ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තුන්වන ණය වාරිකය

තුන්වන ණය වාරිකය

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2024-March

අල්ලට සිඟා කන්නට හිස නමනු බැරි
කුල්ලට පෙනේරෙට සැලෙනා ලැමකි පිරී
මල්ලට දමයි රබ්බඩ, තද කරන් නෙරී
මුල්ලට වෙන්න කඩ පිල උඩ කතක් සිරී

වෙස්සන්තර කඩේ බඩ තඩි මුදලාලි
පස් පංගුවත් කිරුවේ වහගෙන ලෑලි
කෙස් සුදු, හාමිනේ උන්දැගෙ සුදුමෑලි
ඇස් වහගෙනයි මුදලාලිගෙ යම පාලී

මිලක් කියනු බෑ රබ්බඩ දෙක තුනට
දොලක් පහල විය බනිසක්, දැක කටට
ඇසක් ගසා, වෙස්සන්තර කී ලෙසට
දෙකක් බනිස් බෑ, පලුවක් හෙට ණයට

අල්ලපු වැටේ රබ්බඩ ගහ පල දරපු
හොල්ලපු අතක් නෑ, වවුලෝම බිම හලපු
ඉන් පහු කිසිම පුවකක් නෑ ඈ දැකපු
කල් පහු විනිද බනිසය සිහිනෙන් විකපු

බනිසේ සීනි නාවර, තුන් යම සිහිවේ
පවසේ තරම වෙස්සන්තර නෑ දුටුවේ
අහසේ තාරකා වහලේ හිල් වැසුවේ
දවසේ බනිස, ඉන්පසු අගුවෙයි දුටුවේ

වවුල් මිතුරනේ මායිම් නොම තකන
අවුල් නෑ, පුවක් ගෙන එව් දුරු රටින
ලිහිල් කර නෙරිය නොම රිදෙනා ලෙසට
දවල් රෑ පුවක් හල මැන ඇද ලගට