ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

June 2023

හෙළ කවියේ සඳදෝ දිය’ කිවියාන
නොසිඳේ බෙදු කව් ගී රස අමපාන
සත්තෑ වන වියට සපැමිණි සුහදාන
සැරදේ සියක් වස් සුමිතුර දිදුලාන

-අනුර
ඡායාරූපය සරත් පෙරේරා

2023 ජූනි කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 95 කින් ඔපවත්වීී ඇත
  1. ළබැදි රත්න ශ්‍රී බණ්ඩාර ඇහැළියගොඩ
  2. කවි ඉසිවරයෙකුගේ වරුණ… කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
  3. ශ්‍රී රත්නය කව් තුමා ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
  4. කිවින් නුදුටුවෙ කෙ උවම් ?මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම - පේරාදෙණිය
  5. සංසාරේ හැටි එහෙමයි…..මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
  6. සමනල සඳෙසගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  7. පිනි කිනිත්තක් හැඩවෙලා … අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
  8. අප්පච්චි ඒ.එම්.අයේෂා සංදීපනී අධිකාරි - කොළඹ චිශ්ව විද්‍යාලය
  9. පුතුගේ පැතුම අශෝක වල්පිටගම
  10. සඳකැන් ගලන සඳ ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
  11. බේරේ වැව් වරුණ ආරියරත්න ජයසිංහ - මහරගම
  12. අකුරු නොකළ කවියවෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
  13. .Come බස් …..කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
  14. මාගේ ද්වීපය වුනා සිරි සදහම් පුරවරය අනුබුදු සමින්දුනේ අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
  15. පෑන අනුර හෑගොඩ
  16. ඇත්තමයි උන් එහෙම ඇහුවා…… චමරි වික්‍රමසිංහ - පිලියන්දල
  17. සරු පොළොවට වැහි වැහැලා, චමින්ද ලියනගේ - බලංගොඩ
  18. අහසට මෙන්ම මවටද කිසි හොඳක් නැතී චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව
  19. නූතන ලෝකයේ ………. චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
  20. නෑදෑයො එන්නේ සොහොන ළගට විතරයි චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
  21. ~ වැට නොබැඳි කට වටා දමා ගැසු නිරායුධ ! ~ චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  22. නිමිති චාන්දනී ආර් වේරගල - මීගොඩ
  23. චියර්ස්.වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
  24. අපූරු අතදීම…! දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
  25. ප්‍රේමය දර්ශනී වනිගසේකර
  26. හිංචි නංගිගෙ දොලදුක……… දුලානි පතිරත්න - වේයන්ගොඩ
  27. අවැසිමයි පිපෙන්නට රතු රෝස දියත් රන්සර අතපත්තු - පුලතිසිපුර
  28. වියපත් සුසුම් …. දීපා ද සිල්වා - ලන්ඩනය
  29. කුණාටු ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව
  30. අවසන් හුස්ම! දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
  31. හැන්ද හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
  32. පැවැත්මේ සිහිනයෙන් අවදිව හසිනි වක්වැල්ල
  33. පිනි බින්දුවක් ප්‍රේමයක… ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
  34. අස්වැන්නේ පල නෙලමි….නුඹේ දෑසිනුත් ඉගැන්වූ ඉෂංකා මිහිරි කුමාරතුංග
  35. සරාසඳ කැබලි වී උඩදියළුමෙන් වැටුණී කෞශල්‍යා ජයලත්
  36. පොසොන් සිතුවිලිගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  37. බුදු අරුතෙ ගුණ සුරයමහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
  38. “ඝෝෂාව” ලුම්බිණි විතාන - ලන්ඩනය
  39. පොසොන් ලයනල් ගමගේ ඌරුමුත්ත
  40. දුකෙහි පැහැය ලලිත් ද සිල්වා - නුගේගොඩ
  41. හුදකලාව… ලලනී ගීකියනගේ - රත්නපුර
  42. පාර අග දැන් ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
  43. මියගිය ඇයට……… ලතා ද සිල්වා - නවසීලන්තය
  44. බිමට ඇද දැමු සමරු අද, අදිරද රුක …!මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
  45. ඩේසි මධුෂානි ඩයස්
  46. පුරහඳ මාලිනී හෑගොඩ - USA
  47. වැස්ස…වැස්ස… මාලා විජේකෝන් - උතුරු කැලිෆොර්නියාව
  48. ගමේ පුහුලන් ගමේ කපුටන්ට මයුරි කොඩිකාර - ගම්පහ
  49. ජය ශ්‍රී මහා බෝධිය මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
  50. මාතෘකාවක් නැති කවියක් හෙවත් අම්මලාගේ කවියක්
  51. පැතුමන්ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
  52. බිම තියන්න ඔය කරේ තියෙන කද නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර
  53. තෙමගුල නිමාෂි දේශබන්දු
  54. ප්‍රේමය නම් නිශාන්ත කමලදාස
  55. සුකුමාල බොළඳ ගැහැණිය නාලක ගම්මැද්දේගෙදර
  56. 🌹….එක දවසෙන් මව්ගුණ සැමරුම…..🌹 නදී ශානිකා - මහනුවර
  57. තුති පුදමි,….. නික් ග්ලෙන් - උතුරු අයර්ලන්තය
  58. කිරිල්ලියක් තමයි මං… නයනශාන්ති දිසානායක
  59. සමන්තා නිමල් අබේසිංහ - කඳාන
  60. සාදයකට ගියෙමි … ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
  61. කේයස්ට ලියුමක් ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි
  62. ඈ සතු අගනාම වස්තුව පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
  63. පියඹා යන දිවිය….වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
  64. විසල් හදක කවි – වමතින් ලියූ කවිප්‍රේමකීර්ති ද අල්විස්
  65. ඔබ රන්ජන ආරියරත්න
  66. පහේ පන්තියෙදි හිතුණා……!!!ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
  67. අම්මා.. රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
  68. අරවින්ද සහ බතී සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
  69. වැලිහිඳ ගාමිණී ගාල්ලගේ කිවිඳු සමුගත් වගයිරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  70. ප්‍රවීණ රංගන ශිල්පීනී පද්මිණී දහනායක සමුගත්තායරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  71. කිසිවකුත් නැති පෝලිම සමන්මලි සේනානායක - එක්සත් රාජධානිය (ගී පද රචිකාවී)
  72. පනස් වසරක් එකට සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර
  73. වතක මතක සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
  74. ආදරේ හින්දමයි ❤️වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
  75. සෙනෙහසේ මී අඹ එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
  76. අවිදු අඳුරෙන් මිදූ සමිදුන් වඳිමු බැති පෙමිනේ සෝමා හේරත්
  77. ඔබව සොයා සපුමල් බන්ඩාර - ලන්ඩනය
  78. කපුටු සංදේශය – දූත වර්ණනාවවෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
  79. මා දුටු වෙසක්…. ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
  80. කතර ඇස් දල්වාන බලන් ඉන්නවා. සුනීතා පෙරේරා - ලන්ඩනය
  81. සාදු සාදු සුමිත්‍රා ආරියවංශ - මහනුවර
  82. Seven Seas Shaun Dissanayake
  83. ඩයනා කුමරිය එලොව සිට … කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
  84. මැනුම් පිරිමැදුම් සචී ජයවර්ධන
  85. බොඳ වූ පැතුම් මැද හිමිවූ තිලිණය ශාමිලා ක්‍රිෂානි තෙවරප්පෙරුම - කොළඹ
  86. ගැහැණු …………… ඩී.කේ.එච්. සම්පත්
  87. රැය.. සුදර්මා වීරක්කොඩි
  88. බැල්මවෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
  89. ළය රෝහලෙන් පිටව ගිය මිතුරා සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුරය (ප්‍රධාන ආගමන විගමන නිලධාරී)
  90. හේතුව කිමද අපෙ ආයුෂ අඩුවෙන්ටරාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
  91. පොත් තිලිණි ලක්ශාන්ති - මහනුවර
  92. කඳුල තිලින තෙදරුවන්
  93. නුඹ දුන්නු ගිනිදැල් තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
  94. රූ වරුණ දැක උපාලි අත්තනායක - මහනුවර
  95. ගොයම් කොළේට මුවාවෙන්න මිනිහෙකුට බැරිලු – (කොල්වින් ආර්. ද සිල්වා) විමල් ඇම්. ගමගේ

ළබැදි රත්න ශ්‍රී

බණ්ඩාර ඇහැළියගොඩ

කවි ඉසිවරයෙකුගේ වරුණ…

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම

වල ගැසුණු දිවිමගේ අහිමිකම් දිරි කැන්දු
හෙළ පැදියෙ නියං බිම වස්සානෙ තෙත රැන්දු
පළ හැඟුම් ඉඟි රසින් පෙරා පන්හිඳ බැන්දු
දොළ පුරන රසික සිත ඉහින ගී කිරි බින්දු

රත්නයකි සහිත ගඟ පතුලෙ සිට ඔප වැටුණු
ස්වප්නයකි මවන ලොව කවි රටා හැඩ වැටුණු
සිප්විතකි තක්සලා ආදුරුස රස වැටුණු
අසපුවකි ඔබෙ මැවුම් දැහැනකට මග වැටුණු

සුදු නෙළුමකට එදා සොරබොරදි පණ පෙව්ව
විදු කැලුම සුනිමලයි දිනිඳු ලෙස ගී පව්ව
කඳු නොවී පාමුළ ම විලක සිසිලස කැව්ව
වඳු යුතු ම ඉසිවරෙකි කටු මතින් මල් මැව්ව

( ජුනි 02 වන දිනට යෙදෙන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙනි )

කේ.පී.එස් සචින්ත්‍රා ,
හෝමාගම ,
ඉතිහාසය විශේෂවේදී ,
රුහුණ විශ්වවිද්‍යාලය .

ශ්‍රී රත්නය කව් තුමා

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය

ගිරි මුදුනට පායා එන අකුරු රුසිරු සඳ
පිරිසිදුවට සිත් සෝදන ඇදුරු මියුරු සොඳ
සිරි අසිරිය රසබර කළ සොඳුරු එ ගුරු හද
නිරිඳෙකි කවි වයමි ගදඹ මහරු කවිරු වැඳ

මුවරද වේ සුවඳම වේ රසය උරාගෙන
සවනොද වී ඇල්මෙන් වී
අකුරු උගෙන ගෙන
පැහැනද වූ කව් කියවූ
අසිරි සරාගෙන
නතරද වී නෙලුමක වී
වැවක ගුණයගෙන

නෙත් දෙකකින් හිත් එකකින් කියවා රස බස
පෙත් සහකින් ලෝ දැක
අප මැව්වා නෙක රස
රත්නය වී කව් නදියේ පත්ලෙන් එන ලෙස
සත් සියවසකට ගනු මැන මහරු ආයු කිස

ජූනි 2 වැනිදාට යෙදෙන රත්න ශ්‍රී විජේසිංහයන් ගේ ජන්ම දිනය නිමිත්තෙනි !

කිවින් නුදුටුවෙ කෙ උවම් ?

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම - පේරාදෙණිය

(කවියන් නුදුටු උපමා තිබේ ද- (ඔවුන් සියලු උපමා දැක ඇත )
අලුත් උපමාවක් කියන්නට
වෑයම් කරමි තවමත්
මිහි තලයේ පෙනෙන තෙක් මානයේ
ගස් වැල් කඳු මිටියාවත් ගංගා ඇල දොළ වැව් පොකුණු
සතා සීපාවා විහඟුන් බමරුන් මැස්සන් කඩින් කූඹින් බිංකුංඩන්
කා‌ගේ හෝ කවියක් සරසයි
කඳු හෙල් මිටියාවත් වැව් පොකුණු දිය ඇළි මහ සයුරු
අහස බලමි නැ කිසිවක් අලුත්
ඉර හඳ තරු වලාˎ මීදුම වැහි බිඳු පිණි බිඳු අකුණු කුණාටු සියල්ල ඉඳුල් වී
දෙව් බඹ සුර අසුර ලෝ නඳුනුයන අයිරාවණ පරසතුමල් පඬුපුල් අසුන්
සයුරු පතුළත්
මිණි මුතු රන් රුවන් සපිරි- මනහර නා මෙනෙවියන් මිණි වෙණ තත් පිරිමදින
දිය ගොඩ කිඳුරන් කිඳුරියන්
ගව් ගණන් දිග මහත ආනන්ද තිමිර පිංගල මහා මත්ස්‍යයෝ දිය බුං ගසති කවි සයුරේ
නොඉඳුල් කිසිවත් නැත - දෙව් බඹ අසුර ලෝ
විස්මිතයි කිවියර වැණුම් විසිතුරු ගව්ගණන් උස දෙව් බඹ සිරුරු සා පිපාසා නිදිමත
නොදැනෙන ඇසිපිය නොගසන -
ඒත් නොනිවෙන කුසගිනි ගත් -ප්‍රෙත පිශාච කුම්භාණ්ඩයෝ - අපේ මළගිය ඇත්තෝ -සමහර විට මිතු‌රෝත් -අහුමුලුවල ගේ දොරකඩ පිළිකණුවල දෙවට දිගේ හැන්දෑවේ නෑදෑයෝ ගෙවලයක්කු- මළ යක්කු මහසෝනා - බබා වඩාගත් මොහිණි- මදන මොහිනී- කළු කුමාරයා -ලස්සණයි-කවීන්ගේ සුන්දර බිහිසුණු ˎ විස්මිත ලෝ කයේ
වෛජයන්ත ප්‍රාසාදය - පරසනතු මල් කඩුපුලු මල් කො තරම් සුන්දර ද මනෝරාජික දෙවියන් බඹුන්
නන්ද හිමිටත් ජනපද කල්‍යාණිය එපා කළ
සුරඟනන් රූ රැසේ අඳිනා ලෙසේ
අමතක කර කාලිදාස ශේක්ෂ්පියර් තොටගමුවේ වෑත්තෑවෙ
ණයට නොගෙන ඔවුන්ගෙන් උපමා අලංකාර
පිරික්සමි පෙර පර දෙදිග මහකව් සොයා නැවුම් උපමා අලංකාර
පිරී ඇත්තේ ඒ සියල්ල ණයට ගත්-සොරාගත්- උපමා
නැත අලුත් කිසිවක්
අලංකාර නැතිˎ ස්වාභාවික කියමන් පිරි
කවි ලියමි
සිහිවෙයි එවිට පැරණි බමුණු ගුරු කියමනක්
‘ග‌තොස්ත මර්කො භාතින්දුර්
යාන්ති වාසාය පක්ෂිණහ්
ඉත්යෙවමාදි කිං කාව්‍යං
වාර්තාමෙනාං ප්‍රචක්ෂතෙ ‘
‘ ඉර අවරට ගියා
සඳ බබළයි
කුරුල්ලෝ පියාඹති. කැදලි සොයා
මේවාත් කවි ද?
වාර්තා කියන්නේ මේවාට’.

සංසාරේ හැටි එහෙමයි…..

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්

දීපංකර පාදේ සිට ආවත් පෙරුමන් පුරලා

පෑහෙන්නෑ හැම දේමත් රන් රස වාගේ කැපිලා

පායන්නේ පුර සඳ වුව ගැළපෙන කණිසම බලලා

නෑ ඉන්නේ කිසිවෙකු ළඟ පෙර ණය මැකුණම ගෙවිලා

වලාකුළක සඟවාගෙන ජීවිතයේ හොඳම දවස්

මුදා හරිනමුත් පුබුදා මල් කෙමි මත තබා රහස්

සොයාගන්න බැරි තරමට දිය වී සුන්දරම හවස්

කුඩා කැබළි වී බිඳේද හද සනහා පිරුණ කලස්

ගෙනා ඉහළ කඳු සිරසින් පැවසූ නෙක කතා වැලක්

කියා පහළ නිම්නයකට ඇඬුවම ඉකි ගසා හුඟක්

බදා ගන්න හිතුවට හිත සනසා මක මකා දුකක්

මොනා කරන්නද මගතොට නවතිනු බැරි කලදි ගඟක්

බිම්‍බාවට හමුවුනාට සිදුහත් සසරේ පුරාම

පිං කාටත් මදි වුනාම නොලැබෙයි ගැළපෙන කෙනාම

ළං වූවත් සමහර හිත් අසිරිය දුටවේ ගියාම

සංසාරේ හැටි එහෙමයි එළඹෙන කලදී නියාම

සමනල සඳෙස

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

ආසිරි පූජාව
සැරද සමනල රද සඳ - මනරම් රුවන් වණ් නන්
විසල් පියපත් යදම් - කළඹවා වා රළ ගිගු නදින්
තෙදැති තොප පියඹන විලස මන පොබ කරයි දුටුවන්
පුද වැද ලැබ දිගාසිරි - අරඹනු ගමන් සොබමන්!

සමනල රදට කළ ආරාධනය පිළිගත් වගයි.

සමාරම්භය
1. පොල් අතු වහළ ගොම්මැටි ගෑ ගොටළූවේ
ගල් වැට සලපයේ සවි ගත් පා කණුවේ
තෙල් - මල් - පහන් - දුම් සුවදැති නිනව්වේ
කල් සොඳ මුණි පුදට වැඩ සිටිනා මළුවේ

2. ඉපැදුණු සපරගමුවේ ලක් මවගෙ සුරුන්
පැසැසුම් ලද උතුම් යතිවරු සමග පෙළින්
නම-ගම රැදුණු තැන් වෙ ද අමතක ව ගොසින්
එබැවින් සුහද සමනල ගොස් සොයනු තොසින්

3. සා හිත කලාවේ පෝෂණ යුගය අරා
පා හිත වත කෙළේ ගත මොළ වෙහෙස දරා
දෑ හිත කාමයෙන් ඔද වැඩි සිතක් පුරා
පෑ හිත තියේ හෙළ පණ නල ගැහෙන තුරා

4. පෑනේ පැන්සලේ තුඩු අග නොරැඳි වැටී
සෑහේ පතට-පුස්කොළයට වැටුණු කැටී
වෑහේ එයින් අදටත් පෙර දවසෙ සිටී
රෑහේ සිටියවුන් කළ කී දැයෙහි හැටී

5. මගෙ ගම නොවූව ද තිස් වසරක් සිටි ය
ඉන්පසු ඈත් වුණි ගම-රට අතැර සිය
එනමුදු මුල් නමක් සේ මා සිටිය තැන
ඈඳා අදත් අමතමි ගම-රට මියෙන

6. මා හද පල්ලෙ මිහිදන් වූ මලක් වැනී
පා මද හාසයෙන් හැම විට ගඟක් වුනී
ළා පැටියන්-පැටික්කියනට තැනක් දුනී
කා අතරත් ගමේ සමගිය දමක් තැනී

7. මේ ගම් පියසෙ දරු-දැරිමල් මෙන් හැමටත්
නෑ- කම් හිමි ය හැම දරු - දැරියනටත් සත්
ඒ ගුණවත් පිරිස් කරවනු සේ නැණවත්
වේවා මේ “ සඳෙස" සමනලගේ හරවත්

8. හිතවත් “සමනලයාණෙනි” මගට රුතී
දැනුවත් කරනු වස් මෙගමෙහි සියලු පැතී
පොහොසත් බසක සාහිත කවිකමට ගැතී
සවිමත් කරනු දිගු ඉතිහාසයක් ඇතී

9. මගෙ නිවෙසින් පිට ව මග වැණුමට ඔස්සේ
තගෙ දිරි ගතින් ගමන ද නිම කළ පස්සේ
වගෙ කීකරුකමට දත් තොරතුරු වැස්සේ
මගෙ ඇරැයුමෙන් සතපන් ගම මල් බිස්සේ

10. ඉනික්බිති නොවී මැළි මේ සදෙස පෙමේ
යතිවරු වෙසෙන තැනට ම ඇරැයුමකි ඉමේ
නැණසල වෙතට බුදු පුතු ලොකු හිමි එ බිමේ
ගෙන යනු නොඅනුමාන ය සුරතින් ම ගමේ

පිනි කිනිත්තක් හැඩවෙලා …

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව

සීතලම සුන්දරම දවසක , පිනි කිනිත්තක් හැඩවෙලා

පොරෝගෙන එන හීතලෙන් , ගුලිවෙලා යලි ගුලිවෙලා

තුරුළු වුණු ආදර හැගුමකින් , මතක ඇත යලි ගුලිවෙලා ....

ගැලවිලා කොල ගැලවිලා, කැලැන්ඩර් පිටු ඉගිලිලා

ආයෙමත් ඒවිද ඇවිදගෙන , තුරුණු විය යලි පියඹලා

යන්න ඒ සොදුරුම අතීතෙට, යමුද අපි අත් අල්ලලා

සුසුදු සුසිනිදු මුව පුරා, විසිරි විසිරුණු මල් හිනා

හෙටත් උදයම පුබුදුවන්නට, සලනු මැන ඒ මල් හිනා

ජීවිතේ පිණි මල් වහින්නට, පැතුම් ගෙනඑයි වාසනා .....

අප්පච්චි

ඒ.එම්.අයේෂා සංදීපනී අධිකාරි - කොළඹ චිශ්ව විද්‍යාලය

ඝන අදුරු කුටිය
ආලෝකමත් කල
පහන් සිළුව වේය ඔබ
කළුවර වී තෙතබරිතව
ඉකි බිදින ගුවන් ගැබ එලිය කල
පසලොස්වක චන්ද්‍රමඩල වේය ඔබ
නියං කලට
නොපිපු කැකුල විකසිත කල
ගුවන් ගැබින් මිහිකත වැඩි
මිනිකැට බින්දු වේය ඔබ
බිම්බිසාර නිරිදා ලගත්
නොපැරදුනු මහා සෙනෙහස
සයුරක් වී ගලන කල
කිමිදෙන්නෙමි ඒ සයුරේ ඇති වන තුරුම
තුන් තිස් පැය මා වෙනුවෙන්
මිනි කැට හෙලූ
ණය ගෙවන්න නොහැකිය මට
කල්ප ගනන් පින් කෙරුවත්
සසර ගිරිදඹ නගින මගෙ ලග
සිටිනු මැන මහ ආදරෙන්
පින් මදිව මට
නොහැකි උනොතින් ඉන්න ඔබ ලග
කෙලෙස් නසා බුදු වෙනු මැන
මා ඇත් රජුනි
නෑ තරහ මන්...

පුතුගේ පැතුම

අශෝක වල්පිටගම

දෙසවන් නෑසෙන මගෙ පුතු ඇවිදින් ලඟට
අසනා වීටදි " ඇයි මට විතරක් මෙහෙම ? "
ඉවසා සිටින්නට දැනෙනා දුක හදට
දෙනු මැන සමිඳ ශක්තිය අප දෙදෙනාට

ඉපදුන හොත් සමුගෙන දිවියෙන් නැවත
ඇසෙයි නේද මගෙ කන් දෙක හොඳට
කියනා වීටදි දැනෙනා බය මගෙ සිතට
කෙලෙසද දරා ගන්නේ මම සහ බිරිඳ

පෙර භවයෙදි කරනා ලද අකුසල් වලට
වෙන්නැති වුනේ මෙලෙසින් අප දෙදෙනාට
සිතමින් සනසා ගන්නට සිත නැවත
දෙනු මැන දිරිය සමිදුනි අපගේ සිතට

5-5-2023

සඳකැන් ගලන සඳ

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර

සඳකැන් ගලන සඳ හෙළයට පොසොන් සඳින්
අනුබුදු මිහිඳු හිමි සමරා ලියමි බැතින්

පායා පුරසඳ ගනඳුර බින්දාට
තරු හිනැහිලා නිලඹර දිලුනාට
බැඳිලා ලෝබ සිත දඩයමට
පෑතිස් නිරිඳු වැදුනා මහ වනයට

මුවාගෙ පස්සේ රජු ලුහුබැන්දා
පිබිදෙන සතුටින් දුනු දිය ඇද්දා
තිස්ස කියන හඩ රජු සිත බින්දා
දුනුහී අතහැර හිමිරුව වැන්දා

සම්බුදු සමිඳු තෙවරක් වැඩි ලක්බිමට
අනුබුදු මිහිඳු සමිඳුන් වැඩ මිස්සකට
අපිවෙමු පසිඳු සමනුන් ගිය බුදුමගට
දෙසුවා සමිඳු පෑතිස් නරනිඳුට

ඉරපායනවිට මිනිසුන් ඉරටත් වැන්දා
සඳපායනවිට ගැමියන් සඳටත් වැන්දා
විසල් ගසක් විසල් ගලක් දුටුවත් වැන්දා
ගතවිලි වසන්නට කොළඅතු ඇන්දා

අහන්න බලන්න නිති දහමක් ලැබුණා
ලියන්න කියන්න නිති ශිල්පය ලැබුණා
නෙලන්න සදන්න නිති කලාව ලැබුණා
ගයන්න වයන්න නිති තාලය ලැබුණා

වනයට මනරම් උයනක් සැදුනා
උයනට අගනා සෑයක් සැදුනා
සසුනට වටිනා අරමක් පිදුනා
දනහට විඳිනට සුව දහමක් ලැබුනා

මිහිඳු සමිඳු සමඟින් බුදු දහම ගෙනා
දූත පිරිසෙ සිටිය උපාසක තැනා
පණ්ඩුකතුමා පැවිදිව උපසපන් වුනා
අනුබුදු නාහිමි හමුවේ පොසොන් දිනා

පෑතිස් නිරිඳු හා හතලිස් දහසක් ආවා
චුල්ලහත්ථි සුතුරට සැම කැටිකෙරුවා
අනුබුදු සමිඳු පිරිසට සදහම් දෙසුවා
තෙරුවන් සරණ ගොස් බොදුවන් වූවා

සාමනේර සුමන හිමිගෙ ඇරයුම් ලැබිලා
මිස්සක පව්වට දෙව් මහ පිරිසක් වැඩලා
දෙව්පිරිසට මිහිඳු සමිඳු කරුණු කියාලා
පොසොන් පෝයදා දුන්නේ දහම බෙදාලා

මාපනාවතුර
මහනුවර

බේරේ වැව් වරුණ

ආරියරත්න ජයසිංහ - මහරගම

කොළඹ සේදිලා කුණු දිය ගලනා
කාණු පුරා එන රොන් මඩ රඳනා
කපුටු වසුරු මුසුවී ගඳ ගසනා
බේරේ වැව් කොමලිය බල සොබනා

කොල පාටින් කොල දිය රැළි නැගෙනා
කරදිය එක්වී ලුණු රස දැනෙනා
ගංගාරාමය එපිටින් පෙනෙනා
බේරේ වැව් කොමලිය බල සොබනා

අහස උසට මහ මන්දිර නැගිලා
විදුලි බුබුලු එළි සුවහස් දිලෙනා
වලා රොදින් හඳ පලුවද එබෙනා
සඳ දිය ගලලා කුණු දිය මැකෙනා

කෑ කොස්සන් දෙන රිය පෙළ අතරේ
පිස්සන් දුව පැන යන හඬ පැතිරේ
රිදී පහන් වැට බබළන ලෙසිනේ
සඳ දිය මුසුවී වැව් දිය දිලිසේ

අකුරු නොකළ කවිය

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය

බැඳෙමින් සෙනේ පමණට වැඩියෙන් රැක්ක

නොපිපුණු නිසා හදවත අඩුවට වික්ක

නිහඬව දිවා රැය ආලය පිරි මැද්ද

හදවත තියේ හැමදාමත් නුඹ එක්ක

දුරකින් ඉඳියි සෙනෙහස හදවත පිස්ස

උදයේ සවස පවසට මල් පැණි ඉස්ස

මුල් ඇද දළු දමන්නද ඒකද වැස්ස

තුන් සිත දැහැන් ගතවී සුරැකිව සෙස්ස

සුවඳක් නැහැය විඳිනා විට හැමදාම

මිහිරක් මවයි හද ගැබ තුල නොදැනීම

වරදක් නොවෙයි තනිකම මට දැනුනාම

කවියක් ලියයි අකුරක්‌වත් නොලියාම

.Come බස් …..

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්

ඉක්මන් කරලා නගින්න
නැගලා ඉදිරියට යන්න
තුකකට පේලියට ඉන්න
මාරු සල්ලි අතට ගන්න

බෑග් කරෙන් අතට ගන්න
තෙරපෙයි නම්
බැහැලා යන්න
මනරම් ගි කන් පැලෙන්න
එහෙම ඇත්තෙ කොයි කියන්න

පුවරුවෙි වැටෙනා වෙිලාව
වෙත එන එකමයි කලාව
මගියාට සලකන දයාව
කොන්දොස්තර නැති නළාව

රෝද පුටුවෙි වුවත් යන්න පුළුවන් වු බස් තිබෙිද?
රියදුරු බැස මගියන් හට සලකන්නේ වෙන කොහෙද?
රියදුරු හට ස්තුතියි කරනා මඟියන් සිටිද?
ආදි කාලේ අපෙ පුරුදු දුටුවේ සිහිනෙන් නොවෙිද?

පෑන

අනුර හෑගොඩ

පෑන 1

විසි කළෙමි
කාබන් පෑන
ලාවට ලියැවෙන
අලුත් පෑනක් ගෙන
තදින් ලිය යුතුය
ලාවට ලියැවුණු
වචන උඩින්

පෑන 2

ලාවට ලියැවෙන
කාබන් පෑනකින් ලියා
දැනවිය හැකිවෙද එරන්දතියට
මම හුඟක් කේන්තියෙන් බව

පෑන 3 (සිතිවිල්ලක ආයුෂ මොහොතයි)

ලිවිය යුතුය ලිපියක්
හොඳ දෙකක් කියා
ලුණු ඇඹුල් ද දමා
නිකම්ම නිකං එරන්දතියට
මේකද යහපත් ප්‍රේමය

ඉද්ද ගැසුවා සේ නැගිට
සරම තදින් ගැට ගසා
ලක ලැහැස්ති වෙමි
ඇඟිලි තුඩු කෙරවලට ගත්
ආවේගය මිරිකා ගෙන

නොලියවේ කරුමක්කාර පෑනෙන්
තීන්ත ඉවර වී

අළුත් පෑන ගෙන
කොලය මත තබා
කල්පනා කරමින් සිටිමි
තවමත්..............

ඇත්තමයි උන් එහෙම ඇහුවා……

චමරි වික්‍රමසිංහ - පිලියන්දල

දෙමන් හංදියේ තෙමං හන්දියේ
ජාමෙ වෙලාවට උන්නාට හිටගෙන
පන පිටින් ඒ උන්නු කාලේ
ලැජ්ජා බය ඇති ගෑනියෙක් වෙලා උන්නා

ගෑනු කම ඉස්සර වෙලා
ප්‍රේමයේ වැට උඩින්
මටත් නොදැනිම එදා
කැමැත්තෙන් මම ඉතින් පැන්නා.

කුසත් බර වුනු දා පටන්
අප්පා නෑ ආ ගිය අතක්
දරාගෙන උන්න මං
පුතුට ආදරේ හන්දා

අප්පෙක් නැති දරුවෙක් අරං
මග දිගේ ඇවිදිද්දි
රෙද්දෙ තුත්තිරි නැති නෝනලා
කතා නම් මහ හුඟක් මට කිව්වා.

ගඟට පැන දිවි නැති උනත්
දිරි අරං හැමදාම
දරුවාට අප්පෙක්ම
මම හෙවුවා.

හංදියක් ගානෙ ලැග
රෙද්ද හද හද ඉන්නෙ
ගෑනු ඇඟ දුටුවහමයි.
පිරිමි ඇස් කැරකෙන්නෙ
ඒ නිසා රෙද්ද පටලවන් උන්නා.

රෙද්ද හදනට කැමති උන් මිස
අප්පා වෙන්නට කැමති උන් නැත
දරුවා තියලා ලඳු කැලෑවක
පොඩි වෙලාවකට යමුද නංගි ඇහුවා .

සරු පොළොවට වැහි වැහැලා,

චමින්ද ලියනගේ - බලංගොඩ

සංහිඳ ළඟ රැඳිලා යදින යැදුම් නුඹයි මමයි
නිල් අහසට ඇහිලා බෙදන පැතුම් වැස්ස නැමෙයි
මල් වතු ඔය පිරිලා රඟන රැඟුම් නෙතද පිනයි
ගස් වැල් ළපලු ලලා . පුදන කුසුම් සුවඳ හමයි,

මිහිලිය සිරි සදලා යළයි මහයි තනන වෙලේ
වැව හනිකට පිරිලා වතුර බෙදයි පහළ ඇලේ
අග හිඟ කම් මැකිලා සිරිය සැදෙයි යළිත් පැලේ
සිත මිහිරක එතිලා පැතුම් පුරයි සිහින විලේ,

වැව ඉහලින් පෙනෙනා හේනෙ පැලට නැතත් ඇලුම්
කුරහන් කිරි වදිනා යායෙ දිගට රැකුම් බැලුම්
රෑ යම පැල් රකිනා සිතින් සිතට හැඟෙන හැඟුම්
බට ලීයෙන් නැගෙනා ස්වර හඬට නැගෙයි සුසුම්,

අස්වැනි පැහෙන කලේ සතුටක් විත් ළඟ ගාටයි
පූදින ගොයම් දිලේ රන් ගොයමත් හැඩ රෑටයි
නින්දක් නොනිදි වෙලේ දැන් දෙනෙතුත් රත් පාටයි
කලුවර ගලන පැලේ සඳ කිරණත් දුර ඈතයි,සරු පොළොවට වැහි වැහැලා,

සංහිඳ ළඟ රැඳිලා යදින යැදුම් නුඹයි මමයි
නිල් අහසට ඇහිලා බෙදන පැතුම් වැස්ස නැමෙයි
මල් වතු ඔය පිරිලා රඟන රැඟුම් නෙතද පිනයි
ගස් වැල් ළපලු ලලා . පුදන කුසුම් සුවඳ හමයි,

මිහිලිය සිරි සදලා යළයි මහයි තනන වෙලේ
වැව හනිකට පිරිලා වතුර බෙදයි පහළ ඇලේ
අග හිඟ කම් මැකිලා සිරිය සැදෙයි යළිත් පැලේ
සිත මිහිරක එතිලා පැතුම් පුරයි සිහින විලේ,

වැව ඉහලින් පෙනෙනා හේනෙ පැලට නැතත් ඇලුම්
කුරහන් කිරි වදිනා යායෙ දිගට රැකුම් බැලුම්
රෑ යම පැල් රකිනා සිතින් සිතට හැඟෙන හැඟුම්
බට ලීයෙන් නැගෙනා ස්වර හඬට නැගෙයි සුසුම්,

අස්වැනි පැහෙන කලේ සතුටක් විත් ළඟ ගාටයි
පූදින ගොයම් දිලේ රන් ගොයමත් හැඩ රෑටයි
නින්දක් නොනිදි වෙලේ දැන් දෙනෙතුත් රත් පාටයි
කලුවර ගලන පැලේ සඳ කිරණත් දුර ඈතයි,

බලංගොඩ

අහසට මෙන්ම මවටද කිසි හොඳක් නැතී

චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව

ගොරව ගොරව වහිනා හෙණ තඩි වැස්සේ
තෙමිල ඇවිත් බලු ගඳ යන්නට රිස්සේ
සොරෝනීත හැදිලා පැත්තක අස්සේ
ඉන්නට වෙලා කොහොමත් තිබුනනෙ කැස්සේ

අහසට මෙන්ම මවටද කිසි හොඳක් නැතී
ගුණ ගායනා කිසි දවසක අසන් නැතී
සොබහව මෙලෙස මැයි. කියනා කෙනෙක් නැතී
වදනක් තිබේ මම. කිසිදා වහන් නැතී...?

හැමදා නියං එකදා වැහි වලාවේ
අව්වක් නැතිද ඉර කෙදිනක සිනාවේ...?
දින කොපමණද මෙලෙසින් වැසි කලාවේ
තවමත් කෝඩෙ රඳනා නුබ තලාවේ

ගං කොමළියට සරු සාරයි. සිරියාවේ
කන්දෙන් හැලෙනවා රිදියෙන් තැනුනාවේ
වල්මත් වෙලා වැනි ගලනා සැඩ රාවේ
කොල්ලන් ගසනවා දියබුං වරුණාවේ

නූතන ලෝකයේ ……….

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය

අතීත කතාව :

මිනිසා පසු කළා
ගල් යුගය
දඩයම් යුගය .
ගලින් කළ තුඩු ඇති
හියොවුර කරෙහි ලා
ලුහු බැඳ ගියා සා මුවන්
හෙලා ගන්නට මස ට.
බෙ දා ගත්තා ඒ මස
ගැහැණිය සහ ඇගේ පැටවුන්
සමඟ

අසල ගල් ලෙන්වල
දඩයම ට සවි නැති
දුබල හැත්ත ට
ටිකක් දුන්නා
හිලව්වට දුන්නකට
හීයකට මී වදයකට
හාරා ගත් අලයක ට
එසේ බිහි විය
මස් විකුණුම

හිමි වලට වැදි කළ දඩ මසට
කාන්සියෙ හිටියේ ගැහැණිය
ඇයට සිතුනා කරන්න ට
දඩයමක්
සිතා ගත්තා දෙන්නට
ඇඟ මස
වට පිටින් ඉව අල්ලන්න
අසල්වැසියකු ට
හිලව්වට මී බිඳකට
ඇට කැබලි මාල පොටකට
කවර තහංචියක් ද
කාන්සියත් මැකේ නම්
එසේ බිහි විය
පැරණිතම රැකියාව

වර්තමාන කතාව :

එල්ලා තිබේ කොකු වල
මස්
කුකුල් මස් ගව මස් ඌරු මස්
කඩ පිලේ කඩවල
තබා ඇත ඩීප් ප්‍රීසර් වල
ලස්සනට පෙලට
ටින් වල පැකට් වල
සුපර් මාර්කට් වල
ගන්නට කැමති පමණ ට
පෙන්වා සැඟ වූ කාසි
ක්‍රෙඩිට් කාඩ් වල

සුවඳ පැන් සනහා
සුවඳ ඇඟ ගල්වා
මුදු බසින්
සුසුමින්
නිති කර සිත් මුලා
අනලස්ව දෙයි ගැහැණිය
ඇඟ මස
රුපියල් ඩොලර් කොල වලට
පැය ට පැය බාගෙට

නෙක නාලිකා තරඟෙට
විවර කර බාගෙට
පෝතක හංසයින්
ඇත් දළ පැහැය ගත්
ඇගේ සුමට බඳ පෙදෙස
පෙර කවින් සම කළ
රඹ කඳ ට
දුටු දුටු ඇස් එහි ම අලවන
ඇගේ හැඩ දෙවටොර
සලා කරකා
සිහිනිඟ සමග
විකුණති රැගෙන විත්
අපේ සාලෙට
ලොකු කුඩා දර්ශන තල මත

සබඳ මේ නූතන
මස් කඩේ කතාවයි
තලු මරා මස් කා
සිහි මුළා වී නැත්නම් දැනට ම
දැකිය හැකි තව තැන්
ඔබ සිතින් ඔබට ම

03-01-2022

නූතන ලෝකයේ
මස් විකිණෙන්නේ මුවට ගෙන
දිවෙන් රස විදින්නට පමණක් නො වේ
ඇසින් කනින් නාසයෙන් ශරීරයෙන්
ගෙන මොහොතකට මනසින්
විඳින්නට ය
විකුණුම් කරුවන් සහ ගැනුම් කරුවන්
හැම ම අසිහියෙන් සේය

නෑදෑයො එන්නේ සොහොන ළගට විතරයි

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

උඹ විතරක් ඇයි තාම මෙතන
පිටුපසින් පැමිණි කව්දෝ
උරහිසට අත තබනු දැනුණා
හ්ම් ....උඹත් ආවද වේලාසනින්

මට බෑ සෙට් වෙන්න අද
කනත්තේ මුරකරු හඬ අවදි කලා
ඵ් හඬ කඳුළු ගංගාවක්,......
පියදාසත් ගියා අපිව දාල,...

මම අද හොඳ සිහියෙන්
පියදාසට තනි රකිනවා
උඹත් නැවතියන්,. .....
ඔව් මමත් ඉන්නම්,.....
අපි හොඳ යාලුවොනෙ බං,...
හ්ම්,....පියදාස අපිට කලින් ගියා
බෝතල් එපා අද
ඌබර් .... ඵකක් ගෙන්වා ගමු

උදැසන ඇසූ බණ මාතෘකාවෙන් මා දුටු මිත්‍රත්වයයි

19/5/2023

~ වැට නොබැඳි කට වටා දමා ගැසු නිරායුධ ! ~

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

උදෑසනම මරණයකි !
කවුරුන්ද ?
ඔහු, "ඔහු" නම් විය.
මරණයට හේතුව නම්
කවුරුන් දනී ද ?
කාමරයක් තුළ
මොහු මරා දැමුමේ
කවුරුන්ද මේ ලෙස ?

ලේ විලකි දැන්
මුළු යහනම,
හිත හදාගෙන
සැරසුණා මං විපරමට...

බිම වැතිර සිටි
ඔහුට මම ළං විය.
නිසසල වුවත්
ඇසෙයි තව මට
ඔහු හදේ කෙඳිරිය...
" අනේ දෙවියනේ,
කැපුම් තුවාලන
මුළු පපුවෙම ! "
ඉබේටම වගෙ
කෑ ගැහුනා මට...

ලියමින් සිටි කවියක්
බොඳවී පෙනුණි ලාවට.
ලෙයින් තෙත් වී
මැකී ගොස්ය
ඇගෙ නාමය.
හැබැයි,
ආදරෙයි කියා
ලියා තිබුණා
හැමතැනම...

තවත් ළං වී
බැලුව විට මට,
දැකගන්න ලැබුණා
තියුණු ආයුධ,
ඇණ තිබුණි
හදවතේ සිදුරක !

ආයුධ කිව්වට
ඇත්තටම මොනවද ?
පෙරදිනයේ
ඈ මොහු වෙත
දමා ගැසු වචන
පපුවේ ම නොව,
තිබුණා බිම හැමතැනම
අහුලාගෙන එකින් එක
කියෙව්වා මම හනිකට,

" අනේ පව් මූ
රිදිලා මුට හොඳටම..! "

ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

නිමිති

චාන්දනී ආර් වේරගල - මීගොඩ

සියළු සෝ තැවුල් සෝදා හරින
සිහින ලොව ගෙනත් මිහි මත තබන
හිත මිතුරු සාදයේ රස විඳිමි
අතින් අත පාවෙමින් තොල් සිඹ්න
පෙණ පිපී උතුරමින් ගලා යන
මධු බඳුනක් ය ජීවිතේ

නුරා නෙත් නිබඳව ම ලුහුබඳින
සුමුදු බඳ පුළුලුකුලු සලිත වන
රඟ මඬලෙ එළි ද දැල්වෙන නිවෙන
ගිගුම් දෙන සිනා හඬ ළඟ හිඳිමි
මිහිරි රස ගුලාවක සිත රැඳෙන
මී වදයක් ය ජීවිතේ

අකාලයෙ පෙති සැලී මිලින වුන
භද්‍ර යෞවන කුසුම කරින් ගෙන
ඇදෙන පෙරහැර සමග පා නගමි
සුසානයෙ බොල් පොළව තෙත් කරන
කඳුලු වැල් ඇදෙයි රූරා නයන
පිනි බිඳුවක් ය ජීවිතේ

කහ සිවර දරාගෙන උර මතින
බැති බරව බිමට යොමුවූ නෙතින
වැලි මළුවෙ සෙමින් පියවර නගන
බුදු පුතුන් දෙපා මත සිත තබමි
පරම පිවිතුරු ලෙසට මඩෙන් පිපි
සුදු නෙළුමක් ය ජීවිතේ

චියර්ස්.

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

අඩියක් ගහන තැනක
"එයා බඩ්ඩක්" කිව්වම
බූට් කාපු මම
පත්තු කලා දුමක්(බීඩියක් )

අවුලක් නැති උනාම
නෝන්ඩි කරලා වට්ටන්න
ගලවන්න බැරි දතක් වගේ
උංට තිබුනා "නමක් "

වහ බිව්වේ නැති උනාට
වහ වෙච්ච ජිවිතේක
වම් කර්ණිකාව උඩ
මමත් දැක්කා"හිලක්'

පිච්ච මල් පාත්තියක
ඉරට නොපෙනෙන මලෙක
පුංච් සුදු පෙති අතර
කුඩිත්තෙක්ට තිබිල ඉඩක්

හුළඟට නිවුස් එකක්
පොළොවට කෝලමක්
උඹට ගේමක් උනාට
ඒක මට තව බණක්

සංසාරේ හැමදාම
යශෝදරා කියා දුන්නෙම
ආදරේ කියන්නෙත්
අප්‍රමාණ දුකක්.

අපූරු අතදීම…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල

සමහර උදවිය ඉන්නේ බඩ
බැඳගත් මිතුරු ලෙසින්...
මනහර වූ දේ පවසයි උදව්
පදව් කරන වෙසින්...
එනහර තුල ඇති රුහිරය රුදුරු
බවක් දිනෙක ඇසින්..,
තිරසර වම දකින්නෙ අප වැටුනු
කලයි සතර දෙසින්...

රඟ දක්වන සොඳුරු චරිත නිසා සැවොම රැවටෙනවා...
ළඟ සිටියත් සිත තුල ඇති දේ
දැකුමට බැරිවෙනවා...
අඟ උඩ රැඳිලා ඉඳගෙන නොදැනෙන්ටම කන කනවා...
මඟ හරහට වැට බැඳුමට
දස්කම උන් සතුවනවා...

කැපූ වලේ වැටිලා ඉන් ගොඩ
එන්නට දඟලන කල...
සැපූ සපුන් අත දෙන්නට
හදනා බව පෙන්වයි, බල..!
අපූරුවට ඇති හිණිමඟ
පසෙකින් තිබුණත්, කිම පල...
එපූරුවේ පවකට හමුවන අය
බව යුතු, සිහිකළ...

ප්‍රේමය

දර්ශනී වනිගසේකර

සදේ නුඹ පායන්න පෙරදිනෙක සිත්අහසේ
මග කියපු තරුව මුනගැසුනා
පුරාපොහොයට පසුව අමාවක ලඟම බව
එදා මට අමතකව තිබුනා
මංමුලාවී උන්න පෙරදාක පවා ඇය
ජීවිතේ මගනොමග පෙන්වා
නුඹෙන් මග ඇසූ කල දොසක් නොකියාම මට අපෙන් බෝ දුරට වී උන්නා

සදේ නුඹ යලි එතැයි සිතසිතා බලබලා
සිතින් මියැදෙමින් මන් උන්නා
එදා වාගෙම අදත් ඈත දුරකින් උනත්
මගනොමග යලිත් මට පෙන්වා
නොහඩන්න නොතැවෙන්න මුදු සිනා වස්සන්න ආයෙමත් තරු ඇසක් දල්වා
සඳේ එක හදවතක් බිදක් වෙනසක් නැතිව
මා නමින් සදාකල් උන්නා

30/04/2023

හිංචි නංගිගෙ දොලදුක………

දුලානි පතිරත්න - වේයන්ගොඩ

අඹ වෙරළු ඔය ජාති මහ ගොඩ ගෙයි මැස්ස උඩ පිරී ඉතිරෙයි
ඉඹ බලන්නට වත් හිතක් නෑ වතුර ටිකටත් බඩ පෙරලවයි
රඹ කෙසෙල් රන් තැඹිලි තිබුණත් දැක දැකම ඇහැ අහක බැලුවයි
උඹ පපුවෙ ඉස ගහන් ඉන්නෙක දැනුන එක මට එකම පිරියයි........

ඔලුව උස්සල ඉන්ට හිත කොහෙ ඇඟේ නෑ එක පණ කලන්දක්
කළුව ඇහැ වට දැවටිලා ගෙන එනව මොහොතක කරකවිල්ලක්
පෙලුව පාලුව රත්තරන් මට...උඹ උන්න නම් හිතට දිරියක්
බැලුව බැරි තැන වදෙන් පොරෙනුයි අම්ම පෙව්වේ කැඳ ඇබින්දක්.........

අත ගෑවුණත් රස සුවඳ විහිදෙයි අම්මගේ ඔය අත් ගුනේ
බත දවාලට හදල තිබුණේ තෙලටියා දලු වැන්ජනේ
කොත ගහල මට බෙදල තිබුනා දුකයි ඇගෙ ඒ මවු සෙනේ
අත කටට එක මිටක් අරගෙන ගියේ නෑ අපුලයි අනේ.........

නගුල වියගගෙ මත්තෙ හැපිලා එද්දි නුඹෙ පයෙ තාලෙ කඩිසර
බිඳලූ හිතෙනුයි හිටියෙ පෙර මග ..අම්ම දුන් ඔව හිතට හරි බර
මගුලු සක්වල සිරිය දොහොකට අහවරයි පන හිතම සෝබර
අගුළු තද කර හිටින් කිව්වා තුන් මහක් වත් නිදන ගෙයි දොර .......

මාස් වැස්සට පස්සෙ පිපුණේ කිරි කැකුළු මල් දෙනිය ලන්දේ
හාස් කම් වගෙ අපෙන් හිත් වල කිරි සිහිනෙ මල් පොඩි පැලැන්දේ
දාස් ගානක් දෙවි වඩින උඩ මළුවෙ ඉඳ අපි පඬුරු බැන්දේ
දෑස් මත්තට පැටි දකින තුරු ගනිමි අතැඟිලි රැයෙත් නින්දේ...........

අවැසිමයි පිපෙන්නට රතු රෝස

දියත් රන්සර අතපත්තු - පුලතිසිපුර

ඉඟිලෙන්න තනද්දිත් උගුලලා පියාපත්
අස්වසන කඩඉමත් ගිණිලෑවා අයා නෙත්
ගන වලා රොක්වෙමින් කළුවරක් වසාගත්
පැහැබරට කිම කොමා,දයිවයෙන් වෙලාගත්

නෙක රටා හැඩ දමා නෙතු බැදෙන විලසකට
සීරුවට නිම කළත්, වාතලයෙ යයි දුරට
ගිලිහුනත් අත් මිදී ඉඩ අරන් පිටතකට
වැටකඩොළු සිහිනයකි!සරුංගල් රැකුමකට

තැලෙන තැන තැලෙනමුත්, යදමකින් බැඳලන්න
රිඳුමි ඉවසා දරා බොර පාට සඟවන්න
පසුතැවිලි තව මොටද නැඟි සුසුම් වියැකෙන්න
මුතු මැණික් ඔපදමනු පැහැයකින් දිලිසෙන්න

සරතැසට ගතු කියන කෙම්බිමත් ඉරිතලා
ගිගුම්දෙන හඬ තුලත් සාපයක් ලියවිලා
රතු රෝස පිපෙන්නට වාලුකාවට පෙති විදා
තෙත බිඳක් ඉහාපන් මිනිසුනේ හිනැහිලා

වියපත් සුසුම් ….

දීපා ද සිල්වා - ලන්ඩනය

සියලු දර දිය කරෙහි ලා
උසුලමින් හසරැලි සලා
දශක ගණනක මතක පොදි බැද
සබද නුබ වියපත් වෙලා
දස දහස් දරුවන් බලා
සිසිල උණුසුම බෙද බෙදා
තුරුල්ලේ රදවා රකින්නැති
ආපදා සැම වලකලා
කුසට රසවුළු දෙන්නැති
හුස්ම පිබ සනසන්නැති
දුක කදුල ලග
නිහඩ වීලා
සියලු ලතැවුල් ගන්නැති
වැහි පබළු වැල් පලදලා
හිරු රැසේ සායම් උලා
සුලන් රැල්ලේ තාල අල්ලා
වසන්තය කැන්දන්නැති
පෙම් පුරාවත් දන්නැති
නොදන්නා සේ ඉන්නැති
විරහ සුසුමන් හෙලන විට නම්
ලං වෙලා පිසලන්නැති
දුබල අත් පා ඉරි තලා
මුවේ හසරැලි වියැකිලා
නොබල යන හැම නෙතක් පාසා
කදුළ විත් නවතින්නැති
මලුත් නුබ පූදන්නැති
පෙළක් පසුපස එන්නැති
නමුත් අවසන කිසිත් නැති වී
තනිය තනි නොකරන්නැති

කුණාටු

ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව

කුණාටුවකට හසුව ගස් වැල් ඇඹරිලා මුල් ඉදිරුණා
බිත්තියේ මැටි පෙඟී පෙඟී වුව දිය නොවන්නට වෙහෙසුනා
වහලෙ පොල් අතු විකාගෙන ලී දරාගෙන දුක වැළපුනා
නුඹේ සුසුමට එවන් වහලෙක මුදුන් ලීයම ගැළවුනා

අදක ඊයෙක මලකි සුපිපුණ කෙලෙස මේ දුක් ඉවසනා
ජීවිතේ කළ එකම වරදට මලට ගැරහුම් හිමි වුනා
ප්‍රථම ප්‍රේමයෙ කුරිරු විස කටු ඇනි ඇනී හද පෑරුණා
ප්‍රේමයක ඵළ රකින රහසට කුසෙත් ඉඩ කඩ මදි වුණා

දුවේ ඉනිමං නොවෙයි ලෝකයේ නාග රූපත් තියනවා
ඉහල පමණක් නොවෙයි දිවියක පහළ යාමුත් තියෙනවා
පංති ගිහිනුත් දන්න උත්තර විභාගෙදි මඟ හැරෙනවා
එහෙව් සරදම් දුවේ ඉදහිට ඉරණමත් කර බලනවා

ඇතොත් වණයක් පාර පාරා හදේ ගින්දර තදින් අවුලන
නොපෑරී රැක ගන්න එකමයි දුවේ දිවියට වඩා සුන්දර
අතින් ඇද ඇද සුසානය වෙත පාර කිව්වත් නියගලා අල
සුනෙර සේ හෙට නැගිටලා නුඹ දෙපා තියපන් අලුත් ලොවකට

අවසන් හුස්ම!

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

ලබන උපතක්

නොගෙන කිසිවක්

පතන සහසක්

ගෙවෙන දිවියක්

නොසිට මොහොතක්

නැතිව නිවනක්

නොතක කිසිවක්

එකම දිවුමක්

ඇතිද හැමෙකක්

මදිය තවෙකක්

අතැර යනතෙක්

ඇවිත් දිනයක්

පැමිණ මොහොතක්

වැසෙන දෙනෙතක්

රකින සටනක්

එකක් පමණක්

නොවෙයි අනෙකක්

නොදුන් අගයක්

නොගත් මෙතුවක්

හුස්ම බිඳුවක්

හැන්ද

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

Translation of the poem ‘Spoon’ by Richard Jones

ඇතැම් දිනවල
හැන්දක් මිසක්
ජීවිතයට මට වෙන කිසිවක්
නුවුමනා බව සිතේ

හැන්දකින් මට ආහාර ගත හැක
දොස්තරවරු නියම කරනා බෙහෙත් ගත හැක
ජනෙල් පඩියේ නිදන මැස්සාට පහරදිය හැක
මේසයට තඩිබා අවධානය ඉල්ලා සිටිය හැක
චෝදනාමුඛයෙන් දෙවියන්ට උරුක් කළ හැක

හැන්දෙන් නොනවත්වා හිස් අවකාශයට අනින්නට හැක
එහි දිලිසෙන මතුපිටෙහි කැඩපතින්
මගේ මුහුණ, පුංචියට නැරඹිය හැක
ඉන් එක් ඇසක් වසා
ලෝකයෙන් අඩක් අතුරුදන් කළ හැක

හැන්දකින් මඳින් මඳ පොලොව හාරා
නිදහස සොයා යන්නට
බිම්ගෙයක් තනනු හැක
හඳ එළිය හැන්දට පුරවා
කළුම කළු අඳුර වෙත විසිකරමින්
ජීවිතය අපතේ හරිනු හැක

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Richard Jones එංගලන්තයේ උපන් ඇමෙරිකානු ජාතික කවියෙකි. කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් පළ කර ඇති ඔහු චිකාගෝ හි විශ්ව විද්‍යාලයක කතිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරයි
Photo- Unsplash

සිහිනයක පිළිසිදව
ගණව ගත් ලෝකයක
දුටුව මුත් අනියතම
දිවූ වෙමි කස්තුරි මුවන් සම

සොබාදහමේ අරුමේ
විදින විදවන ලෝසතුන් මැද
මාර දූවරු හැදින ගත්තේ
සසර දුක් විදි මා විසින්මය

ලොවක ඇරබුම ශක්තියක් නම්
පැවැත්මත් ශක්තියම පමණකි
ගලන ශක්තිය සංක්‍යත කම්පන
නොමැත අන් කිසිවක් එයින් පිට

පැවැත්මේ සිහිනයෙන් අවදිව
දුටුව විට ලෝකය යලිත්
දුටුවෙ ලෝකය සැදූ අයුරුයි
හිස් අහසේ මාලිග ලෙසින්

ලොව සැදු මා සොයා යද්දී
සිතුලි සයුරේ රළ මතින්
සොයා ගන්නට බැරිම තරමට
පෙන බුබුලු පිපිරී ගොසින්

හිස් බවක යලි බවය තන්නට
කෙනෙකු නැති බව දුටු දිනේ
උපත මරණය නොමැති විබවය
සොබාදහමට මුසුවුනේ

පිනි බින්දුවක් ප්‍රේමයක…

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය

මැදියම් විට හෙමින් කැකුළක වැතිරගමි
හිමිදිරි කාලෙ පෙති අරිනට උදව් වෙමි
එකෙණෙහි පිටට වැටිලා රූරගෙන යමි
ඉරටත් බයේ නටුවක් යට සැඟව ඉමි

නටුවෙන් රූරගෙන විත් කොළයක හිඳිමි
මුලයෙන් එන වතුර බිඳු දැක හූල්ලමි
ඇතුළට ගන්න යැයි කොළයට බලකරමි
නොඇරෙන බැවින් දොර ආයෙත් දියව යමි

ප්‍රේමය කියන්නෙම පින්නක් වෙන එකය
අඩියෙන් අඩිය වැටි වැටි විසිවෙන එකය
ඒ අතරෙදිත් තව තව දිය වෙන හැටිය
අවසන ගන්ධබ්බ වී පාවෙනු හොඳය...

මහ පොලව අවුස්සලා
සැගවුනු මලුත් ඇවිස්සූ....
කර්කශක අව් රැලි අස්සෙත්
සිසිලසක්ම පෙන්වූ....
වසා ගිමන් හරින දෑස් අග
සිනාවක් ඉපැද්දූ..

කවිය නුඹයි....නොදත් ප්‍රේමයත්
ලොවට ඉගැන්වූ.....

ගලා යන බව නදිය සේ
ජීවිතේ බන පද අතර ඉගැන්වූ...
වැසි ගිය වැලි තලා අතරේ
මතක මං පෙත යලි ඉපැද්දූ...
දකින හීනෙට මෙපිටින්
පෙනෙන හීනයේ අරුත පෙන්වූ...

සිතුවිල්ල නුඹයි....මලානික හදවත්
අකුරින් මව් කුසේ රැන්දූ....

අසන දකින....විදින විදවන
ප්‍රේමය ද විරහව එක්කර....
සිතන පතන...ලගද ඈතද
එකම හුස්මකින් ‍යලි එක්කර

කලා කෙත නුඹයි....නොකියූ මලපොතේ
අකුරටද පන ඉපැද්දූ.......

සුන්දර තුරුණු මෙනවිය;
මෙම කතාන්දරය ඔබට ය
ඉගෙන එය
පරපුරෙන් පරපුරට උගැන්ම
ඔබ සතු මහරු පැවරුම

දුර ඈත අතීතේ දවසක්
අඹ යහළුවන් දෙදෙනෙක්
ගියා ගමනක්
මැද්දෙන් වනන්තරයක්

අතරමඟ හමු වී වළහෙක්
නැඟී ගසකට එක් යහළුවෙක්
ගස් නඟිනු නුහුරු අනෙකා
මළා සේ සැතපී
හද සෝ දුකින් මියැදී

වුනත් පරසිඳු නපුරෙක්
තිබිණි ඌටත් හදක් මුදු තෙත්
" සමඟින් හදක් නැති මිනිසෙක්
නොයන් කිසි දා ගමනක්"
කියා මී පැණි මියුරු රහසක්
ඇදුණි ඈතක මිනිස් වළසෙක්

ළග පාත එක්තරා දවසක්
සොයමින් සොඳුරු රූ සහසක්
පීනුවා උඩුගංබලා
මනහර මෙනවියක්
සමඟින් ගමන් සඟයෙක්

සරාසඳ මෝරා නැඟුණී
පරිස්සම අමතක කෙරුණී
වරණිඳුට පිපාසය දැනුණී
තුරු සිරස බිඳුණී තැලුණී

සරාසඳ කැබලි වී පොඩි වී
උඩදියළුමෙන් වැටුණී

වනසැරිය සිහියෙන් කළ යුතු
නා මෙනෙවියනි රමණී
ලොව ම වනයකි බියකරු
දිවි, ගජ, වග වලස් සරණී
හදැති මිනිසුන් සමඟින්
සක්මන් සුවැති බැවිනී
හදැත්තන් සොයනා මන්තර
උගත යුතු නොවලහා පෙමිනී

පොසොන් සිතුවිලි

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

මිහින්තලා ගිරි ශිඛරය
කසාවතින් දිලෙන වරුණ
සරා හිඳින බුදුවරු පෙළ
අමුණන මුතු බුදු පදවැල
සහන් එළිය පැතිර ගලයි
පොසොන් මිහිර දඹුලුගලයි...

උතුම් රුවන් පතල පුරේ
මිහින්තලා පඩි නැගුණේ
ඒ නැග යන මිහින්තලේ
නිවන්පුරය ළං ළං වේ
එදා මිහිදු හිමි වැඩියේ
සුදු බුදු රැස් සඳ නැගුණේ
දෙසූ දහම් පතළ වුණේ
ඒ සුදු බුදු රැස් මහිමේ...

සඟ පරපුර දහම් සිසිල
කෙත-වැව-දා ගබ-පන්සල
ගම ම දහම් සුවඳ කරන
දන මන ගුණපස වඩවන
අරුමැසි පෙම්රස මතුවෙයි
ඉසුරුමුණියෙ පැතැලි ගලක
දෑ හැගුමන් පියුම් පිපෙයි
පැරකුම් පිළිරුව අබියස...

අඩසඳ සඳකඩ පහණයි
තුරුලිය ලියවැල් ගානයි
දන මන-සිත-ගත සාරයි
විදුනැණ නෙත ගුණ පාරයි
මෙවන් රුවන් රැක ගතහොත්
අපේ නමත් මතු රැක දෙය
මීමුත්තන් තම පණ මෙන්
රජ දවසෙත් රැකගත් දැය!

1.06.23

බුදු අරුතෙ ගුණ සුරය

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර

එළැඹෙනුයෙ බුදු සමිඳු විමුත් මඟ එළි පෙහෙළි කළ දිනය
සමරනුයෙ බොදුනු දන හෙළදිවෙහි අරුතෙ කොඳු බිඳ ගෙනය
සිහිවෙනුයෙ දෙසු දහමෙ වෙර දැරුම-ණය නොවුම දෙන පිනය
කිම යනුයෙ වල්මත් වැ නොදැක මඟ එහි දිසෙන? ඇති පැනය ...!

පමණ දැන පිරිබොජුන - පිරිවැයෙහි සකසුරුව ගෙන පිරිය
වළකමින අපයොජුන, වැඩුම කම් පයොජු - ඉතුරුමෙ දිරිය
දියුණ දෙන දහම ගැන නොසලකන දෙස - රැසට නිර සරිය
නමට එන බොදුනු කම තිබුණු මුදු සුරලොවෙහි යනු බැරිය

අපනයන වෙළෙඳපොළ හැකි පමණ නැඟිය යුතු බව තිරය
එම ගමන යත වෙහෙස-කල්-උපා යෙදුම ඇවැසි ය - දුරය
එ ද නොදැන ආනයන දොරටු ඇර දැය කුමට යනු නිරය ?
යළි හිඳෙන සංචිතය අත ළඟ ය - හෙට දවස ණය බරය ...!

හතරකට පංගුවක් ඉපැයුමෙන් ඉතුරුවම බුදු බණය
පමණකට අපනයන ඉම නොවෙන ආනයන රුදු හෙණය
කිසි ලෙසට අණන සුව ලද නොහැක රටට ඇති එම වණය
හිඟමනට වැටුණු බිම පරපුරෙහි බොදුනුකම නැහැ ගුණය

වඩවමිනි අරුතෙ සවි දෙසු නිවනෙ මඟ දහමෙ ඇති හරය
එය නොදනි නම් කිම ද පල පුදෙහි - පන්සලෙහි බැති බරය ?
බුදු පුතුනි, දෙනු මැනැවි හෙළ දැයට බොදු අරුතෙ ගුණ සුරය
එහි බෙලෙනි පණ ලැබුම-ගොඩනැඟුම දැය අරුතෙ සග පුරය ... !

2567 වෙසක්

“ඝෝෂාව”

ලුම්බිණි විතාන - ලන්ඩනය

හැම දෙයකින්ම ඈත් වෙලා.....

ටිකක් තනිවෙලා බලන්න.

නිහඩ බව තුල තරම් ඝෝෂාවක් තවත් නැහැ.....

පුද්ගල බැදීම්, ආ ගිය තැන්, ජිවිතයට කිට්ටු දේවල් වලින් මිදෙන්න මිදෙන්න ඒ ඝෝෂාව අපිට හුරු වෙනවා, අපි

එයට ආස කරනවා......

ජිවීතයට කවදාවත් ලගා විය නොහැකියයි සිතු.....

මහා දුරකින් තිබුනු ...........

නිස්කලංක බව ඒ ඝෝෂාව තුලින් අත්විදිනවා.

ටිකක් නැවතිලා අත්විදින්න .........

ඒ අපුරු ඝෝෂාව තුල තියෙන නිස්කලංක බව!

මැයි 2023

පොසොන්

ලයනල් ගමගේ ඌරුමුත්ත

පොසොන් සඳ එබී රන්වන් පොළොව සිඹී
මලින් හැඩ වෙවී ගහ වැල බුදුන් වඳී
පවන් රොද වැදී බොදු හඬ නගන කොඩී
මෙවන් අසිරි මැද සමරමු ! මිහිඳු හිමී

දුකෙහි පැහැය

ලලිත් ද සිල්වා - නුගේගොඩ

වයින් වලින් පෙඟි හදවතට
මගෙ කවි හුස්ම හිරකොට
පෙන්වමි කඩදාසියට වක්කොට
කාසියට ගන්නට ඔබහට

පෙන්නමි හද දෙපළු කර
වෙළුම් පටි බැඳි ඇතුල
ඇඟිල්ලෙන් නොම ඇන
නොපාරනු මැන

දුකෙහි පැහැය
පළල ගැඹුර
හදවත් සෙක්කුවේ දමා
ඇඹරූවත් මෙතෙක් මා
තැම්බූ රාබු අලයක් මෙන්
හදවත ඇත අහක බලා

2/5/2023

හුදකලාව…

ලලනී ගීකියනගේ - රත්නපුර

දරා ගන්න බැරි ,දුකක් රිදවනා.....
පුරා දෙනෙත් අග ,කඳුළු දැවටුනා...
දරා අහස කළු වළා පෙලක රැඳි...
වරා මලක සේ , සුළඟේ පාවී යන්නට සිත් දේනම්...
නොයනු මැනවි පාවී...!

විරාගික සිතුම් ,හද ගැබ රඳනා..
නුරා හැඟම් සිත , මනමත් කරනා...
අරා ගගන , මදනලේ සුවය විඳි..
සරා සඳක සේ ,අඳුර නසා පායන්නට
සිත් දේනම්....
නොඑනු මැනවි පේවී...!

ගිමන නිවන්නට , පිනිබිඳු වැටෙනා..
සෙවන ලබන්නට ,මහ රුක් වැවුනා..
නැගුන කඳු මුදුන ,ගිණිගෙන දැවෙනා..
ලැබෙන ඉඩක් ,සම්මතය නොවුන කල ..
දෙසිතම පෑරේ නම්...
හිඳිමු සිතින් තනිවී...!

ලලනී ගීකියනගේ.
රත්නපුර.
2023.05.28

පාර අග දැන්

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

හැරී බැලුවෙමි, කාල මග දෙස
තුරුලෙ නැලවෙන කෙලි පොඩිගෙ දඟ,
මඳක් ආවෙමි එමඟ නැවතත්
තාත්තගෙ අත් දවටමින් බඳ,
සුදුම සුදු මල්ලියට ඔරවා ඉරිසියාවෙන් හඬන කළු ඇය.
කාල මග ද්‍රර තවත් යන්නට
සිතුනි සුන්දර එකල ඉන්නට

ටයි පටිය සුදු ගවුම පැටලුන
ටිකක් ලොකු දැරියක් නෙ උබ දැන්
ආච්චිගෙ බන දෙසුම සිහිවුනි
මාමගේ සුරතල් ද දැනුනෙමි
පාසැලේ පොත යටින් ගී පොත
තබා ගී ලොව ම සැරි සරමින්
වජිර පාරේ අකුරු කරමින්
සිටිය සරසවි යන්ට බලමින්

පාසෙලේ සුන්දර දිවිය මෙන්
ලැබුන වර්මක් සැරිසරන්නට
තර්ස්ටන් මග ගැටයො සමගින්
ගැට්ස්සියො පෙම් කෙලිය බලමින්
එකල ගෙවුනේ පොත්‍ යටින් තැබු
මැජස්ටික් හල සිහින මවමින්
වසර තුන කෙලි ලොලින් ගෙවුනා
විභාගෙට බැඳි කඩුලු බිඳමින්

උපාධිය ලැබු ගුරුකමේ පද
වි‍යද ලැබ පෙර කරපු කුසලින්,
අනඳ මෑනිය ඇතුලු පාසැල්
රැසක ගෙවුනා අකුරු පුදමින්
එවැනි සුන්දර සමය දුන් මගෙ
ගෝල පිරිසට පුදමි තුතියෙන්
ඔවුන් සුදු හිස සහිත මුත් අද
දහසයේ ගැටයෝ නෙ මට නම්!

අනංගය ඊ තලය වැදුනේ
විවා දිවිටට පාද තබමින්
සිඟිති දියනිය මෙලොව දුටුවේ
හදට අමුතුම සැපක් එවමින්
ඓ සැප රාහුලයකුය , වැටහුනි
බුදුගෙ දහමය සමඟ සිටියෙන්
එ බැඳි තවමත් බිඳ දමන්න්ට
නොහැක එනිසා දුකින් පසුවෙම්

එතෙර යන්නට කාලෙ ලැබුනා
පවුල හා පොදි මලුත් සමගින්
හිරුත් නොබසින රටේ ඉන්නට
දශක තුන දුක සැපෙන් ගෙවමින්
මුනුබුරන් දැක කල් ගෙවන්නට
නොයෙක් දෙස සිරි නරබ ගෙවමින්
දිවිය කෙලවර තිත තබන්නට
කාලයයි නොවැ පාර අග දැන්!

මියගිය ඇයට………

ලතා ද සිල්වා - නවසීලන්තය

සඳ මුහුණ ඔබ වගෙයි - සිසිලසයි ප්‍රියන්කරයි
මට කියා දෙන්න ඔබ - සැඟවිලා ඇයි ගියේ
මම බලා ඉඳිමි - කල්පයක් පුරා
යලි දකින තුරු - ඔබේ නුවන් පුරා

හිනැහෙන්නෙ චූටි දුව - වගේ ඔයා
පොඩි පුතා කියයි - සුරංගනා කතා
ඉන්නවලු අම්මි සුරන්ගනා ලෝකයේ
ඒ ඇසුනේ නැද්ද ඔබට ලැබැඳීයේ

නිදි නොමැති දෑසේ කොන - ඔයා ඉඳියි
සැඟවෙයි ද ඔබ යලිත් - තාම බයයි
සීනයෙන් ඇවිත් - දෑත පිරිමදියි
මේ සසර පුරා - ඔබ මගේ තමයි

මම බලා ඉඳිමි - කල්පයක් පුරා
යලි දකින තුරු - ඔබේ නුවන් පුරා

නවසීලන්තය
29 මැයි 2023

බිමට ඇද දැමු සමරු අද, අදිරද රුක …!

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර

පුතුට තෙද නිති පැතුව පෙර විසු විරු නෙක

පෙරට වැද සිඳ දැමුව බැමි අදිරද සක

ඉහට දද ජය එසැවු ජනරජ සිරි ලක

දැයට අද අමතක ද, දින මැයි විසි දෙක ?

නිවට ලෙද ලද නිදහසක නැති සුව මොක

ජයට නද දෙත සැමැරුවද සුදු ගැති බක

දැයට පුද නිසි නොමැති වගතුග එහි දැක

බිමට ඇද දැමු සමරු අද, අදිරද රුක ..... !

හෙටට දද දැයෙ ඉහළ නැඟුමට රිසි නෙක

පෙරට වැද සැම සුරැක උරුමය සිරි ලක

නොරට කද බැඳ දැමුම වලකමු විඳ දුක

විරුට පුද නිසි එයයි මියැදුණු රට රැක .... !!

2023 මැයි 22

ඩේසි

මධුෂානි ඩයස්

ඩේසි, මං ඔයා ගැන
හිතුවේම වැරදියට..

වල් පැළෑටිත් එක්ක
පෑහිලා ඉන්නකොට,
මඩ බින්දු කොළ මත්තෙ
තැවරිලා තියෙනකොට,

ඩේසි, මං ඔයා ගැන
හිතුවේම වැරදියට..

එක් දිනක අරුණෝදෙ
සුදෝ සුදු මල් දරන්
සිරියාව වගුරමින්
ඉන්න හැටි දකින කන්,

ඩේසි, මං ඔයා ගැන
හිතුවේම වැරදියට..

පුරහඳ

මාලිනී හෑගොඩ - USA

දවල් අහසේ නැගී තිබුණේ
අඩක් කිරි පුරවගෙන තැටියට
හිතක් සුසුමක වෙලී සැලුණා
දුටුව විට ඒ සොඳුරු අඩ හඳ

තව සති කීපයක් යනවිට
පුරෝගෙන කිරි පුරා තැටියට
දන්නවා මං නොවැරදී මග
නැගී එන හැටි පුරා පුරහඳ

වෙසක් කිව්වත් පොසොන් කිව්වත්
ඇසළ, හාවස්ට් මොකක් කිව්වත්
කිසිත් නොදැනම ඉරෙන් රැස් ගෙන
සිසිල් කර කිරි පැණි හදාගෙන

කොහොම ආවත් කමක් නෑ මට
බතක් නොඉදෙන පැල්ය අඳුරක
ඉළුක් වහලේ සිදුරකින් පැන
බෙදන් කිරිපැණි මදියි නොකියම

2023 මැයි මස 12 දින,
ඇමරිකා එක්සත් ජනපදයේ
කැලිෆෝනියා ප්‍රාන්තයේ
ෆොල්සම් නුවරදීය.

වැස්ස…වැස්ස…

මාලා විජේකෝන් - උතුරු කැලිෆොර්නියාව

කළුවර අහස තරහෙන් ගොරවන කලට
විදුලිය එළි එබෙයි වහළෙන් ගේ තුළට
හිරිකඩ ඇවිත් වැටෙනව පාඩම් පොතට
බය නැහැ අයියන්ඩි ආවොත් මගෙ ළඟට

දහවල අව්ව වැටුණත් ගින්දර සැරට
පාවුණු වලාකුළු ඉර වැහුවා තදට
කොළ මහ ගොඩක් ඇවිදින් හුළඟේ බිමට
ගහකුත් වැටේවිද ගෙයි වහළේ උඩට

මහ වැහි අඩු වුනත් හැර මේ කුළු දුරට
දිය බිඳු වැටෙයි කොළ අග්ගිස්සෙන් බිමට
බොර දිය වැල් ගලන හැටි මිදුලේ යසට
කරදහි ඔරු හදමු අයියණ්ඩියෙ රුවට

උතුරු කැලිෆෝනියාව

ගමේ පුහුලන් ගමේ කපුටන්ට

මයුරි කොඩිකාර - ගම්පහ

හද්දා පිටිසරයි අපෙ ගම් තුලාන
රැක්කේ රහස්මයි හුඹහට ඔබාන
අත්තේ හැදුන නාඹර කජු කඩාන
රිස්සේ රස විඳියි පුහුලම බදාන

නාඹර වියේ කිව්වෙම මට උඩැක්කී
දාගෙන කදේ ගම හෙල්ලුව සිරික්කී
මීවණ කැළේ උඹ නැළෙව්ව පැටික්කී
තාලෙට එදා අපෙ හදවත් කවිත්කී

මල්ලත් නොලිහ ඔබලා උඹ බලද්දී
ඉන්නත් බැරිව හැඟුමන් කිති කවද්දී
රන්වන් තිසරු රහසින් ඉඟි මරද්දී
අත්වැල් බැන්ද මිහිරිව තනු වැයෙද්දී

හෝරා කටුව කිටි කිටි ගා ඇදෙච්චී
පාරා සියුම් බඳෙ හිරියක් වැටෙච්චී
මානා උන්න නෙත් යුග මගෙ වැහෙච්චී
පාරා වළලු දෙක එකිනෙක ගැටෙච්චී

ආගිය කතා ළිං සංගමෙ දොඩද්දී
සාරෙට ලුණු ඇඹුල් එක්වෙල දමද්දී
ලාකඩ වගේ හිත් පතුලට එබෙද්දී
පාලිය නැටූ උඹ අහිමිය හිතද්දී

බුම්මා මුහුණ වෙන අතකට ඇදෙද්දී
වැන්දා නොවඳිනා වැඳුමුත් ඇඬෙද්දී
සද්දා ගුණෙන් උඹ පාවඩ එළද්දී
නින්දා වින්දෙ මම රති රඟ දැනෙද්දී

මානා හිඹුටු දං වෙරළු ද ලැබෙච්චී
ආරා කුසත් හොර රහසෙම වැඩෙච්චී
කාගේ පවක් වුව තුරුලට ගැනෙච්චී
රාලේ උඹත් පින් පුරනව දැනෙච්චී

ගම්පහ, වතුරුගම

ජය ශ්‍රී මහා බෝධිය

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

සතියට වරක් හිරු බැසයන හෝරාවේ
මනසට සිල් සුවය ලැබුවෙමි උඩමළුවේ
සිසිලට තාලයට රත් දලු පත් නැලැවේ
සිහියට නැගෙනවිට සිත බැතියෙන් බර වේ

පොසොන් සඳ රැසින් බබළන අනුරපුරේ
පහන් සිතින් වැඳ ගන්නට නිරන්තරේ
සැදැහැවතුන් රොද බඳිනා සැරින් සැරේ
අසන් සාධු නඳ පැතිරෙනු දොරින් දොරේ

අත් හැර සියලු සැප බුදු බව ලබාගෙන
මෙත් පතුරමින් සත වෙත නිති දයාවෙන
සිත් සනසවා කළ ගුණ ගැන කියාදෙන
සත් සති පිළිරු දුටුවද සිත පහන් වෙන

"අවසර පස්වාන් දහසක් බුදු වෙන්ට"
අණ කර දොහොත් මුදුනින් ගෙන වැඳ ගන්ට
වැඩි කර සැදැහැ සිත තව පින් ලැබ ගන්ට
බැති බර යාතිකා හඬටත් කන් දෙන්ට

මකර තොරණෙ සිට සිරිමා බෝ මළුවේ
සතර අතට සුසිනිඳු වැලිමයි දුටුවේ
නිතර පාද ලැබු එ පහස වැලි මළුවේ
එතෙර ටයිල් කැටයෙන් ඇයි නැති කෙරුවේ

බබලන රන් වැටකි දුටුවන් නෙත පිනනා
රත් වෙන කලට සැඩ හිරු රැස් බල දැනෙනා
රැක්වෙන බව සැබැවි සතුරන් ගෙන් සැණිනා
පත්වෙන අසීරුව සිසිලක් නැති බැවිනා

වටකර පරිවාර බෝ ගස් වලින් සරූ
දිනකර ලෙසින් දිලෙමින් බුහුමනින් ගරූ
සර සර නදින් බෝ පත් සුළඟට මැතිරූ
අහවර ඇයිද පෙර කල දුටු මහ රුසිරූ

පෙන්වන්නට ලොවට - ඇති බව තම බැතිය
දෙන්නන් හට තැනෙහි ගරු සරු බව නැතිය
සින්දන්නට පුරාතණ අසිරියෙ ගතිය
ඉඩදෙන්නට එපා - මෙය රැක ගත යුතුය

ගලනව ගලනව
ඉවරයක් නැතුව
ඒක කඳුළු ගංගාවක්

අම්මලාගේ කඳුළු විතරක්
ඇයි උල්වෙලා වැටෙන්නෙ

වැටෙන්නෙම අපේ පපු කැවුතු
උඩටමයි
හරියට බඹරු සීයක් එකපාර
අනිනව වගේ

Perth, Australa

පැතුමන්

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

දිනෙක පසුගිය හිරුත් ඇරඹිය බක් මහේ හරි ජයට සැරසී
නැවුම් සිතුවිලි එකට ගොනුකොට අපි සැවොම ඇත එයට එක්වී
බතක් නොයිදුනු සෑම නිවසට එවමි සුළඟක් කිරට මුසුවී
ලැබේවා දිරි ඉන්න සැවොටම බිඳුණු පැතුමන් ලඟදි නොවැටී

බිම තියන්න ඔය කරේ තියෙන කද

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

ඕජාව පෙරි පෙරී හමන මළ දුගදින්
නිල මැසි කැල බොහෝ පිට දිගේ දගලමින්
ඔහු වටා එති එතී ලුහු බදී පිටුපසින්
මල සොයා යන ලෙසින් බිගු රැසක් මෙන් තොසින්

උපන් කුලයෙන් ලැබුන රැකියාව කරති උන්
උජාරුවට යයි සසර සැපක් ලෙස සලකමින්
උසස් කුල වල ඇත්තො යනෙන විට මහ මගේ
කානුවට බසී උන් බිමට බරවූ නෙතින්

දිනක් මග යන අයෙකු නතර විය ඔහු අසල
දෙනෙත් හැර බලන්නට බියයි ඒ කවරෙක්ද?
අශ්ව රියකුත් නොමැත, පිරි වැරූ සෙනග නැත
අත දැරූ ආයුධද, දඩු මුගුරු කිසිත් නැත

‘පුත සුනීත නැගිටින්න, ගොඩවෙන්න කානුවෙන්’
නමින් අමතන මෙලෙස කවුරුන්ද මුදු බසින්?
‘නොහැක හිමියනි මහට, එන්න ඔබ වෙත එලෙස
ඉවත් වනු මැන විගස, අසුචි කද පිලිකුල් ය’

‘ඔබ නොදත් දෙයක් අද, කියා දෙමි මම මෙලෙස
සිනිදු සමකින් වැසුනු අසුචි කළයක්‍ ය කය
උපදිනා සැම සතුන් ටම පොදුය ඒ දහම
බිම තබනු අසුචි කද, නැගිටින්න පුත සුනිත’

බ්‍රහ්ම ස්වරයෙන් අමතන හිතවතා කවරෙක්ද?
බලන්නට බිය ගෙනෙයි දෙනෙත් හැර හිස ඔසව

හිරු දහසක් පෑවූ සේ අදුර පහවිය විගස
වසා සිටි ඝණ තිමිර විවර විය ඒ මොහොත
බිම තැබී වසුරු කද,
පුබුදු විය මනු දහම
ඔහු ගියේ අරන වෙත
මුනිදු සෙවනැල්ල ලෙස

තෙමගුල

නිමාෂි දේශබන්දු

පෙරදිගින් සඳ පායමින්
සල්වනය දෙව් විමනක් වුනේ
සල්මලින් නැහැවෙමින් පිංවත් බෝසතුන් ලොව බිහි වුණේ
සත්පියුම් මත සක්මනින් වැඩ
සීහනාදය පැතිරුවේ
වෙසක් සඳ මෙනි සිදුහතුන්
මහාමායා දෑතට දිදුලුනේ

ඇසළ සද ඇති රෑක ගිහිගෙය හැරයමින් ⁣හැම අත්හලේ
බවුන් වඩමින් මැදුම් පිළිවෙත පමනි
හිමි මාවත උනේ
පාරමී ගුණ මාර සේනා වලකමින් බලවත් වුනේ
වෙසක් සඳ බෝ සිසිල අතරින්
බුදුහිමිට ⁣වැදුමන් කලේ

ලෝ සතුන් දෙවි බබුන් අඳුරින්
මුදවමින් පෑ මෙත් සිත
මෙල්ල නැති අලි ඇතුන් දමනය කෙරූ කරුණා මහිමය
වෙසක් සඳ අදටත් කියයි
පිරිනිවන් පෑ හිමි අරුමය
එකින් එක සල් මල් වැටෙද්දිත්
සුවදවත් උපවත්තන

ප්‍රේමය නම්

නිශාන්ත කමලදාස

ප්‍රේමය නම් කිමැයි කියා
පෙම් නොකළ අය
විමසිය යුතු
ඒ ගැන අපමණ විස්තර
පොත පත උපුටා දක්වා
උන් ඔබ හට කියාවි

ප්‍රේමය නම් කිමැයි කියා
පෙමට අර අඳින අය
විමසිය යුතු
නෙක වර්ණයෙන් අහස් තලයේ
රූ රටා හැඩ තල මවමින්
උන් එය සිත්තම් කරාවි

ප්‍රේමය නම් කිමැයි
පෙමින් පැරදී අඩන අය
විමසිය යුතු
ටිප්පණි ටීකා සහිතව
කවි පද ගී පද බඳිමින්
උන් ඒ ගැන කියාවි

ප්‍රේමය නම් කිමැයි කියා
ප්‍රේමවන්තයන්ගෙන් නම්
කිසිදා නොඇසිය යුතු
ගොළුවී තුරුළුව සිටිනු විනා
උන් දන්නා වෙන වදන් වැලක් නැති

සුකුමාල බොළඳ ගැහැණිය

නාලක ගම්මැද්දේගෙදර

සුකුමාල බොළඳ ගැහැණියද
ඔබ?
පිරිමි හිතට දරන්න බැරි
බරක් අභ්‍යන්තරයේ නිදන් කර
මේ කරනා කැප කැපකෙරුම
යශෝධරා කල වගේද ?
සිදුහත්ලා ඔබලා දා ගිය දා පටන්
අද වෙන්තුරු කෙරු
ඒ කැපකෙරුම්
චාරිත්‍රයක් නේද?
නොවැදුවේනම් මහමායා සිදුහත්
තිබේද අද ලොවට නිවනක් ?
ඔබ කරනා මේ කැප කෙරුම්
දනීනම් පිරිමි හදවත්
හඩයි නේද ගැහැනුන් සේ ?
නෑ නැ පිරිමින් සේ.

හැඩ වැඩ කළා මේ ජීවිත වල ගමන
අම්මා නැමැති දෙවඟන මෙලොවට පැමිණ
බුදු හිමි පවා ඇත මව් ගුණ කඳ දෙසන..
නිවසේ බුදුන් ලෙස ඇය හට නම තැබින..🌹

උදයේ සවස මවගේ දෙපතුල අල්ලා
කීවත් අම්මගේ ගුණ කඳ ගැන දල්ලා
සත්තයි ඇති නොවෙයි මව් සෙනෙහස ඉල්ලා
උල්පත වගෙයි දාරක සෙනෙහස ගල්ලා...🌹

මවසතු නොනිම් කරුණා ගුණයෙන් පාවී
සැනසූ ලොවම ආදර සිහිනෙන් දේවී
එතරම් උතුම් ගුණ කඳ සිහියට ඒවී
කිමදෝ මවට කැප එක දිනයද පේවී....🌹

ඇගේ මුළු දිවිය දරුවන් හට කැප කරලා
දරුවන් නිසා කඳුළැලි සයුරක් හෙළලා
වසරක් තිස්සේ තම මව අමතක කරලා
කුමටද ඉතින් මව් උපහාරය පුදලා ....🌹

අසරණ මහළු අම්මා ඇදගෙන කුදලා
ගෙන ගොස් ඇගේ පුතු මව මඩමට දමලා
මව් දින සැමරුමට ඔහු අද දුව පැනලා
කුමටද මෙවන් අය මව හට වැඳ වැටිලා ....🌹

බටහිර දේසේ මිනිසුන් දින වෙන් කරලා
සමරා සතුටු වන මුත් මව් ගුණ ගයලා
කුමටද අපිත් ඒ අය පසු පස වැටිලා
සැමදා ගයමු ගුණ මව දෙපතුල වැටිලා ....🌹

මව හට පියා හට දින දින වෙන් කරලා
ජලයට ගහ කොළට තව දින වෙන් කරලා
කුමටද දවස් තුන් සිය හැට පහ බෙදලා
නොසිතා සිටියි නම් මේ ගැන මම ඔබලා ....🌹

දින වෙන් කෙරුම නැහැ නොවැ වැදගත් වීලා
වටිනවා සැලකුවොත් සැමදා සිහි කරලා
මව සහ පියා දෙපළම සතුටින් තියලා
සැනසෙමු අපි සැවොම සතුටින් පින් පුරලා ..🌹

තුති පුදමි,…..

නික් ග්ලෙන් - උතුරු අයර්ලන්තය

වනලිය මිදෙන විට නින්දෙන් හිමිදිරියේ රැයක් ගෙවන්
කිරිලිය කූජනෙන් දස අත, කුල්මත් කරවමින් සවන්
තුරුලිය පුබුදලා පෙති පෙති, කෙමි පුරවා, තුටට නුවන්
මිහිලිය, වඩම්මා දෝතින්, පුදදෙයි ඇගෙ සිසිල් පවන්

හරිතය පැටලිලා දෙනෙතේ ඉදිකර ඉමිහිරිම විමන්
තුසිතය මවන සුකොමළ කුළු, හිඳිනා මෙහෙවරක කමන්
විජිතය එකලු කර වඩිනා ළහිරුගෙ මුකුලිතයි ගමන්
ලලිතය, විහිදමින් රැස්, සිඹ සිඹ කිඳ, හරින ගිමන්

ලදිමිය නෙතක් නොදරණ, බර, බෝ සුන්දර ඇයගෙ වතින්
විඳිමිය ලද පිනෙන් පොඟවා ගත, නිල්ලේ ළගිමි සිතින්
වනමිය, ලතාවන් පෙව් රන්රස හොවලා ඇක, විජිනි පතින්
පුදමිය තුති ගරුව සොබ මව්, නුඹෙ පෙම්බර ළයට නිතින්

28/04/23
පහුගිය සති දෙකක් මුළුල්ලේ වින්ඳ සොබා සිරිය
මෙසේ වැනුවෙමි.

කිරිල්ලියක් තමයි මං…

නයනශාන්ති දිසානායක

අහස විසල් විසිතුරු බව දැන දැන ම
කැමැත්තෙන් කූඩු උන
පොඩි මාල ගිරවියක් මං..
කූඩුවක් තනාගෙන බිජු ලන්න හිතාගෙන
උපන් බිම් හැරදමා නාදුනන ඉසව්වට
සංක්‍රමනය වෙච්ච
ප්‍රේමාතුර ලිහිනි කිරිල්ලක් මං....
විශ්වාසයේ තලයෙන් විහින් තටු කපාගෙන
කූඩුවක කැමැත්තෙන් කොටු උන
හැඩකාර වැඩ දන්න වඩු කිරිල්ලක් මං..
පිල් හලන බව නොම දැන
මොනර නැටුමකට නතු උන
අහිංසක සෙබඩක් ය මේ මං...
දුක හිතේ හිර කරන්
හෙමි හෙමි මුමුනමින් මිස
හඩනගා හඩලලා කවදාකවත්
කියනු බැරි
කෙකරගානා කිකිලියක් මං...
මියැදුනත් හැරනොයන
සසරේම පතා ආ එකා මත්තෙම නැහෙන
මෝඩ පොල්කිච්චියත් මේ මං..

ඔව් මං කිරිල්ලියක් ...

සමන්තා

නිමල් අබේසිංහ - කඳාන

නිශා කලෙහි නිල් නුබ ගැබ දිදුලන තාරුකා
වසා තුරෙහි පිබිදෙන්නේ මියුලැසි සේපාලිකා
මුසා නොවෙයි පාරිශුද්ධ නුඹමය බාලිකා
ලසා බිමට පතිත වුවද පිසදාලමි ගතෙහි වාලුකා

ගතේ සුවඳ මල් මුව රද දසත පුරා හමන්නේ
විතේ බමර රස මුසු තැන් ආලෝලන කරන්නේ
නැතේ සුහද නුඹ හැර අන් මලක් වෙතින් දැනෙන්නේ
මතේ නැවත නැවත මගේ සිහියේමයි රැඳෙන්නේ

තුනුව සුයාමය මල් කෙමි ලීලා සදහන්
උනුව ඕඝ මදිරා යයි ගලා අරුණුවන්
බිණුව වදන් සිත මිහිරෙන් වැඩීය අභිමන්
ගනුව ගනුව මා ඇමතී නුරා උමතුවෙන්

සරා සඳ ඉසී සිසි කිරණ මත සේපල්
පුරා නිදි නැති රැයකි රුක් මුලෙහි ඕපල්
දරා ගත හැකිවේද අනුරාව ආ කල්
මරා මිණ නුඹයි මට කල් බඳේ මනකල්

සාදයකට ගියෙමි …

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

සුපිරි යුනිවසිටි චයින බෙලරුස්
ඉංග්‍ලිෂ් මීඩියම් ඇම්බිබියෙස්
මිලියන පහළොවක් විතර වෙයි
හැබැයි ඒලෙවල් උවමනයි

නැද්ද ඊශ්‍රායල් යන්න සිහිනයක්
හොයා ගන්න ලක්ස හතලිහක්
යා හැකිය විසිට් වීසාවකින්
අතරමං නොකරයි ජෝ්ර්දන්

ඔන්ලයින් වැඩක් තරුණියන්හට
හොයමු දහදහක් විතර දවසට
සැපයේ කෑම නවාතැන් දෙකම
ඕලෙවල් ඉල්ලා නැත තවම

කොම්පෝස්ට් හදමුද ගෙදර සිට
බඩු ගන්න එන දාට කෑෂ් අතට
පොඩි ඉඩක් හොයා ගන්න බැරිද
ඒ ඩොක්ට නොව මේ- විකාරද

17.05.2023

කේයස්ට ලියුමක්

ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි

ඈ සතු අගනාම වස්තුව

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

ඉංග්‍රීසි විල්ලුද ඇතිරූ බිමක
ලුංගිය ද අගස්තිය ද හැඳ - පැළඳ
කොණ්ඩ කරලක් ගොතා පිට මැදින් මුදාහල
සිංහල අම්මෙකිය ඇය....

වැසි ඇද වැටෙන දිනයක
ගත සිත උණුසුම් කරනු වස්
චායි ටී කෝප්පයකින් සංග්‍රහ කළද
ඇගේ ආදරය තිබුණේම
පිළියෙළ කළ
කට්ට සම්බලය සමග මුසු වූ
කිරිබත් වේල තුළය..

ළගම උන් අය දිනෙක
පිටස්තරයින් වන බවද
අතිශය පුද්ගලික දෑ පුද්ගලික විය යුතුම වගද
කියා...
ශීත දේශගුණය ට මනා සේ
පරෙස්සම් නැති බවට දොස් නගා
තමාගේ ම ස්කාෆයක් තිළිණ කර
යටැසින් බලන
ආදරය තැවරුණු සිංහල ඇස් දෙකකි
ඇය සතුව

කිරීමට කියා කිසිම දෙයක් නොමැති තැන
විසල් මන්දිර සඳලු තලයෙන් බැස,
ආදරය ද දහමක්ය
අදහන්න...

රිදෙන වචනයකුදු නොදොඩා
සියලුම දෑ ප්‍රත්‍යක්ෂ කොට ගෙන
දර්ශනවාදී මවක වී
තමා සතු අගනාම වස්තුව මා සන්තක කොට
රහසේම කඳුළු සලන
ඇය....
හිමිව ඇති එකම සැනසුම
නැවත ඇයට පවරා දීමට
මා අවුලුවා ඔද්දල් කරවන්නීය

පියඹා යන දිවිය….

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ

කාලය නැවත නැත හිරු සඳු තරු අතර
ආලය කල නමුත් ජීවිතයට
නිතර
වේගය දැනෙන විට හැරයන අය
නිතර
දිවි ගඟ යාවි ඇරඹුම අවසන
අතර.

මා පිය සෙනෙහසින් ඉපදී සිටි
බාලේ
සොහොයුරු සොයුරියන් සමඟින්
සිටි කාලේ
පාසැල් වියේ මිතුරන් හා රැඟු
තාලේ
සිහිනෙකි එදා මතකයෙ රැඳවුනු
වේලේ.

සරසවි සිහින මල් පළදා
එළි වූවා
නැණමල් සමඟ ආලෝකය
හිමි වූවා
මා පිය සැමගෙ හිස රැඳි කිරුළක් වූවා
දුක් කම්කටොලු මැද ලෝකය
හෙළි වූවා.

පෑවූ දහස් තරු නුබ ගැබ
හිනැහීලා
තෝරා ගතිමි එක තරුවක්
සැනසීලා
පාලා සෙනෙහසින් දරු මල්
පිබිදීලා
වීලා ලොවක සැනසීමෙන්
රජ වීලා.

මනුසත් සැමට සේවය කරමින්
නිබඳ
ගෙන දී සුවය හා සැනසුම ඉන්
නිබඳ
ගතවුනු කාලයත් ගැන දුක නැහැ
කිමද
පසුපස බලා සැනසිය හැක මට
සබඳ.

විසල් හදක කවි – වමතින් ලියූ කවි

ප්‍රේමකීර්ති ද අල්විස්

ඔබ

රන්ජන ආරියරත්න

පසුව මහ වැස්සකට
තණ අගක රැඳි

හිරු වඩින තෙක්
සැරුව බිඳක්මැයි පිණි

පහේ පන්තියෙදි හිතුණා……!!!

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර

පුංචි සන්දියේ මම
අකුරු ලීවෙ ගල්ලෑල්ලෙ....
වැරදුන තැන මගෙ අතින්ම
මකා දමනවා සැනෙකින්........!!!
තව ඩිංගක් ලොකු උනාම
පැන්සල ලැබුණා ලියන්ට
ඉස්සර වාගේ වැරැද්ද
මකන්ට බෑ මගේ අතින්......!!!!
මකන කෑල්ලක් නැත්නම්
වැරැද්ද මට හදන්ට බෑ........!!!
ඒ හින්දා වෙනදා වගෙ
වරද්දන්ට නම් බෑ මට.......!!!!
පහේ පන්තියට ආවා...
දැන් ලියන්නෙ මම පෑනෙන්...
ලීවෝතින් ලීවාමයි........!!!!!!!
ඒ හින්දා එක පාරම
හරි වැරැද්ද තෝරා ගෙන
වරද්දන්නෙ නැතුවම මම
නිවැරදි පිළිතුර ලියන්ට
සිතට ගත්ත හොඳ හැටියට........!!!!!

උක්දඬුගොඩ,
පෙතියාගොඩ,
ගෙලිඔය. ශ්‍රී ලංකා.
2023. 05. 10

අම්මා..

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

සිතින් අත් නොහැරි මුත්
අතින් අත් හැරිය
දිනේ මදහාසෙකින්
සඟවා නැගෙන කඳුල
හොරෙන් පිස හිසින් ගෙන
කච්චිකිරිකඩය
බිම් බලා හෙලු ඉකිය
මේ තරම් බරද?

කලුපාට සුදුපාට සේම
අළු පැහැය
තවත් ලස්සනයි එක්වුනොත්
නෙක පාට
හැමදාම ආසකල
නිල් සාරි පොකුර
අදත් සිහිවෙන්නෙ
දුටුවාම දුර අහස.

හැලී ගිය පසුත් ගස
පිරුණු මල් දහස
ඉපල් ඉති අත ගගා
ආදරය කෙරුව
සදා නොවෙනස් අමා
ගඟුලක්ව ගැලුව
සෙනේ කඳ කොයි ගියෙද
දෙවා ජීවිතය.

හොඳ නරක සේම තව
නොයෙක් අඩුවැඩිය
පෙන්වලා මග කීව
දේවතා එළිය
සැමට පෑ කරුණාව
ඉවසීමෙ තරම
වචන නැත පවසන්න
හද දරන් හිටිය.

අමාවකටත් දැකිය හැකි
සහන් එළිය
පහන් තරුවක් වෙයන්
කියන මග නොමග
තාවකාලිකයි කියූ
දුක සතුට දෙකම
කොහේ සැඟවුණි ද ඒ
තරු මැවූ අහස!!

අරවින්ද සහ බතී

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර

පෙරදා අහස ජයගත් තුඟු පියාපත
හැරදා සටන සම වේ පරැඩලා පත
කිසිදා යළිත් අහසේ සැරිසැරුම් නැත
මග දා යන්න කුණු කය දින යෙදී ඇත

සිතුවේ එදා අහසේ මහ රජුන් ලෙස
දුටුවේ නෑ උගුල් බෝ දුර පෙනුණි ඇස
බැලුවේ ඉඳහිටයි බිම මහ පොළෝ දෙස
සැදුවේ විමානය මහගිරි දඹේ හිස

එතරම් උසක ජීවත්වෙනු බැරිය කියා
තනිනම් ඔන්න මා ළඟ පිය පතක් තියා
රන් දම් රිදී දම් කිසිවක් එපා කියා
සරදම් නොකර ඈ වෙනතක් සොයා ගියා

තනිකම මකන්නට දරු මුනුපුරෙක් නැති
තුන් යම කැදැල්ලේ පියඹනු බැරිය හති
ගොන්කම් මිසක කළ අන්කිසි දෙයක් නැති
තවමත් මගේ හද යහනේ නිදයි බතී

වැලිහිඳ ගාමිණී ගාල්ලගේ කිවිඳු සමුගත් වගයි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සිහසුන දැරු හිටිවන කවි මඩු රජෙකි
මිණිවෙන සදිසි සිත් බැඳි රන් කට හඬෙකි
හමුවන නොවන කොයි කාගෙත් හිත
වතෙකි
දිනමිණ පැදි නදියෙ කිමිදුණු සුලවතෙකි
---
ඉර බටු තරුව 'සිතකස' කවි අඹරේ දිලී
සර සවි සමග දිවිමඟ දීගයෙහි වෙලී
කර දර කොතෙක් මුත් නොසිටිය දුකෙන් සැලී
වර දක් නොකළ මිනිසෙකි වස්තුවට ඇලී
----
සමුගත් අජිත් ගේ ජී.එම් සිසුවෙක්ව ඔබලත් දැණුම අපමණි ළඟ මිතුරෙක්ව
සිටියත් දිගු කලක් ඔහුගේ සගයෙක්ව
කවුරුත් නොසිටියහ ඔබ හා සතුරෙක්ව
---
කවි මඩු වල රැදී පැය විසි හතර පුරා
අවි යක් කරන් කවියම මැවු රසය පෙරා
දිවි මඟ ගියේ අඩ සිය වසරෙකියැ දරා
තැවිදැවි කිමැයි මරණය එනවමයි කරා
---
මහධන ඉසුරු පොදි,බදිමින් අතර මඟේ
කිසිදින ඔටුණු නොපැළැදි මිනිසෙකියැ අගේ
පුදසුන හද මඩලෙ පිපි මල් සුවඳ දිගේ
ඔබයන කොතැන කවියෝ ඇත එකම වගේ
---
අකුරක් වගේ කෙටු පාෂානයෙක රුව
බිඳුවක් මකනු බැහැ යනතුරු ගමනෙ බව
මොහොතක් සිතනු මැන දෙව්ලොව සිටින තව
කවියෙක් කවියෙකුට නොපතයි නිවන් සුව
==============================
කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
(අතකස හිටපු සම ලේකම් )
=======================
22/5/2023

ප්‍රවීණ රංගන ශිල්පීනී පද්මිණී දහනායක සමුගත්තාය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සිත් විලෙහි පිපි රංග සියපත
භරත රංගන අසිරි සිරි මැද
සුවඳ විහිදා දිගු කලක් තුළ
දෙස් විදෙස් සිත් පබාමත් කළ
රංගනාවිය අප්සරාවිය
පද්මිණී දහනායකත් දැය
අතැර නික්මී ගිය වගයි

මලක් මෙන් සිත සුමුදු මුදු විය
ගඟක් මෙන් හැඩ ගලාගිය දිය
සඳක් මෙන් තරු මැද පබා ලිය
මදක් නිහඬව සිට නිවී ගිය
හිඩැස පුරවනු පහසු නැත දිය

භරත රංගන කලාවක් ලෙස
අබීතව ඔසොවා තබන්නට
අසීරු වු වෙහසක් දැරූ
මවා ප්‍රතිභා ප්‍රබා නිරතුරු
ශිල්පිණිය ඔබැමය කලක් තුළ

දේශපාලන ප්‍රබලයින් හා
සබඳ නෑකම් කොතක් තිබුණත්
අතැර ඒ සැම ඔබ ඔබේ මඟ
උරුම හැකියා වඩවමින් ගිය
දිරිය ළඳෙකිය දශක අටකට
මදක් වැඩි කල් ජීවිතේ

චිත්‍රපටයත් වේදිකාවත්
එකක් විලසම සලකමින් ඔබැ
නර්ථනය රංගනය වෙනුවෙන්
සංඛ සම්මානයන් ලබමින්
වපසරිය තුළ ජීවිතේ තැබූ
සොදුරු සටහන් විශිෂ්ටයැ

දැයේ දරුවෝ නර්ථනය තුළ
දුරාතීතයෙ සිට පහන් කළ
රංග ප්‍රතිභා කලාවම ඇත
සසර සරනා තුරු සදා
ඔබට සැනසෙන්නට ළදේ
==============================
කලාභූෂන කිවිපති කවිධජ
ඩබ්ලිව් කේ සරත් විමලසිරි

කිසිවකුත් නැති පෝලිම

සමන්මලි සේනානායක - එක්සත් රාජධානිය (ගී පද රචිකාවී)

බුදුන් වදිනා මලුත් පුදනා පිරිස් පිරිලා පන්සලේ
සාදු නාදෙට කොඩිත් සැලෙනා පෙනේ ඈතින් කොඩි වැලේ
බෝ පතින් එන මදනලින් සිසිලසයි මලුවත් හැම වෙලේ
මතු බුදුන් ලග නිවන් පතලා කරයි පින් රැස් පන්සලේ

නැගේ පැනයක් මගේ සිත තුල නිතර අසනා හැම වෙලේ
බුදුන් දෙසුවද ඉන්න කියලා නිවන් දක්නට මතු බවේ
වැරදි තැනකින් අල්ලගෙන දැන් කැරකෙනවදෝ මේ බවේ
දෙසනවද අප සමිදුනේ අද පොසොන් පෝ සද සිසිලසේ

කරන පින්කම් නිමක් නම් නැත පොසොන් පෝදා ගම වටේ
යකඩ කටකින් ඇසෙයි නම්ගම් නිවන් යන අය මතු බවේ
දිගයි පෝලිම නිවන් යන්නට පෙරුම් පුරනා අය අපේ
කිසිවකුත් නැති පෝලිමක් ඇත නිවන් යන අය මේ බවේ

පනස් වසරක් එකට

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

ආදරය සිහිනයකි, අතීතේ බොදව ගිය
විටින් විට එයි නැගී, සුවද මුසු මිහිරි සුව
මුසපත්ව සිටි අයුරු, ප්‍රේමයෙන් වෙලී අප
අදහන්ට හැකිවේද? ගෙවූ කල් විද පහස

අරුත් සුන් වූ වදන්, කෙළෙස අමයුරු වීද?
නොමැතිවම හේතුවක්, නොමනාප වූ අයුරු,
යලි පෙමින් බැදුනයුරු
සිහිවත්ම නැගී එයි මද සිනහ මසිත් තුල

ආදරය සිහිනයකි, අවදි වී සිටිමු අද

සොදුර ඔබ වියපත්‍ ය, මාද වියපත් ය දැන්
මගේ දරුවන් දැරූ, සිරුර, සිත වෙහෙස ඇත
සිහින පෙම් සුවද නොව,
බිරිය ලෙස, දුවක ලෙස, මවක, සොයුරියක ලෙස
බැතින් හා සෙනෙහසින් සසර මා හා සැරූ
ඔබ සුවද දැනේ මට

ඉමිහිරිය ඒ සුවද, නොමැකේය ඒ මිහිර
කාලයට, ව්‍යාධියට, මරණයට වුව නොහැක
මකන්නට ඒ සුවද
මගේ හද නිවාලන
මිහිරි ලද ඔබය මට.

වතක මතක

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

රුවින් අගතැන් පත්ව වැජඹුනේ පෙර දිනෙක
අසිරිසිරි සිහිකෙරද දකින විට ඔබේ වත
යව්වනය පසු කරන් පැමිණි ඒ දිගු මගෙක
කාලයේ ඇවෑමෙන් වෙනස දකිතියිද නෙත

නටුව අග පෙති හැලී සුළඟකට හසුව තද
පරවු මල සිහිකෙරෙද ඔබේ ආදර සුවඳ
තුරුණු පෙම හද රැඳුනු මහලු විය එළෙඹි සඳ
මතකයෙන් ගිලිහේද ඒ සුවඳ මදින් මද

විහිදි ආදර සුවඳ කිති කවයි මතකයක්
පිපුනු පරසතු මලකි මහද ගොමුවේ අදත්
වත මැකී නැත ඇඳුනු මගේ දෙනෙතේ මෙතෙක්
යට නොවේ කාලයේ වැලිතලාවට කිසිත්

ආදරේ හින්දමයි ❤️

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

නිදි කුමරු ඇසිල්ලෙන් මුදුහාදු දෙන්නයි

ගත නිවන හිමව්වේ දෙකොපුල් හාදු ලබන්නයි

නෙතු පියන නිනව්වෙ සුබ හීන වැල් දකින්නයි

එහෙමත්ම වෙන්නෙ ආදරේ පිරුණු හන්දයි

සයනයේ වෙලෙන්නට සෙනෙහෙ වැසි වසින්නයි

ආදරයෙ පුලිඟු වැල් ගෙල මාල පලන්නයි

අමන්දානන්දයෙන් උදම්ව උන්මාද වෙන්නයි

එහෙමත්ම වෙන්නෙ ආදරේ පිරුණු හන්දයි

ජීවිතය සම බරව ලතාවට නිති ගලා යන්නයි

අවබෝධ කාරණා, නැණ පමණ පුසුඹවී කදිමයි

දුක නැතිව තුටු පිරුණු සැනසීම සිතගාව දළුලයි

එහෙමත්ම වෙන්නෙ ආදරේ පිරුණු හන්දයි

30/05/23

සෙනෙහසේ මී අඹ

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය


ඔබව සොයා

සපුමල් බන්ඩාර - ලන්ඩනය

මා නොදැනුව මා සිතුවිලි
අදුරේ අවදිව සෙමිහිට
ඔබව සොයනවා
ඔබ නැතිබව ඔහුට දැනී
දුකින් නිදනවා.

කපුටු සංදේශය – දූත වර්ණනාව

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න

කසල අතුළ තුඩගින් දුගඳම රඳන
කුසල සැදි සෙතක් කිසි නොහඳුනන
අසල ඇසතු තුරු හිඳ වසුරුම හෙළන
වසල ගතිය කොහිවෙද නුඹ පරදවන

පමාවක් වේය ඇසුවොත් හඬට දන
නිමාවක් කොහිද දුක් ගැනවිලි නඟන
විඩාවක් නැතත් සුඛ විහරණය දෙන
ජරාවක් ලදොත් අනුභව කරනු මැන

උපුටා මුව රුඳුණු හිස් රළු මුසා වදන්
කරවා මහ රජුන් තෝරා සොර දෙටුවන්
වපුරා සියල් තණ පසු වී සහල් සොයන්
කපුටා මිතුර නුඹටත් රැවටෙතිය දනන්

පැහැද දනන් ගුණ ගායනා කරත්
නොමඳ වියවුල්ය උන්සැමට අයත්
ඉපිද මැරෙන තුරු විසඳුමක් සොයත්
සබඳ කපුට සව්දිය පුරවනු කොතැනත්

අස්වද්දන සුරාව සැම පුරවරට
බියවද්දන පුරවැසි රථ ගෙන මඟට
නොවරද්දන ජය වේමැයි නිති තොපට
ජයවද්දන පුර සැඟවිය හැක යසට

මා දුටු වෙසක්….

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

ගත වාරු නොමැති අය සිටියාට පන්සලේ
සවි බලැති උන් සැවොම රැස් වුනේ දන්සැලේ
තොරණ්මත ඇදී කථා අරුත් දුන් පින්සලේ
එලි රටා වලට මය සියලු නෙත් යොමු කලේ

මහලු වූ මව්පියන් තනිකමින් සිටි වෙලේ
ගෙයින් පිට දූ පුතුන් බොහෝ පිංකම් කලේ
රැස් කකා මහ සෙනග සුදූ වතින් පන්සලේ
තරගයකි වදින්නට බුදු මැදුරේ මුල් පෙලේ

නෙක පාට කූඩු නම් එල්ලුනා කඩ පිලේ
සමාගම් ලාංඡන වලින් එය හැඩකලේ
අත් හැරීමක අගය බණ දෙසුම් දෙසු වෙලේ
කුසල් නොව පින්වතුන් ලකුණුමයි රැස්කලේ

අනේපිඩු සිටාණන් විශාකාවන් වගේ
දන් බෙදන උන් හිටියේ කැමරාව යන මගේ
වෙසක් සද පායලා එලිය දුන් බුදු මගේ
අදුරේ අත පත ගගා දුවනන් නෙත ගැටේ

විශ්වයක්‌ තරම් දේ දෙසු මහා බුදු රදුන්ගේ
දර්ශනය තුලින් ලත් අබ පියල්ලක් වගේ
බිදක් ගෙන නිති රගන බොදුනුවනි දිවිමගේ
බුදුදහමේ ඇති අරුත සොයනු එය හරි අගේ

කතර ඇස් දල්වාන බලන් ඉන්නවා.

සුනීතා පෙරේරා - ලන්ඩනය

සදා නියඟයකින් පෙඵන කතරකට
හිරිපොද වැස්සක් වැටෙන ලකුණු පෙනෙනකොට....
ඒ කතරට ඇතිවෙන හැඟිම.......

ඒ හිරිපොද, කතරට වැටෙනකොට.
එක එක පොද
ආශාවෙන්, ආදරෙන් උරාගන්න
කතර ඇස් දල්වාන බලන් ඉන්නවා.

ඒ පොදවලින් දාහය නිවාගෙන ,
කතර ගස් වැල්
දඵ මල් දාල හැඩ වෙන හැටි බලන්න
ඒ ලස්සනින් සදහටම කතර සරසගන්න
කතර සිහින මවනවා....

ඒත්.....කතර ඒ සිහින මවන
සිහිල් පොද වැස්ස
කවදාකවත් කතරට නොවැටෙන වගත්
එයද , කතර දකින තවත්මිරිඟුවක් විය හැකි බවත්
කතර තේරැමි ගන්නවා නමි...

සාදු සාදු

සුමිත්‍රා ආරියවංශ - මහනුවර

බුදු තෙමඟුල ළඟ එන විට කෙනෙකුගෙ අත වෙන්න සාර
සැරසිලි කොළ අටපට්ටම් පිරිකර කඩ දෙපස පාර
තාත්තලා ලාබම එක තෝරති බඩු පීර පීර
දරුවන්ගේ වෙසක් සතුට වෙනුවෙන් හිත පාර පාර

මේසය උඩ බුදු පිළිමේ රැස් වලල්ල වට කැරකෙයි
පාට පාට නිවෙන දිලෙන විදුළි බුබුලු වැල් හිනැහෙයි
සවු කොළයක් ඉල්ල ඉල්ල පොඩි කොලුවෙක් බිම පෙර⁣ලෙයි
රෑ බත ළඟ පෙරළි කරන අම්⁣මෙකුගේ ඇහැ රතු වෙයි

වෙසක් තොරණ හරි ලස්සන ජාතකයේ නම ඉහලින්
කවි බණකට ආසනයක් පොඩි බුදු පළිමය අහලින්
සිදුර පළල පිං පෙට්ටිය තියලා ඊටද පහලින්
සාමනේර කවි බන පුද ලෙස පිරිකර දෙති මුදලින්

පුංචි ළමයි බොදු බැති ගී සමිඳුගෙ ගුණ නිවන පෑදු
දානයෙ ඇති ආනිසංස පහාදා දෙයි බණට සාදු
හාත්පසම සැදැහැවත්තු දොහොත් නගා කියති සාදු
බණ්දේසියෙ අට පිරිකර ලොකු පොඩි කොළ තරඟෙ සූදු....

Seven Seas

Shaun Dissanayake

I would sail the seven seas to see the love of my land.
I would sail the seven seas to be among my people.
I would sail the seven seas to be liberated by the virtue and the crippling financial debt that has wrapped me in metaphorical shackles.
To step foot on the shores of sands that are golden by appearance.
An where coconut trees over hang and lean.
I am keen to set sail to the land my ancestors called home.
I would circumnavigate the world for my home.
A island that is far.
Use the star to guide me home.
Like the sailor’s of old.
I would sail the seven seas to see the love of my land.
I would sail the seven seas to be among my people.
The smell of the fresh sea breeze takes me home a far of land where I can stand amongst my people and be greeted as an equal.
I would sail the seven seas to see the love of my land.
I would sail the seven seas to be among my people.
But that is a dream that remains to be seen.
One day I will return to my ancestral home.

ඩයනා කුමරිය එලොව සිට …

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම

සා පැටවු දෙදෙනෙකුට පෙර දිනේ පෙව් හුස්ම
බෝ බැතින් රකින්නෙමි වැළඳගෙන හද ගැස්ම
ගී ගැයූ සෙනෙහසක නාමයෙන් මගෙ ඇස්ම
පා කැළුම් දුර හිඳ ම බිඳිනවා හැම දොස්ම

ඈ සමග ඔබ මෙදා මිණි කිරුළු දරන කල
නෑ දෙනෙත වැළපුණේ තුටු කඳුළු වගුළ කල
සේ සතක රුවින් ජන හද ළඟ ම නැගුණු කල
මා උරුම මාවතේ සිහසුනට නියම කල

රුව ගුණ සුවඳ ලොව සුගැයුම් කර ගයනා
මතකයෙ පොතින් දන හදවත මිය නොයනා
හරසර මැදින් අබිසෙස් බැඳි කල වියනා
මහරජ ඔබට සිහි වේවි ද මම ඩයනා

කේ.පී.එස් සචින්ත්‍රා

මැනුම් පිරිමැදුම්

සචී ජයවර්ධන

මේ හෝරාවයි ආදරේ
හෙලන්නට ඉම් නැති වෙලේ
පිපෙන්නට හිරි තව ළයේ
පෙලන හිනැහෙන හති වැටී උතුරන
ප්‍රේමානයේ උත්කර්ෂයයි මේ...

මිහිරැතිම ප්‍රිය සුසුම කන් පෙත්තෙ අමුණන්න
හෙමි හෙමින් වැගිරෙන්න හිත දෙන්න කිමිදෙන්න
අහ්ලාදයේ වරුව ළපැත්තට තවරන්න
ගුලි වේවි පෙණ පිඩුව මත මත්ව මිරිකෙන්න

හතිලන්න ඉඩ තිබ්බ පපු කුහර මත් වෙච්ච
හඳුන් සුව හීත පිරි සානුවක පිච්චෙන්න
පීරිලන හදගැස්ම ශ්වේත ඔපෙරාවක්ව
වෙලා ගමි පලා යමි තව තදව ඇබ්බැහිව

බොඳ වූ පැතුම් මැද හිමිවූ තිලිණය

ශාමිලා ක්‍රිෂානි තෙවරප්පෙරුම - කොළඹ

කුළුදුලේ පපු මැද්දෙ
දඟලාපු හීනයක්
ඉඟි කලේ ඇස් අඟින්
සංසාර මතකයක්
දළඳාවෙ හේවිසිය
ඇහෙද්දී වාරයක්
මසිත සැනසුවෙ එදා
සරසවියෙ ප්‍රේමයක්

පියෙකුගේ සෙනෙහසට
ලියා උපමා වැලක්
තුන් සිතම පිරෙව්වා
දුර යවා දුක ගොඩක්
ඉද්ද මල පරවෙද්දි
තියා රතු සලකුණක්
එදිනේම සැර වුණා
මහවැලියෙ ජල කඳක්

නුඹේ ලේ ගැහෙද්දී
මගෙ කුසේ හැම තිස්සෙ
කියන්නට මම ආවෙ
දුවන් හිරි පොද වැස්සෙ
සිඹිද්දී නුඹ ඇයව
ගුලි වෙලා ලැම අස්සෙ
හීන මගෙ ගුලි කරන්
කඳුලැල්ල මම පිස්සෙ

පසුවට .......

දෙපා පණ නැති වුණා
ඉතින් මම නික්මුණා
මගෙ කුසෙහි අරුම දැක
අප්පච්චි මියැදුනා
වත්තෙ මුර සෝමෙ ළඟ
අම්මා නම් නැලවුණා
මම තවත් තනිවුනා
අසරණව වැලපුනා

නේක නෙක හැඩ බඹරු
මා වටේ කැරකුනා
යකිණියක් වූ නිසා
උන්ගෙ තටු පොඩි වුණා
වෙසඟනකි අර අරකි
නොකියා මට හිනැහුනා
කුස ඇතුලෙ පා පහර
නිසා මා සවි වුණා

" මගෙ තිසරු මුදු වුණා
ශ්වේත බිඳු වැඟිරුණා
නුඹේ ලේ හිනැහෙද්දි
වාසගම මගෙ වුණා "

ගැහැණු ……………

ඩී.කේ.එච්. සම්පත්

වෙසක් පුන් පොහොදාක
ගියෙමි බණමඩුව පින්තාරු කරන්නට කුලියට
සුදු හැදගත් උපාසක පිරිස අතරේ
බණ අහන්නට උන් වැඩිය
සිසිල් පැන් දන්සලේ
මහපාරෙ යනෙනුන්ට
හඩනගා කතා කොට
බීම වීදුරු පිරිනමන පිරිස අතරේ
පෙරමුණ ගත්තු උන් වැඩිය
මාසෙ අන්තිමට
මරණාදාර සමිතියේ
අයවැය විවාදයකි
මුල්ම අසුන් පේලියේ හිදගත්තු පිරිස අතරේ
විනීතව වාඩිගෙන උන් වැඩිය
උපන්දා සිට පව් කලා මිසෙක
පසු ලොවක් ගැන නොසිතුවෙමි
කරුමෙක මහත ,අපායට ගියෙමි.
අහෝ පුදුමයකි !
එහෙත් උන් වැඩිය.

රැය..

සුදර්මා වීරක්කොඩි

නින්ද විතරයි එකම සුව මග
හීන නොදකින මහ රැයේ..
මතක පමනයි තනිය දන්නේ
හද පිපුනෙ නැති රාත්‍රියේ..

අකුරු ඇමිනෙන වචන පැටලෙන
තරු ජනේලෙන් හිතේ වටවෙන
රැහැයියෙක්වත් අඩන්නේ නැති
හිමත් දියවෙන ගොම්මනේ...

වැහිපොදක්වත් වැටෙන්නේ නැති
මල්සුවදවත් දැනෙන්නේ නැති
හුස්ම පමණක් වැටෙන නද ඇති
රැයම සොදුරුයි මිහිරියේ

බැල්ම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

ආ මග අහම්බෙන් ඇස් පැටලුණා දැනී
ආපසු හැරී බැලුවේ ඇයි දෙයියො දනී
ඒ නෙත් දෙකත් හැරිලා බලනවා පෙනී
දෑසට දෑස නොව ලෝකෙම අයිති වුණී

ළය රෝහලෙන් පිටව ගිය මිතුරා

සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුරය (ප්‍රධාන ආගමන විගමන නිලධාරී)

ඒ මහා රෝහලෙන්
නුඹ රැඳුණ...
නික්ම ආ කාරයේ
තාම තියෙනවා..
තෙල් බෙහෙත් සුවඳ ද සුමිහිරි ...
හැළුණු ඔසු බඳුනක කෙඳි බිඳි...
හඬ නැති එකයි කාරණේ කිචිබිචි ..
සෙනෙහස පිරී ඉතිරුණු කෙඳිරිලි ..

දියකඩිති ළඟ අහර පැස ලඟ
කඳුළු බොහොමයි දෝණිගේ...
මතක කැබිලිති එකතු.කරනවා
අපි තනන නුඹෙ රූපයේ...

ඉතිරි නැතුවම ගිණුම හිඳුනම
නුඹට වෙන් කළ කාලයේ..
හිතෙනවා මම නතර වේවිද
නුඹට වෙන්කළ කාමරේ..
නුඹම උන් ළය රෝහලේ...

හේතුව කිමද අපෙ ආයුෂ අඩුවෙන්ට

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

හඳුනාගන්න බැරි පෙර දිගු කලක සිට
ලෝකය ගමන් කරමින් ඇත ඉදිරියට
ඒ එන අතර නිමවාලූ දෙය එමට
මිනිසා ඉන් එකෙකි නිමවූ සරු ලෙසට

මෑණිය සොබාදම් සැම දෙය නිසි කලට
නිමවන අතර සැමටම ගැළපෙන ලෙසට
ආයුෂ නියම කර ඇත එක එක සතට
මිනිසට ලැබුණි එකසිය විස්සක් එවිට

ලැබුණත් ආයු වැඩි ගණනක් සොබා දමෙන්
ඒ මුළු ගණන ගෙවනා අය දකිනු කොහෙන්
මව් කුස පටන් සියළුම වයසෙදිම කෙමෙන්
මිනිසුන් මියෙන බව දැක ගත හැකිය සෙමෙන්

එක එක අයට එක එක වයසෙදි මරණේ
හිමිවන අයුරු විමසූ බලයෙන් නුවණේ
හේතුව නියම ලෙස බුදුහිමිටයි පෙනුණේ
සසරෙදි තම තමා කළ කරුමයි කරුණේ

බුදුහිමි දෙසූ ලෙස ඒවා විමසන්ට
වෑයම් කරමු හැකිවෙයි වටහා ගන්ට
පිළියම් යොදා ආයුෂ වැඩි කරගන්ට
හැකිවනු ඇත එවිට මරුවා පරදන්ට

එකෙකුගෙ මසට ලොබ බැඳ උගෙ පණ නසලා
රසකර බුදිති ඇතැමෙක් පදමට උයලා
ඉවසනු බැරිව අනෙකගෙ දියුණුව දැකලා
තවෙකෙක් ඔහු නසයි කැති පිහි උල් ඇණලා

සතුටට විනෝදෙට දුනු ඊතල විදලා
තව අය දිවි නසති සතුනගෙ ගෙල සිඳලා
ඉඩමට වගාවට කළ හානිය දැකලා
ඇතැමුන් සතුන් නසනුයෙ අත පය කඩලා

මී වද බඹර වද කඩනා අය දක්ස
පැණි වද වලින් වෙන් කරලා ගති සෙස්ස
කිරිවද කියා මී මැසි පැටවුන් වැස්ස
සපිරුණු වදයි කන්නේ රසකර තොස්ස

ලැබ ගනු පිණිස හෝ රැක ගනු පිණිස බලේ
රට පාලනය වෙත ආ අය නොමැති මොලේ
රට වැසියන් උන්ගෙ අයිතිය යදින වෙලේ
අවි බල යොදා දිවි උදුරා රකිති බලේ

තම ප්‍රේමයට එරෙහිව ආ සතුරන්ට
දුන්නේ දඬුවමක් බැරි ලෙස උහුලන්ට
කෑමට දමා දුනි වස විස වළඳන්ට
සිතුවේ නොමැත සිදුවන බව විඳවන්ට

පමණක් නොවෙයි මහ මොර සූරන වැස්සේ
ඕකට හෙණම ගහපන් වැහි නැති අස්සේ
කියමින් අනෙකාගෙ දියුණුව නොම රිස්සේ
කරමින් සාප දත් මිටි කයි හැම තිස්සේ

නෙක ලෙස තමා හට එදිරිව වැඩ කරන
අය ගැන කෝපයෙන් තරහින් පුපුරමින
වස් කවි කියා ගම්මිරිසුත් අඹරමින
දෙස් දෙයි වැලලිලා වැනසී යන ලෙසින

නොකැමති කෙනා සහ සතුරා ගැන සිතලා
ගුගුරයි සිතින් සුන්වී යන්නට පතලා
සමහරු කෙනෙකු සතු නෙක සම්පත් දැකලා
ඉවසුම් නැතිව පුපුරති මරණය පතලා

මේ ලෙස සසර තුළ කළ පව්කම් ගොන්න
එන්නේ ගොනුගෙ පසුපස එන සක වැන්න
ඒකයි ජීවිතය කෙටියෙන් නවතින්න
සිදුවන කාරණය නුවණින් දැනගන්න

නිසි ලෙස නොදන්නා මුත් පෙර කළ කරුම
දහමට අනුව සැමටම එය ඇත උරුම
එනිසා ජීවිතය කෙළවර වන තුරුම
ආයුෂ වැඩෙන පින්කම් කළ යුතු සරුම

රාජකීය පණ්ඩිත
පූජ්‍ය පනාමුරේ තපස්සී හිමි
ලන්ඩන්

පොත්

තිලිණි ලක්ශාන්ති - මහනුවර

සිත් දකින්න නෙත් දහසක්,
රස විදින්න සිත් සහසක්,
ඈත යන්න පියාපතක්,
දෙයි පොත් මට නිති සවියක්…

හෙමින් කියා දී ජීවිත මග,
නැගිටින හැටි වැටුණු තැනින්,
කඳුළු මකන හසරැල්ලෙන්,
තාලය මවමින් අකුරෙන්…

දහසක් මැද තනිවෙන හැටි,
තැවුල් මැදින් හිනැහෙන හැටි,
වැටි වැටි යලි නැගිටින හැටි,
කියා දෙති පොත් හරි හැටි…

කඳුල

තිලින තෙදරුවන්

රිදෙන සියුමැලි සිතක මුනිවත
දැවෙන පාළුම රැයක සඳවත
හැකිද නඟනට හැඩක් උවනත
කඳුල හංගන් සිනහ මංපෙතම්

බොඳව ඉගිලිණු සිහිණ අබියස
නොමල වැළලුනු විඳින පවු දොස
කොහොම ගලපන් අකුරු රන් රස
මොලොක් කඳුලක වැස්සෙ පෙර ලෙස

වේදනා සංසාර බැම්මෙන්
පාරනා සිත ගාව බැල්මෙන්
චෝදනා නිස්සාර හිස්මෙන්
වෑහුනා කඳුලක්ම හැල්මෙන්

අන්තයට යන නිමක් නැති දොස්
සන්තකව දුක පෙලන රතු ඇස්
නින්දකට ගුලි වෙන්න ගෙන වස්
නිස්සරව මගෙ කඳුළු ඇති හිස්.

2023/05/02

නුඹ දුන්නු ගිනිදැල්

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම

මවා මුව හසරැල් - වසාගෙන කඳුලැල්
සිටින්නෙමි මම - ලොවට සඟවා
නුඹ දුන්නු ගිනිදැල්

සිටියෙ නුඹ සිහිලැල් - ගඟුළ ලෙස මනලොල්
දුරු කතර විය අසුරු සැණකින්
මා නොසිතු විලසින්

සඳ කිරණ විලසින් - ගණ අඳුර බිඳිමින්
මගේ ලොව වෙත පැමිණි නුඹ ඇයි
පලා ගියෙ රහසින්

රූ වරුණ දැක

උපාලි අත්තනායක - මහනුවර

දෙනෙත් තුළ රුදිඇත
ගැහැනියකගේ රූ වරුණ
සිනහවක් තුල රුදිඇත
ගැහැනියකගේ මොලොක් ඛව
දෙතොල් අග රුදි ඇත
ගැහැනියකගේ නුරාබව
හැකිවේද හදුනාගන්න
හදවතේ ඇතිසැටිය
ඒ රූ වරුණ දැක

රුවට බැදි දෙසිතක්ය
රන් හුයෙන් බැදුනු ගත
නෙහදුනන ඒ දෙසිත
මියෙන දිය බුබුළ සේ
යා නොවන‌ු ඇත රුවට
වදන් ගැහැනියකගේ
හදවතක් විවර වෙද

ඉදිරි පේළියෙ තැනක් හිමි නෑ
කිසිම දවසක පංතියේ
පස්සෙ පේළිය අපට සින්නයි
මොකද මන්දා එහෙම වූයේ

ගණිතෙ චක්කරෙ ආවර්තිතා වගු
රැඳෙන්නෙම නෑ මතකයේ
මැටි වැඩයි ලී වැඩයි ඇති විට
අපියි දක්ෂයො පංතියේ

දිසාපාමොක් නුදුටු අපිමයි
බණ මඩුව, උස් අසුන හැදුවේ
ඉදිරි පේළියෙ බණ ඇසූ අය
නැහැනෙ කිසිවිට අපව දුටුවේ

කුඹුරු යායන් පුරන් වූවත්
ගමේ පන්සල් ගරා වැටුණත්
ඉදිරි පේළිය අත් හරින්නට
සිතන්නටවත් එපා පුතුනේ