ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Oct 2023

එලෙස නිමවූ සැම රැයක් තුල, දිදුල ඔබෙ හඬ අදත් එලෙසය
නොමැත වෙනසක් දැනෙන්නේ මට
තවම ඔබ ම ය මිතුරුකැල මැද, රාත්‍රිය අවදි ව තබන්නේ
තව ම ඔබ ම ය කරළියක් මත, හදේ පිරිපත නිවාලන්නේ

-බුද්ධදාස ගලප්පත්ති
චයාරුපය : සරත් පෙරේරා

2023 ඔක්තෝබර් කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 105 කින් ඔපවත්වීී ඇත
  1. තාත්තේ අනුරාධා ගුණසේකර - හොරණ
  2. නාඹර නුඹ අතුල රත්නායක - ලන්ඩනය
  3. මෙහෙණි සසුන ඇරඹුණා ….. ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
  4. අහිමි කවිය අනුරාධා ගුණසේකර - හොරණ
  5. අලුත් මනාලිවෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
  6. විශ්‍රාමයට පසුවදනක් ආරියරත්න ජයසිංහ - මහරගම
  7. මගෙ හිතම පෙරහැරක් මවනවා අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
  8. පණ අදින ආදරය. ආරි ලියනගේ - ඉතාලිය
  9. පොහොටුකා මලක් ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
  10. දැරියනි…වෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය
  11. ඉන්ද්‍රජාලික ගමන චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
  12. I Know Who You Are.. චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  13. ඉඩ සදා පාව යමි ඉවතට චාන්දනී ආර් වේරගල - මීගොඩ
  14. ගඟක ගමන, චමින්ද ලියනගේ - බලංගොඩ
  15. මව්වත් කමට කොතැනද උපහැරණ වෙන චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව
  16. මොබයිල් උණ සිසිල් මාන්නප්පෙරුම - Brampton - කැනඩාව
  17. සාසනය පිළියමද? චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
  18. ලොව අර්ථවත් ම අර්ථ විරහිත රස්තියාදුව..! චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  19. සමාවෙයන් මේ නැන්දට. චමරි වික්‍රමසිංහ - පිලියන්දල
  20. … සුපිරි සඳ වැළපෙයි… දම්සිරි
  21. මමද ඔබහට වරද නොතබමි! දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
  22. මමද ඔබහට වරද නොතබමි! දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
  23. මැනිකෙගේ හීනය ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව
  24. ප්‍රේමය නම් …. දීපා ද සිල්වා - ලන්ඩනය
  25. මං දන්නවා..
  26. ඇස් බැන්දුම්…! දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
  27. කලා කරුවාණෙනිදයා අල්විස්
  28. මරණයක සුවය! ගංගා කඩවැද්දුව - මේරි ලන්ඩ්, ඇමරිකා එක්සත් ජනපදය
  29. තනි වු පැළේ ඩී.කේ.හෂාන් සම්පත් සමනලවත්ත
  30. අහස සැමට හිල්මි සුපුන් - ඉතාලිය
  31. පාවෙන ජීවිත ඉෂංකා මිහිරි කුමාරතුංග
  32. මලේ අයිතිය ජයතිලක කම්මැල්ලවීර
  33. සමනල සඳෙස – 5ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  34. එදත් මේ වාගේමැයි සිත සීතලෙන් ගැලුවා..ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  35. නොදුටු පෙම කනිල් මතුරට
  36. රන් කෙන්ද ලිහී………නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය - කොළඹ
  37. නිවනද ඔබ ය කසුන් ලක්ප්‍රිය
  38. පාළු රැය ලුෂානි දමයන්ති - කැකිරාව
  39. සහන සිතුවිලි ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
  40. මලක් නැති බිමේ …… ලාල් හෑගොඩ  
  41. Pick me ද Uber අප ලලිත් ද සිල්වා - නුගේගොඩ
  42. යකඩ ආදරේ …. ලයනල් ගමගේ ඌරුමුත්ත
  43. මිලාගිරි විදු බිමේ ගුරු තරුව නිවි ගියේය!!! ලුම්බිණි විතාන - ලන්ඩනය
  44. තවම මං පෙම් බඳිනවා…… ලියෝමි චාමිකා
  45. නිවාඩුවආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
  46. සොඳුරු උදයක් මානෙල් රණවීර
  47. රහස් මුදිතා ඩයස් - කොට්ටාව
  48. පියසැරිය මාලිනී හෑගොඩ - USA
  49. ගල හොඳනම්…. මයුරි කොඩිකාර - ගම්පහ
  50. පොත්මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
  51. වඳිමි මව් දොහොත් දී නදී ශානිකා - මහනුවර
  52. හත්ථසාර නිලුපුල් ප්‍රියංකර
  53. මගේ හෘද සාක්ෂිය…. නයනශාන්ති දිසානායක
  54. ඔන් ලයින් හාද්ද. නිමල් අබේසිංහ - කඳාන
  55. ග්‍රහයෙකු නොවූ සඳ නිශ්ශංක දිද්දෙණිය
  56. කුමුදු මලේ අයිතිය නාලිනි ඩි සිල්වා
  57. ගිනි කතර නදී විතානාච්චි
  58. නොපෙනෙන මුහුණු නාලක ගම්මැද්දේගෙදර
  59. හෙල්මැලී පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
  60. මවක සෙනෙහස…..වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
  61. ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාටආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
  62. හිච්චි බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව
  63. ආදරේ ගැන ප්‍රශ්නයක් ප්‍රියන්ති ඕපාත
  64. අවජාතක උන් බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව
  65. සෙත්කවිය වැරදී .. ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
  66. දිගට හරහට වැස්ස… රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
  67. රණවිරුවෙකුගෙ පෙරවදන රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
  68. අසම්මතය සම්මත වූ වගයි …… රංජිත් ද සිල්වා - නවසීලන්තය
  69. මේලොව තිබෙන සුන්දර හැම දේට වඩා - කේ. රසංගිකා ප්‍රියදර්ශනී පෙරේරා - බණ්ඩාරගම
  70. Tears…ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
  71. ධීවරී ගීතය සාගර පලන්සුරිය
  72. දුවනී… සුදර්මා වීරක්කොඩි
  73. අයාචනයක් ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
  74. පුංචි තිරයේ කඳුළු බිඳ කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
  75. අනියත දම් රස කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
  76. මිනිසත්බවවෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
  77. ආවෙ අද මම……යන්නමයි රැල්ල එක්කම ෂර්මිලා බංදුනී දංවත්ත
  78. The Glow Shaun Dissanayake
  79. කපුටු සංදේශය – පුරවර වැනුමවෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
  80. උසාවිය නිශ්ශබ්ද වෙනු ! එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
  81. කළු සුදු වී සුමිත්‍රා ආරියවංශ - මහනුවර
  82. මල්වන් දරුවන් සුරකිමුරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  83. ප්‍රවීණ නිවේදිකා රම්‍යා ශ්‍රීයාණී පතිරන සමුගැනීම වෙනුවෙනිරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  84. වසන්තය ගෙවී……… සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
  85. නතර වෙමුද රන්කොත් වෙහෙර ලඟින් සමන්මලි සේනානායක - එක්සත් රාජධානිය (ගී පද රචිකාවී)
  86. උදුම්බරා කුමරිය සහ විරැකියා කුමරා සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
  87. Monsoons සන්දු ජයසිංහ
  88. පොරොන්දුවෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
  89. නිවනට සූදානම්ද ?රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
  90. ප්‍රේමයේ මළ ගමන්… තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
  91. පරව ගිය සිහින කුමටද …? WGD තාරක
  92. අප්‍රකාශිත අපේ පෙම්දම තනුලි ශ්‍රීවර්ධන - ශ්‍රී ජයවර්ධනපුර සරසවිය
  93. පොත් තිලිණි ලක්ශාන්ති - මහනුවර
  94. අඟුටුමිටි අම්මා තුෂාරි ජයසිංහ - මහනුවර
  95. ආනන්තරීයයි මව්පියො හැර යාමවිශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එක්සත් රාජධානිය
  96. නාම පද / ක්‍රියා පද උද්‍යා මාධවී
  97. හුදකලාව උදයංග අමරසේකර - ප්‍රංශය
  98. නුඹ නැති හෙට දින උපාලි අත්තනායක - මහනුවර
  99. මාවතේ ගැහැණිය විදර්ශා පතිරත්න - කොබෙයිගනේ
  100. සංවේගයෙන් දැනුම් දීමයි…වෛද්‍ය වරුණ ජයසිංහ - එක්සත් රාජධානිය
  101. සක සක සැක වජිර ජයවර්ධන
  102. “රිදී ජුබිලියයි මේ අපි දෙන්නාගේ” වජිර ජයවර්ධන
  103. හිරු දෙවියොත් දිගු ගමනක විමල් ඇම්. ගමගේ
  104. තැවුල් ගෙනෙන සඳ වාසනා පයාගල
  105. කන්දවෛද්‍ය වත්සලා කන්නන්ගර

තාත්තේ

අනුරාධා ගුණසේකර - හොරණ

රෑ බෝ වෙලා වැඩ ඇරී එන කණිසමට...
විදුලි පන්දම් එළිය පේනවා හංදියට...
නොපෙනුනත් තාත්තේ නුඹේ ඇස් කළුවරට...
බස් රියෙන් බැස්ස පසු
එලිය වුණි මගෙ හිතට...

පියෙන් පිය ඇවිද ගිය ගිරිදුර්ග මාවතේ...
නුඹෙ කඳුළු දහඩියයි මගේ සවිය ජීවිතේ...
රිදුමි හැම දරාගෙන මා තියන් කරමතේ...
ජීවිතය කියාදුන්
දයාබර තාත්තේ....

හංදියේ අදත් මං බස් රියෙන් බැස්සාම...
විදුලි පන්දම් එළියමයි හොයන්නේ තාම...
දුර අඳුරෙ සෙලවෙනා සුදු කොඩිය දැක්කාම...
බොඳවුනා කඳුලකින් රිදුම් දී හදවතම...

නිමක් නැති පිය සෙනෙහෙ
මුදු පලස් අතුරා....
නොදැනෙන්න රිදුමකින්
සෙනෙහසම මතුරා...
බුදු වෙන්න පාරමී දම්
එකින් එක පුරා....
පුංචි රාහුල ලෙසින්
රැඳෙමි බුදු බව තුරා....

නාඹර නුඹ

අතුල රත්නායක - ලන්ඩනය

නාඹර වී කරල් ඔච්චම් කරනවිට
කෝමල නුඹම විතරයි එන්නේ හිතට
පනමෙන් එදා ආලය කල බව ඔබට
කීවේ සතුන් සීපාවන් ගහකොලට

වෙන්දේසියේ ලන්සුව තියනා විලස
සෙයිලමෙ ඉඳන් ආවා ඉල්ලා පහස
ගුලිකර දමා පරපුර සහ කිතු යසස
නොකියම නුඹ ගිහින් අඳුරුයි අද දවස

ඉඳහිට මුනගැසෙන මුත් නෙත් නොගැටෙන්නේ
හිත මට කලින් ඔබ ලඟටම දුව යන්නේ
ඒ මුදු පහස සුවඳක් වී තැවරෙන්නේ
ඇයි හිත නුඹම මේ විදියට දුක් ගන්නේ

මෙහෙණි සසුන ඇරඹුණා …..

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර

සම්බුදු පදවි ලැබු ගෞතම අපෙ මුනිඳු
සියපියරජුගෙ ඇරයුම ලැබුමෙන් යළිඳු
සියරට වැඩිය පෑයුවදා පුර වෙසක් සඳු
පන්සිය නමක් සමඟින් පුර සඳක් බඳු

බුදුබණ අසා ලැබුවා සදහම් රස පහස
පත්වූවා ශාන්තියට ශාක්ය් බන්දු රැස
ගියපසු නන්ද හා රාහුල බුදුන් පසුපස
ගෝතමිතුමෝ පසුවූවා හුදකලා ලෙස

අවසර ඉල්ලුවත් පැවිදිවන්නට මහගෝතමිය
නැත ලැබුනේ දෙවන වරටත් බුදු අවසරය
කාලය ගෙවද්දි දුකෙන් සුළු මව් මහගෝතමිය
ඇවිලුණි එදා ශාක්යන කෝලිය ජනතා යුද්ධය

බෙදාගන්න නොහැකිව දිය රෝහන නදියේ
ඇරඹුණු යුද්දෙ නවතන්නට බුදුහිමි වැඩියේ
දෙසුදම් අසා කුමරුවො මහා ශාක්යන කුලයේ
පන්සිය දෙනෙක් එක්වර බුදුසසුනටම ගියේ

පන්සියයක් බිසෝවරුනුත් කුමරුවො නැති කලට
ගිහිගෙයි නොඇලී ලොල්වී සසුනේ ඇති පැවිද්දට
එක්රොක්විලා සැම එදා මහ ගෝතමියන් වෙතට
සිතුවා සමුදෙන්න එතුවක් විඳි ගිහිගෙයි රජ සැපට

මනමත් කරන රූ සපුවෙන් පිරි රජකුමරියෝ
වරලස කපා හිස මුඩුකරගත් දා තුරුණුලියෝ
සෝදා ඇඟලූ සඳුන් අභරණ සැම අතහැරියෝ
ගලවා කසී සළු සැම කහවන් සිවුරුපැළඳියෝ

විශාලා මහනුවර වන ශාලාවේ කූටාගාර
සම්බුදු පියාණන් වැඩසිටිනා අතරතුර
සුන්දර කුමරියෝ ගෙවමින් දුරු කතර
දැඩි වෙහෙසකින් ගියා ඒ සුවිසල් නුවර

සියුමැලි ලඳුන්ගේ පායුග ඉදිමී ඉරි තැලුනා
ඉරිතැලි දෙපතුලෙන් ලේ කැටි සැලුනා
රූමත් ගතේ දූවිලි කැත කුණු තැවරුනා
වෙහෙසට පත්ව පා යුගලත් බිම පැටලුනා

මහගෝතමිය බුදුහිමි හමුවීමට යන්නේ
මහණවෙන්න යළි අවසර ඉල්ලන්නේ
තෙවැනි වරත් බුදුහිමි නැහැ ඉඩදුන්නේ
කූටාගාර දොරටුවේ ඇය වැලපෙන්නේ

පන්සිය දෙනා ගෝතමියන් සමඟින් විසුව
දුහුවිලි ගතවැකිව දැඩි වෙහෙසින් යුතුව
සිටිනා විලාසය අනඳ මාහිමියන් දුටුව
විගසින් පැමිණ බැලුවා විමසා හේතුව

අසා සියළු තතු මා හිමියන් මහා ආනන්ද
ලබාදෙන්න ගෝතමියට බුදු සසුනේ පැවිද්ද
කුමරුන් කාලේ ඇයගෙනදුන් සුවසැප කන්ද
බුදු සමිඳුන්ට සිහිගැන්විය ලෙස මන නන්ද

අසා සියළු කාරණ බුදුහිමි රිසියෙන් යසට
පිළිගන්නේනම් ගෝතමියන් ගරු දම් අට
එයම පැවිද්දක් වන බව සසුනේ ඇයහට
දෙසුවේ බුදුරජුන් එදා අපෙ හිමි ආනන්දට

මහගෝතමිය ඇතුළුව පන්සියක් දෙනා
අනඳ හිමිගෙ සහයෙන් තම පැතුම දිනා
බුදු සසුනට ඇතුළුව කහ සිවුරු දරමිනා
බිනර පෝයදා මෙහෙණි සසුන ඇරඹුනා

අහිමි කවිය

අනුරාධා ගුණසේකර - හොරණ

හීනෙකින්වත් එපා ඇවිදින් තවත් මේ හිත තලන්න
කඳුළකින් නෙත් නොතෙම් දවසක් තිබුනේ නෑ මට නිදන්න
සසරකින් එක බවක් ඉල්ලුවේ ආදරේ සුව විඳින්න
රිදවමින් නුඹ මගේ හිත ළඟ එපා සැරිසරන්න

ලංවෙලා කිව් ප්‍රේම ගීතය මට අහිමි බව සිතන්න
පපුව මැද්දේ නිදන් වනතුරු හිටියෙ ඇයි මට දැනෙන්න
ප්‍රතික්ශේපය හරිම දරුණුයි ආදරේ ළඟ දැවෙන්න
මට අහිමි කවියක තිතක්වත් එපා මට තව පෙනෙන්න.

අත් හැරිමත් ප්‍රේමයක් බව වැටහෙන්න ටික කලක් ගෙවුනා
රිද්දුවේ හිත හිතාමයි ඒ නුඹට යන්නට ඕන හින්දා
අල්ලගෙන හිටියේ තදින්මයි අත් හරින්නට ලෝබ හින්දා
අත්හරිමි ප්‍රේමයේ නාමෙන් වෛර නොකරම් ඉතින් කිසිදා

අලුත් මනාලි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය

දුවෙක් කරගන්න නුඹ බැරි නිසා අම්මාට

පවක් මම කලබලෙන් කරකාරෙ බැන්දාට

අහක් කරගන්න බැරි ආදරේ වින්දාට

පලක් නෑ තනිකඩයි අපි දෙන්න දෙන්නාට

ඇරල වන්නට හිතයි නුඹව මට හිටි තැනට

පෙර ලෙසම ආදරෙන් හමුවෙන්න ළඟ දෙවැට

එකවහල යට වෙලත් උරුම නො කෙරුව සතුට

හැංගිලා තියෙනවා හිතපු නැති තැන් අවට

විශ්‍රාමයට පසුවදනක්

ආරියරත්න ජයසිංහ - මහරගම

එළැඹ ඇත සැට විය
හිස කෙස්ද හැර ගොස්ය හිස් කබල
ඉතිරි කෙස් ගස් ටික සුදුය
රැළි වැටුනු මුහුණේ
උපනෙත නළලතෙහිය.

ජවය අඩුමුත් මඳක්
වැඩ කළ හැකිය තවමත්
ගෝල බාලයින් හා සරිසරියේ.
සිත තවම තරුණය
සිතීමට හැක
හරි දෙයම.

පැළඳි මුත් උපනෙත්
පෙනේ හරි දේ
හරි ලෙසම.
සවිමත්ය අතැඟිලිද
ලිවීමට හරි දේම නොබියව.

එහෙත්
නුඹ දැන් මහළුය
විශ්‍රාම යා යුතුය
අණ කෙරෙයි.

මගෙ හිතම පෙරහැරක් මවනවා

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව

දගකරන සද එළිය කිතිකවයි මගේ හිත
හිනාවක් දෙකොපොලේ දුවනවා
හිතේ හැංගුණු මතක සිතුම් වැල් පුබුදුවයි
මගෙ හිතම පෙරහැරක් මවනවා

හිමයාය පිස හමන හීත මදනල රොදක්
හෙමි හෙමින් ගත සිසිල ගෙනෙනවා
පොඩි කුඩේ තෙරපිලා මන්දාරම දිගේ
වැහිදාට හිත තාම දුවනවා

අද මගේ ලග නැතත් හිත් විලේ තොටමුණක
පිදුණු පෙම ආදරෙන් තියෙනවා
ලංවෙන්න බැරි දුරක පැතුම් මල් වැල් අතර
ඔබ ඈත තරුවක්ව මැවෙනවා
ඒත් හිත හදාගෙන ඉන්නවා

පණ අදින ආදරය.

ආරි ලියනගේ - ඉතාලිය

මඟ හැර සැඟවෙන්න හැදුවත් නුඹ මගෙන්
සැඟවෙන්න බැහැ නුඹට කිසිදා මගෙ සිතෙන්
ලෙන්ගතු කමත් දියවී කාලෙට හොරෙන්
ඉදහිට සිහිනයක පෙනුනොත් ඇති ඉතින්.

ආදරෙයි පෙරසේම යලිත් මට කිව්වාට
නුඹ සිත දුවයි නොනැවති ලොවම වට
ඔට්ටපාලයක් වුනා හිත දුක වැඩිකමට
රිද්දන්න බැහැ ආයෙමත් කිසිදින නුඹට

ඉඟිලෙන්නෙ තවත් තරු සඳු අල්ලන්න
හිරු දෙසට නොයන් උණුසුම ඉල්ලන්න
ඉටි තට්ටු උණුවේවි අසරණවෙලා විඳවන්න
පණ ඇද්දත් ආදරේ ඕනේ නුඹ මට රැකගන්න.

පොහොටුකා මලක්

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය

සුදු මල් පිපි පිපි ඔබ අද නා දුක

අතු මත වැගිරී රත් හිරු මට දෙත

මතු වන රුව මොබ මා හද තුල වැද

සිත ගත කිති ලයි ඔබෙ මුව බොඳ කර

මද නළ සිසිලෙන් වසන්තයේ ඔබෙ

දෙතොල් සිඹින තුට නොලදින් වෙරළ’ග

පොහොටුකා මලින් බබලන වෙරලත

නිරුවත් රතු මල සුවඳ හලයි මට

ශීතල සමයේ උණුසුම නොලබම

වැතිරී සිටියෙමි පරසතු මල සිඹ

සිහින මවන මගෙ සිත අග නලියන

සිනිඳු එරතු මල මසිත වෙලයි අද

නිවි නිවි තිබු මගෙ හද අද ගිණි ගෙන

සැළෙයි පෙළෙයි එම මලෙහි සුවඳ වැද

නිදි ගත් හද අවදිව පැන යන ලෙස

වෙරළ දියඹ රතු මල ලැම ගොස දෙත

දැරියනි…

වෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය

අවූලවාගෙන සියොළඟ
එළිය පතුරන
අඳුරේ වුණත් මග
කියාදෙන අනුනට
කණාමැදිරි දැරියනි,
රිදී පැහැයෙන් බබලන
මකුළු දැල් මාල දැක
නොරැවටෙනු,
ගියොත් නේන ගමනකි
ඈතට පෙනුනාට ලස්සන

කුඩා වි ඇකිලි යන
නිදිකුම්බා දැරියනි,
කෝපාග්නි බැල්මකින්
අපහාස රැවුමකින්
නොතේරුම් කියවීමකින්
සසල වුණු ගමන් හතරවට
අකුළුවා ගොළුව
යා යුතු නොවේ නුඹ හඬ

පිපෙන්නට වෙර දරා
එතෙර කරනු වස් වරිගය
නටුවෙන් මිදී නොරට යන
සවිය නැති පෙති බිඳී
නොදන්නා දේසෙක
පිපෙන්නට කලින් මියැදෙන
මල් කැකුළු දැරියනි,

ඉන්ද්‍රජාලික මායා පැමිණ
අතින් අල්ලා වඩා
එතෙර නොකරයි සසර
මටසිළුටු දැරියනි,
අවූලවන මොහොතකට
දැවී හළු වී නොයා
උල්පතක දිය කඳක
වෙස් අරන් නවතින්න
අවුළුවන හිත් ගින්න
නොදුටුවා සේ ඉන්න
අන්න එතකොට පෙනෙයි
මහා රැවටුම් කන්ද
ලස්සනට පෙනුනාට
ඒ කන්ද නොනගින්න
නුදුටුවා සේ කිසිත්
එදෙස මඟ හැර යන්න

ඉන්ද්‍රජාලික ගමන

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය

නිල් අහස
දෘෂ්ටි මායාව යි
තාරකා වියන
මැකි මැකී
පලා යන ඉතිහාසය යි
මේ ක්ෂණ ය
පලා යන්නේ ඉතිහාසයේ
දඩ බිමට යි
අහස ඉර හඳ තාරකා
හැම ම ඉතිහාසය යි
වෙනස කාලය පමණයි

මේ ක්ෂණය
එක පෙළට
එකා පසුපස එකා එන
ගමන
නොනවතින හෙයින්
මා ද
මා ඉදිරිපිට හිඳින ඔබ ද
ඉතිහාසයයි
වෙනස කාලය පමණයි
ලඟක සිටියත් දුරක සිටියත්
සැනෙන් සැන යමු
ඉතිහාසයේ දඩ බිමට
අත් විඳිමු එය ගෙන
වර්තමානය ලෙස

එන්නට තිබෙන ක්ෂණය
සිහිනකි
ඇවිත් ගිය ක්ෂණය
මතකයකි
පසු කරන්නේ
යලි්ත් නොඑනා ක්ෂණයකි
නොදැණ මේ යන්නේ
ඉන්ද්‍රජාලික ගමනකි
දකිමු කියවමුු
ඈත අවකාශය
මේ දැන් වේ ය සිතාගෙන
එහෙත් ඒ හැම වුනේ
වසර එක දහය සියයක්
ලක්ෂයකට පෙරය

බැලිය හැකිනම් අප දෙස
ඈත අහසේ සිට
දැකිය හැකි බුදුන් වුව
මේ මොහොත දම් දෙසන ලෙස

ඒ රොකට් බලයෙන් ද ?
පූර්වේ නිවාසානුස්මෘති ඥානයෙන් ද?

06-06-2023

I Know Who You Are..

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

Friends.! Are they all real?
All are friends, but not ideal
Tall and short. Divers from one another
How to choose one,
To be my own brother?

Thousands of qualities you should fulfill
Read their minds. It's a skill
Faces are pretty but the hearts are spoiled
Stay strong, so their rivals will get foiled.

What's your call, head or tail?
Be perfect to not to be failed
Most will change while some remains the same
So toss the coin and start the game..!

ඉඩ සදා පාව යමි ඉවතට

චාන්දනී ආර් වේරගල - මීගොඩ

නුඹ සඳක් වුව ම'සිත් අහසට
වළා සළුව ක් නොවෙමි සඳ වට
නුඹට පෙම් කරන තනි තරුවට
ඉඩ සදා පාව යමි ඉවතට

කඩුපුල ක් නොවමි සඳ එළියට
ඇති නිසා කුමුද නුඹෙ තනියට
පෙම් කවක් ලියා ගෙන සිත යට
කොඳුරලා කියමි මුදු සුළඟ ට

නොපාගමි සුදු සිනිඳු වැලි තල
සඳ දියෙන් තෙමී දෙන මන ලොල
හදක කැටි කර හැඟුම් නිකසල
දුරින් හිඳ බලමි සඳ දිය තුල

රැය දිගුයි නිදි නොඑන දෙනෙත ට
සිහින ඉකි ගසයි දුරු රට සිට
සඳ අහිමි නම් සෙනෙහෙ විලක ට
සියපතක් වෙමිය හිරු කිරණ ට

ගඟක ගමන,

චමින්ද ලියනගේ - බලංගොඩ

ළඳු කැලෑ පසුකර
වන පෙත සිසිල දියකර
ගලග ගඟ දියවර
ඇදෙයි දුර බුමුතුරුණු සරුකර

අදිටනින් තිරසර
අබිමුව කටොලු බිඳහැර
දොල දියද කැටිකර
සරණ මංපෙත කරයි පැහැසර,

මලින් ගෙන හරසර
ඉවසා අබලි කරදර
නොනැවතී හැමවර
සොය සොයා යයි නුදුටු සමුදුර,

මහ වැසි වැටෙන වර
ඇඳි සුදු වත ද පඬුකර
සුකොමල ගති අතැර
මකයි කෝපෙන් වැඩූ සිරිසර,

මව්වත් කමට කොතැනද උපහැරණ වෙන

චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව

මහ සාගරය බඳු සෙනෙහෙන් පුරෝගෙන
දෙකොණක් නොමැති මහ අහසත් වගේ වෙන
කරුණා දයා ගුණයන්ගෙන් වසාගෙන
මව්වත් කමට කොතැනද උපහැරණ වෙන

මව්වත් වෙන්න විඳිනා වේදනාවන්
මැව්වත් නොහැක මහබඹු වෙන දයාවන්
රැව්වත් පවකි දරුදුක වාසනාවන්
හෙව්වත් යන්න ඇය ගියදා වළාවන්

මතු බුදුවන්න නොව නිවනින් සැනසෙන්න
එතකල් යළි යළිත් සසරෙදි හමුවෙන්න
දිවියට ජවය දී පණ නළ රැක දෙන්න
කවදා උනත් කොතැනක හෝ හමුවෙන්න

මොබයිල් උණ

සිසිල් මාන්නප්පෙරුම - Brampton - කැනඩාව

සකල සිරින් පිරි මනුස්ස ලෝකේ අමුතු තාලෙ වැඩ සිදුවෙන්නේ
පතල නමක් ඇත "මොබයිල්" කියලයි කොයි කවුරුත් එය හඳුනන්නේ
හිතල මතලමයි අරගන්නේ මෙය කාටත් නැතිවම බැරි වෙන්නේ
කියල වැඩක් නැත සිදුවන හානිය කවිපෙලකින් අරගෙන එන්නේ

කෙටි පණිවිඩයක් හදිස්සියක් ගැන දැනුම් දෙන්න ඉක්මන් මගකි
කල අපරාධය සැඟවුන මිනිසුන් සොයාගන්න හොඳ මෙවලමකි
හොරකම් මැරකම් රිය අනතුරු ගැන වැදගත් තීරණ ගන්න හැකි
මොබයිල් පෝනය ඇතුවත් බැරිමුත් නැතුවත් බැරි වටිනා දෙයකි

පාසැල් දරුවන් සහ වැඩිහිටියන් රැසකට මොබයිල් උණ හැදිලා
කථා බහක් නැත වටපිට නොබලයි මනසින් වෙන ලෝකෙක ගිලිලා
මැසේජ් එනවා මැසේජ් යනවා පෝන් අඬනවා "බික්" කියලා
දිගට කොටනවා නැවත බලනවා පැය ගණනක් කොට කොට ඉඳලා

බොහෝ නිවෙස්වල සැමට පෝන් ඇත නිතරම එහි එල්ලී සිටිති
ගෙයතුල සිටියත් කාමරවල ඇත කථා කලත් උත්තර නොදෙති
කෑවට බිව්වට කෑවේ මොනවද කියලා වැටහීමක් නොමැති
මා පිය සෙනෙහස සහෝදරත්වය වේගෙන් වලපල්ලටම යති

පෝන් වයර් දෙක කනේ ගසාගෙන මහපාරේ හරහට යනවා
හෝන් කලත් දුම්රිය එක දිගටම රේල් පාර තුල ඇවිදිනවා
වාහන පදවන අතරෙදි ලැබෙනා මැසේජ් වලට උත්තර දෙනවා
වගේ වගක් නැත පෝන් නිසාවෙන් අහිංසකයො පරලොව යනවා

සමහර අම්මල පුංචි බබාවත් පෝන් අතටදී නලවන්නේ
වැදගත් පණිවිඩ කියලා සිතුවත් ඕපදූප වැඩියෙන් එන්නේ
ඉඳහිට දරුවන් ඉගෙනුම අතහැර පෝන් නිසා වැනසී යන්නේ
පුංචි කාලෙ අපි දුව පැන ඇවිදල පෝන් නැතිව සතුටින් උන්නේ

සාසනය පිළියමද?

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

ඈතින් ඇදී එන ඒ දසුන,...
තව මොහොතකින් මා ලග

දහවල් දානයට පිසින්නට
පලා මිටක් නෙලාගන්න
මට කල් ඇතිදෝ.......
සැකයෙන් නෙලූ පලාමිට
මල්ලට දමත්ම,. .......
පොඩි සාදු උරහිසට පැන
විසුරුවා පලා මල්ල හැම තැන
මහ හයියෙන් ඉකි බින්දා....
බිම නොපෙරළී මා බේරුණේ වාසනාවකට

ඇයි පොඩි සාදු අඬන්නේ ........
මං වෙරළු ගෙනාවා පොඩි සාදුට
එපා මට වෙරළු,........
දෑතින් දෑස් පොඩි කරමින්
ඉකිගසමින් හඬා වැලෙපෙන
පොඩි සාදු මා තුරුල්ලේ,........

ඕනි මගෙ අම්මා මට
අම්මා ඒවි හැන්දෑවට පන්සලට
නෑ........
මල්ලියත් අරන් අම්මා යන්නම ගිහිල්ල

සමාවෙන්න ලොකු හාමුදුරුවනේ
කුඩා දරුවන් මහණ කරන්න එපා සසුනේ
රස බොඡුන් නොකෑවට කුසට.....
මවගෙන් ලැබෙන උණුසුම...
මහ මෙරකි ළපටි සිතට

20/09/2023

ලොව අර්ථවත් ම අර්ථ විරහිත රස්තියාදුව..!

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

නොමිනිසුන් අතරින් මිනිසෙකු සොයා
ලුහු බඳින
අවලස්සන ලස්සනක් කරගත් ලස්සනට
පෙම් බඳින
ආදරේ නැති ආදරයක් ආදරෙන් පුරවන්න
තැත් කරන
පිරුණු, ඉරුණු හදවතකි පන්හිඳ
සුරතින් දරණ...

කළුවර මැදින් කළුවර නසන සඳක් දැක
සැනසෙන්න
පරාජය පරාජය කරමින් අපරාජිතව
වැජඹෙන්න
ලොව අර්ථවත් ම අර්ථ විරහිත රස්තියාදුවට
හැඩවෙන්න
හැකියි නම් ජීවිතය එයයි පණ අදින්නට
වෙර දරණ..!

සමාවෙයන් මේ නැන්දට.

චමරි වික්‍රමසිංහ - පිලියන්දල

ඒ අතුරු පාරෙ හැමදාම දුවන බස් එක
අදත් යන්නේ ගොඩැලි වල බැහැගෙන
ගානක් නැති උනත් අබලන් මං වාගෙම
තාමත් ඒ රතු නිල් ඉරි කබල් බස් එක.

පාසැල් කාලෙ වාගේම ඉස්සර
පස්සෙ කාලෙක වැඩට යද්දිත් දෙන්නම
නුඹ එක්ක ඉඳගෙන උන්නු ඒ
පිටි පස්සෙ මුල්ලෙ සීට් එක.

වීදුරුව පාත් කර බලමි වට පිට
ඉස්සර පොඩි මාර ගහ පාර අද්දර
මම එනකම් නුඹ බලාගෙන උන් තැන
වයසට ගිහින් කඳ අතු ඔක්කොම
ඒත් ඒක තාම උන්න කෙලින් හිටගෙන .

අතක් බරට මලු පොදි ගහගෙන
නුඹත් නැංගා පුරුදු තැනින් බසයට
දුව වෙන්ට ඇති
කෙල්ලෙක් උන්නා රතු උස
දිග නැහැය මම ආස තාලෙම.

දැක්කා මම ගැස්සෙන ඇහි බැම
ඒ ඇස් බැලුවෙ මගේ හිස් ඉඩ
ඔව් මම තාම තනියම
වෙනසක් නෑ තාම ඒ හදවත.

දුවේ සමාවෙයන් මේ නැන්දට
හිතින් ඉම්බා තාත්තව එදා වාගේම .

අවුරුදු බොහොම හ්කාලෙක සිට පෙරුම් පුරා
ආවෙමි ඔබ වෙතට මම ඔබෙ සුපෙම්බරා
එනමුදු වැසි දෙවිඳු සැඩ බව හිසින් දරා
මගෙ රුව වැඩි දෙනෙක් අතරින් දුරස් කරා

සැලසුම් නොමැති දෙවිඳුන් වැහි වලාහක
වැඩ කළ අයුරු ගැන හද තුළ තිබේ දුක
එනමුදු පුරුදු නැහැ මට කිසි පමාවක
තත්පරයටය වැඩ දිවි ඇති තුරාවක

පොඩි දරුවන් නිතර මා හට පෙම් බැන්ද
ඉන්නට ඇතිය මෙවරත් වරමින් නින්ද
වැසි දෙවි එගැන අමතක කෙරුවේ මන්ද
සිතනෙමි තවම නුබ ගැබ සිට මේ දැන්ද

වඩ දිය බා දියද මාගේ විකුමක්ය
වැඩිපුර ළං වුණොත් වෙන්නේ අවැඩක්ය
යහ ගුණ වැඩුම පෙර සිට හුරු සිරිතක්ය
හැරුණෙමි නැවත පතනුයෙ සුබ දවසක්ය

ටික ටික ඔබෙන් ඉවතට යමි පුරුදු ලෙසින්
වැටුණද කඳුළු දැක ගන්නට බැරිව ඇසින්
දෙදහස් තිස් හතේ දිනයක අහස දෙසින්
එන්නෙමි නැවත ඔබෙ මුදු රුව දකින රිසින්

එදිනට මෙවැනි බාධක සිදු නොවෙන්නට
හැම දෙවියනේ වැඩ කටයුතු කරන්නට
කිරි පැණි රැගෙන රන් තැටියෙන් බෙදන්නට
සුරතල් දරුවනේ හැකි වෙයි එදත් මට

සීතාවක

මමද ඔබහට වරද නොතබමි!

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

ටයරෙ සොහොනේ අතක කොටසක ඉතිරි වී තිබු බාහුවේ

ඇයයි සෝමෙව කුරුසෙ පච්චෙන් හැඳින කඳුලෙන් සේදුවේ

දැයට මුක්තිය පතා යහපත් රටක් සදනට සීරුවේ

ගියද සටනට සොයා යුක්තිය නැතිය දෙවියොත් බේරුවේ

තනිව දිවිමග කුරිරු සටනක යෙදෙන්නටවී පාළුවේ

යුහුව රැකියා සොයා දිව්වද සියළු වෙර ගියෙ කාණුවේ

බැරිව තවදුර ඉවසා ඉන්නට තුන් කුසක ගිණි මේරුවේ

නැතිව අන් මග ඇයත් වැටුනා සතුට විකුණන තීරුවේ

ඇතුව බිය සැක යන්න සිදුවිය කැඳවු මිනිසුන් සමගිනේ

පසුව ඇවිදින් මරිය මවගේ දෙපා ළඟමය නැවතුනේ

පැතුව දහසක් පැතුම් අතහැර මාවතට ඇය පිවිසුනේ

යුතුව තිබුණෙන් දරුවො දෙන්නෙක් රකින්නටමයි දෙවියනේ

ඉරිදා මෙහෙයට ගියොත් නොරිසුම් බැලුම් හදවත හීරුවේ

හැරදා සුසුමක් දරා ගත්තා වෛර නැහැ සිත පෑරුවේ

පසුදා අවුදින් සැදැහැවතුමයි ඇයගෙ සිරුරම තේරුවේ

බැරිදා උපයනු නිරන්තර භෝජනය වතුරෙනි බේරුවේ

ඇයද මවකිය දිවිය පුදනා දූ පුතුන් වෙත සෙනෙහෙනේ

වරද කිමදෝ ඇය පෙලන්නට හේතු නොදකිමි සමිඳුනේ

අදද ගල්කැට අතට අරගත් පව්කාර දන පෙරමුණේ

සමිද ජේසුනි ඉදිරියෙන් හිඳ ඇයව ගලවා ගනුමැනේ

මමද ඔබහට වරද නොතබමි!

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

Final

ටයරෙ සොහොනේ අතක කොටසක ඉතිරි වී තිබු බාහුවේ

ඇයයි සෝමෙව කුරුසෙ පච්චෙන් හැඳින කඳුලෙන් සේදුවේ

දැයට මුක්තිය පතා යහපත් රටක් සදනට සීරුවේ

ගියද සටනට සොයා යුක්තිය නැතිය දෙවියොත් බේරුවේ

තනිව දිවිමග කුරිරු සටනක යෙදෙන්නටවී පාළුවේ

යුහුව රැකියා සොයා දිව්වද සියළු වෙර ගියෙ කාණුවේ

බැරිව තවදුර ඉවසා ඉන්නට තුන් කුසක ගිණි මේරුවේ

නැතිව අන් මග ඇයත් වැටුනා සතුට විකුණන තීරුවේ

ඇතුව බිය සැක යන්න සිදුවිය කැඳවු මිනිසුන් සමගිනේ

පසුව ඇවිදින් මරිය මවගේ දෙපා ළඟමය නැවතුනේ

පැතුව දහසක් පැතුම් අතහැර මාවතට ඇය පිවිසුනේ

යුතුව තිබුණෙන් දරුවො දෙන්නෙක් රකින්නටමයි දෙවියනේ

ඉරිදා මෙහෙයට ගියොත් නොරිසුම් බැලුම් හදවත හීරුවේ

හැරදා සුසුමක් දරා ගත්තා වෛර නැහැ සිත පෑරුවේ

පසුදා අවුදින් සැදැහැවතුමයි ඇයගෙ සිරුරම තේරුවේ

නැතිදා කැඳවුම් නිරන්තර භෝජනය වතුරෙනි බේරුවේ

එළිය දකිනට මෙලොව නොමදී නුපන් දරුවන් මරමිනේ

රැකිය යුතු ඇස් වගේ බිළිඳුන් කසළ ගොඩවල දමමිනේ

නැතිය දෙන්නට කන්න බොන්නට දරුවන්ට වස පොවමිනේ

සිටින යුගයක දරුවො වෙනුවෙනි ඇයගෙ සිරුරම විකුනුණේ

ඇයද මවකිය දිවිය පුදනා දූ පුතුන් වෙත සෙනෙහෙනේ

කරුන කිමදෝ ඇය පෙලන්නට හේතු නොදකිමි සමිඳුනේ

අදද ගල්කැට අතට අරගත් පව්කාර දන පෙරමුණේ

සමිද ජේසුනි ඉදිරියෙන් හිඳ ඇයව ගලවා ගනුමැනේ

මැනිකෙගේ හීනය

ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව

වළා කුළින් මුවා වෙලා සඳත් ළිහිල් සළු අඳිනවා
කණාමැදිරි දෙන්නා දෙන්නා සායනයක බර කිරනවා
රෑ බදුල්ලි හිනා වෙවි තිඹිරිගෙයක කල් මරණවා
කුස අත ගා ආදරයෙන් මැනිකෙ මා දිහා බලනවා

සඳක් අහසේ ගැබ් ගත්තම සඳ රකින්න තරු තියනවා
ගැබිනි කණාමැදිරියන්ට අඳුරු රැයෙට සඳ ඉන්නවා
බදුලු මවගෙ තිඹිරි ගෙදර කණාමැදිරි එළි දිළෙනවා
මැනිකෙගෙ දුක බෙදා ගන්න කවුරු නැතත් මම ඉන්නවා

සඳට ඕන ඉරක් වගේ හා පැටියෙක් බිහි කරන්න
කණාමැදිරි මව තනන්නේ සඳේ එළිය පුතුට දෙන්න
බදුලු මවත් බලන් ඉන්නේ තරුවක් වැනි පුතු දකින්න
මැනිකෙගේ හීනෙම තියෙන්නේ මගෙ රූපය පුතුට දෙන්න

ප්‍රේමය නම් ….

දීපා ද සිල්වා - ලන්ඩනය

හෙමින් ඇවිදින්

කනට කොදුරා

රහස් තෙපලීමකිය ප්‍රේමය

හඩන නෙතු ලග

තනි මකන්නට

ලගට විත් සැනසීමකිය ප්‍රේමය

උරණ වූවද

දොසක් නොසිතා

යලිත් පැමිනීමකිය ප්‍රේමය

දුරස් වන්නට

හේතු තිබුනද

දුරස් නොවනා බවය ප්‍රේමය

බසක් නොදොඩා

විසල් පපුවට

තුරුළු කර ගැනුමකිය ප්‍රේමය

සසර හුරු වුව
අතරමගදී

තනිනොකර සිටිනා එකය ප්‍රේමය

අතින් අල්ලා

හිතින් අත හැර

නොයන එකමය සැබෑ ප්‍රේමය ….

හැමදාම වාගෙම හිනාවක් නැති
බැරෑරුම් මූණ උස්සගෙන
ඔයා ආවේ තරහින් වාට්ටුවට.
මං දන්නවා..
ඔෆීසියෙ වැඩ පාඩු කෙරුවට..

අත් දිග සුදු පාට කමීසය
ඊට ගැලපෙන අළුපාට ටයි එක..
කළු කළිසමට දිළිසෙන සපත්තුව ..
දෙසැරයක් බැලෙනවා හැමෝටම ඔබ දෙස..
මාත් රැවටුණ වශී ගුරුකම..

නොඉවසිල්ලෙන් කටු රවුම බල බල
මං ළඟටවත් එන්නෙ නැතුවම..
ඔබ හිටියෙ මං දන්නවා යන්නයි..
ටක් ගාල විස්තරේ අහගෙන..
ඔෆිස් වැඩ නේ ඔයාට හරියට...

ඇහිපිල්ලමක් වත් නොගහම..
බලං හිටියේ ඇත්තමයි ආසාවට..
ආවෙ නැතුවත් කමක් නෑ ළඟට..
බායි කියලවත් යයි කියල දුර සිට..

මට හිතාගන්නවත් බෑ මේක නම්..
ලෝකෙ කරකැවෙනව අද අනිත් පැත්තට..
ඔයා ආවනෙ මං ළඟටම
ඇස්වල මෙන්න - කඳුළුත්
පුරෝගන..

අතින් අල්ලනකොට ඔයා මගෙ අත..
හීනි වෙවිලිල්ලකුත් එක්ක..
මට මතක් වුණේම මැණික.
ඉස් ඉස්සෙල්ලාම අපි හමු වුණ දවස..

ඒ වගෙම .. නෑ ඊටත් වඩා ආදරෙන්
අතගාන්නේ ඇයි මගෙ හිස..
පරක්කුවක් නැද්ද වස්තුව ඔයාට..
අද යන්න වෙනද වගේ ඔෆීසියට..

ඔයාගෙ පපුවෙ මූණ හංගන එක
මං හරිම ආසම සෙල්ලම..
අවුරුදු දහයකින් බැරි වුණ මට..
අද මෙන්න නියම චාන්ස් එක..

ඔයාගෙ පපුව හරි සුවඳයි
උණුසුමයි ඉස්සර වගේමයි..
මට තේරෙන්නෙ නැත්තෙ එක දෙයයි..
ඔයාගෙ නාඩි විනාඩියට එකසිය පනහයි..

ඉක් ඉක්මනට කෙට්ටු වී කේඩෑරි වුණ
බඳ වටා ඔබ අත් දෙක යවනකොට
වට පිටේ අය ගැන ගානක්වත් නැතුව..
මට දැනෙනවා සැනසුම දිවිය ලෝකෙක..

රිදෙනවා තමයි ඇඟපත ඔක්කෝම
කහිනකොට යන්නෙ ලොකුම ලොකු
ලේ කැටිති..
හොර ලෙඩ කියල හැමදාම බැන්න ඔබ
ළඟ ඉන්නකොට -මට ඉතිං දැං නිරාමිස සුව..

දාර මතුවෙලා අත දිගට වේලිච්ච නහර වල..
ලේ ගන්නවා දවසට දහදොළොස් පාරක් විතර
ඔයාටම එන්න කියලා කීවෙ ලොකු දොස්තර..
මං හිතන්නෙ කියන්නයි
MRI එකේ විස්තර..

සීරුවට
ඔබ පිට අත ගානකොට මට කැස්ස එනකොට..
ඇඬෙන්නත් එනවා ..
ඇයි සැළකුවෙ නැත්තෙ මට ඔහොම
මම ගෙදර ඉන්නකොට ..
මහ රෑට කැස්සත් එක්ක
ලේ කුට්ට් කුට්ටි යනකොට..
බොරු කරනවයි කිව්වනෙ ඔබ මට
ගෙදර වැඩපළ
කරන්න වෙනවට..

දැං ඉතිං ඔයාගෙ කඳුළු බිංදු .
මොර ගෙඩි වගේ
මගේ පිට උඩට වැටෙනකොට..
හරි දුකයි රත්තරනෙ මගෙ හිතට..
මං මොකක් හරි වැරැද්දක් කරලද..??
එහෙම නැත්නම්..
පෙනහළු පිළිකාව දැං
ඔඩු දුවල ඉවරද..??

ඉතිරිය මෙතැනින්...

ඇස් බැන්දුම්…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල

පිහිනීමට දියට බසින දරුවකු
දෙස බලා...
සිහින් සිනාවක් මුව මත රඳවා
නෙත් හෙලා...
මිහිකත පිනවන ලියකිය ඇත්තේ
හිස සලා...
විහිලුව ඇගෙ වැටහුනාද බලමුකො
විමසලා...

ලමයෙකුගේ හිස සේ දිස්වන අයුරින්-සොබා...
තම අත්ලේ මැද කලුවන් වූල් බෝලෙ තබා...
එම ලඳ සතුටින් ඉන්නේ ගැඹුරු
දියේ නොබා...
සැම රවටන ලෙසින් නොවෙද ,
'අප දුටු ඒ බබා'... !

වස විස පිරි ලොවකිය මේ,
ගුණදම් පිරිහිලා...
කැසකවනා තරමක්,
අප හැමදා රැවටිලා...
ඇස ගැටෙනා සැමදේ ගැන විමසිලිමත් විලා...
නසමින් සැක, දිවි ගෙවියුතු
කාලය එළැඹිලා...

කලා කරුවාණෙනි

දයා අල්විස්

ගදඹ නොගයන්න බොළඳ පෙම් ගී
නො අඳින්න සිතුවම් සිත්තරණෙනි
අනුරාගී ලඳුන් ගේ අඟපසඟ මවනා
නොලියන්න ගේය පද හරසුන් පෙම් වදන්
ගයන්න, අඳින්න, ලියන්න කලාකරුවනි
මව්බිම රකින රණ විරුවන්ගේ
ඔද තෙජ බල වනා
දෙමු දිරිය ඔවුන්හට
රකිනට අපේ මව්බිම
"මේ අපේ මාතෘ භූමියයි
නිදහසේ ස්වර්ග රාජ්‍යයයි"

මරණයක සුවය!

ගංගා කඩවැද්දුව - මේරි ලන්ඩ්, ඇමරිකා එක්සත් ජනපදය

පතින් පත සන්තකය
අහිමි කළ ගහක් ගැන
කුණාටුවකට දැනුන දුක අල්පය
අතින් මල් කිනිති හද තත්
සන්සුන්ව සුසර කර යළි ඇවිත්
මාර්තු හුළඟක්ව මිතුරු සල්ලාපය
"ඉතින් අතීතය අමතක කර
අළුතින්ම අරඹමු ජීවිතය
මේ අපේ ප්‍රේමයේ භද්‍ර කල්පය"
බැතින් එවදන් අදහන ගැහැනුන්ට
කවදත් වුනෙ සක්වල දුක් කඳම
අත් මිටට දුන් ගැප් පෙළහරක ශෝකාලාපය

වරුවක් පණ ඇද්ද
තරුවක් වියපත්ව පිපිරෙනකොට
උපදින නිහාරිකාවකට
අර දූලි සුන්බුන් මතින්
පූදන්න හැකිලු නව තරු කැට
තුරු වියන් නිද්‍රාවෙ ගැලුනට
හරිත හීනය නොමරාම
මුල් හිටියෙ ගැහි ගැහී හිම යට
හුරුපුරුදු උණුහුම එන යනවිට
දරා අත්නොහැර ඉඳීමමයි
උරුම ජීවිතයෙ වරපට

වැසි පොදක් , විශ්ව දූවිළි සුගක්ව
ජීවිතය පවතියිද නොපවතිද අඩක්
ඉසිවර හිතක් සුහුරුයි කියවන්න
අසරණව හඬන හද හඬක්
රිසිව නව සහජාත පරපුරක
පණ ගැහෙන ඉඩ කඩක්
නිසි කලදි " මරණය " වුනත්
නිරාමිස සුව දෙන බිම්කඩක්

තනි වු පැළේ

ඩී.කේ.හෂාන් සම්පත් සමනලවත්ත

සියුමැලි අතඟිලක රන් මුදුවක් බන්ඳා
වැඩිකල් නැත පැළට නුඹ ඇවිදින් කැන්ඳා
අමනාපෙන්ද ගෙපැළෙහි තනි කළ හින්ඳා
වෙන මක් කරම්දෝ දුප්පත් කම හන්ඳා

නොයැරපන් මැදියමේ කෙරුවට දොරට තට්ටූ
නොහැකිය ආරච්චි හා මට වන්ට ඔට්ටූ
ලොබ වුනොත් අත තැබෙන රුපියල දෙකට තුට්ටූ
හිනාවෙති නුඹට නොව මටම නොයෙක් වර රට්ටූ

නොවුනට රැයෙහි නුබෙ පැදුරේ ඇල වෙන්නේ
ඒ ගැන සිතා තුන්යම මා ලතැවෙන්නේ
හේනට වෙලා තනිවම දුක් උහුලන්නේ
නොතබන්නටයි තුන්වෙල නුඹ කුස ගින්නේ

ලතාවක් එතුණු කල පත් හැළුණු ඉපලේ
කලාවක් දැකිය හැක ඉපල නොව එය කලේ
සිනහවක් රැගෙන විත් නුඹ අඳුරු වූ පැලේ
මගේ මුළු ලොවම එකවර එළිය කලේ

සිල් බිදගන්ට පෙර පනිනුන්ට පැළ ඉණි වැටෙන්
වහපන් තණ මඩල පිලි වැලෙහි සළු පොටෙන්
නුඹ නැති දා කුමටැ අඩක් ලැබුනද රටෙන්
මට පමණයි උරුම බිඳලන්ට රැලි ඉණ වටෙන්

රන් පාටයි අහස තරුත් එක දෙක සැඟවෙලා
බැස යන මොහොත යැයි පුර හඳට ඉඟි කලා
තනිකම නිසා සිතිවිලි හදෙහි සිරවෙලා
වව්ලනි තෙපිද ගියෙ වැටමාර මල් තලා

අහස සැමට

හිල්මි සුපුන් - ඉතාලිය

(ජාන්නි රෝදාරි - Ganni Rodari (1920-1980)

ඇසූ පිරූ ඇත්තෙකු
කියා දෙනවාද මට මේ අභිරහස
අහස අයිතියි හැම ඇසකට ම
ඒ ඇසට පෙනෙයි ඒ මුලු අහස ම

එදෙස මා බලන විට ඒ අහස මාගේ ය
ළමයෙකු, ර‍ජකු, උයන් පල්ලෙකු
මහල්ලෙකු, පිරිසිදු කරන්නෙකු
බලන විට ඒ අහස ඔවුන්ගේ ය
කවියෙකු එදෙස බලන විට
ඒ අහස ඔහු‍ගේ ය

අන්ත අසරණ දුප්පතා ද
අහසේ අයිතිකරුවා ය
බියෙන් සලිත හාවාටත්
සිංහයාට සේ ම අහස අයිති ය

සෑම ඇසකටම අහස අයිතිය
ඒ වාගේ ම
සෑම ඇසකට ම ඕනෑ නම්
හැකිය දකින්න
පුන්සඳත් හිරුත්
කඩා වැටෙන තරුත්

කිසිදු අඩුක් පාඩුවක් නැතිව ම
හැම ඇසට ම හසුවෙනවා හැම දේ ම
අවසානයට අහස දෙස බලන්නාටත්
දිදූලණු පෙනෙයි එය අඩුවක් නැතිව ම

ඉතින් මට කියා දෙන්න
ගද්‍යයෙන් හෝ පද්‍යයෙන්
අහස තනි යායක්ව පවතිද්දී
මහ පොළොව කැබලි වූයේ මන්ද?

Magicamente"මජිකාමෙන්තේ"
හිල්මි සුපුන් සහ තරුෂ පෙරේරා

ජාන්නි රෝදාරි - Ganni Rodari (1920-1980)

ජාන්නි රෝදාරි 1920 ඔක්තෝම්බර් 23 වැනි දා ඉතාලියේ පියමොන්තේ දිස්ත්‍රික්කයට අයත් ඔමෙඥ (Omegna) ගමේ උපන්නේය . ජාන්නි රෝදාරි 60, 70 , 80 දශකයන්වල ඉතාලි සංස්කෘතියට පමණක් නොව, ඉතාලියේ සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත දරුවන්ගේ බුද්ධියට ගැඹුරු බලපෑමක් ඇති කළේය. ඉතාලි ළමා සාහිත්‍යයේ ආදරණීය ම සාහිත්‍යවේදීයා ජාන්නි රෝදාරිය . ඔහු විශිෂ්ට අධ්‍යාපනඥයෙකු, මාධ්‍යවේදියෙකු මෙන් ම කොමියුනිස්ට් ක්‍රමය කෙරෙහි විශ්වාසය තැබූ සටන්කාමියෙකි . ජාන්නි ළමා සාහිත්‍යයට කළ සේවය ඇගයීමට ළමා සාහිත්‍යවේදියකුට එක් වරක් පමණක් හිමි වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ( Hans Christian Andersen) සම්මානයෙන් 1970 වේ පිදුම් ලැබුවේය .

මේ අපූරු ළමා කතන්දරකරුවා වයස අවුරුදු 60 දී මිය ගියේය. ස්නායු ආබාධයෙන් පීඩාවට පත්වන ඔහු හදිසි ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත වන අතර ශල්‍යකර්මයෙන් දින කීපයකට පසුව 1980 අප්‍රේල් මස 14 වැනිදා ජාන්නි රෝදාරි නම් මැජික් කතන්දර කරු මිය ගියේය.

පාවෙන ජීවිත

ඉෂංකා මිහිරි කුමාරතුංග

පරාල පුරවා කෙන්ද හොයා යන
වගතුවක් නැතී ජීවිත ඇතේ
ඔහෙ පාවෙනවා රුවල බිදී ගියද
පහන් කනු ලග රුපියලට සුවේ....

දෑස් වසාගෙන අඳ නාටක මවාගෙන
උන්නත් මරනය දැක වගේ
ලෙව කකා ඉගියක මවාගෙන
ලිහා දමයි සලු තියෙද්දිම ගතේ.....

දිරා යති දුමක් නගලා
දහ අටේ කෑලී හතර කොනේ..
වතු පරාදයි උයන් පුරවා
මල් වතුද ඇත සිය ගතේ....
අරුම ලෝකේ ගෙවාලයි
නරුම ජීවිත අපේ....

දකින්න බෑ...සිතන්න නෑ...
ඩිජිටල් තිරේ රුව අඩුවක් නෑ...
ලේ පොදක් නෑ...හිනාවක් නෑ..
ඒත් බලපන්...මුහුනු පොතේ
උතුරායයි.....ආදරේ අඩුවක් නෑ....

මලේ අයිතිය

ජයතිලක කම්මැල්ලවීර

පොද වැසි වැටුණා
පොළොව තෙමුණා
තෙමුණු පොළොවේ පැලෑටි මත
මල් පිපුණා

පහත් වී නෙළාගෙන
සිඹින්නට සිතුණත්
පැකිලෙමි, පසුබාමි

'මල් අයිති පොළොවට
සුවඳ අයිති සුළඟට'

සමනල සඳෙස – 5

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

සමනල සඳෙස - 5

දතයුතු කරුණු ගොමුව - 3

83. කලතනා සිසිලස මැ ළමැදෙහි
සදමිනා ස-රි-ග-ම මැ සුසිර ය
සසවනා යන - එන මගට වෙණ
වයමිනා ගයනී යැ මිහිරි ය
ගොලුවනා ගොලුවත මැ රකිමින
කියමනා බොරුවකි එ නරක ය
පිනවනා සවනතට ගලමින
බැසයනා දිය නීල දහර ය

84. අරුණ අරුණලු ගිනි පොළන්නට
පෙරමගට සපැමිණි හැගුම්බර
තරුණ සිතකට පහළ වෙන පෙම්
හැගුම් හා සම-සම ව පෙම්බර
හැරුණු විට දැර-ණියගලට යන
මාවතට සැලසුම් කෙළෙන් පෙර
කරුණ දැන ගත් විට දි වැටහෙයි
සැලසුමෙහි ඇති අනගි විසිතුර

85. සමනලය මගෙ සුහද මිතුරනි
අවැසි තැන මට අදිසියේ
සබකොලය ඇති නමුදු හදවත
නුඹගෙ සේවය අවැසියේ
සසල සිතුවිලි දී දුවයි හද තව ම
ඇය වෙත බොළදියේ
අමිල පෙමකට බැදුණු වරදට
කිම ද අද පසු තැවෙනුයේ

86. අසා දැන ගත යුතු ම දෑ මගෙ
හදවතේ තෙරපෙයි සදා
නසා ගිනි දන එවන් සිතිවිලි
වළ දමා සදහට මුදා
වසා ගෙන නෙතු ගලන කදුළට
ඉඩ දෙමින් දැගලුම් බදා
එසා දුක මට හිමි වුව ද සමනල
සොයන් වග-තුග මෙදා

87. පෙම් හසුන් පෙම් කතා පෙම් කවි
මින් පෙර ද ඇය වෙතට ලැබුණේ
කම් පසේ පෙම් බැන්ද ඇගෙ
හදවතට කවුරු ද තුරුළු නොවුණේ
මම් කෙසේ පවසම් ද නුඹටත්
මගෙත් හද බැදගෙනයි තිබුණේ
තම්දෙනා තම් ඇය ගැන ම මිස
කිසිවකුට නෑ මසිත නැමුණේ

88. ඇගේ සුරතල් ගමන දුටුවෙමි
ඉගි පපා සරදමට ඔද පා
මගේ ඇස ගත් පමණි නොව සිත්
ජවය දෙන්නට තරම් තෙද පා
දිගේ යන මග කඩින්-කඩ වමතට
ද දකුණට බද ද ඇද පා
වගේ ලස්සන උරගයකු බදු
ලතාවට යන ගමන හැඩ පා

89. ඇගේ නම උණුසුමක නොව හැම
විට ම සිසිලට මුල් වුණේ
වගේ ඇග කිළිපොළයි වැදුණ ම
පිපෙයි ගත හිරි මල් දැණේ
මැගේ සිත හැම විට ම දිව යයි
දැඩියි චපලයි නැහැ සෙනේ
නැගේ පිසිමින් දෙවුර කළඹා
නටයි සිට නො දෙවෙනි තැනේ

90. පෙනෙයි ඇගෙ නිරුවත තව ම දුර
සිට ම බැලු කල යහළුවේ
වගෙයි රණ හංසියන් සේ ළැම
දෙපස කදු ඇති පාළුවේ
ඇදෙයි ඇය එමැදින් ගලා කෙහෙ-
රළ ද දෙපසට මෝදු වේ
දැනෙයි නුඹටත් කියාපන් මට මා
කියූ දේ බොරු නොවේ

91. හදුන ගත් මැය දැක-පුරුද්දෙන්
සුරතලිය ලෙස පද්ද-පද්දා
දුවන විට පහළට ඉහළ සිට
උකුළ-පුළුලුකුලක් ම හන්දා
වැනෙන බදට ම කෙහෙරළ දිගු
පිට මැදින් ඇත රන්ද-රන්දා
කුමන හේතුවකට ද නොදනිමි
පිදුවෙ මගෙ සෙනෙහස ද බන්දා

92. පෙමට පෙම් කවි ලියා දුන්නෙමි
ආදරේ වැඩිකමට ඇති වුණ
මෙමට කෙම්කොට පලා ගියෙදැයි
සිතුණු වාර ද සිත් කොණට වුණ
රුවට සිත දුනි නම් චපල ගති
ඇති ඇගේ කිරිපැටියෙ දිස් වුණ
වෙසට මිස සිත කයට මනසට
නැති ය කිසිවක් ඇයට සිදු වුණ

93. අනේ සමනල හිතවතාණෙනි
කම්ප වී අනුවණකමට මගෙ
වනේ වන සතුරෙකුටවත් සිදු
නොවුණු දේ මට සිදු වුණේ මගෙ
පිනේ අඩුවක්-පාඩුවක් තිබුණේ
එසේ නම් පෙන්ව දී මගෙ
පනේ යන තුරු ඉන්ට තිබුණේ
ජීවිතේ යළි ගොඩ දමා මගෙ

94. රාම -රාවණ සටන් කළෙ උහු
දෙන්නගේ හිත එක ම ළදකට
තාම ඒ ලෙස පටන් ගත් ජව-
නිකා ඇත හද බැද්ණු විලසට
කාම ධේනුව විලස ඉන්නා
මැයගෙ වතගොත දැනුණු පිරිසට
නාම රන්දා මැගේ දිවි මුල-
අගට දිය හැක උතුම් සබයට

95. පෙමට පෙම් බැදි රසට රස දුන්
නෙතට නෙත දී මුව තියා
ළයට ළය උණුසුමට සිත් තුළ
ආදරය හිද පැන ගියා
මලට පෙති නාදල දෙතොල් මත
වතුළ රස මදු එහි තියා
රළට ඉකි බිද හඩා වැළපී
සළු ඉරා නොපෙනී ගියා

96. මගෙයි කියමින් මමත්වයෙ හිද
ඇ දෙස බැලු මගෙ නෙත් කොණේ
වගෙයි කැවෙමින් ඇගේ රූපය
තව ම හදවත සත් කොණේ
අගෙයි රවමින් විටෙක හඩමින්
තවත් විටෙක දි මත් වුණේ
සොයයි අදටත් සිතම්බරි ගැන
නමින් සීතාවක් වුණේ

97. බලන් සමනල දසත පියඹා
මැගේ ලස්සන නෙතින් දකිනා
කියන් නුඹ දුටු හැම දෙය ම
නෙත් උකා බිව් රස මුවින් නොබැණා
අහන් සුළ-මුල මගෙන් මිදිලා
කවුරු අත ගෙන සෙමින් බසිනා
සොයන් කිසිවකු ඇගේ අත ගත්
මගෙන් නැත ඉඩ ඔහුට ලැබෙනා

98. ගමයි දැරණියගල තමන් සතු
වස්තුවක් ලෙස සගව ගත්තේ
ගලයි දෙකදුන් දෙබෑ කරමින්
හංස පිරිපුන් ඉවුරු මත්තේ
පෙමයි වැඩෙනා දකින හැමගේ
සිතෙහි තදකොට බැදී ඇත්තේ
හැඩයි සුකොමල ළද ලවන් පෙති
මිහිදුමින් තෙත බරිත නැත්තේ

99. නමින් සීතා වී ය දල්වන
නීල නයනග කොකුම් ගල්වන
පවන් ගීතා ගෙනෙයි දැගළුම්
පපා යුග වෙත සවන් නහවන
ගමන් ලලිතා මවයි දගකාරයි
සැරයි හැඩ තල ද බදවන
බලන් වීතාරාග සිතැති ව
ගලන සීතා නදියෙ ලස්සන

සමනලයා දුටු සීතා නදිය
“සීතා මැයි නුඹ මගෙ මුදු සුපෙම්බරී”

100. මේ දිය දහර සීතල නදියක් ම ලෙසින්
සීතාවක නමින් පියයුරු යුගක වෙසින්
සැදුණු කදු දෙකක් මැද ලලනියක තොසින්
තවමත් විනීත ව ගලනව බොහොම හෙමින්

101. මීදුම් සළු ඉරා දෙපසට දමා ඇද
කදු කොමලියන් සොළවා පුළුලුකුළු බද
පාමින් ඔමරි කෝමල නෙත දියර කද
ගලනව කදු පෙළෙහි මුදුණේ ඉහළ හිද

102. සිහිතල රැළි අතරෙ හිද ඇගෙ පහස විද
කෝමල තරුණියන් වෙ ද රස නහර ඇද
පිරිපුන් වී ළමැද මැද පෙම් ඔරුව පැද
හනිකට පැන නටයි සමනලියන් එ සොද

103. දැරණියගල කියයි මැය ඔහු අඹු කමට
ගත් බව තුරුණුකම සපිරුණු පසු මැයට
විද-විද පෙරඹරෙහි ළා හිරු තැස සොදට
කදු ලලනියන් දෙන සිරි වනමි ද කුමට

104. මෙ ගමේ මුර සෙබල ලෙස හිස බැද සිටින
මුණි පා පහස ලැබු සමනොල ගිරි මුදුන
විසිතුර දකිමි සුදු සද වතුරෙන් තෙමුණ
කල ලස්සනයි දෙවිදුගෙ පහසින් රැකෙන

105. ලක් මෑණිය‌ගෙ ගෙල සරසන මණි කැටයයි
සිරි දෙව් දියනියගෙ අසිරිය දෙන පහණයි
ගම් දිනිතියගෙ ජව අපමණ රැදි පාටයි
“සීතම්බරිය” දැරණියගලට ම බාරයි

(මතු සම්බන්ධයි.)

එදත් මේ වාගේමැයි සිත සීතලෙන් ගැලුවා..

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

දිවියෙ සර - හර - බර කියන්නට
පැමිණියෙමි මං හුදකලාවේ
කිසිවෙකුගෙ නෙත් නොගැටෙනා ලෙස
ජීවිතය නම් ඉවුරු තලයේ
හිඳ සැදෑ සමයේ...
දහසකුත් දෑ කියනු ඇති මුත්
රහස් සඟ වා නොමැති හදවත
ගැහි ගැහී තවමත් කියයි මට
කිසිදු වරදක් නුඹ නොකළ වග...
එදා වාගෙ ම සොඳුරියේ නුඹ
හැඩයි කෙහෙරළ උනා දැමු විට
පියලි සිතුවිලි අයාලේ ඇදෙනා
නොමැත බිඳකුදු වෙනස් වී නුඹ
එදත් මේ වාගේමැයි සිත සීතලෙන් ගැලුවා...
ඉවුරු පිරිමදිමින් කරන තෙත්
අසිරි විඳ - විඳ නෙක බඹර නෙත්
නුඹට සෙනෙහස ආදරය පුදනා
නොසිටියෙ ද උන් අයාගෙන මුව
පිළිතුර ද නොවිමසා නුඹගෙන්
රාම - රාවණ කතාවට පිටුපා...
කාලයේ වැලිතලා අතරේ
වසන් වුණි දෝ මැකී යන ලෙස
ආදරේ උඩු ගං බලා ගිය
මටත් නුඹටත් දැනි - දැනී - නොදැනී...
ජීවිතයෙ මේ සැදෑ සමයේ
හිඳිමි නුඹ දෙස බලා තවමත්
දිවියෙ සර - හර- බර කියන්නට
අයා මුව නුඹ යමක් කියතැ’යි
තෙපුල් සිඳි නුඹෙ මුව නොබැණ මට
ඉවුරෙ තනිමංකඩ ව ඉන්නා
ගලා යන්නෙ ද හඬ - හඬා මේ
ගොම්මනේ පෙනි - පෙනී සේ නොපෙනී...!

නොදුටු පෙම

කනිල් මතුරට

මල්සුවදට ඇදුනු බබරුන් සේරම ගියදාට
සුවද නැතත් එක්බබරෙකු තාමත් ඔබගාව
දැවටෙනු රිසින් මල්අත්තෙම කොනක වසා
සුසුම් හෙලමි බබරුන් කල විපත සිතා

මැලවුනු මලට පනදි රුකගනු රිසියෙන්
හදපැන් පොදක් ඉස්සේ සෙනෙහස පිරි හදින්
හැම බබරෙකුම එකසේ සැලකුමට ගෙන
පැන්බිදු බිමහෙලුවේ නෙලුම් පතක් ලෙසින්

මැලවුනු මලක් පිනිබින්දක් වැටුනු සැනින්
ඇයි ඔබ නාවේ මල්පෙති විහිදා සැනෙකින්
යම්මතු දිනක මා පැ සෙනෙහේ වැටහුනොතින්
එදිනත් ඉසිම් සෙනෙහස් පැන් පෙරසේම

රන් කෙන්ද ලිහී………

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය - කොළඹ

පොකුරු මල් කිණිති කෝ වසන්තය හැංගුනා
විහඟ ගී බඹර නද දෙසවනින් වියැකුනා
සඳවතිය අහස් කුස සරදමින් හිනැහුණා
රන් කෙන්ද ලිහී ගිය උඩු හුළඟෙ පාවුනා

ඉඩෝරය කඨෝරයි ඉරි තැලී මිහිකතම
බිහිසුණුය නියං වැහි වහිනවා අත ළඟම

විඳින්නට නුඹේ මගෙ රුහිරු උරුමය බිඳක්
නුඹ තැලූ හිතට මගෙ දියං පොඩි ඉඩ ටිකක්.

නිවනද ඔබ ය

කසුන් ලක්ප්‍රිය

මා නිවපු මා නිවුනු
මා දැවුනු එකම තැන ඔබ ය
මේ මිහිපිට මා දුටු
එකම නිවනද ඔබ ය

පාළු රැය

ලුෂානි දමයන්ති - කැකිරාව

සඳ ගිහින් පාළු රෑ කළුවරේ
තරු ඇවිත් දිදුලමින් එළි කරේ
තනි කමක් සිතට එයි එක සෑරේ
කණමැදිරියෝ ඇවිත් මෙහෙ පොරේ

තරු පොකුරූ එකින් එක ලංවෙලා
කොදුරන්නෙ මොනවදැයි හංගලා
අහගත්ත සිත ඇතේ මංමුලා
හැමදාම දුක ඇතේ රන්ඳලා

කණමැදිරි මා වටා කැරකෙනා
පවන් රැල් සිසිලසක් දනවනා
උලමෙක්ය දුරු සිටන් වැලපෙනා
සිතට බෝ සෝ සුසුම් ගෙන දෙනා

කොඳ කුසුම් සුවඳවත් වෙන රැයේ
නිදි මතක් දුරු වෙලා කොයි ගියේ
හැම වෙලේ පන්හිඳත් අත තියේ
කවි ගොතා සරසමී මේ පැයේ

සහන සිතුවිලි

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

ගත සිත රිදෙන සමයෙකි මේ පසුවෙන්නේ
ගත ගිය රස ගමන් දැන් නිමවන්නේ
හුදකලාව පොදි බැඳ බැඳ මේ එන්නේ
නෙත පියවූ සැනින් සිතුවිලි දුව එන්නේ

හැගුමින් තොරව ඉන්නට මේ වෙහෙසෙන්නේ
රිදුමන් දරාගන්නට ඔසු සොයමින්නේ
දැනුමින් සපිරි වූවත් සරසවි වරමින්නේ
අත් හැර යාම පාඩම නෑ මට ලැබුනේ

ගඟ ඉහලට පීනන්ට ගමි වෙහෙස
ගල් පර රිකිලි හරහට සිටිනා විලස
පෙනුනත් මැලි නොවී දිරි ගමි මනස
ඈතින් පෙනෙන දේ ගෙනදෙයි සුව පහස!

මහ සෑ වහන්සේ දිලිහෙයි නෙත මානේ,
සැලි සැලි ලෙලෙන කොඩි සමනල තටු සේ නේ!
සුදුවන් නෙලුම එබිකම් කරමින් පොකුනේ,,
බොදු ගී ඇසෙයි මද නල එහි ගැටුනු සැනේ!

සිතුවිලි නැගෙයි යලි ඉපදෙන රැලි සේම,
අසහන නැඟේ සැම සිතුවිල්ලක අගම,
මහ සෑ වහන්සේ පිසගෙන යලි හමන,
සුලඟේ කුළුනුවී, අසහන පිසනු මැන!

මලක් නැති බිමේ ……

ලාල් හෑගොඩ  

පාලු දෙණිවල
උස් කඳු බිමේ
එකලාව සැරිසරන කවියා
හිඳ ගත්තේය
කඳු කැටියක
වඩන්නට ආනාපානා සති

මල් සුවඳක් එනවා
ඊ සර සේ
විසුනු කරමින් සති

මලක් නැති බිමේ
කොහිද විලවුන් මංජුසාවක්

හරිත පොරෝනයකින් වසාගත්
ඈත කන්දේ සිට මිස
දුනු දිය අදින්නට
කොහිද බිමක් මෙහි

ආශ්වාසය දිවෙනවා
නාස් පුඩු අතරේ
අතුරුදහන්වෙයි මඟදී
මල් සුවඳයි ගලන්නේ
ඉන්පසු

22.09.2023

Pick me ද Uber අප

ලලිත් ද සිල්වා - නුගේගොඩ

නාස් පුඩු කිතිකවන
රස බොජුන් සුවඳ සැර
බඩගින්න සිඳ දමයි
හිත ඇතුලෙ කඳුළු ගඟ ....

කෑම වල සුවඳ මිස
ඒවාට අකැප අප
ජීවිතය ගැට ගසන
Pick me ද Uber අප

බැරිස්ටා ජාවා Lounge
Coffee Shop පසු කරන්
තාප්පයෙ බෙල් ගසා
හාමුලා අඬගසන්
ප්‍රමාදෙට වැඩි බැනුම්
වියළි කඳුලින් තෙමන්
හිස් අතින් ගෙදර එමි
පොඩි එවුන් ඇත බලන්

13.09.2023

යකඩ ආදරේ ….

ලයනල් ගමගේ ඌරුමුත්ත

ජංගම දුරකථනයේ හැංගුණු මුහුණු පොත

මුහුණට මුහුණ අප හමුවන මගක් නැත

කොම්පියුටරේ ළඟ ආදරෙ හොයන මග

e පෙම්වතුන් වී මළකඩ යකඩ ගොඩ

පොළව පතුලේ සැගවී තිබුනු

මිල අධික මැණිකකි ඔබ ඉතා දුර්ලභ

වරෙක ඔබ විදුහල්පතිනියක්, ගුරුවරියක්,මවක්, මිතුරියක්

අප කෙතරම් වයසින් මුහුකුරා ගියත්

කිසිදිනක අමතක නොවෙන පැසසුම්, බැනුම්, අවවාද, දඩුවම්

ඔබ අප ජිවිතයට එක්කලේ දිරි ගැන්වීමක්මයි.

මිල කල නොහැකි මතකයන් ජීවීතයට ගෙන දුන්

ඔබ අද නිසලයි!

ඔබට අමා මහා නිවන් සුවය ගුරු මැණියනි!!!

තවම මං පෙම් බඳිනවා……

ලියෝමි චාමිකා

ඔබ දුන්නු, කොණ්ඩකූරත්
තවම මගෙ ළඟ තියෙනවා
හිසට පළදින හැමවරම
හදට මගෙ කටු ඇනෙනවා

සති අන්තෙ රඟහළෙ
තවම කඹුකිත් තියෙනවා
වැයෙන බෙර තාල හඬටම
හදත් ඉකිබිඳ හඬනවා

සුවඳ තියලා යන්න කීවම
''මතක''රඳවා ඉගිලුණා නුඹ
සුවඳ අරගෙන යළිත් දවසක
යමුද අපි යළි වන්දනාවක

වසත් සමයට බීර සැමරුම්
තදට තවමත් තියෙනවා
සුළගෙ ගිය මගෙ වසත් සමයට
තවම මං පෙම් බඳිනවා.......💖

නිවාඩුව

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

තැබූ දා පය වසරකට පසු දැනුනා හරි නිදහස් බවක්
හමන මදනල ගතට මෙන් ගෙන ආවේ හදටද සිසිලසක්
බැඳුනු බැමි පෙර අදත් ගෙනවිත් අපේ මුවගට සිනහවක්
ඉතින් ලෝබයි දාලා යන්නට දොඩමලුව ඇත පන්හිඳක්

ගෙවුනු දින සති මිහිරි මතකය සදා නොලියූ කවි පෙලක්
සමු අරන් දැන් යන්න වෙයි තව වසරකට නැහැ වෙන මගක්
පුළුන් රොද අස්සෙන් පියාඹා යනවා ලොකු තටු කුරුල්ලෙක්
නෙතට සිසිලක් දැනුණා මට වැටුනිදෝ නුඹටත් වැහි පොදක්

සොඳුරු උදයක්

මානෙල් රණවීර

රෑ තරු ගොන්න නිදියයි සඳ ළග සැපට
පා මදහාස හිරු ඇවිදින් මුදු ලෙසට
කී කිචිබිචියෙ රැදුනයි තාලය සොඳට
මා කැදවන්න නුබෙ නිල් සේලය යටට

තුරු මත පිපුණු මල පිදුවයි පෙම හිරුට
කදු වෙරගන්නේ සිපගන්නද වළා පට
පිනි අහුලන්න ඔබ ආවොත් උදේකට
මුතු පලදන්න හැකි වෙයි ගෙල පුරා මට

සුදු අපි යමුද මේ මග අත්වැල් අල්ලා
පිනි අතුරාන තණපත් ඇත මග බලලා
මුව සිපගන්න ආසයි හිරු ඇස් වහලා
මුළු නිල් අහස දන්නව ඔබ මගෙ කියලා

රහස්

මුදිතා ඩයස් - කොට්ටාව

රහසින් ලංවී
රහසින් වින්ද
ප්‍රේමය ..

රහස් කොදුරා
රහසින් නික්මුණු
ප්‍රේමය..

රහසේ හඩන
රහසේ විදවන
ප්‍රේමය...

රහස් රහස් වී
රහසෙම සැගවුණු
ප්‍රේමය ...

සීතල පපුවට
රහසින් ඇවිදින්
ප්‍රේමය

උණුසුම විදිමින්
සිත සුවපත් කල
ප්‍රේමය

අන්සතු උයනක
පිපුණත් සුවදයි
ප්‍රේමය..

රහස් රහස් වී
රහසින් වින්ද
ප්‍රේමය

පෙනෙන දුරකින්
නැති වුවත් අද
ප්‍රේමය

සිතිං සියවර
ඉතිං වින්දෙමි
ප්‍රේමය

මගේ නොවුනත්
මගේම වූ
ප්‍රේමය

රහස් රහස් වී
රහසින් වින්ද
ප්‍රේමය

පියසැරිය

මාලිනී හෑගොඩ - USA

නොවැඩුණු තටු හෙමි හෙමින් පිරිමැද
වනපස පල නෙළා ගෙනැවිත් සොඳ
බිඳෙන් බිඳ ගෙන තුඩින් තුඩ කවමින
බලා සිටියා නුඹ පියාපත් වැඩෙන තුරු මම

දිස්නෙ දෙන යුග නෙත් යොමා ඈතට
තොස්ව අත්තටු ගසා මද සුළං මැද
ඉගිලී ගියා මා දමා නුඹ ඈත අහසට
තිතක් විය එයත් තිබුණේ අසුරු සැණකට

අද අද ඒවි යන පැතුම් පොදි මැද
අද නැතත් හෙට ඒවි යන සිතුම් තුළ වැද
කඳුළුපිරි දෙනෙත් අතින් පිරි මැද මැද
දවස් මේ ගෙවී යයි මා කළ වරද කවරද

එන මග අමතකව ගියේ කොහොමද
මතක පොතේ මිහිරි පිටු අමතක වීද
සීතලද වෙන උණුසුමක් අතරමග හමු වීද
මගෙන් ලද සෙනෙහස රැකවරණ මදි වීද

ගල හොඳනම්….

මයුරි කොඩිකාර - ගම්පහ

කරුවල බුරුත සියුමැළි නැත අරටු කඳන්
හිරටම කිමද දඟලන රණ තිසරු බැඳන්
දුරටම ඇදෙන සුවඳකි ගත සිතද බදන්
අලුයට ගිලුන ගිනි පුපුරුය හොරට නිදන්
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

වතුරත් බැඳල නෙව කුඹුරට බැහැල බලන්
මඩිනට පුරුදු නම් කෙවිටක් මොටද සලන්
කලටම වෙලාවට වපුරනු නොවී ගිලන්
කන්නට පින් ඇතොත් ඉබ්බා ඒවි බොලන්
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

පුපුරන රබර් ඇට වලකනු හැකිද කියන්
බැන්දට වැට කඩුලු සිත නවතීද කියන්
වැල රස මිසක වරකා අකපැයිද කියන්
තිබහට වතුර නෙව තේ පෑහේද කියන්
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඉක්කාවත් විසයි හුස්මක් ඇරල හිටින්
නිට්ටාවට සුවයි දෙහි කැපු ගිරය දුටින්
කිල්ලෝටෙත් පෙනෙයි තැවරුණු හුණුය යටින්
ගංදෑලෙන් බිඳක් බිව්වට කිමද කටින්

මයුරි කොඩිකාර
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පොත්

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්

සාමා අල්ලන් අමරගේ අත

නිතර සල්මල් වෙත යොමා නෙත

අකුරු අමුණන් මාල ගොත ගොත

සතර දුන්නා අපෙ හෝඩි පොත

කතිර ඇඳ ඇඳ තිබුණු කොටු මත

බෙදුව උයනට හැම ගෙයක බත

තවම සමහර මතක වල ඇත

කලෙක වැජඹුණ ඒ හාල් පොත

ඉඳහිටක කර සැමගෙ ඇස රත

තවදිනක දී ලොවට නෙක මත

බිඳ දමන මුදු සැනසුමම සිත

ලොව කිරුළ ගෙන ඇත මුහුණු පොත

රවටලා නිති වසා අප නෙත

අටවලා නැතිකර හතේ හත

බිඳහෙලා හැර සවි දුන්න අත

පෙරළිලා ඇත නම නොදත් පොත

වඳිමි මව් දොහොත් දී

නදී ශානිකා - මහනුවර

කුසත් දසමස් නිවහනක් කර දී
ලෙයත් කිරිකර කුසගිනිත් නොම දී
රසත් නොබලා ගුණ පිරුනු දෑ දී
මහත් බැතියෙන් වඳිමි මව් දොහොත් දී

නෙතක් නිදි නොලබාම දරු නමින් හිඳිද්දී
සිතක් උතුර උතුරාම අහසකට දයා දී
වතක් වැහැරෙනා බැව් දැන දැනම දෙතන දී
ලොවක් නිවුවා මවුන් එක බැලුම් සරය දී

හොවාගෙන ලමැද්දේ ගුණ දහම් කියාදී
නිවාගෙන සිත් මඬල දරුට සෙත් පතද්දී
දරාගෙන හැම දුකක් දරු නමින් නිවෙද්දී
පතාගෙන බුදුබවත් ඈ ගුණත් පිදුම්දී

හත්ථසාර

නිලුපුල් ප්‍රියංකර

හේන කුඹුරකට ඇඟ දාඩිය වැව්වා
නේන කරලටත් රැපියල් සත ගෙව්වා
වේල නොකා අපිටම මල් අතු නැව්වා
පේන ඇහෙන් ලියලන අකුරුම හෙව්වා

බොහොම කලාතුරකින් මල්පැණි බ්ව්වා
එහෙම දාක සිරියමෙසාරත් කිව්වා
කොහොඹ තෙල් පහන ළඟ අම්මා හෙව්වා
කොහෙද ගියෙ කියා පින්තූරෙන් අහුවා

වහළ දෙස බලන් කඵ අහසට රැව්වා
ඇහැළ පෙරහැරට පොද වැස්සෙම දිව්වා
නවල නාගවල්ලිය පැණිරස පෙව්වා
ධවල කොඩි වියන් යට බුදු බව හෙව්වා

යාර දෙකක් නැගෙමින් ඉහළට ඔසුවා
සාරවිටි වුවත් සිරි දළඳා දුටුවා
වාරු හිදුණු හුස්මට හේවිසි කෙටුවා
සාරි ඇඳන් ධනපල් පෙරහැරෙ නැටුවා

මගේ හෘද සාක්ෂිය….

නයනශාන්ති දිසානායක

ඈ මගේ බිරිද....
මං අකමැතිම තරහ උනාම 'දික්' කරන් ඉන්නවට
ඒත්, මම දන්නේ නෑ කැමති ද කියලත් එකට එක කියවගෙන
රණ්ඩු කෙක්කක් වගේ එල්ලි එල්ලි ම එනවටත්...
ඒත්.. ඇයි ඈ එහෙම 'දික්' කරන් ඉන්නේ..
මගේ කිසිම කිසි වැරැද්දක් ඇත්තේ ම නැතුවම ද..
මම කැමතියි ද ඈ කියන දෙයක් කනක ට ගන්න..
ඈ කී දෙයක් ඇත්ත වෙනවට එහෙම..
ඒක මට මදි පුංචි කමක් නොවෙයි ද ඈ ලග
අහංකාර මගේ හිත ඈ ගැන ඊරිසියාවෙන් නොවේ ද...
බොහෝ වෙලාවට ඈ හරියටම හරි..
ඈ නිහඩ උන, මම හිතුවක්කාර උන..
නාස්තිකාර මගේ අත් හදා බැලීම් ලග
සල්ලි මම හම්බකරා ම උනත්..
ඈ හිතුවේම මං ගැන, මේ කූඩුව ගැනම ..
එහෙත්, ඈ දරා හිද ම උර දුන්නේ නොවේද..
මගේ හීන වෛවර්ණ ගන්ණන්න.. අත් නොහැර මා..
ඈ, ඈව අත හැර.. ඇගේ හීන අත හැර
මගේ හීන මත්තේම සැනසෙන්න ආ ඈ..
තපස්වර වී ද මා දමනය වී නිවීගිය..
තාමත් පිරුණු ඇගේ ලැම.. පුළුලුකුල.. පැද්දෙනා නිතඹ
රසදුන් වූවාට යනෙන මග තොට.. ඈ ඉතිං වැරදියි ද..
රැකිය යුතුම ද පති දම් ම සති පූජා කරන්නට
තනිව යහනක සුසුම් හෙලමින්.. විදවමින්..
අතර මග .. මේ ලෙසට.. අතැර.. හුදකලා කොට.. ඈ..
ඒ උනත්, තාම ත් ඈ ඇගේ හැගුම් සගවාන
හදවතේ බරට මා දරා සිටිනා ඈ ගෙන්
මා මේ දුරස් බව, ආගන්තුක බව බිදිය යුතු නොවේද..
අඩුම තරමින් තුරුළු කොට උණුහුම් ව
එක ම එක සෙනෙහසේ හාදුවකින් වත්
ඈ එයින් සැනහෙනවා සත්තමයි.. මම දන්නවා..
ඈ මගේ බිරිදයි..
අහංකාර මගේ හිත ඉඩ දෙයිද ඒකට..

2023/09/08

ඔන් ලයින් හාද්ද.

නිමල් අබේසිංහ - කඳාන

සෙනෙහස හදෙහි ලීවේ හී උළකින්.
ඉරී රීරි ගැලූ හදවත තැව්වේ ගිනි හුළකින්.
වදන් නොබිණීය කිසිදාක මෙලෙකින්.
වින්දේය සෙනෙහස නපුරු කපුරු මලකින්.

ගමනෙ රඟ වැටහුණේ බොහෝදුර ගියාමය.
අටලෝ දහම විඳිනේ මනු සත්වයාමය.
ඇල්ලූ පයලූ අතු නෑ එයයි දැනගත් නියාමය.
වියෝවේ විරහවේ තරම දන්නේ තමන්ටත් උනාමය.

වැසුණ විට එක් දොරක් තවත් දොරවල් ඇරේ.
ඇතුල්නම් නොවෙමිය ඉතින් නම් මේ වරේ.
දැන දැනත් වැටෙනවද ගිනි ගින්දරේ.
සිහි වෙද්දි ළය පිච්චි පිච්චී තිබූ ගින්දරේ.
කදෝ පැණි එළියටත් ගමන ආපසු හැරේ.

මනෝ මන්දිර මවාලූවාලූ එ දවස් ද.
වදන් හී තුඩින් හද කීතු කළ දින කොත ගණන් ද.
වදන් සිසිලේ සුවය ලද්දේ කවද් ද.
මේ තරම් සිත දවාලූයේ ඔන් ලයින් හාද්ද.

ග්‍රහයෙකු නොවූ සඳ

නිශ්ශංක දිද්දෙණිය

හන්තාන තානයෙන් පෙම් හැඟුම් පිබිදිලා
පෙඟී ගිරි ශිඛර මත කැටිති පුළුණේ වලා
හැංගි හැංගී මතුව පෙම් හඳක් පායලා/
යෞවනේ වසන්තේ ප්‍රමෝදේ එයි ගලා

පෙර දවස අඩවියේ හන්තාන පෙම් හැඟුම්
මෝදු වී යළි නිවී හෙළුෑ කඳුළැලි සුසුම්
නිගාවට සඳවතුර ගලාගිය සේ දැකුම්
විමතියකි මායම් ව මවා පෑ ⁣නෙක දසුන්

පියඹ සහ දෙ දරුවන් බෝ මළුවෙ බුදුන් වැඳ
බැතිමතින් මල් පුදා එකලස්ව හිඳින සඳ
අගිල් කපුරුද සඳුන් සුමුදු නල සුවඳ විඳ
වෙහෙර දාගැබ හිසින් මතුව ආ පුරා හඳ

වරක් සේකර දුටුව අමුතු නිව්යෝක සඳ
මා දුටුව නොතැම්ටන් ගිම්හාන සිසිල හඳ
මුළු ලොවට කලාවෙන් නැගී බැස දිලෙන හඳ
වෙනස්වන දහම කිම තැනින් තැන වෙසෙන සඳ

ජම්බුද්දීපේ බුදුන් ලක්දිවට ගෙනෙන සඳ
පරචිත්ත විජානන ඥානනය හෙළුව සඳ
පිබිද කල්යල් බලා අගමැතිඳු මෝදි සඳ
සඳ දිනා ලොවට පෑවයි මහරු එ දිය දද...

කුමුදු මලේ අයිතිය

නාලිනි ඩි සිල්වා

කුමුදු මල :
කුමුදු මලේ රුව නුඹ නැහැ දන්නේ
සුමුදු හදේ සුව නැත හඳුනන්නේ
සිනිදු කොපුල්තල මල් පෙති වැන්නේ
නුමුදු නුඹට පෙම් හසුන් එවන්නේ

කදෝපැණියා:
මුවින් මෙමට රඟ මඬලක් මවලා
රුවින් නුඹත් සුදු කුමුදක් වීලා
ලවන් සනසවන මධු මී සොයලා
කියන් බඹර කැල සිටීද රැඳිලා

කුමුදු මල :
සඳ කොමලිගෙ සඳ රැස් පිනි ඉසිලා
විඳ විඳ සිටියද සිසිලස රැඳිලා
කඳ කුමරුගෙ මල් ආසනෙ ඉඳලා
රැඳි මිණි සිඹයන සමනොළ මන‍ෙලා

කදෝපැණියා:
කොඳ කැකුලට පෙම් කවුරු කරන්නේ
සඳ වත විතරද ඇය සතපන්නේ
නඳ දෙන බඹරුන් ඇයි නිදියන්නේ
ඉඳුවර මහ බඹු මෙය විසඳන්නේ

මහ බඹු:
කුමුදු මලේ රැව කොහොමද දන්නේ
සද කොමලිය ගගනතෙහි දිලෙන්නේ
සද රැස් දහරින් කුමුදු පිපෙන්නේ
කුමුදුනියේ නුබ කිමද තැවෙන්නේ

කුමුදු මල :
තැවෙන කුමුදු මල හිත ලතැවෙන්නේ
මැවෙන රුවින් සෙනෙහස උතුරන්නේ
දැවෙන ඇයගෙ හද කවුරුද දන්නේ
රඟන බඹර කැල නැහැ ඇහැරෙන්නේ

කදෝපැණියා:
කුමුදුනියේ නුබ කුමට තැවෙන්නේ
හිරැට හොරා සෙනෙහස පතුරන්නේ
නිබද දැවෙන හද කිම සගවන්නේ
කදුලින් කවුරැද ජය පැන් බොන්නේ

කුමුදු මල :
හිරුට අයිති බව හිරු පවසනවා
සඳුට අයිති බව සඳු පවසනවා
සිඳුට අගේ නැති බව කියවෙනවා
කුමුඳු ගෙ අත හිමි කවුද අසනවා

මහ බඹු :
මුසාවෙ නොරැඳී සෙනෙහෙ පිරේවා
ලතවෙන සිත දැන් සුවපත් වේවා
අධීපති වෙන කවුරුත් නොම වේවා
කුමුදිනියේ නුඹ මෙගේම වේවා

ගිනි කතර

නදී විතානාච්චි

ගසක් වගේ මල් පුබුදා ලොවට දෙන
සිතක් ලස්සනද කොතරම් සුවද දෙන
ඉරක් වෙන්න ලෝකෙම අදුරෙන් මුදන
කවක් ලියා සැනසෙමි හදවත දැවෙන.....

හඩා වැටෙන දහසක් නෙත් වල දකින
කතා ඇසෙනවා හදවත කකියවන
අසා සෝසුසුම් බිදෙනාවිට සිහින
සොයා යන්න සිතුනා සැමදා නිවන.....

එදා සැවැත්නුවරට යන අඩි පාරේ
අපිත් යන්න ඇති දස දහසක් වාරේ
බුදුන් දකින්නට පින් මද සංසාරේ
තවත් යන්න සිත නැහැ මේ ගිනි කතරේ....

නොපෙනෙන මුහුණු

නාලක ගම්මැද්දේගෙදර

ජිවන ගමනේ හමුවන
දහසකුත් මුහුණු අතර
කිසිවක් නොලිවුනු
හිස් කඩදාසි මුහුණක් මුනගැසිනි
විර්යය දරා කියවන්නට හැදුවද
කියවාගත නොහැක

ලන්වි බැලුකල ඉරේසර් කල
අපහැදිලි ජායා මුහුණු කිහිපයක් දිස්විනි
හිස් කොලය මත පැන්සල් කුඩු තවරා
මැකුනු කතා මතුකරගතිනි

පියරු තවරා නිලඇදුම හැද පැලද ගති
උදැසනින් හිනාමුහුණ පලදති
රැකියාවට යති. සිනාවෙති
එයට උඩින්
අව්‍යාජ ප්‍රබෝදමත් මිත්‍රශිලි
මුහුණු පලදිති
පාරිබෝගිකයන් ලොකු ලොක්කන් ආයතන සතුටුකරති

පැය අට ගෙවති
බොඩිමට එති
සියලු මුහුණු ගැලවති
නැවතත් හිස් කඩදාසි
මුහුණ මතුවෙති

බොඩින් දොරගුලු වැටෙති
හිනා මුහුණක් ගෙන පලදති
දෙමාපියන්. නැදැයන්. යහලුවන්. සනසති
ආදර සන්ලාප දොඩති
අහුවෙන දෙයක් කති

ඇදට වැටෙති ලොව තනිවෙති
විදුලිපන්කාව දෙස බලති
කල්පනාවක සමවැදෙති
හිස් කඩදාසි මුහුණද ගලවති

අරුමෙකි
ශෝකාන්ත මුහුණකි
ආදරබර සහෝදරියකි මිතුරියකි පෙම්වතියකි
දෙනෙත් පියවෙති
ඇය නිදියති

හෙල්මැලී

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

නිවන්නට කුසගින්න පස් කඳක් තැලි තැලී
අකල් වැස්සට හසු ව තෙමාගෙන සළු පිළී
හැරදමා සෝ තැවුල් දරාගෙන බිය විලී
බිහිවුණා නිල්ල දිලි සොඳුරුතම හෙල්මැලී

මවක සෙනෙහස…..

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ

මවා සෙනෙහස් දරා දස මස් නිමා නැති දරු පෙම්මා
ගෙවා නෙක දුක් දරා සම සිත්
ලොවක් එළි කර දුන්නා
පවා දුක් හා සැපතෙදී අප
සෙනෙහෙ මල් දම් රන්දා
නසා බව දුක් ලබා සැනසුම්
නිවන් පුර යයි අම්මා.

පොවා ලේ කිරි වඩා දරුවන්
සැනසුමයි ඈ ලබන්නේ
දුකේදි දරු කැළගෙ හැම කල්
ඇගේ නෙත් දිය පිරෙන්නේ
දුක දිනා ජය ගන්න ලෝකය
ඇගේ දිරියයි ලබන්නේ
මවක වී අප සැමගෙ ලෝකයෙ
පාරමී දම් පුරන්නේ.

වසන්තය ගිම්හානයක් වී
ඇගේ සවිබල බිඳේ නම්
අනන්තයෙ රැඳි ඇගේ සෙනෙහස
නිමක් වීලා මැකේ නම්
ගතින් ගිලිහෙන මවක මහිමය
ලොවින් ඈතට දිවේ නම්
රුසිරු මල් වල සුවඳ සේ ඔබෙ
මතකෙ සැමදා දකින්නම්.

ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාට

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව

ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාට - ඇමෙරිකානු කවියකු වූ රේමන්ඩ් කාවර් ( Remond Carver ) ගේ Poem for Pathologist lady Pathologist කවියේ අනුවාදය

සිහිනෙන් දුටිමි රෑ පෙරදින -පුජකතුමකු පැමිණි මා වෙත
ඇට පෑදුණු මගේ සුදුමැලි දෑත් - ඔහුගේ සුදු දෑතින්ම ගෙන
මුදු ගතිය පෑ ඔහු - බිය නොගන්වයි මා හද
දැළක් මෙන් ඇඟිලි ඇති - මැකෝමික් පුජක මෙන්

සැන්දෑ කල ආවෝය -ගෙබිම අමදින්නෝ
තෙත කොහු හා-රසායනික දියර ගෙන
මා නොදැක්කා සේ ය- ඔසප්වීම් ගැන දොඩන්නේ
ඇදෙයි එහාටත් මෙහාටත් මගේ ලෙඩ ඇඳ
වැළඳ ගති යන්ට පෙර ඔවුනොවුන්
පිරේ මගෙ කාමරය කොළවලින් සෙමෙන්
දනවමින් බිය මා හදට

විවර විය ජනේලය - ගලා එයි හිරු එළිය
හඬකි යාබද කාමරයෙන් - ඇඳක් කිරි කිරි ගාන
බරට දෙදෙනෙකුගේ -සංවාසයේ යෙදෙන
ඇසෙයි උගුර පාදන -මිනිසකු ගේ හඬ -
විවර වී ජල කරාම පිටත -දැනේ මට හිස් බවක්
පෙනේ කොළ පැහැ මේසයක්- පාවී යන ජනේලයෙන් පිටත

අනුරුවක් මගේ හදවතේ - තබා මේසය මත
සොයයි ඇය ස්නේහය- සුමුදු ඇඟිලිවලින්
නොනැවතෙන සිතිවිලි -ජනිත වෙයි මා සිරුර තුළ
දිගු කලක් ඈත පෙරදිග - විකුම් පා අනතුරුව
ප්‍රේමයෙන් මුසපත්ය -මා මේ දෑතට
සීතලය මගේ හද - සිතන්නට බැරි තරම්

27/09/23

හිච්චි

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව

එක හුස්මට දවල් බත් ඩිංග
බඩට දාගෙන මද්දුමෙයි මායි
පැන දුවපු කාලය වෙල් එළිය දිහාවට
මතක් කරන කොට හිච්චියෝ,
කඳුළු කැට වැටෙනවා
එක බත් පිඩක්වත්
උඹට නොතියාපු එකට බත් මුට්ටියේ...

උඹ එක්කාසු වුණදාක අපි එක්කලා
සෙල්ලමත් ලෙල්ලම කරලා
තල්ලුකරලා ඇළ කණ්ඩියට
තනිපංගලමේ දමා ආපු දවස්වල
හිච්චියෝ, උඹට දැනුණාද දුක උසට...

අපේ ඇස් රතු කරන්
හරි හරියට උඹේ දෝස
අම්මා එක්කලා දොඩාලා
උඹේ පිට හරහා යන
කෝටු පාරවල් බලලා
හොරෙන් අපි ඔච්චම් කළාට
මක්කෙයි හිච්චියෝ,
පහුවෙලාවත් අපට ටොකු පාර නුදුන්නේ...

හුඟ අවුරුද්දක් ගෙවිලා
උඹලා අපි පැහිලා
කෙස් රැවුල් සුදු පාටටත් හැරිලා
මද්දුමෙත් සිදාදියේ
ඔට්ටුවෙනවලු ඇහැ පියන් නැතුව
සුදු නෝන මහත්තයලට
බේත් ඖෂධ නියමකරන්නට...

ලියුම් කඩදහියක් යැව්වත් උන්දට
නැහැ වගක් මගේ වන්දනා ගමන ගැන
මොකවත්ම ලියා එව්වේ
කර උඩට වැඩත් ගොඩ ඇති මයේ හිතේ...

කරගැට එනකල්ම හේන් ටික කොටලා
උඹට ලැබුණ ඉස්සරෝම කාසි ටික
ඇවිත් මගේ අතේ තිව්වේ
මොන හිතකින්ද
ඉතින් මයේ හිච්චියෝ...

මහ මළුවේ වැලි කැට ගානට
පින් දෙනවා මං උඹට
සුදු මල් මිටක් අතේ තියන්
එක බඩින් නො ආවත්
එපා වරදක් කරන්ට
අනේ මයේ හිච්චියාට...

ඉතිරිය මෙතැනින්...

ආදරේ ගැන ප්‍රශ්නයක්

ප්‍රියන්ති ඕපාත

රාමා සීතා කතාව
කෙතරම් සුන්දරද ....
ඉසුරුමුණි පෙම්යුවලගේ පෙම
කෙතරම් සදාකාලිකද ...........
උන්මාද චිත්‍රා පෙම් පුවත
කෙතරම් චමත්කාරද .........
නුතන පෙම්වතුන්ගේ ආදර කථා
කෙතරම් තාවකාලිකද......
මෙවන් පෙම්පුවත් නම්
අඩුනොවේ අපෙ ඉතිහාසයේ
සිතුනා එබෙන්නට අතීතෙට
ඇයිදෝ මෙසේවුනි කියා

රාමාසීතා කතාව සුන්දරවුනේ
ඒ නිකැළැල් පෙම නිසාද ....
රාවණාත් ඇයට පෙම්බැදි නිසාද .........
එසුරුමුණි පෙම්යුවලගේ පෙම සදාකාලික වුයේ
ඒ නිකැළැල් පෙම නිසාද ........
කලාකරුගේ නොකිළිටි හදවත නිසාද .......
උන්මාදචිත්‍රා කථාව සොදුරුවුයේ
ඒ නිකැළැල් පෙම නිසාද ........
නිසල එක්ටම්ගෙය නිසාද ...........
නුතන ආදර කථා එතරම් අසුන්දර වුයේ
දකින දකිනා තැන හදවත් නවතින නිසාද
හැමදේම වාගේ ප්‍රේමයත් වෙනස්වෙන නිසාද

නවසීලන්තය 23/09/2023

අවජාතක උන්

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව

හීන කන්දක් නැති වුණාට
මතු දවස සුබ වෙන්න
කරපු පවක් නැතිවෙන්ට
මම ආවේ සුබ සිතින්
බෝ රජුන් වැඳගන්ට..

සිලි සිලියේ මුදු සුළඟ
සුව කරයි මගේ හිත් බිඳුම
කාලයක් ගෙවුණ අද
බෑ මතක ටික වළදාන්ට...

පොඩි එකිත් එක් කරන්
වැට මායිම පනිනකොට
ඇහුණා මට බෙලෙක් හඬක්
වස් තියෙනවා සුදු වතක් පටලාන. ..

"අවජාතක උන් දක්කගෙන
මඩ ගාන්ට සුද්ද භූමියේ
යන රඟේ මේකිගේ
වන්නම් ටික නටලා කරලා "

අනේ ඉතින් වක්කඩ කට
වහන්නට ඇහැක් වුණත්
ඇයි ද මං දතකන්නේ
උන්ගේම කුණු ඔපදාන්ට....

අනේ! උබලැයි අපෙයි
කෙස්වලු පැටලෙන්න හැදුවට
උඹේ ඔය කොලු කුරුට්ටෝ
මගේ එකීගේ අයියලා වෙච්චි
උඹේ මිනහගේ වැරදීමකින්ම...

2023/09/02

සෙත්කවිය වැරදී ..

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

සඳ තරු ගැන සිතා මග වැරදින
එක්තරා කණාමැදිරියෙක් හා පැටළින
දෙනෙත අයා දිලෙන නිලඹර ඈත
සිපිරි ගෙයි මුළු ගැන්ව සිටියත්
වළා තුල මැවෙන හස්තයක් දැක
එදෙස අත්තටු සලන්ටය හිත

නියවමින් ප්‍රේතාත්මයට නාසිසස්
නව දිවියක් අරඹනු රිසි වුවත්
මහට ඉගිල යා නොහැක
දොරගුළු ඇර දමා සැඟව සිටියත්
විඩාබර මේ මොහොත
වේදනා දෙයි පියාපත්

ගී ගයා හාදු දෙන්නැයි අයැදින
සිනාසෙන සිඟිති දෙනෙත්
කුරුළු නද නැගෙන පියකරු උදෑසන
කෙසේ කඳුළු බිඳුවක් දෙම්ද
අමතක කරන්නට කිව හැකිද
නොබියව හුණුවටයකට සැරසෙම්ද

නටඹුන් ප්‍රදීපනය කරමින්
සංසාරික උරුමෙකැයි රැඳුනොත්
ඉටි පහන විලස ක්ෂයව යනු ඇත
චංවල වුවද මනස ගිනි ජාලයක් මෙන්
මුරපදය වහා වෙනසකට නියමිතය
වස්කවියක් විද මෙතෙක් මැතිරු සෙත්කවි

දිගට හරහට වැස්ස…

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

ඉවරයක් නෑ දවස තිස්සෙම
උදේම සාරියත් දවටන්
පැටලි පැටලී දුවනවා
තෙමුණු සාරිය
දණහිසටම උස්සගන්න හිතෙනවා
කකුල් වල ඇඟිලි අතරින්
චිචිරි චිරි මඩ කඩිති පනිනවා
විසාකාවක් වගේ
කොහොම යන්නද
හිත ප්‍රශ්න කරනවා
හෙමින් ගමන් පුරුදු නැති ගානට
උදෑසන ඔර්ලෝසු කටු
හැල්මේ දුවනවා.

බෑගයත් කුඩයත් අරන්
සාරියත් මිටින් ගෙන
සම්ප්‍රදායත් ගුලි කරන්
හීතල හිරිපොද ඇතත් නැති ගානට
හිතෙන් සැලසුම් කරන
රතු ඉර පෙනි පෙනී දකින
අලුත් දවසක හීන.

කෑම වතුර බෝතල් අඩු නැතිව
මැදලා සුදු ඇඳුම් සීරුවට
කවලා බත් කටක් දෙකක් කලබලෙන්
හැකි වේගයෙන්
දුවා දරුවන් පාසලට.

දෑතකින් දහසක් වැඩ
එක පෙලට එක දිගට
වැහි දාට අම්මපා
හිතෙනවා මැරෙන්නට

කුඩේ යට වැහි දෙකයි
මුවත් ඇඳුමත් තෙතයි
පිරිමි ඇස් ලොකුවට ම
ඇරෙන්නේ එතකොටයි
මග තොටේ නාරි රූ අසිරි බලන්නට
අවසර ඕනෑම නැති හැඩයි.

කොටට ඇඳලා යනෙන
තරුණියක් වගෙ නෙවෙයි
තෙමුණු කුකුළෙක් වගේ
සාරියත් උස්සගෙන
යන ගෑණු හරි හැඩයි
පිරිමි හිතකින් පැන්න
ඒ වදන් හිත දවයි
හැබැයි...
ඇත්තමත් ඒ තමයි.

ඔන්නොහෙ දැකපු දෙන්
දෑස් පින් කරපු දෙන්
සිතිවිලිත් රාජ සන්තක
ගෑණු හිත් හැමදාම
සාරියත් පටලාන
වැහි වලට තෙමුන දෙන්.

රණවිරුවෙකුගෙ පෙරවදන

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

තරු පටි පැළඳ
නිල ඇඳුම වැද
සීරුවෙන සිටගත්තු
තාත්තා
සම්මාන මුර අවි
කියූ සැණින්
පසෙකලා අවි
සැහැල්ලුවෙන්
සිටගත්තු තාත්තා
සතුරු සේනාමැද්දෙ
සන්නද්ධ අවි ගැටුම්
සිදු කරපු තාත්තා
කාර් එකේ ගමන් යද්දි
ඉදිරියෙන් වීදුරුවෙ
හෙල්මටය දුටුගමන්
තිගැස්සෙන තාත්තා
ඇයි තාත්තෙ
ගැස්සෙන්නෙ
හොඳ පිළිතුරක්
කිසිදු
සිනාසුනා විතරමයි
තාත්තා මිය ගිහින්
දැන් වසර ගණනක්
දින පොතක් ඇතුලේ
තිබුණු ලියුමක
නාදුනන මාරයින්
අවිදරා අතකින්
පසුපසින් මා
හඹා එන බව
කෙලෙස මම කියන්නද
මගේ පොඩි දෝනිට
පිළිතුරයි ලියුමයි
ඉතින් දැන් ලැබුණා

අසම්මතය සම්මත වූ වගයි ……

රංජිත් ද සිල්වා - නවසීලන්තය

මනමේ සොයුරිය - ප්‍රමිලා සොයුරිය
අද මෙන් හෙටත් කවදත් - රසික ලොවේ ඔබ
මනමේ කුමරියමයි - ප්‍රමිලා කුමරියමයි
තවමත් ඔබ ඒ යොවුන්වියේමයි

ඔබගේ ප්‍රේමය - කවුරුන් හෝ කීවද
අසම්මතයයි - තහනම් ප්‍රේමයකැයි
ඔබේ.......
සිතතුළ රැඳුනේ පෙම්බර අවියක්
සීමා මායිම් බිඳලන සවියක්

අදටත් ඔබ ගැන - ලලිත කලා ලොව
අගයන ගැදි පැදි - රඟනා රැඟුමන්
දහසක් දෙනගේ - කලාකාමි සිත්
ප්‍රේමයෙන් රන්ජිත වෙන්නේ
සක්මන් මළුවේ පියුම් පිපෙන්නේ
අසම්මතයේ සම්මත වූ -
ඔබේ ප්‍රේමයේ සරා සඳ රැසින්

28 සැප්.2023

මේලොව තිබෙන සුන්දර හැම දේට වඩා

- කේ. රසංගිකා ප්‍රියදර්ශනී පෙරේරා - බණ්ඩාරගම

මේලොව තිබෙන සුන්දර හැම දේට වඩා - කේ. රසංගිකා ප්‍රියදර්ශනී පෙරේරා - බණ්ඩාරගම

මේලොව තිබෙන සුන්දර හැම දේට වඩා
මට හරි අගෙයි මගෙ දරුවන් තිදෙන කුඩා
තැලුවත් වේවැලෙන් වද දෙන විටදි හඬා
සිප සනසවමි යලි දෝතට රැගෙන වඩා

දලුලා වැඩෙන සේ ගස දල්ලෙන් දල්ල
නුඹලා පදින දිනයක දිවි ගඟුලැල්ල
නොතලා සිතුම් ගෙන දෙන සිත සැනසිල්ල
ලිහලා බලනු මේ ඔවදන් කවි මල්ල

නටු මත කටු නොවී තවකෙකු නසන විස
අතු මත පිපී හිනැහෙන් මල් කැකුළු ලෙස
දස අත විහිදුවොත් ඔබෙ ගුණ සුවඳ යස
මතුවට ඔබ වටී රට දෑ වැඩ පිණිස

හමනා සුලඟ ආවත් ගේ තුළට සැරෙන්
නවතා දමනු බෑ වැසුවට කවුළු පියන්
නොමනා සිරිත් ගති ආවත් මිතුරු වෙසින්
හඳුනා හෙළ සිරිත එය ගරු කරනු බැතින්

වතුරෙන් කිරි දියර වෙන් කරනා පරිදි
සිතුවිලි පවා නිබඳව යහපතට ඇදී
සිතුවොත් නගන්නට රටදැය දිරිය දිදී
මතු යම් දිනක දෙවියොත් ඔබ නමට වඳී

අවියෙන් සේම කවියෙන් ගිය රණබිමට
විරුවන් නිසයි රැකුනේ මේ සිහල රට
නුඹගෙන් රටට කිසියම් මෙහෙයක් නොකොට
නිකමුන් විලස මිය යන්නට එපා හෙට

දුසිරිත් අතර සුසිරිත් හඳුනාගන්න
හදවත් තුළින් ගුණ සුවඳම විහිදන්න
කළහොත් යමක් සදහට ලොව පවතින්න
මැරුනත් කමක් නෑ අද හැක සැනසෙන්න

නිසි ලෙස නිසි තැනට නිසි පාරෙම යන්න
ඇසිදිසි දෙයම සිහි නුවණින් විමසන්න
විසි එක් සියවසට රිසි උගතෙකු වන්න
කිසිදින එපා දහමට පිටුපා යන්න

කැලණිය විශ්වවිද්‍යාලය

Tears…

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර

𝒲𝒽𝑒𝓉𝒽𝑒𝓇 𝒶𝓂 𝒽𝒶𝓅𝓅𝓎 𝑜𝓇 𝓈𝒶𝒹.....
𝒴𝑜𝓊 𝒸𝑜𝓂𝑒 𝑜𝓊𝓉 𝑜𝒻 𝓎𝑜𝓊𝓇 𝒽𝒾𝒹𝒾𝓃𝑔 𝓅𝓁𝒶𝒸𝑒
𝐹𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈 𝑜𝒻.....
𝒦𝒾𝓃𝒹𝓃𝑒𝓈𝓈....𝐿𝑜𝓋𝑒....𝐿𝑜𝓃𝑒𝓁𝒾𝓃𝑒𝓈𝓈
𝒞𝓇𝓊𝑒𝓁.....𝑜𝓇 𝐻𝒶𝓉𝑒.....
𝒴𝑜𝓊.....
𝒞𝑜𝓂𝑒 𝑜𝓊𝓉 𝑜𝒻 𝓎𝑜𝓊𝓇 𝒽𝒾𝒹𝒾𝓃𝑔....
𝒴𝑜𝓊....𝒯𝓇𝑒𝒶𝓉 𝒶𝓁𝓁 𝑜𝒻 𝓉𝒽𝑒𝓂
𝒲𝒾𝓉𝒽 𝓉𝒽𝑒 𝓈𝒶𝓂𝑒 𝒮𝒶𝓉𝓉𝒾𝓃𝑒𝓈𝓈
𝒴𝑜𝓊......𝒟𝒾𝓈𝓈𝑜𝓁𝓋𝑒 𝒶𝓁𝓁 𝓉𝒽𝑜𝓈𝑒 𝓉𝒽𝑜𝓊𝑔𝒽𝓉𝓈
𝐼𝓃 𝓉𝒽𝑒 𝓈𝒶𝓂𝑒 𝓈𝒶𝓁𝓉𝑒𝓇𝓃
𝐻𝑜𝓌 𝒻𝒶𝒾𝓇 𝒶𝓇𝑒 𝓎𝑜𝓊
𝒴𝑜𝓊.....
𝒮𝒽𝑒𝓁𝓉𝑒𝓇 𝓉𝒽𝑒𝓂
𝐻𝒾𝒹𝒹𝑒𝓃 𝒾𝓃 𝓎𝑜𝓊𝓇 𝒷𝑜𝓈𝓈𝑜𝓂
𝒪𝓅𝑒𝓃𝓈 𝑜𝓃𝓁𝓎 𝓉𝒽𝓇𝑜𝓊𝑔𝒽
𝒴𝑜𝓊𝓇 𝑒𝓎𝑒𝓈....
𝒯𝐸𝒜𝑅𝒮.......
𝒟𝑜𝓃'𝓉 𝒸𝑜𝓂𝑒 𝑜𝓊𝓉....
𝒮𝓉𝒶𝓎 𝒲𝒽𝑒𝓇𝑒 𝒶𝓇𝑒 𝒴𝑜𝓊....
𝒜𝒮....
𝒩𝑜𝒷𝑜𝒹𝓎 𝒾𝓈 𝓉𝒽𝑒𝓇𝑒 .....
𝒯𝑜 𝓈𝑒𝑒
𝒜𝓃𝓎 𝒷𝑜𝒹𝓎'𝓈 ...
𝒯𝐸𝒜𝑅𝒮..

𝒟𝓇 𝑅𝒶𝓂𝓎𝒶 𝒜𝓉𝓉𝒶𝓃𝒶𝓎𝒶𝓀𝑒
𝒰𝓀𝒹𝑒𝓃𝒹𝓊𝑔𝑜𝒹𝒶,
𝒫𝑒𝓉𝒽𝒾𝓎𝒶𝑔𝑜𝒹𝒶,
𝒢𝑒𝓁𝒾𝑜𝓎𝒶..

ධීවරී ගීතය

සාගර පලන්සුරිය

හිමි ඔබ සයුර මැද රුදු සටනකය
රැයේ
පොල් අතු පැලේ මම තනියම වෙසෙමි බියේ
ඇතමුත් හුරු පුරුදු එඩිතර ගතිය
ළයේ
තරමක සැකයකිනි ඔබ අද සවස
ගියේ

අහසේ අදුරු වැහි කළු නගින
කොට
සුළගේ වෙනස මෙහි ගහකොළ කියන
කොට
ගෙරවිලි සහිත විදුලිය විදුලිය හඩ ඇසෙන කොට
හිමියනි මගේ හිත වාවනු බැරිය
මට

හබලට ඔබේ සවිබල අත රිදෙනවද
ඔරු කද උඩින් දළ රළ පෙල නගිනවද
සීතල සුළග රළුවට ඇග වදිනවද
හිමියනි වෙහෙස නිදිමත දෙක දැනෙනවද

ගොඩ බිම කොහහෙද නැති මහ මුහුදෙහි
ඇත
හිමි ඇත වෙහෙසෙමින් වෙහෙසී ඇත
දෑත
ඔබ නැති නිසා හිමියනි මේ ළග
පාත
සුළගේ මැකී යයි මගේ දුක්මුසු
ගීත

එළියක් පෙනෙන විට හිමියනි වෙරළ බඩ
නැතහොත් දැනෙනවිට ඔරුවක ඇදෙන හඩ
දෙ සවන වැටෙන විට කිසිවෙකු නගන
හඩ
මා නො දැනුවත්වම මම මගෙ දෙපය
උඩ
වැහි පොද මගේ හිමිගෙ හිස නො වැටේවා
මේ රුදු සුළන් රැළි රැළ පිට නොගැටේවා
පැද යන ඔරුව වෙත මසු කැල දැවටේවා
ලන ඇම ගිලින තරමට උන් රැවටේවා

ඔබ එනතුරා නැත මගේ සිත
සැනසෙන්නේ
මා ගැන නොවෙද හිමි මේ හැම
වෙහෙසෙන්නේ
සවස යාමටයි ඔබ උදයට
එන්නේ
මෙහෙමද ජීවිතේ දිගටම ගත
වෙන්නේ

ඔබ මහ මූද මැද තනියම වෙසෙන කල
සිහියට නැගෙනු ඇත මෙහි මා නිදන පැල
හිමියනි ඔබට මගෙ හදවත මිහිරි කළ
සැනසුම තිබේ මේ පොල් අතු කුටිය තුළ

කේයස් (සාගර පලන්සූරිය )

දුවනී…

සුදර්මා වීරක්කොඩි

නුඹ ගහක් වෙයන් දියනී
මුල් පොලවෙ ඉදන් පැමිනී
නොව වැලක් වෙලා වෙලුනී
තව පිහිටක යන සරණී

නුඹ ලිදක් වෙයන් දියනී
උල්පත් නොසිදෙන කරුණී
නුඹ ගගක් නොවී ගලනී
හැකි පවස සංසිදුවනී

නුඹ අහස වෙයන් දුවනී
නොව සදද කලක නොපෙනී
නොව එලිය දරන ඉරවී
හද,ඉරුද,තරුද දරනී

නුඹ නැවක් වෙයනි දුවනී
මහ සෙනග,බඩුද රැගෙනී
දුම්රියද, යාන ගෙනෙනී
මහ සයුර කළඹවමිනී

නුඹ ලියුමක් වෙනු දුවනී
හැම පරපුරටම ගැලපී
ආලයම අරන් යන්නී
ලොව සතුට ලියා දෙන්නී

අයාචනයක්

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

සිනාසෙන වලාකුළු
සුදු සේල ගලවන්න
අදුරු පැහැ සළු
පැළද ශෝකයෙන් බරවෙන්න
ඉරි තැලී බිම දැවෙන
දාහයෙන් මුදවන්න
කදුළු වැස්සක් ලෙසින්
මහ පොළව පොගවන්න

වැව් පිටියෙ නෙලුම් අල
සොය සොයා බිම් කොටන
කුස පොත්ත පිට ඇලුණු
පැටවන් ගේ කුස පුරන
මිහිරි පල ගෙඩි දරණ
රුක් වදුල මල පිපෙන
වළාකුල හඩනු මැන
කදුළු වැල් බිම දුවන

කිරි වදින කෙත් යාය
බොල් නොවී බිම බලන
වැව් ඉවුරු වාන් ගොස්
ගෙබි පැටවූ උඩ පනින
මියඇදුනු පැල පොඩිති
කොළ පාට වී දිලෙන
විදුලි රේඛා ඇදෙන්බි
යෙන් අහසම හඩන

පුංචි තිරයේ කඳුළු බිඳ

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම

භාරතයෙ රුවකි ඇගෙ සොමි වතෙහි රස මවන
මීවිතක වදන් හද කුළුණු මඳ නල හමන
රාවයක යශෝ දුන් හෙළ තිරයෙ සරු ගලන
දේවියක දුටිම් දම් මගක - මැද නිළි අඟන

පිය සෙවණ නුගරුකක ලෙසින් සවියකට රඳ
'ගුරුගෙදර' වෙළෙන කල සරසවිගෙ බැලුම් ලද
සිහිනයක තරු කුමරි රිදීතිර කැලුම් විද
වටිනවද කොයිතරම් පුංචිතිර කඳුළු බිඳ

මනු කතක රූකඩක දේවතා රුව අතර
බැඳි හුයක අසීරු ම චරිතයක පණ වතර
දියණියක හට මවක තරම් කා වෙද නතර
ගැළු ගඟක දිවිය ඈ රිදීතිර මත පතර

තනිකඩව මුත් සොඳුරු නිවහල්ව දිවි දුලන
තිළිණයකි විශ්වයේ එය ද ඔබ හට පිදෙන
හිරිහැරද විඳ ඛන්ති පාරමී පෙර පිරුණ
ජයකොඩිය ලෙළෙන රුව භවඉමේ අද දකින

ඔක්තෝබර් 28 වන දිනට ජන්ම දිනය යෙදෙන 'යශෝධා විමලධර්ම' නම් ප්‍රවීණ කලාකාරිනියට මෙම කවි පෙළ පුෂ්පෝපහාරයක් වේවා...!

කේ.පී.එස් සචින්ත්‍රා ✍️
හෝමාගම
ඉතිහාසය විශේෂවේදී ,
රුහුණ සරසවිය

අනියත දම් රස

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම

විදෙන හිරුරැස සොඳුරු අරුණේ
සිඳෙන සඳයම අඳුරු වැදුණේ
පිපෙන කුසුමක සුවඳ රැඳුණේ
පරව හැකිළෙන පෙති ද මිදුණේ

සිපෙන මඳනල සැඩව හැමුවා
ගලන ගඟුල ම විපත සැදුවා
නැගෙන දිය රැළි සයුරෙ බිඳුවා
දහම අනියත ලොවක රැඳුවා

සිනහ මව මව සතුට නැගුණා
කඳුළ එනමුදු යළිදු ඉනුණා
සෙනෙහෙ රඟදෙන අය ම ගැටුණා
ලොවම අනියත දහමෙ රැඳුණා

සසර බියකරු බවකි හැඟුණා
වෙළෙන කහවත සුවය දැනුණා
රසය විදසුන ඉවෙහි වැටුණා
නිවන මගමුල සුවඳ ඉහුණා

මිනිසත්බව

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

කඳුලු කඩා හැලුනේ නම් දුකට නොවෙයි

හද ඉකි ගැහුනෙ කිසියම් සතුටටද නොවෙයි

ලේ බිඳු හැලුනෙ කුඩු හම සිඳබිඳී නොවෙයි

කුනු හරුපයෙන් ඉපදුනෙ වෛරයම නොවෙයි

හමේ පාට තෝරන්නේ තමුන් නොවෙයි

තමකම කියන්නේ ලේ නෑකමද නොවෙයි

උදව් කරන්නේ හිතනා අයද නොවෙයි

නිගරු කරන අය මිහිපිට මිනිසුන් ද නොවේ

සුදුහම ඇති ඔක්කොම සුද්දෝද නොවෙයි

සුදුකම සුදුසුකම වී නොපෙනුනා නොවෙයි

සුදුමුදු හදක සුවඳක් නොදැනුනා නොවෙයි

මිනිසත්බව හොරු අරගත්තාම නොවෙයි

15/09/23

ආවෙ අද මම……යන්නමයි රැල්ල එක්කම

ෂර්මිලා බංදුනී දංවත්ත

ආවෙ අද මම.......
යන්නමයි රැල්ල එක්කම

මොනතරම් නම් සැඳෑවන්
ගෙවී යන්නැති ද මේ වෙරලත
මොනතරම් නම් පාට පාටින්
සාරි ඇන්දා ද අහස
මගේ සාරි පොට
ගෙල වටා ඔතාගෙන
සිසිල සෙව්වා මතකද
රවා බලමින් රාස්සිගේ අව්වට

මොනතරම් නම් මාලිගා
හදා දුන්නා ද
ඔබ මට වැලි මත
මමත් ඔටුනු පැළඳුවා
පෙණ කැටිති මත
සෝදාගෙන යන රැල්ල
ආවා....පමා වෙලා තව
එතකොටත් ගිලිලා
කරවටක්.....මම

සැබවින්ම මාලිගා තැනුවා
ඔබ මට නොදැනෙන්න
ගල්... වැලි.... බදාම
හයියයි හොඳට පාදම
නැව් නැග්ග කුමරියක්
එනවා ඔටුන්නට එතරින්ම

කුවේණිට විජය හමුවුණෙත්
මේ වෙරළෙම
බැහැ තවත්
දිසාලලා....
ජීවහත්ථලා.......
පරපුරක් තන්නට
එල්ල වන්නට පෙර
නින්දාවේ කඩුපත

ආවෙ අද මම.........
යන්නමයි රැල්ල එක්කම

The Glow

Shaun Dissanayake

Learn how to Glow.
Learn how to Grow.
Learn how to flow to the rhythm of the beat.
No matter the weather.
Sleet hail or Snow.
Learn how to Glow.
Learn how to Grow.
Smile at every given opportunity.
Give back to the community.
Tomorrow is never promised to us.
Thus in the present.
We must learn to Glow.
We must Learn how to Grow.
Like the Rose in between two thorns.
That rose to over come any adversities.
As we Glow we uncontrollably Grow for the greater good.
No matter what neighbourhood we are from.
Near or far.
We Glow like a shining star.
And Grow like a Rose.
as tomorrow is never promised.
Be kind and do good for rich and poor.

කපුටු සංදේශය – පුරවර වැනුම

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න

සුරපුර මිහිපිටට ගෙන ආ කොළොම් පුර
මනහර මග දෙපස හමුවන තුරු මහ සයුර
සිහිකර ණය කන්ද ගෑවෙන නිල් අඹර
අනතුර නොදුටු ලෙස නිති පියඹන් මිතුර

කසල නොපෑගී පය තැබු කැටයමක
විසල කන්ද දෙස නොබලව ගව් දුරක
කුසල වඩන පඬුරක් ගෙන තම අතක
අසල බෝ රුකක විකිණෙන පුරඟනක

කළුත් සුදු ලෙසට දැක විශ්මය මවන
තලුත් මරන ගිජුවට ඉහළම අසුන
සළුත් උනා එළි පිට කෙළියෙකි අඟන
අළුත්කඩේ විශ්මය මොණරුන් රඟන

කවර නරපතින් ආවත් නොම වන දියුණු
නපුර දැක දැකත් තව සිහියක් නොවුණු
දෙඋර මතට පටවන් ණය ගොඩ ගැසුණු
එපුර දනන් දූ කෙළිනා දෙස බලනු

මන්දිර පෙනේ බැස ගිය සඳ කැළණි දිය
රන් දහදියට හුරු නොමැතිය සැදුණු කය
කන් පිනවන්න රිසි ඝෝෂා කටුකමය
තුන් සක් රියෙක නැඟ බලනුව තුරුණු විය

ගිලුණු මත් රකුසනට ජය සිරිමය මෙකල
තැලුණු මල් කැකළු ඇත පසෙකින් නිසල
ගැලුණු කඳුළු අමතක කර සවස් කල
කුළුණු මතදි ගිමන් හැරව ලොව පතල

පැරකුම්බා හරවා වැසිදිය බතට
කර නින්දා එනිරිඳු කළ මෙහෙවරට
නියවන්නා දත කට මැති පිට රටට
උරුවම්බා සහලුත් එන නැව් තොටට

දිසා ගොසින් දියවන්නා කඳ ගලන
නිසා පිනට රස මසවුළු උන් බුදින
මුසා පරුෂ හිස් වචනම ඇසෙන තැන
අසා මිතුර නුඹ නොමගක නොයනු මැන

උසාවිය නිශ්ශබ්ද වෙනු !

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

උසාවිය නිශ්ශබ්ද වෙනු !

යමහලක් සේ උතුරා - සිත දවා හඬවා යළි නිවී යන
මතක සැමරුම් අතරේ - දිලී ඇවිලෙන පහන් සිල නුඹ
දවා අත්තටු මා ගිලන් කළ,
නීතියේ දෙවඟනට නොකියා - මිළට ගෙන නුඹ මගේ රන් බඳ
පතා මුවරද, තලා පරමල, - චිමිනියක් නැති පහන් දැල්ලට
පෙම් කළා අඳුරේ .....
තාවකාලික ස්වයංවරයක - වරා නිදි මා රතැසි මුහුණින්
කිරි වරා නැති පුතු දරා උර - සිපිරි ගෙට යන රියක අසුනක
උන්නු දා නගරේ ....
වැසූ නිලරිය කවුළු කළුපැහැ - යට මුවාකර පුරුදු දෙඅදර
නොහඳුනන්නිය වෙතින් ගැළවී - ලොවට යුක්තිය පසිඳලන්නට
නුඹ ඉගිලුණා රහසේ....
ගුගුරුවා මුළු උසාවිය මොරදී - මගේ වැහැරුණු දෙතන අතහැර
හඬද්දී පුතු මගේ උරමත, - ‘උසාවිය නිශ්ශබ්ද වෙනු’ යැයි
නුඹ හඬ නැගූ මොහොතේ...
සැණින් ගොළුවු මපුතු මුව දැක - උපැස් යුවළට මුවාවූ නුඹ
නැගී විනිසුරු අසුන තනිකර - ගියත් හනි හනිකේ
මපුතු හැඬුවේ නැහැ ඉතින් ආයේ .....

කළු සුදු වී

සුමිත්‍රා ආරියවංශ - මහනුවර

සුදු කළු හා සිත බැඳුණා නොගැළපෙනා බව හැඟුණා
නොමග නොයා සිටු මෙතැනා ඔවදන දී බැන වැදුණා
අගුලු දමා දොර වැසුණා අසරණ වී එහි රැඳුණා
බලමින බෑ දුක විදිනා හොර රහසේ ගෙන මිදුණා

ටිකිරි සිනා මුව කමලේ සිරි සිරියට කිරි ඉහිරේ
දෙගුරුනගේ නොමද සෙනේ හදවත උතුරා වැගිරේ
සුළග දිගේ එන පුසුඹේ රහස කනින් කන පැතිරේ
සනුහරයේ නොහොඳ සිතේ බැදි පවුරුද දැන් වැහැරේ

ඇරඹුමකට පයක් පෙරට නැවත දෙකක් පසු පස්සට
සැම යට විය මුණුබුරුගේ මුව බලනා හිත රිස්සට
දුකට නොවේ සතුට මතම කඳුළද රඳවන් ඇස් යට
මහ දෙදෙනා ගොඩ වැදුණා කළුවර කී ගෙයි අස්සට...

26.09.2023

මල්වන් දරුවන් සුරකිමු

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

ඔක්.01 දිනට යෙදෙන ලෝක ළමාදිනය
වෙනුවෙනි

කල් යල් බල බලා පසිඳුරු පහස පැතු
සිල් පද නොබිදිමින් සිත් අවපසට නතු
නිල් කැට මැණික් ගල් මෙන් මහ පොළොව සතු
මල් වන් ළමෝ පිපි මල්මෙන් රැකිය යුතු

ඇති මුත් කොතෙක් අග හිග කම් ඔඩු දුවලා
සතියෙන් දිවිය යහ මඟටම යොමු කරලා
නිතරම දැයට බැති දූ දරුවන් හදලා
ගති හුරු පුරුදු යහපත්,.දෙනු සිප් වඩලා

යන්නට නොදී දරුවෙකු හට වැරදි මඟ
සන්තකයටම ගෙන නිරතුරු සොයනු වග
පින් ඇති දූ පුතුන් සිවු දෙස ඇතත් හුග
සන්සුන් බවෙන් ගිලිහෙන ඇත කරුණු ළඟ

දන්වා නොදන්නා බව මතු උරුම පවා
ගන්වා වැරදි පිළිවෙත් දරුවනට පොවා
පෙන්වා සෙනෙහසක් ළැමැදෙහි නොමැති මවා
ගෙන්වා ගනිති දුම්වැටි දූ පුතුන් ළවා

හිංසන වලට ලක්වෙන කැකුලියන් කුඩා
දැල්වෙන මහා ගිනිදැල් මෙන් වැටෙන හඬා
දිස්වෙන අයුරු දින දින සිත් කරන විඩා
පත්වෙන බවමැ පෙන්වයි දැය වැටෙන කඩා

කවරෙකු වුවත් තිරිසන් ගති පිරුණ ලොවේ
තවෙකෙකු කරන වරදක් නොහදුනන ලොවේ
කිසිවෙකු වුවද පෑ ජඩ ගති දුටුව මුවේ
දරුවෙකු කියන්නේ මහ මිනිසෙකුට නොවේ

අත රැදී ලොසින්ජර මෙන් මත් රුදුරු පෙති
ඇත අද සතර කොණ පාසල් බිමෙහි පැති
කැත මිනිසුන්ගේ මේ වැඩ මුදලටම ගැති
චුත වෙන දිනක් ඒදැයි කුකුසකිය ඇති

කටමැත නොදොඩමින් ඇස් ඇරගෙන ඉදිමු
රටකට උරුම සම්පත ගැන නිති සිතමු
වැට කොටු කෙසේ හෝ සැම එක්වී බදිමු
හෙට ගැන සිතා අද දරුවෝ රැක ගනිමු
===============================

ප්‍රවීණ නිවේදිකා රම්‍යා ශ්‍රීයාණී පතිරන සමුගැනීම වෙනුවෙනි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

රත්තරන් සඳක් සේ
මහගෙදර නිලඹරෙහි
දිදුලමින් රැදී සිටි
සහසකුත් සවන් පත්
හරැති බස් වහරකින්
නිරතුරුව පහන් කළ
සීදේව් දයාව්ය
රුවැති මල් කුමාරිය
දැයෙන් සමු ගත්තාය

රම්‍යා ශ්‍රීයාණී වැ
නමින් ඈ සිත් දිනූ
ගුවන් සර ව්හිදමින්
හඬින් මෝහනය කළ
රසික සිත් සුවහසක්
හෙටත් ඔබ ගැන සිතා
සුසුම්ලනු නියතමයැ

කවිය ගීතය සේම
නාට්‍යය රංගනය
අඩු වැඩිව පහස ලත්
මේ කලාවේදිණිය
අද ගුවන් තල පුරා
විටෙක නන්දොඩවමින්
ගිරා පෝතිකාවෝ
අමු අමුවෙ බසැ මරණ
අච්චාරු ගොහොරු වල
එරී මඩ පත්ල වල
කෑගසන අයට නම්
ඇගේ මුදු වදන් හඬ
අරුත් රසයෙන් පිරුණු
තවත් කාලෙකට
අමා පැන් පොදක් වෙනු
බවමැ සක්සුදක් සේ
නියතමයැ මතු මතුත්

වසන්තය ගෙවී………

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

හරිත පත් නෙක මලින්
සැරසි රුක් ඉවුරු බද
දකිනු රූ සිරි සොබා
නැවෙති වැව් දිය මතට

මල් හැලී පත් සිඳී
නග්නවී අතු පතර
නොමැත තුරු එබෙන්නේ
සීත වැව් දිය මතට

කාලයේ ඇවෑමෙන්
සැනසේද මහලු සිත
වැහැරි වත නරඹමින් නෙත් යොමා කැඩපතට
සුනිල් පෙරේරා ලින්කන්ෂයර් එක්සත් රාජධානිය

නතර වෙමුද රන්කොත් වෙහෙර ලඟින්

සමන්මලි සේනානායක - එක්සත් රාජධානිය (ගී පද රචිකාවී)
යනවිට දිනක් තන්ගලු   පුරවරය     උඩින්
හැරුනා උස්වැවට මග ගිම් නිවන් තුටින්
දුටුවෙමි රන්කොතක් ඈතින් දිලෙනු නිතින්
නොදැනිම නතර වුනි රන්කොත් වෙහෙර ලගින්
දුටුවා දා ගැබෙහි අසිරිය මගේ නෙතින්
දැනුනා මමත් පින්කර ඇති බවක් නිතින්
සිතුනත් පුදන්නට සුදු මල් දා ගැබක් උසින්
පිදුවා සිතින් මල් දහසක් පැහැදි සිතින්
සිටියලු සුර්ය රජු එබිමේ බොහෝ කලින්
කියවෙයි මුතුන් මිත්තන්ගේ වදන් නිතින්
දුටුවා පැරණි වැවෙ මල් දා ගැබ අසලින්
ගෙනදේ සිසිල බෝ සමිදුන්ගේ සෙවනින්
පින් ඇති නිසා වැන්දා රන් වෙහෙර සොදින්
දෙවු බබු වඩිනවා නිසකැයි එබිමේ නිතින්
දැල්වෙයි පහන් වැටි දහසක් මලුවේ සොදින්
පින්කර ගනිමු වැද රන්කොත් වෙහෙර නිතින්

උදුම්බරා කුමරිය සහ විරැකියා කුමරා

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර

තස්සලාවෙ දස්සම සිසුවට උරුම
රට්ටු කීවෙ කුලපති දියනිය කදිම
බොක්ක දෑවෙ මඟ දා එන්නට බැරුව
මගට ආවේ මහ පොල සතයක් නැතුව

දැනගත් කවි සිලෝ නාටක පලක් නැති
අහගත් හරුප ආටෙක් වි නිමක් නැති
සෙව්වත් දිවි මගක් දෑතේ හුරක් නැති
තෙදවත් juki හිමියෝ දොර වසා ගතී

දෝලාවෙන් මිසක මග තොට ගමන් නැති
සන්තෝසයෙන් නොව කුමරිට කොතෙක් හති
කන්තෝරුවේ පුවරුවේ vacancy නැති
පින්තාලියෙන් ඈ තොල්පට තෙමා ගතී

දෙපා ගෙව ගෙවා මග තොට එන අතර
අපා දුක් දැනේ ඈ සුසුමන් නිතර
සපා කන දෙපාවෝ මග තොට පොකුර
උපායක් සොයයි ඔහු රක්නට සොඳුර.

අප්පා රජ සබේ තුන්‍ යම, මුර රැක්කා
කුප්පායමේ අඟනක රු සිරි දැක්කා
සුප්පා දේවි අම්මා සගවයි ඉක්කා.
සප්පායමට අන්තිම හරකත් ව්ක්කා

ගමට ගියා වපුරන්නට බිමක් නැති
කවට කතා මිස දිරි දෙන එකෙක් නැති
"පවට පින් කොහෙද" බණ පොත් පෙරා දෙති
සැපට හැදුන අඟනක් දන් සැලේ කතී

මගින් මගට යස යස නෙක කඩ පේලී
ඇසින් මිස සලෙලු නොදොඩන දිග හෑලී
තැනින් තැන පෙනේ take-away කඩ ලෑලී
දුකින් බලා සිටියෝ උන් කට වේලී

සැවැන්දරා සුවදයි වීදිය දිගට
"උදුම්බරා spa " පුවරුව හැඩට
ඉගිත් මරා සලෙලුන් රිංගයි ගුලට
අමුක්කරා විකිනෙයි රන් මසු මිලට

අවුල් නෑ යනෙන්නෝ ඉහ සුදු නඩය
කුසල් සිතැති පෝයට අට සිල් හැඩය
දවල් මිගෙල් රෑ දනියෙල් බඩ තඩිය
වවුල් දොර පෙනේ පා සැලෙනා සැටිය.

Monsoons

සන්දු ජයසිංහ

Passion-fruit, monstera and coconut monsoons,
A waterfall at the edge of clay roof tiles; pours.
Terracotta, my skin if I could ever blush, deep red.
Terracotta, clay, mud, earth melted in puddles.

Applause of raindrops splatter on lush leaves,
A dance of green shapes, to the beat of the wet breeze.
The warm smell of milk tea, and evaporating sunshine.
The cold wet feet marked a dance of seasons; monsoons.

Mango shaped footsteps darkened on terracotta tiles,
A trail of memories of a little girl who only knows
Clay, mud, earth, puddles, shaded verandas and milk tea
A mud coloured girl in her own mud coloured world.

Now it's just the English sky even on a good day,
Grey skyscrapers, darker grey roads between them
And the gloomy threats of a thunderstorm,
Always numbed down with a light drizzle, like TV static.

A mud coloured girl in a sad grey world,
"thunderstorm ASMR" on Spotify's most heard.

පොරොන්දු

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

අහස ඉර හඳ පවතිනා තුරු
එකට ඉන්නම් කිය කියා ඉඳ
දවස ආ දා වරම් අරගෙන
සරසවියෙ දොර යදම් බැමි බිඳ
දිවැස ඇති අයටත් හොරෙන් ගොස්
වලාකුළකට වැසුණි පුන්සඳ
දහසකුත් තාරුකා තව ඇත
ඔබ කොහේ නම් ඉන්නවද ළඳ

නිවනට සූදානම්ද ?

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

(කවියට ආදර්ශය - ලෝවැඩ සඟරාවේ " සෙත්සිරි දෙන මහ ගුණ මුහුදාණන්)

දනකට පිනකට මැලිවෙනවානම්
අනුනගෙ දානෙත් වලකනවානම්
දීමෙදි අත්දෙක වෙව්ලනවානම්
කිසිලෙස නැත නිවනට සූදානම්

ඇති දෙය තනියම වළදනවානම්
බඩ කට පුරවා නිදියනවානම්
අන්සතු සැපතද වලකනවානම්
තවමත් නැත නිවනට සූදානම්

සිල්වත් අයහට ගරහනවානම්
ධනයට බලයට තැනදෙනවානම්
තනතුරටම කෑදර වෙනවානම්
නිවනට නම් ඔබ නැත සූදානම්

මව්පිය ගුරුවරු නොතකනවානම්
බිරිඳට නිතරම වදදෙනවානම්
සැමියට සැමවිට ගරහනවානම්
නැත නැත ඔබ නිවනට සූදානම්

ධනයෙන් බලයෙන් ඉදිමෙනවානම්
කෝපෙන් හදවත රත්වෙනවානම්
මිසදිටු අරගෙන හැසිරෙනවානම්
තව නැත ඔබ නිවනට සූදානම්

පොදු දේපල වනසා ලනවානම්
ජාතික දෙය සූරා කනවානම්
රටකට හිමි දෙය වලකනවානම්
සැප දෙන නිවනට නැත සූදානම්

මිනිසුන් දුටුවිට ඔරවනවානම්
අනුනගෙ සැපතෙදි පුපුරනවානම්
විපතෙදි දැඩි ලෙස වැළපෙනවානම්
උත්තම නිවනට නැත සූදානම්

අනෙකා පාගා දුක් දෙනවානම්
උඩගුව මානෙන් හැසිරෙනවානම්
කිතුගොස ලැබුමට දඟලනවානම්
සුමිහිරි නිවනට නැත සූදානම්

සසරින් යන්නට සැරසෙනවානම්
මඟ සැලසෙයි ලොබ දුරලනවානම්
තව තව සැපයට ගිජු වෙනවානම්
නිවනෙහි ගමනට නැත සූදානම්

පර පණ නසමින් තුටුවෙනවානම්
අන්සතු දෙය අරගෙන කනවානම්
ගුණ දහමින් පිරිහී යනවානම්
කෙලෙසද ඔබ නිවනට සූදානම්

කාමයෙ වැරදිව හැසිරෙනවානම්
බොරුවෙන් දිවියම ගෙනියනවානම්
මත් රකුසට ඔබ යටවෙනවානම්
තවමත් නැත නිවනට සූදානම්

සිත් තුළ ඉසිකෝ පුරවනවානම්
සුන්දර දිවියට හරි අවදානම්
පින් කරමින් කුසලුත් වඩවානම්
නිවනට යන්නට ඔබ සූදානම්

කරුණා මෙත් සිත් පැතිරෙනවානම්
ආදර සිතුවිලි විසිරෙනවානම්
පිරිසිදුවී සිත දිලිසෙනවානම්
අද අද නිවනට ඔබ සූදානම්

ඉවසීමේ ගුණ වැඩි වෙනවානම්
පරසතු සැප දැක තුටුවෙනවානම්
දහමින් පිරි සිත බැබළෙනවානම්
අද වුව නිවනට ඔබ සූදානම්

මෙත් බැඳ සැමටම සලකනවානම්
මන් බිඳ සම සිත් යොදවනවානම්
දුක් කඳ නුවණට වැටහෙනවානම්
සන්සිඳවන නිවනට සූදානම්

ප්‍රේමයේ මළ ගමන්…

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම

මඟතොටේ හමුවෙතත්...
හුස්ම වැටෙනා මළකඳන්...
කවුරුවත් දන්නෙ නෑ
කෙසේ සිදු වුණේ දැයි
ප්‍රේමයේ මළ ගමන්...

(මරණය සමඟ රමණය සහ තවත් කෙටිකතා කෘතියේ මකරන්දය කතාවෙන්...)

අඳුර සමග නුඹ ආවද පරවුන සිත් සනසවන්න
අරුණ රැගෙන නුඹ යනවද නොපිපි කැකුළ පුබුදුවන්න
සාංකාව පිරි නෙත් යුග වත්සුනු යට සගවන්නට
කොමල සිනාවන් මැව්වද නොතෙමුනු හද තෙමාලන්න

අඳුරු පාලු වීදි පුරා - අනඟ බඹරු සරන රැයක
පෙරුම් පුරා ආ ගමනක - බෝසත්වරු සොයනවාද
දෝරෙ ගලා යන සෙනෙහස - සඟවනු කෙලෙසක ලය මත
ලැම තාලෙට නැලවිලි ගී - ලොවට හොරෙන් ගයනවාද

මලක් විය නුඹත් තුරු මත - සුවඳ දී පිපී හිනැහුන
බිඟුන් නොව බඹරුන්ට - පහස වී තැලී විසිරුණ
මතකයේ කදුළු බිඳු පෙති තලන හැම රැයක
කියා දෙනු හැකිද මේ ලෙස - පරව ගිය සිහින කුමටද ...?

අප්‍රකාශිත අපේ පෙම්දම

තනුලි ශ්‍රීවර්ධන - ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

බිදුණු හීන මතකය
හීන අලුවුණු දවස් මතකෙට
එනවා මගෙ සිත රිදුම් දී
බිදුණු හිත මගේ යළිත් පෑරු
ඔබව සිහියට නැගෙද්දි

සොදුර ඔබ මගේ රිදුණු හිත ළග
සදක් මෙන් මට මැවෙද්දි
නැවත සිතුනා මගෙම වේ දැයි
පාලුවේ මා සිටිද්දි

අප්‍රකාශිත අපේ පෙම්දම
මතක හිත මා පෙලද්දි
සුසුම්ලන මගේ හදේ ගැස්මත්
මටත් ඔච්චම් කරාවි
හීන අලුවුණු දවස් මතකෙට..

පොත්

තිලිණි ලක්ශාන්ති - මහනුවර

සිත් දකින්න නෙත් දහසක්,
රස විඳින්න සිත් සහසක්,
ඈත යන්න පියාපතක්,
දෙයි පොත් මට රස ගඟුලක්,

හෙමින් කියා දී ජිවිත මග,
නැගිටින හැටි වැටුණු තැනින්,
කඳුළු මකන හසරැල්ලෙන්,
තලය මවමින් අකුරෙන්,

දහසක් මැද තනිවෙන හැටි,
තැවුල් මැදින් හිනැහෙන හැටි,
වැටි වැටි යලි නැගිටින හැටි,
කියා දෙති පොත් හරි හැටි...

තිලිනි උත්පලා ලක්ශාන්ති,
මහනුවර.

අඟුටුමිටි අම්මා

තුෂාරි ජයසිංහ - මහනුවර

යෝධ යෝධ ගලිවර දරුවන් මැද
කුඩා ලිලිපුට්ටෙක්
අද ඉපදුනා වන් ළදරු
දියත ගැන කිසිත් නොදත්

මන්දාකිණි ගණන් දුක් දරා
බවුසර ගණන් කිරි දුන්
කැලේ කොලේ අත ගා
ගුණවත්ම දේ සෙවූ

තරු පහේ හෝටලේ
මෙනුපත ඉදිරියේ
අසරණව වටපිට බලන
කුරා කුහුඹු ගැහැණිය ඈ

තක්සලාව මතු සරසවිය පීරූ
එහෙත් නොදන්නා නොදරු
ලාමක සිතැත්තී ඈ
ළපළු සේ සුළඟට වැනෙන.

තමා සන්තක වත්කම්
දන් දිදී වෙස්සන්තර සිතින්
වැරහැලි ඇඟලාගත්
කිළිටි ගැහැණිය අපුල

අසරනව හිඳින කුඩා ලිලිපුට්ටෙක්
ගලිවරයන්ගෙ පයට පෑගෙන.
ඉපදුන දා සිට මියෙන තෙක්ම
කාටවත්ම සේවයක් නොකළ

ඈ.....

ආනන්තරීයයි මව්පියො හැර යාම

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එක්සත් රාජධානිය

මානන් සිටින ලෝ නෙක විසිතුරු බෝම
බානෙන් බැදී ලුහුබැද යන තුන් යාම
පායන් පුන් සදත් ගොලුවී නොකියාම
ආනන්තරීයයි මව්පියො හැර යාම

අහසින් වැටෙන පින්නත් ලා දම්පාට
රහසින් වගේ කොදුරයි නොහැගේ කාට
දහසින් බැදි පියලි නැතිවත් එන දාට
මහසෙන් නුඹයි හිස කිරුලක් නැතුවාට

වැලට ගසම මිස පල නැත උර දුන්නේ
විලට දොලම මිස නෙලුමද දිය දෙන්නේ
මලට වඩා රැකගත් උන් කොයි ඉන්නේ
කලට වැදූ තනිකම දෝ මුමුනන්නේ

නාම පද / ක්‍රියා පද

උද්‍යා මාධවී

වෙරළක්,
මුහුදක් වගේ
රැල්ලකට පුළුවන්ද
නාම පදයක් වෙන්න ...

මොහතකට ඇවිත් යන
ක්‍රියාවක් වනු මිසක...

හුදකලාව

උදයංග අමරසේකර - ප්‍රංශය

හුදකලායෙමි
මම මගෙ කවි
ඔප දමමින් සිටිමි
දවස දිගු ය

මහා ජපාන කවි
කියෝෂි තකහමා
(Kiyoshi Takahama, 1874-1959)

අනුවාදය :
උදයංග අමරසේකර
ප්‍රංශය

නුඹ නැති හෙට දින

උපාලි අත්තනායක - මහනුවර

නුඹ නැතිව මා හෙට දිනේ
ගෙවන්නේ තනි පාලුවේ
කෙසේදැයි මට සිතීමට
නොහැක මොහොතකට වත්

හිරු බැසයන්නේ සඳ බැසයන්නේ
අඳුර වැටෙන්නෙ මට නුඹ සිහිවෙන්නේ
නුබ ලොව හැර යන්නේ නුබ මා හැරයන්නේ
නුබ නොපෙනී යන්නේ මා තනිවී ඉන්නේ

මා සිතුවේ නැහැ නුඹ මා තනිකර
පාලුව රජකරවයි කියලා
නුපුරුදු තනිකම අද මට දැනිලා
සිතුවිලි අතරේ අතරමං වෙලා
සිතට නැගෙනවිට නුඹ ගැන සිතලා
නුඹ සෙවනැලි මා ලඟ මැවිලා

තේරුම් ගෙන නුඹ මගේ ආදරේ
අඩුවක් නොකලා නුඹේ ආදරේ
හදවත පතුලේ දිය උල්පත සේ
බැඳි සෙනෙහස මා හට ලැබුනා

මහනුවර
පෙතියාගොඩ

මාවතේ ගැහැණිය

විදර්ශා පතිරත්න - කොබෙයිගනේ

මිනිස් වෙස්ගත් රාග ගින්නෙන් දැවුණු ඒ පව් කඳට යටවී
මාවතේ අගුපිලක මහ රෑ බියෙන් ඇළලී සළුව ගිලිහී
දෑස් කඳුළින් බොඳව යද්දී වෙර සිඳුනි යා නොහැක ගැලවී
පව්කාර ගැහැණියක් දුටුවද හිනා වූවා ලොවක් වටවී

ප්‍රේමයෙන් තොර වියරුවක් වූ සල්ලාල රංගනය නිමවී
පුතේ නුඹ මගෙ කුසට ආවේ ඒ ලෙසයි මම හිටියෙ බියවී
දිවිය ගෙව්වෙ මමත් තනිවයි කොහේ හෝ අගුපිලක ගුලිවී
ඒත් රන්කැටි පුතා නොයවමි දෑස් මානෙන් ඉඳින් නොතැවී

විල්ලූද පටසේල නැතුවට සිනිඳුවට ඔය ගතේ දැවටී
ඉදින් නැලවී මයේ පපුවේ ගලන ලේ කිරි කඳුළ රසවී
දෑතේ වෙර සිඳෙනකම් රකිනෙම් රාජ මාළිග නැතත් ඉදිවී
සිප් සතර දී එතෙර කරනෙම් මිටින් නොහරිමි ලොවට බියවී

සංසාර දිවිමගේ ආවද මගේ කුස ඉල්ලාම නොතැවී
මතු මතුත් නුඹ නමින් සෙනෙහෙන් තියේවී මේ යහන ඉදිවී
මහාමායා නමට පුදදෙන ලෝකයක් ගැරහුවත් වටවී
මමත් අම්මෙක් නිගා දුන්නට නුඹෙන් ලැබුවෙමි උතුම් පදවී

සංවේගයෙන් දැනුම් දීමයි…

වෛද්‍ය වරුණ ජයසිංහ - එක්සත් රාජධානිය

සරත් කල අග විඩාපත්
වනස්පතියක් වයස් පත්
සමු දී වෙත සිය තුරු පත්
කෙඳිරි ගා මිහි මතට බර වෙත්

වට පිට රැස් ව ගත්
තුඟු තුරුණු තුරු හිස්
හෙලමින් කඳුළු පිණි පත්
ඉඩම හිමිකර ගනු වැ වෙහෙසෙත්

උකටලි ව නිදි ගත්
බිජුවට ද රිජු වී බලත්
දැන තම කල ආ පවත්
වෙලෙවි ව අතු පතර විහිදා නැඟ එත්

පැමිණෙත කල වසත්
පලා පැහැයම යලිත් රජ වෙත්
දිරා බිම වැද හොත්
ගස මැ, නව ගස් හට පොහොර වෙත්

සක සක සැක

වජිර ජයවර්ධන

සැකය කියන්නෙම
වයිරසයක්
පැටව් දමමින් බෝවෙන
කොරෝනාවක්
කතා කරන්න බැරි වෙන
උඟුර ගොළු වෙන
දෑස තෙත් වෙන
මරණ බය ඇතිවෙන
කොටින්ම උන් හිටි
තැනද අහිමි වෙන
මාරාන්තික වයිරසයක්

බලන්නේ බත
පේන්නෙ හොද්ද
බෙදන්න ගියත්
දැනෙන්නෙ අමුතුවට
අත ඇල්ලුවත්
ඒකත් ඉතිං හරහට
බැලුවත් වැරදි
නොබැලුවොත්
ඊටත් වඩා වැරදි
සක සක උපාසක
දෙක දෙක ගණං හදන
අමුතුම එකකි
සැකය.

පිඟන් පියන් තඩිබාමින්
සක් නාද කරමින්
මේ ඇඳෙන්නේ
කස පුපුරන හඬ සහිත
පෙරහැරක් වන බව
දන්නේම

අමු අඹ
ලුණු නැතුව
අමුවෙන්ම
කෑ අය විතර මයි
තවම ඒ දෙස
බලා සිටිනා අයට
පෙරහැරේ සොඳුරු බව
එළෙසින්ම විඳිය හැක

දත් හිරි වැටෙන තෙක්...

ඔයා එන්න අපිත් එක්ක
පොඩි බේබිට තනි රකින්න
ඉස්කෝලේට උනත් යන්න
අපි කැමතියි උදව් වෙන්න

එහෙම කියා එක්ක ඇවිත්
ආල කතා හුළඟෙ ගොසින්
රම්‍යලතා කියන නමත්
සෝමා කියා කලා වෙනස්

ලොකු බේබිත් රට හැරගොස්
මට පමණයි සියළුම දොස්
කිසිම දෙයක් නොදුටු විලස
හිරු දෙවියොත් දිගු ගමනක

තැවුල් ගෙනෙන සඳ

වාසනා පයාගල

පුර වීදි එකලු වී සදෙව් ලොව මැවීලා
පුර දනන් තුටු රැවින් සවන්පත් පිරීලා
පුර'ඟනන් රුසිරු ගත නුවන් යුග පැටලිලා
පුරාහඳ පුර අහසෙ ඇත අතරමං වෙලා

එදා සේකර දුටුව නිව්යෝර්ක් සඳ නොවේ
අමරසේකර දුටුව සඳේ මායම් නොවේ
මෙදා ඇඩිලේඩ් සඳ මවන රස එය නොවේ
මව්බිමේ ඈත ගම්දොරක සෝ තැවුල වේ

පෝදාට සුදු වතින් , සුදු සිතින් පුදන්නට
සඳ එළියෙ සෙවණැල්ල යටින් පා නඟන්නට
බෝ මළුවෙ රූ රටා කවි හැඟුම් මවන්නට
පිරූ සිත කෝ කවුද සොරාගෙන ගියෙ දුරට?

ඉපල් තුරු දෑත් පිළිසරණ අහසින් යදියි
හිරුත් හොරැහින් බලා නොදුටු ගමනක යෙදෙයි
වැව් පතුල ඉරිතලා හද සුසුම් පොද හෙළයි
දිරි සිඳී රන් ගොයම ගිලන් වී වැතිර යයි

ගුරු අණින් ලියන්නට රචනයක් ඇත පොතේ
' කෙතක අසිරිය ' එයයි වදන් වැල් පැටළෙතේ
දෙවේලක් නොපිරු කුස සටනකය හාමතේ
මව මැවූ සුබ සිහින බොඳව යයි දරු සිතේ

දිය නිලන වැව් තලේ ඕලුමල් පිපෙන්නට
වන රොදෙන් වන රොදට තුටු රාව නඟන්නට
ගොවි බිමේ මිලින වූ පැතුම් පණ පොවන්නට
ඔය බැල්ම ලන දිනේ සක් රජුනි කියන් මට.

කන්ද

වෛද්‍ය වත්සලා කන්නන්ගර

කන්දක් කියන්නේ ම ඉවසුම
වින්ද දුක් නොපෙනෙන්න සැඟවුම
හුස්ම බව ඔබ නිම්නයට නොකියුම
මැරෙන තෙක් හිස බිමට නොහැරුම

නැබ ගැඹර ලෝදියක කැලඹුම
නිවූ සිහිලැල් දිය දුරක ඇරඹුම
කිව්වා නාහන ගඟ
මුහුදට ම වග
දන්නා වගත් සැඟවුම
කන්දක් කියන්නේ ම ඉවසුම

මුහුදු හතකට එහා දුර දැක දැන
සුමුදු නැති මඟට ම ගඟක් හැරවුම
මුදු කොට රලු ම ගල්
සරු කොට වියලි ගම්
ඇදෙද්දී ගඟ දිය
ලොක්කි ගැන බය නොවෙන්නයි
අම්මාට පැවසුම

සොයා ගිය පසු මුහුද
එපා කිව හැකි ද කරදිය ?
මෝය මෙපිටට නොගෙන ලුණු දිය
ඉන්න හැටි දන්නා ගඟට මතකයි
කඳු ඉගැන්වූ විදිහ

බුලත් විට සැපූ දෙතොල'ඟ
රැඳුනි කවි ,ගී, ශ්ලෝක
උසස් අටලෝ දහම දත් නිසා නුඹ
කළ ද අත් හැරුම
සොහොන් කොත ලා දවා
අළු දුම් දූලි මැද ලූ පසුව
එහෙත් කන්ද ම පමණි
දුවකගෙ රහස් සිහිළැල් දහම