Category: නිසදැස් කවි
ස්පර්ශයේ අපූරුව
ස්පර්ශ කරන්නට හැකි නම්
සිතුවිල්ලෙන් සිතුවිල්ල
කියා දෙයි නුඹට
ඇතිවෙන නැතිවෙන සැටි
සිතිවිල්ලෙන් සිතිවිල්ල.
ස්පර්ශ කරන්නට හැකි නම්
කඩි මුඩියේ ඇඟිලි තුඩු මත
ගැටෙන ශරීරය නොව ආත්මය
දැනේවි නුඹට
රාගයේ සහ ආදරයේ
වෙනසේ අපුරැව.
ස්පර්ශ කරන්නට හැකි නම්
මවගේ දෙපතුල නොව හදවත
දැනේවි නුඹට
ඇයට සමකල හැකි කිසිවක්
තුන්ලොවෙහි නොමැති බව.
හිත ගිය තැන හෙවත් අමුතු වැස්ස
පැල් බැඳගෙන වහින වැස්ස
අවට වෙලාගෙන ඇති සැටි
දවස ම අල්ලන පාටයි
ඒත් අපේ ගමේ ගෙදර
පොල් අතු වහලෙන් බේරෙන
වහින වැස්ස නෙවෙයි මේක
“ගියාට ගම හැරදාලා
ඉගෙන ගන්න සිදාදියට
අපි අමතක වෙයි අයියට”
වැස්ස කපාගෙන මතුවෙයි
කොමල සොඳුරු නෑනගෙ රුව
“හැම තිස්සෙ ම වෙන ලෝකෙක
මං බැලුවේ කොහෙද කියල
ජනේල වීදුරුව කඩල
ටොක්කක් ඇනගෙන ඔලුවට
පුටුවෙන් නැගිටල හිටගෙන
බැලුවා නං හොඳට පෙනෙයි
කවදත් නැති අමුතු වැස්ස
මේ…..ඕයි! සිලින්ඩරේ ගෑස් ඉවරයි ;
කන්ඩ නෙවෙයි වෙන්නෙ රෑට”
ඩල්සිගෙ ගෙරවුමත් එක්ක
නැඩ හෙණ පතයක් ගුගුරා
විදුලි ඉරක් දිස්නෙ දුන්නෙ
යා කරමින් ඈත-මෑත
හද ඇල්මක දිගු ගැල්ම
හරිත තෘණ භූමියක් වෙන්නම්,
සා ගින්නෙ සරනා මුව රදුන් නුඹ නම්,
ළවැලි පිරි මුදු මංපෙතක් වෙන්නම්
කටුකොහොල් පිරි රළු මගක නුඹ යා නම්
තරු මලක් වෙන්නම්
නුඹේ නෙත ළඟ
රැයේ ගැඹුරෙදි මං,
සඳ එළිය වෙන්නම්
තනි නොතනියට
සෙවනැල්ල රඳවන්නම්.
තෙළිතුඩක් වෙන්නම්
හදේ බිතු, සිතුවමින් සරසන්නම්
පන්හිඳක් වෙන්නම්
හැඟුම් කවි ගී අකුරුකර දෙන්නම්
මද පවන වෙන්නම්
ගතේ දාහය දුරට පළවන්නම්
දොළක් වී ඉන්නම්
නිදනතුරු නුඹ සෙමෙන් මුමුණන්නම්
අම්මා
කුස හොවාන පණ නල දුන්
වැඩෙන්න දස මසක් පුරා
බිහිවූ සද ලොව දකින්න
ලේ කිරි පෙවු – කළ පිරෙන්න
අම්මා ..
කර දඩු උස් මහත් කෙරූ
ඒ පුතු පෙළවහක් කරන්
එක්තැන් වූ පසු වෙන්වී
මාළිඟ මහ විමන් තනා
දෙවු සැප මිහිමත විඳිමින්
තනිකරදා මහළුව ගිය
අම්මා ..
ගරා වැටුනු පැල් කොටයේ
ලෙඩවී ගුලිවී පැදුරක
කන්න බොන්න පවා නැතිව
අන්ත අසරණව තනිවී
කවදා පුතු ඒද කියා
නෙත් අයාන බලා ඉන්න
අම්මා …
හී සර වේගයෙන් ඇදෙන
කාලය හා පොර බදිමින්
බලාපොරොත්තුව පමණක්
ශේෂව ඇති හද මඩළේ
ඔත්පොලවී ළගින් හිටිය
සැමියා පරලොව ගියදා
උඹ හිටියේ ඒරොප්පයේ
එන්න බැරිව මළගමටත්
පුතේ උඹේ තාත්තාගේ
එහෙව් එකේ උඹ හෙටවත්
මා බලන්න එතැයි කියා
මියැදෙන්න බැරිව තවත්
දෑත දෙපා වාරු නැතිව
ජීවත්වෙයි
අම්මා ….
9.6.2021
රාන් කුරුල්ලෙක් ඇවිදින්
ගේ අද්දර වැටේ
ආන් බලාපන් පොඩ්ඩියේ
ඌ රඟනා රඟේ
උරුවම් බා ජැන්ඩි පහට ඇදගෙන සලු පිලි
කවුලු දොරින් එබී බලයි
පුම්බා අත්තටු
වාන් වෙයන් පරිස්සමට
නුඹ පුංචියි දුවේ
කාන්දමක් වගෙ ඇදේවි ලාමක සිත නුබේ
හීන වලට දූ ගෙනයයි
ගීත වලින් උගේ
පාටගාපු අත්තටුවට රැවටී සිත ඇලේ
මල් පිපුණම රොන් සුවඳට බඹරුන් රොද බැඳේ
රොන් ගන්නා තුරු පමණයි උන්ගේ රැවිටිලි
වරදින්නට එක මොහොතයි
කුවේනියට වගේ
අමල් බිසෝ මගේ රන් කඳ දොර නාරින් පුතේ ….
නොනිමෙන මව් සෙනෙහස
නිම වන තුරුම මා ආ ජීවන ගමන
නිමවන දවස හැර යමි මම නොම දුකින
එනමුත් මගේ හද පත්ලේ නිති දැවෙන
සුසුමන් නැගෙයි සිහි වී මට දරු පෙමින…….
දරු පෙම මිසක මගෙ හද තුල නිති රැඳුන
අතහැර යන්න නොහැකිව මට දෙයක් නැත
අවැසි වුවත් කෙටි වන්නට මේ සසර
දරුවනි නුඹයි මම සසරට බැඳුණු තැන …….
යන්තමින් හෝ
යන්තමින් හෝ තෙතමනයක් ලැබුනානම්
පතොක් ගසක් නොවී
රෝස පඳුරක් වෙන්න තිබුනා
යන්තමින් හෝ උණුසුමක් ලැබුනානම්
පල රහිත වෘක්ෂයක් නොවී
පලින් බර රුකක් වෙන්න තිබුනා
යන්තමින් හෝ ආලෝකයක් ලැබුනානම්
වැරදි මගකට ඇතුල් නොවී
හරි පාරේම යන්න තිබුනා
යන්තමින් හෝ සෙනෙහසක් ලැබුනානම්
වෙනත් කෙනෙකුට නතු නොවී
නුඹගේම වී මට ඉන්න තිබුනා
හමුනොවී හමුවෙමු
තුරුලු වෙමින් හැන්දෑවට
හිටපු වාර අනන්තයි
කුරුළු පැටවූ දැන් අහසේ
තැන් තැන් වල ගිමන් ලයි
කවුලු පියන් හැර හදවත
ඉඳ හිටලා සුසුම් ලයි
කඳුළු අතර හිනා වෙමින්
දුර කතනෙන් බැලුම් ලයි
එකල නිවස පිරුණු සිනා
සිත ඇතුලේ ගිගුම් දෙයි
මෙකල දවස දිවිය දිනා
දුර ඈතක රිදුම් දෙයි
මලක සුවඳ නොවිඳ දකිම්
පවුලම on line එයි
දොළක ගිලෙන පහස නැතද
දිය දෝතක් අරන් එයි
19/6/2021
අත් හැරීම
මලත් අතහැර නොයමි දිවුරා
බදාගෙන හිටියාට මල් කෙමි…
හීන් පිනි වැස්සටත් වෙන් වෙයි
ස්ව කැමැත්තෙන්,
ඇතැම් මල් පෙති…
නව ජෙනරාල්ගේ නව නීති
සතුරා හරවා එවූ ඉර එළියට හසුව
වරක් අපෙ ඇහැ ගිනිකණ වැටුණෙන්
සතුරාව ලුහුබඳිනු පිණිස
රාත්‍තිරිය ම යහපති
අසල්වැසි ගැහැනුන් ඇසුරෙන්
උපයා ගත් කදිම අත්දැකීම් ඇති ඔබට
එසඳහා අමුතු අමතර පුහුණුවක්
ඇවැසි ය කියා මම නොසිතමි
මා ඉදිරියේ දී පවා යළි සීරුවෙන් නොසිටිනු
අල්ලපු ගෙයි මිනිහාට නොපෙනී
ඔහුගෙ ම පැදුර යට සැඟව සිටියා සේ
මින්පසු මිනිස් ඇහැට සපුරා අගෝචර වනු !
යක්කු එළවනු ලැබේ..
තද ඉරි ඇන්දම
පපුව මත
නොදැනීම ඇලවෙයි
සිරුර මත
සන්නි දහ අටම
නැටුවත්
යන්නෙ නැති
යක්කු ඉන්නව
හුස්ම මත…
කතාවටදෝ
දන්නෙ නෑ
ඇඟේ රිද්මෙද
දැනෙන් නෑ
මොකක් වූවද
වහ වැටුන තැන
දන්නෙ නෑ හිත
දන්නෙ නෑ
මොකක් කිව්වත්
වැහිලා ඉවරයි
වස් වැටුන ඒ
යක්ෂයා මත…
බාර පුද පඬුරු
දෙන්නම්
කවියෙ මන්තර
බැඳල දෙන්නම්
මේ යකාගෙන්
ගලවගන්නට
වස් වැදුන තැන
හොයල දෙන්නම්
පහතරට තොවිලුත්
නටන්නම්
බෝදි පූජා
කවි කියන්නම්
වහ වැටුන තැන
ඇත්ත කිව්වොත්
අම්මපල්ලා
එළව දෙන්නම්…
මෝහිනි මා උමතු කළ
නසා මා
නැසෙන මෝහිනියේ
මරා මගේ නිදහස
නඟයි නුඹ අද නුඹේ ජය ටැඹ
වල දැමූ බිම මගෙ ආත්මය
උනා දිය ගෙන නිල් නුවන් ඌලෙන්
මැට් පිඩක් කර මගේ හදවත
තනයි නුඹ හිතලු නුඹේ ලෝකය හැඩකරන්නට
මිටින් ගත හැකි ඉඟ සුඟ
රන තිසරු කෙලිනා ලැම විල
බිලි කරයි මගේ රාග ගින්නට
මරා මගෙ සිත උමතු කල රුව
සදා සුව යහනක්
අපේ ලොව දිනු
නුඹේ බිළිඳුට
තවරලා ඇස නේක අංජන
සොයන්නි අද
මිලින වන වත සුපිපි සියපත
නසා මා නැසෙන මෝහිනියේ
2015 / 12 / 03 – 04
( සියළු ස්ත්‍රි පුරුෂයන් එක් ව වැස මුහුණ දෙන
සර්වකාලින ජිවන යථාර්ථය )
දෙවියන්ගේ (වෙබ්) අඩවිය
ලොවම උඩුයටිකුරු කල – කොවිඩ් නිසාවෙන්
සයුරින් එතෙර සිට – ලක්දිවට භාරතයට
නොහැකිව යන්නට – දෙව් සරණ යදින්නට
දනන්ගේ දුක් කඳුළු – උණුසුම් කළා – සක් දෙවිඳු ආසනේ
කොවිඩ් වලටවත් රත් නොවුණු
සක් දෙවිඳුන් කැඳවා දෙව් සබය
කතිකා කළා – මේ අසරණ දනන් ගැන
තරුණ එක් දෙවියකු – පෙර බවයේ අයි ටී ශුරයකු
සබය අමතා – කීවේ තම අදහස
වෙබ් අඩවියක් හදන්නට
සාමුහික කැමැත්තයි – සක් දෙවිඳු අනුමැතියයි
ලැබුණි නොපමාව – වෙබ් අඩවිය සැකසුමට
දේව මහිමයෙන් – එක් ක්ෂණයෙන්
ඩබ් ඩබ් ඩබ් ඩොට් දෙවියන් ඩොට් කොම්
මැවුනා අන්තර්ජාලයේ
දෙව් සරණ ඇවසි නම් – දෙවලොට නොගොසින්
ලොව කොතන හෝ සිට – දේව වෙබ් අඩවියට
ලොගින් විය හැක – රහසිගත අංකයෙන්
ඩ්‍රොප් ඩවුන් මෙනුවෙන් – තෝරාගෙන දෙවිදුන්ව
දෙව් සරණ යදින්නට – පුජා වට්ටිය – භාරහාර
මේ සියලු පහසුකම් – සලසා ඇත වෙබ් අඩවියේ
පුජා වට්ටිය මිලදී ගන්නට – පමණි මුල්වරට
මුදල් වැයකළ යුත්තේ
අයැදීම හරි ගියකළ – සත් දිනක් ඇතුලත
මුළු මුදල නොගෙවතොත්
දේව කෝපයට හසුවෙන වග
වෙබ් අඩවියේ පහලින් – ලියා ඇත රතු අකුරින්
07 මැයි 2021
ඉතිරි කළ උරුමය
සතියකින් නැවත එමි
කියා ගිය නුඹ නැතිව
සති මාස ගෙවී ගොස්
වසරක් ද ලබා ඇත.
සිත් තැවුල් මර සෙනඟ
තෙරපාන ඇතුලු හද
ඉකි ගසා නිහඬ වුණු
දිනයකුදු මතක නැත.
තරු වැටෙන වෙලාවට
නින්ද නැති ඇස් දෙකට
රිදුම් දෙන හදවතට
අද එතැයි, හෙට එතැයි
පැතුම් සපුරා දෙන්ට
නොහැකි වී විළි වැදෙමි.
අත් හරින්නට නොහැකි
මොකක්දෝ කරුමයක්
ඉතිරි කර ගිය නිසයි
මම තවම අවදියෙන් …..
හෙට නිදා ගනිමි මම
මතක බණ කියන්නට
හිමි නමක් එන නිසා …
බුදු,දම් ගුණ
නිමල සිරි ඇති
සියපතක දස්නකි
හිමි මුව මඬල රැඳි
දෙසු දම් අමා වැනි
දුර නිසල කදුවැටි
දැහැනකට සමවැදි
මෙත් බවුන් වඩමිනි
සෙත් පතයි බැතියෙනි
තුරු දරා නව පළු
මල් කැකුලු පියකරු
ඒ දිවාකර බුදූ
හිමි නමින් ලොව්තුරු
සඳ වසා මේ කුළු
ලොව කළත් ඝනදුරු
සදහම් රුවන් හිරු
දුරුකරයි මොහදුරු
ආදරයේ මංගල්‍යය
දිය බිංදු මත රැන්දු පෘෂ්ඨිය ආතතිය
හිම බිංදු වට කරන් නැති කිමද කාරණය
සඳ සැංගු රාත්‍රියෙ මඳ අඳුරු වපසරිය
රං ලන්දු ලාලණිගෙ ශෘංගාරෙ දියසුලිය
සමනල්ලු පියාඹා දුර ඇත පැන ගියා
කුරුල්ලොත් කිචිබිචිය නතර කර සැඟ වුනා
සඳ කුමරි තනියෙන්ම වලාකුලු වට කලා
තනිව උන් සුකුමාලි ලාලිත්‍ය ඔප කලා
උත්තුංග දේහයෙන් මන දොලම සපුරනා
අකලංක පිවිතුරු ම ආදරය හඳුනනා
සද්ධන්ත ශෘංගාරෙ හාපුරා අමතනා
කුමරාගෙ හිත අරන් ලාලණිය ඉපිලුනා
06/05/21
පරාජයේ සතුට
පැටිකල ඉගැන්වීමි
ඔහුට
මව්බිමේ දිග පළල,
කඳු, හෙල්, ගංඟා ගැන
තේ, පොල්, රබර් ගැන
පැමිණ ගැටවරවිය අද්දරට
උගෙන මහා විශ්වයේ තතු
නඟයි පැන එක පිට එක
තර්කයෙන් මා හෙළන්නට රිසි ව
පිළිගනිමි මගේ බැරිකම
කොතරම් සතුටක් ද
මේ පැරදුම
මුනුබුරාට
කෝවිඩ් මැද ගෙදර වෙසක්
තවම නිල් අහස්කුස
වෙසක් සඳ දිලෙනවා
සමු අරන් යන්න පෙර
ඇස් කොණින් බලනවා
බල බලා හිනාවී
සුසුම් වැල් ගොතනවා
වළා කළුලෑල්ලේ
මොනවදෝ ලියනවා
“වෙසක් සැරසිලි නිතොර
වෙසඟ දා පුරන්නේ
තුරඟ තරගයක් මෙනි
එයිනි හිත පිරෙන්නේ
හුදෙකලා වී මෙවර
තම සිතම විඳින්නේ
ඒ නිරාමිස සතුට
කොයිබින්ද ලැබෙන්නේ”
ග්‍රාමාරක්ෂක
නිදන් හොරු ඉවකරන ,
කන්ද උඩ ලෙන් වෙහෙර,
මුරකරන නිදිවරන ,
තුරුණු සෙබළෙකි ,
ග්‍රාමාරක්ෂක නමැති .
තළයි මදුරුවෙකු නළලත ,
සපයි විට නිදිමතට .
ගිනි අවිය,
වාරුවී,
මුරගලට .
ගැළවූ පාවහන් මත ,
ගුළිවී නිදනා බළලෙකි ,
ඈත වනගැබ තැනෙක ,
නිවෙන, දිළෙනා එළියකි .
ඒ ඔහු දිළිඳු පැල,
බිරිඳ හා පුතු නිදන.
වැව දෙසින් හමා එන,
සීත උදුවප් සුළග ,
මොනවදෝ මුමුණමින් ,
ගිරි සිරස සිපගනී.
ඈනුමකි ඉන්පසුව ,
සිනාවකි ඔහු මුවග ,
පෙර දිනෙක,රෑ මැදෙක,
බිරිය ළංවී මිමිණු,
පෙම් බසක්
යළි සිහිව..
ඔයාටත් මතකද
ඊයෙ උදේ දුව ඉඳල තියෙනවා ඉන්ටර්සිටි බස් එහෙක.
කොල්ලෙක් එක්ක. මොනාහරි කරන්න වෙයි.
නැත්තං ගමේ ඉන්න බැරිවෙයි.
ඔයාට මතකද
වැස්සට තෙමුණු හවස
බස් එකේ යන්න ම හිතාගෙන
ක්ලාස් කට් කරපු දවස
කොයි තරම් තිබුනද
කෙඳිරිගෑවෙන මතක
නිතරම මතක් වෙන
ලියන්නට බැරි පොතක
සීට් එක තියෙනවා කිවුවම
රටක් දිණුවා වගේ හිනැහුන
ඇන්ටිලා ගේ කතා අහ අහ
ජනේලය පැත්තටම ගුලි වුන
බලපු පිච්චර් කීයක
නම් මතකයි ද ඔයාට
මාරු වුණ බොත්තම්
හරිගස්සගන්න බැරි වුණේ නෑ නේද අපිට
මතක් වී තනියම හිනා වෙන
දුවට පෙණුනද හිතිල ගැස්සෙන
කතා කොච්චර අපේ හිත්වල
තියනවද අපි ගණන් කරමුද ?
ටී වී එකේ යන හද්දා පරණ චිත්‍ර පටියක
කොල්ල කෙල්ලව ඉඹිනකොට
සුදු කෙස් දිහා බල බල තනියම හිනාවෙන්නට
එයාටත් පුළුවන් නේද ?
පාට පාට හීන පේන
පාට පාට හීන පේන,
පාවෙන සුදු වලාකුලක්,
වටහා ගනීද පසුකර නොයාද
මේ ජීවිතේ,
එකම මොහොත මෙයමයි
ගිනි දියවෙයි හිම ඇවිලෙයි
දෑස් බරයි කඳුලු මිදෙයි
සිතිවිලි උණුසුම්
ගයන්න හයියෙන් //
සඳක් දිලෙයි ගිනි මද්දහනේ
ගණ අඳුර මැදින් හිරු නැගෙනා
සිත් බිඳුණු හදවත් විරු හඬක් නගයි දෝ
මේ හිස්කම විතරයි ඉතිරිව ඇත්තේ
මූදු පත්ලෙ පැණි සොයනා
සමනලුනේ, වාරකන් ලඟයි
ගී ගයන්න සොයුරනේ.
ගයන්න හයියෙන්
හඬ නොනැගෙයි, හුස්ම හිරකරයි
ලෝකය සන්සුන්, සිතම නොසන්සුන්
අපේ සිතැඟි පසුකරන් සිත් මැරි මැරි යාදෝ
කාලය ගතවෙයි වෙලාව ඉවරයි //
සැගවුණු මුහුණු
හැඟීම් සඟවා ගත් අවර්ත චරිත
අරුම – පුදුම – ධාර්මික-අධාර්මික
ව්‍යාජ මුහුණු වල සැබෑ හිමිකරුන්
හමුවිය යුත්තේ කුමක් ද
ඔබ ඔවුන්ගෙන් සැඟවී සිටිනවාද
හදුනා ගෙනත් එතුල ඇලී ගැලීද
වෙස් මුහුණු ඔට්ටු සෙල්ලම්
සැගවුණු මුහුණු තේරුම් ලක්ෂණ
වෙස් මුහුණු වල ප්‍රාණ ඇපකරුන් ද
සැගවුණු අභිප්‍රායයන්ගෙන් අඩක්
චේතනාවන් අඩක් සැඟවී තිබේද
ව්‍යාජ මුහුණු ඉදිරියෙන් පැමිණේ
සැබෑ මුහුණු සැඟවී තිබේ
නික්මනක දුක
නොහැඩුවත් ඔබ හඬනගා
දිටිමි මිතුරිය නිහඬ කඳුලැලි
මෑණියන්ගේ නික්ම යාමෙන්
ඔබේ හදතුළ නැගෙන සෝගිනි
දහම් මග වෙත සිත් යොමා ඇති
ඔබට මා බණ කුමට කියනුද
සසර ගමනේ ඇවිද යන අපි
ඇවිත් යන්නට මෙහි පැමිණි අය
එවන් ගමනක ඔබ සමග සිට
තවත් ගමනක යෙදෙන ඇයහට
තව තවත් පින් පමුණුවන මැන
ඇගේ ඒ මග කෙටිකරන්නට
දවසක් එයි ද ආයෙත්…
ගලවා ම මුව වැසුම්
මහ සෙනඟ මැද්දේ
ඇන්ටිලා ඔරවද්දී
උඹේ මුව ඉබිනු හැකි
නොගල්වා ඇල්කොහොල්
අත ගගා බිලිඳු හිස
ඕඩිකොලොං පුහුඹ
හුස්මකට විඳිනු හැකි
අවසාන රුපියලත්
තබා යාචක අතෙක
බොලෑවුණු දත් හිනා
ඇස් පුරා බලනු හැකි
අසාධාරණ අවින
සමාජෙට නොවනතව
හඬ නඟන පා ගමන
නොනැවතී දිනනු හැකි
වැටෙන්න ට පෙර බටේ
ස්වරාලෙන් පහළටම
තොපි එක්ක උගුරකට
මධුවිතක් ගසනු හැකි…
කියා නොමදී හැඟුම් විකසිත
දිනක් තුල අප ඇදී ගිය දුර
දරා සිතඟින් දවාලනුමැන
මදක් එකිනෙක හැඟුම් මංසල
ඇතුල දුටුවානම්
සිහින විමනේ අගුලු දොරහැර
සදාලූ පෙම් පැල්පතේ හිඳ
දකිනු බැරිනම් මිහිර රසඳුන
කුමක් කරනෙද මම්
ලොවද සයුරද අහස නිම්තෙර
ඔබට පවරා යම් දුරකසිට
කියා නොමදී හැඟුම් විකසිත
සිත් පහන්වේනම්
මිතුරනේ ඒ නිරෝධායනය කළ මිතුරාය
කපා අඹ ගෙඩියක් විලස බුහුටිව
නෙල්ලි ගෙඩියද
බෙදා හද බැතියෙන සම ලෙස
මිතුරු කන්දටද පා මුලට ද
සුව ලැබුව මිතුරාය…
බිරිය දූ දරු පමණක් නොදුන්
වෙසතුරුය..
පරෝපාකාරයෙන් හිත බැඳුණ..
ම්තුරනේ නුඹලාගෙ ලඟ රැඳුන
නිරෝධායනය කළ අද..
සැකෙවින සැකයෙන..
කුටුම්බයෙ සුසුමින් පවන් සැලුනා මිසක
ඇඟිලි කීයද තට්ටු කෙරුවේ ඒ හිත් දොරට..
සෙල්පෝන් සිනා කෙළි කවටකම්
විෂබීජ හරණයව ගොලු විණිද?
හඩකින පවා ඇදෙති ය බියෙන වෛරස..
ඇද දැමුවෙද මිතු දම පයිසෙට..
සැගවිණිද “සකිසඳ” සඳ..
නුඹ ව අනුපූරක ව
කතා නම් ඇත දසතම..
නුඹ රැඳුණු,
ආව ගිය තැන් ගණින..
පාවා දෙන සන් කරන..
පාප මිතුරකු ලෙසින ගොනු කරන
බලන් ඒ සොඳුරු මිතුරු කැළ..
රෝග කාරක පවා නැතිවද හමුව
දීග දෙන සමගින ඒ දායාද
ලෝබ නැතිවම
මිතුරනේ නිරෝධායනය කළ මිතුරාය
ඒ..
සැකවින් ම සැකයෙන….
නෙල්ලි ගෙඩියෙද කවා නෙක මිතු රස
කන්දටද පා මුලටද බෙදූ සම ලෙස
සිපිරි ගෙට යැවූ නුඹලාම
රෝග කාරක පවා නොමැතිව හමුව.
අසිරිමත් පොසොන්
පොසොන් මහේ රැස් විහිදූ මෙපෝදා
ඇසෙයි වටින් සම්බුදු ගී ගිගුම් දී
අපිත් අරන් මල් සුවඳින් රුවින් යුත්
බුදුන් වඳින්ටා යමු සිත් නිවාලා
මිහින්තලේ මස්තකයේ සැපත් වී
දහම් දෙසා රැස් කලඹක් විදාලා
මෙලක්දිවත් ඒ රසයෙන් නැහැව්වේ
මෙවන් පොහෝ දාකදි මයි නොවේදෝ
බැඳේ තොරන් ලස්සන වූ විලාසෙන්
කියා දෙවයි ජාතක පොත් කතාවන්
පිපෙයි හදේ ඉන් බැති මල් බොහෝ සේ
වඳිම් උතුම් වූ මුනිඳුන් බැතින් මම්
අගේට දන් සැල් අරඹයි දසන්තේ
සැදෑ සිතින් යුත් මිනිසුන් විලාසේ
ලොවේ කොහේවත් වෙන නෑ දකින්ටත්
අමා නිවන් බැව් පමණයි පතන්නේ
මහන්සි වීලා නිවසේ සියල්ලන්
සදයි පහන් කූඩුද එක් වෙලා මේ
එයින් පිපේවී සමගී රුවන් මල්
මෙයයි පොසොන් දා අරුමේ සිතේවී
අපිත් සුදින් දැන් සැරසී නිවන් සිත්
යමූ රකින්ටා අට සිල් මෙපෝදා
දුරස් වුණෝතින් අදමින් කෙසේ හෝ
නිවන් පුරේටත් හැකි වෙයි ඇදෙන්ටා
(“උපෙන්ද්‍රවජ්‍රා” විරිත)
02.05.2021
සැලමුතු සෙනෙහස
හිරු නින්දට ගිය මොහොතක
සඳ තරු එන්නට කලියෙන්
රබර් කැලේ ගල් පොත්තත
වහං වුනේ අපි
ලොවට හොරෙන් බැඳපු සෙනේ
ගත සිත ඉල්ලූ දවසක
උනුහුමකට ගුලිවිි
හුවමාරු කලේ අපි
මතු දිනයක පෝරුව මත
ගිගුම් දෙවන බෙර හඬ මැද
කැලල් දැනී ඇදවැටෙතැයි
බියවුුයෙත් අපි
එකම බිමක උපන් නමුත්
කිසිම දිනෙක එක් නොවෙනා
කුල ගොත් බැමි බිඳලන්නට
වෙර දැරුවෙත් අපි
එක්වන්නට වරම් නැතිව
වෙන්වී ගිය අඳුරු දිනෙක
කඳුලු හදවතේ සඟවා
සිනාසුනෙත් අපි
කල්ප කාල ගතවෙනතුරු
නුඹත් මමත් නොදැක්කා ට
හිත ඇතුලෙන් ඒ සෙනෙහස
අලුත් කලෙත් අපි
අද ආයෙත් නොසිතූ ලෙස
අහම්බයෙන් හමුවු විට
හිතේ කිලුටු කහට නැතිව
කතා කලෙත් අපි
සංසාරේ හමුවන තැන්
තවත් බොහෝමයක් තියෙයි
ඒ පැතුමන් හදේ දරා
වෙන්වී යමු අපි!
ජීවන මෙහෙවර
වසන්තය අවසන් ය,
ගිම්හානය ද ගොසිනි.
එළඹ ඇත්තේ නොදැන,
ශීත සෘතුවයි අදුරු.
ගයන්නට සිතා සිටි,
ගීය තව ගැයුවෙ නැත.
සුසර කරණා ලෙසින්,
වීනාවෙ තත් සොදින්,
බොහෝ කල් ගෙවී ඇත.
වහා ගයනුය ගීය.
හඩ දුබල වන්න පෙර,
අසන්නන් සවන් යුග,
බිහිරි වනු පෙරාතුව.
LIFE’S MISSION – Somabandhu Kodikara
The spring is over,
Summer too is gone.
‘Tis the winter,
Dark, cold, dreary.
The song,
Is yet unsung.
Waste not time,
Tightening,
Loosening,
Stretching,
The strings of the instrument
It’s time to sing the song.
While the voice is still not weak
And the listeners not yet deaf.
ඔබ ද මම ද පිටුපෑවේ පෙර සසර
හද ගිනිගනී මතකය පිරි මුහුණුවර
හැරදා ගියේ හිත
නො හොඳින් එකෑවර
ඔබ ද මම ද පිටුපෑවේ පෙර සසර
ඒ තරමට ඉඩ තියෙනව පෙර අපර
කීකරු අකීකරු පැවතුම් පොරවගෙන
එකෙක් කියන දේ අනෙකා නො අසමින
තරුවක් දුරට දුටුවත් ඉන් නො සැලෙමින
මලක් වගෙයි ඈ යනවිට දුර ගමන
නො ගැඹුරු මුහුද දුර ඈතට නැගෙනහිර
නිරුවත් සිරුරු ලුණු වතුරට මුවාකර
හඳුනාගත් මොහොත තෙතබරිතව මුහුණුවර
දන්නේ මමයි උඹ නැහැ මේ අතුපතර
ලෙහෙසියි අතීතය දැං එය ඉවර නිසා
මම තනියම ඔබ යන්නම ගියපු නිසා
කොහොම කියමි ඇහුවෙ ඇයි මලක් නිසා
පිපුනේ පරවුනේ ඒ මල්වල සිරිත නිසා
සැගවුණු සඳ හාවා
සැඟවුනා වෙසක් සඳ
සුලි සුලං වැහි වලා යට
කොටුවුනා අපි යලිත්
ගෙදර බිත්ති හතරට
පැතිරුණා කොරෝනාව
මුලු රට පුරාවට
රැකගන්න පරාණය
යදිනවා සියලු දෙවියන් හට.
වසන්ත සැණකෙළියේ
කුමරියන් පිරිවරා ගෙන
වට වන්දනාවේ ගියේ
කරපු පින් මදි හන්ද ද
මදිවුනා හෝටල් රටේ
විනෝදය බෙදා දෙන්නට
සැමරුවේ ජයට අවුරුදු
කොරෝනා මරනින්දෙ හිතාගෙන.
වැහුවේ ඉස්තාලේ
අස්පයා ගිය පසුදාක
කටමැත දොඩනවා මහ උන්
බොරු බේගල් ඇද බාන
වෙසක් දන්සැල් නැතිදාක
මහ දන් දුන්නා චීනට
ලක්මවු හඬ හඬා හිඟමන්
යැද්දෙ බංගලි දේශයට
සඳ හාවත් සැගවුණා
ඉවසන්නට බැරි දුකට
කලුම කලු වලාවක.


අම්මා සමුගත්තාය
ඔබෙන් වෙන්වී එන්න
සමු ගතිමු සිඹ නළල
ඔබ අපෙන් සමුගත්ත
දිනේ අපි විදෙස් වල
ඔබටවත් නොදැනීම
හුස්ම ටික යන්න ඇති
දුක් නොවිඳි මරණයක්
ඔබ පතා එන්න ඇති
උණුසුමට තිබු දෑත්
සීතලට තියෙන්නැති
දෙන ලඟට වී ඉන්න
අපට පින් නැතුව ඇති
දරා අප බර කුසේ
අපට දූන් ජීවිතේ
අම්මෙ අප උරහිසේ
ඔබව රැඳුනේ නැතේ
අන්තිමට දුටු විලස
ඔබව නිරතුරු පෙනේ
දැනෙයි අම්මා ලඟින්
ඉන්නවා පා සෙනේ
09/05/2021
නවතින්න තිස්ස කිවුවාට පස්සෙ
නවතින්න තිස්ස
කිව්වා ට පස්සෙ
ලක් රජුත් තාම
මහ වනය මැද්දෙ
දුන්නාට නිමල
අති උතුම් දහම
ගහකොළට වැදපු
කෝ අපේ දහම
ඉර හදද තරුද
ගස් වැල්ද දියද
දෙවිවරුය හිතුව
හිත් වෙනස් කෙරුව
විදු දහම කිමද
රජු මිහිදු දුන්නේ
ගස් කැපූ වනය
මැද හුස්ම නැතිව
මියෙදෙනා මොහොතේ
අනේ සමාවෙන්න මට
හිතෙනවා එහෙම …
පොතේ නැති හිතේ දුක
මීදුමෙන් වැසී ගිය මූසලම
කඳුකරේ
සීතලෙන් ගල් ගැසුනු හදමඩල
කඵවරේ
ආදරෙන් ගිලන් වුනු නෙතඟ කඳුළින්
පිරේ
ජීවිතෙන් පලක් විද ගෙවුනු මේ
මන්දිරේ
රජ සැප පතා රංදෝලිය වෙන
ලෙසිනේ
මදුරා පුරෙනි පෙර දවසක නැව්
නැගුනේ
නිති දුක මිසක කිසි සතුටක් නැත
ලැබුනේ
කවි දෙපදයක පමණය සැනසුම
රැඳුනේ
දකිමින් හීන සෙංකඩගල අහස
යට
අඬමින් සිතින් එක එක රෑ ගෙවෙන
කොට
පසෙකින් හිඳන් නුඹ මගෙ දුක අහන
විට
තව ලං වුනා නුඹගේ කවි සිතම
මට
දෝලිය යකඩ රජ පහසේ
සැතපෙද්දී
ලෝදිය වගේ උණු කඳුළැල්
වැගිරෙද්දී
මා කල වරද ඔබ වෙතටම
පැවරෙද්දී
ලෝකය අහිමි වුනි ගෙල කග
සිපගද්දී
අයදින කලදි ලැබදෙන මෙන්
ජීවිතයක්
නොලැබුන විටදි සිත සනසන
ආදරයක්
ලැබදුන් ඔබට හිමිවුන මුත්
මාරකයක්
මගෙ මළගමට රජ අණ වුනි
බාධකයක්
හෙලු සෝ සුසුම් ඇත තවමත් හමන
නලේ
ගැලු උණු කඳුඵ ඇත මහවැලි ගලන
ජලේ
හද නැගි ගින්න අවුලයි තව නුවර
කැලේ
අප පෙම නොමැරේය හදවත් තුලින්
හෙළේ
කමටහනක්
උවැසියන්ගේ ගෝරනාඩුවෙන් මිදුනු
නොයෙකුත් (සු)ගන්ධයන්ගේ කැළැඹුනු
දුමාරයෙන් පිරීගිය සුළඟිනු මිදුනු
වෙසක් සඳින් නැහැවුනු
බෝපත් ලෙලව ලෙලවා හමන මද නල
නොලදිමි මෙවන් වෙසඟ දිනයක්
පුරාවට සිවුරු දැරූ දසක ගනනක
ශුන්‍යාගාර ගතෝවා රුක්ක මූල ගතෝවා
නොවෙද අද මගේ පන්සල මට එවන් තැනක්
එහෙත් සිසාරා සොයමි යමක්
පසු වී ඇත මැදියමත්
කඨින චීවර ලංසුවෙන්
පිං කැටේ බොල් හඬින්
දහස් ගණන් උවැසියන්
අලෝබයෙන් අද්වේෂයෙන් පිදූ ඒ පිරිකරෙන්
මැතිඳු බල කඩදාසියෙන්
මිළ සොච්චමක් ඇද දමා
ගෙනත් බෝ සමිඳු සෙවනේ
නහවා සුවඳ ගල්වා ගාල් කල
කොරෝනා බැනරය දරා සිටිනා
මුර දොරට යටින් දුම් දමා යන
සති මාස ගණන් ඉන්ධන පිපාසාවෙන්
ටුක් ටුක් හඬට කන් යොමා බලා සිටිනා
අනියත සසර දුන බවුන් වඩනට
නොදනිමි වෙනත් කමටහනක්
බෝ පතුත් ලෙලවනට සමත්
වෙසඟ සඳින් නැහැවුනු
බෝ සමිඳු සෙවන යට නිදි කිරා වැටෙනා
සුදෝ සුදුවන් ප්‍රාඩෝව ඇත
මෙසසර කරන්නට නොම තව දිගු
කුමට වෙන කමටහනක්
වී කවිය
වරම් වරම් ඉර සඳ දෙවි
වරම් නොදී එකෙල මෙකෙල වෙති
දුම්බර කෙතෙ බණ්ඩි ගොයම්
දිලිසුණාවෙ ඕසෙට පල නැති
රන් දෑකැති නිති සැරසෙන
එල්ල කරයි අප දිහාට දැති
ණය දෙවි ගොල්ලන් නියඟෙට
වස්සනවා හීනෙන් වස පෙති
හරි අපූරු ලොරි පෙරහර
ගම්මානෙට වැදිලා නැවතුණි
විරවාගත් ගොවි පරපුර
ඉපනැල්ලේ අන්ද මන්ද වුණි
කිලෝව විසි පහට තිහට
මෝල් රජුන් යන විට කිරමිනි
සෝදා මඩ කහට හිතේ
රජ වෙන්නට අයියෝ බැරි වුණි
යල කොලකැටි බැතෙන් ලැබෙන
සල්ලි ඩිංග හැලී හැඹිලි තුළ
මහ කන්නෙදි හැංගී යයි
මඩ-කොලදා-බණ්ඩි පොහොරවල
ඒත් සහල් මුතු කැට මෙනි
කිලෝවකට අංක තුනයි මිල
අම්බරුවනි දුටුවද අර
අපව රකින උත්තමයන් රැළ!
ඉර පායයි – සිංහල පරිවර්තනය
John Donne – The Rising Sun
කලබල නාකි මෝඩයා, නොහික්මුණු ඉර
ඇයි මේ විදියට,
ජනෙල් තුළින්, තිර අස්සෙන් එබී බලන්නෙ?
නුඹ යන විදිහට පෙම්වතුන්ගෙ කාලයත් යා යුතු ද?
කපටිල පණ්ඩිත මූසාලයා, ගිහිං බැනපන්
පමා වී පාසැල් යන කොල්ලන්ට, අප්‍රසන්න නවකයින්ට
රජමැදුරේ දඩයම් කරුවන්ට ගිහිං කියාපන්, රජ තුමා අසු පිට යන බව
පිටිසර කූඹින්ට වැඩට යන්න කියාපන්
ආදරය, එක වගේ කාලය නොදනී, කාල ගුණයත් නොදනී
කාලයේ වැරහැලි, පැය, දින, මාස ද නොදනී
ඔබේ රශ්මිය ඔතරම් ම, ගරු කටයුතු, ශක්තිමත්යැයි
ඔබ සිතිය යුත්තේ ඇයි?
එක ඇසිපිය ගැසීමකින්, ඒ සියල්ල වසා දමන්න මට පුලුවන්
ඒත් ඒ මොහොතේ වත් මට ඈ නොදැක සිටිය නොහැකියි
ඇගේ දෑසින් ඔබේ දෑස අන්ධ වී නැත්නම්,
බලන්න, හෙට පමා වී, මට කියන්න
කුළු බඩු ඉන්දියාවයි මගේ ඉන්යාදියාවයි දෙක ම
ඔබ ඒවා දුටු තැන්වලම, නැත්නම් මා එක්ක මෙහි වැතිරිලා සිටියාවේ
ඔබ ඊයේ දුටු රජවරු ගැන අහන්න
එවිට ඔබට ඇසේවි, හැමෝ ම මෙහි එක ඇඳක නිඳි
සියලු ජනපද ඇයයි සියලු කුමරුවන් මමයි,
අන් කිසිවක් නොවෙි.
කුමරුවෝ අප නටවති; මේ හා සසඳන විට
හැම උපහාරයක්ම අනුකරණයක්; හැම ධනයම රසායනයක්
ඉර උඹට ඇත්තේ අපේ සතුටින් බාගයයි.
ඒ සතුටේ ලොව මෙහෙම හැකිළිලා
උඹේ වයසට ඕනෑ විවෙිකයයි, උඹේ රාජකාරිය
ලොව උනුසුම් කිරීමයි
අප උනුසුම් කිරීමෙන් එය කළා වේ,
අප වෙනුවෙන් මෙතෙන්ට පායාපන්, එවිට හැම තැනට ම පෑයුවා වගෙයි
මේ ඇඳ උඹේ කේන්ද්‍රයයි, මේ බිත්ති උඹේ ක්‍ෂේත්‍රයයි,
තාත්තා නැති වෙසක් පෝය…
කොස් ගහ උඩින් නැඟ එන විට හඳ පාන
හැංගී එබෙයි එහි දියවෙන තරු රෑන
අත් තටු ගසා ඉගිලෙන මා වවුලාන
සද්දෙට නුඹේ ගැස්සෙයි දකිනා හීන
බකට් පහන් එල්ලෙයි අඹ අතු අස්සේ
අට පට්ටමත් සිරි සිරි නදකින් ගැස්සේ
බුදු රැස් වළල්ලේ එළියට තණ බිස්සේ
රඟනා කඳෝ පැණි එළි අද පසු බැස්සේ
තොරන් බලන්නට ඔබගේ සුරතෙ වෙලී
පිය නැගු අයුරු සිහිවෙයි කඳුළකම ගිලී
පුන් සඳ නැඟී ආවද නුබ කුසෙහි දිලී
අඳුරුය මගේ දිවියම නැත එළිය යලී
බුදු පහනෙහී සිල නැලැවෙන මද නලින
මුළු පරිසරය සැනැහෙයි සිසිලක් දෙමින
ඔබ නැති නිවස පාළුව තනිකම පිරුන
කොතරම් එළි ඇතද අප අඳුරෙම හෙලින
පෙම – සැලමුතු
ගැටෙත පියවි නෙත
බොඳ ව දසුන් පත
සිහිවත කලණ මිත
පෙම් මල නොවූ මුකුලිත
සලිත ව හද විල
හඬවයි තැවුල් රළ
අමුතුය මේ සොඳුරු විල්තෙර
සසල යි ඇල් පවන
මුසු ව විල් දිය හඬන
කොඳුරයි අඹපත් ද
සැමරුම් නො ඉවසන
පඳුරු ගොමු ඉම අස
වතළ තණ නිලන බිම
ගොළුය මේ හාද ගල් කුළ
ආවේග බර තෙපුල්
නිදන් කළ පෙමක වග
මව යි අබියස මා
ආතුර නුඹේ මුව
සැනසුම ද නුඹට මේ
විල් ගැඹර මැන බලන
දිනාගත් ඇගේ පෙම
මා ද නුඹදැයි නො දැන
2021.05.12
අනාගත පැතුම
සිහින හිස මත පොදි බැඳ
තැත් නොකර ඉගිලෙන්නට
වඩ දියට බා දියට
සසල නොවන්න කිසිදා
ජීවිතය ගැට ගසන්නට නොව
සුවහසක් ජීවිත
මුවහත් කොට සුවපත් කර
පන්නරය තබන්නට
වෙහෙසෙන්න දිරියෙන්
හැර ගියත් දිවි ගමන
හැර නොයන අදිටනින්
ඉතිරි කරන්න අරුතක්
නොබලා වෙහෙස
සිතන්නට මතු පරපුරට
දිනන්නට අනාගත පැතුමන් !
අස්ථිර ජීවිතය
අරුණලු රැස් කිරණ මැදින්
විහගුන් ගී හඩ අතරින්,
හිමිදිරියේ උදා එළිය ….
නව දවසක් එකලු කරයි .
සැදෑ අදුර පැතිරෙන විට
හිරු අවරට ගොස් එදවස
අදුරු ලොවක ගිලී යාම
වලක්වන්න හැකි කාටද?
ලස්සන මල් කැකුළු කිනිති
බිගුන් රාගයෙන් මත් කර
සුවද විහිදුවමින් දසත
විකසිත වෙයි. අනේක වර
ඒ කුසුමම ටික දිනකින්
අතු අග සිට බිම පතිතව
මුකුලිත වී පරවී යනු
වලක්වන්න හැකි කාටද?
දිනකට දස දහස් වරක්
සුසිනිදු සුදු වැලි තලාවේ
ගොඩට ගලන මුතු පෙණ රැලි
ගල් පර වල වැදී නැසී
තණ අග රැදි පිණි බිඳු මෙන්
සුදෝ සුදට නැගි ජල කද
වැල්ල මතම වියලි යාම
වලක්වන්න හැකි කාටද?
දෙහදක ආදර විමනක
මල් පල හට ගත් සමයක
කුළුදුල් නව ජීවිතයක්
කැකුලක් ලෙස උපත ලබයි.
ඒ දිවියම ටික කලකින්
ලේ, මස්, ඇට දිරා ගොසින්
මෙලොවින් සමු ගැන්ම වුනත්
වලක්වන්න හැකි කාටද?
යුගයෙන් යුගයට නොදැවී
නොමියෙන එක සොදුරු රහස
දස දහසක් බොදු ජීවිත
මෙත් සිසිලෙන් ඔකද කරන
අප හද තුල සුවදවත්ව
විකසිත වී දිලෙන මිහිරි
නිර්මල බුදු දහම් කුසුම
වැලද ගනිමි සදාකල්හි.
සම්මා සම්බුදු පියන්ගේ
ඔවදන් මාවතේ යමින්
අස්ථිර මේ ජීවිතයේ
ස්ථිර එක අමා දහර
සදාකල්හි ආලෝකය
ඔබේ නුවන් හෙළි කර දුනි.
සමිදුනි ඔබෙ පා අභියස
මා හද බැති කැකුළු කුසුම්!
වලක්වන්න නොහැකි සිද්ධි
නවත්වන්න නොහැකි කරුණු
තත්පරයෙන් තත්පරයට
විපර්යාස වෙන ලෝකෙක
අස්ථිර ජීවිත ගමනේ
කරදර බාධක හමුවේ
නොසැලී නොබියව සිටීම
බොදු අප හට අරුමයක්ද?
මැඬි විදමන
විද මැරූයෙමි
මුදාහැර දුනු දිය
කෑගැසූ ගෙම්බා
අඳුර රජයන මාලිගාවේ
නිදන්නට නිරිඳුන්ට
සිත් සේ රමණ සුව විඳ
අඳුර විඳින්නට
දුනු ශිල්ප කුමකට ද ?
රජුන් සනසවන්නට
අවැසි නැත
කවටකම් පමණක් ම
සෑහේය ….
ගෙම්බා මැරූ පාපයෙන්
සද්ද විද්ද පළඟ පතිර
පටබැඳි නම්බු නාම ලැබ
රජගෙදර කවටයා වී
අවැසි – අනවැසි සියලු තැන
බක බක ගාන්නෙමි
සදාකාලික ගෙම්බෙක් වී…..
සිත්මිණි රැළි
දිරන කුණු කය සමග ගැටෙමින්
පිඹුරු සිතුවිලි දැවටෙමින් විත්
උඩට පහලට තෙරපි තෙරපී
මහරු මැදුරට පියඹමින් යයි
කෙලෙස් කුකුළන් හඬන අළුයම
මාර දූ වරු ඉර වසා යයි
රඟන අංගන කොතෙක් පාවෙද
සැණෙන් රන්මිණි වැලි දූලි වෙයි
සිතග සුළි සුළි ඇඹරෙමින් විත්
කහට පැල්ලම් හලන බිම මත
පහන් දැල්වෙන දුමින් නැගෙනා
සුවඳ නෙතු මිණි අනන්තෙට යයි
සිත් තරංගයො මවන දුන්නෙන්
රැලි පෙළක් නොබිඳෙමින් ගලමින්
සයුරු වෙරළ’ග ඉමක් නොපෙනෙන
විඩාවක දුක් නෙත් සරස යයි
දිය බිඳක් වී…….
අහස් කුස තුල දිය බිඳක් වී
කඩා වැටුනත් මිහි තලය මත
සොඳුර ඔබ මට මුනගැසෙන්නේ
ගිරි ශිඛරයක ඇල දොලකදී
එදා සිට ගැලුවා එකට අපි
එකට එක්වී රළ පහර බිඳ
නංවමින් පෙන බුබුලු විටෙකදි
විටෙක නිසසල ගැඹුරු දියකදි
වෙන්වුනේ නෑ කිසිම දිනකදි
දිය බින්දු තව වැඩි වුනා මිස
නදිය බැස යන අතර මගදී
සයුර ඇත ලඟටම ඇවිත්
මිරිදියක්වී ඉපදුනත් අපි
කරදියට එක්විය යුතුව ඇත
හිරු කිරණ අපි අහස් තලයට
රැඟෙන යනවිට එකට ඉගිලෙමු
එදා එක්වුන ගිරි ශිඛරයෙම
යලි එකතුවී ගලා යන්නට
කැලණි ගං ඉවුරේ නතරවී
බුදුන් වැන්දා නුඹට මතකද
දූපතේ නීතිය
ලන්දේසි,පෘතුගීසි
අන්තිමට ඉංග්‍රීසි
මිදීගත්, මුදාගත්
දුපතේ වැසියන්ට
විඳවීම් හැරුනුකොට
සැනසීම උරුමනැත
නීතියක් නැතිරටක
චාරයක් නැති විටෙක
චරිත මතුවේ විකට
විකල්පය විලසකට
කුළු පහරකින් තදින්
කළුගලක් බිඳින ලෙස
පඩිපෙලක, බිත්තියක
වද්දවා රුදු ලෙසට
යුවතියකගේ හිසක්
කඩාබිඳ විසුනුකර
කැබලි හැටහතරකට
පෝරකය වෙතයැවූ
රුදුරු, ධනවත්, උමතු
වධකයා වෙතට ගොස්
ලන්සුවක් හෙට්ටුකොට
වටාපත කරකවා
සිසිල් සුළඟකුත් විද
අසපුවෙන් රජගෙදර
සතරකන් මන්ත්‍රණය
රජුට වැඩියෙන් බරක්
සඟුට ඉන් හරිඅඩක්
රන්කාසි බෙදෙනලෙස
ලබාගත් අත්සනින්
වධකයා නිදහස්ය
අසරණය උසාවිය
නොපෙනෙනා ලෙස කිසිත්
දෑස් බැඳ අගුළුලා
සමබරව අතක රැඳි
රන් රුවන් තරාදිය
වැලපුනා මහහඩින්
පිරුණුකය වසා සිටි
සළුපටද බිම වැටී
නිරුවතින් විලිබියෙන්
ඇය හඬයි ශෝකයෙන්
ඇඳිවතට පමණක්ම
උරුමකම් හිමි අහිමි
වියළි රළු රතු බිමේ
අහිමිවූ බිම්කඩේ
ගුණ අගුණ දකින්නට
කුසගින්න දරාගෙන
දරුවන්ද වඩාගෙන
ගියපිරිස සැපෙන් අඩු
පිරිසටම වැටුණි නඩු
පහරදී, පුළුස්සා
දරුවන්ද, මහඋන්ද
අටදෙනෙක් බෙලිකපා
මැරූ නිල වධකයන්
නීතිපොත අනුගතව
පෝරකය වෙතයැවුණු
කළුචරිත සියල්ලන්
සුදුචරිත විලසකට
රජ අනින් නිදහස්ව
පියාඹා යන රටක
හෙටදවස කෙලෙසකට
උදාවේවිද අපට?
වයරයක් තුලින් එන
හඩට බියපත් ලෙසට
බියගුලුව ලෙස නිවට
නිගරුකොට තුලාවට
වැදු මව් පදවියට
හැදූ පිය නාමයට
නිගාවක් නොවන්නට
උපන් මේ දේශයට
නමක් පවතින ලෙසට
තීන්දුව, තීරණය
දුන් දිනක ඔබ රටට
නොමැතිදින ඔබෙ සුසුම්
විනිසුරාණෙනි! උතුම්
කනත්තේ සොහොන් මැද
ඔබෙ සොහොන බැබලේවි!
සොහොනලත් පොලව මත
ස්වභාව ධර්මයේ
සියලු හදවත්වලින්
සුවදමල් පිබිදේවි!!!
නපුරු කාලය
මේ මිහිරි මල් සුවඳ
ඉවරයක් නැති කුරුලු ගී නද
ගලා යන ගඟ දිය කඳ
මතක් කරනවා ඔබ මට
වසන්තය මිදුලට ආවට
මලක් නොපිපුණි ඔබේ තුරු හිස
ඒ එකම එක වරදට
තියුණු සැතකින් වෙන් කළා අප
මල් පිරිවැරූ ගසකින්
මලක් ඉල්ලා පළන්ඳා හිස
රැක ගනු නොහැකි විය මට
මගේ ආදර කොළ පිරුණු ගස
පතොක් කටු මත පිණි බිඳු
මල් වගෙයි ඇයි නොපෙනුනේ මට
ඔබව රැක ගනු බැරි වු වරදට
මේ කඳුළු හොඳටෝම මදි මට
වෙන් වුන නිසා අප
නැවතුනේ නෑ ලෝකය
ඉපල් නටු අග පළන්ඳන්නට
මල් අරුංගල් දිලෙයි දස අත
ඉතින් මා සොඳුරිය
ඔබ මට හිමි වු එදවස
පැමිණේ පොසොන් මස
නැවත යයි මට කඳුළු ඉස ඉස
මහබඹා තමන්ටම කෙඳිරු සැහැල්ල
කවිත් ලියලා ඇති
පොතුත් ගහලා ඇති
උපහැරනෙටත් ගන්නැති
ඉතිං මං ගැන දැන් ඇති
මගේ යක් මුහුණට
මගේ සඳ මුහුණට
බොලට ඇස්වට
මැණික්කටු ගාවට
හික්මුන ඇඳුම කැඩුමට
අතක ඇති කඩුවට
අනෙක් අත මල් පොකුරට
ලිව්වා කවි ගී සිලෝ
පමණටත් දැන් වැඩිකොට
මං කර තියාගෙන
ඒ මදිවාට නටනට
හැමදාම පෙරහැර කරන
ඒත් කවදාක කොයිකෙකු නොදකින
මං ඇතුලේ හිරවුන
ගුරුන්නාන්සේ ගැන
ඔන්න ලියනවා නම් කවියක්
අඩුගානේ එක අකුරක්
හැමදාම පෙරහැර කරන
ඒත් කවදාක පෙරහැර නොදකින
කුරුබිලියෙන් පාර හොයහොය යන
බේතකට හුළඟක් නොවදින
ඉහකනින් දාඩිය හලහල
ඒත් ඤංපචන් නොකියන
අලි බෙටි අලි හුජ්ජ
ඇඟිලි කරු මැද මිරිකෙන
කොප්පරා පන්දමෙන් වැටුන
ගිනි අඟුරු කකුල් පුච්චන
පිලොච්චි, ගුරුන්නාන්සේ ගැන
ලිව්වාද බොලා එක කවියක්
අඩුගානේ කොම්බුවක්
ඒත් ලියතෑකි
මහ පොතක්
කෝ ඒකට එකෙක්වත්
නෑ වගක්
කෝරලේ හාමදුරුවෝ,
අර අප්පෝ, මේ අප්පෝ,
මොහොට්ටාලලා,
නිලමෙලා,
තන්ඩල් රාලලා,
කපු නිලමෙලා,
ගබඩා මොහොට්ටාලලා,
උන්දැලැගැන අනන්තයි
ලියපු විස්තර
කයි කතන්දර
බොලපැන් ළිඳ,
දිග්ගෙයි නැටුම්,
ආලත්ති අම්මලා,
බුරන්පේත්තුව කාලතුවක්කුව,
කුරප්පට්ටුව, සබරගමු මහදවුල
උපන්දාසිට විස්තර
කොතෙක් රස කරකර
ලියයි මහ පට්ටන්දර
ඒ කරෙන් මේ කරට
මේ කරෙන් ඒ කරට
කොච්චරත් මාරු කරකර
බට කුඹලක් උනත්
මගේ ඉලකූඩුව
බරෙන් අඩුවක් නෑ එච්චර
පෙරහැරේ අලි අච්චර
කජු ගනන් මෙච්චර
මෙදා සෙනග කොච්චර
හැමදාම එකම චරබර
ඒත්
මං මේ මහඹබා
කරගහන් යන,
පිලොච්චි
ගුරුන්නාන්සේ ගැන
අඩුගානෙ නෑ
නාම මාත්තර
රිට්ටා ගෙයි , සින්හාසනේ
දෙයිහාමදුරුවොත්
ගිමන් නිමනවා
මොහොට්ටාලලා
පිරිවරන්
බස්නායක කෝරලේ
හාමදුරුවොත්
එහෙමමයි
මුරායුධ, සේසත් චාමරගත්
උන්දැලත්
විඩා නිවනවා තැනතැන
ඒ ඇබිත්තන් වෙලාවෙත්
පිලොච්චි ගුරුන්නාන්සේ
හිර කූඩුවේ
දියකපන දා
කොටාඹෙගාව විස්තර
රතඹලා ඇල්ල
රටේ දිගම ගඟේ පෙරහැර
මහා පතරංග ජාතක.
අව් කූටකේ දවල් පෙරහැර
එදාටත් මං කරගහං
තාර ලෝදිය පාගපාගා
කරේ මදිවට
දෙපතුලෙත්
දියපට්ට පුපුරන
කොච්චරවරත්
දැවිල්ලට ඇදුම් දෙන
හැමදාම පෙරහැර කරන
කවදාක පෙරහැර නොදකින
කවුරුවත් කවදාක නොදකින
ලියනවානම්
අන්න කව්
අන්න පොත් උන්ගැන
සමන් දෙයිහාමුදුරුවන්ගේ
ඇහැටත් කඳුලක් නැන්වෙන…
දරු සෙනෙහස
රුදුරු මිනිසුන් සිටින මෙලොවට
උපතින්ම බිය වුනෙමි මම
පිළිසිඳගත්දා මා කිරි කැටි පුතුන්
ඉකිබිඳ හැඬුවා මතකයි හුදු ආරංචියට
සිතුවා වැරදියි හැඟුනා මට
දුටුවිට කිරිකැටි මුහුණු පොඩි
ආශීර්වාද ලැබුවා මා මව් පදවියට
දුන්නා පුතුන් මට නව ජීවනයක්
හාපුරාකියා පාසල් ගියදා පුතුන්
මගෙන් ගිළිහී ගියාදැයි ලොබ සිතුනා මට
විවේකයේදී මා වෙත දුව විත් ඉඹ ගත්තා මගේ කුස
දැනුනා ඔවුනට එය සුපුරුදු නිවහන බව
සය අවුරුදු නිහඬතාවය බිඳිමින්
නැගණිය මතු උනා -බලාසිටි තෑග්ග ඇයයි
නිවස එකම සැණකෙළියක් කල ඔවුන්
ආදරය දයාව කරුණාව හඳුන්වා දුන්නා පවුලටම
මව් පදවිය ලද දුව දුන්නා මට මිණිබිරියක්
හුරු බුහුටියි ඇය මාගේ ප්‍රාණයයි
මා දුටු විට ඇගේ සිනහව කෙළිලොල් බව
පාලනය කර ගන්නට බැරි ඈ ඒ මේ අත දුවයි
ඒ නුඹයි අප්පච්චි
රිවි රැසින් විඩපත්ව
රෑ පාන නිදි නැතිව
අපේ දිවි ගොඩ නැගුවෙ
ඒ නුඹයි අප්පච්චි
සරතැසින් ගොඩ නැගුව
කිසි දෙයක් මට නැතත්
කම් නැතැයි හිණැහුනේ
ඒ නුඹයි අප්පච්චි
හොඳම දේ විතරක්ම
දහස් ගණනින් කළත්
පොඩ්ඩටත් දොස් ඇහුවෙ
ඒ නුඹයි අප්පච්චි
ලොවක් ඉදිරියෙ වුවත්
මහමෙරක් ඉවසුවත්
හන්ගාම ඇස් තෙමුනෙ
ඒ නුඹෙයි අප්පච්චි
දිවි මගින් වියපත්ව
ගතේ සවි නොරැඳුනත්
සිතේ දිරි නොසිඳුනේ
ඒ නුඹෙයි අප්පච්චි