ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවසන් හුස්ම

අවසන් හුස්ම

අනුරාධා ගුණසේකර - හොරණ
2024-March

අපි දෙන්නගෙ සතුට මතකද
ඔයා කැන්දන් ආපු දා
සසර හමුවක් කියා කිව්වා
සුදුහාමිනේ මට ළං වෙලා

එදා ඉදලා නුඹගෙ සුවදින්
මුළු ගේම ඉතිරී ගියා
හුගක් අඩුවා වැඩට යනකොට
නිවාඩුව අවසන් වෙලා

හුස්ම නොගෙනම එදා ඉදලා
මහ පාන්දර නැගිටලා
ඔතා දෙන බත් ගෙඩිය අරගෙන
හදිසියේ පිටවී ගියා

සති අන්තෙ ඕටී වැටෙනකොට
ඔයත් කට පියාගෙනම හිටියා
අපිට අපි මගහැරි හැරී
සති මාස ගෙවිලා ගියා

සුදූ හාමිනේ අපිට නොදැනීම
අපිට අපි මඟ ඇරි තිබුණා
හැල්මේ ඔහේ දිව්වා මිසක්
සතුට අපි හැර ගිහින් තිබුණා.

කාලෙකට පසු පෙරේදා මම
ඔබගේ සුන්දර වුවන දුටුවා
සිනිඳු යහනක නිදහසේ
මගේ සොඳුරිය නිදා සිටියා

දින තුනක් නිදිවරාගෙන මට
ඔය මුහුණ දෙස බලා සිටියා
සදහටම ඔය රුවත් අරගෙන
මගෙන් ඈතට ගිහින් තිබුණා

ගොඩක් දේවල් හිතේ තිබුනා
කියන්නට ළගටම වෙලා
ජීවන අරගලේ මැද
තිස්පහක් අවුරුදු
අපට නොදැනී ගෙවිලා තිබුණා

බලං ඉඳලා ඔයත් යන්නැති
කඳුළු හිත යට තද කරන්
මහන්සියි දැන් මටත් හරියට
ළඟදීම එනවා නුඹ සොයන්