ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පියවි ලොවට……..

පියවි ලොවට……..

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2024-March

සැලෙන විටකදි සිතක්
මතක යළි එබෙනවා
දුහුවිල්ල අතීතයෙ
මාවතක නැඟෙනවා
ඒ අතර මැකී ගිය
පියවරත් දකිනවා
ඔබේ සුවඳින් හදවතේ
මල් පිපෙනවා.

දිලෙන තරු කැළක් මැද
පුන් සඳක් දකිනවා
වසන්තයෙ සිහින මල්
සිත් කොනක පිපෙනවා
නොදැනීම ආ මගේ
දුරස් බව දැනෙනවා
නෙත් දියෙන් හදක පිපි
සුවඳ මල් පෙඟෙනවා.

අලුත් වැස්සක් වැටී
දුහුවිල්ල නිවනවා
පිපුණු මල් ජීවිතයෙ
දෙපස වී සිටිනවා
තැවුනු සිත් දිවි මඟේ
නොතැවි සැරිසරනවා
දිවිය දියඹට යන්න
පියඹ අත වනනවා.