ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සම්භාව්‍ය ප්‍රේමය

සම්භාව්‍ය ප්‍රේමය

කෞශල්‍යා ජයලත්
2024-March

ඔව්
අපි
බොළඳ නැති
බොහොම බරසාර සම්භාව්‍ය මිනිස්සු
ඇත්තක්
ඒත් ඔයාට තිබුණා
ලෝකෙට හොරෙන් හරි මට දෙන්න
අඩුගානෙ දාස් මල් පෙත්තක්

ගඟක් වක්වන තැන
තමයි සුන්දර ලොව ම කිව්වත්
නැවෙන, පෙරළෙන, බිඳෙන තැන්වල
රිදෙනවා ගඟේ හිතටත්
ඒක කවුරුත්
දැන දැන ම සඟවන සත්තක්

කඳුළු දිය කර සඟවා ගංතෙර
ඉවසුම් ඉවර නොම කර
නතර නොම වී ගඟ ගැලූවත්
ගඟත් ආසයි දවසක්
නවතින්න දූවක
ඔරුව හා සවසක්

වෙන් කර දූපතක නැවතුම්
අණ කර රතු රෝස සැරසුම්
සන්කර ගඟ ආස මසවුළු පිසුම්
සිහිකර පෙම් කෙරූ කළ මී පිරි සිපුම්
නිහඬ කර ඔරුවට එන ඇමතුම්
නිදි කර දුර බණුවෙ විමසුම්
නිවා සඳ තරු රහස් පැවසුම්
දල්වා ඉමිහිරි ඉටිපන්දම්
සියල් සකසා ගඟට රහසින්
අල්වා ගඟෙහි ඉඟ අදරින්
“ස්තූතියි මාව ඉවසනවට
ආදරෙයි මාව නළවනවට”
හාදුවක තවරා කියමින්
ගඟ විස්මපත් වනයුරු නරඹමින්
සැනසුම් තොස විඳින පැතුමන්
අනේ ඔරු හිත ජනිත වේ නම් !

අනේ ගඟටත් එකමෙක දවසක්වත්
මඳක් නවතා ගැලුම , පෙරලුම
ඔරුව තුරුළේ සැතපෙන්න තිබුණා නම් !
” ආදරෙයි අතරමඟ දූපතක නොනැවතී
කරදරකාර ගඟක් එක්ක
මේ තරම් දුරක් ආවට ”
ඔරු බඳට වාරුව කොඳුරන්න හැකි වී නම් !

ඒත්
අපි
බොලඳ නැති
බොහොම බරසාර සම්භාව්‍ය මිනිස්සු
මේක කොහෙත් ම නොවිය යුත්තක්
මේ කවිය පවා නොලියා
හද බිතෙහි ගැඹරෙම සඟවා
මතක බණ කියා මිහිදන් කරවා
නොසලකා හැරිය යුතු පැත්තක්