ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුරුෂ වෘත

පුරුෂ වෘත

කපිල ෆොන්සේකා - කොළඹ
2024-March

තබා හිස උර මත
නිදන විට නුඹ
නොදකිමි සිහින මම
නොනිදමි මම
දිවි ගෙවමි
සැබෑ මොහොතක

තබා හිස උර මත
නිදන විට නුඹ
ගනිමි නුඹ හිස බර මතු නොව
නුඹ හදෙහි හැම බර
සෙනෙහසින්

එහෙත් නුඹ
අවදිව යළි
බලා ඔය දෙනෙතින්
සෙනෙහසින්
මදකට මා ළඟ රැකවරණයට තැබූ
රැගෙන යයි ඒ බර යළිත්
නොවිමසා කිසිවක්

නිහඬවම සිටිමි මම
නොකියාම මා සිත
උකටලීවම
නොඉල්ලා ඒ බර බෙදා ගන්නට
යන තුරුම නොපෙනී නුඹ
යළිත් හෙට එන තුරු
හිස හොවා නිදන්නට මා උර මත

එතෙක්
සිහින දකිමි මම
බෙදාගන්නට
නුඹට වැඩි බර …..

(මාර්තු 8 කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු 9 සිහිනයෙන් අවදිව ලියමි)

තුරු හිසින නික්මී කාව්‍ය සංග්‍රහයෙන් – 2023