ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

April 2022

මාර්තු 31 දින මිරිහාන ජනාධිපති නිවස ඉදිරිපිට පැවති විරෝධතා රැලිය

දහසක් කම්කටොලු හිරිහැර කරන කොට
හැම මොහොතකම හැම පැයකම කලක සිට
සැඟවී තිබෙයි ඇසිපිය යට කඳුළු කැට
දැන්නම් අනේ අයියෝ මොන කවිද මට

විල්සන් හෑගොඩ - වර්ෂ 1945 දී

2022 අප්‍රේල් කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 91 කින් ඔපවත්වීී ඇත
  1. පන්නරය අරුණ ශ්‍රී එදිරිසිංහ - පන්නිපිටිය
  2. සුභාෂිතයේ සිත්ගත් කවි – අලගියවන්න මුකවෙටි තුමා අලගියවන්න මුකවෙටි තුමා
  3. නොදුටු සැපත ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
  4. ලබලා නැත්තෙ එයම විතරයි………..කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්
  5. 🌷පුරුදු වෙයන් හිනාවෙන්නවෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
  6. කාන්තා දිනයක් පසුවිය (මාර්තු 8) කෝ ආනන්ද - පැරීසිය
  7. කිම්ද ගොළුවී ඔබේ පන්හිඳ ආරියරත්න ජයසිංහ - මහරගම
  8. කුමන පවක් පළදීලද මනුසත් වගට අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
  9. වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් …! අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
  10. සවනක් බුදුරැස් ලකවීදූ බක් පොහො සඳ වෙයි මෝදු…. ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
  11. ශ්‍රී ලංකාව ද මේ…….. ආරි ලියනගේ - ඉතාලිය
  12. මේ බබාලා රෝස පාටයිවෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය
  13. Woman’s Body චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
  14. නැඳුන්ගමුවේ ඇත්රජුට කැළේ ඉන්නා මිත්‍රයෙකුගෙන්ලිපියක්. චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
  15. රට ඉහගෙන කෑම සිසිල් මාන්නප්පෙරුම - Brampton - කැනඩාව
  16. අතීත සුවඳක් චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය
  17. බුදුහු අභිනික්මන්කල සේක චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව
  18. ආයෙමත් ඇවිල්ලද …. දීපා ද සිල්වා - ලන්ඩනය
  19. පාස්කුව යළි ඇවිත් දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
  20. පොඩි පුතා ආවා නැගිටිමු ඇදෙන් ඵහෙනම් දිලිනා ඩයස් - රයිස්ලිප් - එංගලන්තය
  21. මොන අරුමෙද…! දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
  22. ඉතින් අවසරයි ගර්ලි චන්ද්‍රිකා - මාළබේ
  23. ජීවමාන දෙවිවරු…. හේමා ඩෙප් - ලන්ඩනය
  24. ජීවිතය මෙහෙ එන්න මාලපල්ලේ හේමාංගි අමරසිංහ
  25. ඉර මගුලට ආයු බෝ ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
  26. බිය හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
  27. ෂිවාගෝ ගෙන් ලාරා ට . . . හසිතා ඉන්දීවරී දාස්වත්ත
  28. පොඩිනමගේ සන්තාපය ජයතිලක කම්මැල්ලවීර
  29. බෙර හඬ කමනිකා මොහොට්ටිගේ
  30. එරබොදු කෙල්ලනේ; මතක නැත මට නගනයුරු හස කෞශල්‍යා ජයලත්
  31. සරසවියෙ කදුළු…… කාංචනා කුමුදුනි - කොබවක
  32. රඹකැන් මවු වළප කපිල ෆොන්සේකා - කොළඹ
  33. යුක්‍රේනයේ සිතුවමක් කපිල කුමාර කාලිංග
  34. ගමක සිරියාවයි අවුරුදු උදාවයිගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  35. තවත් ආයාචනයක් ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
  36. දුවට ඔවදනක් ලියෝනි අමරතුංග - කැනඩාව
  37. තරගය අවසන් ය. ~~~~~~~~~~~~ ලාල් හෑගොඩ  
  38. නැවත අලුත් වුනු මිතුදම්!!!! ලුම්බිණි විතාන - ලන්ඩනය
  39. ඉන්දි රාජා කී කතාව…..මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
  40. කඳුළක් වූ මුතුඇටය මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
  41. බක්මහ අකුණආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
  42. ඉරණමමහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
  43. නොතේරුනු පාඩම සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
  44. “තරු රටා” නුවන් තොටවත්ත
  45. මතක දැහැන නිශ්ශංක දිද්දෙණිය
  46. තාන් රෙද්ද ඇන්දම නුඹ හැඩයි ලියේ නිමල් අබේසිංහ - කඳාන
  47. හිටියා ඔය ඇති නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර
  48. වලාකුළු දුක නුවන්තිකා එදිරිසිංහ - රාජගිරිය
  49. Houses burning නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
  50. සමුගැනීම…. නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
  51. තරුවක්මි තනිවුන…! නිසංසලා දිසානායක - නුගේගොඩ
  52. Colour in the sky Omindu Bometh Fernando - Meopham school - year 9 London
  53. වෙනසආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
  54. ගුත්තිල කතාව. පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
  55. ඔයා පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
  56. කොළඹත් රටත් දේවිද ණය හිලව්වට ප්‍රීති රන්දෙණිය
  57. විමසයි ඉන්ද්‍රයාණන් ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
  58. නාඳුනන සෙබලාගේ සොහොන් ගැබ අබියසදී …..වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
  59. පෙම්බර අම්මා ප්‍රේමචන්ද්‍ර රූපසිංහ - නුගේගොඩ
  60. එවන් ඉසියුම් මොහොතක් අපට අහිමි ද? රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
  61. කොවුල් හඬ ඇසෙන වසන්තය රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
  62. අනේ ඉතින් සමාවෙන්න…….! රංජිත් ද සිල්වා - නවසීලන්තය
  63. කළුවරත් එක්කආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
  64. මේ යුද්ධයට විරාමයක් තැබිය යුතුමයවෛද්‍ය රුවන් එම් ජයතුංග - කැනඩාව
  65. තණ්හාවආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
  66. ඉන්දු සයුරේ මුතු ඇටේරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  67. අන්දරේ ගේ සතුටවෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
  68. දුප්පතුන්ගේ පෝලිම… සුගත් අමරසිංහ - නයිජීරියාව
  69. Memory lost වුණා සචී ජයවර්ධන
  70. Open your eyes.. ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
  71. ශ්‍රී ලංකන් ලු: සපුමල් බන්ඩාර - ලන්ඩනය
  72. පැවරුම් අංක 01 : සිංහල කොඩිය ඇඳ පාට කරන්න… සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය
  73. පුතුනි කවුරුන් ගමිද තුරුළට? එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
  74. නේත්‍රා සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
  75. අන්ධ මනුසත්…වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
  76. තේවානිගේ කවිය සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
  77. ඊයෙ.. අද…. සහ හෙට…. තිලක් ධර්මරත්න - කොළඹ
  78. සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
  79. දෙවියනි මගේ රට බේරා දෙන්න මට තුසිතා සුරේකා - මීගමුව
  80. බෝසත් කොටියාගේ අභයදානය තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
  81. තවලම් කරුව නුඹ නොනවතින බව දනිමි. තුෂාරි ජයසිංහ - මහනුවර
  82. ඔබේ නම උදයංග අමරසේකර - ප්‍රංශය
  83. මහ පුදුමෙකිමහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම - පේරාදෙණිය
  84. ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි වීදාගම මෛත්‍රිය නා හිමි
  85. ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි වෑත්තෑවෙ හිමි
  86. නොරත – රතවෛද්‍ය වරුණ ජයසිංහ - එක්සත් රාජධානිය
  87. වචන පින්තාරු කරයි සිත්තම් දහසක්නීතීඥ වසන්ත තෙන්නකෝන් - ලන්ඩනය
  88. කලබලේ ඉර ඇවිත් දිගු අඬු විහිදුවත්… විජායී නාලිකා කරුණාතිලක
  89. ලයිට් සහ වතුර ඉතුරු වෙලා තිබුන නිසා දැම්මෙ නෑ වජිර ජයවර්ධන
  90. පින් පුරවමු අපි සංසාරේ.. යෂිකා විජේසිංහ
  91. කණගාටුවෙන් දැනුම් දෙමු … වයි. සමන්ති - කඩවත

පන්නරය

අරුණ ශ්‍රී එදිරිසිංහ - පන්නිපිටිය

යුග යුග දිසාපාමොක් පරපුර
රැන්දූ
අභිමන පෙරට ගෙන හද ඔද
තෙද කැන්දූ
ගුරු පරපුරක ගුරු සටනක
ජය බැන්දු
උපහාරයෙන් පුද දෙමි ගෙන
කවි බින්දූ

කළ කැපවීම දන්නේ ගුරු
පරපුරය
රජයත් ගැත්තනුත් කළෙ නෙක
හිරිහැරය
සමගියෙ බලය තුළ දැල්වූ වෙඩි මුරය
පාඩම ඉගැන්නුවෙ සටනේ
කෙළවරය

පාලක පැලැන්තිය බන්දේසි
-යක දමා
නැත දුන් දෙයක් ඉතිහාසෙත්
එහෙම තමා
බිය ගුල්ලන් ලෙසින් සිටියොත්
සිරස නමා
නැත ඉදිරියට ගමනක් සිටි
තැනම තමා

නව ලොව දිනා දෙන්නේ ගුරු
පරපුරය
සිසු පරපුරට ණැන ගුන දෙන
බාසුරුය
ගුණමකුවනට නම් මේ අය
සෙනසුරුය
කළ ගුණ දත් අයට සුදිලෙන
සද හිරුය

ගුරු විදුහල්පති වැටුප් සටනට
උපහාරයක් වශයෙනි

තැන තැන නිදන් කොට නොතබා හැම දනම
කව පොව යදින් හට දන්දෙව වඩා පෙම
මිහි බැඳි බිඟුන් හට වනලෙස දැක දැකම
තව තව ලොබින් දන රැස් කොට තබනු කිම

සියලු වස්තුව තැනින් තැන නිදන් කොට නොතියා
අනුන්ට ආදරය කොට දිනපතා කන්න බොන්න කියා
යාචකයන්ට දන් දෙන්න. මී බඳන ලද මී මැස්සන්ට
සිදුවන දෙය බල බලා තව තවත් ලෝභ කමින් ධනය
රැස් කර තබන්නේ කුමකට ද?

නොදුටු සැපත

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය

රෑ කල දුටු සිහින අතර - බිය චකිතය ලොබ නොම විය
විදුලි එළිය නැත විහිදුන - හිරු බැස ගිය කල අඳුරුය
නුඹ බැසගෙන කඳු කරදර - පසුකරගෙන දුර මහ මග
ගුරු හද ගෙන සිල්ප ඉගෙන - හිරු මල විට ආවෙය ගෙට

සොඳුරු කපුරු සුවඳ වහන - පංසළ තුල පහන් එලිය
කලා මැදිරි කහ තිත් එළි - නුඹෙ නෙත් යුග පහන් කලෙය
වෙල් යායේ කැපුනු ගොයම - පාගාගෙන ගෙට ගෙන ඇත
සතර අතම බැතේ සුවඳ - නුඹ ගත සිත පුබුදනු ඇත

නියර දිගේ වක්කඩ පැන - ශිප් හල වෙත නුඹ ඇදුනෙය
අඳුර කපා එලි වන විට - නුඹ අඳුරට සිනාසීය
කළු පාටට කොස් ලඳුවල - අඳුර නුඹට සිනාසෙනව
නුඹ අඳුරට අඳුර නුඹට - ඇඟෑලුම් කමක් දැනෙනව

විසල් මැදුරු දිගේ දිලෙන - විදුලි බුබුළු විකල් එලිය
නුඹේ අඳුර කපා දමා - නුඹව පාපයට අදිනව
සොබා දහම නුඹට දීපු - නුඹේ සතුට උදුරාගෙන
ඉබාගාතෙ බඩගානව - අඳුර නුඹට ආදරයෙන්
නුඹ පස්සෙන් සදා එනව

බෝ අතු නුග නාගස් පිරි - රොද අස්සේ අඳුර පිරේ
රෑ යාමේ එහි ගිය විට - අඳුර නුඹට හාදු දේවි
අඳුරේ පිරි සිසිල කැවී - නිවන් ගියා සේ දැනේවි
අඳුර බදා ගෙන දෑතින් - නුඹ වික්ෂිප්තව හිඳීවි

ලබලා නැත්තෙ එයම විතරයි………..

asiri wijesekara
කලාපති ජනාර්ද ආසිරි විජේසේකර - කේම්බ්‍රිජ්

බැද්ද පුරාවට එරබදු පිපිලා
සද්ද කරන කොවුලාගෙ ගී ඇසිලා
මතක් කරයි නව වසරක් ලබලා
මෙිෂ මීන රාශිය වෙත වැඩලා

කැවුම් කොකිස් කිරිබත් අප හදලා
බුලත් කොළය උඩ ගනුදෙනු කරලා
සිරිත් විරිත් හට මුල් තැන තියලා
ඉස්සර තිබුණලු අවුරුදු කියලා

පිපෙන්නට එරබදු මෙහේ නැත ගෑස් ටැංකී බූලි පමණයි
උයන්නට කිරිබතක් මෙහෙ බැ කන්න හැකි දත් මිටිම ව්තරයි
කරන්නට ගණු දෙණු කොහෙ මෙහෙ ගන්න දෙන්නත් නොමැති වීමයි
ලබන්නට කියලා දෙයක් නැත ලබලා නැත්තෙ එයම පමණයි

🌷පුරුදු වෙයන් හිනාවෙන්න

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය

නාමලී මම හිනා වෙන්නද
අඬන්නට අකමැති නිසා
මට බයයි නුඹ හට රිදේවිද
හිනාවට හුරු නැති නිසා

අතේ පිච්චිය නැති උනත් මං
කියන්නම් කවියක් ගොතා
හිතේ කදුලින් ඉන්නෙපා බං
පිපීයන් ලස්සන පතා

අදත් කවදත් ඉවරයක් නෑ
අපේ දුක් දොම්නස් කථා
ඒමතේ නොමැරී හිනාවෙමු
කඳුළු වක්කඩ වහ දමා

හිටියෝතින් අපි හිනාවෙන්නට
අද නොවේ හෙට යයි කියා
නුඹේ සියුමැලි දෙතොල් මැල වී
අපේ ලොව යයි ගිලිහිලා

ඉතිං චුට්ටක් හිනාවීයන්
මගේ ළඟ සෙනෙහස හලා
හිතින් හිනහව අපේ කරගෙන
හිනාවෙමු කැමතිද ඔයා

AnA 2021

උප්පත්තිය
සොබා දහම් නියාමයකි
ලිංගභේද ඒ දහමේ
ක්‍රියාකාර ප්‍රභේදයකි
මිනිසා සහ ගැහැනිය
ගැහැනිය සහ මිනිසා
එකිනෙකා වැළඳගත මනා
ඇල්මෙනා ස්නේහෙනා දිනා
ජීවමය පුංජයකි විස්මෙනා පිබිදෙනා

ගැහැනිය ද මිනිසා ද නොමැති ලොව කුමට
අල්පා යුෂ්ක වුව උනට
මේ ජීවීන් ගේ ජීව වායුව
කල්ප ගණනින් ගිණිය නොහැකිමය
මිණිය නොහැකිමය සිතිය නොහැකිමය
අපරිමිත නිර්මාණ ශක්තිය ඔවුන ගේ
හිරු සඳුවන් ගහතරු පිරි සක්වල කොතෙකුත් ඇති
ගැහැනිය සහ මිනිසා වන් ජීවමාන සත්වයො නැති
සක්වල අපමණ ඇති
මිනිස් පවුලෙ ගැහැනිය ගැන පරස්පරය ඇයි මේ හැටි

කිම්ද ගොළුවී ඔබේ පන්හිඳ

ආරියරත්න ජයසිංහ - මහරගම

අනන්ත වූ අඳුරු විශ්වය සරන
එක් කුඩා සෞර ග්‍රහ මඬුල්ලක
අල්පෙනෙත්තක් තරම් කුඩා ග්‍රහ ලොවක
වසමු අපි පෘථිවිය නමින් නම් ලද

සුර අසුර සංග්‍රාමයක්
රාම රාවණ යුද්ධයක්
ට්‍රෝයි පුර සංග්‍රාමයක්
මහා භාරත යුද්ධයක්
එළාර දුටුගැමුණු ‍යුද්ධයක්
කුරුස යුද්ධ අබිං යුද්ධ
ලෝක මහ සංග්‍රාමයන්
තවත් කොතෙකුත් යුද්ධ
පෘථිවියේ ඉතිහාසය වසාගෙන
යෝධ සෙවනැල්ලෙන් තම

අහෝ අප ඉතිහාසය !
එම්බා යුද්ධය !
නිවුන්නුද ඔබ දෙදෙන
නැතිද යුද්ධයෙන් තොර ඉතිහාසයක්.

අහෝ ඉතිහාසය!
රස කර කර ඔබ ගයන්නේ
මිනිසාට එරෙහිව මිනිසාම යුද වදින
පරාජිතයින් මිස දිනූවෙක් නැති
යුද්ධයේ ප්‍රශස්ති ගීතයයි.

කිම්ද ගොළුවී ඔබේ පන්හිඳ
සටන් බිම වැටුනු සෙබලුන් ගැන
ගැලූ රුහිරු ගංගා ගැන
මළබෙර හඬ ගැන දොර දොර හැඬවුනු
යුද්ධයේ සෙවනැල්ල වන් විනාශය ගැන

කිම්ද ගොළු වී ඔබේ පන්හිඳ
හිමියන් අහිමි වැන්දඹුවන් ගැන
පියවරුන් අහිමි දරුවන් ගැන
ගේ දොර දේපොල සියල්ල අහිමිව
අනාථ කඳවුරු තුල ගාල්වූ අසරණයින් ගැන

මිනිසාට එරෙහිව මිනිසාම යුද වදින
මේ කුඩා ග්‍රහලොවේ
ලැබූ ජය ගැන උදම් අනමින්
රාජ්‍ය විචාල විචාරණ
රජුන් ගැන පමණක්ද ලියන්නේ ඔබේ පන්හිඳ.

කුමන පවක් පළදීලද මනුසත් වගට

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් …!

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් ...

සුවද හමන අවුරුදු ....බක් මහ අසිරිය මැවූ
හෙල අවුරුදු යලි සිහිකර....මතකය එයි නිරතුරු

කැවුම් කොකිස් සුවද හමන අවුරුද්දක් .....
කොහා නදින් ගම පුබුදුන අවුරුද්දක් .....
දස අත එරබදු මල් පිරි අවුරුද්දක් ......
වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .....

රබන් සුරල් හඩ පැතිරෙන ගම් මැද්දක් .....
වෙල් ඉපනැලි පුරා නටන කොළු රෑනක් ....
උණ වෙඩි සද්දෙන් පිරි ඒ පෙර දවසක් ......
ආයෙත් ඒවිද අපහට කවදාවත් ......

වටයක් කැරකී හිරුවට ලොකු රවුමක්....
ලබනා දවසට සරුවෙයි හැම නිවසක් ......
පවුලේ හැමදෙන එක්වෙන එක මොහොතක් ......
ආයෙත් ඒවිද ඒ වගෙ අවුරුද්දක් ........

දියණිය දුන්නදා දායාදෙට දුන්න
රුවන් පුටුව සිතුනා ආපසු ගන්න
අකලට මිලින දියණිය සිහිවන්න
එතනදි මහෝදර විය සටනට යන්න

බෑනා සමඟ මාමා සටනට වුනා
නෑදෑයන් සතුරන්වි පිල් පිල් ගැහුනා
ගෞතම බුදුසමිඳු එදා ගුවනින වඩිනා
අඳුර මවා බිය ගන්වා කලා දේශනා

සම්බුදු සමිඳු වැඩ සිටිමින් දෙව්රම් වෙහෙර
අලුයම බැලුවෙ තුන්ලොව බුදුනෙත් හැර
සටනක දසුන් හෙළදිව පෙනුණා එවර
ගුවනට නැගී වැඩියා බුදුහිමි පවර

දෙව්රම් වෙහෙර දොරටුවෙ කිරපලු ගසේ
මනරම් සමිදි රුක්දෙව් සිටියදි සුවසේ
පෙරකම් දුටුව බුදුහිමි කාටත් රහසේ
ඇරයුම් කළා හෙළදිව වැඩුමට ‍ මිතුසේ

නාගයුද්ධය බුද්ධබලයෙන වැලකුනා
අසා බුදුබණ නාගකුලයම පැහැදුනා
මැණික් පුටුවත් දනට පිදුනා
පුටුව වටකොට සෑය බැඳුනා

බුදුන්ට දුන් රුවන් පුටුව යලි දුන්නා නාගයින්ට
නාගයින්ව පුටුවතබා බැන්දා දාගැබ වඳින්ට
සමිදි සුමන සුරිඳු ගෙනා කිරිපලු නුග පැලකරන්ට
නාගදීප බිම සිටුවා දුන්නාවැඳ පුදාගන්ට

පස්වන වසර බුදුවී සම්බුදු සමිඳු
දෙවනවර වැඩියෙ ලක්දිව පසිඳු
නාගදීප නාගයුද්දෙ අතර විදු
බුදුමහිමෙන් බක්පෝදා යුද පැරදූ

ගිහිසැප හැරයන්න එදවස කුමරුට සිදුහත්
දුටු පෙරනිමිති හතරේ දුටු රුව වියපත්
බක්පෝදාක ගැටුනා කුමරුගෙ යුගනෙත්
වටහාගත්තා එලෙසින් වනබව කාටත්

ශ්‍රී ලංකාව ද මේ……..

ආරි ලියනගේ - ඉතාලිය

නින්දට යන්නේ පෝලිම් වල දුක් විඳලා
දකින සිහින පෝලිමේ සිදු දේ මැවිලා
අලුයම අවදියෙන් අද පෝලිම හිතිලා
දිනචරියාවෙ කොටසක් පෝලිම වීලා.

විදුලිය නැතිව දවසට පැය තුන හතර
ජන ජීවිතය දැන් උඩුකුරු වෙයි නිතර
ටීවී එකේ වැදි බණ දොඩනා අතර
ජනයා හාමතේ පාරට බැස නිතර.

කැවිලි පිහන්නට උදුනට ගෑස් නැතී
නෑගම් යන්න වාහනයට තෙලුත් නැතී
අහස උසට බඩු මිල වැඩි වෙලා ඇතී
අවුරුදු කුමරි නුඹ නාවට කමක් නැතී.

කලේ හොඳට මම මිස වෙන කවුරුන්ද
මලේ බලන් අද රටමොන අවුලක් ද
රටත් බංකොළොත් කෑවේ කවුරුන් ද
ජනයා අසති නුඹලට තවමත් සැප ද.

මේ බබාලා රෝස පාටයි

වෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය

Sweden
(ප්‍රසුතිකාගාරයේ දොරෙන් එබෙන ගැහැනියක උපන් බබා මොන පාටද අසයි)

උංගි අම්මා ... අනේ අම්මා...
මුක්කුන්ග අම්මා තටමන්න !
වෛර පාත මුක්කුන්ග....

මවුන් වෙර දෙයි රිදුම් කැක්කුම්
වැරෙන් ඉවසන් එකම මොහොතක
මෙහේ සිංහල එහෙදි දෙමළෙන්
එකම යාදීනි එකම රිද්මෙට
ගතේ වෙහෙසත් යැදුම් සහසත්
බිළිඳු හැඬුමක හඬින් සැනසෙයි

දොරෙන් එබෙනා ගැහැණු ඔළුගෙඩි
දරුවා සුදු දැයි අහයි සැනකින්
කනත් අත ගා බලා විගහින්
අපෝ කළු වෙයි කියයි මුවගින්
සුදු ද තලෙළුද කළුද කියමින්
අහන මේ පැන අරුම ගෙන දෙයි
ගැහැණු හමකට පාට මොකටද
ලාම ලා පැහැ අනගි කියවෙයි

"අනේ අම්මේ උපන් හැටියෙම
මේ බබාලා රෝස පාට යි.
වෙනස් පාටක් පසුව ආවට
ජාන හින්දා එහෙම වෙන්නේ
අත්තා මුත්තා නත් පනත්තා
කාලේ ඉඳලා ජාන එන්නේ
හමේ පාටත් එහෙම හැදුනට
එකේ ලස්සන කැතක් නැත්තේ
අව්වේ කර වෙන සමක රටකට
තදම පැහැ හම තමයි ඕනේ
එකේ පාටට තමයි මෙලනින්
ඉරෙන් බේරෙන්නටයි ඕනේ"

"අනේ නෝනා ඔහොම කිව්වට
සුදට රතුවට තමයි ලීලේ
ක්‍රීම් එන්නත් එහෙම අරගෙන
බොහෝ අය දැන් සුදට ඉන්නේ"

"ඔහෙගෙ විද්‍යා ඔහෙ තියා ගන්"
කියා නොකියා සැනෙන් යන්නේ
අරහෙ උතුරෙත් මෙහේ දකුණේත්
හමේ පාටක් ගැන දොඩන්නේ

එබෙන ඔළුගෙඩි එකම වාගෙයි
හමේ පැහැයම අහන් එන්නේ
එහෙම අහගෙන එබෙන හැමටම
රෝස පාටයි මං කියන්නේ....

Woman’s Body

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය

Woman's Body

Woman's body
is a product in the market
it has a price .
Long ago
when the bartering was in place
a little bees honey ,
a few sea shells
did the trick.
Today like anything else
price has gone up.
Upgraded too
dark glasses covering
the blinking eyes
like stars at night
slim ivory coloured body
mounted on high heels
swinging captivatingly.

When you say one word
ten uttered in return as a bonus

Go to the market
you see many products
strangely enough
this product is selling
all the other products
because this is the smartest
eye catching
and the mother of all products.
If you are caught
by the charm of the original
you take home
what you really don't need .
So be careful when it is in action
watch you steps closely
think twice before commiting

Switch on your TV
You see the original all over
selling the others and self too

Taking the
original itself home
Is not that simple
when the urge is running high
You try other ways
pay the price
in Dollars, Rupees or pounds
take it to a private place
(mind you -not home!
Because the others would see
that you are up to mischief)
for one hour or one night
stronger the coins
better the performance is
you leave the product at daybreak
by the wayside
or tell it to get lost.
No quarters asked
No quaters.given
This happened when Bhudda was living
It happens today
It will happen in the future
If there is one after the Putin's war

Sometimes you fall head over heels
for it
You run in circles
watch from distance
admire the product
from all angles
begin to feel
that you are going to die
without it
so you get closer hesitantly
Invite the product home
If accepted
you take the product home
but remember
you have to pay the price !
this time not in rupees and cents !
Slowly comes the realization
of the gravity of what you have done
now you begin to feel
you are going to die
because of it.

Whatever happens thereafter
you can not ask the product
to get out or get lost
what do you say my friends ?
Leave it ?
or live with it. ?

27-02-2022

Woman's body is an irressistable
magnet. Buddha said that nothing
Is more attactive to the men
on the earth .Man falls in to trouble
thinking that eternal bliss will
prevail once they are in. When the
opposite happens it will be
too late to regret. Sometimes
men get caught knowing very
well what is in store. That is how
and why this magnet is called
Irressitable

නැඳුන්ගමුවේ ඇත්රජුට කැළේ ඉන්නා මිත්‍රයෙකුගෙන්ලිපියක්.

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)

නැඳුන් උඹ අද යන්න ගිය වග නිවුස් එක ලැබුණා මචං

රැහේ උන් හට වතුර බොන්නට වළක් කපමින් උන්නෙ මං

කන්න හොයමින් ගමට රිංගපු ගෑනි තවමත් නෑනේ බං

කරන්ට් වැදිලා වැටිලා හිටියලු කෙස් ගහෙන් අනෙ ඒකි සුං

උඹේ නිදහස නැතිකරපු බව කට්ටියක් කියනවා ඇහුනා

දම්වැලෙන් බැඳ දාලා හිටියලු තවත් නොයෙකුත් කතා තිබුණා

ඔය කියන අය කැළේ ඇති දුක දන්නවාදැයි නිකන් හිතුනා

උඹ වින්ඳ සැප අපට කිව් බව දන්න අය මං පමණි ඉන්නා

මිනිස්සුන් මඟ දිගට උඹලට වඳින හැටි අපි නිතර දැක්කා

අවි දැරූ සෙබළුන් පිරිවරන් උඹ රජෙකු මෙනි ගියේ ලොක්කා

කන්න ලැබුණෙත් හොඳම කෑමයි ආයේ ඒ ගැන කතා මක්කා

අනේ අපි පණ බයේ ගැහි ගැහි නිදහසේ බඩ වියත රැක්කා

නිදහසක් මුළු රටෙත් නැතිකොට කැළේ නිදහස තිබේද

දළ නිසා උඹ එළොව යන්නේ හුඟක් ඉස්සර නොවේද

කන්න බොන්නට තබා ඉන්නට හරි තැනක්වත් කොහේද

සැපට ඉඳලා මළත් සතුටක් නිදහසින් කුස පිරේද

රට ඉහගෙන කෑම

සිසිල් මාන්නප්පෙරුම - Brampton - කැනඩාව

ඉතිහාසය පුරා බැබලුනු අපේ රට
සැප සම්පතින් බත බුලතින් පිරුණු රට
කපටින් හොරුන් පාලනයට ගත්තු රට
දවසින් දවස යයි පරිහානියට රට

රට වැඩුමට කියා ජාතිය ණය කෙරුවා
ගත් ණයවලින් කොටසක් යටි මඩි ගැසුවා
රට විකුණමින් ජාතිය උගසට තැබුවා
මතු පරපුරට ඉතිරිව ඇත්තේ මොනවා

ඩීසල් නොමැත රථ වාහන මග නවතී
ගෑස් නොමැත වළඳක් ගෙයි රත්නොවෙතී
කිරිපිටි නොමැත කිරි තේ සිහිනෙන් දකිතී
විදුලිය නොමැත අඳුරේ මං මුලා වෙතී

බෙහෙත් නැතිව රෝගීන් අසරණ වෙනවා
පොහොර නැතිව ගොවියන් තව ලතවෙනවා
"කරන්ට්" නැතිව කම්හල් අඩපණ වෙනවා
"ඩොලර්" නැතිව රට වලපල්ලට යනවා

ගෑස් පෝලිමේ ජනයා සිටියාට
දෙස්පාලකයො නැත ආවේ පෝලිමට
අඟ හිඟ කිසිත් නැත දෙස්පාලුවන් හට
යටි මඩි ගැසු සේසත තියනව එමට

ඩියුටි නැතිව වාහන ගෙන්වා රටට
දුන්නා අඩු මිලට වාහන හොරු රැලට
වැටුනා විදෙස් විනිමය ටික බිංදුවට
ලැබුනා පහල අගයක් ලක් රුපියලට

විදුලිය කැපුවාට පොදු මහජනයාට
විදුලිය ලැබෙනවා දෙස්පාලුවන් හට
පිලිසරණක් නොමැත නගිනා බඩු මිලට
මහජනතාව වැටිලා කබලෙන් ලිපට

හොරකම දූෂණය මහ ඉහලින් සිදුවේ
නිදොස්කොටම නඩුවෙන් හොරු නිදහස්වේ
මහ හොරු කිසිවෙකුත් නැත සිරගෙට යැව්වේ
හිතේ දුකටමයි මේ කවි ටික ලිව්වේ

අතීත සුවඳක්

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

ආදි යුගයේ පටන්
ප්‍රධාන අහර ලෙසින්
මිනිසුන් කුස් පුරවමින්
ගමේ කොනක බිහිවූ උදුනෙන්
ගල් අඟුරු රස්නයෙන්
පිළිස්සුනු තිරිඟු පිටි පාන් සුවඳ
උදෑසන මදනලට මුසු වෙමින්
ගම පුරා පැතිර යද්දී.......
ගැමියන් අවදිවන්නේ සතුටින්
දවස පුරා බර වැඩ කර
මහන්සිය නිවාලන්නට
සැඳෑ සාදයේදී
බීර වීදුරුවක් සප්පායමින්
එදා රස වින්දේ තිරිඟු පාන්ය
මතකයි බාල කාලේ අපේ
ගමේ පාන් පෝරණුවේ
බක්කරේ යන විරුදාවලියෙන්
හැඳින්වූ තරුණයන්
නිරුවත් උඩුකය පෙන්වමින්
ඇනූ පිටි මෝලියෙන්
රෝස් පාන් කිඹුළා බනිස් තැටි පාන්
පිළිස්සෙද්දී....
පාන්දර හමන මද නලට
මුසුවූ පාන් සුවඳ
හදේ බැඳි සුවඳක් සේ
දැනෙයි ලොව කොහි සිටියත්....
මතක් වෙනවා පාන් කාරයා
එන මඟ බලා සිටියා
කිඹුළා බනිස් රස බලන්න
රට වෙනස් වුණා
ගම වෙනස් කරමින්
අමතක කළ හැකිද
පාන් පෝලිමේ හිටියා
පාන්දරින්
ඒත් නැත දැනුණේ
පාන් සුවඳ එදා මෙන්

19/3/2022

බුදුහු අභිනික්මන්කල සේක

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව

පිං කල බව ලොවට කියන
දෝංකාර යකඩ කටේ
කන්දොස්කිරියාව
බණ දහම් වෙළඳාම
නිවි නිවී පත්තු වෙන
විසූක දස්සන
ධනය වඩන විහාරස්ථ බුදු කුටි තුල
හන්දි ගානෙ බෝ රුක් යට
වැඩ හිටියා හොඳටම ඇති

ආනන්දය,
නික්ම යා යූතුය
ඉක්මණින් හැකි පමණ
සපයා ගනු මැනව
පිරිකර අවැසි පමණට

හිමියනි,
විවිධ පිරිකර, පට සිවුරු
කන්දකි ගොඩ ගැසූ
අරම තුල අප වසන
කුමක් නම් රැගෙන එන්න ද?

ආනන්දය
පාත්‍රයක්, සැහැල්ලු
කපු සිවුරක් අඳන කඩක්
ඉදිකටුවක් නූල් ටිකක්
සෑහේවි ඔබට මට

හිමියනි,
පමණ දෙදහස් වසක්
අනිමිස ලෝචනයෙන්
පිළිමව වැඩ සිටි ඔබ
කෙසේ නම් ඇවිද යන්න ද?
නැතිමුත් කන්ථක, චන්න
රියකි සිව් සක මළුවෙහි ආරාම
මාතලී උරමින් දුම්වැටිය
වැඩ සිටී පිටුපස ගඳ කිලිය

මත්කුඩු රහමෙර වංචා දූෂණ
පොදුදන රවටා රට විකුණන් කන
දෙස්පාලන ජාවාරම් අම්බරුන්ට
පිරිත් කියා නූල් බඳින
ගත චීවර හිත හීරළු
වන්දිභට්ඨ පුබ්බරුන්ගෙ
අල්ලස් රථ අපට කැප ද ආනන්දය?

හිමියනි
වඩින්නෙද කොතැනක?
ආනන්දය
වනයක තරම් ආනන්දයක්
වෙත් ද කොතැනක නම්

හිමියනි,වඩින්නෙ ද?
පාරිලෙය්‍ය වනයට

නැත ආනන්දය,
දූටුවෙමි වන පියසක්
සිරිලක පිහිටි මනරම්
රැක ගත යුතු දහම මෙන්
බොහෝ ජනයාට අර්ථය පිණිස
හිතසුව පිණිස වඩිමු එ වනයට
වූ සිංහරාජ නම්.

09 - 03- 2022

ආයෙමත් ඇවිල්ලද ….

දීපා ද සිල්වා - ලන්ඩනය

ආයෙමත් ඇවිල්ලද ....

සිහිනයෙන් වගේ මට
අමතනා හඩ ඇසී
ගැස්සිලා ඇහැරුණා
කිනම් වෙනසද කියා
නෙත ගැටුනෙ එවිටමයි
එරබදුත් ඇහැරිලා
දින දසුන බක් මහේ
පිටුව ලග නැවතිලා
කැවිලි කදමලු බැදන්
අප සොයන් එන එවුන්
හැරිල වත් බැලුවෙ නැහැ
පුරා එකොලොස් මසක්
දරු පැටව් හාමතේ
බොහෝ දුක් විදි බවක්
අද අපට අඩ ගහන
අය දුටුවේ නැහැ බිදක්
රැවටිල්ල බව දනිමි
කෙරෙන තුරු කාරියක්
නමුත් එය දැන දැනම
රැවටුනා මහ හුගක්
අපේ මුත්තන් හිතුවෙ
මේක මහ නම්බුවක්
ඒ වුවත් මෙමට නම්
වටින් නැහැ බින්දුවක්

පාස්කුව යළි ඇවිත්

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

ජයගෙන මරණයෙන් සමිඳුන් නැගිටි දිනේ

කිතුදන හට ලොකු සතුටක් සිතට දැනේ

අමතක කර බැතිමතුනට කරපු විනේ

සමරනු හැකි පාස්කුවක් වෙයිද අනේ

දරුවන් අනාථයි මව්පියො දෙදෙන මැරී

පොඩිවුන් මරුණ සිහිවෙයි දුක දරණු බැරී

හිමි හෝ බිරිඳ අහිමිව හද දෙපළු ඉරී

ජීවත් වුවන් හට දෙවිඳුනි දෙන්න දිරී

දිවි සුරැකුනත් තුවාල ලැබ බොහො දරුණු

තව අය වේදනාවෙනි නොහැකිව මිදෙනු

අමතක නොවෙයි සංචාරකයන් මැරුනු

අන් සැම දෙනත් අප හදවත් තුළ රැඳුනු

මරාදමා අසරණයින් ලෙස කුරිරු

හෙලිවනු නොදී රැක මිනිමරුවන් නපුරු

ඉටුකරගත්ත නෙක අභිමතයන් වියුරු

ශාපය පෙනෙයි අද හිසරද වෙන අයුරු

බොරුවට දමා ආගම් බේදයක හැඩේ

කරවා කුමන්ත්‍රණ සැළසුම් කරපු වැඩේ

දැනුවත් වෙලා ඉඩදුන් පෙර හිටපු නඩේ

එලවල ගතිමු බිජු රකිනා එවුන් බඩේ

දන්වා තිබියදිත් රැක්කේ මුනිවතය

ගෙන්වා දනා බිලිදුන්නේ මරු වෙතය

පෙන්වා දෙතත් කළවුන් සඟවන තැතය

නන්වා බොරු කඳුළු රැවටුම් හිරිකිතය

බැරිවුණි මරනු යුක්තිය කුරුසියක හොවා

සැඟවිය නොහැක සත්‍යය ගල්ලෙනක පවා

ජේසුනි බින්ද මරණයෙ සැම බලය දවා

ඉටුකර දෙන්න සාධාරනෙ පවස නිවා

පොඩි පුතා ආවා නැගිටිමු ඇදෙන් ඵහෙනම්

දිලිනා ඩයස් - රයිස්ලිප් - එංගලන්තය

අද වගේ මතකය වසර 18කට පෙර
ආවා අපේ ගෙදර පොඩි පුතා ඵක්කගෙන
සුදු පාට සාරියේ ලා නිල් මල් වැටුන
කීවා මතකයි අවෙ පුතුගේ මුව අග සිනා පමනකටම මිස
වෙන අම්මා කෙනෙකු නම් නොඵනු ඇති ඒ ගමන

ඵ්දා සිට අද තෙක් නැත මගේ සිත රිදවා
පෙන්නුවා දුව දුවා ජිවිතේ මේ යැයි කියා
ආවාත් නැත සැලුනේ කොතෙකුත් කරදර කිය කියා
දරැ පැටව් ලං කරන් නැලෙව්වා සැනසුවා ගී පද වැල් කිය කියා

අනේ මට හරි දුකයි ඔබ ඉන්න හැටි බලා
ඊටත් එහා දුකයි මට එන්න බැරි වෙයි කියා
ඔබ පෙන්නු පාර ඔස්සේ හිත ගත දැඩි කරන්
ඔන්න ඵව්වා පොඩි පුතා අම්මා නැගිට්ටනු කියා

සමාව දෙනවාද කවදහරි හිත රිදෙව්වානං
ඉක්මනන් එන්නම් පැටව් ටික එක්කලා
අම්මා එහෙනම් නැගිටින්න දැන්
ඔන්න දැන් පොඩි පුතා දොර උලුවස්ස පැන්නා

16.01.2022

මොන අරුමෙද…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල

පිනද පවද මොන අරුමෙද
දුටුවම මෙය සිතේ මෙමට...
දනද පිනද කෙරුව අයද, නොකෙරුවන්ද දකී පෙලට...
අණද විනද පෙරකල කළ, පලදෙනවලු අපූරුවට...
මනද කයද සැපවත් වන්නේ
නම් පින් පිරූවනට...

ලොවට පෙනෙන ලෙස කෙරුවට
පින්කම්, දී දානමාන...
රුවට ජයට ලැබුනත් මෙලොවදි යම් යම් තානමාන...
පවට බරවු ඒ සිත් තුල ඇත්තේ
නම් හීනමාන...
කවට කමක් නොවේ, විඳිනු ඇත අනුනට පාන මාන...

⁣දෙන්නේ නම් නුසුදුසු දේ කෑමට
බැරි, යම් කෙනෙකුට...
එන්නේ පව දෙගුණ තෙගුණ වී
කුසගින්නේ ඉඳුමට...
දුන්නේ නම් සුදුසුම දේ, තමන් කැමති දේ ලැබුමට...
වෙන්නේ එය මහඟු පිනක්, ගනු මෙය වටහා සිතකට...

ඉතින් අවසරයි

ගර්ලි චන්ද්‍රිකා - මාළබේ

සේපාලිකා ඇහැරෙන මැදියමේ,
තවමත් අවදියෙන් හිමි නම,
සිත සොයයි,
දිවා පින්ඩපාතයේදී ඉදිරියට ආ අප්පච්චී,
සිහි වේ ඒ වැහැරුණු වකගැසුනු ගත,
"පොල් කඩනවා, අතු කපනවා,තැඹිලි බානවා''
මහත්තයා පොල් කඩනවාද,
අප්පච්චි මහ මැදුරක් අසල,
ගේට්ටුව වසා ඇත,
දෝංකාර දෙයි හදවත,
මූසල බස්සෙක් කෑගසයි බුදු කුටිය අසලම,
කොතෙක භවුන් වැඩුවද,
හමුවුනේ නැත තවම නිවනට යන මග,
හදවත වැලපේ,
නොහැකියාවෙන් අපට දෙන්නට රසමසවුළු තියා කහට උගුරක්වත්,
මාව බාර දුන්නා පන්සලේ ලොකු සාදුට,
නේක දුක් විදපු අම්මා ලෙඩ ඇදේ එක තැන,
බුදු අම්මේ, මට දරන්නට බැහැ නුබේ සෙනෙහස,
නංගි මල්ලිගෙ කදුලු පිරි දෑස්,
තවනම් ඉන්නට බෑ මෙහෙම,
අප්පච්චි මා අසල,
පොඩි සාදු කියාගෙන වැද වැටෙද්දී,
නුඹට හොරෙන් මාත් ඇඩුවා හොර රහසෙම,
මැදුර ළග නැවතුනත් අප්පච්චිට අද පොල් නෑ,
මගේ පාත්තරේ නුඹට පූජා කලේ ඒකයි අප්පච්චි ,
මැවේ මට ඒ අහිංසක මුහුණ,
තවත් දරා ඉන්නට අකපැයි මට මේ චීවරය,
ලොව්තුරා බුදු සමිදුණි,
කමාකල මැන,
ලොකු සාදු මට සමාවෙන්න,
යන්න අවැසියි නිවන් යවන්නට හතරවරිගය නෙවේ,
මගෙ අම්ම අප්පච්චිව,
උපාධිය පසෙකලා,
දෙන්න මට ඔය ලණුව,
"පොල් කඩනවා, අතු කපනවා, තැඹිලි බානවා"

ජීවමාන දෙවිවරු….

හේමා ඩෙප් - ලන්ඩනය

ලොව කොතැනකද අයිතිය ඇති ඔබට මට
ලක්මව මිසක වෙන පොළවක් නැත අපට
අප රට අපේ අපි ඉපදී මැරෙන රට
සුරකින වීර සෙබළුන් ඇත සිරිලකට

දිවි පරදුවට ගෙන මව් බිම සුරකින්ට
අවි ගෙන ඉදිරියට ගියෙ සතුරගෙ කටට
පෙම්බර බිරිඳ හා ඇත දරු රකින්නට
එනමුදු ගියේ අප හට දිවි පුදන්නට

රාගම කදවුරට වී අද දිවි ගෙවන
දස්කම් පෑව සුර කුමරෙකි මුණ ගැසුන
ආඩම්බර විලස පිහිටෙන් සෙවන දෙන
රෝහල තම නිවස කරගෙන ඇත නොදැන

අහිමිව ගිය දෙපා ඔහුගේ නැත සතුව
ආදර බිරිඳ සහ පොඩි පුතු ඇත තනිව
සුරතල් පුතුගෙ පින්තූරය ළඟ ඇතිව
සුසුමක් හෙලා පෙරලුවෙ ජීවිත පිටුව

රෝහල් කඳවුරක ඔහු මිතුරන් සමගින්
දෙපා නැති ඔවුන් එක යහනකට වෙමින්
බෙදා ගනිති දුක සැප මද සිනහවකින්
දුටුවෙමි මිතු දමක අනගිය සෙනෙහසකින්

සම්පත් සියලු ඇති අය අද වෙලා දුකින්
කෙතරම් ඇති නමුත් ඉන්නේ හඬා වැටින්
අත් පා නැති මොවුන් ඉන්නේ සිනා කටින්
ඇසුරට අගය කළ යුත්තේ මෙවැනි පුතුන්

මගෙ නෙත් දෙකට ආ දුක් ගිනි කඳුළු මැදින්
සඟවා ගන්න මහ සටනක යෙදුනි තදින්
එය දැක ඔවුන් මා සනසා සිටින ලෙසින්
ලස්සන ගීතයක් ගැයුවා සුසුම් මැදින්

සිහියට නැගුනෙ යුද අවි ගත් සටන් බිමයි
වැගුරූ ලෙයින් දිස් වුනෙ දියමන්ති කැටයි
දෑ අභිමානයෙන් ගියෙ පෙරටුව රැගෙනයි
ජය හඬ නගා සුරැකියෙ අප හෙළ දෙරණයි

නින්දක් නැතිව හරි හැටි දුක් වින්ද හැටී
රසවත් අහර වේලක් නැත බඩට වැටී
මුළු ජාතියම වෙනුවෙන් කැප වෙච්ච හැටී
දෙවියන් පවා ඔබ සැම සිහි කරන හැටී

සමුගෙන ඔබෙන් එන්නට දුක හිතුන හැටි
දොරටුව අසල නතරව පසු බැලුන හැටි
මා දෙස බලා සිනහව අත වනපු හැටි
මතකයි එදා කඳුළක් මට දීපු හැටි

ජීවිතය මෙහෙ එන්න

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

එපා තව දුර යන්න දැනේ දෙපයට සිතට
උපන් දා සිට තවත් ආපු දුර දුර වැඩි නොවෙ ද
ගල් බොරලු මතුපිටින් පළස් නැති දිවි මගේ
එදත් වින්දේ පරම සුවය නම් මා පැතූ
නුඹට මා යළි-යළිත් නොම කරමි යාචනය!

ජීවිතය මෙහෙ එන්න එපා තව දුර යන්න
“මා සමග නැවතිලා මගේ අත අරගන්න”
හැරී බලමින් මෙතෙක් පැමිණි මග කටුක ඇති
අපි යමු ද සුහද ලෙස පැදුරුකඩකට නැවත!!

අගෙයි හරි අගෙයි නොවැ නුඹේ ඒ අදහසත්
එවිට ඒ සුහුඹුලා දැන-නොදැන විදින්නේ
පරම ආනන්දයේ ජීවිතය නොවේ ම ද?

2022.04.01

ඉර මගුලට ආයු බෝ

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය

වැඩමවන්න ඉර දෙයියෝ මේශ රැසට ආයු වැඩෙන්
කැන්දගන්න මනාලියක් කොවුල් කුමරු ගමට වඩින්
අතුරවන්න ලන්ද පුරා එරබදු මල් සිනා වෙයන්
පින් පුරන්න බක් මාසෙට මෙදා නැවුම් සද බලපන්

දෙකට බෙදී හිත් නොබෙදී කෙළි සෙල්ලම් කෙරේයා
තෙලට බැදී රසට නටත් කැවුම් සුවඳ දැනේයා
සොදට සැදී පිරුණු කරල් අටුවෙ පිරී දිලේයා
එකට ඉදී නැවුම් බතින් සාර සිරින් පිරේයා

ඵලින් පිරී මලින් හෙබී ගසුත් වැලුත් සිරිදෙනා
හදින් බෙදී උන්නු අයත් නැකැත් කළට ළංවෙනා
මුවින් සිනා කිනිති නැමී මංගල සිරි පැතිරෙනා
ඉතින් ආයු බෝ වේවා ඉර මගුලට සෙත් දෙනා

බිය

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

බිය

සයුරකට මුහුවෙන්න පෙරාතුව
ගඟක්
බියෙන් වෙව්ලන බව කියැවේ

කඳු මුදුන්වල සිට
දිගු වංගු මාවත් ඔස්සේ
වනාන්තරද ගම්මානද
පසුකර ආ පසු
හැරී බලන්නීය ඈ
මෙතෙක් ආ මඟ දෙස

ඇයට ඉදිරියෙන්
නිමක් නැති සමුදුර
ඊට ඇතුළු වීමම
සදාකාලිකව අතුරුදන් වීමකි

එහෙත් අන් මඟක් නැත
ගඟකට ආපසු යනු නොහැක
කිසිවෙකුට ආපිට යනු නොහැක
එසේ යෑම පැවැත්මට පටහැනිය

සයුරට ඇතුළුවීමේ අවදානම
ගඟ දැරිය යුතුමය
බිය වියැකෙන්නේ එලෙසයි

එවිට ගඟ දැනගනු ඇත
මෙය සයුර තුළ අතුරුදන් වීමක් නොව
තමන් සයුර බවට පත්වීමක් බව

Fear by Kahlil Gibran පරිවර්තනය හෙල්මලී ගුණතිලක
Link to the original poem- http://yourdailypoem.com/listpoem.jsp?poem_id=3608

Khalil Gibran 1883දී ලෙබනන් හි උපත ලැබූ අතර ඉන් දෙවසරකට පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ ඇමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයට සංක්‍රමණය වූයේය. ඉංග්‍රීසි සහ අරාබි යන භාෂා ද්වයෙන්ම නිර්මාණකරණයෙහි යෙදුණු Gibran චිත්‍ර ශිල්පියෙක් වශයෙන්ද ප්‍රසිද්ධියක් ඉසිලුවේය. 48 වන වියේදී ඔහු මිය යද්දී ඔහුගේ නිර්මාණ ලොව පුරා ප්‍රසිද්ධව පැවතුණු අතර අදටත් ඒවා භාෂා රැසකින් රස විඳීමට පුළුවන.

Poet’s Photo- Goodreads
Poet’s Bio- poetryfoundation.org
Copyright free photo of estuary from- Pixabay

ෂිවාගෝ ගෙන් ලාරා ට . . .

හසිතා ඉන්දීවරී දාස්වත්ත

පෙර හමු වුණු
අප
හමු නොවුණේ ඇයි
ඔබ ඇසුවා
මං ඇඬුවා . .

ලෝ තතු නොතකා
අප
හමු වන්නේ ඇයි
මං ඇසුවා
ඔබ ඇඬුවා . . .

පොඩිනමගේ සන්තාපය

ජයතිලක කම්මැල්ලවීර

පොඩිනමගේ සන්තාපය
ලොකු හාමුදුරුවෝ
දවසට දහ දොළොස් වතාවක්
බුලත්, පුවක්, හුණු, දුංකොළ
එකට අනා, කට පුරවා
රස කර කර හප හපා
කාර කාරා උගුර හාරා
කෙළ ගසයි පඩික්කමට
අන්තිමට කටේ ඉතුරුවෙන ලොකු හපයත්
ඒකට ම.
.............. ........ ......
මටනෙ ඒක අස්කරන්ඩ වෙන්නෙ
ජයතිලක කම්මැල්ලවීර

16 - 02 - 2022

බෙර හඬ

කමනිකා මොහොට්ටිගේ

සිනා ඔල්වරසන් මැද
පසඟ තුරු ගොස මැද
දෙසවන් යොමා ඇසූ සඳ
ඇසිමි කඳුලක සියුම් කටහඬ ;

'කුඹුරෙ දී තැලූවන් ගෙන්
හංවඩු ගැසූවන් ගෙන්
කවර කිත් පැසසුම්
මළ පසුත් බෙර සැදූවන් ගෙන්' ....

එරබොදු රත් පැහැය ඇස ඇස
තවරන පැරණි බක් මස
මතක නන්දන සිත්තමක් ලෙස
අද ද හිනැහෙන හද අස

ඔන්චිල්ලා මවයි අඹ ගස
දෝතින් වඩාගෙන අඹ පැස
ගිරා මිතුරන් තරගයට බැස
ඇසේ කොලු කුරුට්ටන් ජය ගොස

පාත් වූ අත්තක කජු ගස
නැඟී පුහුලන් මියුරු මී රස
උරන පොඩි කෙල්ලකි කහට ගවුමැඳි යස
හිනාවෙන්නට මට දෙන්න ඇගෙ මදහස

ටික් බෝල, වළ කජු ගසන නඩ බැස
පංච කෙළිනා,අඹ කොට්ට පනිනා මැද තොස
උණ බට වෙඩි හඬින් දෙදරවන වා ගොස
පුංචි පැටවුන් රෑනක් දුව පනින අද ද මා ඇස

අහවරව නොනගත ගිතෙල් මුසු කිරිපිඬු පිස
අප්පච්චිගේ සුරතින් පළමු පිඬ බුදිනා අදහස
අත්තාගෙ මුදිතා කොහොඹ අත්තෙන් තෙල් තවරාන මා හිස
කිරි කජු තළුමරනු රිසි කෙල්ලක මහ ගෙදර තනිවී කොහි තොස?

තෙපි දන්නෙහු ද කොවුලනි ගයනා මියුරු මියුලැස?
සඟවා තැබූ තැන මගේ හද සන්තොස
වඩාගෙන හිරිමල් අඹ කජු ආවාට පැළඳ මදහස
එරබොදු කෙල්ලනේ; මතක නැත මට නගනයුරු හස

සරසවියෙ කදුළු……

කාංචනා කුමුදුනි - කොබවක

කිමද ඔය හැටි රිදවන පද වැලක් වෙලා
සිතම තනි කර විදවන ඉකි හඬක් කලා
බිඳෙන කවි හද කොනිති කරමින් සිතක් තලා
වැටෙයි කදුළක් සරසවි නිහඬ වෙලා

පැතුමන් පැතුවත් එක හද වතින් පතා
බොදවෙයි සැනකින් ඝන කළු වරින් ඉතා
මතකය ගුළුකර කවි පද ලෙසින් ගොතා
ඉන්නම් සැමදින ගොළු කර පෙමින් කතා

මතු භවයක වෙළෙමින් හද පැතුම් අරා
කවි සිතුවිලි පුබුදමු නෙතු මුවින් සරා
අද නැතුවත් ප්‍ර්‍රේමය සිත හැඟුම් දරා
හෙට දිනයෙත් නුඹමයි මගෙ සිතම සොරා

රඹකැන් මවු වළප

කපිල ෆොන්සේකා - කොළඹ

බෝ රුකක් නොවූ පව
සෙත් පතන පත් සරින

නුග රුකක් නොවූ පව
සෙවණ සිසිලස සදන

කුඹුකක්ද නොවූයෙමි
දිය සිසිල ආවඩන

නිවුන් කැලතද වැදූ
පිනන ඇස නහර රස
වරද පාපය අපල?

මන බදින පෑ මලින
විශ මුවාකර හසින
රවටවන නියගලා හෝ කනේරුව විනම්

නටුව කටු වසන් කර
සුවද තවරන දසත
රෝස පදුරක් විනම්

පෙළා උන් වැදූ ගැබ
හෙලා මා සියොළඟම
නසන්නට
කිමද මා කල වරද
නිවුන් කැලතද වැදූ?

යුක්‍රේනයේ සිතුවමක්

කපිල කුමාර කාලිංග

හිස සුන්
ගොඩනැගිලි පාමුළ
හිස ගිනිගත් මිනිසුන්

අඳුරු මූසල
අහස් ගැබ
පියඹා එන
සංක්‍රමණික මිසයිල

කිලෝමීටර් ගණන්
පෝළිම් ගැසුණු
යුධ ටැංකි රකුසන්
හිසට සෙවණක් සොයා
පලා යන මිනිසුන්

මිදුණු හිම මත පවා
මල්කම් කරන
ලේ........

මිනිස් ලේ

22/03/07

ගමක සිරියාවයි අවුරුදු උදාවයි

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

දුරුතු - නවම් - මැදින් - බක්මහේ දි කොහාගේ නාදයි
බක් - වෙසක් - පොසොන් - ඇසල බුදු රැස සිරිසර සාරයි
නිකිණි - බිනර - වප් - ඉල් මස ගත සිත මන සුව සාදයි
උදුවප් මස සීත හිම ගිරෙන් අවුරුද්දක් පාදයි...
(දොළොස් මසක් ඉවර වී - නව අවුරුදු සිරිය දී)//

රන් ගොයමේ කරල් පැසෙන අටුකොටු බත-බුලත පිරෙන
වැට අද්දර කිණිති ඇදෙන එරබදු මල් කොමළි නටන
කෙත- හේනට උඩින් පියඹ සැගවි- සැගවි කොහෝ කියන
කොහා කොහොම - කොහේ ඉදන් ආව ද අවුරුද්ද රැගෙන...
(වැට ළග සිරි දේවී - රතු එරබදු දේවී)//

මුතු හර-බර සිනා නගන ඉදුදුණු වරලස මුදවන
මිණි-කිංකිණි පා සළමින අවුරුදු දේවිය ද වඩින
මුකුළු කොවුල් හඩට එතෙන පල-වැල සුවදට රස දෙන
රබන් පදට සැරසෙන රතැගිලි මැද කවි-ගී නැටවෙන...
(රබන් පදට සැරසිලා - රතැගිලි නැටවෙයි වයා)//

හෙළ සිරිතට - විරිතට නිති ගරු-සරු-සැලකිලි දක්වන
හෙළ දන සිත පුබුදු කරන් දෑතෙහි සිරිකත නළවන
පෙළ හිද වැඩිහිටි උදවිය තරුණ කැළට දෙන ඔවදන
මෙලෙස ම වසරක් ගිය විට බොදු සිරිතකි ඔප නංවන...
(සුරකිමු හොද සිරිත - වැඩිහිටි හැම නැමද)//

බුලත් හුරුල්ලක් අත් මැද තබා වදින ගුරු දෙගුරුන්
අලුත් වසට ආසිරි ලැබ ගනුව කමා ගෙන වරදින්
සලුත් පැළද අලුත් පිළි ද තලුත් ගසා රස කරමින්
කෑමට යන හිත සතුටින් ඔපවත් වී නෙක පාටින්...
(බතක් ඉදෙයි උතුරලා - ලප්ගල මත හිනැහිලා)//

කැවුම් කොකිස් මුං අලුව ද අතිරස පැණි වළලු රසට
දුම් මැස්සෙන් බිමට බහින හැඩ දුටුවෙ ද හරි නැකතට
අලුත් හාලෙ බතක් ඉදුණු කිරි උතුරා කිරි රසයට
බුදුන් වැදල මුළුපවුල ම රොක් වෙයි මේසය වටේට...
(කැවුම් කොකිස් අග්ගලා - කන නංගිල - මල්ලිලා)//

බඩ පිරෙන්න කෑ කිරිබත සිත පිරි කළ කෙළි සෙල්ලම
හැඩ බලන්න කැටපත ළග අලුත් ඇදුම්වල ලස්සන
වැඩ අල්ලා ගනු - දෙනු කර පැල හිදුවා කළ ගොවිතැන
ඉඩ - කඩ - ගොඩ - මඩ දියුණට ලැබෙන අලුත් ගුරුහරුකම...
(ගිය අවුරුද්දට වඩා - මෙවර ගෙනෙයි වඩ - වඩා)//

ඉපැරැණි සිරිතට - විරිතට කද බැද නෑගම් බද යන
ඉහ - වහ ගිය සතුටු සිතින් දැක හදවත් කතා කරන
ඇණුම් - බැණුම් නොහොද - නරක ඉවත දමා යළි ළංවෙන
හදවත් නිති පොබ කරමින් නව වසරට අසිරි සලන...
(හැමට ම සුව සෙත දේවා! සුභ නව වසරක් වේවා!!)///

2022.04.01

තවත් ආයාචනයක්

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

හිරු මහ රජුනි, කමාවෙමින් අසනු මැනේ
තව සුලු මෙහෙවරක් කරනට ඇත මෙදිනේ
බක් මස මීනෙ සිට මේෂෙට වඩින දිනේ,
යන ගමනින් මෙය ඉටුකල හැකිදැ අනේ?

මේෂ රාශියට මෙවරත් වඩින විට,
ලක වැසියන් වෙහෙසනු පිලිගැනුමකට
පැනි අලුවා ආස්මි කිරිබත් පෙලට
එක්වෙයි රතිඤ්ඤා හඩ කං බිහිරි කොට

අලුත් ඇඳුම් ඇඳගෙන නැකතටම වැඩ
රබන් පද වැයේ ඊලඟ ගමට හඬ
නඟරෙ නැතත් මේ සෙල්ලම්, ගමේ හැඩ
කේක්, විස්කි, චොකලට් පිරි මේස උඩ

මෙවර රටට යහතින් අවුරුදු කන්න
ගෑස් නැතිලු ලිප ගිනි මොලවා ගන්න
ඩීසල් හිඟය කොහොමද පිරිමහ ගන්න
බඩු මිල නැගෙන උස බැහැ අදහාගන්න

පොහොර නොමැති රුක් හඬනව පල නැතිව
බමරු කැරකි මැරෙනව මල් පැනි නැතිව
කැවිලි පදම නැතිවෙයි පැනි රස නැතිව
කහට තමයි පානය පිටි කිරි නැතිව.

ඩොලර හිඟය ලක් දනහට ගෙනෙන හෙන,
වැදෙනව හදට සිටියත් එතෙරක මෙදින.
පැනයට විසඳුමක් දිය හැකි නොමැත පින
හිරු රජ ඔබට අයැදෙමි මම නමා දන!

මුල් පුටු රත්කරන "රජුනට" නැන දෙමිනේ
රට දැය ජය පතන දනහට දිරි දෙමිනේ
අසරණ වැසියනට පින ගෙන දෙමිනේ
සමගම ඩොලර් මල්ලක් විසි කරනු මැනේ!

නැතිනම් චීනෙ නූඩ්ල්ස් ලක හැම පැත්තේ
වෙනුවට වනක්කම් 'බෝවන් නමස්තේ
කිරිබත නොවේ බංගල අලුවා ඇත්තේ
හෙලබස, සිංහ ධජයත් ඉතිහාස පොතේ!

දුවට ඔවදනක්

ලියෝනි අමරතුංග - කැනඩාව

Canada
පිපෙන කල පියුමක්
ඇදෙයි බඹරුන් සහසක්
කනට කර රහසක්
මුමුණ හද තුළ මවයි කිතියක්

දියණි නුඹ මලකී
තුරුණු විය රස ගුලකී
කිසිම දින නොමකී
රහස මෙලෙසට කියනු යෙහෙකී

එය අඳුරු දිනයක්
යන විට එයා ගමනක්
වැසි වැටුන තරමක්
ගොඩ වැදුනි ගෙට සොයා සෙවනක්

එයා හරි හිතවත්
කතා කියලා රසවත්
මගේ දිවි ගිලගත්
නැතේ ඔහු නම් ආවෙ තවමත්

බිඟුන් නම් ඔහොමය
බලෙන් හෝ තම උරුමය
අරන් යන අරුමය
බලන් ඉන්පසු වැරදි අපිමය

දියණි නුඹ විතරයි
ඉතිරි මට එය සැපතයි
බඹරු සැම පොරකයි
කුමරි බඹසර දිවිය සරසයි

(මහා පියුම් විරිත ඇසුරෙන් )

තරගය අවසන් ය. ~~~~~~~~~~~~

ලාල් හෑගොඩ  

මල්ලව පොර ශූරිය
දිලිසෙන දහඩියට
බේරුණු මස් පිඬු ලෙලවා
හුවමාරු කරගත්තා ය එය
ඔල්වර හඬකට

නැඟුණු කඳුළු බිඳ
පිස දමමින් සුළැඟිල්ලෙන්
බැස ගියා ය
අත වනමින් දහසක් රසිකයනට

කුටියට වන් කල
නව ඇඳුමෙන් සැරසෙන්නට
සැඟවුණු කෙසඟ තරුණයෙක් එහි
රසිකයෙකු ද රස කලා දත්

කුඩා තරග වළල්ලක් තුළ
එක් තරග වටයක දී දිගු
පරාද වි ය ඈ

පිස නො දමා වේලෙන්නට හැරි
කඳුළක පැල්ලමකි

නැවත අලුත් වුනු මිතුදම්!!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය

අපි වෙනස් වෙලාලු.....

අපි හැබැවටම වෙනස් වෙලාලු.....

ඒත්......

විදු පියසේදි අපි සැවොම එකලු.....

එක ගහක පිපුනු මල් වගේ

ඉතිං.....

අද අපි මුන ගැහුනා......

වසර ගනනනට පසු

ඇත්තටම අපි වෙනස් වෙලාද?

මාර්තු 2022

ඉන්දි රාජා කී කතාව…..

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්

කළුවෙලා හදිසියෙම කන්ද උඩරට අහස
ඇහෙනවා කනින් කන එයට මුල්වූ රහස
නිමවෙලා තේජසින් ලැබුව දළඳා පහස
නැවතිලා "නැඳුන් "හද ළඟදි දවසක හවස

හෙටත් නැග කඳු මතින් ගෙවා ගෙන දුර කතර
යළිත් එන බව කියා ගියේ මෙවරත් ගෙදර
මතක් වී හිත හඬයි දෑලෙ ගිය හැටි නිතර
මටත් දුක නොකියාම වුනු එකයි නුඹ නතර

මගදෙපස නෙතු ගැටුනු අසිරිමත් වූ ලොවක
පින අහිමි අප හැමට යදම් බැඳි ඇත් හලක
තතු කියන හැම වසක නිකිනි මාසේ දිනක
යළි උදා නොවනු ඇත වැටී රැස් නම් ඉරක

පෙළහරට විස්මිතම පෝය නම් තව පහයි
වඩමවන හිමි සමිඳු පැවරිලා හිස බරයි
ඔබ නොමැති පෙරහරක කලඑළිය නම් අඩුයි
මට හැකිද පුරවන්න බියක් විත් සිත පෙළයි

කඳුළක් වූ මුතුඇටය

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

ඉන්දිය සයුරෙ මුතුඇටය යි නම පතල
සුන්දර රටක් තිබුනා දියතෙහි විරල
හොර මැරයන්ගෙ පමනයි පැහුනේ කරල
අද මෙය ඉන්දියන් සාගරයෙහි කඳුල

කුඹුරේ සිටියයුතු ගොවියන් මහපාරේ
හිස අත්ගසා දෙන ශාපය යයි දෝරේ
බැලු බැලු හැම අතම අසමත්කම බේරේ
රට නැති කළ බවක් නම් හොඳටම තේරේ

තුන් හෙලයේ මහා වැව් දාගැබ් බැන්ද
කෙත්වතු හැඩවුනා රන්වන් කරලින්ද
පෙරදා සතුට අපි සිත පුරහම වින්ද
අපටත් නොදැනි වෙන කොහෙවත්ගෙ නිහින්ද

රට රැකුමට වඩා එහි ගිනි අවුලන්නා
හොරකම උරුමයට සවිකරගෙන එන්නා
තම අඳ බාල බව මුළු ලොවටම පෙන්නා
දස අත ණය වෙවී මගෙ රට විකුණන්නා

අඳුරේ ගිලෙයි රට පැය පැය එකතු වෙවී
මිනිසුන් හඬතලයි කුසගින්දරෙන් දැවී
කරගත් මෝඩකම් ගැන සිත සිතා තැවී
පෙර සැප විඳි අයුරු දැන් පෙනෙනවද මැවී

29.03.2022

බක්මහ අකුණ

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

ඉන්දි සයුරේ මුතු ඇටයක් වුන පවට
පොරකති දනන් ගනු එහි බලය තම අතට
සකසා ඉඩක් දිදුලන්නට මුතු වලට
කිම බැරි විඳින්නට එහි අසිරිය නුඹට

රන් කරලින් ගොයම නැහැ දැන් ලෙළදෙන්නේ
අටු කොටු හිඳෙයි, නැහැ ගස් පල බර වන්නේ
ගැබ්බර අහස නැහැ මහා වැසි ගෙන එන්නේ
අපි ගණ'ඳුරේ කිම රිවි කිරණ සැඟවෙන්නේ

බක්මහ එළඹිලා නෙක කරදර මැද්දේ
කොවුලා ගෙනෙයි පණිවිඩයක් කර සද්දේ
ඉමිහිරි ගී ගයා නටමින් කර සද්දේ
බක්මහ අකුණ සැර වැඩිනේදෝ සද්දේ

අලුත් ඇඳුම් ලැබෙනා තුරු දෑස අයා
පොඩි උන් මග බලා ඉන්නවා නොවෙද කියා
සිහිවී නොදත් උන් සනසනු කොහොම කියා
වියැකෙයි අකුණ මගේ ඉහමොළ ගිනිද තියා

ඩොලරය ඉහල යයි රුපියල් සත යටවෙයි
සයුරේ රළ නැගෙයි ඒ මේ අත පාවෙයි
නො හැකිව වෙරළ සිපගනු, ටික ටික දියවෙයි
මුතු ඇට දියේ ගිලෙනා බව නම් වැටහෙයි

ඉරණම

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්

නැගී කන්දක ඇතුළු ගැඹකින්
එතී සුළඟට කතා කියමින්
ඇදී යද්දි බුබුළු නගමින්
බිඳේ මග තොට දරුණු නියඟින්

වැටී වැස්සක් සොඳුරු අහසින්
පිඹී හුස්මක් යළිත් අදරින්
පැලී ඉරි ගිය වියළි පොළවෙන්
පිපේ හසරැල් අසුරු සැනකින්

මැකී නැවතුම් තිතම සිතකින්
රිදී දියවර නිම්න අතරින්
ඇදී සමුදුර ගැඹුර සොයමින්
රැඳේ ඉරණම මෙයයි කියමින්

නොතේරුනු පාඩම

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

මිසයිල ෂෙල් වෙඩි අහසින් පතිත වු න
තවත් රටක් දෙදරයි මිනිසුන් වස න
රැකුම පිණිස මව්බිම දුම් රොටු නැගෙ න
පියා රැඳෙයි පවුලෙන් වෙන්වී සොවි න

පුලුවන් තරම් බර අරගෙන යන්න හැ කී
නික්මෙනු මිසක ඇත්තේ එක විකල්පෙ කී
නැවතත් හමු වේදැයි සිත ගිනි ගොඩ කී
අතීතයද ජීවිතයෙන් යන්නෙ මැ කී

වසන්තයක් එළඹෙන විට අවුරුද් දේ
පිපෙනා මල් නසයි බෝම්බ වෙඩි සද් දේ
පවුල් දෙකඩ වෙයි මායිම් ඉර මැද් දේ
රටවල් අතර ඇයි මේ තරමට යුද් දේ

ව්‍යසනයකින් බැට දීලත් මේ ලඟ දී
සොබා දහම දුන් දඬුවම් නැත පැහැ දී
මිනිසා මිනිසාට කරනා මෙවන් හ දී
දුටු විට සිතේ කොරෝනාව කළා ම දී

14/03/2022

“තරු රටා”

නුවන් තොටවත්ත

සමාවුව මැන
ගුරුතුමනි මට,

එදවස
නුඹ කියා දුන්
"තරු රටා"
බොරු යැයි කීවාට

"තැන තැන තියෙන තරු ටිකක්
මහා වලසෙක් වෙන්නේ කොහොම" දැයි ඇසුවාට

දොලොස් වසරකට පසු
රෑ අහස දකින මට
නුඹ හරිද කොයි තරම් හැඟේ

සඳ නොමැති දවස් වල
රෑ අහස බලන මට
ඒ "තරු දෙක" ඒ "ඇස් දෙක" යැයි සිතේ

මතක දැහැන

නිශ්ශංක දිද්දෙණිය

බෝ මළුවේ සඳ වතුරේ ආලසුවඳ හිවුඩු නගා
ගත සිත මුසපත් කරනා කාල මතක අඹරෝරේ
දිදුලන පුන්සඳ මැණිකේ
ඇළ වතුරේ ඇඳි සේයා
හද පාරයි මගෙ මැණිකේ

ඉරගල වැටෙනා වේලේ පුන්පෝදා බුදු මැදුරේ
සාර සිනා පින් සුවඳේ - ඔප වූ මඳලස බැල්මෙන්
අරුණෝදේ වෙල් එළියේ - නියර බඳේ මැවූ දසුන්
සිහිවෙනවා සිත තනිවී - හද පාරයි මගෙ මැණිකේ

උයන් තෙරේ තුරු වදුලේ බමන මල්සරා ඇවිදින්
පාන රැඟුම් දුටු දෑසට නිවනක් නෑ ඉසිඹුලන්න
කාසි පනම් වැසි වැටුණත් සිදාදියේ සුසුම් මැදින්
හරි ගැහෙන්ට තවමත් බෑ හේනේ පැල සිහිවෙනවා

ගම හැරදා ගිය ආරට - නුඹ හැරදා ගිය ගාණට
මව්පිය සෙනෙහස පිදුමට - බහ දුන්න ද මගෙ මැණිකේ

2022.03.22

කුහු කුහු නඳ නගයි කොවුලා කෙවිලියට
එරබදු පිපෙනවා වැට වට ලතාවට
එළඹෙන්නේ නව අවුරුදු දිනේ හෙට
දෙවසර ගෙවෙනවා අපෙ පෙම් කතාවට

වටවුන් නොදනීය රහසම සිත් තුළය
සුරැකෙන්නේ එයද දෙහිතෙහි ඇති කලය
මට මෙන් ඔබට නැතිවේ කිසි කලබලය
ඇඹු ඒ රුවෙහි නොතබමි නිතඹේ ලපය

පාන්දර නයන පිනවන රන් කිකිළියේ
සීන් සිනාවට රති චිත්ත ඉපිලියේ
පාන් පැළ වගේ හද ගැඹර බැබලියේ
තාන් රෙද්ද ඇන්දම නුඹ හැඩයි ලියේ

ළමා ළපටි සරයෙන් පද උසුරුවන්නී
උමාවන් රුවින් හද කිතිකවන්නී
යොමා නයන අනුරාගය දෙවන්නී
තෙමා දෙතොල් හාදුද වස්සවන්නී

සන්තාපයක් නොමවේ සිත ලතැවිල්ලා
සන්සුන් සතුට හිමිකරගමු සුවිපුල්ලා
"පන්දහසකට ඉහලින් තිබුණත් එල්ලා
රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා"

කඳානේ
නිමල් අබේසිංහ

හිටියා ඔය ඇති

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

මතුවට බිහිවෙන ගැමුණු කුමරු ඔබ
මතුවට බිහිවෙන වෙහෙර දේවි ඔබ

හෙළයින්ගේ මහ ශක්තිය - දැනුනෙ නැද්ද දරුවනේ
පුරාණ නටබුන් අසිරිය - හැඟුනෙ නැද්ද දරුවනේ
තිසා වැවේ යෝධ බැම්ම - දුටුවෙ නැද්ද දරුවනේ
සීගිරි කූඨයෙ සිරසට - නැඟුනෙ නැද්ද දරුවනේ

මුඩු බිම් සරුකල බිම් විරුවෝ - කෝ අද ඒ දරුවෝ
දාගැබ් වැව් බැඳි රජ දරුවෝ - කෝ අද ඒ දරුවෝ
යුධ බිම සරුකළ රණ සුරුවෝ - කෝ අද ඒ දරුවෝ
හෙළ මව ලද පින්බර දරුවෝ - කෝ අද ඒ දරුවෝ

නැගිටිමු නැගිටිමු සිටියා ඔය ඇති - කුසීත කම් හරවා
දුරලමු දුරලමු දීන චින්තනය - නිවහල් සිත අරවා
පෙරලමු පෙරලමු පස හෙල පොළොවේ - මුඩු බිම් සරු කරවා
පිහිටමු පිහිටමු තුන් සරණේ තෙද - සිරිලක හෙලි කරවා

නාලිනී කොඩිකාර ගේ සතුට දන්දෙමි’ පොතෙන් උපුටා ගන්නා ලදී

වලාකුළු දුක

නුවන්තිකා එදිරිසිංහ - රාජගිරිය

ඔබ මගේ සඳ
වසමි ඔබ අන් කිසිවෙකුට නොපෙනෙන්න

ඒත් ඔබ...
එළිය දෙයි
සුදු කුමුදු මලටම;
මගේ ගත විනිවිද
දැදුරු කරවා මගේ හදවත

Houses burning

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

I saw a house burning
Flames rising sky high
I saw souls in dwelling
And thought they would die

So, I yanked the door open
“Run out” was my high cry
But they stared un-woken
Said “Give us reason why?”

“Run out” you may well say
Aren’t winds cold out there?
And where are we to stay?
Who would give us care?

Through any fire or rain
In this home we remain
We shall always fight
For our absolute right

I had no more to say
So, I went on my way
Let us not waste our breath
On those weak to see death

Pandemic fire raging
With daily numbers high
Those prudent, immunising
So that they may not die

Rare red-hot flaming wildfire
Storming through the urban spread
Be in its path, effects dire
Leaving gutted homes and dead

Fire has no fear or favour
When the cause has right flavour
No palace nor hut is spared
So, remain put if you dared

We make our own choices that last
Conditioned by events of our past
While the “wise” realise what is right
Those “clever”, for their rights will fight

Protect all borders if we may
And lock down to keep fire away
Just a few of us that need remain
For those houses to burn again

Do we care for all mankind?
And ensure fire is gone for good
Or do we leave some behind?
For a position they firmly stood

Perceptions like footprints on sand,
Disappear as new realisations dawn
So, take us to that promised land
Where fire and conflict are gone

සමුගැනීම….

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය

තම දියණිය වෙන රටකට යවා, රට වෙනුවෙන් යුද්ධයට යන යුක්රේනියානු සිවිල් පුරවැසියාගේ සමුගැනීම....

බෝම්බ හෙලනවා අපෙ රට ගිනි ගන්නේ
මිනිසුන් මැරෙනවා කොහොමද ඉවසන්නේ
ලෝකයෙ මිනිස්සුන් නැහැ සහයට එන්නේ
මම දිවි පුදා හෝ මගේ රට රැක ගන්නේ

හිටියා දවස් ගණනක් අප කුසගින්නේ
තද සීතලට නුඹේ ගත වෙව්ලා යන්නේ
රුසියන් මිසය්ලය කොය් මොහොතෙද එන්නේ
නුඹ වැනි දරුවො ගැන මා හද වැළපෙන්නේ

බේරා දිය යුතුය මගෙ රට දරුවන්ට
සටනට මමත් යනවා රට රැකගන්ට
මගේ රන් දුවගෙ පණ නල ටික බේරන්ට
යවනවා පුතේ උඹ වෙන රටකට ඉන්ට

නැගලා කෝච්චියෙ වෙන රටකට යන්ට
දිවි බේරාගෙන නුඹ සතුටින් එහි ඉන්ට
මරලා සතුරු රැල මව්බිම රැකගන්ට
නවතිමි මගෙ දුවේ මාහට සමුදෙන්ට

හිතුවේ නැතත් කිසිදා අවි දරන්නට
ආයුධ ගත යුතුය සතුරා නසන්නට
මතු යම් දිනක නුඹ මව් රට දකින්නට
ආවිට වරෙන් මගේ සොහොනත් බලන්නට

තරුවක්මි තනිවුන…!

නිසංසලා දිසානායක - නුගේගොඩ

දුර ඈත දිදුලන..
හාත්පස අඳුර දුරලන,
සුවිසල් සරා සඳ නුඹ...!
සොඳුරුයි නුඹ සැබෑවටම..!!

නුඹට නොදැනී..
නුඹෙන් සැඟවී..
නුඹට පෙම් බඳින මම..!
තරුවක්මි ඈත තනිවුන,

නුඹ වටා සැරිසරන ..
සොඳුරු, විසිතුරු තරු අතර..
නිදැල්ලේ සරන නුඹ ..!
නොදකීවි මා කිසිදිනක ..
නොහැඟේවි මගෙ සෙනෙහෙ කිසිදාක...

නුඹටම පිරුව මගෙ පෙම..
දරාගත හැකි නොවන නිසාම.!
නිබඳ මා අසල දැවටෙන..
ලබැඳි වළාවට කියන්නම්..
මොහොතකට හෝ සැනහී..
හිතේ දුක නිවාගන්නට ..!!

Colour in the sky

Omindu Bometh Fernando - Meopham school - year 9 London

wake up brown bears
the leaves are green
the snow has melted
the birds now sing

the flowers pop
the grass shines
the trees come back alive

colour in the sky
birds flapping their wings
people ready to sweat
and now sing

Meopham School - London

වෙනස

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව

සඳ එළිය ගලා යන
සඳළු තලයේ කොනක
නිහඬතාවට පෙමින
දෙදෙන මුවගින් නොබැණ

ගස් මුදුන අතුපතර
පෙරා සඳ රැස් දහර
මඳ සුළඟ වැළඳගෙන
පෙම්බසින් දොඩමළුව

සුදු වළා පුළුල් උර
තුරුළු කර සඳ මඩල
පෙම් තෙපුල් කොඳුරමින
නොඇසෙනා තරමටම

සඳ එළිය ගලා යන
සඳළු තලයේ කොනක
රත් පැහැ වුවන දෙනයන
පිටුපා හැරී උනුනට

07/11/2005

ගුත්තිල කතාව.

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව

ගුත්තිලය යලි ලියනවා නම්
රසවිඳින්නට රහට...
පරදවා ජය අරන් මොකටද
දුන්නු පින ඇති හිතට...
තුරුණු විය ඉක්මවා දවසක
උඹත් එයි මගෙ මගට...
අනේ මූසිල හිතේ තරහක්
හීනෙකින් නැහැ උඹට...

දමා ගුලි උඩ, පරදවා නුඹ
ජය අරන් මට කුමට...
පරදවා උඹ , සතුට වෙනුවට
සතුටු වියහැකි ගුරුට...
දැනන් උඹ ගැන ශිල්ප දුන්නේ
හිතේ ඇති මිනිස් කමට...
පරදවා පෙරගමන් පලයන්
ඒ සතුට ඇති මෙමට....

ගහේ මල් වල සුවඳ පිරුණට
ඉරිසියා නැහැ ගහට...
විලේ වතුරෙන් උඩට ආවට
පුදසුනක් හිමි මලට....
උඹේ හැකියාවකට දෙවියන්
එක්ක ගනුදෙනු කුමට...
දේව දරුවනි, නටාපන් හැම
මූසිලගෙ වෙන නදට...

ඔයා

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

නාය යන කන්දකට
කණ තියා බලා
වැට කඩුලු සිටුවලා
රැක ගත්තෙ ඔයා

කොහෝ විත් ගී ගයන
බක් මහට වෙලා
සමක රේඛාව මත
වසන්තය තබා

කල් බලන ආකාසේ
කුල්ලකින් පොළා
කඳුළු මළු වස්සවා
නිල් සළුව වියා

මුල් බහින ආදරේ
පෙරනෙකින් පෙරා
පත් අහිමි සරත් කල
මල් පියලි තියා

සොබාදම් රීතියට
එකඟ වෙමු කියා
කොහේ හෝ අදත් හිඳ
බලනවැති ඔයා

එක්සත් රාජධානිය - ලන්ඩනය

අණත් පනත් හැම සම්මත කරගන්න
අඩුයි කියා කිසිම දොසක් නොකියන්න
මමත් එකෙකි දුන් හැටනම ලක්ෂයට
සමාවෙන්න මා කළ එම වැරැද්දට

රටත් ජාතියත් අඳුරේ ගිලෙන හැටී
පෝලිම් වල ඉඳන් මිනිසුන් හඬන හැටී
හෙණ පිට හෙණ වැදියන් යයි කියන හැටී
මොන වැරදිද උන්ගෙන් වුනෙ බලනු වටී

ඇති හැකි එකා රට විකුණා සැපට ඉඳී
නැති බැරි එකා එල්ලෙන්නට වැල් සොයතී
කිරිබත් කකා බිව් ජයපැන් මතක නැතී
කනවා නොවෙයි දැන් ඔක්කොම උලා කතී

කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන් ගියා
කියලා එකල කිව් ලෙසවත් කියන්නට
හැකිදැයි අනේ දැන්නම් බය හිතේ මට
කොළඹත් රටත් දේවිද ණය හිලව්වට

14/03/2022

විමසයි ඉන්ද්‍රයාණන්

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

පංචසිඛ වයන නදට
ඌර්වසී රඟන කල
"නුදුටුවෙද රථ ගාය"
ඉන්ද්‍ර මා විමසීය

දිස් වුනා ම⁣හෝසද
ගිනි මකර පිට නැගුන
කඟවේන අසු මතින්
ගුවන සරන ජීවක
දඬුමොනරෙක විසිතුරු
ගොඩ බසින රාවණා
විසල් ගුරුළෙක් කැටුව
එන බරණ ගණිතයා

අමෘතය රස දැණෙන
අතැඹුලසෙ ලොව පෙනෙන
මොහොත දකිනා සිහින
නිම කළා හිරු කිරණ
සුපිරි ඉන්දන සොයන
ඒ සියළු යානයන්
හිස් ලූ ලු අත යමින්
හඬා වැලපෙනු ඇසේ

2022 මාර්තු

නාඳුනන සෙබලාගේ සොහොන් ගැබ අබියසදී …..

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ

නොනිවී දැල්වෙනා ගිනිදැල්ල
මේ එයයි
හදවතින් ඇවිලෙනා ගින්න
එය හා සමයි
චතුරස්‍රයේ රතු වූ දැල්වෙමින්
එය තිබෙයි
නාඳුනන සෙබලෙකුගෙ මතක
කොත මේ එයයි .

හාත්පස හිම වැටී සීතලෙන්
හද ගැහෙයි
අතීතයෙ සිතුවමක් නෙත් දියෙන්
බොඳ කරයි
තුරුණුවියේ මල් පරව
සිහිනයක සැරිසරයි
ඉකි බ්ඳින මිහිකතට ඔබ
සිරුර හරි බරයි .

සීතලට ගල් ගැසුණු කඳුළු බිඳු
නෙත් වරයි
හඬන සියොතුන් නොමැත
සැඟවෙලා නිසසලයි
දැල්වෙනා ගිනි සිළුව අසලදී
හිත බරයි
නොසැමරු මළගමේ ඔබෙ
මතකයන් සිත සරයි .

ලෝකයේ කොතැන හෝ නාමයෙන්
දැයක පෙම
'විමුක්තිය' සොයා ඔබ⁣ පෙරට ගොස් අතැර සැම
තුරුණු මල් මිලින වී මරණයෙන්
වුනා නිම
නාඳුනන ඔබෙ නමින් දැල්ව ඇත
පහන් සැම .

පෙම්බර අම්මා

ප්‍රේමචන්ද්‍ර රූපසිංහ - නුගේගොඩ

දුරු රට ඉඳන් මා ඔබ සිහි කරන විට
පුර සඳ පෙනේ වැහිබර කලුවලා යට
ගල්ලෑහැ පැදුරෙ නිදි කළ හැටි සිතන විට
අම්මේ නුඹේ සුවඳ පැතිරී යයි අවට

වෙර-⁣වීරියනි දරු කැල තරණය කෙරුවේ
නැත අඩුවක් අපේ දිවියට ඔබ තැබුවේ
අපෙ සැප පෙනී නුඹේ නෙත් කදුලින් පිරුනේ
අම්මේ නුඹ නිසයි අප නිසි මග ලැබුවේ

පුරා දස මසක් කුස තුළ තබාගෙන
ලේ කිරි කර පොවා නෙත් මෙන් බලාගෙන
අල්ලාගෙන අතින් පාසල වෙත රැගෙන
ගිය හැටි මතක් වේ අම්මේ මට නිතින

අප්පච්චිටත් පණ මෙන් දිරි දුන් අම්මා
අහල පහල හැම දරුවන්ගෙත් අම්මා
දරු කැළ මැණික් කැටමෙන් සුරකෙවි අම්මා
දෙපා නැමඳ වඳිනෙමි පෙම්බර අම්මා

එවන් ඉසියුම් මොහොතක් අපට අහිමි ද?

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

ඉතින් අප...
කවදා හමුවෙමුද?
මේ විසල් අහස යට
මේ ඉමක් නැති පොළොව මත
ඉකි ගසා වැලපෙන සයුරු තෙරක
දූවිලි කුණාටු ඉගිලෙන කාස්ටක මුඩු බිමක
එසේ නැතිනම්
කලබලකාරී නගරයක් මැද
මල් උයන් හිමි නැති බැවින්
කොතැන වුව කම් නැත
ගිලී යන්නට
සෙනෙහසේ විල් තෙර
ගැඹුරුතම අගාධයක.

ඔබ අසල සිටින විට
මට මා නොදැනෙනු ඇත.

වසර ගණනක් පුරා තවමත්
ලියා නිම කල නොහැකි වූ
පෙම් කව.
නිම කරමුව අප
එහි අන්තිමම පද.
දෙඅතක රැඳී වෙහෙසව
විඩාවූ හදවතට
සියුම් ලලාසාවක් රැගෙන
ඉතින් හනිකට එනු මැන.

අප දෙනුවරක බව නොදැන
කොතෙක් නම් මල් පිපුණිද?
මනලෝල ගීත ඇසුනිද?
මත් බිඟුන් හා විහඟුන් ගැයූ
උන්ගේම තනු වලට.
කොතෙක් රළ රැළි හැඬුවේද
ඔබ මා පියසටහන් නොදැක වෙරළක.
තව බොහෝ කල් නැත අපට
අපේම හැඟුමකට වෙන් කරනට.

සොය සොයා අහුමුළු
හදවතේ ගැඹුරත
මෙතෙක් කිසිවෙක් ඇස නොගැටුණු
මං පෙත් වල
ඇවිදගෙන යමු අප
අතැඟිලි පටලාගෙන.

එවන් ඉසියුම් මොහොතක්
කිසිවෙකුට හිමි නොවනු ඇත
ඔබට මට හැර.

කොවුල් හඬ ඇසෙන වසන්තය

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

කොවුල් හඬ ඇසෙන
වසන්තය
පෑල දොරින්
පලාගොස්
ඔවුනොවුන්
ඇණකොටා ගන්නා
දුක්මුසු
දුර්භීක්ෂයක
පෙරමඟ ලකුණු
පෙනෙන
ලිපක ගිනි
නොඇවිලෙන
සාගින්දරෙන්
ඇවිලුනු
ලෙන්දොර වැසීගිය
ගුහාවක
ඉතිහාසයෙන්
පැවැත එන
සිංහබාහුලා
වෙමු අපි?

අනේ ඉතින් සමාවෙන්න…….!

රංජිත් ද සිල්වා - නවසීලන්තය

ප්‍රයිවෙට් බස් එන්නට පෙර - ලංගම බස් පාරේ ගියේ
පාසැල් සේවෙ - තැපැල් සේවෙ - අවුරුදු සේවේ
සීග්‍රගාමී - සීමිත නැවතුම - විශේෂ චාරිකා
මතක් වෙද්දී හරි සතුටුයි

කාකි පාට බුෂ් කමිසය
ඇඳගත් රියදුරු සහ කොන්දොස්තර
ගාම්භීර මුහුණ ඔබේ - මතක් වෙනවා තාම ඉබේ

එන්ජිම පණගැන්වූ විට - වෙවුලන සුක්කානම මත
දෑත තබා වීරිය ගෙන - අපිව අරන් ප්‍රවේසමෙන්
කඩුගන්නා - හුන්නස්ගිරි - රම්බොඩ - පාර දිගේ
බස් පැදවූ ඔබතුමන්ලා

කොළඹ -නුවර, ගාලු -කොළොඹ
දුර ගමන් බස් සේවයේ
මුළු ගමනම පාපුරුවේ - එක දිගටම හිටගෙන ගිය
ටිකට් දුන්න ඔබතුමන්ලා

කඳුවගේම තැනිතලාවේ - වංගු තියෙන මහපාරේ
රියදුරු හා කොන්දොස්තර - දෑත දෙපා විරිය ගෙන
මුල ඉඳන්ම ගමනාන්තෙට - අපිව අරන් ගමන ගියේ
ජිවිතේ ගිරි දුර්ගේ - ගමන් කරන හැටි කියමින්

පිළිම හැදුවේ නැති වුනාට - මල්මාලා නොදැම්මාට
අනේ ඉතින් සමාවෙන්න - කලගුණ අපි නොදත්කමට
ගොතා මෙලෙස කවි පදවැල් - ඔබ අබියස පුදමි බැතින්
ඉතිහාසයේ ලියා තබමි - මෙවන් චරිත නොලියු පිටුවේ

24 මාර්තු 2022

කළුවරත් එක්ක

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

ගැටුණු තැනෙක පය පැකිළී බිඳෙන සුළු
පලිඟු පහන් ගබඩා කළ අඳුරු මුළු
ඇසට හොරා ඇස් ඉඳහිට කඳුළු සැලු
අවට කොතැන හෝ තවමත් තියෙන වලු

ඉරට එරෙහි කළුවර ගැන ලියු කවිය
ඔබට සුබපැතුම් වූ හැටි සඳ දෙවිය
පවට බණින විට හඬ ගා ගිනි අවිය
පිනට පිපුණු මල් කිසිවක් පර නොවිය

සොඳුරු අතක මුව සුසුමක සුව පහස
මියුරු කවක සර දැහැනක රස පහස
නුදුරු දිනෙක සිහිනෙක විඳගනු පිණිස
අඳුරු දවස නිමවාලනු මැන දිගැස

22.03.2022

මේ යුද්ධයට විරාමයක් තැබිය යුතුමය

වෛද්‍ය රුවන් එම් ජයතුංග - කැනඩාව

අප රුසියාවටත් යූක්‍රයීනයටත් එකසේ ආදරය කලෙමු
එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකුගේ යුද්ධය වේදනාකාරීය
අප තොල්ස්තෝයිටත්, ගෝගල් සහ ඔස්ත්‍රොව්ස්කිටත් එකසේ ආදරය කලෙමු
වීරයන් සහ ප්‍රේමවන්තයන් බිහි කල ස්ලාව් රාජයන් දෙකක්
වයිරයෙන් සහ අගතියෙන් යුතුව එකිනෙකා විනාශ කර ගනිති
මේ යුද්ධය නිසා රටවල් දෙකම විනාශවී යනු ඇත
යටිතල පහසුකම් විනාශවී මිනිසුන් විඳවනු ඇත
විනාශවී ගිය ගොඩනැගිලි , පාලම් සහ ගෙවල් අපට පෙනේ
විනාශය ඇරඹුනා පමණි ;අනාගතය අඳුරුය
තිස් වසක යුද්ධයක සාක්‍ෂිකරුවන් වූ අපට
මේ යුද්ධයේ භයංකර බව පෙනී යයි
දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ විනාශය ඔබට මතකද ?
යූක්‍රයීනය නට්සින් ගෙන් මුදා ගැනීමට
යූක්‍රයීන සොල්දාදුවන් සමග රුසියන් සොල්දාදුවන්
සහයෝගයෙන්, එකා මෙන් සටන් කල අයුරු මතකද ?
ඇෆ්ගනිස්ථානයේ ඔබලා දුෂ්මාන්ලාට එදිරිව
එකට එක්වී සටන් කල අයුරු මතකද ?
මේ යුද්ධය බෙහෙවින්ම වේදනාකාරීය
යුද්ධයකින් ජයගත්තවුන් නොමැත
සියළුදෙනාගේම ආත්මයන් යුද්ධය නිසා විඳවනු නියතය
මේ යුද්ධයට විරාමයක් තැබිය යුතුමය

තණ්හාව

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර

තණ්හාව

පසිඳුරන් සහිත මේ
සිරුර නැත හානිකර
ගෙවී යන මේ සිරුර
නිසල වන යම් දිනක
මහ පොළව සරු කරන
බවද මම දන්නෙමිය
මන සමග හැසිරෙන
ද්වාරයන් සහිත වූ
නොපෙනෙන සියුම් සිරුරක්
මනස තුළ ඇති බව
දැනෙයි මට නිරතුරුව
ඒ සිරුර හසුරුවන
කෙනෙක් ඇත
රුවක් නැත

තණ්හාව නැමති ඒ
මරුවා සමග වසති සැම
දකින,කියන,ඇසෙන සැම දේ
සකසයි තණ්හාව රිසි සේ
තණ්හාවෙ අණසකට යටවී
සිත,කය,වචනයද සැකසේ
පදාර්ථය හසුරුවන
අදිසි හස්තය එයයි
තණ්හාව ඇසුරු කොට
රහසින් කරන පව්
දකින කෙනෙකුන් සිටී
අප අසා ඇති ඒ
යම රජු වේද මේ
ඒ අණ පරිදි අප
මරණයෙන් මත්තෙදි
කෙළෙස් කරපින්නා
දන මන තුටු කරවයි නිතිනේ

2022 මාර්තු 07 වෙනි දින.

ඉන්දු සයුරේ මුතු ඇටේ

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

දහ දුක් විඳ අස් වැද්දූ කෙත් කුඹුරු
ඇත් සා මුව රැක සැමගෙන් පසමිතුරු
නෙලනු බැරිව අස්වනු මැද සිත් අඳුරු
නැතිව තෙල් ටිකත් ලතවෙති ගොවි සොයුරු

තිබුණු රසායන පොහොරත් නැති කෙරුවා
ලැබුණු කාබනික ,දියරත් වුණි මදිවා
නැගුණු විරෝධය දසතින් අඩු නැතිවා
දරුණු වුණේ සිත් ඇස් කඳුලෙන් පුරවා

නෙලූ සොච්චමත් ඔහෙ ගොඩ ගැසේවා
සිහින මාළිගා වල සිත් රැදේවා
එන්න එන්න දුක් ගින්දර බොහෝවා
බලනු දෙවියනේ සිදුවුණු වියෝවා

උදේ ගන්න තෙල් ටික පෝලිම් වලය
දවල් ගෑස් හල් ඉදිරියෙ චං චලය
බෙහෙත් ටිකත් උහුලා ගනු බැරි මිලය
දෝරෙ ගලා යති සිත් වල ජන බලය

කුසයේ පොඩි එකා ඇකයේ ලොකු දරුවා
ගැබිණිය පෝලිමේ පිටි ටික ගනු බැරුවා
සැමියා හරිහමන් කුලියක් වත් නැතුවා
මේ වන් දෙයක් වේදැයි කවුරුන් සිතුවා

කටමැත දොඩවමින් මේ රට කරවන්නෝ
උඩුගම් බලා යන බව මුළු රට දන්නෝ
නිල බල ලබන්නට නම් මෙහි පොරකන්නෝ
ජන සෙත කෙසේ මුත් බලයෙන් බබලන්නෝ

තෙල් නැවු ගෑස් නැවු මුහුදෙහි නැන්ගුරම්
තවමත් ඩොලර් වෙනුවෙන්මය කස්තිරම්
ආසියාවේ මුතු ඇටයවු ඉස්තරම්
කාට කියම්දෝ මේවා සන්දිරම්

ගාස්තු මිල ඉහළ ගිහින් නහුතයටම අද
භාණ්ඩ වල මිලත් අහස උසටම ඇත වැද
හැත්තෑ හතේ ඉදන් සැවොම වගකිව යුතු සද
කෙනෙකුට දෙදෙනෙකුට ඇගිලි දිගු කොට කුමටද

13/3/2022

අන්දරේ ගේ සතුට

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

ඇවිදින අතර මාතර පැත්තේ වැල්ලේ
හමුවුණි අන්දරේ යනවා දික්වැල්ලේ
එල්ලෙන මූණෙ ලකුණක් නෑ සැනසිල්ලේ
පැද්දෙන ළඳක් දෝ හේතුව කැරකිල්ලේ

***************

මගෙ වග කියා උඩ ගිය උන් මුල් කාලේ
අතු අග නැග්ග පසු ගෙල ලා කවි මාලේ
ඉනිමග පයින් ඇන බිම දමනා ලීලේ
වෙන මග ගිහින් ගරහයි සී පද තාලේ

මාගල වගේ පහළට පහළට ලියලා
ඒවලු කවිය සීපද බල්ලට දමලා
ඒ මදිවාට තළු මර මර රස කරලා
රූ පෙට්ටියේ දැක මගෙ එයි බඩ දඟලා

සිව් පද කියා ඉගිළෙන්නට රජුගෙ උළු
හෙව්වා දවස ගානෙම ආභරණ සළු
ලිව්වා නම් එදා ඔය පල් හෑලි මලූ
අව්වේ තමයි උන් හැම දඬු කඳේ රළු

ඵල ඇති රුකේ එල්ලුන වවුලන් ලෙසින
අය වෙති අරක් ගත් බහිරවයින් වෙමින
වැජඹෙති කවිය කා එහි ලේ බී තුටින
මට ඇති සතුට මම නැති එකමයි මෙතන

දුප්පතුන්ගේ පෝලිම…

සුගත් අමරසිංහ - නයිජීරියාව

තෙල් සිඳී ලාම්පුවේ
මුළු ගෙයම කළුවරේ
රැගෙන තෙල් බෝතලේ
පිට වුනේ හිමිදිරියේ
නිදිවරා හාමතේ
හිටගෙනම එක තැනේ
දෙපා රිදවුම් ගෙනේ
වැටි සිහිසුන් වුනේ

එත් .....

තවම මම බූමිතෙල් පෝලිමේ

Memory lost වුණා

සචී ජයවර්ධන

පේන හීන කළුවට
පාර අද්දර හතිලෑවට
අක්මාවට ගොඩබැස්ස ප්‍රේමෙට
Memory lost වුණා විශ ටික උරාගන්නට....

විත්ති කූඩුවට ගියපු හදවත
අක්මාව ගැන ගතු කිව්වට
ඩයිලයිස් කරපු B+ වකුගඩු දෙකට
බද්ධ කෙරුවෙම A- රතු පාට

නහර ඇතුලෙ රත් වෙවී දුවන්න
පුරුද්දට ගියපු ඇබ්බැහිය ආයෙ ආයෙත් ඔතන්න
බීපු සිගරට් උගුර ඉස්මොල්ලෙ ගියාට
ටොබැකො උගුර ඇන්නෙම නිල් පාට හදවතට....

Open your eyes..

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

Open your eyes..
Need to close my eyes
For a while......
I'll see my world
Through your eyes..
And
I'll see the world
From your eyes.....
Open your eyes.....
Need to close my eyes
For a while.....
not for the sleep
Just for a dream...

ශ්‍රී ලංකන් ලු:

සපුමල් බන්ඩාර - ලන්ඩනය

උපන්දා පටන් අපි හොඳ ශ්‍රී ලංකන් ලු
අද වනතුරා ඒබව හොඳටම දැනෙනවලු
ඇදුමෙන් පැලදුමෙන් අපි කියන්නෙ ආයුබෝවන් ලු
නමුත් අනේ අපිට ඇත්තෙ ඉතිහාසයක් ලු

වදන් යොදා සරුකරගත් සංදේශය ලු
දුර ඈතට පෙනෙනා ගරු රුවන් සෑය ලු
සීගිරියට ගියත් අපේ හිත පිරෙනව ලු
පැරැණි ඇත්තො නැත්තං අපි ගොබ්බ රැලක් ලු

සුද්දො ආව හොඳයි කියලා උන් සතුටුයි ලු
දෙස බස රැස සුරකිපු තව මුන් ගැටුනා ලු
සුද්දො ගිහිං කල්ගතවේ දත නියලා ලු
හැදෙන්න හොඳ කල් තිබුණත් අපි කම්මැලි ලු

ජනවාදී ධනවාදී එන්නේ උන් අපෙ සේවෙට ලු
එලුවො රැලක් බලනව වගෙ ජන්දෙ ගත්ත ලු
අපි කටු කනතුරු උන් එක්වෙල සැප ගන්නව ලු
අපි පත්කල සේවකයෝ අපිව කනව ලු

ඉතිං නංගි අපේ මල්ලි මෙහෙම කරමු ලු
වයස අයට ගානක් නෑ පුරුදු වෙලා ලු
ගද ගහනා පාලන ක්‍රම මකා දමනු ලු
ඇදුරැ වියත් ගොවිනායකන් පත්කර ගමු ලු

(තවත්)
ඔබත් නැගී වැඩකට ඇති රටක් හදමු ලු
අන්න එදින අපි හරියට ශ්‍රී ලංකන් ලු.

පැවරුම් අංක 01 : සිංහල කොඩිය ඇඳ පාට කරන්න…

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය

පැවරුම් අංක 01 : සිංහල කොඩිය ඇඳ පාට කරන්න...

එකල සිට සිංහයෙක් අඩුව ගෙන සුරැන්දේ...
පුතේ ඌ ජාතියේ එඩිතරය දැනුම් දේ...
මකාපන් කොඩිය මැද ඔය ඇඳපු කවන්දේ...
ඇයි? කියා දුන් ලෙසට සිංහයෙක් නො ඇන්දේ...

යැදිය හැකි සියුලු තැන්වල ඉඳුල් දන් සිඟන්...
ජාතියේ ආත්මෙට මෙතක් අවමන් කරන්...
අතීතෙට බඳින උන් මකුළු දැල් රන් වියන්...
ලඟින්වත් ඉන්නවට කැමති නෑ සිංහයන්...

පුතුනි කවුරුන් ගමිද තුරුළට?

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

නේත්‍රා

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

ස්මරණය කරමි
නිරන්තරයෙන්
සිතුවමක් සේ පෙනෙන
නුඹ දෙනෙත.

රාගය ද ,විරාගය ද,
රුදු බව ද, මුදු බව ද
වෙන යම් හැඟුමක් ද
සැඟවී ඇත්තෙ ඒ තුළ?

එබීගෙන නෙත් දෙකට,
වරු ගණන් ඉදින් සොයමි මම.

විසල් කොට ඇඳ බලමි
සුධවල පතක ,පන්හිදක්
මකනයක් අත ඇතිව,
වරින්වර වෙනස් වෙයි
එසඳ නුඹ නෙතේ බිම් දසුන
වලා මෙන්
අයාලේ යන
මගේ සිතුවිලි සමඟ
සුළි නගයි අපමණව ඔය දෙනෙත
නිහඬව ..

එවිට මට පෙනෙන්නේ

රාගී
විරාගී,
රුදු
මුදු,
හිංසක
අහිංසක,
සසල
නිසල,
තෙත්
උණුසුම් ,

දෑසක් එබෙන'යුරු
මා වෙත...

අන්ධ මනුසත්…

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

මනුසත් හැම දෙනා දවසක නොදැනිම යන්නට යනවා

ඒ වෙනකම්ම නොමැරෙන ලෙස රඟා හැසිරෙනවා

ඉසි කෝ සමඟ හිත පිරුණම අනිකට කෙලවනවා

මැරෙන ඈයො නොයෙකුත් පාඩම් කියලා දෙනවා

ආවේ හිස් අතින් යා යුත්තෙත් එසේමයි සැම දන්නවා

යටිමඩි ගසා බෙලි කපා හොර කම් උජාරුවට විඳිනවා

උදේ හිටං රෑ වෙනකන් බඩ වඩා ගන්න පොර කනවා

අනේ අපොයි! මේ ඇත්තන්ට මිනිසුන් යැයි අමතනවා

මනුසත්, මනසින් අන්ධ වූවිට දෙවියොත් වැලපෙනවා

දෙවියන් බුදුන් උගැනූ මග යනවිට වැරැද්ද පෙන්වනවා

හරි කර ගන්න කාලය හා උදවු නොමඳව දෙනවා

ඒත්,කොරහෙත් ඉදිමුණු අත් දාගන්නට නම් පැටලෙනවා

06/03/22

තේවානිගේ කවිය

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර

කුමරුනේ ස්කන්ධ
මතකයිද මන්දා
වල්ළිට කළින්
මං, ඔබට පෙම් බැන්දා
ඔබේ සිත
ඈ ගාව දැවටෙනා හන්දා
මම දෑස් පියාගමි
වරදක්ද මන්දා

සෙල්ල පුර
මැනික් ගං වැල්ලේ
ඔබ දෙදෙන තුරුළුවි
කුඹුක් තුරු නිල්ලේ
තේවානි, මා පයට පෑගෙනා
දූ විල්ලේ
ඉනාවක් කැව්වාද
රාවනා ලේලියේ...

නිහඬකර පසගතුරු නාදේ
ඒත් දුර ඇහෙනවා
මත් කොවුල් ගී රාවේ
සැතපිලා
වල්ලිගේ උකුල් සුව යහනේ
ඇසල, සඳ සැඟව ගොස්
කතරගම අහසේ

කිරිවෙහෙර ලඟ
හිත නිවෙන හන්දා
මම තනියම ගිහින්
සෑ මළුව වැන්දා
ඒත් බෑ ඉන්න කඳුළු
ගග හන්ගා
කයිලාසයට යන්න
හිත හදාගත්තා

දොලොස් ඇස් ඔබේ
අඳවීද මන්දා
මං කදුළු සගෝගෙන
තනිව ඉකිබින්දා
නෙළුම් නටුවක් වගේ
මගේ සිත බින්දා
සිතුළ්පව්වේ ඉන්න
අවසරද මන්දා

ඊයෙ.. අද…. සහ හෙට….

තිලක් ධර්මරත්න - කොළඹ

ඊයෙ දවසින් සමුගන්න
අද ඇවිත් හෙට එක්ක..!
දෙන්නගෙම අවනඩුව
හෙටට තව නොතේරෙන..!
අද.. යමු යි කිය කියා
පින්සෙන්ඩු වෙත්දිත්
නෑවිදින් කොහොමද.?.
හෙට ත් ඈතට වෙලා
කොහොමටත් විපිලිසරව..!
ඇස් හතර රතු වෙලා..
නෙත් කැල්ම නෙත් බැල්ම
එකිනෙකට පැටලිලා..!
දෙන්නගෙම ඇස්වල
නෝක්කඩු ඇහිරිලා..!
හෙටත් පසෙකට වෙලා
අද ඊයෙ ගලපන්න
මහා සටනක් කලා..!
ඔයාගෙත් වාගෙම
මගෙ වැරදි තව ගොඩයි..
ළග ළගින් අඩි තියා
අපි ආව මාවතත්
ඔයා මං වාගෙමයි.
අපි වෙන් වෙලා යමු..

අපේ හදවත් දෙකෙන්
සමාවක් ලැබුනොතින්
එකම එක දවසකට..

අපි ආයෙමත් ඇවිත්
හෙට ට ආදරය කරමු..!

ඊයෙ අද අතින් ගෙන
හීනියට පිරිදිමයි..!

නෙතු කදුලූ පුරවගෙන
බොඳ ව ගිය පැතුමක ට
තුරුණු හෙට ඉකිබිඳියි..!

The National Hospital.
Colombo.

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

අවට සුපිපි සපු දුනුකේ සළලාන
හඬන තැනින් තැන විලිකුළු කිරළාන
පැසී නැමි කරල් රත් හැල් සහළාන
වඩිනු මැනවි මහවෙල මැද වෙරළාන

උතුම් මිතුර, හාත්පස මනා සේ පිපුණු සපු
දුනුකේ සහ හොර ගස් ඇති වනයෙහි,
තැන තැන වලිකුකුළන් හා කිරළුන් නාද
කරන්නා වූ, රත්ඇල් වී කරල් පැසී නැමී
තිබෙන්නා වූ වෙරළාන මහවෙල මැදින්
යා ගන්න.

දෙවියනි මගේ රට බේරා දෙන්න මට

තුසිතා සුරේකා - මීගමුව

දෘතරාෂ්ට විරූඩ විරුපාක්ෂ වෛශ්‍රවණ
සුමනසමන් කතරගම උපුල්වන් විභීෂණ
පත්තිනි අයියනායක කඩවර නාථ
දෙයියනි වැහිලාද ඇස් කන් මොහොතකට

විලාපයකි අසරණ හිත් වල සරන
පෝලිම් වල හිස් හිතින් පෙරමග බලන
හිස් වුන කුසින් හිස් අහසට හිනා වෙන.
දරු පැටවුන්‍ ය කතිරේ පව් ගෙවාලන

දකින දකින හැම මුහුනෙම මලානික
සුන්වූ නටබුන්‍ ය තැනු මාලිගා වල
අදුරට ආවඩා කුසගින්නේ නිදන
අසරණයින්ට හෙට හිරු මොට දැයි නැගෙන

රන්මසු වලට ගිජු වුන බහිරව ප්‍රේත
මල ආත්මයන් රජ කරනා කලෙක මිස
මෙහෙව් දුකක් කවදාවත් විද ඇත්ද
තිස්තුන් කෝටියක් දෙවියනි නොපෙනේද

සතර වරම් දෙවියනි කොහෙ වැඩලාද
තුන් සිංහලේටම මුන් මහ හෙනයක්‍ ය
බිල්ලට දී නොදී රට බේරා ගන්න
පමා නොවී ආකාසෙන් බැස එන්න .

බෝසත් කොටියාගේ අභයදානය

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම

කුසයට නැතිව අහරක්
සැරුවෙමි සොයා ගොදුරක්
සෙළවෙනු දුටිමි පඳුරක්
දැනුණේ නෙතට මිහිරක්

සෙළවෙන පඳුර වෙත පියවර තබා සෙමෙන්
නිතරම වැනෙන කොටි වලිගය තබා කෙලින්
එල්ලය ගතිමි තුරුවැල් දෙස බලා සොඳින්
පැන්නෙමි ගොදුර ඩැහැගන්නට බෙල්ල මුලින්

දුටුවේ කිසිඳු දින අමතක නොවන දෙයක්
සිටියේ පඳුර මැද සැඟවුණු මුවැත්තියක්
තිබුණේ කුසය මැද දඟලන කිරි කඳුළක්
දුටුවේ නෙතින් වැගිරෙන මවි සෙනේහයක්

ගැබ්බර මුවදෙන-
අයියණ්ඩියේ මා මැරුවට කමක් නැතේ
කිරි මණ්ඩියේ කිරි හැලිලා හතර අතේ
හිත් මණ්ඩියේ අමතන්නට කියා පුතේ
අයියණ්ඩියේ ආසාවක් ඇතිය හිතේ

බෝසත් කොටියා -
නංගියේ මමත් ඉපදුණෙ මවකගේ කුසින්
බණ්ඩියේ නටන දරුවා මම දුටුව සැණින්
නංගියෙ අභය දුන්නෙමි මම නුඹට තොසින්
මණ්ඩියේ ඉතුරු කිරි ටික රැකගනින් ඉතින්

තවලම් කරුව නුඹ නොනවතින බව දනිමි.

තුෂාරි ජයසිංහ - මහනුවර

ගමනාන්තය බොහෝ
දුරකින් ය පැවසු ලෙස
එකම එක් නැවතුමකි
දිගු රැයක් කෙටි කෙරුව

බොහො නැවතුම් තියෙයි
නුඹෙ ගමන අතර තුර
නවතින්න නොකීවේ
ඒ නිසයි තවලමට.

අම්බලම් වල කොහෙද
තිර පදිංචිය ලිපින
මග තොටේ බෝ දනා
නැවති මදකට හිඳින

ඒ නිසයි කිව්වෙ මම
උප්පැන්නෙ කුමකටද?
කෙටි කලක පමාවට
නවතිනා නැවතුමට

නොකියාම පිටමංව
යන්න තවලම් කරුට
අගුලු නොදමා තැබුවෙ
මහ දොරට පාන්දර

යනෙනතුර සිතාවී
මතු නවතිනා තැන
මල් පිපී හිනැහේවි
අදත් හිරු නැගෙන විට

හීන පොදි රන්දාපු
ගිම් නිවන නවතැන
සිහිනයක් වගේ වත්
මතක නැති වෙයි උඹට.

ඔබේ නම

උදයංග අමරසේකර - ප්‍රංශය

ඔබෙ සොහොන මත
මල් පොකුර මිලිනව ගොසිනි
තැපැල් පෙට්ටිය
හිස් කළ කලක් මතක නැත

කාලය පිළිබඳ සංඥාව
මගෙන් පහව යන්නා සේ ය

මුළුතැන්ගෙයි බිත්තිය මත
කණ්ණාඩිය මත
නිදන කුටියෙහි දොර මත
මම ඔබේ නම ලීවෙමි

ඔබේ ඒ නම
සේපාලිකා මලක් බඳු
පරම සෞම්‍ය සොඳුරෙන් යුතු

මහ පුදුමෙකි

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම - පේරාදෙණිය

මහ පුදුමෙකි
ඉරට කලින්
සඳ ඇවිදින්
පුරුද්දට වගේ
පාන්දරම අහස බලමි
ජනේලයෙන්
කන් ද කපා පායා එන
ඉර බලන්න
මහ පුදුමෙකි
ඉරට කලින්
සඳ ඇවිදින්

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි

කොතන උනත් නැත මරුහට බාදා
විඳින මෙ සැප පින් ඇති තෙක් වේදා
ගෙවන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සිනා දා

අහසෙහි හෝ පොළොවෙහි හෝ කොතැනක සැඟවී
සිටියත් මරණයෙන් වළකින්නට බැරි ය. අපේ මෙලොව
සැප විඳීම අප ම රස කළ පින් ඇති තාක් ය. එසේ නම්
සසර දුක් නැති කරණ බුදු දර්ශනය නො අදහා මොන
නැටුම් ද? සෙල්ලම් ද? කවටකම් ද? සිනා ද?

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

නිති නිරිඳුගෙ රැකවලෙහි නියුත්තෝ
රුති ලෙස රුපුනො'ද බිඳ ජය ගත්තෝ
පැතිරෙන වෙණ නඳ බැඳුනු සිතැත්තෝ
අතින'වි ගිලිහෙන බව නොම දත්තෝ

නිතර රජුගේ ආරක්ෂාවෙහි නියැලී සිටි,
කැමති සේ සතුරන් ගේ බලය බිඳ ජයගත්
ආරක්ෂකයෝ; පැතිරී යන වීණා නාද කෙරෙහි
බැඳුන සිත් ඇතිව උන් බැවින්, තම අත් වලින්
අවි ගිලිහී වැටෙන බව නො දත්තාහ.

නොරත – රත

වෛද්‍ය වරුණ ජයසිංහ - එක්සත් රාජධානිය

ඇතුලත තෙත,
එ නිසා ම ඇවිලෙත,
තමන් දැවෙත, අනුන් ද දවත
ගිනිහුල ය ඔබ

ලාවා පුරාගෙන
ඔහේ සිටිනා ඔරවාගෙන
හිම වැස්මක් ද පළඳින
යමහල ය මම

වචන පින්තාරු කරයි සිත්තම් දහසක්

නීතීඥ වසන්ත තෙන්නකෝන් - ලන්ඩනය

වචන කතාකරයි බිඟුන් සහ සියොතුන් ගැන
වණයි ජීවිතයේ මිශ්රාස්වාදය ගැන
සිත්තමක් කතාකලද වචන දහසක්
වචන පින්තාරු කරයි සිත්තම් දහසක්

Words can paint pictures

Words can tell of the bees and birds,
Describe life’s bitter-sweet mixtures;
A picture may speak a thousand words,
Words can paint a thousand pictures.

By Richard D’Cruze

කලබලේ ඉර ඇවිත් දිගු අඬු විහිදුවත්…

විජායී නාලිකා කරුණාතිලක

කලබලේ ඉර ඇවිත් දිගු අඬු විහිදුවත්…
වෙලාවට පෙති විහිදුවන්නැයි අණ කළත්..
ඔරවනා රැස් වලට බය වී හැකිලුණත්…
රෝසමලටත් තිබෙනවා පොඩි හදවතක්..!

කැකුල වට සමණලුන් දුන් රැඟුමන් ගැන
ඉක්මණින් හමු වෙමු කියූ බඹරිඳු ගැන
සුවඳ අරගෙන යන්න එන පවනැල් ගැන
දවල් වෙනකල් දුටුව හීනම බෝ ඇත…

රැයේ වට පිණි වලින් මුව පිසදාගෙන
නටුවෙ කටුවෙන් පිපෙන අවසර අරගෙන
එකින් එක පෙති විහිදෙද්දි කල් ගතවෙන
ඒ පමාවට කිමද තරහව මෙපමණ…?

පාන්දර ඇහැරෙන්න කියලා බල කළත්
වෙලාවට පෙති විහිදුවන්නැයි අණ කළත්
අඬ අඬා හිනැහෙන්නෙ කොහොමද මල් උනත්…
රෝස මලටත් තිබෙනවා පොඩි හදවතක්…!!

ලයිට් සහ වතුර ඉතුරු වෙලා තිබුන නිසා දැම්මෙ නෑ

ලයිට් සහ වතුර
ඇති නෑ කමකි මිතුර
කළුවරේ වත් දකිමු
නොවී පස මිතුර

වියනක් වගේ බැබළුණ තුරු වැල් කැපුවා
ගමින් ගමට උදාන දී එළි කෙරුවා
එයින් ලැබුණ එළියෙන් සැණකෙලි නැටුවා
මාරු වෙවී නොඅඩුව ඒ වැඩ කෙරුවා

කළුවර වුන මොහොත
බරට කරගෙන අවිය
කලතනා විට ගලිය
නොපෙනේද ඇති වළිය

මේ අය නෙමෙයි ඊළග අය එන විටදිත්
ඇසෙයි හැම දෙසේ කා කා හඬ සද්දෙන්
මඩ ගෙන අනා කලතා ගුලි මේ පැත්තෙන්
වීසි කර කර නටාවි උන් මහ සද්දෙන්

කැලෑ කපා තව තව එළි නංවාලා
දියුණු වෙලා එමු සැණකින් කොළඹ බලා
සෙල්ෆියකුත් ගසා තව තව උදම් වෙලා
යන විට වදිමු දණ හිස දී බිමට නමා

අදම මෝඩ අමන ගතිය දුරු කරමු
දහයක් වවා එක ගස ගානේ කපමු
භූතානයෙන් අපි පාඩම් ඉගෙන ගමු
සෝඩා පෙන වගේ දියුණුව ඉවත ලමූ.

පින් පුරවමු අපි සංසාරේ..

යෂිකා විජේසිංහ

කහට ටික බෝතලේ
හකුරුත් එතනම ටින් එකේ
උදේ ඉව්වා මං දවල්ටත් එක්කම
අදට විතරක් බත් ටික
බෙදාගත්තැකි නේද..

මෙලහකටත්
ධර්ම සාලාවෙ බිත්ති ටික
සේරම වෙන් කරගෙන ඇති
උපාසක බවලත්තුන්ගෙ පිටවල්
වේලපහ නොගියොතින්
කොන්ද කෙලින් කරගෙන
බණ භාවනා වුනත්
ලේසි නැහැ දවසම
සාලාවෙ මැද ඉඳගෙන..

ඉස්කෝලෙ හාමිනේ ලෙඩ වෙලා
ගිය පෝයට අපි ගියා සේරම
තෑගි බෝග අරගන්න
මටත් දෙන්න වුනා දෙසීයක්ම..
නොදී කොහොමද ??
පුළුවනෑ කොන්වෙන්න..

මෙදා පෝයට කවි බණට
වඩිනවලු අර
හීනටිවල හාමුදුරුවො..
වියදම් සේරම මාළු කඩේ මුදලාලිලු
පින් දුන්න හැටි ඇහුවම
හිතුනෙ ම
අනේ අපි කවදා කරන්නද
ඒ වගෙ පින්කම්..
කවි බණ කැසට් පටි පොත් හෙම
අඩුවට ගත්තැකි කියල
සල්ලි අරන් එන්න කිව්වෙත්
ලොකු හාමුදුරුවොමයි

ඇත්තම කිව්වොතින් මටත් දැන් එපාවෙල
මේ සිල් සමාදන් විල්ල
පෝයට සල්ලි සම්මාදම් කාරණා
එමටයි පන්සලේ
සල්ලි අතේ නොතිබුන හැමදාම
ගෙදර එන්නෙ
හිත නරක්වෙල..
ඒ වුනත් අමාරුවෙන් හරි
නොගිහින් කොහොමද
පාංසකූලෙට වඩින්නත්
අපි ගැන හාමුදුරුවන්ට
මතක තියේවිද නැත්නම්..

.

කණගාටුවෙන් දැනුම් දෙමු …

වයි. සමන්ති - කඩවත

ඉංදියන් සාගරේ ගඳ ග'ගා

ඕජස් ගලන මිනියක් පාවෙනා

US සාටකේ එල්ලිලා

මැරුනාද මැරුවාද  දන්නෙ නෑ

චීන පනුවෝ රහ වැටී

මොලේටත් උන් රිංගතී

කඩමාළු ඇදි වතත් ගලවලා

මේඩ් ඉන් ඉංදියා බෝඩ්

එකකුත් එල්ලලා...