ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තුටු සිනා රැඳී ඇත දරුවන්ගෙ මුහුණුවල

තුටු සිනා රැඳී ඇත දරුවන්ගෙ මුහුණුවල

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2024-March

ජනී ජනයා පිරුණු සල් පිල් ය දස අතම

කෑම බඩු රෙදි පිළිද නොමිලයේ ලබාදෙන

තුටු සිනා රැඳී ඇත දරුවන්ගෙ මුහුණුවල

අලුත් පොත් නිල ඇඳුම් නොමිලේම ලැබුණු සඳ

නොමිලයේ දෙන බෙහෙත් ගන්ට ආ ලෙඩ දනන්

රෝහලින් පිටව යන සැටි පෙනේ සොම්නසින්

මල් හලද වැසී ඇත රෝහලේ ඉදිරිපිට

මියෙන දන හිඟ නිසා පාඩු විඳිනට බැරුව

ගාස්තුවකින් තොරය මගී රථ සේවාව

සුහද පිලිසඳරක ය දනෝ රියදුරු සමග

ඉන්ධනද නොමිලයේ ලබාදී ඇත රජය

නලා හඬ නැති රියෙන් මාවතම පිරි ඇත

සොම්නස් ය දනන් සිත, නිවහනක් ලැබී ඇත

ණය බරක් නොමැතිවම නොමිලයේ රජයෙන්ම

පාසලේ සරසවියෙ සිප් සතර නිමා කළ

දරු දැරියො සියල්ලට රැකියාව ලැබී ඇත

ඇමතිවරු පාර තොට හුදී ජනයා සමග

සතුටු සාමීචියේ යෙදී ඇත නිබඳවම

අවදිවී එක්වරම දෑස පිසදා බලමි

රම්‍ය වූ සිහිනයෙන් සැබෑ ලොව වෙත පිවිස