ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

January 2022

සීත හිම සහ ඔට්ටු වන්නට නොහැකි වී හිරු දෙවිඳු පායයි
දෙව් බඹුන් වුව යනෙන විටකදී ගොඩ වෙනා මහ බැංකු යායයි
දුරුතු දෙවරක් නිවෙස් සිරගේ බවට හරවා මහලු වේ යැයි
සිතුහුද පෙර දිනෙක ඉගිලෙන විටදි මෙය ජීවිතය වේ මැයි

අනුර

ලන්ඩන් මුල්‍ය නගරයේ ගොඩනැගිලි සංකීර්ණය

2022 ජනවාරි කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 83 කින් ඔපවත්වීී ඇත
  1. විසල් හදක කවි – උගුල්ලා දැමුව ගසආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
  2. කොළඹ යුගයේ සිත්ගත් කවි – කවිකොළකාරයා විල්සන් හෑගොඩ
  3. මල් වත්තක නිදමි……..කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
  4. මහ ගෙදර බිඳ වැටී කෝ ආනන්ද - පැරීසිය
  5. තනිකඩ හීනය අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
  6. දුරුතු පුන්සඳ දිදුල නුබකුස.. ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
  7. නිවසට එළිය සිරි දෙව්දුව අම්මාය අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
  8. සාගරට තරහ ගිහින්වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
  9. සුභාෂිතයේ සිත්ගත් කවි – අලගියවන්න මුකවෙටි තුමා අලගියවන්න මුකවෙටි තුමා
  10. තේ වත්තේ ඇවිලෙන ගිණි ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
  11. රැවටුණු රැවටිල්ල අරුණ ශ්‍රී එදිරිසිංහ - පන්නිපිටිය
  12. කොහොමදැයි මස්සිනේ අතුල කුමාර - කටුවන
  13. ඔබ තමයි ඒ දෙව්දුව ! අසංක රුවන් සාගර
  14. ඇහි බැම දුණු ශිල්ප ලඳුනි අනුර හෑගොඩ
  15. ගෙල වැල ලා ගත් මිතුරිය….වෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය
  16. කුවේණිගේ අඳෝනාව චමිලා නවගත්තේගම - ලන්ඩනය
  17. ආසිරි ප්‍රාර්ථනා චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
  18. එදාට මාත් ක්‍රිස්තියානි අංකල්…වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
  19. නිවාඩුවක නිමාව……. චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
  20. කඩදාසි මල් චමුදිත ධනරංජන
  21. රන්වන් හූනන්…! දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
  22. ඇය ……. දීපා ද සිල්වා - ලන්ඩනය
  23. පාර අතුගාන මිත්‍රයාට දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
  24. අසුරයෙක් රජ කරනවා ගීත් චාමින්ද සිල්වා - අම්පාර
  25. සෙයිලමට ගිය නාට්‍යාංගනාවආචාර්ය ඥානතිලක හේවාගමගේ - සිඩ්නි , ඕස්ට්‍රේලියාව
  26. එන්න කවියක්ව ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
  27. ඝාන්ඨාරය සහ සලබයා හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
  28. කිසි දින නොලියු කවියක් ලියවුනිය මට හෂී දිනේෂා
  29. රට කොයිබට ද? හරිනි උත්පලවන්නා සුමනසේකර - කොළඹ
  30. හදවතට තට්ටුවක්වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක - පුංචි බොරැල්ල
  31. උපන්දිනයජනාධිපති සම්මාන ලත් ගීත රචක ඩබ්ලිව්. ජයසිරි
  32. දෙන්න බැරි සතුටක් ජයතිලක කම්මැල්ලවීර
  33. යසෝදරාවතේ සිත්ගත් කවි මහනුවර යුගයේ ජන කවියා
  34. කෙටි කවි කපිල කුමාර කාලිංග
  35. නව අවුරුදු සුබ පැතුම් කුමාරි විජයරත්න - ලන්ඩනය
  36. නව වසරට සෙත්කවි කංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය
  37. සරමු සක්වල සිසාරා සුබ නැකත ඇත සපැමිණ කෞශල්‍යා ජයලත්
  38. වනයක සිරියගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  39. අම්මා ලාල් හෑගොඩ  
  40. එදා අපි…. මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
  41. මඟ බලා සිටින්නී ඈ මොනිකා නානායක්කාර - බණ්ඩාරගම  
  42. පුනරාගමනයමහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
  43. හිමි සුතනඹු හිමි පෙම නිශ්ශංක දිද්දෙණිය
  44. බඹර පැනයක් නාලිකා සමන්කුමාරි - අරාබි එමීර් රාජ්‍යය
  45. ඇයට කියනට බැරිව ලතැවුණු නුවන් තොටවත්ත
  46. කළය පුරවමි කදුලින් නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර
  47. POSITIVE WORLD Omindu Bometh Fernando - Meopham school - year 9 London
  48. ආයාචනා ….වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
  49. ඕස්ට්‍රේලියානු පුරවැසිකමආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
  50. විස ම – භාග පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
  51. වඳ ගැහැණිය ප්‍රීති රන්දෙණිය
  52. මාළිග සිහින ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
  53. හිත නැවතෙන තැනආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
  54. සුදු හිම පියළිවෛද්‍ය රුවන් එම් ජයතුංග - කැනඩාව
  55. සෙනෙහස ඔබෙන් විදිමි රොෂාන්ති විජේසිංහ  -  ඉතාලිය
  56. මැදියම් මනාලී රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
  57. වතුර රේණුකා බණ්ඩාරනායක - පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව
  58. අහිමි වුවත් රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
  59. අපි තුන්දෙනා රංජිත් ද සිල්වා - නවසීලන්තය
  60. සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
  61. අයිකනය සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
  62. හොවා දෙනු සපුමල් බන්ඩාර - ලන්ඩනය
  63. භාග්‍යය සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර
  64. … අහඹුවක්…. සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය
  65. (නො) පෙනෙන දෙනෙත් සන්ධ්‍යා ද සිල්වා
  66. රන්මිණි වන් ඔහු …මා ප්‍රියසබ, වෙනුවෙන් කළ ගීත කාව්‍යවෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
  67. සැනසුමවෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
  68. වෙඩි කෑ මගේ කමිසය සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
  69. සිරි විකුම් වළප එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
  70. අසනීපෙවෛද්‍ය සමන්ත කේ. සෙනෙවිරත්න - මහනුවර
  71. මුහුදට දුක දැනේවිද ? සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
  72. යථාර්ථයරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  73. නව අවුරුදු පැතුම ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
  74. රෝස මලක පැතුම තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
  75. දුක,විපත දෙන පවරාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
  76. හිමිසදුනි දයාබර තුසිතා සුරේකා - මීගමුව
  77. පයිතගරස්ටත් ප්‍රේමයක් තිබුනද? තුෂාරි ජයසිංහ - මහනුවර
  78. වාසනාවිශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එක්සත් රාජධානිය
  79. සරණාගතයන් වෙනුවෙනි උදයංග අමරසේකර - ප්‍රංශය
  80. නුඹට උද්‍යා මාධවී
  81. සෙබල මවකගේ සිතුවිලි ඒ .පී.ඒ. විජයන්ති මාලා - අකරවත්ත- මූණමල් දෙණිය
  82. ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි වෑත්තෑවෙ හිමි
  83. කැමති නැද්ද වජිර ජයවර්ධන

විසල් හදක කවි – උගුල්ලා දැමුව ගස

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

උගුල්ලා දැමු පසුව
ගසක් හුන් පොළොවෙන්
මලානික මුහුණින්
ගස හිඳී ළපළු පත් පවා
බිම හළමින්

නව බිමෙක ඇදෙන්නට
තන්තු මුල් නැතියෙන්
ගස හිඳී මලානික මුහුණින්

කළා යැයි ඉර එළිය සොරකම්
පලාඵල නෙලූ අය පවා
කරන විට ගැරහුම්
ගසක් ඉවසිය යුතුද කෙතරම්

බිම වැටෙන විට දිනෙක
කිසියම්
ගෙන පොරෝ කියත්
ඔප දමමින්
හපා රසකර බුදින
සිහිනයේ කෙළවරක
ගස හිඳී ක්‍ෂාන්තිවාදීව
හිසනමාගත් වන ම තනියෙන්

පමාවනු නොදෙයි
බිම හැලූ පත් අසුලමින්
තැවෙමින්
ගසත් නරක ම ඉරණමට වුව
ඉතින් සුදානම්

31-12-2021

වම් අත කනේ කවි කොළ ටික දකුණු අත
හක්කේ බුලත් විට හප වී ඉවර නැත
නෙත් සැර වරින් වර යවමින් සෙනඟ වෙත
හඬ දී ගිරිය පාදා කවි කියනු ඇත

ගෙදරින් තරුණියක ගෙන ගිය පුවත හොරෙන්
බිහිසුණු මිනී මැරුමක වග රුහුණු කරෙන්
රිය අනතුරක සැණකෙළියක පැසුළු දොරෙන්
තොරතුරු ඇදී එයි මොහු වෙත විදුලි සැරෙන්

සුළු පුවතක් නමුදු ගණනට ගත නොහෙන
ඔපයක් අමුතුවෙන් දී නව පණ ගැහෙන
කවි වැලකට ගොතා ගෙන නවරස වැහෙන
කියවයි ගැඹුරු හඬකින් ඈතට ඇහෙන

පිංකම්පොළක ගම්බද වෙළෙදම් පොළක
බස් නැවතුම්පොළක හෝ මහා මං කඩක
කඩ මණ්ඩියක් රුක් සෙවනක් වැනි තැනෙක
මොහුගේ කට හඬට පිටුපා යා නොහැක

කිසි මගියෙකුට මුණ නොගැහී සිටිනු බැරී
එළිමහනකම හඬ දෙන විට කොතැන හරී
ආරංචියේ උණුසුම්කම අනුව හැරී
මොහු වට කොට බලා ඇත මහ සෙනඟ පිරී

මොහු පල කරන කවි කොළ එකිනෙක දේට
රසවත් වී තිබේ පොදු ගම් වැසි යාට
එක සත දහය ගණනේ මිල තිබු ණාට
විකිණෙයි දහස් ගණනින් සමහර දාට

නොදැනුම නිදහසක් කොට වියරණය මැරූ
වරදට මොහුට ගරහන්නා වරද කරූ
වැඩිහිටි ඇතැම් කවිවරයන් නුදුටු විරූ
රසවත් අලුත් නිමැවුම් ඇත ඔහුට හුරූ

තවමත් උසස් කවියක රස විඳින හැටී
මහ පඬිවරුන් නොදනිති හිටිවනම හිටී
මොහුගේ සරල කවිවල හඬ සමඟ ගැටී
කවි රස විඳීමේ හෝඩිය කියනු වටී

හැමදා කනට වැටි වැටි මොහු දෙන රාවේ
කවි රසිකයන් පිටිසර ගම්වල බෝවේ
කවි කොළ කාරයාගෙන් සිදුවන සේවේ
නොනැසී ඉතිරි වී සාහිතයට යාවේ

ඉතිරිය මෙතැනින්...

මල් වත්තක නිදමි……..

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්

.මල් වත්තක නිදමි........

සිල් බිදලන්න බැරි හින්දා දැහැනින් නොම මිදි
විල් තෙර සිටි මනස් සළෙලු වත මඩලෙහි වැදි
පිල් විදහා සෙබඩ රැලක් නටන නැටුම් විදි
නිල් කටරොළු මල් වත්තක හැගුම් දරා නිදි

මලින් මලට පියඹනු බෑ සුවද මලක් හිමි හින්දා
රහසින්වත් හිත් නොම වෙයි එතකොට සෙනෙහස බින්දා
ප්‍රේමය රාගය සෙනෙහස උතුරා යන තැන කැන්දා
පිවිතුරු ආදරයෙ සුවඳ හැම මොහොතේම මම වින්දා

මහ ගෙදර බිඳ වැටී

කෝ ආනන්ද - පැරීසිය

ලොකු මල්ලිගේ හදිසි පණිවුඩේ සවන්වන් සැනිණි
මුළු හදම සැඩසුළං පහර වැදි ළදල්ලක් සේ සැලිණි
සනුහරයක්ම එළිය දුටු පින් කෙතක් වූ සිරිණි
පරිණාම පත් එගම හඳුනගන්නට තිබූ රූපය පැරණි
මහගෙදර නොකල්හි බිඳවැටී ඇතුල හා පිටත ගැටලු ද මැවුණි

එකල කවුරුත් ගමේ සිනහවැසි වස්සවා වැඩ පිරූ
ගහකොළ ද අත්ගුණෙන් සරුසාර වී සුවඳ දී මල් පල දැරූ
අගහිඟෙන් තුරන් වූ ස්වයං රැකියා සුරූ
අඬදබර නොහොඳ නෝක්කාඩු ඇල්මැරූ
කල්පනියි නිමාවෙයි එකතුවෙයි එසඳ අවුරුදු සරූ

කල් මැරී වියපත්ව දුර්වර්ණ පැහැගත්ත
බොල් වෙවී බිත්ති පුපුරා හැලී ඇතුල හා පිට පැත්ත
පිල් බෙදී අත් උදව් නැතිව අම්මාම පිළිණ කරගත්ත
මල්ලි අවසන්වරට මරණයෙන් බිලිගත්ත
මහගෙදර බිඳවැටී කනත්තකි දැන් අපේ මහවත්ත

අහුලා ගන්නට ඇවිත් මද්දුමය නොබිඳි දැවදඬු
උහුල ගන්නට බැරිව අම්මා දොස්පරොස් වචන මිරිකා දරදඬු
ලියල දීල ද ඕකෙ අයිතිය උඹට විතරක් අදෝනා අවනඩු
අහල පහළට ඇසී ගිනි නැඟේ පිලිස්සී ආරංචි කුණුරොඩු
ඉහළ අහසේ පියා සලමින් විදෙස් ගත වී දැනේ ඒ දුගඳ පිළිහුඩු

තනිකඩ හීනය

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව

 

රෑන කිතුල් සේ දිළෙනා ඔබෙ නිල් කෙහෙරැල්

පොරකනවා හුළඟ එක්ක කරමින් හුරතල්

නීල මැණික් වගෙ දිදුලන ඔබෙ නිල් නෙතුදැල්

ලෝකෙ පුරා කලබලයෙන් දුවනවා තව කල්

 

සැළලිහිණියෙ, තිසර, මයුර පොත්වල වැනුමන්

සිහිකෙරුවා ඔබේ පිරුණු පියයුරු අබිමන්

ඉටි රූපෙක වගේ පිරුණු ඉඟ සුඟ වැනුමන්

සිතුවම් පෙළ ඇන්ද වගෙයි හිත තුල සක්මන්

 

ඉගිල ගිහින් සයුරු මතින් කාලය අතරින්

මිසර , රෝම , ඉන්දු නිම්න ළදුන් පිරිවරන්

තනි යහනේ පාළු කපන දවසක් එනකං

රෑ හීනෙක අතරමංව හිටිය මං බලන්

දුරුතු පුන්සඳ දිදුල නුබකුස..

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර

සම්බුදු සමිඳු ගෞතම අපගේ මුනිඳු
බුදුවී ලොව්තුරා අටමසකින් පසිඳු
උරුවෙල් දනව්වේ දුරලා අවිදු අඳු
දමනය කළේ ජටිලයො දුරුකරන් අඳු

සිදුහත් කුමරු ගිහිගෙය හැර යනමගට
හමුවුණු නිරිඳු එදවස සිටි මගධරට
බුදුවී පසුව වඩිනා ලෙස සියරටට
බිම්බිසාර රජු කීවේ බෝසතුට

ලබගෙන බෝසතුන් මහ පදවිය සමිඳු
වැඩියා මගධරට සිහිකරමින් යලිඳු
දෙව්රම් වෙහෙර කරවාලා මහ නිරිඳු
දුරුතු පොහෝදා පිදුවා සසුනට බුදු

හෙලදිව එදා මහ උයනේ මහනාග
ඇවිලුණු අරගලය මහ යක් හා නාග
දිවසින් බලා සලසන්නට යහමාග
බුදුහිමි වැඩියෙ ලක්දිව විලසින් මේඝ

අමෝරා සිටිද්දි යක්දන නෙක නෙක අවි
දමනය කරන්නට යෙදුවේ බුදු සමිඳු සවි
මහාමේඝ අකුණුද මහවැසි පෙලට මැවී
බියවුණු යකුන් දිව්වා ගිරිදිවට නැවී

මහියංගනේ යක්සේනා දමනයට
වැඩිදා බුදුහිමි මේ හෙලදිවට
සමන් සුරිඳු වැඳ බුදු සමිඳුන්ට
ලැබුවේ කේශධාතුන් වැඳ පුදන්නට

නිවසට එළිය සිරි දෙව්දුව අම්මාය

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය

දිරිය මව සේම පිරිපුන් සවිබල ඇතිව
දකිණා සිහිණ හැබැහින් ජයගත් දිනුම
බිරිඳම වුණත් අම්මා ලෙස අප හැමට
කරණා සැළකිලිම වේ සසරේ හුරු ලෙසට

ලැබුණේ සෙනෙහසයි ඔබටත් මාපිය තුරුලේ
ලදුයේ අපයි ඔබලත් මව්ගුණ උරුමේ
මුණුපුරු මිණිපිරියගේ සුරතල් හඬ අතරේ
කොටුකර තබන්නට නොහැකිය මගෙ සෙනෙහේ

පාරමි පුරා බෝසත්වරු බුදුවන්නේ
පැතුමන් බෙලෙන් අප දරුවන් ලැබ ගන්නේ
දෑගිලි බැඳුණෙ මංගල පෝරුව මත්තේ
යළි මතු දිනෙත් අප හැම එක්විය යුත්තේ

සාගරට තරහ ගිහින්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය

සිඳී ගිහින් ගං දිය ගං දෑල මැද
නෙරිය නොතිය ඔසරිය ඇඳි සේය බඳ
රුසිරු සිඳුන වියපත් වූ තුරුණු ළඳ
පෝරු මස්තකේ හමුවිය සයුරු තෙද

බිඳී පෑරෙමින් සාගර හිමිගෙ හද
මුහුදු පතුල දෙබෑ කලා කිපුන මද
පෙළින් පෙළට රළ ගුවනත සිඹින ලද
සුනාමියක් සේ නැගුනයි සිහින බිඳ

AnA 12/2021

 

කුලුණු ගුණින් යුතු උතුමන් සිත මහරු
දුදන බසින් නො යෙදෙයි කරනට නපුරු
නව රුවනින් පිරි මහා සමුදුර ගැඹුරු
තණ සුළකින් උණු කළ හැකි වෙති කවුරු

කරුණා ගුණයෙන් යුක්ත වූ පිදිය යුතු
උත්තමයන්ගේ සිත දුර්ජනයන්ගේ
වචනයෙන් නපුරු කිරීමට නොහැකි වෙයි.
නව රත්නයන් ගෙන් පිරුණු ගැඹුරු මහ මූද,
තණ පන්දමකින් උණු කිරීමට හැකි වේද?

තේ වත්තේ ඇවිලෙන ගිණි

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය

දිලෙනා හිරු රැසින් බැබලෙන බදුළු කඳූ

සැලෙනා පුවත් දෙයි දෑසට කඳුළු බිඳූ

තේ දළු නෙලන අම්මා වස පොවා දරූ

කුස ගිණි නිවූ තැත අහලා උනා ගොළුු#

 

සැමිය සිහි විකල් දොඩවයි ඇවිදිද්දී

තේ වතු පෝර නෑ කහ පැහැ ගැහෙද්දී

දළු නෙළනා දෑත වෙන වැඩ සොයද්දී

බිළිඳෝ හඬති උහු කුස ගිණි ගනිද්දී

 

ගව් ගණනක් ඇවිද හිඟමන් සොයාලා

කන්නට දරුන් හට රොටියක් පතාලා

කඳු ළඳු ගාටමින් මව් ගුණ ගලාලා

හිස් අත පැලට එනවිට හති වැටීලා

 

දරුවන් බඩ සයින් අගුපිල හඬන්නේ

කෝවිඩ් බියෙන් කිසිවෙකු නැත බලන්නේ

හිස ගිණි ඇවිල ඇය සරණක් සොයන්නේ

දරු පැටවුන් සමග මතු ලොව දකින්නේ

 

දරුවන් තිදෙන පැල ඇතුලේ දඟලනවා

අමමා සිහි විකල් හිස ගිනි ඇවිලෙනවා

වස කුප්පියෙන් මරුවා ළඟ ළඟ එනවා

රෝහල තුලට දෙවියන් උහු ගෙන යනවා

 

දොස්තර දුකින් සිහිසුන් දරු බලද්දී

අම්මා හඬයි කියවයි ඇඟ ගැහෙද්දී

කැඩි කැඩි එන වචන විත් කණ වැටෙද්දී

දොස්තර සැළුනි තේ දළු අත් දකිද්දී

 

ලද සුළු විවේකය රට තොට පුවත් ගැන

අවධානයෙන් සිටි දොස්තර විඩා ගෙන

ඇසු පුවතින් නැවත සැළුනා කඳුළු ගෙන

දුටුවේ දුකින් තේ වතු ගිණිගෙන දැවෙන

 

එපුවත අඳුරු මළ පුඩුවක දසුන් පිරී

තේ වත්තේ ලැයිම අද්දර අඳුරෙ ගිලී

රේල්ලුවට පැන මව පිය දරුන් කිරී

මරුවා පිහිට සෙව්වේ ගිණි නිවනු බැරී

 

කඳුකර සිරියාව වැනු තේ ළඳුන් හුවා

ගයනුයෙ කුමට ගී ඇය පන පිටින් මරා

අඳුරුව ගිණි ගනී ලැයිමේ ළමුන් දවා

ලෝ දන දිව ගාන තේ ලේ රසයි සබා

රැවටුණු රැවටිල්ල

අරුණ ශ්‍රී එදිරිසිංහ - පන්නිපිටිය

වියපත් මිනිසුනේ
නුඹලාට වඩාත් දැනේවි
දෙපැත්ත මාරු කර කර
රැවටුණු රැවටිල්ල

කොහෙද ඉතින්
තේරුණත් නොතේරුණා වගේ
වහල් සුදියෙන් මත් වෙලා
වවුල් හපයක් උපන් බිම

උඹලට ම ගැළපෙන දරුවො
අලුතෙන් හිතන්න දුන්නෑ උන්ට
ආගමක් කළා කතිරය
හිටපල්ල නරා වළේ එකට

හැත්තෑ එකේ නැගිටීම
අසූ නවයේ නිදහස් සටන
සුජාත පරපුරක හරි දැක්ම
කලින් දුටුවා මේ විනාශය

තේරුම් ගනිල්ලා මිනිසුනේ
එදත් අදත් තියෙන්නේ
ඇති හැකිවුන් නැති බැරිවුන්
පාගන පන්ති සටනක්

පව් සෝදාගෙන වරෙල්ලා
දිවි පරදුවට තබා
නුඹළා වෙනුවෙන් ම සැදූ
අපේ ම පවුරු වළල්ලට

පණ්ඩ්ත වෙන්න එපා
වෙයල්ලා නිහතමානි
වැරැද්ද නුඹලාගේමයි
මේ සුබම වේලාවයි

හෙළ දිවයින මගෙයි
මා ඉපදුන රටය
ලොව අන් සියලු දිවයින්
මේකට යටය

කොහොමදැයි මස්සිනේ

අතුල කුමාර - කටුවන

මස්සිනේ කාලෙකින් හමුවුනේ
අඩු නැතුව කියපන්කෝ
කොහොමදැයි විස්තරේ
පැල්කොටේ කහට බී
කුඹුරෙදී කිවු වගේ
පන්න ගෙන ආවදැයි
දෝණියා මුදලිගේ.....

ගම පුරා අපි දෙන්න
හක්කොලං ගැවුවා නේ
ගස් වලින් රා හොරෙන්
බාල බිව් ඒ දොහේ
මතකදැයි උබට බං
අප්පොච්චාගෙ සැර බණේ....

පන්සලේ බණ මඩුවේ
අපි නටපු ඒ නාඩමේ
හිටිය රං එතනා බං
වාහේ වුනා ජීවිතේ
සංතෝෂේ එක්කලා
දරු පැටවු වැදුවා නේ....

ඒකි මට නොකියාම
ගියා බං දෙවුලොවේ
තනිවුනා දුක් වුනා
වෙල ගාව පැල් කොටේ
මග බලනවා තාම මං මස්සිනේ
එනතුරා මරුවගේ පනිවිඩේ....

උබ දැක්කාම පිරුණා
ලෙංගතුව තුන් හිතේ
ලස්සනයි එදා බං ජීවිතේ සී පදේ
කොලු කෙල්ලො දැන්
නඩන්නෙම විගඩමේ
හිතට දුක උන්ගෙ පන
හිර වෙලා අන්තර්ජන්ජාලයේ..

ඔබ තමයි ඒ දෙව්දුව !

අසංක රුවන් සාගර

මන්දාකිණියක කෙළවර
අඳුරු කළු කුහරයක
හරි පරෙස්සම් නිම්නෙක
ආදරේ හැංගුව,

අඬ අඬා දවසක
පටාචාරා හේ උමතුව
කිරි මුහුද ඉහ ඉහ
අහස් වෙරළත වෑවුණ

වළාකුළු නම් කීයක්ද
පණිවුඩ අරන් දුර ගිය
අර කළු කුහර පහු කළ

ඇත්තටම ඔබට මතකද
තරු හතක් ඔබ වැලලුව
ඔරායන් හැටියට නම් කළ

දැන් හරි මාව මතකද!

ඇහි බැම දුණු ශිල්ප ලඳුනි
නෙතඟින් එවූ හීය වැදුණි
ගලවාලනු කෙලෙසද එය
මිහිරකි ගත සිත පුරා

හමුනොවෙමුය යළි කිසි දින
පැතූ නමුදු හදට හොරා
හැඟුමක් විය සිත අද්දර
හමුවන්නට දවස පුරා

නොකරමි ආලය කිසිදින
දවසක මා හද නිහඬ කළා
පැතුමකි යලි ඒ හද තුල
ආදරයක් සසර පුරා.

සංගීතය/ගායනය ; නාලක අංජන කුමාර
(ප්‍රචාරය කිරීමට නියමිතය)

ගෙල වැල ලා ගත් මිතුරිය….

වෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය

ඉතින් කොහොමද ඇසූ දා මිත
සිනා නැගුවද හිතින් තැවෙමින්
කීවෙ නැත්තේ ඇයිද දුක් කඳ
අතැරයන්නට කාරණා කිම

දරා උන් දුක් කන්දෙ විස්තර
ඇවිද ආ මාවතේ වත ගොත
ජීවිතේ අත හැරුණු මොහොතක්
උහුල් ගත්තේ කොහොම නොකියූ

හලා ඒ බර තියා නැවතුම
අඳුරු වූ මග අතැර ගිය දා
දරාගත් හැටි නොදත් බෝ දන
නිසල නුඹ අස සසල දෙනෙතින්

"අනේ අඩුවක් කොහේ තිබුනද
කොහොම උහුලන් ඉහළ ඇදුනෙද
වෙදුන් වෙන්නට ඉගෙන ගත් හිත
තිබ්බ විරීය කොහොම නැති විද"

එහෙම අහ අහ ඉකිබිඳීන දන
ඉරිතැලුණු හදවත දකීවිද ?
විශාදය හා සටන් වැදි නුඹ
වෙහෙස අත් හල හැටි පෙනේවිද ?

(විශාදය නිසා ලොව පුරා ජීවිත බොහෝ ගණනක් අකාලයේ අහිමි වේ. )

කුවේණිගේ අඳෝනාව

චමිලා නවගත්තේගම - ලන්ඩනය

බැහැලා විජය කුමරුන් ලක් දෙරණ මැද
එරිලා තාම්බ්‍රපර්ණියෙ වැලි පොළවෙ පද
දැකලා මෙපුර රජ කුමරිය සෙනෙහෙ බැඳ
ඔදලා සරණ වැද රජකම ගැනුනි සොඳ

දසත විදා ආවත් රුදු සතුරු කඳ
මවිත වෙලා විජයගෙ ඇති බලැති තෙද
පැවත ගෙනා කුවේණිගේ තේජ නද
පතිත වුනා කරුණා ගුණ දැහැන මැද

බඹර තුඩක මුදු සෙනෙහස හදට වැද
කුමර විජය මා හද තුල වසග බැඳ
තඹර විලක හමනා මද සුවඳ විඳ
කවර දිනක නොසිතු ලෙස දුකද ලද

නෑ වෙන කුමරුනේ සරණක් මවෙත ලද
පෑරුන හිතද දුක් කදුලට ලැදිව හිද
කාරන කිමද දරු දෙ⁣දෙනත් හැරලා බිද
ජීවන නදියේ පැද දොම්නස් අඳුරු විද

වෙලා දුකේ සොදුර මතක රැඳේ හද
සලා කදුළු බලා හිදිමී විඩා මැද
කලා මදිද පින් කුලයෙහි වර⁣ද වෙද
පලා එනු මැනේ හිමි නුඹ කොහේ අද

ආසිරි ප්‍රාර්ථනා

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

කටු පදුරු තැනිතලා මැදින්
මතකයේ දොරටුව ඇරන්
සිහි කරමි පිය සටහන්

මතකයට ආනන්දයක් එක් කරමින්
යෞවනයේ පාසැල් දිවියට පිවිසෙමින්

ගෙතු දිගු වරලස කරලින්
සරසා මුදුනත මලින්
හැඩකාර සිරුරින්
කඩිසර දඟකාර ගමනින්
සිනාව දයාව පාමින්
ඉංග්‍රිසි බස හදවතට කියාදුන්
චන්ද්‍රාවෝ ....පන්ති භාර ගරු මෑණියන්
සිහි කරමි මිතුරියන් සමඟින්

විශ්ව විද්‍යාල වරම් නොලදින්
විද්‍යා විෂයයන් සමඟින්
යායුතු මඟ සොයමින්
ආවෙමි ඔබ නිවෙස සොයන්

ඔබ සදාදර හිමියන්
ගැණදාස අමරසේකර මැතිදුන්
නව දොරටුවක් ඇර දෙමින්
අඩිතාලමක් දමා දුනින්
සිහිපත් කරමි හද බැති අදරින්

උපරිම ඵල නෙලා ඉගැනුමෙන්
ලොවට සෙත සුව සලසා
සිටිමි මා අද විරාමයකින්
මගෙ කවි හද පුබුදුවමින්

ඔබ දෙපොළ දෙපා නමදිමි
උදාවන නව වසරෙ
තුරු ලිය ඵල අතරෙ සිසිලින්
නිදුක් නිරෝගී සමිපතින්
පිරි ඉතිරේවා !!!!
මා හඳ බැදි ප්‍රාර්ථනාවයි.

15/12/21

එදාට මාත් ක්‍රිස්තියානි අංකල්…

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

මකුළු වියන් බැඳි චිමිනි දොරෙන් එබී
රතු තොප්පිය ගලවා
හාල් හුන්ඩු දෙකක් දානු
ලඟදි පැදපු නැති මැඳුරු බයික් එකේ
ටැංකි කටට එබී
පැට්‍රල් බින්දු ටිකක් දානු
මී ගහට යටින් වක්කඩ හෙලින්
කාසම කලත්තා
යුරියා අහුරක් ගහනු
කුස්සියට පිටින් පුපුරන්ඩ කලිං
ටැංකිය ට නොදැනී
ගෑස් ලිප් දෙක දවනු
මස් මාළු එපා බක්කියෙන් අරං
අම්මගේ අතට
එලෝලු මිටක් දෙනු
වතුර මැද ඇති විසල් මන්දිරේ
සභා ගැබ මැදින්
පුපුරවාගෙන මියෙනු...

එදාට මාත් ක්‍රිස්තියානි අංකල්...

නිවාඩුවක නිමාව…….

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)

විදුලි පංකා නැගූ ඝෝෂා මැකී යයි දෙසවන දිගේ
ගත තෙමාලූ දාහයේ ලකුණක නොමැත සියොළඟ මගේ
අවට රැව්දුන් ළපටි දඟ මලු හඬක් සිහිනෙන් මෙන් නැගේ
මහා මූසල තනිකමක් වැට කඩොලු බිඳ එනවා වගේ

කතාබස් නැත බිරිඳ දරුවන් සිහින ලොව පාවෙනු පෙනේ
වෙනදා අලුයම සිනාසුණු හිරු හැරදමා මෙනි පෑ සෙනේ
හමා එන සීතල පවන් රැළි ගතේ ගඩු පුප්පනු දැනේ
මව් පියන් හා නෑ කැළින් සූන් පාළු සිත දසඅත වැනේ

මව්බිමේ ආදර සුගන්ධය සිහිනයක වෙලෙමින් තිබේ
නිමේෂය නැත එහි රැඳෙන්නට දිවි සටන තරැහින් එබේ
යායුතුය අඹුදරු රකින්නට පාද එසැවෙන්නේ ඉබේ
ස්වප්න සුවයෙන් මිදී සමුගමි හාදුදී මුවඟට නුඹේ

කඩදාසි මල්

චමුදිත ධනරංජන

ඇඳුමින් පැළඳුමින් අති නවීනය ඇය
මහපොළවටත් ඉහළින්
කඩිනමින් දෙපා තබමින් යයි
අහස අල්ලන්න මෙන්
'කොම්පියුටර්’ පන්තියට
අපල දුරුවන්න ස්ප කළ යන්ත්‍රරාජයාත්
ඉනේ බැඳගෙන

රන්වන් හූනන්…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල

 

හූනු සාස්තරේ කියල
ඉස්සර තිබුණලු...
මූණු එහෙම, "චුක්" සද්දෙට
ඇඹුල්ම වනවලු...
ගෑණු, යන්න තියෙන ගමන්,
පහුවෙල යනවලු...
"දානු ඕව අහකට", කිය
බැනුමුත් ඇහුනලු...

සාලය කැත කරපු හූනො
දැමුවත් එලවලා...
කාලය ටික ටික ගතවී
එවුනුත් රජවෙලා...
මාලයකට පෙති, කරාඹු
රනිනුත් නිමවලා...
තාලයකට පෙන්වූ කල
ගැහැණුත් රැවටිලා...

"චුක් චුක්" ගෑ හූනොත් දැන්
කන ලඟටම වෙලා...
"හික් හික්" ගා හිනැහෙනවලු
පැනයක් විමසලා...
"දැක්කත්, හඬ ඇහුනත්, එලවූ
අප හොඳ වෙලා..,
මක්කද ඒ පෙරලිය? දෙනු
අපහට පහදලා..! "

ඇය …….

දීපා ද සිල්වා - ලන්ඩනය

 

රත් මල් පොකුරු සිප සනසන කෙහෙ රැල්ල
මද මුදු සුළන් සමගින් පානා ලොල්ල
පිනිපා කැලුම් වැද නැළවෙන හද තැල්ල
කාගේ පිනට ආවද සුරතල් කෙල්ල

අරුනලු එවන්නේ ඔබ මුව දෝවන්නයි
රජිඳුන් වඩින්නේ ඒ සිරි දැක ගන්නයි
බඹරිඳු රඟන්නේ කුසුමට රැවටීලයි
තුන් ලොව සරන්නේ හද රැඳි සැනසිල්ලයි

වැව් ඉපනැල්ල රන්වන් හිරු එලිය වැදී
දිලිහෙයි රන් රුවන් විමනක සිරිය දිදී
මග සොයමින් සරනා මින් රැළ පැහැදී
පණිවිඩ එවන්නේ සගවා රැල්ලේ නදී

ඉදහිට ඇසෙන සකුණගෙ කවි ගී සද්දේ
කෙකටිය පදුරු තරගෙට සෙලවෙයි බැද්දේ
තොරතුරු අසන්නට මෙන් ඇගෙ ගම් මැද්දේ
සේපාලිකා අතු එක තරමට පැද්දේ

තිමිර පට යටින් පායන පුන් සදකි
නිරුදක කතරකට වසිනා දිය පොදකි
කදුළු කොපුල් මත පුදින සිනහවකි
සසර කතාවට නවතින මන් තොටකි

පාර අතුගාන මිත්‍රයාට

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

නැංවෙයි වාදනය නොමදන්නා ස්වරේ
මතුවෙයි සිතුවමක් දස අත ඉරි පැතිරේ
නැටවෙයි තාලයට ඉදලත් ඒ අතරේ
දිස්වෙයි ටිකෙන් ටික පිරිසිඳුවී නගරේ

හැඩවැඩ ඇඳුම් ඇඳගෙන වැදගත් ආරේ
හොඳවැඩ කරන ජනයා ලෙස හැම වාරේ
මුත්වැඩ කියයි බව ආරේ ගුණ නෑරේ
කැතවැඩ කරයි කුණු දමදම යන පාරේ

විසිකර බිමට කොල කා බී අවසානේ
හැඩිකර පොළොව හැම බිම් අඟලක් ගානේ
හිස්කර බෝතලද සිගරට්ටුව පානේ
සිහිකර ගුණය මිහිමව හට දෙයි දානේ

රකිනට ලෝකෙ වරදින් නැහැදුන උන්නේ
සටනට වැදී හොඳ මිනිසුන් කර දෙන්නේ
තමනට වඩා පහළට උන් හෙලමින්නේ
සිතනට තිබෙන අයිතිය කිම මිනිසුන්නේ

අව්වට පිච්චෙමින් වැඩ දූවිලි කතරේ
සෙව්වට සොච්චමක් යුතුකම මග නොහැරේ
මෙව්වට ලැබෙන අඩු සැළකිලි හද පෑරේ
එව්වට පරාදයි ගඳ කාණුවෙ වතුරේ

මිනිසුන් අතර අවගුණ දින දින වැඩුනේ
අතරින් සතුන් වනයේවත් නැහැ පෙනුනේ
ඇතියෙන් අයත් යහගුණ සුරකින සටනේ
වැනසෙන් නැතිව පවතියි ලෝකය මෙදිනේ

නිමවුන නමුත් පිරිසිදු කර නුඹ නගරේ
කුණුවුන මිනිස් සිත් සැම තැන ගඳ පැතිරේ
නැතිවුන කලට අනුවනකම අපි අතරේ
යහගුණ සුවඳ හැම තැන පැතිරෙයි මිතුරේ

අසුරයෙක් රජ කරනවා

ගීත් චාමින්ද සිල්වා - අම්පාර

ඉරා සළු පිළි බදා කෙස් වැටි
ඇගේ දෙකොපොල් තලනවා
සුරා වෑහෙන දුඹුරු දෑසින්
රාග ගිනි දලු පිඹිනවා
හලා දහදිය මහා වෙිගෙන්
කයක් හාරා දවනවා
යකුන් ගස් නැගි වෙලාවෙිදිත්
රතී යහනට වඩිනවා

අමා රස තිබු සිනිඳු දෙතොලට
රකුස් ගඳ කිලි වැටෙනවා
දමා ආ ඇ⁣ගේ ස්වාමියා ගැන
හිත හිතා ඇය තැවෙනවා
ගෝ සතුන් මෙන් යහනෙ හිඳුවා
රිදුම් දී තලු මරනවා
විලාපය නම් තව්තිසාවෙි
අසුරයෙක් රජ කරනවා

ගිනි ගහන මහ එළිය නොතකා
උගුරෙ මත් පෙති රැඳෙනවා
මාලිගාවෙන් පැමිණි මනමේ
කුමරි ගොදුරට ගන්නවා
කුටියෙ හැම තැන විකෘතිව ගිය
මනෝ කායක් හිඳිනවා
අනේ හිමියනි සමාවෙනු මැන
කියා ඇය පසු තැවෙනවා

සෙයිලමට ගිය නාට්‍යාංගනාව

ආචාර්ය ඥානතිලක හේවාගමගේ - සිඩ්නි , ඕස්ට්‍රේලියාව

එල්ලල තිබෙන දිලිසෙන කැරැකෙන ........ගෙත්තම්

දැන් මගෙ කනට බෙල්ලට හුරු ..............ආයිත්තම්

ඇන්දෙන නැටෙන ඇඳුමෙත් ඇත හැඩ .....බොත්තම්

ඇත්තට බොඳවෙලා ගම රට ගැන .............සිත්තම්

හිස් අහසට යොමා හුල්ලන විටදි ..................උදේ

රැස් දුටුවාට ඉගිලෙන කණ කොක්ගෙ ...........සුදේ

විස්තර කරල කිව්වම මිළ නටන ..................පදේ

ඇස් දෙක කැමති විදුලි බුබුළු කරන ..............වදේ

වත හිනැහුනත් ඇතුළත හිස් තැනක් .............වගේ

ගත රැඳි පොත්ත අනුවත් කෙලෙසනව ..........රඟේ

හිත ළඟ සිටි අයත් ඇස නොදකිනව .............මගේ

ලත වෙන්නට කියා කිසිවක් ඇත්ද ................අගේ

වැටෙනා විටදි හද අනුකම්පාව ....................ගෙනා

වටිනා වචන ගැන කියනුයෙ කෙලෙස .............වනා

නැගෙනා කලට වෙව්ලන පා පෙරට ................වනා

සුදනා කඩුව වුව කැපෙනව දෙපස .................මනා

අගතිය රැව්ව සිට වයසෙදි ...................කිරිකෝඩූ

නඩුපොත වුණත් දැක්කේ අපෙ අඩු .................පාඩූ

වචනය හැලුව නම් කරනවමයි .......................කූඩූ

හිනැහෙනු හොඳයි කවදාවත් ලෙස ..................නෑඬූ

එන්න කවියක්ව

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය

දෙපලු කර සුලං කෝඩය එකට පියඹන්න
එකලු වූ හද කොනිත්තා රසය දනවන්න
සිතලු එන ඇසිල්ලෙන් පන්හිඳට අමුණන්න
ලපලු වී නැවුම් සුවඳින් යළිත් නුඹ එන්න

රනින් කළ හිරු රැසින් අහුරක්ම ගෙන අතට
සැණින් මුව තවරගෙන සිනා එළි දල්වන්ට
මලින් කළ සේලයේ ඉරී ගිය අගිස්සට
මිණෙන් හැඩ දමන්නෙමි රෝස පෙති රටාවට

නැත නැවත එන දිනක පෙර ලකුණු ඇස ගාව
ඇත පවත එහෙත් නුඹ දිනෙක මෙහි ආව බව
අත මවෙත දිගු කරන් සිහිනයක අරුතක්ව
ගත මෙසිත පොබයමින් ගලා යනු කවියක්ව

ඝාන්ඨාරය සහ සලබයා

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

අද මා කාලය ගත කරන්නේ
ප්‍රියතම හයිකුවක
වචන කිහිපය
නැවත නැවතත් කියවමිනි

එය සර්ව සම්පූර්ණ කුඩා මිදි ඵලයක්
යළි යළිත් රස බැලීමක් වැනි ය

හයිකුව මුමුණමින් මම ගේ පුරා ඇවිදිමි
සෑම කුටියකම හිස් අවකාශය වෙත
එහි අකුරු ඉහිරේ

පියානෝවේ විසල් නිහඬ බව
ළඟ හිඳ හයිකුව කියමි
සයුරක සිතුවමක් ඉදිරිපස හිඳ කියමි
හිස් රාක්කයක් මත
ඇඟිලි තුඩින් එහි තාලය අල්ලමි

එය කියන මගේම හඬට මම සවන් දෙමි
සවන් නොදීම මුමුණමි
නොකියා ම සවන් දෙමි

බල්ලා හිස ඔසවා මා දෙස බැලූ විට
ගෙබිම දණ ගසා
උගේ දිගු සුදු කන් දෙක වෙත
වෙන වෙනම එය කොඳුරමි

මේ
බරැති ඝාන්ඨාරය ත්
ඒ මත නිදා සිටි සලබයා ත්
ගැන කවියයි

එය කියන සෑම මොහොතක ම
දැනේ මට
යකඩ ඝාන්ඨාරය මතුපිට
සලබයා ගේ ඉහිලිය නොහැකි බර

හයිකුව කවුළුව වෙත මුමුණන විට
ඝාන්ඨාරය ලෝකය යි
මා ඒ මත ඉසිඹුලන සලබයා යි

කැඩපත වෙත කියද්දී එය
මා බරැති ඝාන්ඨාරය යි
දුහුල් තටු ඇති සලබයා ජීවිතය යි

පසුව,
අඳුරේ මා එය ඔබට පවසද්දී
ඝාන්ඨාරය ඔබ යි
එහි හඬ උපදවා ඔබ රැව් නංවන්නේ මා යි
පද පෙළින් ඉගිල ගිය සලබයා
අසව්වක් සේ
නිදි ඇඳට ඉහළින් පියාසලයි

‘Japan’ by Billy Collins

Link to the original poem- https://www.poemhunter.com/poem/japan/

සසැලී රිදී හඩවා දිය නැගෙන විලේ
මතුපිට තඹරු විකසිත වී රගති රැයේ
හිනැහී දිලෙන නිලුපුල් පෙති නිලට නිලේ
නෙතු කැන් අයා රස වින්දෙමි බොළඳ වියේ

ඇසිපිය නොගස සිටියත් විල දෙසම බලා
මහ සැඩ සුළං එයි මා වෙත රවා බලා
කැලඹී යනෙන කළ ජල කද ඉවුරු තෙමා
නිලුපුල් තඹරු පාවී යයි මිලින වෙලා

පෙත්තෙන් පෙත්ත එක් කෙරුවත් විල් තලයේ
පෙර ලෙස තඹරු රඟ නොම දේ සිත් අහසේ
නිලුපුල් සිනහ අමතක කර මුව මඬලේ
දුක්බර බැලුම් හෙලමින් නිදි විල් යහනේ

රිවි රදු හඬා දේදුන්නේ පැහැය මකා
බලා හිඳී හිනැහෙන තුරු පියුම් විලා
අහසත් කළුව ගිගුරුම් දී වැල පීලා
රිදෙනා කදුළු මහ වැසි වී ඇද හැලුවා

දිනයන් ගෙවී එළැඹීලා සුපුන් සඳ
කළා සොළස සපුරාලා දිලෙයි අද
ඇසුනින් තඹරු පැටවුන් පණ ගහන හඩ
කිසිදින නොලියු කවියක් ලියවුනිය මට

රට කොයිබට ද?

හරිනි උත්පලවන්නා සුමනසේකර - කොළඹ

රට හැමතැනම මිනිසුන් පාරට බැහැලා
උද්ඝෝෂණ කරයි අයිතින් ගැන අහලා
ගොවි, ගුරු, වෙද සැවොම පාරෙහි පෙල ගැහිලා
යුක්තිය සදාදෙනු දෙවියනි මෙහි වැඩලා

දවසින් දවස ඩොලරයෙ මිල වැඩි වෙන්නේ
ඒ හින්දාලු ඉන්ධන මිල වැඩි වෙන්නේ
රුපියල් සතය බාලව උඩ පා වෙන්නේ
ඩොලර් හිගය කවදද නැති වී යන්නේ

පාලකයින් ඇත ඇස් කන් පියාගෙන
පොහොර නැතිව ගොවියන් දිවි නසාගෙන
කන්ට නැතිව මිනිසුන් දුක දරාගෙන
දෙවියනි කොහොම ඉන්නේ මෙය බලාගෙන

හදවතට තට්ටුවක්

වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක - පුංචි බොරැල්ල

බැලුවද නාඩි මොහොතක් හරි අත අල්ලන්
දැනුනද සුසුම් තෙරපෙන නැහැපුඩු හොල්ලන්
නැහුනට උපන් දින සිට මේ ටික අල්ලන්
අතහැර යන්නෙ කුණු කය බැහැගෙන පල්ලන්

ඉම කොන නොදැන දිවයන මේ බව ගමනේ
හිත වටකරගෙනයි ලෝකය ගොඩ නැගුනේ
ගත කුලියට ගත්තෙ එය මොහොතයි තිබුණේ
වැහැරෙයි දිරයි දුක පමණයි එහි රැඳුනේ

වයසට යද්දි ලස්සන හම රැලි වෙනවා
මුතු කැට වගේ දත් එක එක ගිලිහෙනවා
අතපය වාරු නැති වී ගත වෙව්ලනවා
එනමුදු තරුණ හිත රහසින් වැලපෙනවා

ගුණ දොස් විවේචන කොහොමත් නොමැත අඩූ
පණ සේ ලඟම සිට පැටලෙයි සමග නඩූ
පිහිටට නොඒ කිසි විට ඒ කඳුල හැඩූ
යන තැන කල දේට හරියයි ලෙසට වැඩූ

දිනකදි නතර වන විට ලබ් ඩබ් රාවේ
සැනසුම පිණිස මෙහෙයමු මිය යන ජීවේ
දැනගෙන සසර දුක, එහි බියකරු බාවේ
පණ යන මොහොතෙදිත් බුදු බණ ඇසුනාවේ

උපන්දිනය

ජනාධිපති සම්මාන ලත් ගීත රචක ඩබ්ලිව්. ජයසිරි

දෙලුම්මලේ
පාට ඇඳුනු
දෙතොල පුරා
ලිප්ස්ටික්කූරක
පහරින්
ලේ ගලනා හැන්දෑවේ
රෝසකොපුල්
වසාගන්න
පවුඩර්මල
හලාගත්ත
ක්‍යුටිකුරා හේදෙන්නම
මුරුගසංවරුසාවේ
අත්වැල්
පටලවා ඉම්මු
දෙන්නම
තෙතබරිතවෙන්න
එතකොට
ලෝකයදකීවි
නිරුවත්වුනු
ආදරයක
හැබෑවටම
සොබාවිකව

දෙන්න බැරි සතුටක්

ජයතිලක කම්මැල්ලවීර

කලකට පසු වට වැස්ස
සෝදා හැර ඇත
ගෙවුණු ඉඩෝරයේ දූවිල්ල
අලුත් මිදුලේ වැඩෙන
අඹ පැලය
නව දළු සෙමෙන් සොලවයි
සැන්දෑ සුළඟට

රට ද මා ද විඳි
සියලු පිරිපත අමතකකර
සැනසුම් සුසුමක් හෙළමි
කොහොමද ඔබට දෙන්නේ
මට පමණක් මොහොතකට දැනෙන,
මේ සතුට?

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර යුගයේ ජන කවියා

ගණන් නැතිව අප දුන්නේ අත් බන්දා
ගණන් නැතිව ඇඩුවේ මම ඔබ සින්දා
කියන් ඉතින් මං කළ වරදක් ඇද්දා
හෙමින් මහණ වෙන්නට වැඩියේ ඇයි දා

කෙටි කවි

කපිල කුමාර කාලිංග

1) දුම් දමන තේ බඳුන
සෙමෙන් ඇල්වෙයි
කහට රස පමණක්
ඉතිරි කොට

2) උදෑසන බස් රියේ
කවුළු අසල අසුන
තවම හිස්‍ ය.

3) බෝධියට යන අතරතුර
දැක නැවතුණෙමි
මහළු අඹ ගස මග අස.

4) සුළඟින්
බිම පතිත මල්
සුළඟින්ම ඉපිළෙයි .

5) ඇය එන දවසෙම
ගොළු වූ සැටි
දොර සීනුව.

නව අවුරුදු සුබ පැතුම්

කුමාරි විජයරත්න - ලන්ඩනය

සාර සදිසි සද මෙන් සිත පිබිදේවා
නෑර දිනක් පින් සිත තුළ රැස් වේවා
බීර රෝග ලෙඩ දුක් සිත දුරු වේවා
පාරමිතා බලයෙන් සිත සැනසේවා

දිලී දිලී අහස පිරුන තාරකා වලින්
පිපී පිපී රේනු නටන සුවද මුදු මලින්
සැලී සැලී ගත දැවටෙන සිහිල් මද නලින්
පිරී ඉතිරි ගිය ආසිරි ගෙනෙමි මුළු හදින්

රෑන් රෑන් කුරුළු රෑන් ගීතිකා ගයයි
රෑන් රෑන් මල් කෙමිවල සුවද පැණි පිරෙයි
රෑන් ඇදුන සිතිවිලි වල සතුට රජ කරයි
හීන්සැරේ ගෙනෙන පැතුම් වසර සරුකරයි

තියුණුව නුවන නව නිපැයුම් ඇතිවේවා
දියුණුව සැප සතුට දින දින වැඩිවේවා
කුළුණුව හදට දම් සිතිවිලි රැස්වේවා
පැමිණුන නව වසර කිරිපැණි ඉතිරේවා

නව වසරට සෙත්කවි

කංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය

නව වසරට සෙත්කවි

ලොවම පුබුදුවා දිනකර නැගේවා
රැයේ අඳුර පලවා සඳු නැගේවා
සේපාලිකා සුවඳට තරු පිපේවා
දෙව් බඹ මුවින් සෙත් පැතුමන් රැව්දේවා

සාමය ආදරය ලොව තුුල පැතිරේවා
රෝ බිය සදහටම මෙලොවින් දුරුවෙිවා
බිය සැක දුරුව සැනසුම ලොව ඉතිරේවා
සැමටම සුබම සුබ නව වසරක් වෙිවා!!

දුරුතු හීතල පෙරවගෙන සීත සමීර
මියුරු ගී පබඳිමිනි විහඟ පිරිවර
හස නඟනයුරු පුහුණුවන කුසුම් පෙරහර
නැවුම් පැතුමන් පිපේ නෙතු මත දොර දොර

මං මුලා තොටියෙකුට පහන් එළි මුණගස්වන
මඟ වැරදි සකුණෙකුට කැදැල්ලට මඟ පෙන්වන
දළඹු දුක නිමකර නේක සමනොළ තටු පළන්ඳන
සුයාමය රැගෙන හෙට උදෑසන ගෙට ගෙවදින

සහස් ගිරි ශිඛර තරණය කරනා සිහින දකිමින
පිය ගැට පෙළ නඟින දන සුබ දසුන නිමවන
ඉසිඹු තැනි සේ ම රුදු බෑවුම් ද හමුවන බව දැන
සරමු සක්වල සිසාරා සුබ නැකත ඇත සපැමිණ

වනයක සිරිය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

රවි සර බාල වී සඳ රැස දෙන යාමේ
කවි හර තාල කිචි-බිචි පැසවන සාමේ
දැවි දර ගාල අළු දා පස වෙන දාමේ
කවි කර මාල පළඳ මු බැස වෙණ කාමේ...

ගඟ රැළි නගා “චර-චර” සද්දෙට බැද්දේ
තඟ ගයතැ’යි යමරෙට සද්දේ
රඟ කෙළිදෙලෙන් මල් කුමරියො වන මැද්දේ
නැඟ තෙලිතුඩට වෑහෙත රූ-පට ගද්දේ...

වියැළී බිමට වැටෙනා පත් තැනින් -තැන
පියළී හැඩට පෙනෙනා මුත් සැණින් නැණ
පැටලී දවට ගෙතෙනා හත් මුතුන් පණ
වන ලී රුවට ඇදෙනා මනු ගති අමන...

සඳ වට දිලෙන තරු පොකුරක සිරියාව
විඳ රට තිබෙන සරු පොළොවක පිරියාව
කඳ වට වඩින විරු දෙපළක වරුණාව
බඳ කට පිරෙන තුරු පොකුණක කරුණාව...

දහවල පැයෙන් - පැය ගත වෙයි හෙමින් සැරේ
සඳමල කිරෙන් රැය පොබවයි පහන් පිරේ
මිහිකුළ එඩින් පය ඔසවයි තෙදින් පුරේ
මුහුකළ ලෙසින් දැය සරසයි වනන්තරේ...

පැයට යසස්-පති වෙයි විළිදන් හැර දා
කමට මිනිස්-ගති නැති මිනිසුන් ඇති දා
රැයට තපස්-වෙති ගැති තිරිසන් රති දා
කුමට විපස්-ගති මැති තුරු සුන් කර දා!!!

2022.01.01

අම්මා

ලාල් හෑගොඩ  

පිදුරු ගසක් සේ
කේඩෑරි වී
සුදුමැලි වී
රැළි වැටී

වී ඇටය ඇටයවත් තඹ තම්බා
කාගෙ කාගෙත්
ගින්දර නිවන්න ඇති

ඊටත් ඉස්සර
ළා ගොයම් කරලක් වගේ
ඉන්න ඇති

එදා අපි….

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

හංදියෙ කඩේ නානගෙ එළුමස් කරිය
ගෝදම්බර සමග නම් පදමට හරිය
වටලප්පම් නොකා ඉන්නටනම් බැරිය
හොඳ හිත මිසක මොකටද උන් පැටිකිරිය

තෝසේ සමග තෙල් පෑදුනු සම්බාරු
වඩයක් සමග තේ කහටක් අත නාරූ
දුම් අල්ලමින් නලලේ ගා තින්නෝරු
අමතක කළොත් නරකද මාවිල් ආරූ

කැකුළෙන් නිවුඩු හාලේ බත උයාගෙන
පොළොස් ඇඹුල් පොල්සම්බල අනාගෙන
කිරි හොද්දකුයි කරවල බැදුමකුයි ගෙන
කෑවොත් සමකරන්නට නැත රසක් වෙන

නෝම්බි කාලෙට හවසට කැඳ බිව්වා
දීපාවලියෙ මුං කිරිබත් රස සෙව්වා
අවුරුදුදාට හැමටම කැවුමක් කැව්වා
හිත හඬනවා අද නැත්තේ ඇයි එව්වා

මොහොමඩ් සමග රාසම්මා අපෙ මිතුරු
එක බත්පත බෙදා එදවස කෑ අයුරු
සිහියට නැගෙයි කිව්වත් මොනවා කවුරු
අදටත් දැනේ එම මිතුදම් රස සමරූ

ගොට්ටේ දමා තල් රා වල රස බලමු
කට්ටේ කිතුල් රා බීලා පදම ගමු
පට්ටේ දොදොල් කන්නට මාතරට යමු
ගැට්ටේ එකට හිඳ රාම්ලාන් සඳ බලමූ

ජාතින් අතර අසමගිකම් ඇතිකරවා
මානෙන් උදම් අනමින් සමහරු නැටුවා
සාමෙන් එකතුවී උන් හැම හැර පලවා
නෑගම් යමු උතුර දකුණට යාකරවා

කවුරුත් ඉපිද මියයන මේ ලක් දෙරණේ
එක රිද්මයකටයි කාගෙත් හද ගැහුනේ
මිනිසත්කමට ගරුබුහුමන් ලැබ දෙමිනේ
එක්වී පියනඟමු නව වසරට සොඳිනේ

උස් මිටි නොහොඳකම් ඇද පසෙකට දාමු
වැරදුනු අතීතය නොබලම වළ දාමු
සතුටින් එකතුවී යළි හසරැළි පාමු
විස්සයි විසිදෙකට නව අරුතක් ගේමු

මඟ බලා සිටින්නී ඈ

මොනිකා නානායක්කාර - බණ්ඩාරගම  

අරුණෝදයේ පිපි මල් කැකුළු
සෙනෙහේ දියෙන් නහවා
හිරු කිරණ සේ ලොව එකළු කළ
පහන නුඹ අම්මා

ජීවන පොතේ මුලකුර කියූ
දිවි මං පෙතේ එළිවැට තැනූ
ජීවිත කවේ පදවැල් ගෙතූ
කිවිඳියයි නුඹ අම්මා

නෙක දුක් දරා දරු සැනසවූ
කුසගිනි දරා දරු කුස නුවූ
වැරහැලි දරා සළු පැළඳවූ
උවැසියයි නුඹ අම්මා

පුතුන් රජ කරවූවත්
මව් සෙනෙහෙ ඉවතට දමා
කහවනු ගඟේ පිහිනා
සිදාදියෙ හිත රඳවා

දුබල ගත සවි බිඳී
මව් තනිවුණා ගම්පියසෙදී
හදෙහි පැතුමන් දරා
නෙතෙහි කඳුළැලි පුරා

පුතුන් එන මඟ බලා
සෙනෙහෙ මහිමය දරා
මඟ බලා සිටින්නී
මලානික නෙතු දල්වලා..

පුනරාගමනය

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්

කාලයේ වැලි තලා වසාගත් මතක පොත
මාරුතේකට පසුව ආයෙමත් මතුව ඇත
පාඩුවේ ගෙවන්නට හදාගත් මගෙම හිත
ජීවිතේ හොයනවා ඒ පොතේ අකුරු මත

සුන්දරයි අතීතය අසුන්දර තැන් ඇතත්
දුක්බරයි ඉඳහිටක තෙමුන කඳුලින් නෙතත්
අමතකයි ඇවිද ගිය පාරතොට දැන් මටත්
මල් පිපෙයි පරව යයි එමග පෙර ලෙස අදත්

බිඳුණු තැන් ගලපමින් අවුස්සා සෙහොන් කොත්
රිදුණු තැන් පිරිමදියි යළි යළිත් මිතුරු අත්
ඇසුණු කල මුමුනනා සිත නිවන පිරිත් සෙත්
හිඳිණු බැහැ නොදුටු සේ අතරමං වුනා සිත්

ගතවෙනා තත්පරෙත් වටිනාම කාලයක
ලතවෙලා කුමකටද මේ කෙටිම ජීවයක
සැනසිලා ඉනු පිණිස බොඳ නොවන සීනයක
හිත හදා යළි බැඳෙමි මග ඇරුණු මිතුදමක

හිමි සුතනඹු හිමි පෙම

නිශ්ශංක දිද්දෙණිය

නිශ්ශංක දිද්දෙණිය

සැමියා:
තුරුණු පෙමින් තුඟු හසුන් ළමැද යහනේ
කිති කවා හොවා මා සතපන පිය සොඳුරේ
එරුණු කිරෙන් සුව දෙවා එකම ළමැදේ
දරු පෙමට උතුරා කෙළි කවට සිනා නැගුණේ
කිම වෙනස සුරස පහසේ
කිව මැනවි මගෙම ළඳුනේ

බිරිඳ:
හිමි සඳුනි ඔබට දරු පෙමට සුවය සදනා !
පුළු'ලුකුල දෙතන තුඩු සාමය වෙනස් නොවනා
අනුරාග සිරුරු සිත් දැහැනක බැඳ ඔබ මා
පිදු සෙනේ වෙළී දරු පෙමින් සුදට හැරෙනා
විමතියකි රුහිරු උනනා
ලෝ දමක සැඟව තිබෙනා

2021.12.06

බඹර පැනයක්

නාලිකා සමන්කුමාරි - අරාබි එමීර් රාජ්‍යය

සුවඳට ඉව කරයි බඹරුන්
දුර ඈත
කඩුපුල් පිපුණෙ ඒකද ඔය
මහ රෑට
සේපාලිකා හැලිලා
හිමිදිරියේම
කොඳ මල් ගිලී මිය යයි
සඳ වතුරේම

උදයේ දිවා රෑ නෙක නෙක
මල් බෝම
විකසිත වෙවී මුකුලිත
වෙයි හැමදාම
සමනල බිඟුන් හට බියගුළු
කම් පාන
රෑ මල් කදෝපැණි සෙනෙහස
වින්දාද ....

මලකට පැවැත්මක්
තනියම නෑ නේද
කුමකට රහසෙ පිපිලා
මිය යනවාද
බිඟුතුඩුවකට රොන් බිඳුවක්
පිදුවාම
පරවෙන මලක නම්බුව අඩු
වෙනවාද ....

වසර අටකට පසුව හමුවිය
කතා පොත ඈ අතේ සිරවුණු
බිම තැබූ මොහොතකට මත්තෙන්
නොකියා ම යන්නට පිටත්වුණු

මුල් ම පිටුවෙහි ඇලවුණු
රෝසමල් පෙති කිහිපයකි වියැළුණු
පොත සමග මා තිළිණ කල බව
මට ටිකින් ටික මතක නැතිවුණු

මැදට ලං වන තුරු ම පිටු විය
එකදු දුහුවිලි පොදක් නොවැදුණු
තවත් පිටුවක් පෙරලනා විට
කඳුළු බිඳුවකි වැටී වියැළුණු

එතැන් සිට විය කඩින් කඩ මුත්
පිටු නොසන්සුන් අතින් පොඩිවුණු
ඉරුණු තැන් දෙක තුනක් හමුවිය
මටත් රහසින් පිළිසකර වුණු

පටුනටත් පෙර බව නිමා වුණු
ඇයට කියනට බැරිව ලතැවුණු
නිමාවට පිටු කිහිපයක් ඇති
තැනක පොත් සළකුණකි තනිවුණු

කළය පුරවමි කදුලින්

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

 

දැවී හළු වී ගිය දුමිදුන්
කෙරෙන් මතු වී අංකුරයක්.
පුදන්නට නුදුටු පිය මිතුරා හට
සයුරින් එතෙර ලක් පති.

රන් පාත්‍රයක වඩවා,
පිරිවර ලදුන් සමගිනා,
ලපටි බෝ සමිදුන්,
භාරදුනි පිය දියණි වෙත.

හෙළ දෙරන සැළුනා,
මහා අනුහස් බෙළෙනා,
බෝ සමිදු පිහිටුනා
උයන මහමෙව්නා.

කතකි ගෙන ආවේ,
තරණය කර මහා සමුදුර.
අහෝ! එනමුත් අද,
තහනම්‍ ය කතුනට බෝ මළුව.

පුදනට බෝ සමිඳු මම්,
ඈත මළුවේ ඉදං
පුරවමි කළය පැන්,
කදුළු පිරි දෑසින්.

POSITIVE WORLD

Omindu Bometh Fernando - Meopham school - year 9 London

We dream of a world of peace
Where there is no difference between rich and poor
We rise by lifting others
Helping Each other to find a way out

We see the clouds covering us
The things we see are mysterious
People are curious
We Must have hope and not be furious

We are all unique
Trying to make the world a better place
Freedom is the oxygen of the soul
We shall be happy and love will bless the world

Omindu Bometh
Meopham school
London

ආයාචනා ….

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ

ආයාචනා ....

තුරු ලතාවනි සුනිල වූ
පුබුදුවාලනු මැනවි කුසුමන්
ළදළු මත තුරු හිස් මුදුන් වල
සොඳුරු සුවඳක් විහිදුවා .

තාරකාවනි නිමල වූ
දිදුලමින් යළි සිනාසෙනු මැන
සීත රැයෙ තනිකම මකන්නට
අතීතයෙ සිතුවම් අඳින්නට.

නදී කොමලියෙ සොඳුරු වූ
ගලායනු මැන නොනැවතී ඔබ
රුදුරු බාධක ශිඛර අතරින්
සිඳු මවුන් වෙත සෙනෙහසින්.

සඳ කුමරියනි මිහිරි වූ
එබී එනු මැන වළා අතරින්
රුදුරු ඝනඳුරු අහස් තලයක
පාළු තනිකම මුදා ලන්නට.

සරණ සියොතුනි නුබ ගැබේ
මියුරු පදවැල් ගයනු නිරතුරු
වැටුනු පිණි බිඳු මැකී යනතුරු
හදවතේ මල් පෙති පිපෙන්නට.

වැහි වළාවනි අඳුරු වූ
පතිත වන්නට ඉඩ හරිනු මැන
එකට ගොනු වුනු ඔබේ කඳුළැලි
දැවෙන මා හද ගිනි නිවන්නට.

දරන සැම දුක් මිහි ලියේ
වැළඳ ගනු මැන දෑත් විහිදා
සෙනෙහසින් මා ඔබ තුරුළ වෙත
සියලු දුක් ගිනි නිවා ලන්නට.

ඕස්ට්‍රේලියානු පුරවැසිකම

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව

මල් බඳුන් සිසිල් පැන් රතු මේස රෙද්ද මත
හිඳ සිටිති නගරපති මැති ඇමති ප්‍රභූවරු
බහු වගට හිමි දනන් රැසකි නෙක බස් දොඩන
ඔවුනතර ලක් පුතෙකි නිරතුරුව හද ගැහෙන

එකින් එක හඬ ගසයි නුහුරු නුපුරුදු නමින්
නේක දන නැංග විට පිරිනැමේ සහතිකය
අතට අත දී නමා හිස නගා ප්‍රතිඥා
මල් පෝච්චිය රැගෙන මෙරට පුරවැසියකුව

ඇසේ සිංහල නමක් සැලෙන පා ඉදිරියට
අතැර යන ගමනක්ද ජනිත ලක් මව් දෙරණ
ඔබත් දැන් පිළිගැනේ ඔසී පුරවැසිකමට
බිරිතානි මහා රැජිණ නාමයෙන් දිවුරන්න

දුටු ගැමුණු රජුන් මෙන් වීරයකු වන්ට සිතු
ලක්දනට මෙහෙවරක් කරන්නට සිහින දුටු
නිදහසේ ඉගෙනුමේ ඵල ලැබූ ලක් පුතකු
ඔසී පුරවැසියෙක්ලු දේශප්‍රේමය එයලු

විස ම – භාග

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

අහෝ! මෙතනින් තනි ඉරක් ඇඳ
හරි මැදින් වෙන් කළ යුතුයි...
සම සමව එය බෙදාගෙන දැන්
සිතුවමක් ඇඳ ගත යුතුයි...
වර්ණ මුසු කළ පින්සලට මෘදු
සංයමය එක් කළ යුතුයි...
වෘත්තයේ ඇද පළුදු නොතියා
දෙකෙන් පරිධිය ගත යුතුයි..

වඳ ගැහැණිය

ප්‍රීති රන්දෙණිය

දස අවුරුදු විවාහයක් පෙති කරල් ගෝනියක්
කුස පොත්තේ කලළයක් නොපිළිසිඳි සාපයක්
සුබ දවසක අසුබ දසුනක් මම වඳ ගැහනියක්

පෙම්වතා ඉන්ද්‍රකීලයක්
බොළඳ වදන් මියුරු ස්වරෙන්
ස්වාමියා වැටඉන්නක්
කටුක වදන් බමන මතින්
මම පල නැති මල
කම්මලේ බැල්ලී

නැන්දම්මා පාට වෙනස් කල කටුසු දේනුව
නෑණා සුරබිදෙන
දරුවන් ගෙ කොටහලුවෙ
කිරි අම්මා දානෙක
මා තුං නොදකින්

ආතතිය විශාදිය
ඔලු කට්ට පුපුරන්න
කණපිරුනු කොහොඹ යුෂ
වැට ඉන්න වෙන පැලක
හිසහැරුනු තැන යන්නෙ
හද පැලුනු වැලහින්න

අහම්බය අහම්බය
අහෝ ඒ සුන්දර ම අහම්බය
අරුමැතිම නිමේෂය
හමුවීම පලමු පෙම
සිත සමග ගත නිවුනු
මදුරතම හෝරාව

දස දහස් මල් වෙඩිලි
අහස් කුස පුපුරුවා
අනෝතප්තයෙ නෙලුම්
සුවඳ දී පුබුදුවා
පත්තිනිය බිම හෙලූ
සළෙඹේ කිංකිණි වයා
මගෙ කුස ට සුදු ඇතෙක්
නෙලුම් කැකුලක් තබා

ඉතින් මම සුරබිදෙන
මගෙ හිමිගෙ පතිනි ළඳ
කටුසු දෙන මගෙ ම මව
නෑණා ගෙ පෙර මිතුරි

මාළිග සිහින

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

විසිතුරු දේදුණු පාටින්
දූපුතුන්ට සතුට අරන්
නැවෙන් ඇවිත් ඈත රටින්
කදිම ⁣⁣මෝස්තර තෝරල
අඩුවට දෙන්නම් සරසල
බැලුම් බෝල පොකුරු හදල

කැපවී බාරයක් වෙලා
සල්ලි ටිකක් ඉතුරු කලා
දුක නොබලා වෙර දරලා
ණයක් වුනා පෙර දිනයේ
කැටෙත් බිඳල හෙට උදයේ
ගේනව මාලෙත් ආයේ

වීදි පුරා ගොස් වටේට
වෙහෙසයි කළුවරයි අවට
කිඹුල බනිස් කාලා දැනට
අදත් ගමුද උළුඳු වඩේ
කෝවිල ලඟ තෝස කඩේ
දැන් දැන් බඩගින්න වැඩේ

සතියේ වාසනා දිනුම
බයිසිකලේ එනව ළඟම
අද නම් ගන්නව දෙකක්ම
මෝරාලා පූරුවෙ පින
මාළිගාව හිතේ තියෙන
හැකිවේවිද බිම තියන්න

හිත නැවතෙන තැන

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර

 

රෝස නටුවෙ කටු තිබුණට

වන බඹරෙක් පිටු පෑවද

කිසිමදාක රෝස මලට.

සමනලයින් මල් ගොමුවල

ලස්සන බලනව විතරද

පැණි පිරිච්ච මල් දැකලා

ඉවත බලා ගියෙ කවද්ද.

ගැටිස්සියන් ගැවසෙන තැන

කොලු ගැටයින් රෑන් පිටින්

සැරි සරන්නෙ නිකම් නොවෙයි

සිත ගිය තැන මාලිගාව.

සුදු හිම පියළි

වෛද්‍ය රුවන් එම් ජයතුංග - කැනඩාව

 

හිම පියළි වැටී
සුදුම සුදු වූ භුමියේ
කාලය හා අවකාශයෙන් මිදී
ඇවිද යමි දේවදාර ගස් අතරින්

වසන්ත සමයේ
චෙස්නට් ඇට සොයමින්
එහි මෙහි දිව ගිය
ලේන්නුනි නුඹලා කොහීද ?
ගස් බෙනවල සැගවී
යලි වසන්තය උදා වන තෙක්
යලි බලා ඉන්නවාද ?

සීතල සුළඟ නිසා
තුරු ගොමු මුදුනින්
ඇද වැටෙන හිම කැට
වැස්සක් සේ විසිරී යයි
මවමින් මනස්කළු රටා

උණුසුම සොයා
ඈත දේශයට පියඹා ගිය සියතුනි
හිමවලින් වැසී ගිය
තුරු ගොමුවල අලංකාරය
නුඹලාට කියා දෙන්නේ කවූද?

සෙනෙහස ඔබෙන් විදිමි

රොෂාන්ති විජේසිංහ  -  ඉතාලිය

සම්මතයෙන් පිට
අසම්මත පෙමක බැඳිලා
අපේ සිත් විඳවන තරම්
හිමි නැති බව දැන දැනත්
අපි අපිට ආදරේ කරන තරම්
රාගයක් නැති සෙනෙහස
හිතතුල පිරිලා තියන තරම්
ඔයාගේ ආදරණීය වදන් වලින්
මගෙ හිත සැනසෙන තරම්

විඳවපු ජීවිතය
ලස්සනට විදින්න
ඔයා මට කියලා දුන්නා
අඳුරු වලාවෙන් වැසුණු
මගෙ ජීවිතයට සඳක් වෙලා
ආලෝකය දුන්නේ ඔයා
අද මං සතුටින් ඉන්නවනම්
ඒ ඔයාගේ ආදරේ නිසා

ගතින් ළංවෙන්න බෑ තමයි
කිසිම දිනක එත්....
හිතින් ඔයා ම⁣ට දෙන සෙනෙහස
මගේ පණ හා සමානව වටිනවා
සමහරවිටක .....
ඔයාගේ ආදරේ මතක එක්කම
මම යන්න යාවී......ඔයත් නොදැනම
ඔයාව නොදැකම...... මේ ලෝකෙන්..

මැදියම් මනාලී

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

සකුණ ගී හඬ මැකී
රෑහි නද මතු වෙවී
නිහඬතාවය බින්ඳෙ
මාවවුල් තටුවකී
කිරි මූද කළඹලා
සඳ දියේ පෙඟි පෙඟී
හොරෙන් ඉඟි බිඟි කලා
රන් රුවට වශී වී...

සිතුම් කෙමි මල්වරව
නුරා ගිනිදැල් මැවී
මගබලා සිටියමුත්
පැතුම් සුණු විසුනු වී
විඳින්නට හෝ පුදන්නට
වරම් නොමැත්තී
බිම බලන් ඉකිගැසූ
මැදියම් මනාලී....

රණතිසර තුඩු ඝනව
නාඹරව ඉලිප්පී
බඹර පහසක සුවය
මග බැලූ දිගැස්සී
රොන් පිරූ මකරන්ද
සීරුවෙන් සැලි සැලී
තැලී පොඩි වී ගියා
ඇඟිලි තුඩු වල ගැටී....

අළුයමට ඉඟි කරන
රැස් කෙඳිති එබි එබී
එන විටදි සුසුම් ලා
පැලඳි සළු පිලි ඉරී
රැඳි සුවඳ දුර යවා
පවනකට ගතු නොකී
පෙති සලා නිහඬ වූ
මැදියම් මනාලී....

වතුර

රේණුකා බණ්ඩාරනායක - පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව

 

කඩා හැලෙන මහ වැස්සක්

කියන්න බැරි හිතේ බියක්

පෙර දිනයක අත්දැකීම

හිතන්න බැරි ගංවතුරක්

 

දෙගොඩ තලා වතුර ගිහින්

ගස්වැල් ටික කැඩී ගියා

උදේ හවා වතුර දැම්ම

ඒ මහන්සි ගලා ගියා

 

කරවෙන විට මහ රස්නේ

සරු කෙරුවේ වතුර බිදයි

මහ වැස්සට බිමට ඇවිත්

නැති කෙරුවෙත් වතුර තමයි

 

වලාකුලේ රැගෙන ඇවිත්

පොඩි වැස්සක් අපට දෙන්න

ලොකු වැස්සක ගංවතුරෙන්

අනේ අපිව බේරාගන්න

අහිමි වුවත්

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

මගුල්පෝරුව
සිතට නෑ දුක්
ගිලිහුනත් දෑතේ
රන් වළලු හැඩ වැඩ කළ
නොබැලුවත්
හැඩරුව
මගුල් සාරියේ
ගැට ගසා වේල්පට
ගියේ ලොකු දෝණි
මනාලයෙක් නැති
මගුල් ගෙදරක
එතෙර වන්නට
සසර දුක් වලින්

කිතුල මල් රෑන් වන්
දිගු කෙස් කළඹ
කපා බිම හෙළු පසු
හිස වටා කරකැවෙන
යන්තරය මොහොතකින්
මතු කළේ මුඩු හිස

ඉනුවේය ගිහි ඇදුම
පැළැද බුද්ධ චීවරය
පාත්‍රය අතට ගෙන
වැඩියාය බුදු ගෙට
ජනේරුව එළඹෙන්නට
කළියෙන් මොහොතකට

අපි තුන්දෙනා

රංජිත් ද සිල්වා - නවසීලන්තය

අපි තුන්දෙනා
රහීම් - වේලායුදන් - මමත්
එකම හිරුගේ රැස් විඳිමින්

බස් නැවතුමේ - පාසැල් සේවය බස් එක එනතුරු
කැඩුණු සිංහලෙන් - කැඩුණු දෙමලෙන්
කතා කරමින් සිටි හැටි - අදත් මතක් වෙනවා
පාසැල් බසයේ අපි ඉඳ ගන්නෙත් එකම සීට් එකේ

පාසැල් බස් එක ටවුමට සේන්දු වුනාම
අපි බසයෙන් බැසගන්නෙත් එකටම
සිංහල බෞද්ධ පාසැලට මම යද්දී
රහීම් ගියා මුස්ලිම් ඉස්කෝලෙට
වේලායුදන් ගියා ද්‍රවිඩ පාසැලට

පාසැල් සේවය බසයේ
උදේ හවස එකම සීට් එකේ ගියාවාගේ
එකම ඉස්කෝලෙකට අපිට යන්න ලැබුනනම්
අපි ඔක්කොම වැසියෝ - ඔක්කොම නෑදෑයෝ

26 දෙසැම්බර් 2021

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැලළිහිණිය වදු කැළණිය පුරවරට

මැණික් වල කාන්ති කදම්භය කොත් මුදුනට
පැමිණ තිබෙන්නාවූ, විමානයන් වටා බැඳ තිබෙන
මිණි ගෙඩි ඇති, කොඩි වලින් ගහන වූ, කිසි
විටෙකත් පැරණි නොවී විටින් විට රමනිය
වන්නා වූ මනහර කැළණි නගරයට ඇතුල් වන්න.

අයිකනය

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

 

දැමුවෙමි මුහුණු පොතට
මම, මගේම පින්තූරයක් ,
වියපත්ව ගිය මෙකල.

සිටිනා ලෙස සැබැවින්ම
පින්තාරු නොකර
ඇස ,තොල හෝ වත

දැකගනු පිණිස අඩසියවසක්
ඉක්ම ගිය තැන මා
එසැටියෙන් ,
දත් නොදත්
මුහුණු පොතේ මා සකියන්ට.

නොවිණි එකදු හෝ
කොමෙන්ටුවක්
හද පාරවන
"ලස්සනයි"
"ලස්සනයි"
"තාමත් ඉස්කෝලේ යන
කාලේ වාගෙමයි "
දත් නොදත් සියල්ලන්
එලෙසින් කියයි.

ඉසියුම් ප්‍රහර්ෂයක්
පළමුව.......

එහෙත් සිතුණි මට එක්වරම

"මොනතරම් උදාසීන ද
ඒ පැසසුම් ගොන්න ?"

එහෙත් බාරගතිමි සටහන් කොට
හදවතක් ඒ සැම ඉදිරිපිට
සිඹින කලෙක මෙන් දැනුණි
මට එවිට
ඉටිමල් මිටක් සුගන්ධය රහිත

මදින් මද කුදුවෙන
අවපස සඳ දුටිමි
ගගනතින් එසඳ.....

හොවා දෙනු

සපුමල් බන්ඩාර - ලන්ඩනය

හොවාදෙනු පරහට
තමා සම්මතයේ පිහිටාසිට
දැන් ඕවායෙන් වැඩක්නැත
කවුරැ මේවා ඉගනගනු ඇත

ඇදල ගත්ත දමල ගැහුව
මලක් පිපුන මල පරවුන
පහලින් පහලට ඇදී යනවිට
පිපීඑන මල් පරවෙලා ඇත

කියන්නා කෙසේ කීවද
අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුමද
සිතා නොසිතා බෙදාලන විට
පට්ටපල් වුවද බොරැ නොවනු ඇත

ගින්නක් නැතිව දුමක් නගීද
ඇවිලෙන ගින්නට පිදුරැ දාමුද
සියල්ල තොරතුරැයයි සිතාගෙන
පොතකින් මුහුනු වසාගෙන ඇත

භාග්‍යය

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

සයිමන් වීය ඔහු නම,
සයිරින් ගමේ වාසය.
පැමිණියේ ජෙරුසලමට,
සිරි බලන්ටයි එ පුරවර.

ඇදෙනුයේ මහ සෙනග,
පෙරහරක් දෝ එනුවර?
කෙනෙකු ගෙනයති පෙරටුව,
කුරුසයකි ඔහු කර මත.

දුබල ගත ඇති මිනිසා,
ඇද වැටෙයි ක්ලාන්තව,
නැවත නැවතත් බිම,
දැරිය නොහැකිව මහ බර.

සෙබල කැළ රෝමානු,
පහර දෙති කසයෙන් නොමදව.
අනේ! කිසිවෙක් නොමැතිද?
මුදා ලන්නට කුරුසියේ බර.

බොහෝ කල් ඔහු හා සැරූ,
කොයිද? ඔහුගේ සගයෝ.
ජෝන්, සයිමන්, මැතිව්,
පීටර්, පිලිප්, තෝමස්?
ඇයි ඔවුන් නොඑන්නේ?
කුරුසියේ බර දැරුමට.

වට පිට බලති සෙබළුන්,
සොයා ගැනුමට කෙනෙක්,
කුරුසිය රැගෙන යන්නට.
කෙලෙස හෝ යා යුතු හෙයින්,
ගොල්ගොතා කදු මුදුනට.

දකිති උහු සයිමන්,
සයිරින් ගමෙන් පැමිණුනු.
‘වහා මෙහි එව. ගණු මේ
කුරුසිය තොප කර මතට’.

වට පිට බලයි මොහොතක්.
පැන යා හැකිය විගසින්,
මිදී සෙබළුන් ගෙන්,
එන්නට පෙර ඔවුන්.

නෙත ගැටෙයි ඔහුගේ,
ස්වාමි දරුවානන් නෙත් යුග.
ලෙයින් නැහැවී සිටිනා,
කස පහර ඉවසනු නොහැකිව.

කිසිදා නොදුටු මුත් ඔහු,
කෙසේ යන්නද? ඔහු අත හැර,
ගත්තා කුරුසිය කරට,
සයිරින් ගමේ සයිමන්.

කෝ දැන් අර ගෝලයෝ දොලොස?

එකෙක් පාවා දුනිය,
තවෙකෙක් නොදන්නා බව කීය.
සමහරෙක් පැන ගොස්ය.
කෙනෙක් එති සැගවී දන අතර.

ඔවුනට නොවී භාග්‍යය,
දරනට කුරුසියේ බර.
මොහොතක සුවය දෙන්නට,
සමිදු හට මරණයට කැපවූ.

සයිරින් ගමේ සයිමන්,
ලැබු ඒ උතුම් භාග්‍යය.

… අහඹුවක්….

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය

 

නගරය දෙදරවන සැණකෙළියකි එදින...
පිරිවර පුර ලියන් රඟ දෙත් මන බඳින...
උන් මැද එක් ලඳක් විය සිඟමන් යදින...
තිගැසී මගේ හිත ඈ ගත්තා හැඳින...

චූදිත හිතට නිදහස දෙනු නිසා බැරී...
අණ දෙමි මතක මත යන ලෙස නොමැරි මැරී..
කලකට කලින් මා පෙම් කළ සුපෙම්බරී...
කළ පව් මටත් ඵල දෙයි මතු කවදා හරි...

හදවත පරණ මතකය දෙස හරවනවා...
සිතුවත් රුහිරු කඳ පපුවේ හිර වෙනවා...
කිරි කැටි සිනා ඇගෙ කොල පත පුරවනවා...
මගෙ ලේ හිනැහෙමින් තන කිරි උරවනවා...

මා වෙත ඔසවමින් උකුලෙහි හුන් දැරිය...
ඇසුවා මතකදැයි ඔබ මට කළ හරිය...
දැන දැන මා නිසා බර වුණු බව නෙරිය...
කීවෙමි " ඔබව මට හඳුනන්නට බැරිය"...

(නො) පෙනෙන දෙනෙත්

සන්ධ්‍යා ද සිල්වා

(නො) පෙනෙන දෙනෙත් - සන්ධ්‍යා ද සිල්වා

මහ මග මැද දැල්වෙන මහ ගිනි මැළයක්
වටා රොක් වුනු නිරි-සතුන් පිරිසක්
නරඹති එය- ඔවුනට අසිරිමත් දසුනක්
වීඩියෝ කරති රසවිඳින්නට-එය මට අපුලක්

මුහුණු වැස්මට ඉහළින් පෙනෙන-සොයුරකුගේ දුක්බර දෑසක්
ආදරණීය බිරිඳකගේ සන්සුන්, විඩාබර, අසරණ දෙනෙතක්
අතර දිවගිය මා නෙත් නැවතුනා අබියස -වික්ෂිප්ත බැල්මක්
පසක් කරමින් එය-ඔවුනට කුරිරු දසුනක්

ළමාවිය පියමන් කරමින්-ලොවට එබිකම් කරන
පුතුගේ දෑසින් නුදුටිමි කෝපයක් හෝ ශෝකයක්
දැනුනේද ඒ මනසට හද සසළ කළ අවනඩුවක්
කෙසේ පුරවාවිද ඒ හිස් බව වැඩුණු පසු ඔහු - එය ගැටලුවක්

දයාබර මව්තුමිය රකීවි ඒ තැලුණු සිත- ඉඩ නොදේවි
පුරවන්නට හිස්බව වෛරයෙන් හා හීනමානයෙන්
හාමුදුරුවන් පහදාවි කේ්රාධයේ ආදීනව-නෑසියන් උගන්වාවි
ආදරය විශ්වාසය-ඔහු වැඩේවි සමබර මිනිසෙකු ලෙසින්

යකඩ කූරු අතරින් ආඩම්බරයෙන් හිස ඔසවා
හෙළන හිස් බැල්ම - සසළ කළා මා සිත මොහොතක්
එහි නෑ පසුතැවීමක්, ශෝකයක්,වෛරයක් හෝ බියක්
මානව දයාව නොභඳුනන - ඔවුනට එය සාමාන්‍ය දෙයක්

මළ පොත අකුර නුගත්-කඩතුරාව තුළින් අඳුරු ලොව දකින
මෑණිවරුනට හැකිවේද පහදන්න මිනිස් ජීවිතයක අරුමය
එකම පොතකට යොමුවු බොර පැහැ දෑස්- කිසිදා දකීවිද
එකම දෙවියන් මැවු ලොව තුළ-අනුන්ගේ දරුවන් නැති බව

ඉම්රාන් ඛාන් මැතිඳුනි, ඔබටයි මේ අභියෝගය
අවදි කරන්න ඒ දෑස්- දකින්නට ලෝකයේ සුන්දරත්වය

රන්මිණි සරු රන් පුන් කලසක්
තේජස උතුරන රුසිරු රුවක්
කරුණා වෑහෙන උතුම් හදක්
පණනල, මා, දිවිහිමි, ... වාසනාවක් //

ප්‍රසන්න තුෂර ප්‍රේම ගීතයක්
රස පොදි බැඳි රොන් ආකාරයක්
උණුහුමට වෙලුණු සුමට හාදුවක්
උතුරන ආදරේ... // උල්පතක් ...

රන්මිණි සරු රන් පුන් කලසක්...

දැනුමෙන් ලොව දන මන එකලූ
චෙදැසින් මනු හදවත් සැනසූ
මා සිත ගත ආලයෙන් නැහැවූ
උත්තම ප්‍රිය ඔබ මාසතු වූ //

රන්මිණි සරු රන් පුන් කලසක් ...

ගීතය මෙතනින්

ගායනය : චමිලා තුෂාරි
සංගීතය : දිනේෂා ඩයස්

සැනසුම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

තනිවූ මවක ලෙස නළලේ ඇඳි පරිදී
දරුවූ අයට දිවියම දියවිය මගදී
නැතිවූ නුවණ කඳුලින් ඉවසා ඉද්දී
මුහු වූ තනිකමක් දැනුණා හිත ළඟදී

ගෙදරක් සදිසි වහලක් තිබුණත් හිසට
සුසුමක් සමඟ කඳුළක් දැනුණේ හිතට
සතුටක් කියන බිඳුවක් නොතිබුණි අවට
කරුමක්කාර මිනිහෙක් මොකටද නමට

***

දැන් මගෙ ගෙපැල මාලිගයකි පිරි යසස
පින්වත් වීමි රැජිණක වන්නට පියස
දෙන්නගෙ වැඩෙන සෙනෙහස ඈතට අහස
පැන් වී එකතුවෙයි සාගරයක් විලස

සතුටක් සදාකාලිකවම රැඳෙන සඳ
කොලයක් ඇයි ද නීතිය හා තියා බැඳ
සවිමත් පැලක උණුසුම ආදරෙන් ලද
කවියක් වගෙයි ගැලපෙන්නට ගෙතූ පද

වෙඩි කෑ මගේ කමිසය

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර

සීතල සමණොලේ මහ මූකලන් මැද
සරමක් බැනියමක් නෑ, අමුඩයක් ඇඳ
බත් පත බෙදා මා අත ගරුසරින් පුද
වාඩියෙ උයපු ආතා දෙව් ලොවේ අද

වටාපොතක් වැනි රැවුලක් වවාගෙන
මුරුතැන් ඇලෙන් දිය නා කෙහෙ විදාගෙන.
ලහින් ගියත් රන් ලයිටේ සුවඳ එන
ආතා මිසක අදටත් නොදනිමිය නම

ඇත්තොට දෙහන්කරගෙන වැහි වහින්නේ
ගිනි ගොඩ පමණි පය පාමුල තැවෙන්නේ
රෑ මැදියමේ උලලේනිය හඬන්නේ
"කහට අබින්දක් දෙංඤං අහන්නේ

උන්දැම පෙරන් ගෑ පොල් කට්ට මනා
කහට ගලබොඩින් ආරොං කඩෙන් ගෙනා
හකුරු ඇස්ස දෑතින් දෙක තුනට කඩා
ඇනබාගනි, මැහි පාමුල නොකර කතා

දවසක් බොහොම නිහඬයි රෑ මැදියාමේ
උන්දෑ මගේ කණලඟ කනුකුනු ගෑවේ
"ඔන්නොහෙ ඉම්මු නාකද ඉන්නා තාලේ
යන්නම ඕනිමද ඔය ලොකු ඉස්කෝලේ"

වහිනදාට පැල්බැඳගෙන වහින්නේ
නියං කලට පැලි වළනුත් පැලෙන්නේ
බත් ඇති තැනයි කොස් මුට්ටිත් ඉදෙන්නේ
ඔයවගෙ බණ පදයි උන්දෑ දෙසන්නේ

දුරෙක්කන්ද ගම, බක් මහටයි යන්නේ
සුදු කොටු සරම සුදු සාලුව උරලන්නේ
ලිග් ගල් තුනට වැදලයි පිටවී යන්නේ
ඉහතෙල් ඇඹුල් ගාලයි ආපහු එන්නේ

මල්වල පිරිවෙනේ මා අකුරට යන කාලේ
පරණ කමිසයක් නුඹ ඉල්ලපු ලීලේ
ඒ කමිසය පිටින් නුඹ පුතු වෙඩි කෑවේ
ගිලීමලේ මැම්බර පඩි නැති කාලේ

"මහත්තයා දැකලා මං දුව ආවේ"
මගෙ කමිසේ ඇඳි මිනිහා මට කීවේ
මා පටවලා දළු ලොරියට හැන්දෑවේ
ඉන්පසු කිසිදාක නෑ ඔහු හමුවූවේ

හැට්ට කටුවෙ ඇමිනූ බාටා පතුරු
මිරිවැඩි සඟල පයලූ පිංවත් කුමරු
දෙකකුල් පුරා කූඩැල්ලෝ ලේ පුපුරු
මුහුනේ රැවුල් කොට තැන තැන තව ඉතුරු

කූද්දාගෙන ගොහින් දවසක් රෑ ජාමේ
"එංඤං" කීවට නෑ පැදුරට ආවේ
පැටවුන් රෑ බතට රොටි ඉරුවකි කෑවේ
කට පුංචාගෙ කට සැරටයි බඩ දෑවේ

"පැටවුන් තනිවෙලා මං එන් නෑ ආයේ "
තොල්පොට නෙමෙයි දෑසයි ඒ ටික කීවේ
වාඩියෙ ගිණිමැලේ නෑ, රෑ දළු ලෑවේ
ඒ රෑ මමයි, උලලේනිට දුක කීවේ

සිරි විකුම් වළප

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

අසනීපෙ

වෛද්‍ය සමන්ත කේ. සෙනෙවිරත්න - මහනුවර

වෙනද ලෙඩකට ගෙදර හිටියට
සහලෝල උණ මෙදා හැදුණම
වාට්ටුවෙ නවතින්ට ආවේ
ගෙදර ඉන්ටම බැරිම බැරි තැන

ඔළුව කැක්කුම තවම අඩු නැත
බෙහෙත් ලැබුණට නියම විදිහට
වැතිරිලා මං ඇඳේ හිටියේ
ගෙදර කුස්සිය ගැනම හිත හිත

හේනෙ වැල් ටික මැළවෙලා ඇති
වැඩ කරන්නට ළමයි ලොකු මදි
වෙනද උන් මං එක්ක යන්නේ
ගෙදර තියලා යන්ට බැරුවට

නංගි මල්ලී දඟයො දෙන්නම
බලන් ඇති ලොකු ළමය තනියම
තාත්තා උන් දාලා මැරුණේ
උන්ගෙමත් නොව මගේ අපලෙට

සැනසිල්ලේ ඇති ගිහින් පරලොව
එන්ට ආසයි මුණ ගැහෙන්නට
දරු පැටව් ටික තනි කරන්නේ
කොහොම කියලා කියා දෙනවද

මුහුදට දුක දැනේවිද ?

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

 

සිහිපත් කරමි අද වැනි සනි දිනෙක එදා
පැරදුනු මගේ දුව රළ අතර පොර බදා
වෙරළට ආමි පෙළෙනා වියොවකින් සදා
මුහුදට හැකි වේද මගෙ දුක ගන්න බෙදා

දිව යයි ඇස් සිතිජය වෙත නොදැනී ම
වළාකුලින් අඳුරුයි එතැනත් බෝ ම
හිරු ගිලිලා ගියෙ කොතනද වාගේ ම
මගෙ දුව ගිලුනු තැන සොයමිද මම කෝ ම

මුහුද මොහොතකට නිසලව හඬ නොත ලා
සෙමින් බිඳුනු රළ වෙරළට පා කර ලා
පෙණ කැටි විසිරලා මාගේ පා දොව ලා
කීවේ සමාවෙන්නද දුන් දුක දැනි ලා

17/12/2021

යථාර්ථය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

 

සඳ එළිය බොදව ගිය
රාත්‍රිය සුන්දරයි
ලෙසින් ලොව සිතන්නේ
හිරු එළිය නිවී ගිය
පසුව කුර ගගා එන
සන්ධ්‍යාව අබියසයි

යස ඉසුරු පුරෝගෙන
මාළිගා හදාගෙන
දූෂණය වවාගෙන
භීෂණය වඩාගෙන
අන් වස්තු දරාගෙන
ධන කුවේරයන් සේ
මිහිකතට උඩින් යන
බොහෝ අය සිතන්නේ
රජවරුන් යයි සිතා
දුප්පතුන් ලොව නසා
පරපුරෙන් පරපුරට
සැප විදිය යුතුම යැයි
සසර සරනා තුරා

අවාරයේ ගලා ආ
සත් මුහුදු කළඹලා
සුනාමියකට හසුව
සැනින් සැම අහිමි වී
මහ මඟට වැටුණු පසු
කෙසේ මුත් පරපුරම
තමනටද නැගිටින්න
අනුන්ගෙන් ගත් දෙයට
දෙඅත් ඔහුනටම පා
පුලන්නන් වී ලොවේ
සිටින්නට සිදුවෙතේ
ගමන නිමවෙන.තුරා

මැරෙන තුරු නොතේරෙන
ලෝදහම දැනදැනත්
මෙසේ කල් ගෙවන්නෝ
සඳ එළියෙ හිරු එළියේ
වෙනස නාදුනන තුරු
ධනය ළඟ බලය ළඟ
දෝලනය වෙනු පෙනේ

නව අවුරුදු පැතුම

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

ගුණ නුවණ වැඩි වන
යහ ගුණය සපිරුන
සෙනෙහෙ මල් පිබිදෙන
වේවා නව වසර හැම ලෙසින් ජයවෙන
බිළිදු සිත් සනහන
කිරි මවුන් විලසින
රෝ බියෙන් දුරුවන
සිනහ දේවා දසන් පෙන්වන
ඇති හැකි සැවොම සතුටින්
නැති බැරි අයට දෙන දිරියෙන්
එක කුස උපන් උන් විලසින්
නව වසරෙ මුළු ලොවම හිනැහෙන්
මනසින් උතුම් වෙන
ගුණ දම් වලින් සැරසුන
රුවැති නුවණැති දන
නිදුක් වේවා සතුට සමගින

රෝස මලක පැතුම

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම

හේමන්ත ඍතුවේ සීතලට ගල් ගැසුණු
ලස්සනම රෝසමල වසන්තයේ මුණ ගැසුණු
හමා ගිය මාරුතය ඇය කෙරේ නෙත ගැටුණු
දුටු නිසා ඇගේ වත හදවතම හිරි වැටුණු

කිම ද නුබ ගල් ගැසී මේ ලෙසින් සිටින්නේ
මේ සීත කුණාටුව නොමැති දෝ දැනෙන්නේ
කවුරු හෝ එනතුරු ද පෙරමග ම බලන්නේ
කාට දෝ මම නුබේ පණිවිඩය යවන්නේ

සිනාසුණු රෝස මල මේ ලෙසින් පැවසුවා
මගෙන් මත් වුණු බඹරා ආදරෙන් හද රුවා
බලාගෙන සිටින්නේ මල් පෙතිත් පුබුදුවා
වසන්තය එනතුරුයි ආදරය පතුරුවා

දුක,විපත දෙන පව

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

දුක, විපත දෙන පව

දවසින් දවස අපි වයසට යනවාය
කළ කම් පසුපසින් නොහැරම එනවාය
රූපය වෙනස්වී සවි ගිලිහෙනවාය
සිත ගත දවා පාපය ඵල දෙනවාය

පෙර කළ පාප ගැන දැනුමක් නැතුවාය
පිනකුත් තිබේදැයි නොම වැටහෙනවාය
පින් ඵල ගෙවී පව් ඵල මතුවෙනවාය
අසරණ වී එවිට කඳුළැලි බොනවාය

සැම විට අන් අයගෙ දොස් දැක මතුරාය
පව් බිජු සතර අත සතුටින් වපුරාය
පව් ඵල තමා වට කරගෙන උතුරාය
පාපය සැමට දුක ගෙන දෙන සතුරාය

දුක දොස සමඟ ජීවිතයම දෙදරාය
යස ගොස තෙදස බල සිඳ බිඳ පෙරලාය
සෙත සුව සතුට සැනසුම නිති දුරලාය
කළ පව සසර සුව නිවනද වළකාය

.

හිමිසදුනි දයාබර

තුසිතා සුරේකා - මීගමුව

රැය පුරා සැරිසරන ස්වප්නයකි රිදුම්දෙන
ඉන්ද්‍රජාලා මවන වස්සාන මායාව
හිත මුඩු කරන තනිකම
අමාවක රැයකි ඝන, කැස්බෑ නෙතකි හිත
නැතුව එක මලක්වත් නටු අග නග්නව
ගිලිහුන පත්‍ර සෙනෙහස් දෙවට වසාගෙන
වැලපුමකි රිදුම්දෙන ,
උලලේනියෙ නොහඩා ඉදින් මගෙ දුකට හැමදාම
ගලන්නැති කදුලු වල, දරාගනු නොහී බර
හිරවෙලා දෙලැම මැද
රන් හුයෙන් බැදි දෑත, යද්දි පියඹා ඈත
හිස් වුනා ලෝකයම
පියාඹන අශ්වයන්
අහස් මාලිගාවන්
රන් මසුද කසීසලු
මොටද මට නුඹ නැතුව
සත් සමුදුරෙන් පිට
මම මෙපිට නුඹ ඈත
කෙසේ ඉවසම්ද මම
හිත දවන මේ තනිය
හිමිසදුනි දයාබර,

පයිතගරස්ටත් ප්‍රේමයක් තිබුනද?

තුෂාරි ජයසිංහ - මහනුවර

සමකෝණි නොවු
ත්‍රිකෝණයක
පාද අසමාන විය
අප මෙන්ම
නෙක නෙක දිගින් යුත්.

සබඳ .....

අසමපාද මත ඇඳි
සම චතුරස්‍ර වීමු
අපි
ඇය හා මා .

අපේ මුළු වර්ග
ඵලයම
එකතු කොට ගත්
කල
නුඹට හිමි පාදයේ දිගට
සම විය අප
දෙදෙනම.

එහෙත් සිදුවූ දෙයක
අරුමය
කර්ණය වූ
නුඹ
ලම්භකව ඇදි ඉරෙන්
කොටු වී සිටියෙමු
අපි
අපේ ලෝකවල.

එතනදිත්
මා
වැඩි ඉඩක් දී
ඇයට
සිටියෙමි කොනක
කුඩා කෝණයක් තුරුළු
කරගෙන

නොදනිමි සබඳ
තිබුනාදැයි
පයිතගරස්ටත්
මේ වගේ ප්‍රේමයක්.

වාසනා

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එක්සත් රාජධානිය

 

රන් ගොයම් තුරු ලපලු ලිය වැල් පීදෙනා
පුන් සදෙන් රැස් ගෙන නෙලුම් විල් පායනා
නන් දෙසින් මීදුම් මවා දිය වෑහෙනා
පින් බිමක් වී මා සොයා ආ වාසනා

ගිම් නිවා කවි ගී පබලු මුතු පාදනා
අවිදු දූවිලි වැකුනු සිත් මල් දෝවනා
සිත් පිනා දෙසවන් වසඟ කල ගායනා
මුදු බසක් වී මා සොයා ආ වාසනා

මිලින දිරි මල් පුබුදුවා සිහ නාදෙනා
ඝන තිමිර පට ඉරා අරුනලු සාදනා
කම්කටොලු සඟවා දරා දුක් වේදනා
මාපියන් වී මා සොයා ආ වාසනා

සරණාගතයන් වෙනුවෙනි

උදයංග අමරසේකර - ප්‍රංශය

පීටර් බකොව්ස්කි (Peter Bakowski,1954) විසිනි

සියලු නිවාස නටබුන්ව ගොසිනි
කටකතා ආදියට නිමක් නැත
ඔබේ නෑදෑයෝ මෙවනවිටත්
මළකඳන්ව ඇත්තාහ

ඔබ මඟට ඇවැසි දේ
ගමන් මල්ලක ලන්නෙහි ය
ඔබ ඔබේ යාඥා
බූරුවෙකු පිට ගැටලන්නෙහි ය

සෑම ශබ්දයක් ගැන ම
සෑම සෙවනැල්ලක් ගැන ම
අවධානයෙන් සිටිය යුතු වේ

දැන් ඔබ සතු එක ම ධනය
වෙඩිපහර සහ ඔබ අතර ඇති
දුර පමණි

මේ හා බැඳි සේයාරුව අවම වස්තු ඡායාරූප කලාව

(Minimalism Photography) පිළිබඳ ප්‍රාමාණික

හොසේන් සාර් ( Hossein Zare) විසිනි.

නුඹට

උද්‍යා මාධවී

මල් පිපුණු උයනක්ය නුඹේ ලොව
විහඟ ගී නොඅඩුවම කනවැකෙන
වසන්තය කිසිදා හැර නොයන
ඉතිං දනිමි
අවැසි නැති බව
තත් බිදුනු වීනා හඩ,මා වයන
ගොළු කලෙමි එය
නැවත හඬ නොනැගෙනා ලෙසට
සඟව තබන්නෙමි
ගිම්හානයේ අදුරුතම දින අතර
අවැසි වූව හොත්
නුඹ නමින් ගී ගයනු පිණිස
එනමුදු..
නුඹට එය කිසිදාක
අවැසි නොවේවා.....

සෙබල මවකගේ සිතුවිලි

ඒ .පී.ඒ. විජයන්ති මාලා - අකරවත්ත- මූණමල් දෙණිය

 

දස දහස් වර ඉපිද මැරෙනවා මම පුතුනි
රස රහස් රකිනවා නමුදු හිත බොහොතුටිනි
පස වන් දහස් කල් ඔබේ සිරි නම දිළිණි
ඉස පිරිත් පැන් මගේ පුතු රකිනු දෙව් රජුනි

පුතු උපන්දාමයි පියා ගියෙ හැර දමා
සතු දෙයක් නැත උසට දෑත් මිස ආ හමා
නතු වෙලා කාහටත් සොයා ගත් දේ තමා
මතු වුණා දරු දුකම කුස පිරෙව්වෙමි මෙමා

හය හතර තේරෙනා කාලෙදී පටන් පුතු
සතු වුණේ එඩිතරයි කියන ඒ වදන් තතු
මතු වෙලා නැති කමම ලෝකයක් තමන්පැතු
ගතු අදිටනක් මේ ලෙස රට රකින්නට මතු

වැඩ මුරය බැරැක්කෙලු එහෙම කීවේ කොව්ව
වෙඩිමුරය තියනවලු උඹත් තිව්වද එව්ව
අඬහැරය සතුරන්ගෙ කව්ද කීවේ ඔව්ව
ඉඩ හරය මගෙ හිතෙහි පුතා දන්නව මෙව්ව

ඉඳ මේ ගෙපැළ තුළ උඹ ගිය දා ඉඳල
බිඳ අඳුර බලා ඉමි එන දිනය කෝ කියල
සිඳ සියල් සෝ සුසුම් උපන්බිම නම තියල
අද හෙටම වරෙන් මගෙපුතේ මම ගැනහිතල

 

පෑ උදුල් සිතියම් ලෙසින් සිටිනේ සුරන් සහ සක් නුබේ
රූ නිමල් සුරලිය තොසින් බැස රඟ කෙරෙත් නර රජ සෙබේ
මිරි කල් තත් සුන් වෙණින් බෝසත් ඔවුන් කරවයි ලොබේ
මේ සියල් විසිතුරු උතුම් එක තැන දැකුම් කිකලෙක ලැබේ

ප්‍රකාශිත වූ දිළිසෙන සිතියම් ලෙසින් දෙවියන් සමඟ සක්
දෙවිඳු අහසෙහි විය. රූපයෙන් නිර්මල දිව්‍ය කාන්තාවෝ
සතුටින් බැස මිනිස් රාජ සබයෙහි නර්තනය කරති.
මිහිරි සිත් පිනවන තත් සුන් වීණාවෙන් බෝධි සත්ත්වයෝ
ඔවුන් තුල ආශාව වඩවති. මේ සියළු උතුම් විසිතුරු එක
ස්ථානයක දර්ශනයට ලැබීම කවර කාලයක ලැබේවිද ?

කැමති නැද්ද

වජිර ජයවර්ධන

ඉර වුනත් කැමති ඇති
වෙනස් වී මතුවෙන්න
සඳ වුනත් කැමති ඇති
දවල්ටත් පායන්න
මල් වුනත් කැමති ඇති
පිපිලාම හිනැහෙන්න
ගස උනත් කැමති ඇති
මල් වගේ මතුවෙන්න

ආදරේ මතුවෙන්න
හදවතට ඉඩ දෙන්න
ලැබුන තැන නවතින්න
නැවතිලා යළි යන්න
එපා හිත ගල් කරන්
වාඩි වී ඇලවෙන්න
දෙපා සවිමත් නිසා
නිදහසේ ඇවිදින්න