඩ බිමක
මට පෙම් කවක්
ලිවිය හැකිද?
සඳරැස් ගලන
වන අරණක
චමත්කාරය නොව
වන අලියෙකු විත්
කොයි වෙලේ
පහර දේ දැයි
සිතන විට
මට පෙම් කවක්
ලිවිය හැකි ද?

කළු ඉරිදා

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - ඕමානය

හිත යට ගිනි පුපුරු තනිකම ළඟ දැවෙනා
විස කටු ඇනුණු සිතිවිලි කඳුලක වැටෙනා
ඉසි මල් සුවඳ නොදැනිම පරවුණු බැවිනා
ඇසි දිසි පැතුම් අනියත හෙට දින එබෙනා

දෑ අවුරුද්දකට පෙර අඹු දරු කැටුව
අවුරුදු මේසයට පැමිණියෙ හද තුටුව
පිපි මල් ගිලිහිලා අත්හරිමින් නටුව
පල්ලියෙ මළ එවුන් අතරේ නම කෙටුව

නින්දට එන්න නොදෙනා බියකරු සිහින
සිත්යට අඬනවා නැති පිළිතුරු සහන
ඇත්තට තැනක්‌ එනතුරු දල්වන පහන
පැත්තට හැරී නිවිලා යාවිද දැහැන

2021/3

ගුත්තිල අදුරු මෙසේ විමසයි :

රන්ගිරි කුළු මුදුන
ළහිරු මඬලෙව් බබලන
රන් රතයෙහි මෙතැන
මෙ තොප කවරෙක්ද දැන් දිලිසෙන

(ගිජ්ජකූට පර්වතය මුදුනින් නැඟෙනා
ලපටි හිරු හිරු මෙන් බබලන
රනින් නිමා කල රථයෙන් පැමිණි
මෙතන සිටින ඔබ කවරෙක් ද ?)

වෙයිද අසුරින්දා
නැතහොත් සක් දෙවින්දා
මසිත සැක සින්දා
කියව තොප නම් ගොත් කුමන්දා

(ඔබ අසුර නායකයා ද, නැත්නම් ශක්‍ර දේවේන්ද්‍රයා ද, මගේ සිතේ සැක දුරු කර ගැනීමට මට ඔබේ නම ගෝත්‍රය කියනු මැන)

මාතලී මෙසේ පිළිතුරු දෙයි :

රුපුය අසුරා නම්
ම හිමිය පුරඳරා නම්
දනුව ඉඳුරා නම්
මම ය මාතලි රියදුරා නම්

(අසුරයින් අපගේ සතුරෝය, ශක්‍ර දෙවිඳුන් මගේ ස්වාමියා ය. ඉඳුරා ම දැනගත්තොත් හොඳය, මම ශක්‍ර දෙවිඳුන් ගේ රියදුරා මාතලී නම් වෙමි.)

සටහන: දිව්‍ය සභාවට ගුත්තල ඇදුරු තුමා කැඳවාගෙන ඒම පිණිස සක් දෙවිඳුන් විසින් තම රියදුරු මාතලී පිටත් කර එවනු ලබයි. ගුත්තල අදුරු ගේ නිවස ඉදිරි පිට අහසේ වාහනය නවතා සිටින මාතලී ගෙන් තමා කවරෙක් ද යන්න ගුත්තිල ඇදුරු විමසා සිටී. මාතලී ඔහුට උත්තර දෙන්නේ අදත් බල පුළුවන් කාරයින් ගේ රියදුරන් උත්තර දෙන විලාසයට ම ය. "දනුව ඉඳුරානම්" යන්න කියන්නට දෑත් පසු පසට කොට තබාගෙන බැරිය.
එයට දබර ඇඟිල්ල උරුක් කිරීමක් අවශ්‍ය වේ. ඒ මේ අහිංසක ගුත්තිල ඇදුරුතුමා ටය.

(සිතුවම එස් එල් සෙනෙහෙධීර , ලෙච්වර්ත්)

කොහොමද කොහොමද

විශේෂඥ වෛද්‍ය කේ. එල්. වික්‍රමරත්න - කොළඹ 5

දළඹුවෙක් කොහොමද - සමනලයෙක් වෙන්නේ අයියන්ඩී
වන මලක් කොහොමද - මල් ගහකින් එන්නේ අයියන්ඩී
උල්පතක් කොහොමද - සැඩ පහරක් වෙන්නේ අයියන්ඩී
හිතින් ඔබ කොහොමද - මට ලංවී ඉන්නේ අයියන්ඩී

කවි හිතක් කොහොමද - පෙම් කවියක් වෙන්නේ පුංචි නගෝ
පෙම් කවක් කොහොමද - ආදරයක් වෙන්නේ පුංචි නගෝ
පැල්පතක් කොහොමද ආදරයෙන් - රජ මැදුරක් වෙන්නේ පුංචි නගෝ
තව ටිකක් ඉවසන්නෙ කොහොමද - කැන්දන් යනකං මගෙ පුංච් නගෝ

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි

සුඛිත විජයමුණි ලන්ඩනය

කොදෙව්වක් නොව කනක උයනකි
සේද මාවතේ මුතු ඇටය කියනා
ලොවක් පෙරේත සම්පත් ආකරය
වෙන්දේසි කරමු අපි හෙට ගැන නොසිතා

පින්බර සරු සාර පසින් ස්වයංපෝෂිත
පොළොව වනසමූ වස විස එකතු කර
බහු ජාතික සමාගම් වල කාසි මල්ලට
පාවා දීපන් මතු උපදින දරුවගෙ බත‍් වේල

ඉඩම් මදි නම් ගොඩ කරපන් වෙල්යායවල්
වනාන්තර වනසා හදමු තරු පහේ හෝටල්
නූපන් දරුවන්ගෙ සාපය ලැබෙන දවසට
නරකාදිය ලැබීයන් තොපිට මෙලොවේදීම

ඇය නැති දිනේ අවුරුදු මට ඇතුවා ද?

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - එංගලන්තය

අවුරුදු කුමරු ඇවිදින් ගෙයි මැද සාලේ
කුමරිය සොයයි හිත යට වෙලෙමින් ආලේ
යන්තම් මතක් වුණි බහ තෝරන කාලේ
අවුරුදු නැකැත් අපි හැම සමරපු තාලේ

මල් මල් ගවුම අම්මා මහලා දුන්න
ඇඟලා අසල් වැසි නිවහන් වෙත යන්න
බරටම කැවිලි දී සුබ පැතුමන් දෙන්න
පුරුදුව හිටිය හැටි ඇත මතකෙට වන්න

අහළ පහළ ළමයින් අපි එකතු වෙලා
කඩ පිල් දමා අවුරුදු සෙල්ලම්ද කළා
ඉඳගෙන වටේටම පං කොල පැදුරු එළා
මදටිය දැම්මෙ පොල් කටුවේ පිටට හලා

හවසට සුදු වතින් තෙල් මල් අතින් ගෙන
පන්සල දෙසට ගොස් වැඳගෙන පුදා ගෙන
කළුවර වැටුණ පසු දල්වන නිලා ගෙන
අවුරුදු ඉවර වුණෙ සතුටද ගලාගෙන

කොවුලා අදත් කරනා සුමිහිරි නාද
ඉස්සර තරම් දැන් මිහිරිව නැති වාද
මල් මල් ගවුම මැසු අත අද කොහෙ වාද
ඇය නැති දිනේ අවුරුදු මට ඇතුවා ද.....?

අලුත් අවුරුද්ද

රොෂාන්ති විජේසිංහ - කොළඹ

එරබදු මලින් පරිසරයක හැඩ වෙද්දි
කොවුල් නද දස අත පැතිරෙද්දි
සිත තුල සතුට රජයද්දි
අලුත් අවුරුද්දට සැරසෙද්දි

කොරෝනා නුඹ නිසා.....

කොයින්ද අලුත් අවුරුද්දක්
මිනිස් සිත් බයෙන් ගැහෙද්දි
මරණය දොරකඩ අත වනද්දි
කොහොම සමරන්නද
අලුත් අවුරුද්ද.....

අසල්වැසි නෑදෑයන් එක්ව
පංච කෙලියෙ යෙදෙන්න
ඔන්චිලි වාරම් කියන්න
තරගෙට රබන් ගසන්න
නැහැ ඉඩක්⁣ මේ අවුරුද්දෙ
කොරෝනා රජවෙලා හැම තැනම..

පවුලෙ අය සමග
සමරමු සතුටින් මේ
අලුත් අවුරුද්ද
සැමට එක්ව සමරන්න
හැකි වේයැයි පතමින්
ලබන අලුත් අවුරුද්ද

කලාව

චතුරි වික්‍රමාරච්චි - වොෂින්ටන් DC

සිසලස ගෙන එන පවනකින්
දැනෙන සූවය සන්සුන්
ඒ සැනසුම් පවන්
නොරිස්සන්නො දුදනන්

පායනා හිරුගෙ කිරණින්
විදින සුවය මනරම්
රත් වු පොළව මොනතරම්
වැජඹෙයිද හිරු කිරණින්

වැහි පොදක ස්පර්ශයක්
ලබනා තුරුලතා මනරම්
වැහිකුලෙන් හිරු එබූනොත්
දිදුලන්නේ දෙදුන්නක්

මල් පෙති මත සිනිදු
බිගු පිරිවරන් රඟ දෙති
උන් මලට පෙම් කරති
කිසිම දිනකදී නිගා නොකරති

සොබාදහමට පෙම්බැඳ
සෞන්දර්යට ළංවන
චමත්කාරය ජනනය කළ
කළා කරු මුණිවරයෙකි

දුර්ගුණ ඉවත දමමින්
සොබාදහමට පෙමින්
ළංවෙන්න සතොසින්
සන්සුන්ව සිත් පාදමින්

කලාව යනු ආභරණයකි.
නුරැස්සන්නන්ට කඩුපහරකි
සන්සුන් මෙත් වැඩීමකි
එය විදින්නෝ සුවපත් වෙති.

මවගේ බලාපොරොත්තුව

රත්නා විජේසිංහ - කොළඹ 5

මවක් අතරමංව දිවි කතරේ
වෙර දරයි - ගෙනියන්න
හැකි ලෙසින් - ජීවිතය

සුර සැප නොවේය ඇය පැතුම
නැතේ ඇයට අනාගතයක් තිර
පසුවන ජිවිත අරුණේ
අනාගතය තම පුතුගේ
බලයි සිතයි ඇය .....

ලබා දෙන්නට පුතු හට .....
ජිවිතයක්
හෙළයි ඈ දහ බිඳු ...
කාමරයක් තුල
සොයා රුපියල් සත