ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Nov 2023

දස අත කථින පින්කම් වෙන වෙලාවේ
සරතිය ලන්ඩනයෙ හොල්මන් කලාවේ
ඊයේ ගතවුනේ හැලොවින් නුරාවේ
ජීවත් වෙලා අවසන අපි මලාවේ

- අනුර
Image:Daniel Lloyd Blunk Fernande

2023 නොවැම්බර් කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 107 කින් ඔපවත්වීී ඇත
  1. දිය කිඳුරිය සේ අමිතා පද්මකුමාරි
  2. පියාගේ අනියම් පෙම්වතියට බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව
  3. ඉතිහාසයත් ගොළුයි ආරියරත්න ජයසිංහ - මහරගම
  4. ගාසා තීරය. ආරි ලියනගේ - ඉතාලිය
  5. යන්නම්වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
  6. නිවේවා යුධ ගිනි අනුරාධා ගුණසේකර - හොරණ
  7. සිත්තම් කර හිත අද්දර , යමුද හිතට පෙම් පුරන්න….. අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
  8. පොහොටුකා මලක් ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
  9. සුබ ගමන් කලාකරුවාණෙනි අනුරාධා ගුණසේකර - හොරණ
  10. ඉතින් සදවත ; චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  11. දෙවෙනි බිරිඳ චාන්දනී ආර් වේරගල - මීගොඩ
  12. For The FATHERLAND චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  13. සිංහ බා…….. චමරි වික්‍රමසිංහ - පිලියන්දල
  14. සුබ මංගලම් චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
  15. ආදරයද රාගයද සිසිල් මාන්නප්පෙරුම - Brampton - කැනඩාව
  16. කොරෝනා කාලේ ආලේ චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
  17. අඩසියවසක කලාකෙත කපිල වස්තුවවෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
  18. යාචක දැරිය භික්ෂුනී ධම්මදරා - Edyware
  19. සෙල්මුවා මිනිස්සු දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
  20. එලු පෙම් මැඳුරු පාවඩ දියත් රන්සර අතපත්තු - පුලතිසිපුර
  21. … සුපිරි සඳ වැළපෙයි… දම්සිරි
  22. ඉකිබිදුම දීපා ද සිල්වා - ලන්ඩනය
  23. ජැක්සන් ඇන්තනි……..මනුස්සකම දීපා ද සිල්වා - ලන්ඩනය
  24. පරාදීසෙ ඇපල් ..! දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
  25. සබඳ මම එක නමක් නැත්තෙක්මි! ගංගා කඩවැද්දුව - මේරි ලන්ඩ්, ඇමරිකා එක්සත් ජනපදය
  26. වසුරු පිඩෙන් පංඳු කෙළිමු ගාමිණී හේරත්
  27. රක්වා නෙ පීදුණු තලමල ගංගා ජීවනී - වැලිවත්ත කොළඹ
  28. ආදරයට එවැනි දේ කළ හැක හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
  29. *හැකියි නම් ගලන්න* ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
  30. මට ඕන වෙනසක් ජයතිලක කම්මැල්ලවීර
  31. රිදෙන තැන් තියෙන්නැති කුමුදි නෙත්තසිංහ - මොරටුව
  32. සම්බාහන විලාපය කනීල් මතුරට
  33. සමනල සඳෙස – 6ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  34. පොත් කිරිල්ලී ඉගිල්ලී ගියා සසරේ කෞශල්‍යා ජයලත්
  35. කෘමියෙක් කපිල කුමාර කාලිංග
  36. ගස හැරයන කොළ…..🍁🍂🍁 කිත්මිණි ජයසිංහ - ලන්ඩනය
  37. ගිම්හානයේ ගීය කුශාන් ලවන්ග
  38. ඇත ඒ මිහිරි හඬ රැඳිලා……….. ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
  39. මිත්තණියගෙ දුක ලලිත් මල්ලවාරච්චි - ඔස්ට්‍රේලියාව
  40. තුති මල් මිටක්…..! ලලනී ගීකියනගේ - රත්නපුර
  41. කුමුදි නෙත්තසිංහ_ මොරටුව ලකී ගනේවත්ත - පැරීසිය
  42. සඳු ඇතිදාට ************** ලුෂානි දමයන්ති - කැකිරාව
  43. උමතු ලොව ලියෝමි චාමිකා
  44. “නෙත් සර” ලියෝනි අමරතුංග - කැනඩාව
  45. අමර – දේවයාණෙනි, ලයනල් ගමගේ ඌරුමුත්ත
  46. ඇය මල්ලිකා කුමාරසිංහ - බදුල්ල
  47. පැරණි පෙරළුම් කවියක් මල්ලිකා කුමාරසිංහ - බදුල්ල
  48. රාජ්‍ය සේවය පිණිසයි ! මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
  49. ශරත් සමය මාලිනී හෑගොඩ - USA
  50. දනී නම් නුඹ සොයන දෑආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
  51. උඹත් අකමැති මමත් අකමැති අකුරු පහ.. 5 කඩඉම මයුරි කොඩිකාර - ගම්පහ
  52. මතකමහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
  53. සසරක නිමාවත් ඒ වාගෙම නේද නදී ශානිකා - මහනුවර
  54. ලොකු දුවගෙ කොටහළුව ඩී.කේ.හෂාන් සම්පත් සමනලවත්ත
  55. හඬන මගෙ ආත්මය නාලිනී ද සිල්වා
  56. දම්පාට හුස්මක් නිලුපුල් ප්‍රියංකර
  57. බිරිතනි සැරි සමර නිශ්ශංක දිද්දෙණිය
  58. ඩිජිටලයට බිලි නොවුන අපේ ළමා විය දර්ශිනී බණ්ඩාර
  59. දෙපා සිවුපා කනිල් මතුරට
  60. නොසොයනු මැනවි Nethra - Year 5 New Ash Green Primary School London
  61. වරදකරුවෝ මෙන්න… නයනශාන්ති දිසානායක
  62. “නිස්සරණය” නදී විතානාච්චි
  63. බකවත නිමල් අබේසිංහ - කඳාන
  64. මෙතුවක් කල්ම දිවුවේ කම් සැප පස්සේ නදී විතානාච්චි
  65. That is what love is බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව
  66. අල්ලන්න බැරි දුරකින් ඇයි පිපුනේ නුබ ප්‍රියන්ති ඕපාත
  67. ඒ තමයි ආදරේ සංකාව පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
  68. මනමේ කුමරියගේ ජීවිතාවර්ජනය…!වෛද්‍ය පදුම විජයසිරි - කෙන්ට් - එංගලන්තය
  69. ගමනාන්ත⁣ය කරා ඇවිදින් ඇති බසයක් ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
  70. අඟුරු හා ගුරු…… පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
  71. නැති උන්ට බෙදා දෙමි……. පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
  72. සොයන ජීවිතය……..වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
  73. ආදරණීය ඍතු රජිත ද සිල්වා
  74. ගුරු නෙතින් කඳුළු නොවගුරුවමි………. රංජිත් ද සිල්වා - නවසීලන්තය
  75. පස්සෙම සීට් රන්ජන ආරියරත්න
  76. හිනාමල් ඉතිරෙන්න මොහොතක් රංජනී කොස්තා - වෙන්නප්පුව
  77. යමකය —-ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
  78. බිඟු ගේ විරහ ගිනි රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
  79. “අත්හැරුනු ප්‍රේමය” රොෂාන්ති විජේසිංහ  -  ඉතාලිය
  80. එතකොට…ඇත්තම ඇත්ත ඒකද ? රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
  81. ස්ත්‍රිය, සුරාව, සූදුව, විනාශය සුපිපි සඟමිත් යාපා - කුරුණෑගල
  82. හද නැවතුනි මොහොතක් සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
  83. හතුරු මිතුරු එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
  84. හොරු, කවි හොරු සහ විපරීත නිරුවතවෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
  85. නිල් කටරොළුවෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
  86. රැජිනි සෙල්වනායගම් සමුගත්තායරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  87. හැඩක් ඇත හඬක් නැත සිසිර කුමාර කොග්ගලහේවා
  88. ගමනක යන… සුදර්මා වීරක්කොඩි
  89. කවියාගේ ඇනෙක්සිය සුනීතා පෙරේරා - ලන්ඩනය
  90. දෙවියන් අතරමග පෙරහැර යන අතර සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
  91. ‘The last good men of the south’ Shaun Dissanayake
  92. වයසට යනතුරු කොලුවා සුමිත්‍රා ආරියවංශ - මහනුවර
  93. ගාසා තිරයේ සිතුවිලි ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
  94. ඈ සහ මෑ සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
  95. බයයි…….මම ෂර්මිලා බංදුනී දංවත්ත
  96. A Morning Glimpse Sanjaya Priyadarshana - Udugampola
  97. කුහුඹුපැණියාගේ නැවතුම කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
  98. සාමයේ සාතන්: සපුමල් බන්ඩාර - ලන්ඩනය
  99. ගිලිහී යන වසන්තය තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
  100. සැම සවි යොදා මිනිසුන් රකිමුරාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
  101. පැතුම..! තිලිණි ලක්ශාන්ති - මහනුවර
  102. අඟුටුමිටි අම්මා තුෂාරි ජයසිංහ - මහනුවර
  103. අත් හැරීම උපාලි අත්තනායක - මහනුවර
  104. අහසකට පුළුවනිද???වෛද්‍ය උදේශිකා පතිරණ
  105. මැනලද අම්මේ කිරි දුන්නේ විමල් ඇම්. ගමගේ
  106. සංවේගයෙන් දැනුම් දීමයි…වෛද්‍ය වරුණ ජයසිංහ - එක්සත් රාජධානිය
  107. සංවේගයෙන් දැනුම් දීමයි…වෛද්‍ය වරුණ ජයසිංහ - එක්සත් රාජධානිය

දිය කිඳුරිය සේ

අමිතා පද්මකුමාරි

උණුසුම්ව ළයමඩල
දෙනෙත් අඩවන්ව
දෙතොල් පොපියමින්
දැවෙන සියලඟම
වැළඳගෙන සියුමැළිව
හොවා සිසිලැල් පහසේ
ගත සිතම සැනසෙමින්
නැඟෙන රැලි අතරේ
කිමිඳෙමින් තව තවත්
පාවෙමි උන්මාදයෙන්
දිය ගැබේ කිඳුරියක සේ
මුදාහැර සිතුවිලි රැහැන්

පියාගේ අනියම් පෙම්වතියට

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව

පස්වසක බැඳීමෙක
සලකුණයි අද මා
අමිහිරිය ආ ගමන
කඳුළු කැට උණනා
පණ කෙන්ද මවගේ
ඔහු ...ඔබ වෙතට ඇදුණේ
දැන දැනත් වරදේ
කිම ද ඔබ බැඳුණේ...

පියා යැයි කියනා
රුවක් මට නැත්තේ
අයිතියක් නැති වගට
ඉරකි මට ඇඳුණේ...

උරා බිව් කිරිවලත්
කඳුළු රස දැනුණේ
දෝරගැලූ කඳුළු ගඟ
මගේ දෙකොපුලයි තෙමුවේ...

දොසක් නැති ළයෙහි
ගිනි පුපුරු දිලුණේ
රෑ දිවා නොබලා මා
ඒ ගිනියමෙන් දැවුණේ...

ඉහිරෙනා සිනා හඬ
මන්ද නුහුලූයේ
වෙර දමා හනි හනික
කැදලි තුටු බින්දේ...

නුඹෙන් කිම වූවත්
මව් නැතේ වෙරක් බැන්දේ
සමසිතින් උහුලන්න
නිති වෙහෙස දැරුයේ...

එක සිතට පෙම් කළැයි
දඬුවමක් දෝ ලැබුණේ
එහෙව් මව් විඳි දුකක්
දෙවියනුත් නෑ බැලුවේ...

නොසිටිනා මුත් ඒ සෙවනැල්ල
ඈට නිතරම පෙනෙන්නේ
කරුමෙකට දෝ මගේ රූ කය
ඔහුට සම වී වැඩෙන්නේ...

ඉතිහාසයත් ගොළුයි

ආරියරත්න ජයසිංහ - මහරගම

වානරයා ගසින් බැසගෙන
ඉතිහාසය පුරා කළේම යුද්ධ
එදත් කළේ යුද්ධ
අදත් කරන්නේ යුද්ධ
හෙටත් යුද්ධයමයි කරන්නේ.

අපේ ඉතිහාසයේ
යුද්ධ විතරයි ඇත්තේ
මිනිසාට එරෙහිව මිනිසාම යුද වදින
පරාජිතයින් මිස දිනූවෙක් නැති
විනාශය මිස අන් ජයක් නැති
අනවරත යුද්ධමයි ඇත්තේ.

පටන්ගන්නෙම සුර අසුර යුද්ධයෙන්
ව්‍යාසදේව ලිව්වෙත් මහාභාරත යුද්ධයක් ගැන
හෝමර් ලිව්වෙත්‍ ට්‍රෝයිපුර යුද්ධයක් ගැන
වාල්මීකි ලිව්වෙත් රාම රාවණ යුද්ධයක් ගැන
මහානාම හාමුදුරුවො අපට කියන්නෙත්
ගැමුණු එළාර යුද්ධයක් ගැන.

ඉතිහාසය ලිව්වෙත් රස කර කර
සටන් මෙහෙයවූ සෙන්පතියන් ගැන
ලැබූ ජය ගැන උදම් අනනා
දික්විජය කළ මහරජුන් ගැන

සටන්බිම වැටුනු සෙබලුන් ගැන
ගැලූ රුහිරු ගංගා ගැන
හිමි අහිමි වැන්දඹුවන් ගැන
පියවරුන් අහිමි දූ දරුවන් ගැන
ඉතිහාසය කිම ගොළුවී ඇත්තේ.

හඬනා වළප්නා ගැහැණුන් ගැන
ගේ දොර දේපොල සියල්ල වැනසී
කඳවුරු තුල හාමතේ පෙලෙනා
අනාථවූ රට වැසියන් ගැන
ඉතිහාසය කිම ගොළුවී ඇත්තේ.

ගාසා තීරය.

ආරි ලියනගේ - ඉතාලිය

ගලා ගියා නම් මහ මුහුද ට
පලස්තිනුවන්ගේ රුධිරය එදාසිට
මධ්‍යධරණී මුහුදේ ජලය
රතුම රතු පාට සහතිකයි අද.

ගලා ගිය නම් මහ මුහුදට
මව් පිය දරුවන්ගෙ කඳුලු වැල්
මධ්‍යධරණී මුහුදේ ජලය
ලුණුම ලුණු රසයි සත්තකයි අද

ගලා ගිය රුධිරය කඳුලු
උරාගත්තේ කාෂ්ටක පොලොව
කම්පා වුනත් මහ පොලොව
කලේ නැත භූමිකම්පන
වැටෙන මිස්සිලි කරණ කමිපණ
දරන්නේ කෙලෙස හඳේ කම්පන.

අනාගත දිනෙක
ගාසා තිරයෙත් පිපෙයි මල්
රතුම රතු පාට මිස
වෙන පාට නැහැ ඒ පොලොව යට
හැම රේණු අගකම දිලෙන පිනිකැට
ඒ තමයි එදා නෙත් හෙලූ කඳූලු කැට.

යන්නම්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය

මල් මල් හීන බොඳවී නෙතු පියන් මැද

සිල් ගත් සේම නිහඬයි මුව වදන් බිඳ

කල් යල් නොගොස් බොඳවූ හිත හීන කඳ

නිල් වන් නුඹේ ඇස් මත මේ විරහවද

නිවේවා යුධ ගිනි

අනුරාධා ගුණසේකර - හොරණ

ඇවිලෙන්නෙ හීන අළු දූලී හා මුසු වී
හිනැහෙන්නෙ කොහොමද මල් යාය පර වී
පියඹන්නේ සුරඟනන් හුස්ම මැද සිර වී
දිනන්නේ කවුරුන්ද නෙත් කඳුළු බර වී

ප්‍රේමයක් හිත කොනක තිබුණ නම් ගෑවි
මේ තරම් මල් කැකුළු මියැදේ ද අළු වී
වෛරයෙන් ක්‍රෝධයෙන් මුළු ලොවම රතු වී
සාමයේ දෙවිදුවත් අද කොහෙද සැඟ වී

හිත් පුරා ඇවිලෙනා වෛරයන් නිවෙන්න
ආදරය වපුරා මල් කැකුළු පිපෙන්න
දැන්වත් පැතිරෙනා යුධ ගින්න නිවෙන්න
හිත් පුරා ආදරය අරන් වැසි වසින්න

සිත්තම් කර හිත අද්දර , යමුද හිතට පෙම් පුරන්න…..

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව

ඇහිපිය යට හීන තියා

දග කරනා තරු ගනින්න

කිරි බැබළෙන හඳ පානේ

විසිරෙන පිණිබිඳු දකින්න

සේපාලික කුමුදු පොකුරු

සුවඳ මැදින් ඇවිද යන්න

නිසල රැයක ඔබත් මමත්

යමුද හිතට පෙම් පුරන්න

කන්දේ හැපිලා මුවා වෙලා

බලන්න අඩ සද මැවු රූ

ඇඟිලි තුඩින් හිස පිරිමැද

දෙන්නද හාදුවක් සොඳුරු

සිත්තම් කර හිත අද්දර

ලස්සන කවි ගීත සින්දු

අපි මැදි විය පහු කලාට

තාමත් ආදරේ තරුණලු

පොහොටුකා මලක්

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය

සුදු මල් පිපි පිපි ඔබ අද නා දුක

අතු මත වැගිරී රත් හිරු මට දෙත

මතු වන රුව මොබ මා හද තුල වැද

සිත ගත කිති ලයි ඔබෙ මුව බොඳ කර

මද නළ සිසිලෙන් වසන්තයේ ඔබෙ

දෙතොල් සිඹින තුට නොලදින් වෙරළ’ග

පොහොටුකා මලින් බබලන වෙරලත

නිරුවත් රතු මල සුවඳ හලයි මට

ශීතල සමයේ උණුසුම නොලබම

වැතිරී සිටියෙමි පරසතු මල සිඹ

සිහින මවන මගෙ සිත අග නලියන

සිනිඳු එරතු මල මසිත වෙලයි අද

නිවි නිවි තිබු මගෙ හද අද ගිණි ගෙන

සැළෙයි පෙළෙයි එම මලෙහි සුවඳ වැද

නිදි ගත් හද අවදිව පැන යන ලෙස

වෙරළ දියඹ රතු මල ලැම ගොස දෙත

සුබ ගමන් කලාකරුවාණෙනි

අනුරාධා ගුණසේකර - හොරණ

සිතුවා තමයි ආයේ නැගිටලා එයි කියා
ඒත් .. මරු හැමෝටම කලින් ඔහුගෙන ගියා
විශ්ව කෝෂයක සුවඳ රන් පතක අමුණලා
පුරාවෘතයක් වී ස්වර්ගයට නික්මිලා

සංසාර සක්මනේ අහඹුවක නැවතිලා
සතර අත දැණුමින් පෝෂණය කර තියා
පුස්තකාලය වසා සුවඳ විතරක් තියා
නොකියාම ගියේ ඇයි
ගිමන් හල වෙත සොයා

සකල කලා වල්ලභ වී කලා ලොව කිරුළ දිනු
කළුගංඟා මුදුන සොයා සමනොල සිරසට ඇදුනු
සිහල වංශ කතා පොතේ හඬ ගොළු වී නෙත් වැසුණු
රසික සිත් හඬවලා
කලාගාරය වැසුණු

හොරණ

ඉතින් සදවත ;

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

මතකයන් සිහි වෙද්දි
දුක සතුට මුහු වෙද්දි
දෑස් අග තෙත් වෙන්නේ,
ප්‍රේමය නිසාමයි..

නුඹේ ඇස් අභියසදි
නා දළුත් සෙලවෙද්දි
මගේ හද ගොළු වෙන්නේ,
ප්‍රේමය නිසාමයි..

විටෙක නුඹ පැද්දෙද්දි
හුරතලෙන් හිනැහෙද්දි
නුඹේ හදට ම ලෝභ හිතුනෙත්,
ප්‍රේමය නිසාමයි..

සද අහසෙ බබළද්දි
නුඹේ රුව සිහිවෙද්දි
එකින් එක පද එකට ගෙතුනෙත්,
ප්‍රේමය නිසාමයි..

අදුරු දින ගත වෙද්දි
තරු මවෙත හිනැහෙද්දි
නුඹේ ළඟ නැවතිලා ඉන්නෙ ම,
නුඹ මගේ ප්‍රේමිය නිසාමයි...!

දෙවෙනි බිරිඳ

චාන්දනී ආර් වේරගල - මීගොඩ

මගෙ දෙපා යුග ගැටෙන
සුමුදු බුමුතුරුණු මත
පිය නගා ගිය ලඳක
පා සලඹ සැලුණු හඬ
සුමුදු ස්වරයෙන් ඇවිත්
තරු නිවෙන නිශා කල
සිහිනයෙන් මා වටා සරනවා

ගෙවුයනේ සුවඳ මල්
සුළඟ සමගින් සැලෙයි
නෙලන්නට මට කැප ද සිතෙනවා
එමල් මත සෙනෙහසින්
නොරිදවා හාදු තැබු
තව ලඳක් මල් අතර මැවෙනවා
ඇගෙ සිනා බමර නද ඇසෙනවා

කුලවමිය ලෙස නවමු
කුල ගෙයට කුල වැදුණු
තුණු සිරිය නරඹන්න සිතෙනවා
සිනා පිරි වත පුරා
රැඳුණු දෙනුවන නුරා
අන් ලඳක් කැඩපතින් එබෙනවා
කැඩපතට උඩින් තිර අදිනවා

මහිමි මම ඔබට හිමි
එහෙත් මා ඔබෙ දෙවනි
පුර පසට පෑයු අඩ සඳක් මැ‍යි
ඔබ හදෙහි සැදි හිඩැස
නොඅඩුව ම පුරවන්න
නොහැකි දයිවයම
සරදමක් මැයි

මීගොඩ

For The FATHERLAND

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

Wings of an Eagle and the Swords,
It blazed. And what a pain.
Spirit of the young,
Heroic of the youth,
Gold buds of big hopes,
Shines with their dark clothes.

The thirst says,
"FOR THE FATHERLAND"
But his mind says,
It's not a Fairyland.

The last sight,
They knew it.
One last moment,
They felt it.
One last hope
But the terror burned it.

Wait. Look at you, covered with Red.
Searching for the Gold,
It's getting fade.
But the stubborn still holds,
The weapon being in the bed.

Happy level-up! But wait.
Your mother is weeping. Isn't she happy?
Dear brother,
I'm sorry, she won't meet you again.
But your memories will hang
Around our hearts, again and again....

සිංහ බා……..

චමරි වික්‍රමසිංහ - පිලියන්දල

සුප්පා දේවිටත් තිබ්බ
තව පොඩ්ඩක් හිතන්න
අම්මපා මනුස්සයෙක්
හිටියෙම නැද්ද බඳින්න.

අද ඔහොම උනානම්
ඇති වැලලිල මැරෙන්න
ලෙස්බියො සමරිසියො මදිවට
උං හිතයි සිංහයෙකුත් ගේන්න .

ලමයින්ට පුලුවන් ද
පාරක බැහැල යන්න
අම්මටත් තිබ්බෙ
තව පොඩ්ඩක් හිතන්න .

කොල්ල සිංහයෙක් හන්දා
හැකිද කූඩුවක තියන්න
නංගිත් මනුස්සයෙක් කොට
හිතන් නෑ දෙවරක් ගල් ලෙන බිඳින්න.

ඒත් කොල්ලට තිබ්බා
එක දෙයක් කරන්න
තාත්තා ගැන හිතලවත්
අම්මා මග හැරල යන්න .

සුබ මංගලම්

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

උසාවිය මීයට පිම්බා සේ,..
පැමිණිලි පක්ෂයේ ආසන හිස්,.....
විත්තිකරුගේ පැත්තේ ආසන සියල්ල පිරි,....
පැමිණිල්ලේ නිතිඥතුමා අසුන්ගෙන
චුදිතයාගේ නිතිඥතුමා පැමිණිලිකරුට මුහුණලා
පැමිණිලිකාරිය හා විත්තිකරු බිම බලාගෙන,...
නඩුකාර උතුමාණන් අසුන් ගති
පැමිණිල්ල විභාගයට ගැණුනි,.....
විත්තිකරුගේ ආදරවන්තිය කුඩුවට .....
දෙපාර්ශවයේ සාක්ෂි දිග හැරුණේ,.......
විත්තිකරු නිදොස්කොට නිදහස්,.....
නඩුකාර උතුමාණන් තීන්දුවයි,..
ක්‍රිකට් ලොවෙහි රසකාවියක් ලෙසින්
මා හිස නමමි
උසාවියේ අති දක්ෂ මනෝවිද්‍යාත්මක
නඩුකාර උතුමාණන් ගේ සේවයට...

20/10/2023

ආදරයද රාගයද

සිසිල් මාන්නප්පෙරුම - Brampton - කැනඩාව

මිනිසුන් සතුන්හට උරුමයි ආදරය
පිස්සු හැදෙයි නැතිවනවිට ආදරය
වටහාගෙන නොමැත තේරුම ආදරය
මිනීමැරුම් සිදුවෙයි මත ආදරය

පාසැල්වලත් දළුලනවා ආදරය
සරසවි බිමෙත් එලිපිට ඇත ආදරය
මග තොට හමුවෙලා කරනව ආදරය
බස්‍රිය දුම්රියෙත් දකිනව ආදරය

සමහරු අත්දකී කුළුදුල් ආදරය
ඉඳහිට ඵල දරයි නොයිඳුල් ආදරය
සමහරු කරයි දෙක තුනකට ආදරය
කෙස්ගසකින් බෙදෙයි වෛරය ආදරය

කිරිපැණි වගෙයි මුලදී නම් ආදරය
කරවිල වගෙයි කල් යනවිට ආදරය
තේරුම්ගෙන කලොත් හරියට ආදරය
රැකගත හැකිය කිරිපැණිමෙන් ආදරය

උතුරා ගියා මුලදී ඇගෙ ආදරය
වෙන අයකුට පුදයි ආදර මන්දිරය
ඉඳුරන් පහට කොයි කව්‍රුත් කෑදරය
හැතිරිය වුනේ මෙහෙමයි සිය පෙම්බරිය

ආදරෙ කරයි සමහර අය දුටුපමණින්
ගැලපීමක් නොමැත දෙදෙනා කිසි අයුරින්
වෙන්වුනහොතින් දෙදෙනෙක් හොඳ හෝ නරකින්
පලිගන්නට සිතයි උත්තරදී පිහියෙන්

තම පෙම්බරිය වෙන අයකුට ආදරෙනම්
අනියම් පෙමට හේතුව ඇගෙ රාගයනම්
පාවා දෙනු ඇයව ඔහුහට හැකි විගසින්
යන්නට එපා පස්සෙන් අඬ අඬ ඉල්ලන්

මුළු හදවතින් කලහොත් ඔබ ආදරය
කවදාවත්ම ඇයගෙන් පලිගනු බැරිය
වෛරය ඇවිත් සිතුනොත් ගන්නට පලිය
රාගය මිසක් නොතිබිණි එහි ආදරය

Brampton, Canada

කොරෝනා කාලේ ආලේ

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය

බාල චන්ද්‍ර සරි නලල යි

ඉන්ද්‍ර චාප නිල් දෙබැම යි

මීන නුවන් දිලෙයි නිවෙ යි

ඇගෙ කුටියට මා කැඳවයි

මුව කමල වැසුනු වැසුම් කඩයි

රන හසුන් කෙළින ලමැද විලයි

පුළුලුකුළු අග්නි තටාකය යි

මල් හී සර මහද පෙලයි

ලුහු බඳිමි සිහින රුව ඇගේ

සිතු විලේ කැකුළු නෙක පිපේ

සඳ මුහුණ සේල ඉවත ලා

ඇය සිනාසුනා

තුන් හිතක නොවූ අරුමෙකි

ඇගෙ දසන් නොවේ මුතු කැටි

මුව ඇගේ පර කුසුමකි

තව්තිසා සුව යහනේ

නුරා දැහැන් මිදුනා

දුටු සිහින පෙර යම් රැයේ

සිඳී මා නර ලොවට වැටුණා

2020

පුරුෂයින් ගේ ඇල්ම බැල්ම ගැන

සෙවිල්ලේ සිටින සියලු ම ස්ත්‍රීන්ට

කොරෝනා ව සමඟ පැමිණි මුව වැසුම් කඩ බලවත් ආශිර්වාදයක් විය ඇගේ රූපය මැනෙන පළමුවන

මිම්ම මුහුණ වන හෙයිනි

අඩසියවසක කලාකෙත කපිල වස්තුව

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

(සිය කලා දිවියට පනස්වසරක් පුරන සංසුන් පුරාණය -
කපිල කුමාර කාලිංග නම් අද්විතීය මිනිසාට )...

තෘණබර පතනෙක මුඳුන
රූස්ස වෘක්ෂයෙකි.
නිවෙස වෙත - කුඹුර වෙත
සිංදු කියනා කුරුළු දරුවන්ට.

නිසොල්මන්ව
කල්පාන්ත මේඝයට වුව
වැහිබිංදු පොළොවට
සීරුවට බස්සන
උරාගත රිසි ලෙඳ.

අඩසියවසක් මුළුල්ලේ බලාහිඳී
පහළ තැන්නේ සෙලවීම්.
බාහු සප්පංච සිප්පංචව
අෂ්ට ලෝ දහමේ අකම්පිතව.

පාර කියනා පහන් තරුවක්ව
ඉඳහිට එහි එන මවන්'
දඩයක්කරුවෙක්ට ගොපල්ලෙක්ට.

සුණුගල් මතින් මත තබා
රළු ගස් පොත්තට මුවාකර නළල
ගිනිගිරැස්ස මලක් අතුරා
දල්වන්න අවසර කුඩා පහන
මහා සංහිද පාමුල.

"සුඛී දිඝායුකෝ භව "...

මෙයට
රසිකයා,මිත්‍රයා (කුඩා මිනිසා )
චතුර එම්. විමලරත්න

යාචක දැරිය

භික්ෂුනී ධම්මදරා - Edyware

සෙල්මුවා මිනිස්සු

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

විද විද අහස උසටම දිගු වෙන මානේ

හද හද පිළිම සුරුවම් පාරක් ගානේ

වැඳ වැඳ යදිනමුත් හැම සැප නිරු වානේ

ඇසු දෙසු දහම් වැටහුනු එකෙකුත් නෑනේ

පොඩි පොඩි පැල්පත්ය දුටුවිට හද පෑරේ

අඬ අඬ පොඩි දරුය නෙත කඳුලැලි බේරේ

පුද පුද පිළිම අහරින් අනුවන ආරේ

පින පින කියා කරනා පව නොම තේරේ

දුටු දුටු මුණි රුවක් සිත නිවනා සුවදේ

සැම සැම සුරුවමක් දැක පිහිටක් අයැදේ

හැඳ හැඳ ඉරුනු වැරහැලි ඇඳුමෙන් නිබදේ

දැක දැක දරුවො සිත සෙල්රූ විද සුහදේ

නැත නැත මාරු දුගියට අත නොම දිගුවේ

නැහැ බැහැ නැතිව ආධාරයෙ නම ලියැවේ

ගැන ගැන රියන් පිළිමම උසටම ඉදිවේ

දින දින අගය මිනිසත් බව බැස දියවේ

පොත පත තුළද නැත හදනුය රූ මෙලෙසේ

ඇත ඇත කියා පිළිපදිනට මග නිසිසේ

දැන දැන බොරුව වෙත දිවයන බව සිතුසේ

හිත හිත වැඳපන්නෙ පිළිමෙට මතු දවසේ

එලු පෙම් මැඳුරු පාවඩ

දියත් රන්සර අතපත්තු - පුලතිසිපුර

බඳ වට දවටලන්නට සුසිනිඳු සේලේ
දින දින ඇඟිලි ගැන ගැන වැපුරුව ආලේ
වැලි බත් උයපු දා නෙත් යාවුන ලීලේ
ලියලන සිහිනෙ නුඹ විය කර ලන මාලේ

සිහිකර මතකය වැළපෙන එක සිතුවිල්ලේ
බිඳ බිඳ නැගෙන හඬ මෙනි සමුදුර රැල්ලේ
විසිරී නොයන පැතුමකි සරසන තැල්ලේ
සිතළුවො නැඟෙයි නව රන්හිරු අරුනැල්ලේ

වියළී ගිය විලස තුරුවැල් රිකිලි අතු
විහිලුවේ වියරු බව පැවතුන; නොකියා ගතු
පවසන වස්සාන සීතල පවන තතු
නැලවෙයි නැගෙන ලා අඹ දලු පොකුරු රතු

සැකසූ තොරන් ඇත මංගල අසිරි හඬින්
සතුටින් ඉපිල නඳ දෙයි විහඟ තුඩින්
තුරුහිස සුලකළ ය අවටම මෙගොඩ ගොඩින්
ඇත පෙම් මැඳුරු ,එලු පාවඩ එමත වඩින්

අවුරුදු බොහොම හ්කාලෙක සිට පෙරුම් පුරා
ආවෙමි ඔබ වෙතට මම ඔබෙ සුපෙම්බරා
එනමුදු වැසි දෙවිඳු සැඩ බව හිසින් දරා
මගෙ රුව වැඩි දෙනෙක් අතරින් දුරස් කරා

සැලසුම් නොමැති දෙවිඳුන් වැහි වලාහක
වැඩ කළ අයුරු ගැන හද තුළ තිබේ දුක
එනමුදු පුරුදු නැහැ මට කිසි පමාවක
තත්පරයටය වැඩ දිවි ඇති තුරාවක

පොඩි දරුවන් නිතර මා හට පෙම් බැන්ද
ඉන්නට ඇතිය මෙවරත් වරමින් නින්ද
වැසි දෙවි එගැන අමතක කෙරුවේ මන්ද
සිතනෙමි තවම නුබ ගැබ සිට මේ දැන්ද

වඩ දිය බා දියද මාගේ විකුමක්ය
වැඩිපුර ළං වුණොත් වෙන්නේ අවැඩක්ය
යහ ගුණ වැඩුම පෙර සිට හුරු සිරිතක්ය
හැරුණෙමි නැවත පතනුයෙ සුබ දවසක්ය

ටික ටික ඔබෙන් ඉවතට යමි පුරුදු ලෙසින්
වැටුණද කඳුළු දැක ගන්නට බැරිව ඇසින්
දෙදහස් තිස් හතේ දිනයක අහස දෙසින්
එන්නෙමි නැවත ඔබෙ මුදු රුව දකින රිසින්

එදිනට මෙවැනි බාධක සිදු නොවෙන්නට
හැම දෙවියනේ වැඩ කටයුතු කරන්නට
කිරි පැණි රැගෙන රන් තැටියෙන් බෙදන්නට
සුරතල් දරුවනේ හැකි වෙයි එදත් මට

ඉකිබිදුම

දීපා ද සිල්වා - ලන්ඩනය

දැනෙනව නම් …..

අත හැර යාමට
නලියන
කහපාට කොලයකට
දැනේවිද
තද සීතලට
කාත් කවුරුවත් නැතිව
දුක් විදින
තුරු හිසක
ඉකිබිදුම

ජැක්සන් ඇන්තනි……..මනුස්සකම

දීපා ද සිල්වා - ලන්ඩනය

ජැක්සන් ඇන්තනි මහතාගේ මරණය හමුවේ සමාජය ක්‍රියා කල අයුරු දුටු මසිතේ නිරායාසයෙන් මතු වූ සිතුවිල්ලකි මෙය.

ඇති දා
දොස් නගන
නැති දා
කට ඉරා ගෙන
ගුණ වයන
අරුම පුදුම දෙයකි
මනුස්සකම

පරාදීසෙ ඇපල් ..!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල

අහල තිබුණාට ඔබ, දැක ඇද්ද
මට සිතේ...
නහල දිවි සතුටුවූ, 'සර්පයා'
මෙහි වෙතේ...
පහල වූ මුලින් ලොව, දෙදෙන ගැන වෙයි පොතේ...
ඉහළ ලෙස තුටු වුනත්, එලෙස අද නම් නැතේ...

'ඒව' හා 'ආදම්'ට දෙවියො කියුවලු දිනක්...
"කෑවහොත් අර ඇපල්, බලාගෙන !" එය අණක්...
දෑව මුත් හද, දෙදෙන යොමා ඒකට කනක්...
පෑව මුවෙ මඳහසක් රැකගන්න තම පනක්...

පලදාව දකිනමුත් ඇපල් ගසෙ හැමදාම...
කලක් ගතවූ පසුත් කෑවෙ නෑ
එය තාම...
නිල බලා 'සර්පයා' ආදරෙත්
පා බෝම...
බලකරේ කනු කියා, එනිස සිදු
වුනි කෑම...

නොකන ලෙස වූ තහංචිය
බිඳපු පාපේ...
මකනු බෑ ලොවටමයි බල
පෑවෙ සාපේ...
නිකමටයි ලියවුනේ දුටු
කලදි රූපේ...
ලක අපිත් ගෙවනවද
දෙවිඳුන්ගෙ කෝපේ...

සබඳ මම එක නමක් නැත්තෙක්මි!

ගංගා කඩවැද්දුව - මේරි ලන්ඩ්, ඇමරිකා එක්සත් ජනපදය

ගංගා ප්‍රියංගනී කඩවැද්දුව
මේරිලන්ඩ් ,ඇමරිකා එක්සත් ජනපදය

විඳිමි දිවි සැහැල්ලුව උණුසුම්ව වා රොදක ඉහළ නැග ගගන දුර නිල් ඉම
කිළිපොලන සීතලට කිටි කිටියෙ ගුලි වෙලා වාගැබේ මැවෙන දිය බිංදු මම
තුරුළු වී රොද බැන්ද සුදු පුළුන් වළා කැටි කිම කළුව විසල් වූ ඒ අරුම
මොහොතකට වැහි වළාවක් වුනෙමි නොදන්නෙද දැරුව තෙරපුමෙ තරම!

මුදා හළ කල්හි මේ කුළක් අහසක් අත් හැර
රැවුම් ගෙරවුම්ද ඉසිලිය නොහෙන හිත් බර
ඇදහැලෙමි වැහි වතුර ,කැට අයිස්,හිම ,තුෂර
නිදහස්ය ඒ වැස්ස නමකින් හෝ කවර

නගර කුණු කාණුවක , කසල මං මුව දොරක ඇළි බෝක්කුව කටක
දුවන මග බොර ජවැති ජල කදක ඉසිඹුලමි මඩ වලක පුරන් කෙත් ඕවිටක
ළමැද ගල්බෝර හෙළු මිහිලියගෙ යටි බඩද බැකෝ නියගින් හූරකන රටක
චූදිතයෝ නිදැල්ලෙය සොබා මව් දඬුවමේ හසුන ගුලි කළේ මගේ අතමිටක

ගලමි සැඩ ගං දියව භවභෝග සන්තකය ගම් දනව් යටකොට
නපුර කදමළු බැඳන් නෑගමේ ආතුරවු කන්දකට හුස්ම පස් යට කොට
ඒත් නොතිබුන නොවේ හීන හීනම නොවී සෙනේ දියවරක් වෙන හිතකට
සුනිල දිය තටාකෙට , සරැළි මුමුණන ගඟට, වන පෙතක ඇළ දොළට විලකට

ඉඩෝරයේ පිරි පතින් හෙම්බත්ව දිය නිලන පැතුම් ඇති වැවක හසරැළි වෙමි
ගිරි කුළක් බදාගෙන හෙළ ගැඹුර නොදැන පැන ටර්බයිනයක බලය උපදමී
ඉන්ද්‍රජාලිකයෙක්ව හිරු කිරණ තෙලිතුඩින් ඉදුදුන්න සත් පැහැය තවරමී
තවම ගස් යට නිදන සේපාලි ඇහැරවා තණ පලස උදා පිණිකැට හාදු අමුණමී

දුර නිම්න කඳු ලියට යැව්ව මිහිඳුම් ගවුමෙ ශීත ඍතු හිම පියළි මල් මහන්
තුහින කුඩුපොද වැදී අයිස් කැටයක දියව සොයමි දිවියක අපිස් කමටහන්
වඩදියක ඉපිල සිදු පතුල සිඹ දිය වැළක නාව මුත් කෙනෙක් සැපදුක් අහන්
මුල් දිගේ දන් දුනිමි මහද සාරය ගහේ මල් පලට අතරමග ගෙවුන මුත් පාවහන්

විටෙක යමි ධූමකේතුවක නැග සක්වළෙහි චන්ද්‍ර තරු මඩුලු සිරි විනි විඳින
පෘථිවි කබොලත වගෙම අසල්වැසි අඟහරුගෙ කැටයමක කලක් ගල් වී නිදන
ජීවයක් කොහිද ලොව මා නොමැති තැන සබඳ කොටසක්මි ඔබගෙ දැන හෝ නොදැන
යළිදු මා උණුසුම්ව වළා හිසකට නැගී වැස්සක්ව ඇදහැලෙමි අනවරත මේ ගමන

නමුදු මා ප්‍රිය සබඳ,
ඔබට මෙන් ජාති කුල ගොත් නම් ගම්
ලියු හැඳුනුම්පතක් නොමැති සද
මමය මගෙ ජීවිතාශක්ත නෙක බැඳුම් දුන් රිදුම් දැන් අවසන්ය
ම විසින්ම නිල් වර්ණ ගන්වන,
මා මිදෙන ඇදහැලෙන උණුහුමට යළි යනෙ'න
අහස් කුස ,මහ සයුර මෙන් මහද ගැඹුර නිති නිදහස්ය සන්සුන්ය
මා තිළිණ කළ හරිත සළු පැළඳ ,
හෙටත් සිප වැළඳ ගන්නට පතන
සුපෙම්වත් මහපොළොව මෙන් මසිත චේතනා අසිරිමත් විදසුන්ය
ඉඳින් ලත් නමක් නැති සියල් අත්හළ විසල් තෙත් හදක් ඇති තැන
ඔබ සරන වෙහෙසකර සංසාර චක්‍රයට සම නොවේමය ම 'දිවි සක
පුළුල් අවකාශයක විශ්වයේ බොහෝ දුර පුන පුනා ගෙන ගිය ද
සොයා නිම් හිම් සොඳුරු රස්තියාදුවක මට
රවුම් ගසනුව රිසි තරම් එය අරුමැසිය සුපසන්ය.

පල් හොරුන් ගතු කියන
පල් හොරුන් නඩු අසන
පල් හොරුන් රජ කරන
පල් හොරුන් තීන්දු දෙන
මේ අපේ සිරිලකයි

වැටක් නියරත් ගොයම් බුදින
තකට තකට බුං හොරු රැල
වෙට්ටු දමා කට්ට ගහන
පට්ට බොරුව රජ කරවන
මේ අපේ සිරිලකයි

එහෙන් මෙහෙට මෙහෙන් එහෙට
පැන පැන යන ගෙම්බො රැලක්
නටන ගයන වයන රඟන
වසුරු පිඩෙන් පංඳු කෙළින
මේ අපේ සිරිලකයි

සත් ටැඹියෝ රජ වී ගෙන
ප්‍රාථමිකයෝ දෙසුම් කරන
කහ සිවුරුත් පොරවාගෙන
මස් වැද්දොත් සිල් අරගත්
මේ අපේ සිරිලකයි

රක්වා නෙ පීදුණු තලමල

ගංගා ජීවනී - වැලිවත්ත කොළඹ

රක්වා නෙ පීදුණු තලමල
මිලින වී
වසරකුත් ගෙවුනාට
මට තාම අද ඊයෙ වගෙමයි..

පිච්ච මල් තවමත් ම පුසුඹ යි
මගෙ හිසේ නුඹගෙ සුරතින් ම
හැඩකල....
තැබූ ඒ කුංකුම පොට්ටු ව
සම්මතය නොවුනාට
අදත් මගෙ ආත්මෙම ආසයි
රක්වාන කෝවිලේ තනිවෙන්න
ඔබේ සුවඳත් එක්ක

දර්ශන්.....!
නුඹ,
රක්වානෙ බිඳුණු තල් රුක!!

සිල් ගත්තු බවලත්තු
සුපිරිසිදු බලවත් තු
කවුරු දැයි මට හොඳින් කියා දී
කොහොම නුඹ
මා සුරක්ෂා කලැයි
පුදුමයි...
ආදරෙන්
මාව
රක්ෂාකළ තරම දන්නෙත්
නුඹ යි.

සිල් රැක්කෙ නම් නෑ
ඇත්තමයි
මං ගත්තෙ
ආදරේ විතරමයි...
ඔබ දුන්න
ආදරේ විතරමයි

ආදරේ කලේ අපි
ඇත්තටම... .
තාමත්
කඳුළු වියලෙන්නෙ නැති
සුසුම් සුළිසුළං ඇති
සබරගමු කඳුයාය රකින ඒ රහසත්
අපෙ තමයි

සතුට පිරි සෙනෙහෙ රැඳි
ඔබේ පපුතුරේ යළි
සැනහෙන්න මගේ හැඟුමන්
හැමදාම ඉකිගසයි
රත්තරං
යළිත් නුඹ නොඑන බව දැනදැනත්
තුංග කළු සිරුරට
ආත්මයෙන් බැඳුණු ඔබෙ චෙල්ලම්
යනෙන හැම මග තොටම
නුඹේ සෙවනැලි සොයයි...

තාමත්
මිදුනෙ නැති කඳුළු සයුරක
මිදුනු
ඔබේ චෙල්ලම්
හැම රෑම ඔබ නැති ව
නින්දක් සොයයි...

දර්ශන්...
ඒ ඔබේ ආදරේ
මෙතරම් ම මෙතෙකැයි
හැමදාම මට මෙසේ
දැනෙන්නෙ ත් ඒකයි....

2023.10.20
ගංගා ජීවනී වැලිවත්ත..

ආදරයට එවැනි දේ කළ හැක

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

පුංචි බූරුවා
දවස මුළුල්ලේ ම වෙහෙස වෙමිනි
ඇතැම් දාට උගේ පිට මත
උහුලනු බැරි තරම් බරකි
ඇතැම් දාට ඒ බර
බූරුවන්ට පමණක් බලපාන ගැටළු ය

එවැනි ගැටළු
හැබෑ බර දරා සිටීමටත් වඩා දුෂ්කර බව
අපි ද දනිමු

ඉඳහිට කරුණාබර පැවිද්දෙක්
ඇගේ ඉස්තාලයට විත්
ඈට පෙයාර්ස් ගෙඩියක් දෙයි
වඩා වැදගත්ම කරුණ
ඔහු ඇගේ දෑස පත්ලට එබී
ඇගේ දෙකන් අතගා යාමයි
එවිට තත්පර කිහිපයකට
බූරුවා නිදහස් ය
ඌ සිනාසෙන බවක් පවා පෙනේ

ආදරය නිදහස් කරයි
ආදරයට එවැනි දේ කළ හැක

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Love Does That’ by Meister Eckhart

Meister Eckhart දහතුන් වන ශතවර්ෂයේදී ජර්මනියේ ජීවත් වූ ඩොමිනිකානු නිකායට අයත් පූජකයෙකි. ඔහුගේ කාව්‍ය නිර්මාණ සහ ආගමික ප්‍රකාශ නිසා ඔහු ඒ යුගයේදී බෙහෙවින් ප්‍රසිද්ධ විය.

Photo Matthew Lockhart on Unsplash

*හැකියි නම් ගලන්න*

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය

සිසිරයට වැටෙන්නට තරම් හිත දිරිමත්
මේපල් කොළේකට ආදරේ කරන්න
තැනිතලා මුඩු බිමේ තනියමත් පිපී එන
දම් පාට පොඩි මලක් ලස්සනයි කියන්න

අවසාන දවසෙදිත් ගහක් අතහැර නොයන
වයසකම නටුවකට මිතුරුකම බෙදන්න
ඉත්ත වැල හැර නොයන ඍතුමය දුක විඳින
පුංචි කටු තුඩකටත් සෙනෙහසින් ගයන්න

බුහුටි යැයි කිසිවෙකුත් නොසොයනා තැන් වලට
ආදරේ පුරෝගෙන ජීවිතේ ඇවිදින්න
සොඳුරු අත් තදින් ගෙන සොබාදම් මහිම ගෙන
රසකැවිලි කන්ද බැස මී රසින් ගලන්න

මට ඕන වෙනසක්

ජයතිලක කම්මැල්ලවීර

මට ඕන වෙනසක්
හදවතට දැනෙන වෙනසක්

එහෙම කිව්වම වරද්දගන්න එපා
ආදරය ගැන එහෙම නොවෙයි

මට ඕන වෙනසක්
ඔබටත් දැනෙන වෙනසක්
වරද්දගන්න එපා
විවාහය ගැන එහෙම නොවෙයි

මට ඕන වෙනසක්
ඔබටත්, මටත්, රටටත් දැනෙන වෙනසක්

රිදෙන තැන් තියෙන්නැති

කුමුදි නෙත්තසිංහ - මොරටුව

කවි නොලියා ඉන්ටෙපා දැක හඳේ ආවාට
කයි කතන්දර එපා ළඟින් උන් හාවාට
ඇතැම් අත් කිටිකිටියේ අල්ලාන ආවාට
රිදෙන තැන් තියෙන්නැති ආදරේ පෑවාට

හීන් ඉකිබිඳුමක්ව රළ බිඳී හැපුණාට
ශෝකීම ස්වර රටා නිරන්තර වැයුණාට
ගැඹුරු දියඹට වඩා ආදරය තිබුණාට
වේදනයි නෙලනු බැරි මලක් වී පිපුණාට

ඔබේ මතකය ඇවිත් හැපි හැපි වැදුණාට
හදවතේ කොනක හිඳ නිරන්තර රිදුණාට
කාරි නෑ දුකත් පුරුදුයි කඳුළු ඉණුනාට
මගේ පෙම නිමනොවේ මහ සයුර සිඳුණාට

යම් දිනක යන්න වෙයි ඔබ අතැර කීවාට
හදේ ගිනි කඳු පුරා ගලයි පෙම් ලාවාට
අහිතකුත් නෑ මැණික මතක බොඳ කෙරුවාට
මගේ මල ගමට දුර බැහැර සිට නාවාට

මොරටුවේ කුමුදි නෙත්තසිංහ
(පොත් කවර චිත්‍ර නිර්මාණ ශිල්පිනි)

සම්බාහන විලාපය

කනීල් මතුරට

වහල් කමට වෙන්දේසියේ අගය තියා
විකුණුවේ ළද ලියන් වැඩවසම් යුගේ
අදවිකිනෙන්නේ දිදුලනඑලි ඔසු ඌල මැද්දේ
එනමුත් සරණක් නොමැත අසරණකම මත්⁣⁣තේ

වෙන්දේසියක් මෙන් ලියන් පෙලට සරවා
තේරිය හැකිද අසරණකම මුවින් වසා
නොහඞන කමට හි⁣නැහෙන ළද ලියන් බලා
ලංසුව තැබුවේ එකියකගේ කම් පහස සොයා

ගත කය මිරිකෙන්නේ මසුරන් සොයනු නියා
ඇදිවත උලා දැමුනද ඔබ සිගිරි ළදුන් නොවේ
තෙරපිය මුවා උනා හිරිමල්විය වතුරේ ගියා
හමනා වරදට පියබාගොස් නොම වැරදිකලා

දෑතට නොමැත වෙන විරියක් රැකුම දිවි
උරුමෙද ඉපදිම ලක්මවගේ ළද ලියක් වී
අලසකමද අසරණකමද පාමූල නලියන්නේ
උරුමේද ලැබුම කරුමේද යහමග නොමවියත

සුදු ඇත් පොවුවෙක් කුසවට උරුම නගේ
ඇයි කෙලසන්නේ කුලුදුලේ සිහින් කොත
දන්නවාද ඔබ මව් කුලේ ඇතිනි බව
ඉඩදියන් මවුකුසට කුලුදුලෙන් රින්ගන්න

මඟ වැරදුනොත් ජිවනමඟ ගෙනියන්න
නගේ නුබනොදනි මරුකට පාමුල ගාව
නැතඉන් ගොඩඑනුම මතු කිසිදාක
දැන් දැන් අවදිවි සිතපම් නොපමාව

සමනල සඳෙස – 6

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

දතයුතු කරුණු ගොමුව - 4

106. හිතවත සමනලය නුඹ සිත සදා ගෙන
දැරණියගලට දී අයිතිය සදාතන
නැණ ඇස - නුවණ දුන් උගතුන් සදා මැණ
තැනු බිම සොයන්නට යනු මග සදා ගැණ

පලාබත්ගල දනුව

107. පලාබත්ගලේ හැඩ පෙර බලන්නට
පලාබත්ගලේ වැඩ බිම සොයන්නට
පලාබත්ගලේ කඩ ඉම දකින්නට
සලාපන් මලේ තඩ පත් වා රළට

108. සමනල ගිර පතුල ඇති වටපිටා වේ
බත්මුල හැඩය ඇති ගිරයක් වටා වේ
බත්ගල පසු ව “බද්දල” විය රටා වේ
බද්දල “පලා” මුල් බැන්දයි කතා වේ

109. ඉතිහාසයට නෑකම් ඇති මෙ පින් බිමේ
පලාබද්දලින් ඔප වුණු මැණික් හිමේ
දෙස රැස නුවණට ම බස ඔප නැගුණුකමේ
අභිමානයෙන් බද්දල ළග සිරස නැමේ

110. සමනල බලාපන් අත් සතරට ම ගොසින්
බිහි කළ පිරිස්, ඉදි කළ ගොඩනැගිලි රිසින්
බලා දල මැදින් උන් මව් පොළොව උඩින්
නිසල රූ විලස ඉදි දැයි පියවි ඇසින්

111. නැණ ඇස පාදවා කළ දැඩි සත්කාරේ
වන බැස යන්ට ඉඩ දී සිටි හැම වාරේ
පැන - පැන ගැවසි ගත් දෙස මාමක හූරේ
දැන - දැන නොගත්තේ ගත යුතු තැන වීරේ

112. කම්පා නොවනු සමනල නුඹ සරන ඉමේ
දුටුවොත් සිත රිදෙන කළබල වන තරමේ
දුටු දෙය දුටු ලෙසින් කවිකර දෙන වරමේ
නුඹටත් හිමි ය මටමෙන් කරුණා මහිමේ

සමනලයා දුටු පලාබත්ගල

පලාබත්ගලින් විදුමිණ
113. හැඩ ගති බත් මුලක කවුරුත් පිය බදිනා
වැඩ ඇති ගත් පුවත් බිහි වුණි සිත් බදිනා
සැඩ ගති සත් නුවර කදු රට රජ බදිනා
වැඩ නැතිමුත් මෙ “පලබත්ගල” මන බදිනා

114. සමන්ගිරේ පහළින් ඇති සුපින් බිමේ
පලාබත්ගලේ අරණය බැතින් කැවේ
ධම්මකිත්ති - මලියදේව සඟුන් රැසේ
සාහිතයයි - කලාවයි රැකි සුරුන් දැයේ

115. සාහිතකමට වියරණ පිළිවෙතට කෙළේ
“කවි පව් වැණුම” රසවාහිණියක් ම කෙළේ
“සිදත් සඟරයෙන්” වියරණ එළිය කෙළේ
කෝතැන පලාබත්ගල වූ නිසයි හෙළේ

116. “පලාබත්ගලැ”යි කීවෝ ගම්මු පුදා
විදුමිණ -විදු එළිය ලැබුවෝ බොහෝ එදා
යතිවරු - පඬිවරුන් පතල ව නැණැස සදා
දුන්නේ එ තැන “පින්බිම” වූ නිසයි බෙදා

117. විදුමිණ - විදු එළිය අද දක්නට නැත්තේ
වැඩ ඇති පත්-පුවත් කිසිවක් පල නැත්තේ
යතිවරු - ඍෂිවරුන් අරණය හැර ඇත්තේ
“මුදලට - බලයට ද තේ රස” තැන ගත්තේ

(මතු සම්බන්ධයි.)

ළදරු කුරුලු පැටි තුඩ තුඩ වනන්තරේ
මහරු සිප් අමා බිඳ බිඳ නිරන්තරේ
තැවරු "සතුටු දුම්රිය" ගැන කතන්දරේ
සඳරු විපුලි කිරිලිය ගැයූ මන්තරේ

පියපත් පළන්ඳා "පොත් කුරුලු" යුග උරේ
සියපත් පිපෙන මල් ඇට විසුල ගං තෙරේ
යහපත් මැතිනි,කුසුමන් පිපෙන හැම වරේ
මිහිකත් නිසැක හිනැහෙයි ඔබට පින් පිරේ

අයුක්තිය අසල නොනැමෙන වදන් සතූ
විමුක්තිය සකල ලොව වෙත මෙතින් පැතූ
හිතැත්තිය ගැහැනු පවුරක නැතක් මුතූ
නොමැත්තිය තනිව බුදු වන සිතක් සතූ

ලොවෙන් බිඳක් නොපතා ආපිටට මතූ
තුටින් පිරූ යුතුකම් ලොව නමින් යුතූ
හදින් විසල් පෙම් කවියක් ලියූ මිතූ
"සකුන්තලා" නොපැළඳි බොරු සිනා නෙතූ

"නික්මනක නිමිත්තක්" ලියා සසරේ
ඉක්මනක ගමනක් ගියත් ඔබ මිතුරේ
සක්මනක සහස් පියවර අතරේ
දැක්ම ඔබෙ නිසැක ඉහලින් ම පැතිරේ

රුදුරු අකුණු ලොව කලඹන දුක අඹරේ
සොඳුරු මිතුරු "රූ" එළි දැල් වූ නිතරේ
මියුරු මිතුරි, "සැන්දැග" සැනසුම් සුතුරේ
රුසිරු කවි ම ලියැවේවා දිවි සසරේ

* පසුගිය දා හදිසියේ අප අතරින් වියෝ වූ
ප්‍රවීණ සාහිත්‍යවේදිනි විපුලී නිරෝෂිනී හෙට්ටිආරච්චි මැතිනියගේ අමිල මෙහෙවරට බැතිබරිනි.

කෘමියෙක්

කපිල කුමාර කාලිංග

කියවමින් සිටි
කවි පොතේ පිටුවකට
කොහෙන්දෝ පැමිණි
කෘමියෙකි
කිසි දිනෙක නොදුටු .

"නුඹ කවුද "

ඇසීමි ඒ ආගන්තුකයාගෙන්
පිළිවදන් නොමදී
බලා සිටී ඒ කෘමී
මා දෙස
තිත් තිත් පියා සළමින්

"නුඹ කවුද"

කෘමී ද අසන්නාසේ ය
මාගෙන්
"මේ කව් කියවමින්
සොයමි, මම, මා"
පැවසීමි මම.

මුද්‍රිත වදන්
බොඳව මැකී යයි එසැණින්
කෘමියා
පමණකි
හිස් සුදු පිටුවෙහි
"නුඹ කවුද... නුඹ කවුද"...
එවර නොඅසමි ඒ පැනය

ගස හැරයන කොළ…..🍁🍂🍁

කිත්මිණි ජයසිංහ - ලන්ඩනය

විසිරී යයි කොළ සුළඟට
ඉගිලී යයි නොහිතන දුර
හැලිලා මැලවී හෙමිහිට
ගිලිහී යයි ගස තනිකර

දැනුනා ගසටත් ඒ දුක
යන්නම යනකොට ඒ කොළ
නවතාගන්නත් බැරි කොට
හිටියා ගස මුණිවත රැක

අහුලා ආයෙත් හෙමිහිට
තියාගන්න හිතුවත් ගස
සුළඟට විසිරෙන ඒ කොළ
යන්නම යයි ගස අතහැර

ගිම්හානයේ ගීය

කුශාන් ලවන්ග

ඈත මානෙක උසම කන්දක
ඔබට ආසිරි ගෙනෙන සුළඟක
කොහේදෝ සිට මමත් ආවේ
නුඹට නොපෙනෙන ප්‍රේමයයි

අහිමි වන්නට දෙයක් නෑ තව
අහස කිවේ ප්‍රේමයයි
ඒ නුඹට නොපෙනෙන ප්‍රේමයයි
මමත් පැටලුණු සෙනෙහසයි

ඔහේ පාවී යන්න නොහැකිම
සිනාසීගන හැඟුම් හංගපු
නුඹට නොදැනුන ප්‍රේමයි
මා ඔබට ලොබ බැදි අහසමයි

එකට අතැගිලී බැදී නොතිබුණ
සිතින් සියොලග එකට බැන්දුව
අසම්මතයක මා දවයි
ඔබට මා එහෙම දවසක් පෙම් කරයි..

ඇත ඒ මිහිරි හඬ රැඳිලා………..

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

දහ සය වසර තුන්වෙනිදා නොවැම්බර
හෙන හඬ නැතිව වැදුනා හෙන පාන්දර
පෙරදිග අහස බොඳවී හලමින් දියර
පියවිනි දෙනෙත පඬිතුමගේ එ සුන්දර

අන්තිම වසර තුන හත රක ඇසුර මට,
ලැබුනා පෙර පිනෙන් මැනවින් විදගන්නට,
සිහින් සිරුර ලඟ ඔබගේ සිටන විට,
දැනුනේ යෝධ ඝම්භිර උතුමෙක් ලෙසට.

දැනුමින් ගුනින් සපිරුනි ඔබෙ අබියසට
ගිය කල කුහුබියකු වෙනවග දැනුනි මට
ඒ හඬ සවනෙ රැඳි කල ගී යක ලෙසට,
දහසක් ඇසුන ගී සැනකින් ගියෙ යටට.

සුන්දර සිනා රැලි සමගින් ගෙනෙන බස
රසමුසු වදන් නොඅඩුව ඒ මහඟු ඔස
විශ්ව කෝශ පරදයි ඒ සරල බස
ඇසෙන අපට ගෙන දෙයි නිරතුරුව තොස

කුළුනු ගුනෙන් සපිරුනු පඬිතුමනි ඔබ,
නිහත මානි කම ඉහලින් තිබුන ඔබ,
සරල වතින් කෙරුමෙන් පිරි හදේ ඔබ,
බෝදි සත්ව ගුන පිරි මහතෙකුය ඔබ!

ගත හැර ගියත් හඬ හත් වසරකට පෙර,
ඇත ඒ මිහිරි හඬ රැඳිලා ගුවනෙ දුර,
සිත නැවතුනත් ගුණ සිතුවිලි ඇත විසිර,
ලෝ වැසි දනන් පිබිදෙනු ඔබෙ ගුන සමර!

මිත්තණියගෙ දුක

ලලිත් මල්ලවාරච්චි - ඔස්ට්‍රේලියාව

මා සුරතල් කළ අම්මා මට කී
පුංචි කතන්දර රස කව් ගී
කියා දෙන්න බෑ
මගේ මිනිබිරියට
ඒ බස ඈ දන් නෑ

ළදරු සන්දියේ මගේ සෙවෙණෙදි ඈ
බහ තේරුව ඒ තොඳොල් වදන්
මතකේ නැතුවද ඈ කියන්නේ දැන්
මට නොවැටහෙනා නුහුරු තෙපුල්

මගෙ උකුලට දුව පැන හුරතල් වූ
පුංචි පැටික්කිය මා හැර ගිහින්
දුරු රට දෙස බස හුරුකළ ඇය මට
දැක ගන්නට හැකි වේද යළිත්

කාලය හොර රහසේ සඟවාගෙන
සිඟිතිය දුරු රටකට කැඳවා
සෙල්ලමකට සැඟවුණා ද මන්දා
සොයන්න නම් දැන් බෑ

තුති මල් මිටක්…..!

ලලනී ගීකියනගේ - රත්නපුර

මතක් කරනට ඇතත් රිසි විලසේ..
දිනක් අරුණළු මුදුන්වන දවසේ... පතක් මදනල මුසුව සම විලසේ....
සඳක් පායා තවත් දවසක , අහස් කුස දිලිසේ...!

විලක් හිනැහේ තඹුරු යායක් සේ... රතක් අහසේ හිරුට අවනත වේ.. තොසක් නොවිඳින ජීවිතය සැඩවේ...
දුකක් නොපතන සිතක් නොරිදේ, අතීතය හිනැහේ..!.

හුඟක් කළුවර රැයක් නිසසලසේ..
රළක් නොබිඳී ඇදී දියඹටයේ...
මිටින් හලවිට කුරුළු රෑනක් සේ..
ඇවිත් අතලඟ ගී ගයන්නට, තුරු හිසක ගැවසේ..!

කාලයේ ගං තලාවේ වැතිරී...
තාලයේ වීනාව මනමත් වී...
මාලයේ මුතු ලෙසට එක් රොක්වී.. ආලයේ රස බෙදා දුන් හැටි , පරපුරම එක්වී...!
.

කුමුදි නෙත්තසිංහ_ මොරටුව

ලකී ගනේවත්ත - පැරීසිය

Author කුමුදි නෙත්තසිංහ_ මොරටුව

තිබුණොතින් ප්‍රේමයක හැඩතලය බෝසත්
හදවතින් නුඹ ටිකක් මිනිහෙක්ය පෝසත්

(පොත් කවර චිත්‍ර නිර්මාණ ශිල්පිනි)

සඳු ඇතිදාට **************

ලුෂානි දමයන්ති - කැකිරාව

හිරු අවරට ඇදුනාට
සතුටු වුනෙලු සඳු රෑට
ගඟනත නෙක නෙක පාට
හැඩ කරවයි.....

පුර පොහොයට සඳ පාන
දිඳුළන'යුරු රස ගේන
දොර ඇරියම පිටවාන
ලෙස විහිදයි......

තුරුගොමු මත ඇතිරිල්ල
සඳිසි සඳුගෙ එළි දැල්ල
මිහිමත ඇදි සෙවනැල්ල
දහවල මෙන්.......

සඳ අහසට නැගුනාම
දියමත පිපි මල් සෑම
කැමතිලු සඳ දිය නෑම
සැම දිනයේ......

දුරුකොට සියළුම දෝස
කොඳ කුසුමන් හැර දෑස
සඳ වෙත පා මදහාස
පෙති විහිදයි......

තරුකැට තුරුලට ඈඳ
ගනිමින් කරවන සාද
සැනකෙළි සරයක් වූද
සඳ මඩලේ......

කැකිරාව

උමතු ලොව

ලියෝමි චාමිකා

වෙලා මගේ හිත
ආදරබර හැඟුම් මත
පියවි සිහියෙන් ඔබ්බට
පිය මැන්නා මං
වලාකුළු මත

ඉර රවා ඔරවලා
හඳත් කළුවර වෙලා
තරු කැටත් ඔච්චම් කළා

වලාකුළුවල සැහැල්ලුව
තිබුණා මගෙ පුංචි තටුවල
මටත් නොදැනිම පියාපත්ටික
මටම සමුදී ගිහින් වෙනතක

මතකයට මගෙ අඟුල් වැටිලා
පාරෙ ඔබ මොබ ඇවිද ගිය මගෙ
හිරි ඔතප් දෙක බිදී තිබුණා
උමතු ලෝකෙට මමත් වැටිලා
මට උරුම මගේ ලොව
මාව තනිකර ගිහින් තිබුණා

“නෙත් සර”

ලියෝනි අමරතුංග - කැනඩාව

රෑ කල හේනට ගාටන වේලේ
ඈ දැක පෑ හිත ආදර තාලේ
කෝල සිනා පැටලී නෙතු දෑලේ
කීවෙ කතා බිඳ දා හද සීලේ

ආවට භාදක නෑ පිටු පෑවේ
නෑනගෙ ආලය මාහට වූවේ
මී බිඳු වෑහෙන මල්බර ජීවේ
සෝදුක නෑ හද පෙම් රස යාවේ

සාරිය අන්දල පෝරුව මත්තේ
දෑඟිලි බන්දල අෂ්ටක නැත්තේ
රාගික නිල්මිණි නෙත් සර මත්තේ
ආදර රන්කඳ ළංකර ගත්තේ

( ගජ ඡන්දස - තරඟවැල විරිත ඇසුරෙන් )

~~ ලියෝනි අමරතුංග, කැනඩාව ~~

අමර – දේවයාණෙනි,

ලයනල් ගමගේ ඌරුමුත්ත

මිහිරි වීණා නදට රස මුසු
ඔබේ කටහඬ ගැඹුරු සියුමැලි
දැනුත් ගුවනේ ඇසේ නිතර ම
අපේ සිත් විකසිතවෙලා මුදු

සරම ඇඳ ගැමි ගමන යන හැටි
තරම දැන තත් පිරිමදින හැටි
උඩගු මානය ද්වේශ සිත් නැති
තව ම ඔබමයි අපට මිණි මුතු

මිනිස් ගුණ දම් සිතක බල ඇති
ඔබේ රූපෙට වෙනත් රුව නැති
වත නැතත් මතකය මැකී නැති
අමර ස්වරයේ ඔබයි හඬපති

( ඩබ්ලිව්. ඩී. අමරදේව ගාන්ධර්වයා අහාවප්‍රාප්ත වී වසර 7 ක් පිරීම නිමිත්තෙනි)

ඇය

මල්ලිකා කුමාරසිංහ - බදුල්ල

සිතුමිණ බදුරු ගට
කප් රුක සහ සුරබි දෙන
මගෙ පැල එකළු කරවන
ඇයයි මෙලොව සොඳුරු සිරිලිය

හද බැඳුණු සෙනෙහස
මහ මෙරට සම වනු ඇත
අපමණ වූ කම් කටොළු
මා නිසාම විඳින්නී ඈ

තොටිලි පදවන අත
ලොව පාලනය කරතී
පඬිවරුන් කීවේ මේ
සොඳුරු පද ඇය ලද බලයයි

ලොව උතුම් පදවිය
අනභිබවනීයයිනේ
රජ සිටු බමුණු කැළ වුව
ඇය අබියස දණ නමාවී

සෙනෙහස හදෙහි බැඳි
මහ මෙර සම කරන්නී
තම දිවිය දරු කැළ වෙත
නොපැකිල පරදුවට දෙන්නී

ළහිරු රැස් විලසින්
හෙළි කරයි අප යන මග
හමුවෙහිදි අසරණ බව
ළඟම හිඳ දිරිය වඩයි ඈ

විටෙක මඳ නල වෙයි
වරදට සැඩ සුළං මෙනි
සරතැස නිවන දිවියේ
හෙළි කරයි අප යන මාවත

ගොයුම් ගොත් හිමි සඳ
අම දම් රස බෙදන විට
ගෙදර බුදු මිණ ඔබ බව
මුළු ලොව ම හමුවෙහි පෑවෝ

ගෙදර බුදු මිණ වෙත
මල් දුම් පහන් පුද දී
සැමදා පුදනු නිසි ලෙස
වඳිනු ඇයිද අදිසි දෙවි කැළ

ඇගෙ ආසිරි වාද
ලැබනු ඇත යන හැම තැන
මතු බුදු වන පැතුම ලද
ආදරණීය අම්මා නමින්

බදුල්ල

පැරණි පෙරළුම් කවියක්

මල්ලිකා කුමාරසිංහ - බදුල්ල

නන් නන නන නන
නාන එනානය
ඇදුරනි
කොයි කොතැනද පවසන්

දන් දන දන දන
දාන එදානය
ඇදුරනි
කොයි කොතැනද පවසන්

ඤඤ් ඤඤ ඤඤ ඤඤ
ඤාණ එඤාණය
ඇදුරනි
කොයි කොතැනද පවසන්

තන් තන තන තන තාන එතානය
ඇදුරනි
කොයි කොතැනද පවසන්

නන් නනනන නන
නාන එනානය
නේරංජන ගං දිය නානේ
දන් දන දන දන
දාන එදානය
ඇස් ඉස් මස් දන් දුන් දානේ

ඤඤ් ඤඤ ඤඤ
ඤාණ එඤාණය
මහෞෂධ
පඬිඳුන්ගේ ඤානේ

තන් තන තන තන
තාන එතානය
බුදුවෙන්නට
වැඩි ඉස්තානේ

රාජ්‍ය සේවය පිණිසයි !

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

රජයේ සේවයේ හොඳ නිලයන් අතර
කුණුවූ චරිත වැඩියෙන් හමුවෙයි නිතර
මාසේ පඩිය ගන්නට පමනක් විතර
ගොළුබෙලි ගමන කවදත් නොකරයි නතර

අසරණ කෙනෙක් කරගන්නට තම වැඩය
ආවිට දැකිය හැක නිලයන්ගේ හැඩය
ලිපි ගොණු සොයාගන්නට කාටත් බැරිය
ඉඳ හිට හොඳ කෙනෙක් සිටියොත් නම් ගොඩය

වරදක් වුවොත් නිවැරදි වෙන්නට පැකිලේ
සම නිලයකට අවැඩක් වේනම් හැකිලේ
අත්සන යොදන්නට සතියක් ගත කරතේ
ලිපි හුවමාරු කරගනිමින් කල් මරතේ
තැපැල් ප්‍රමාදය ගැන රචනා ලියතේ

මුදලට වහල් වී අනුනට කත් අදින
මිනිසුන් එමට ඇත උඩඟුව උඩ පනින
වනසා පරිසරය හපකර සතුටු වෙන
උන්ගේ විෂ නසා සිටුවමු සුදුසු තැන

රජයේ ඉඩම් තම සතු යයි සිතාගෙන
හරි යයි කියන්නට ලියැවිලි හදාගෙන
පරිසර මොටද කන්නට දැයි අසාගෙන
අවභාවිත කරති නිළ නම් දරාගෙන

නිළතල වලින් වහගන්නට තම සෙළුව
කොතරම් තැත් කළත් ගොඩ එන්නට බැරුව
මුදලට ගිජුව පරිසරයට වින කෙරුව
උන් හට නෙලමු යන්නට ඇඩ්ඩ්‍රස් නැතුව

පෙර කල සිටිය රජයේ නිලදරුවන්ට
මිනිසුන් ගරු කළේ ලෙසටයි දෙවියන්ට
උන් කැපවුනේ රජ සේවය බැබලෙන්ට
එම නිල රුවන් අද විරලය දැකගන්ට

තම රැකියාවෙ යුතුකම හරිහැටි හැඳින
මුල්තැන ජනතාව බව නිති දැන උගෙන
ගන්නා පඩිපතට කිසිවිට ණය නොවන
නිළමක්කාරයන් බිහිවේවිද කෙදින

අසාධාරණය දුටුතැන එරෙහි වෙමී
දුබලුන් පෙළන්නන් හට නම් පහර දෙමී
ලොක්කන් ඉදිරියේ තුන හතරට නොනැමී
සත්‍යය දිනන තුරු කිසිවිට නොනවතිමී !

ශරත් සමය

මාලිනී හෑගොඩ - USA

කාලයේ තාලයට
හරි තතම හරියටම
වැයෙන ඒ රාවයට
හඬ නොදෙන කන් කුමට

කොළ පාට හංගන්න
රතු පාට අරගන්න
සුළං රැළි සිප ගන්න
බිම පහස විඳ ගන්න

පතන පත් ඇඳි තුරූ
මවන ඒ විසිතුරූ
දකින නෙත් පින් පිරූ
තවත් මොකටද බොරූ

පත් ඇඳුම් ගලවලා .
රතු පලස බිම එළා
තවත් ටික දවසකින්
ගස් ඉතින් තනිවෙලා

පලස මත ඇවිදිමී
අලස ගති දුර ලමී
අකුරු පොඩි අහුරමී
කවියකට අරගමී

දනී නම් නුඹ සොයන දෑ

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

හොරෙන් ඇවිදින් වරින් වර ගෙය ඇතුලේ සක්මන් කරනවා
කුමක් සොයනා බවක් නොදනී හොරෙක් බව නම් දන්නවා
කුමක් ගෙන ගිය නමුත් මාගෙන් කමක් නැත මට සිතෙනවා
මගෙන් විමසන්නට නුඹට දිරි නොමැති බව මට පෙනෙනවා

නුඹෙන් වුනු වරදක් සගව ගන්නට දරන වෙර දන්නවා
එයට බැදි හැම දේ මකන්නට ඇවැසි බව මට පෙනෙනවා
සගව ගන්නට කිසිත් නැති බව ඉතින් මම නම් දන්නවා
නුඹේ කාලය පමනමයි අපරාදේ ගෙවලා දමනවා

හැකිය මට අත දෙන්න නුඹටත් සොයන දෑ මම දනී නම්
කාසි රන් මට නොමැත පොත පත පමනි ඇත්තේ දුටුවා නම්
ගෙනත් දෙනු යලි මගේ රන් වැනි පොත පතක් ගෙන ගියා නම්
කුමක් කරනෙමි නුඹ සොයන දෑ මගේ ලග නම් නොමැති නම්

පසු පසින් විත් කරන කෙනෙහෙලි නොමිනිසුන් නම් කරනවා
වැරදි ඇතිනම් හදා ගනු වස් කියාදෙන එක වටිනවා
මා මරන්නට ඇවැසි නුඹටත් මාරයා අත වනනවා
සිහි එලව ගන් එසේ නැත්නම් මටත් පෙර නුඹ මැරෙනවා

Dr Manjula Silva
High Wycombe,UK
29/10/23

බෝනික්කා තරහ වෙලා කබඩ් එකේ
හිරකරලා
කෝම්පිට්ටු නරක්වෙලා පොල්කටු ටික
විසිකරලා
පාංබට්ට දුරස් වෙලා පේපර් පොත්
මුවඇරලා
බට්ට කොටුවෙ ඉරි මකලා චක්කර ටික
රජකරලා

තියරි ක්ලාස්, පේප ක්ලාස්, ඉබ්බ හාව
රේස් එකේ
රිවිෂන් ටික පටන් අරන් හය මාසෙලු
පෝන් එකේ
දාහ දෙදදහ පන් දහසයි පී එක මේ
කෝස් එකේ
අලි බත් ගුලි රෝල්, පැටිස් බඩට යනව
වෑන් එකේ

ටීචත් මට බොරු කිවුවා සතියට දින
හතක් කියා
ඒත් අනේ වැඩ අස්සේ දැනුනෙ ඒක
අටක් කියා
හීනෙන් සැදු ගණන් පෙනේ හෙමි හෙමිහිට
රහස් කියා
නින්දත් දැන් දුරට ගිහින් නිමක් නෑනෙ
මෙතෙක් කියා

අම්මේ මං තවම පොඩියි නෑ නේ කිරි
සුවඳ ගියේ
දාංගලේටයි ඩිංගක් සෙල්ලමටම
සිතත් ගියේ
මේ කඩ ඉම මහ බරක්නෙ ළමා කාලෙ
ගෙවිල ගියේ
ඒ කාලෙත් අපි වගේද කොහොමද ලොකු
දුරක් ගියේ

මයුරි කොඩිකාර
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මතක

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්

තබා ලස්සන සොඳුරු සැමරුම් යටිම හිත පතුලේ

හිනා අව්වක් ගෙනත් හලලා පුබුද පෙති කැකුළේ

කියා ගැස්සෙන සොඳුරු පදවැල් දවටලා දෙතොලේ

ගියා සුවඳක් හිමින් තවරා තවම හද ඇවිලේ

කතා කිය කිය විටක ගෙව්වත් අඩ පැයක් මැනලා

මහා කල්පය සිටිය තරමට හිතක බර රැඳිලා

කලා සපිරුණු හඳක් පිපිලත් අමාවක ලබලා

හිතා ගනු බැහැ මතක මෙතරම් ඇයි නපුරු කියලා

ගොතා එක එක හුයක දවටා හිමි හිමින් අහුලා

ඉතා මිහිරැති මතක මල් පෙති සුළඟ හා යවලා

ලබා ගන්නට වහා සැනසුම මගෙම මග සොයලා

පලා යන්නෙමි බොහෝ ඈතට තිතක් සේ මැකිලා

සසරක නිමාවත් ඒ වාගෙම නේද

නදී ශානිකා - මහනුවර

ලස්සන කඳුරටක මිටියාවතක කොනේ
සුන්දර හැඟුම් මවනමීදුම්මඟ රැඳුනේ
හඟවන නලාහඬ දුම්රිය එන ගමනේ
නිශාකල එමඟ රැඳි පාළුව දැනුනේ

කළුවර කපා විහිදෙන මඳ එලිය රැඳේ
දුම්රිය හෙමි හෙමින් නැවතුමට ඇදේ
නැවතුමෙ නැවතිලා යළි ඉදිරියට ඇදේ
සැමරුම් මතක දුම්රිය සේ පෙරට ඇදේ

නවතින්නට සිතා නැවතුම වෙත ඇදෙන
නොනැවත ඉදිරියට යන්නට මං සදන
සසරක ඇරඹුමක මං සළකුණු කියන
ගමනක හැඩය නොමවෙද දුම්රියනෙන

ඇරඹුම එක්තැනක නැවතුම කොහි වෙයිද
කියනා කොතැන නවතින්නට සිදුවේද
සිතනා විටෙක නවතින්නට බැරිවේද
සසරක නිමාවත් ඒ වාගෙම නේද

ජීවිතය නම් මේ දුම්රිය මාවතය
කොතැනක දුබලවේදැයි නොදනීය
දුබල බව සසර නිසි නැවතුම නොවෙය
යළිඳු සරන උපතක ඇති හිස් ඉඩය

දුම්රිය යන්න මේ මඟ ඇවැසිම වේය
මේමඟ යාම කළහැකි දුම්රියටමය
සසරක ඉමද මේ ගමනට සමවේය
නොරැඳුම හාරැඳුම පැවසුම අනියතය

ලොකු දුවගෙ කොටහළුව

ඩී.කේ.හෂාන් සම්පත් සමනලවත්ත

Author; හෂාන් සම්පත් සමනලවත්ත

සුරතල් තෙපුල් කටකාරය තොරක් නැතී
දුව පැන නටයි බිඳුවක්වත් නොවෙයි හතී
දෙවියන් දුන් තිළිණයකි මට ලොවක් වෙතී
එය රැක් ගැන්ම වගකීමක් නොවෙද නිතී

තුරුලට වෙලා සිටි සුරතල් බට්ටිච්චී
ළඟ නොමැතිව උන්නු දවසක් නැත නිච්චී
පැහැදිලි යමක් නැත මෙතනත් සිදු වෙච්චී
හෙමිහිට දුරස් කෙ‍රූවේ ඇයි අප්පච්චී

හැකි තව කලක් යුග නෙත් සේ රැක ගන්න
සුරතල් කරන්නට දෝතට අරගන්න
හිතටත් වාරු නැත නුඹ නොමැතිව ඉන්න
බඹරුණි නොමැත මල්, ආවට රොන් ගන්න

මල් ඇති තැන රුවය වුව ගල් තලාවක්
ලොව කොයි දෙයක ඇත සුන්දර කලාවක්
කිම කැඩපතක් ළඟ අද වැඩි වෙලාවක්
මහ වැස්සකට දෝ මේ කළු වළාවක්

ප්‍රීතිය පමණි ගෙයි හැම අතකම බැළුව
නුහුරුය නුපුරුදුයි ඉණ වට බැදි සළුව
කඳුලැලි නොවුනු මුත් නෙතඟින බිම හෙළුව
මට මහ දුකක් ලොකු දුවගේ කොටහළුව

හඬන මගෙ ආත්මය

නාලිනී ද සිල්වා

සතියෙ බඩු එකින් එක
පැනගත්ත ට්‍රොලියක්‍
අත ගැහෙන වාරුවෙන් ඇවිදගොස්
තෝර ‍‍තොරා යයි එකින් එක

තව ටිකක් දවසකට
පණ ගැහෙන ආත්මය
බෞද්ධය කියූ බණ පදය
සිහිවෙලා තේරුවෙමි එකින් එක

ඉසිඹුවක අවසරයෙන්
අහඹුවක් වුන ගැටුම
ආත්මය විසිරුනි බිම
තැවුලකි ආත්ම ගණනකට

විසිරී බැලූ පසුපස අපුලය
විශ්මය සතුට හා බැඳී
විවර වුන මුවඟ ද ගොලුය
සෙකියුරිටි නෝනා එතැන

මම ගෙවන්නම් සල්ලි
නැගිට්ටා පර්ස් එක
අප්පච්චි What happened?
සුමිහිරිය ගීයකි ඒ හඬ

Small accident
Oh! Sorry Aunty
We will pay that damage
ඇය කඩිසරය නුඹ ලෙසම

විදුලිය විසන්ධි වී
දියවිය උණුවිය
අයිස් පෙට්ටියෙ
එදා මා දැමු හදවත

නෙතග කඳුලක සිනහවක සේයාව
කොනිති ගසමින් කියයි
මිළ කළ හැකිද?
එදා නුඹ ඉවත ලූ
මගේ ආත්මයට වන්දිය

ඔබේ හිනහවෙන හැම රෝම කූපයකම
හඬන මගෙ ආත්මය
ගෑවිලා ඇති ටික ටික
නුඹත් දන්න ඇය නොදන්න

දම්පාට හුස්මක්

නිලුපුල් ප්‍රියංකර

හවසක
නුඹෙ සුළං හාදුවක
පුපුරා යන හඬ අසම්
සුදු රවුළු කොටයක..

බිඳකට
දම්පාට සොයමි
ක්ෂිතිජය අසල
නිල්, රතු අතර මැද හරියක...

රැයකට
පිනි තැවරි
ව්යළි පත් දෙස බලමි
සේපාලිකාවන්
වඩාගෙන සිටින...

කොට කොට
නුඹ මගෙන් අහනව
මොකෝ කරන්නෙ
පුපුරා පැටව් ඉගිලෙන
මව් හාදු ඉමොජියක...

එතකොට
කෙස්ගසක මතක සොයමි
හිස් අවුළු තැටියක, ඇගෙ
විග් එකක් දාන්න ඉස්සර

බිරිතනි සැරි සමර

නිශ්ශංක දිද්දෙණිය

කාලය ගෙවුණු එකමත් එක රටක හිඳ
ලීලය දැන හැඳින දෙරටක විසුම සොඳ
කෝලය ඇතත් කියනුව ඇති සැටිය විඳ
මා ළය සාක්කිය විය මේ කවි පබඳ

උතු මාරුවට ජන ජීවිත හැඩගැසුනූ
කිතුරැස් කඳින් අබිමන් දියදද නැගුණූ
ඉතිහස ලොව බලමුලු එක්රැස් කෙරුණු
මට ගතු කියන්නට ඇත හොඳහැටි කරුණූ

තුට්ටුවකටත් මානව හිමිකම් බහල
මායිම් නො කළ අදිරද කලකට ඉහළ
මහ බිරිතානිය යි එය නම් ලද විපුල
පුදුමෙකි එහි අද එම හිමිකම් නො හල

ආවේ වසත් කල සමුගෙන යන අතරයි
ගිම්හානයෙන් දස දෙස සැලසුම් අතුරයි
ඇඳුමෙන් මුළු සිරුර සැරසූ කල නිමවෙයි
නෑඳුම් හැඳ නිබඳ සරණා ලිය හැසිරෙයි

සිතිවිලි හැගුම් පොර අල්ලන විටදි මගේ
මැසිවිලි පෙළගැසී එයි තරගයට වගේ
ගෙරවිලි අහස චුරු චුරු වැස්සකින් නැගේ
සැනසිලි සොයමි මව් රට කඩවතක් දිගේ

කොපමණ පල් හොරුන් තක්කඩි ඇද්ද රටේ
මෙපමණ නොකී අපමණ ගණනකට වැටේ
නීතිය ඔවුන් සුරකින තෙක් රජය රටේ
ගැලවුම් බැරිය උන්හට නොදුනොතින් බැටේ

රටකට ගිය කලක් දැනෙනා විට යාලූ
නටනව ඇගේ නොව බොර ගඟුලේ මාලූ
තැලෙනා පොඩිවෙනා දිවිමග බර ඉසිලූ
හතළිස් අටේ ඒ අය සැප විඳිනවලූ

දියදම් දිනිති හැඩගැන්වූ ලක් දෙරණේ
මොනයම් දෙයක් දෝ හිඟ පාඩුව තිබුණේ
එතරම් සොබා සම්පත් පිරි මෙ දිවයිනේ
මෙතරම් බංකොලොත් තැනකට ඇයි වැටුණේ

බලහත්කාරයෙන් ලොව හෙල්ලූ අයට
හැකිවිය මිනිස් දහමට නිසි තැන දෙන්ට
සැලසුම් කරණයෙන් එය ගොඩ නොගන්නට
හැමදාකමත් තිබුණේ සිහිනෙක ඉන්ට

නගරය,ගමය හඳුනාගත හැකි ලකුණින්
වෙනසක් වෙතොත් ඉදිවුණු බිල්ඩින් පමණින්
නෙක රූ රටා මැවෙනා වේ මං අතරින්
ලන්ඩනයත් ගැවසෙයි තුරු වන වදුලින්

මාවත් රටාවල නෙක මංසන්ධි ඇතත්
කුරුස හන්දි ලෙස නම් කර නැත කොතැනත්
ජේසුට පල්ලිවල ගරු පිදුමන් ඇතිමුත්
යාදිනි ඉවත ලා ඇත සමහර පල්ලිත්

ආගම බුදුදහම නම් ලද ඇදහීම
අපමණ හන්දි ගානේ ඇති බුදු පිළිම
ඇයි මේ තරම් මට වද දෙන්නේ මෙහෙම
හඬගා කියයි මුනි දෙසු දහමේ තරම

අතරින් පතර දිසි මහ පන්සල් ගානේ
රහතුන් බුදු පුතුන් පෙළහර පානු පෙනේ
පැන පොඩියක් අහනට අවසර ද අනේ
කල්ගත උනත් ඇයි වැඩ අහවර නූනේ

උත්තම මිනිස් ගුණයුත් සුන්දර ඇසුර
ඔදවත් කළා ලන්ඩන් නළු ගී මිහිර
යළි යළි බුබුළු දමනා ඒ ප්‍රිය සමර
තවමත් පිපී එයි හද ගැබ හැඟුම් බර

ලිවපූලයට ලප නොමන් සඳසේම
මී යැසි එළිය විහිදූ නළු ගී යාම
දැවටෙයි සොඳුරු ඇසුරක කියැටිය තාම
බෝ දෙන අගය මතුරති වෙනසක අරුම

පැදුරක් යනු සාමය එකතුව සුහද
මිහිරක් විඳින්නට ගී අම මිහිරි නද
තුෂාරයක හව්හරණින් සෙවණ විඳ
පැදුරේ සුවය ලැබු දින මාරයි නේද

සෙත් වේවා දිරි දුන් ඔබ සැමට මගේ
සැරිසර විඳින්නට බිරිතනි සතුටු ගඟේ
අබැ'ටක් තරම් වී නම් අඩුවක් මාගේ
ඉවසා සමාවනු මැන එය කරමි අගේ

ළමා ළපටින් පිරිවරාගෙන
කෙළිදෙලෙන් සිටි ඒ යුගේ
සමනලුන් සේ පියා සැලුවා
දසත සරමින් නිදහසේ
තහංචිත් තිබුනේම නැති ඒ
සොඳුරු නිවහල් ජීවිතේ
ගෙවූ සුන්දර ළමා විය අප
සදා නොමැකෙයි හදවතේ

'හැංගිමුත්තන්' 'ඔට්ටු සෙල්ලම්'
කලේ අපි හරි සන්තොසින්
'ගස් මාරු' සෙල්ලම කරන්නට
ගසුත් තිබුණනෙ ඇති තරම්
දිය කඩිති සහ මඩ කඩිති වල
ගිලී නැටුවා ප්‍රීතියෙන්
ඔරු හදා කොළ කඩා පොත් වල
බැනුම් ඇහුවා ඇති පදම්

වහිනකොට හරි රජ මගුල්
වැහි පීලි වතුරේ නෑව නේ
කෙසෙල් කොට පහුරුත් හදාලා
වෙලේ බැහැලා පැද්දනේ
ගප්පි මාලුන් එකතු කරලා
මාළු ටැංකිත් හැදුවනේ
ඉහින් බහිනා ලෙඩක් අප හට
හැදුනෙ නෑනේ කිසි දිනේ

ගඩා ගෙඩි ඇති තරම් කෑවා
තිබුණේ නැහැ කිසි වස විසක්
ලැබුණ දේ සම සමව විඳලා
පුරුදු කෙරුවා යහ ගුණත්
දමා සෙල්ලම් ගෙවල් මැව්වා
පුදුම තරමේ රස ලොවක්
එවන් සතුටක් අද ළමයි හට
නොමැති එක නම් හරි දුකක්

ළමා මනසක් නැති තරම් අද
ළමයි හට මේ කාලයේ
බිත්ති හතරට කොටු වෙලා
ඉන්නයි මනාපය හැම වෙලේ
පරිසරේ අගයක් දකින්නට
පුරුදු නැති හිත් මානයේ
සිහි කරන්නට මතක සැමරුම්
තිබේවිද වියපත් කලේ

මොබයිල් පරිගණක සෙල්ලම්
ජීවිතය සේ සලකනා
රොබෝ මනසක් සහිත දරුවන්
රටට බිහිවෙද මතු දිනා
නොඇසූ විරු නෙක රෝග මතු වී
නිරෝගී බව නැති වෙනා
තාක්ෂණයෙන් කුමන ඵලය ද
ළමා පරපුර පිරිහෙනා

සිහින පසුපස යන දෙමව්පියො
ළමා විය ගැන නොසලකා
දරන්නට බැරි බරක් පටවති
අනුන් පරයා යන ලෙසා
ළමා වයසේ සබැඳියාවල්
නොමැති දිවියක පල කිමා
මවුපියන් මේ ගැන සිතීමත්
ළමුන් හට වැදගත් තමා

දෙපා සිවුපා

කනිල් මතුරට

මිනිසුන් මරා මිනිසුන් යුද වැද ගන්නේ
මනසින් උසස් බව කිමද නිගරුවකිනේ
සිවුපා සතුන් කිසිදා නෑ වරිගේ නසන්නේ
මිනිසත් බව ලැබ අප කුමට උපන්නේ

ආගම දහමට නැබුරුව කියමින්නේ
ආගම දහමම විකුනන් කන්නනේ
තිරිසෙනෙකුට ඇති හර නැනි මිනිසුන්නේ
නොපෙනෙන දෙවියන් දැඩි කොට වරිගේ නසන්නේ

නොසොයනු මැනවි

Nethra - Year 5 New Ash Green Primary School London

Author ; Wasana Payagala

ගලක් නොවුණෙ ඇයි මා හද
නිරන්තරව මා අවටින්
නැගෙන සෝ සුසුම් නොදැනෙන
දුක් ගැනවිල්ලක් නෑසෙන

විඳින සතුට-සුවය-මිහිර
පෙණ බුබුළක් වේ දිළිසෙන
අසන දකින නොයෙක දෙයින්
හෙමින් සැරේ දියවී යන

"නියඟය-ජල හිඟය-සාගතය
සමනළ වැවේ වතුර දියව්!
කුඹුරු අක්කර හැටදාහක්
විනාශයි...."
වරෙක සවනත වැකෙයි.
" අධික වැසි-ගංගා පිටාර ගලයි
ගං වතුර -නාය යෑම්
පවුල් ලක්ෂයක්
අනාථයි...."
වරෙක මා නෙත ගැටෙයි.

කඳුළු පිරි දෙනුවන්
බැගෑපත් හඬවල්
නම නොදත් මිනිසුන්
හෙටක් නැති දරුවන්
මා මනස කළඹවයි

ලොව කොතැනට වී සිටියත්
මේ සියල්ල නිරන්තරේ
මාව සොයා එන අරුමය!
ගලක් නොවුණෙ ඇයි මා හද

වරදකරුවෝ මෙන්න…

නයනශාන්ති දිසානායක

තිබේ නම් සැමරුම් මතක ආදරේ මත මැවුව

දවා හළු කර පා කෙරිය යුතුය ඟං දියක සුළියක
සුළඟ වත් නොහැමිය යුතුයි යළිත් ඒ දෙස සිට
කුරුළු ගී වලින් ගෙන මැකිය යුතුමයි තනුව
සඳ තමයි වග කිවයුතුම රැය පුරා කවි මැව්ව

සුළඟ යලි කිසිදාක සිසිල නොවිදිය යුතුය
අනෝරා වැසි මිසක පොද වැස්ස තහනම් ය
රෝස මල් වලට දුන් රතු පැහැය ගත යුතුය
සුදු විතරමයි සුදුසු අරලියා වතු සුද්ද

සමනල්ලු මල් එක්ක රහස් නොකි‍යා යුතුය
රැල්ල වෙරළට හෙමින් ගාටන්නේ කුමකටද
ඉර අවර බැස යද්දි පාඩුවේ යා යුතුය
හෙට උදේ මලානික රැස් පලමු ආ යුතුය

වග කියන සියල්ලන් රැගෙන අත් අඩංගුවකට
වරක් දෙමි නිදහසට කාරණා පවසන්න
"ආදරය" වැරදි බව කිව්වොතින් එක හඩට
නිදොස් කොට නිදහසක් ලබා දෙමි හැමෝටම...

“නිස්සරණය”

නදී විතානාච්චි

කදුලක් නැගෙන විට සැමදා නෙත අස්සේ
මෙතුවක් කල්ම දිවුවේ කම් සැප පස්සේ
සැනසුම ලබන මග සිත නිවනට සිත්සේ
දුටු විට තැඹුණි පියවර ඒ මග ඔස්සේ

නින්දා අපහාස දෙනවිට පුදා තුති
කරදරවලත් වෙස් ගත් ආසිරි පවති
තැලුන බිදුන සිත අටලෝ දම දකිති
රිදවූ සැමට පින් දී ධර්මය සොයති

බැදිලා බිදිලා යන බැමි වල දුක දැකලා
මැවිලා සිදිලා යන දේ අසිරිය විදලා
කැඩිලා වැටෙන කැණි මඩලේ සැටි දැකලා
සම්මා සම්බුදුන් වදිනෙමි දිවි පුදලා.....

බකවත

නිමල් අබේසිංහ - කඳාන

මුහුළු පුප් පිපී මල්මී වෑහෙයි සුගන්ධයෙන් බිඟු මත් වීලා.
බමා බමා යේ මුවරද සොයමින් බලන්න සකියනි රඟ ලීලා.
කළුකඳ ඵලමෙන් උදදිය නැලවෙන රණහස පා අඩ නෙත් දීලා.
වසඟ කරවමින් කැඳවාගන්නී කපුරුමලී බිඟු රවටාලා.

වෙන්පද තලයේ දලදර අවුළා කණදෝ එළියයි විසිරෙන්නේ.
හඬ නඟමින් එන ඉඳුසෙන් නාදය සියොළඟ ලොමුදැහැ ගන්වන්නේ.
නොබැඳුණු අන් හිත් පිට ඔපයට ලා මලිගිය මල සිත් රවටන්නේ.
කොහොළ හෙළිවෙතේ විසඹ කැඩූ වග පියඹව වෙනකෙකි කැඳවන්නේ.

තොසන් වඩන මදහස් ලීලා නෙතඟ බැලුම් ලා රවටන්නී
හපන්කමකියැයි තුමූම සිතලා ඇතුල් සිතේ නොම රඳවන්නී
වසන් කරවමින් ගිනිලියකැයි වග කුලවමියක සේ රඟදෙන්නී.
බලන්න මහතුනි බකවත හෙළිවෙයි ඉගිළෙන දා සුද පෙන්වන්නී.

කදුලක් නැගෙන විට සැමදා නෙත අස්සේ
මෙතුවක් කල්ම දිවුවේ කම් සැප පස්සේ
සැනසුම ලබන මග සිත නිවනට සිත්සේ
දුටු විට තැඹුණි පියවර ඒ මග ඔස්සේ

නින්දා අපහාස දෙනවිට පුදා තුති
කරදරවලත් වෙස් ගත් ආසිරි පවති
තැලුන බිදුන සිත අටලෝ දම දකිති
රිදවූ සැමට පින් දී ධර්මය සොයති

බැඳි ලා බිඳි ලා යන බැමි වල දුක දැකලා
මැවිලා සිදිලා යන දේ අසිරිය විදලා
කැඩිලා වැටෙන කැණි මඩලේ සැටි දැකලා
සම්මා සම්බුදුන් වදිනෙමි දිවි පුදලා...

That is what love is

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න - ආලංකුඩාව

Love is also be patient
To wait
Love is also merciful
For a stubborn heart
There is no jealousy in love
There is no boast in love
Love is not harsh
For another heart
True love
Does not force
Not unpleasant
So love...
Makes happy from truth
Bearing everything
Love is it what it really
Wishing everything
Not harming
Not killing

තරුද නිදන මහ රැ යාමේ
මහද නිදිවරයි
විසිරිලා සිහින ගොඩක්
හද ඔත්පලයි
අල්ලන්න බැරි දුරකින්
නුබ පිපිලා අතවනයි
ඔමරිපානා සියතුන්නේ රාවේ
පවා ගේන්නේ හිතට බරක්මයි
අත පොවන්නට බැරිමානයේ
තරුවක් ලෙසින් ඔබ සිනාසෙයි
නුබේ සිසිලෙන් බිදක් ගන්නට
මම් කරපු පින් මදීව ගානයි

New Zealand

ඒ තමයි ආදරේ සංකාව

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

උල්කාපාත මල් වී වැටුණු දවසක
අනවසරයෙන්
ගොඩවැදුනු කෙනෙක් වෙද
නම් තබමි ලෙසින් එය වර්ෂාව

වලා මල් පෙති සූ දහසක
ප්‍රහර්ෂයකින්
නෙත් පියූ තැනක් වෙද
එය වේය සාමයේ නිද්‍රාව

කොනිතිලා ඇදී යන සුළඟක
වියෝවෙන්
විසිර යන දෙයක් වෙද
සිත නොවේ ඒ සිතේ ඡායාව

තනි වෙලා ඔබ සිටින ඉසව්වක
අන්ධකාරයෙ
යනෙන එක් අයෙක් වෙද
ඒ තමයි ආදරේ සංකාව

මනමේ කුමරියගේ ජීවිතාවර්ජනය…!

වෛද්‍ය පදුම විජයසිරි - කෙන්ට් - එංගලන්තය

කැලේ වැදිරජ ආලෙ බෙදුවා
නැතිව අඩුවක් දිව රැයේ,
දෙන්න, තුන්දෙන, හතර පහ වුනෙ
ඇගෙට නොදැනී වගෙ ඔහේ,
උරා බොනවා ලේ ගලන කල්
කිරි නැතිව වේලෙන තනේ,
වැදි රජා කැකුලියක කැන්දන්
ගියා ආයෙත් දඩයමේ…!

වහින වැස්සට තෙතවෙලා
ගල්ලෙනම ගොහොරුයි මඩගොඩේ,
මදුරු, මැසි, නයි පොලොන් බිය
පය තියන හැමතැන මහකැලේ,
ආලෙ විතරක් නෙවෙයි ජීවිතෙ
කියා මට දැනෙනා වෙලේ,
අහෝ නිරිදුගෙ වලේ ගහකුත්
පැලවෙලා ඉවරයි හොදේ…!

ගමනාන්ත⁣ය කරා ඇවිදින් ඇති බසයක්

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

ඉඟුරු කහට උණුසුම රස මතක් වෙන
හැන්දෑ වී මහගෙදරට යන ගමන
පුතු උපන්න දින නාවට සිත සැලින
ගමනාන්ත⁣ය කරා ඇවිදින් ඇත බසයත්

පිටියක කෙතරම් දස්කම් පෑවත්
මග වැරදී තහනම් ගෙඩි සොයන විට
දැඩි දඬුවම් හිමි විය දිවි පවතින තෙක්
දුක සිතුණිය දඬුමොණරය විකිණුවම

පරයි ගහන බස්සන ඉපැරණි සගයින්
පරණ බයිල සින්දුත් ලාවට කියමින්
අලගිය මුලගිය විස්තර දෙඩුවම
නිවිය හැකිද දුක් ගිනි කන්දරාවක්

දාහතරෙන් පහළ තරඟයත් හෙට
ආදි සිසු ඇසුරක් මෙකල නැති මට
පුරුදුය මැයි මාර ගස් සිසිලස සෙවන
ඉන්පසු යා යුතුය ආ බසයෙන්ම

16.10.2023

අඟුරු හා ගුරු……

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව

("ගුරු විරෝධය විසුරුවා හැරේ")

පුතේ, මතකද පෙර දිනෙක
අගනුවර....
තරු පැළැඳි නුඹ එද්දි අරගෙන
මුගුර....
සයන ඇති දා අමතකද
නිදි පැදුර....
දිසාපාමොක් හඬයි මහමග
වැතිර....

රජුන් තැනුවා, සෙනෙහෙ බෙදුවා
නොම පතා ගම්වර....
ගෑස් කුමටද, කඳුළු පිරුණා
ලඟට ආ කල ගුගුර....
එදා ලෙසටම පන්තියක හිඳ
රිදුම් දෙන තුරු උගුර....
නුඹේ පුතුටත් හෙට කියා දෙමි
ජීවිතේ මුල් අකුර....

මොරටුව.

නැති උන්ට බෙදා දෙමි…….

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව

එදා මේ තුර ගෙවූ දිවිමග
එකතු වී ඇති හදක ප්‍රේමය......
රිසි කෙනෙක් වේ නම් කියනු මැන..
බෙදා වෙන්කර පවරමී...
කිසිඳු මුදලක් නොපතමී.......

ජීවිතය දුර එක්ව යන්නට...
සසර ගමනේ දුර ගෙවන්නට....
පැමිණි නුඹටත් හිඟව ගිය ඒ
කොටස ආයෙත් පුරවමී..
එයින් වැඩි කොටසක් හිමී....

සාම අමරත් එක්ක එකතුව....
සල් ගහේ නැග,මල් නෙළූ උන්...
කොතැන වේ දැයි නොදනිමි....
උන්ට ඉන් කොටසක් දෙමී....

එකෙකු පාගා දිවි ගෙවන්නට...
උනුන් යටකර නැගී ඉන්නට
වෙර දරන උන් අමතමී...
ඉතිරි නොකරම එය දෙමී...

හදෙහි අවසන් සුසුම තෙක් ඉම...
ගෙවාගන්නට මදි උනෝතින්...
අතිරික්තයක් පෙම හිමී
අම්මගෙන් ඉල්ලාගමී.....

2023.10.17

සොයන ජීවිතය……..

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ

තඹර විල මැද සරණ හස කැළ
සොඳුරු මනරම් දසුන් මැව්වා
පිපුණු පියුමන් වලින් මත් වී
බඹරු රැඟුමන් රැසක් මැව්වා
සොඳුරු හසකැන් වලින් එක්වී
අනාගතයට සිහින මැව්වා
මිදුණු සිතිවිලි ගොළු වු හදවත්
අතීතයෙ දුක් සිහින මැව්වා.

දූලි අතරින් නැඟුන පා යුග
අතීතයෙ විඳි ගැහැට කිව්වා
වැටෙන විට අත දුන්නු සැම දෙන
මිනිස් දහමක කරුණු කිව්වා
දිරිය ඇති සඳ අනාගතයම
මිහිරි වන බව සිතම කිව්වා
කඳුළු අතරින් සිනා වෙද්දී
සිහින එය මැයි හදක් කිව්වා.

පලා යද්දී සෙනෙහෙ කල අය
නැඟුන සෝ ගිනි හදක් දැව්වා
කඳුළු බිඳු නෙත් අඟින් ගිලිහී
කොපුල් තෙමිලා එගිනි නිව්වා
සහන් එළි දැක අඳුරු නුබ තුල
ජීවිතයෙ රස මෙයැයි කිව්වා
කාලයේ වැලි තලාවේ වැටි
වැටී අපි ජීවිතය සෙව්වා.

නුගේගොඩ.

ආදරණීය ඍතු

රජිත ද සිල්වා

ශ්වෙතවන් කල්‍යාණ මලින් සැරසී එන්න
සොඳුරු පෙම් හීනයට ලඟට විත් පණ දෙන්න
අරුත්බර නැවතුමක සාර පල හටගන්න
හිඳිමි මං මඟ බලා වසන්තය අරඹන්න

වේදනා පොදි බැන්ද හදවතට අමතන්න
නැඟුණු හිරු උණුසුමින් මොහොතකට සැඟවෙන්න
සිනිඳු මල් පෙති අතර මට හැකිද හැංගෙන්න
ගිම්හාන කාලයට මා ලඟින් ඔබ ඉන්න

සුකුමාල හරිත පත් වෛවර්ණ ගන්වන්න
මලින් තොර තුරු ගොමුව සිසිලසින් නහවන්න
පෙමින් බැඳි පෙර දිනය මතකයට නංවන්න
සරත් කල පැමිණි වග මට හෙමින් මුමුනන්න

ලහිරු කිරණක්ව විත් හෙමි හෙමින් සිපගන්න
හද ගැඹුරේ සැඟව ඇති මිදුණු සිතුවිලි ගොන්න
එනතුරා ඔබ ඉතින් මගේ ළඟ නවතින්න
දින ගනිමි හේමන්ත කාලයට සමුදෙන්න

12.06.2017

ගුරු නෙතින් කඳුළු නොවගුරුවමි……….

රංජිත් ද සිල්වා - නවසීලන්තය

හිඟ වැටුප් අයැදිමින් - හිරු රැසින් පිලිස්සිමින්
කුස ගින්නේ දැවෙමින් - යටිපතුල් රිදවමින්
බැනර් පෝස්ටර් ඔසවාගෙන - ඇවිද එන පිරිස අතරේ
දුටිමි ගුරු මවුපියන් - වියැකුනු මුහුණු ඇති

අකුරු කියා දී - යහමග පෙන්වා - අපේ දෑස පෑදූ
ඔවුනගේ දෑසින් කඳුළු වගුරුවන්නට
කඳුළු උණ්ඩ ඔවුන් වෙත එල්ල කරන්නට
අණක් ඇසුනත් දෙසවනට
කෙසේනම් ඒ අණ පිලිපදින්නද?
හොරුන්ට රජවෙන්නට ඉඩදී - ඉදිමුද තවත් කාලයක් දුක් දිදී

30 ඔක්තෝබර් 2023

පස්සෙම සීට්

රන්ජන ආරියරත්න

මගහැරල දහක් ඇස්
කම්මුලක් කෙනිත්තූ

පෙම් මුල්ලක දැනුත් ඇති
හූල්ලන මිනිස්සූ

හිනාමල් ඉතිරෙන්න මොහොතක්

රංජනී කොස්තා - වෙන්නප්පුව

නැගෙන්නට එන හිරු
කරයි ලොව නෙක විසිතුරු
පාට ඇති සුමිතුරු
සුවය ගෙනදෙයි නිසැක පිවිතුරු

අරඹා සිතු දවස
බැසයාවී හිරු හවස
ඇවිළුන දිවි පවස
නිවිලයාවි නොදන්නෙමි කෙලෙස

අතුඅග මල් ගෙනෙන
ඵළබර තුරුහිස් වසන
මුළු දිරි දිය කෙරෙන
අත් පිරේවිද තවම නොදැනින

සැප සතුටම වීලු
හිනා නිති පිරෙනවාලු
හැමට සම වීලූ
හිතට පැනයක් මතුව ඒලූ

එන්න තව දවසක්
හැමට එකසේ දැනන පහසක්
වියැලෙන්න කඳුළක්
හිනාමල් ඉතිරෙන්න මොහොතක්

යමකය —-

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර

සීතල සහ උණුසුම දෙක..

එකම දෙයක අන්ත දෙකකි

නොමැති විටක ආලෝකය....

රජ කරනව අඳුර එතැන

දුක හා සැප එකම තැනය....

හදා ගත්ත මනසක් තුළ.....

සැරිසරනව අන්ත දෙකක....

නිවන ඇත්තෙ තමා තුළය

යමකය වැඩ කරන සැටිය

මිනිස් බුද්ධිය අවදි කර ගෙන

තමා තුළින් දැකිය යුතුමය.... ..

උක්දඩුගොඩ,
පෙතියාගොඩ,
ගෙලිඔය.

2023.10.14

බිඟු ගේ විරහ ගිනි

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

තඹර විල පිපි නෙළුම

වැළඳ සිප සෙනෙහසින්

රොන් උරයි දැවටෙමින්

බිඟු තෙමේ සතුටින්

හඬ දෙමින් මියැසි නාදය

මවයි පෙම් හැඟුම් විල මැද

කාත් කවුරුවත් නැති ලොවක

තනිවූ පෙම්වතෙකු සේ

සිටු මැදුරේ අබලි ද

පොදි බැදන් ගෙහිමි රවටා

යන ගමන් එගොඩහේ

නෙත ගැටුනි විල මැද රතුනෙළුම

දිගු කරන් තම හස්තය

පැද යමින් පාරුව එදෙසට

නෙලාගෙන රන් නෙළුම

ලොව දිනු සේ එගොඩට

අහිමි වී ගිය රන් නෙළුම

ඇති කලා හදේ විරහ ගින්දර

නිවාලන්නට නොහැකි වූ තැන

වැළපුනිය මහවිල මැද

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තයේ සිට

“අත්හැරුනු ප්‍රේමය”

රොෂාන්ති විජේසිංහ  -  ඉතාලිය

ඔබටම සෙනෙහස හිතතුල තිබුනත්
නුඹ ගැන මතකය සිත රිදවූවත්
අපගේ පෙම් ලොව බිඳිලා ගියමුත්
සුන්දර මතකය සිහිවෙයි තවමත්

සිතතුල දහසක් සිතුවිලි නැඟුනත්
ඒ සිතුවිලි කවියට ගොනු කෙරුවත්
ලියවෙන කවිපද සිත රිදවූවත්
ඔබ ගැන කවි ලියවෙයි හැමදාමත්

මා අතහැර ඔබ වෙනකත බැඳුනත්
පැතූ සිහින හැම බිඳිලා වැටුනත්
මතක අතර මම බොහො දුක් වින්දත්
ඔබ ගැන මතකය අඩු නෑ තවමත්

ඇයත් සමඟ නුඹ කැදැල්ල තැනුවත්
තරහක් නෑ මගෙ සිත තුල තවමත්
වෛර කරනු බැහැ පෙම් කල හින්දත්
සතුටින් ඉනු මැන ඇය හා කවදත්

හිතාගන්න බෑ මට නම් තවමත්
මා අතහැර ගියෙ ඇයිද කියලවත්
කරලා නැහැ කිසි වරදක් කවදත්
නුඹට පමණි මම ආදරේ තවමත්

එතකොට…ඇත්තම ඇත්ත ඒකද ?

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

අකුරු කීපයක් අසබඩ
හිතක් රස්තියාදු ගහනකොට
තනියමත් හිනා යන්න ඇති සත්තකින් සමහරක් වෙලාවට
යලිත් මතුවන Oops
සජීවී කොළපාට තිත
මග බැලුවෙ මොනවටද
තවමත් නොදන්නා කරුණකි
කාට වුනත් හිතවත.

යොදුන් දස දහස් දුර
අඩියට දෙකට ඇකිලුනාම
අතරමං වන එක අරුමයක් නෙවෙයි කෝඩු මනමාල හිත්
ලඳු කැලෑ වල .
වැටුනු වැටුනු තැන පැලවෙන කොට්ටම්බා ඇට තලා මතුකර
හොය හොයා විඳින්නට
තලුමරා රස උරන්න ඇහැකි
විඳින්න නොදන්නා රසවතෙකුට වුව.

කොතරම් රිසි වුනත් හිතක පැලවෙන්න දළු දමා මෝරලා ඉපිලෙන්න
සිහිල් සෙවණක පහස අතුරන්න කෝටියක් තරම් මුල් වලින්
කිඳා බැස ඩැහැගන්න.
ගහට ගහක් හමුවෙයි හිතුවට
එක දිනක් සැනසෙන්න
පෙරුමන් දහසක් පිරුවට
හිමි එකම උරුමය දරා
හිර කරගත් සියලු ෆැන්ටසි සමගම
දැවි දැවී එලෝ යන්න.

එතකොට...ඇත්තම ඇත්ත ඒකද ?

ස්ත්‍රිය, සුරාව, සූදුව, විනාශය

සුපිපි සඟමිත් යාපා - කුරුණෑගල

සුපිපි සඟමිත් යාපා
කුරුණෑගල

මතක තබෙන කාලයේ පටන්
ඇස ගැටුණා මේ පින්තූරේ....
දකින අයට පැනයක් වීමැයි
අරුත අසයි උන් හැම වාරේ.....

වදන් සතරෙකින් තෝරා දී
මපියා පිළතුරු දුන් වේලේ.....
නිදන්ගතවු අරුත වැටහුණේ
මමත් කුඩා එකියක කාලේ...

නොවක් මිතුරු සුවදක පැටලී
මපියාණන් සුරැකි හද ගැබේ..
ඔහුගේ පිළිරුව අසල රැඳී
අදත් අපේ මහගෙදර තිබේ...

දන්නා අය සුරලොව වැඩියත්
සුන්දර මිතු සැමරුමක් බඳූ ...
ලන්ඩන් කවියටත් නෑකමක්
ඇති සේයාරුවකි කළු සුදූ ...

හද නැවතුනි මොහොතක්

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

අප හා පෙර දවසේ කළ කී දේ අද සේ සිතුවම් පටයක් සේ දිග හැරේවි මනසේ

හද බැඳි පිය මිනිසෙක්
අප හැර ගිය පුවතක්
දෙසවන වැකි සැනයෙක්
හද නැවතුනි මොහොතක්

සදා නොමැකෙන මිතුදම්
මතකයේ නිති සුරකිම් පතමි ඔබහට එ උතුම් නිවන් මඟ දුර නොව වෙම්

(2023 ඔක්තෝබර් විසිවැනිදා අප අතරින් වියෝවු
බර්චින්ග්ටන් (කැන්ටබරි) හි විසූ උපාලි මෙත්තානන්ද මිතුරාණන් වෙනුවෙනි)

හතුරු මිතුරු

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

මෙලක් බිම ඉංග්‍රිසින් අතපත් යුගේ හිඳිමින් වී වහල්
නොයෙක් බදු බර දරා ගිනිගත් දනන් සිත් කරවා සිහිල්
මගක් අවුරා පැහැර සුදු දන කොළඹ ගෙන යන බදු මුදල්
ගමක් ගානේ බෙදා දුන්නලු එදා ඒ විරු සරදියෙල්

පතළ අණසක පියස උතුවන් කන්ද මතු නොව කන්ද උඩරට
මතුළ තුඩ තුඩ දනන් හදගත් ‘රොබින් හුඩ්’ වූ නමුත් හෙළයට
උදුළ සඳවන් වතැති තංගම්මාගෙ අනියම් පෙමට ලොබ කොට
කුළල බිඳගත් බවක් නොදනිති දනෝ ඔහු ගැන අසා තිබුණට

ළමා කල එක් රදල දරුවෙකු සමග ඇතිවූ විරසකෙන්
සමා වක් නොලබාම හිරිහැර ලබා බලගතු අය වෙතින්
දෙමා පිය උපදෙසින් පිටමං වෙලා ඉපදුනු ගම් දොරින්
නිමා විය අකුරටත් ආලය කොලොම් තොට රැකියාවකින්

කළෙන් වැඩ කඳවුරක හමුදා සුදු දනන් යටතේම නිරතුරු
සෙමින් කරදඬු නැගී වැඩුනා තුවක්කුවටත් වෙමින් අතහුරු
හොරෙන් ගිනි අවි අරන් පිටමං වෙලා කොළඹින් ගමට එනතුරු
හොඳින් සඳ පායලා තිබුණා අළුත් ලොවකට නැගෙනතුරු හිරු

පාසැලේ උන් සමේ සිට ගජ මිතුරු වූ සිරිමලා ඇතුළුව
මම්මලේ, නස්රුදින්, උක්කිඳු, සිහළ - යෝනක ගැටව් එකතුව
මහකැලේ සැඟවී ඉඳන් ගිනි අවි දරා අණසකින් පැතිරුව
සුදුබලේ අසරණ වුණා සරදියෙල් අල්ලා ගන්න නොහැකිව

වරක් දෙවරක් නොව සියක් වර කළත් මෙහෙයුම් ඔහු සොයන්නට
සෙයක් නොදුටුව බැවින් කිසිවෙකු එතැයි සැඟවුණු තැන කියන්නට
සියක් පවුමින් පුදන බැව් දුන්නොතින් ඉඟියක් ඉන්න තැනකට
ගහක් නෑරම ලියා අළවා තිබුණි සැමටම ඇස ගැටෙන්නට

එක්වෙලා සරදියෙල් සමගින් ආ නමුත් මේ තරම් දුරකට
සිරිමලා තනි හිතින් තංගම්මාට පෙම්බැඳ උන්න පෙරසිට
කල්බලා උන් දිනය එළැඹුණු බැවින් යන්නට ඇගේ යහනට
හඬවලා මුළු රටක් ඔත්තුව දුන්නෙ ඔහුමයි පවුම් සියයට

හොරු, කවි හොරු සහ විපරීත නිරුවත

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

කොඩිවින හොරරැළ තව වැජඹේවි සොඳිම්

ඉදින්, කවි හොරු නොකරයිද පද හොරකම්

සාහිත ගං පතුල මමුහුදටම සේදෙනු දුටිම්

එහෙව් රටේ කලාවට කිරි ඉතිරේවිද නැවුම්

ඉහ සිට පතුලට තක්කඩි රඟ දේවී

තැන තැන අමනුන් ඉහඳව නලියාවී

දසඅත දුගඳවූ මිනි-සුන් ඉතිරී යාවී

දිව රෑ ලොකු පොඩි අපායෙ වැලලේවී

දෙවියනි ඔබ කොහිද? ඔබ, මිහි හැරදාද?

මාපියනි ඔබ කොහිද? දරුදුක නොදැනේද?

ගුරුවරුනි ඔබ කොහිද? පාසල් හිස් වීද?

මිනිසුනි ඔබ කොහිද? විපරිත නොවී ඉපදෙම්ද?

Shani - 02/10/23

නිල් කටරොළු

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

මහමග දිනක් වැරදීමකින් හමුවුණ
නිල් කටරොළු මලකි හිත ළඟම ගුලිවුණ
අත ළඟ පිපී සැනෙකින් මිටින් ගිළිහිණ
මතකය පවා සුවයකි හිතේ හිරවුණ

රැජිනි සෙල්වනායගම් සමුගත්තාය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

රංග නර්ථන මංතලාවේ
පියෙන්පිය මැන පෙරට සපැමිණි
සොඳුරු නර්ථන වේදිණිය ඈ
දෙස් විදෙස් කිත් යසස් පැතිරූ
කලක් නිහඬව දිවිගෙවා
ශේෂ කොට සිය විසුල ප්‍රතිභා
දැයෙන් සමුගෙන ඉකුත් දිනයෙක
දිදුලමින් සිටි කලා අඹරින්
බැස සඳක් සේ සැගැවුණාය

පුංචි තිරයේ දනඟ සිත් බැඳි
සුවහසක් සිත් විමන් සැනසූ
මතක අදටත් ශේෂ වි ඇති
රැදී "නන්දන වින්දන" තුළින්
රංග ප්‍රතිභාවෙන් ඇගේ
මැවු සුන්දර දුරාතීතයෙ
මතකයෙන් අමතක නොවේ

වේදිකා සිනමා තලෙන්
පුංචි තිරයද පහන් කළ ඈ
දෙස් ව්දෙස් සම්මානයෙන් ලැබු
කලාශූරී රංගනාවිය
කුසලතා නංවනු ලෙදින්
දැයේ දරු පරපුරට පෙර සිට
වේදිණිය වූවාය නර්ථන

චරිතයට පණ දෙමින් ප්‍රමුඛව
'සරස්වතිය'ට නව මඟක් දුන්
අතීතයේ පැ භාව රංගන
නොසිදෙමින් ඇත රසික සිත් තුළ
නිදන් වී මිණි මුතු ලෙසින්
ඔබට ඔබ පැතු
ඔබේ ලෝකය
පැතු විලසින් සක්සුදක් සේ
විවර වෙනු නියතමයැ රැජිනියේ

හැඩක් ඇත හඬක් නැත

සිසිර කුමාර කොග්ගලහේවා

මාවතක් ලඟ රූ වතක් උනි අදත් සිත්විල කැලඹුන
නෑ කතාවක් සිනා සුන මිස හිතට දිරියක් ගෙනදෙන
මා වතාවක් යලි ඇමුතුවත් ඈ නොවෙයි ඉන් සෙලවුන
පුංචි කොලයක යමක් පෙන්නුව නෙතු අගට කඳුළැලි දෙන

සසර ගමනේ පිනක් තිබුනත් පෙරත් බවයෙන් හිමිවෙන
කර්ම චක්කරෙ ගුනු නුගුන ඇත කිසිත් කිසිදා නොපතන
මලක් වාගේ නෙලාගන්නට දෝත පෑවත් නොරිදෙන
කතා නැති ඒ මුවෙහි තිබුනා සමාවක් ඈ අයදින

දිලීඑන තරු රටා ඇන්දත් ගගනතට නෙත් යොමුවෙන
ගලායන දිය නිසල වූවත් දෝවනෙන් පා සනසන
හිනාවෙන්නට පාර ඇසුවත් ලොවෙන් කිසිවක් නොලැබෙන
පිපී වැලපෙන රන් පියුම් ඇත මඬවගුරු වල මියදෙන

ගමනක යන…

සුදර්මා වීරක්කොඩි

දග දමින් ගමනක යන
කටුක සතුට නිති විදවන
දුක් පීරා විමන සදන
චයිතසිකය පිරිමදිමින..

ඇස් කූඩෙන් කදුලු අදින
කොපුල් තලෙන් රූරා යන
දේවේෂ මාන මිරිකා යන
ක්ෂය වන ලය මිහිර මවන...

පාරමිතා මත හැඩවෙන
ක්ශේම භූමි පවස නිවන
දහම දරන හද සනසන
බව ගමනකි සිත අරඹන ...

ලන්ඩනය

කවියාගේ ඇනෙක්සිය

සුනීතා පෙරේරා - ලන්ඩනය

දැලි කුණු ,ඉඳුල් පිඟන් ,
ගඳ ගහන කුණු මළු
පිරුණු කුස්සිය...

මකුළු දැල් බිත්ති පුරා
දුවිල්ල ගෙබිම පුරා
කිලිටි රෙදි ගේ පුරා
හිස්වූ ප්ලාස්ටික් සහ වීදුරු බෝතල්
අතරින් හිස ඔසවන සම්මාන .
මේසය පුරා....

කිලුටුවී ගිය ඇඳ රෙදි
බාගෙට ඇතිරූ අවුල් වී ගිය ඇඳ,...
මේ සැම අතරින් -සෙමින් අඩි තබමින්
එහාට මෙහාට සක්මන් කරන
රුවක් ..

නිනව්වක් නැති සේය -අවට ලෝකය ඔබට
ගිලී සිටී ඔබ සිතුවිලි සයුරක

වැරදුනිද? ඔබට ජීවිතය...
ලෝකයට හොඳ මුහුණු පෙන්වන
ඇතුලාන්තය කුහකකමින් පිරුණු මිනිසුන්
නුඹ වැනිම සිතැත්තන් යැයි
සිතූ නිසාවෙන් ..

නැතහොත් කවියක්ද ඔබ පබඳින්නේ
හිඳිමින් නිද්‍රාවක සොඳුරු ...

සුනීතා පෙරේරා.

දෙවියන් අතරමග පෙරහැර යන අතර

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර

දෙවියන් වඩිනවා ඈතක විමානෙට
කැන්දන් යාම රිය මඟ දිග පුරාවට
පන්දන් පේලි මග තැන තැන වකාරෙට
පිංකන් කියන්නෙම කෙටි මග අපායට

දොරගුල් දමා කපුවෝ මොණරුන් ගනිති
හොරගල් අහුලමින් අවි සුරතල් කරති
කරවැල් කොකුන් සුදු ඇද දෙවොලට වඩිති
රුපියල් නොවේ උන්නම් මසුරන් සොයති

බර තර කුරුල්ලෝ පාවඩ පිට වඩිති
වටකර මහෝදර මන්තර ජප කරති
අඬහැර දෙසා කරඬුව උන් ඉහ තබති
සැකහැර සිහිනයක්දෝ දෙවියන් සිතති

මන්දිර ඉදිරියේ පෙරහැර නතර වෙති
සුන්දර ලියෝ එසැනින් පාරට වඩිති
ගින්දර වගේ අත් පා රන් දම් දිලෙති
මන්තර කිය කියා උන්ටම සෙත් පතති

පෙරහැර නතර වී අද්දර මහ මැදුර
දෙවියන් බැස ගිහින් ඉගියක් හෝ නොකර
සිටුවර හොරුන් දැක දැක රවටන සසර
දෙවියෝ කලකිරී නරි නාටක අතර

පරවුන දිවුල් අඹ, කඩවල හිස් පෙට්ටි
කරගැට පිරුන අත්වල පොඩි පොඩි වට්ටි
නැතිමුත් එවුන් ලග රුපියල් කොල අට්ටි
දෙවියෝ දනි කවුරුද මසුරෝ හෙට්ටි

මල් පැළ කොනේ සුදු රෙදි කඩකින් එතුන
කල් ගිය කාසියකි හොදටම දුරු වරුණ
දෙවියන් එය ලිහා ඇස කදුලින් පිරුණ
මෙතනින් නොයමි දෙවියෝ රැදුනා තුටින

The last good men of the South march to the beating drums of war.
Tired and weary from the weight that is placed on their shoulders a solider fights one last good fight for justice and liberty.
Oh how brave the last good men of the South March to the beating drums of war.
Their weary hearts yearn for the warm embrace of their kin.
But yet they find them self’s among a blood soaked field to fight the last fight for freedom and justice.
Which brings them a sweetness of joy. Knowing this is the final push.
Oh How brave the last good men of the South march to the beating drums .
May your battle be swift may your battle be just and in the name of liberty May you rest well.
Because you are the last good men of the South.

වයසට යනතුරු කොලුවා

සුමිත්‍රා ආරියවංශ - මහනුවර

වලව්වෙ මිදුලේ පස් පාගනකොට දොඩම් දෙකක් නැති කොලුවා
පොරෝවෙ මිටටත් උස නැති කාලෙම අඬ අඬ දර කොට පැලුවා
යන්තම් ගින්දර පෙනෙනා දවසේ පිඹ පිඹ අත්වැඩ කෙරුවා
දැනටම වත්තට පිටියට අමතර මුළුතැන්ගේ හිමි කරුවා

ළිප ළඟ වරු තුන මුර කර ඉඳලා කකුල් දෙකත් දැන් බැරුවා
ගිනි කන මූණේ පෙරෙනා දාඩියෙ කරගැඩ ඉඳ හිට පෙඟුවා
පඩියට අමතර ඇඹිච්ච තැටියට හොද්දක් දංකුඩ බෙදුවා
දවසට දෙවරක් බොන තේ කහටට සීනි ඇටය අත හැළුවා

නිදි ගැට කඩ කඩ බරවුණු ඇස්දෙක දත කට මැද ගෙන තෙමුවා
හිසෙන් දෙකණ්සෙන් ගලනා දාඩිය හිල් වුණු බැනියම පෙඟුවා
ඇඟේම දිය වුණු වැරහැලි සරමට නෑමට අවසර නැතුවා
පෝයක් දවසක තිබු පොඩි පිනකට යාන්තමට ළිඳ බැලුවා

හත අට පොළකට එක වර ඇහැ ළඟ නැතිවම බැරි වුණු කොලුවා
වැරදුණු තැනදී ඇනුම් බැණුම් මොක හිතේ මනාපෙට තැළුවා
හපා කන්ට බය සමහර බල්ලොත් ඉඳ හිට වාගේ බිරුවා
යන එන මං නැති අසරණ කමටම හැම එකටම මම ගොළුවා....

ගාසා තිරයේ සිතුවිලි

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

දේශ සිමා කිසිත් නොදන්නා දරුවන්
උර මතම වැළද ගති රුදුරු ලෙස මරුවන්
උමතු ලෙස ගිණි බිදිති හිත් අහිමි මිනිසුන්
ඔටුණු පළදනු කුමට අසල යුද නටබුන්

ජිවිතේ රැක ගන්න මග දුවන මිනිසුන්
කුස දැරූ දරු පැටවූ මග මැරෙන ගැහැනුන්
හෙලු සුසුම් එකතු වී මේඝයක් විලසින්
පොළව මත මැවී ඇති වැට කඩුලු මැකීයන්

යුද බිමට අවැසි කල අවි හැදු මිනිසුන්
අවිවලට අවැසි ලෙස යුධ බිමක් හදමින්
වියරු වී ගිණි නගන මිහි මඩල සැලෙමින්
සාමයේ වැසි වැටී ගිණි පුලිඟු නිවියන්

19/10/2023

ඈ සහ මෑ

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

බලා ඉමි මෑ දෙස
හිඳින'යුරු
ඔහු දෙණට ඈතින්
සංතාපයෙන් කම්පිතව
කොන්වී ,හුදෙකලාවේ
ඉවසමින්
ඈ රහස්‍ය රැවුම් ගෙරවුම්

නාදුනන
මිනිස් පුංජයක් මැද
සිරකර නෙත් දිය
මැඩගෙන තද හදින්
බරැති ඉකි බිඳුම්
බලාගෙන ඈතක
මෙනෙහි කරමින්
මිහිරි දුක තැවරුණු
සැමරුම් රැස
හිඳියි මෑ සෙල් රුවක් සේ
නොසෙල්වී නිහඬව

නැත වරම් ඉදින්
ඈට මෙන්
කෑ ගසා හඬන්නට
ඔහු වරුණ කියමින්
හැපෙන්නට
නොමැත මෑ හට
ඔහු නමින් වැදූ දරුවන්
තනි නොතනියට
ඔහුගේ ධනයෙන් දහදියෙන්
ගොඩ නැගූ ප්‍රාසාදයෙ නැත ඉඩක්
මොහොතකට ඉසිඹුලන්නට

එහෙත් මුදු වදන් තෙපළා
පිරිමදිමින් හිස
මෑ කුළී නිවසේ
රෑ කල යහනේ
හොවා හිස ළමැදේ
"මා අයිති නුඹට" යි
ගිණිය නොහැකි පමණට
නෙත් පියා නොපියා
කෙඳිරූ කෙඳිරීම්
වාං දමයි
ඈ මතක ඔලොගුවේ

එහෙත් නොවේ
එවන් සොඳුරු කෙඳිරීම්
බිඳක් හෝ ශේෂව
ඈ මතක ඔලොගුවේ ..

බයයි…….මම

ෂර්මිලා බංදුනී දංවත්ත

පොඩිකාලේ මම
හරි බයයි කනත්තට
දවල්ටත් යන්නේ නෑ
පහු කරගෙන

ඒත් දැන් එහෙම නෑ
මම කැමතිම තැන මෙතන
ඔයා නිදනවා
මේ මාර ගහ යට

මම දැන් දන්නවා
බය වෙන්න ඕන කාටද
ඔවුන් ඔක්කොම
මේ තාප්පෙන් පිට

A Morning Glimpse

Sanjaya Priyadarshana - Udugampola

A feathering migrant

Yelled at a corner of my courtyard

Exquisite violin

Unleashed its performance

A therapy of strings

Gloomy clouds went away scared

Harnessing on bulk of water tanks

A jumbo dew peeped from its hole

a subtle mist walked slowly

through crystal colour and green feathers

Nice little coloured painting

sketched on my wall

කුහුඹුපැණියාගේ නැවතුම

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම

'අබා' පටය ලොමු දැහැගත් එඩිය පිරූ
පබා සමග රැඟු බෝසත් සිරිත සරූ
නොබා කුහුඹුපැණියා දිවි එතෙර කෙරූ
බඹා කෙටූ හෙළ සිනමා පෙරළිකරූ

සාමයේ සාතන්:

සපුමල් බන්ඩාර - ලන්ඩනය

මැනිකේ කියා කීවත් ඇය මැනික නොවී
මහතුන් කියා කීවත් මහ බඩපමනී
මිනිසුන් කියා කීවත් කීමට නොවටී
එකෙක් නසා අපි සැනසෙන ලොවක් ඇතී

රටට භූමියට දෙස බස එකතුවෙතී
පාටට හැඩරුවට කුලුපගවෙලා එතී
මිනිසුන් ලෙසට නොව උන්මුන් ලෙස දකිතී
ආගම ජාතිය උල්කොට ඇන මරාගනී

"සාමය සදහා පෙනී ඉන්නා සාතන්
ස්වර්ගය අපාය පෙන්වන මිසදුටුවන්
ජනයා දිනන්නට දතකන පාලකයින්
නිසා වෙන්වෙලා මරාගති මිනිස්සුන්"

ගිලිහී යන වසන්තය

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම

සරත් තුරුපත්
ගිලිහි යද්දී එකින් එක...
නැවත නොඑනා
වසත් සමයේ...
මතක ස්වරයන්
ඉකි බිඳින හඬ...
ඇසී ළඟ ළඟ
එන සිසිරයට...
සුසුම් ස්වරයක්
මුහුකළා රහසේම...
හමා යන ඒ පවන් රැල්ලට...

සැම සවි යොදා මිනිසුන් රකිමු

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

මිනිසුන් නසන්නට බර අවි සියුම් ලෙස
නොහදා රකින්නට ලොව ඇති මිනිස් රැස
තැනුවා නම් කන බොන දෑ ගුණෙන් යස
කෙතරම් සොඳුරු වේවිද මේ අහස් කුස

විද මෝටාර් දුර ඇති අය වනසන්න
වෑයම් නොකර සැමගෙම දිවි රැකගන්න
සිතුවා නම් නැති බැරි අය දුර ඉන්න
රක්නට හැකිය " බනිසක්වත්" විදමින්න

දුර ඇති සඳට අඟහරු ලෝකෙට යන්න
දරනා වෑයමට යටවන ධන ගොන්න
යෙදුවා නම් නැති බැරි අය රැකගන්න
සුන්දර වේවි ලොව සැම සතුටින් ඉන්න

කිමිදී ගොසින් මරියානා අගාදේ
මිනිසුන් නැසෙති අත්කර ගෙන පරාදේ
ඒවට යොදන සැමදෙය නිරපරාදේ
යෙදුවොත් නැති අයට ඇතිකම ලබාදේ

වේගෙන් ගොසින් මිනිසුන් හට නසන්නට
යානා තනන අය උඩඟුව සිටින්නට
නැති බැරි අයට කන බොන දෑ බෙදන්නට
යෙදුවොත් එසැම හැකිවෙයි ලොව දිනන්නට

තත්පරයෙන් දෙකෙන් ජීවිත වනසන්න
වස විෂ තනන අය බලයෙන්
වැජඹෙන්න
ඒ මහ ධනය යෙදුවොත් ලෙඩවී ඉන්න
දහසක් දෙනාගේ දිවි හැක රැක ගන්න

පැතුම..!

තිලිණි ලක්ශාන්ති - මහනුවර

කදුශිඛර නගින්නට අවැසි විට දිරි දෙන්න,
මග හොදින් පෙනෙන විට තනිව ඒ මග යන්න,
මගේ නොවේ නුඹ දකින සිහින හැම ජය ගන්න,
සවිය වෙමි හැම වෙලේ මගේ දෝනි ළඟ ඉන්න..!

සුමිතුරු වෙසින් එන නරුමයින් දැක ගන්න,
සවි ඇතත් තෙත පිරුණු හදවතක් ලැබ ගන්න,
නුඹෙ දිවියෙ නුඹ පතන සුබ සිහින ලැබ ගන්න,
මගෙ පුතේ දිරිය වෙමි ළඟ නැතත් ළඟ ඉන්න..!

මද පවනේ සිසිලසත් මුදු ලෙසින් විද ගන්න,
දිරි අවැසි උන් ළඟදි අයෝමය සවි දෙන්න,
හොද නරක සැම දේම සම සිතින් විද ගන්න,
මගෙ දුවේ නුඹට හැකි මේ ලොවේ දුර යන්න..!

දුටු තැනදි වැරද්දක් හරි මගට යලි ගන්න,
හැම තැනදි සම සිතින් හරිම තැන සිට ගන්න,
නුඹෙ සිහින වාගේම අනුන්ගෙත් දුක දන්න,
පුතුට දුර වැඩි නොවේ මාවතේ ජය ගන්න..!

තිලිනි උත්පලා ලක්ශාන්ති
මහනුවර

අඟුටුමිටි අම්මා

තුෂාරි ජයසිංහ - මහනුවර

යෝධ යෝධ ගලිවර දරුවන් මැද
කුඩා ලිලිපුට්ටෙක්
අද ඉපදුනා වන් ළදරු
දියත ගැන කිසිත් නොදත්

මන්දාකිණි ගණන් දුක් දරා
බවුසර ගණන් කිරි දුන්
කැලේ කොලේ අත ගා
ගුණවත්ම දේ සෙවූ

තරු පහේ හෝටලේ
මෙනුපත ඉදිරියේ
අසරණව වටපිට බලන
කුරා කුහුඹු ගැහැණිය ඈ

තක්සලාව මතු සරසවිය පීරූ
එහෙත් නොදන්නා නොදරු
ලාමක සිතැත්තී ඈ
ළපළු සේ සුළඟට වැනෙන.

තමා සන්තක වත්කම්
දන් දිදී වෙස්සන්තර සිතින්
වැරහැලි ඇඟලාගත්
කිළිටි ගැහැණිය අපුල

අසරනව හිඳින කුඩා ලිලිපුට්ටෙක්
ගලිවරයන්ගෙ පයට පෑගෙන.
ඉපදුන දා සිට මියෙන තෙක්ම
කාටවත්ම සේවයක් නොකළ

ඈ.....

අඟුටුමිටි අම්මා.....

අත් හැරීම

උපාලි අත්තනායක - මහනුවර

දුටුවානම් දුටුවා පමනයි
ඇසුවානම් ඇසුවා පමනයි
චේතනාව අත්හැර දමලා
වින්දනයට ඉ ඩක් නොදී
තන්හාවට වහල් නොවී
සිතුවිල්ලක් අත්හැරීම
බුදුන් දෙසූ දහම එයයි

දකින ඇසෙන ගඳ සුවඳත්
දොඩන වදන් බස් ගුනදොස්
නාම රූප ගොඩනගලා
අත් කරගෙන තණ්හාවෙන්
වින්දනයක් ලබන්න මයි
ගෙනයන්නේ ජීවිතයම
අත්හරින්න නොහැකි කමට

පොදි බැඳගෙන කර්ම පොදිය
ජීවිතයේ සැපවිඳින්න
සැපය කියා දෙයක් නොමැත
අවසානය දුකම තමයි
මමත්වයයි තන්හාවයි
එකතුකරයි මැරෙන තුරා
අත්හරින්න නොහැකි කමට

උක්දඩුගොඩ
පෙතියාගොඩ ගෙලිඹය
මහනුවර

අහසකට පුළුවනිද???

වෛද්‍ය උදේශිකා පතිරණ

බසින හිරු නැගෙන සඳු එක ඉමක පළඳන්න
ඒ මැදින් හිස් තැන්හි තරු කැකුළු රඳවන්න
නිල් රෝස සළු වියා සැන්දෑව පිළිගන්න
අහසකට පුළුවනිද මේ තරම් හැඩවෙන්න

සුදුත් නැති කළුත් නැති අලු රහස් සඟවන්න
ලතු දියර තවරගෙන ඉසිඹුවට සැරසෙන්න
දම් වළාවක කඳුළු රහසේම පිසලන්න
අහසකට පුළුවනිද දැහැනකට සමවෙන්න

අකීකරු සුළං රැළි සීරුවෙන් විඳගන්න
මංමුලා වූ විහඟ කැලට මග පෙන්වන්න
දරාගනු බැරි තැනක වැස්සක්ව සැනසෙන්න
අහසකට පුළුවන් ද මහ පොළව සිපගන්න

උසාවියේ නඩුවක්
අම්මාගේ දේපල බෙදන්න
අප අතර නැති ඇයගෙ
ආදරයෙ වපසරිය
හරියටම මැන බෙදන්න
ඔවුන් සමතුන් වේද

රෝහලකට නොගොස්
මා බිහිකළ ගෙපැල
සුළු දියෙන් තෙත් වෙලා
සුවඳ හැමු මැටි පොළොව
ඊයම් බරු වගෙයි මතක
සිත ඇතුලෙ කැලතෙන්නෙ
ඉතින් හැකිවෙද ආදරයෙ වපසරිය
හරියටම මැන බෙදන්න

කිරි එරුණු තන මඩල
සෙනෙහසේ මතක ඉම
කට්ටි කර මැන බෙදන්න
උසාවියට පිය නගන්න
දෙපා නෑ එසවෙන්නෙ

සංවේගයෙන් දැනුම් දීමයි…

වෛද්‍ය වරුණ ජයසිංහ - එක්සත් රාජධානිය

සරත් කල අග විඩාපත්
වනස්පතියක් වයස් පත්
සමු දී වෙත සිය තුරු පත්
කෙඳිරි ගා මිහි මතට බර වෙත්

වට පිට රැස් ව ගත්
තුඟු තුරුණු තුරු හිස්
හෙලමින් කඳුළු පිණි පත්
ඉඩම හිමිකර ගනු වැ වෙහෙසෙත්

උකටලි ව නිදි ගත්
බිජුවට ද රිජු වී බලත්
දැන තම කල ආ පවත්
වෙලෙවි ව අතු පතර විහිදා නැඟ එත්

පැමිණෙත කල වසත්
පලා පැහැයම යලිත් රජ වෙත්
දිරා බිම වැද හොත්
ගස මැ, නව ගස් හට පොහොර වෙත්

සංවේගයෙන් දැනුම් දීමයි…

වෛද්‍ය වරුණ ජයසිංහ - එක්සත් රාජධානිය

සරත් කල අග විඩාපත්
වනස්පතියක් වයස් පත්
සමු දී වෙත සිය තුරු පත්
කෙඳිරි ගා මිහි මතට බර වෙත්

වට පිට රැස් ව ගත්
තුඟු තුරුණු තුරු හිස්
හෙලමින් කඳුළු පිණි පත්
ඉඩම හිමිකර ගනු වැ වෙහෙසෙත්

උකටලි ව නිදි ගත්
බිජුවට ද රිජු වී බලත්
දැන තම කල ආ පවත්
වෙලෙවි ව අතු පතර විහිදා නැඟ එත්

පැමිණෙත කල වසත්
පලා පැහැයම යලිත් රජ වෙත්
දිරා බිම වැද හොත්
ගස මැ, නව ගස් හට පොහොර වෙත්