ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

May 2024

දෙවරක් පෙරන ලද කඳුළින්
බෝ පත් පෙඟුණු හවසෙකි
තෙකලා විදුලියෙන් වැටුණේ
තෙවරක් පෙරන ලද මිනිසෙකි

- මංජුල වෙඩිවර්ධන

2024 අප්‍රේල් 16.

2024 මැයි කලාපය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

මෙවර කලාපය කවි 63 කින් ඔපවත්වීී ඇත
  1. සම්බුදු තෙමඟුල ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
  2. නොදකින නිවනමහාචාර්ය ටී .එස්. අබේවික්‍රම - ලන්ඩනය
  3. අපට තව දුර යන්න තියෙනවා…. අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
  4. පුතේ මම ගමට යමි අනුරාධා ගුණසේකර - හොරණ
  5. බිඳීම් සහ බැඳීම්වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
  6. අරා ගගනත පුරා සඳ ආරියරත්න ජයසිංහ - මහරගම
  7. ආදරය ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
  8. වියපත් බඹරා සහ සුදු නෙලුම. ආරි ලියනගේ - ඉතාලිය
  9. Behind the tears — Chandrawansha Gnanasekara චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
  10. ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න……………. චම්මින්ද වෙලගෙදර (ග්‍රන්ථ කතුවර)
  11. Magic Of The Twilight – Charith Hiripitiya චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  12. අළු පාට චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  13. කෙලවරක් නැති ගමනක් ය. චමරි වික්‍රමසිංහ - පිලියන්දල
  14. සැමරුම් යාය චමින්ද ලියනගේ - බලංගොඩ
  15. මා අයිති දුරු රටට මට යන්න ඉඩ දෙන්න ! දයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය
  16. ඇහුම්කන් දීම…! දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
  17. විජය කුවේණි පී.ධම්මික දුමේන්ද්‍ර - පාමංකඩ
  18. යලිත් වරමක් ලැබේ නම් … දීපා ද සිල්වා - ලන්ඩනය
  19. මෙහෙව් රටේ දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
  20. වෙසක් සුවයවිශාරද එඩ්වඩ් ජයකොඩි
  21. බේබද්දා… හශාන් සම්පත් සමන්වත්ත
  22. පෙම් කරද්දී මා හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
  23. දැවෙමි විඳිමි කපිල කුමාර කාලිංග
  24. දිය රැල්ලක් අභියස ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
  25. සුබ අලුත් අවුරුද්දක් වේවා !මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
  26. ආපසු හරවන විසුද්ධි මාර්ගය. ලයනල් ගමගේ ඌරුමුත්ත
  27. ආයාචනය!!!! ලුම්බිණි විතාන - ලන්ඩනය
  28. Snake and laddersමහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
  29. හඳෙන් හාල් මාක් ඇන්ටනි කුමාරගේ
  30. සමනල සඳෙස -12ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  31. සසුන රකින යතිවර හැම බබලත දන මන සදනාගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
  32. සොබා අසිරිය……….. මානෙල් ගමගේ - බොරලැස්ගමුව
  33. කවි සිතක්… මාලා විජේකෝන් - උතුරු කැලිෆොර්නියාව
  34. රට රැකියා සොයා අම්ම එතෙර ගියා මංගලා රත්නායක - වැලිමඩ
  35. Success- Niranjan Selvadurai නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
  36. අම්මා.. නයනශාන්ති දිසානායක
  37. නවීකරණය වූ හදක හැඩ තතු නාලිනී ද සිල්වා
  38. කඩතිර හරිනු මැන නිලූකා පතිරණ - ඇඹිලිපිටිය
  39. සාර්ථකත්වය නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
  40. එතනය සිතක ගිම් නිවෙනා නවාතැන නදී ශානිකා - මහනුවර
  41. දිවියක අරුත……වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
  42. ළබැඳිකම පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
  43. මුනිවර මුනිවත – තොරණ විස්තරය ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
  44. හෙවණැල්ලප්‍රියංගිකා බටගොඩ
  45. සනාතන දහම රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
  46. තනියේද සීගිරි ලඳුනේ රංජනී කොස්තා - වෙන්නප්පුව
  47. එහෙමයි ආදරේ හැටි…. රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
  48. Unexpressed Love – Ramya Attanayake,ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
  49. The Missile Sanjaya Priyadarshana - Sri Lanka
  50. දල්ලවෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
  51. සුවඳ සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
  52. ඈ.. සුදර්මා වීරක්කොඩි
  53. මහළු විය එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
  54. මූකා සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
  55. සොබා දම , කිම කුරිරු මෙතරම්? සුනිලා විජේසිංහ
  56. වෙසක් සඳ සැගව්ලාරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  57. සර්වෝදය නිර්මාතෘරාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
  58. මිදීම…… සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
  59. THE BROKEN MIRROR~ Sithuki Disara සිතුකි දිසාරා - ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
  60. සුව සොයා දුවමුරාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
  61. ලියුමක් වගේ කවියක් තුෂාරි ජයසිංහ - මහනුවර
  62. තරහ තිලිනි උත්පලා ලක්ශාන්ති - මහනුවර
  63. සසර උපාලි අත්තනායක - මහනුවර

සම්බුදු තෙමඟුල

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර

සුරලොව සුරසැප අතහැර මිහිබට

දඹදිව සුදොවුන් රජුහට පුතනුව

බිසවුන් මායා දේවිගෙ කුසතුල

පිළිසිඳ ගැනුනේ පින්සරු කුමරුන්

දසමස ගෙවලා සියපුතු ලැබුමට

මව්පියො දැකුමට දෙවිදහ යනමග

පෙරහැර සරුකල පිරිසද සමගම

දේවිය සපැමුණි ලුම්බිණි උයනට

සල්ගස අත්තක් පහතට නැමුවා

සල්මල් නෙළුමට දේවිට සිතුනා

නෙලමින් සිටියදි බිසවුන් සල්මල්

සලිතව මිහිකත පිළිගති කුමරුන්

වලඳා කිරිපිඩු සුජාතා දේවිගේ

තලියත් පාකර ගඟදිය ඉහලට

පරදා දසබල මරුවන් ගඟබඩ

ලැබුවා බුදුබව සඳනැගි යාමෙට

බෙදමින් දම්රස තුන්ලොව සැනසූ

පන්සාලිස් වසඅවසන එළඹුණු

වෙසක් පොහෝදින පුන්සඳ පෑයු

පිරිනිවුනා අපේ සම්බුදු සමිඳු

නොදකින නිවන

මහාචාර්ය ටී .එස්. අබේවික්‍රම - ලන්ඩනය

අපට තව දුර යන්න තියෙනවා….

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව

සිත්පාන අද්දරම විසිරෙන්න පිණි බිංදු

තරු පිරී මග ලකුණු කියනවා

අත් අල්ලගෙන එන්න , ප්‍රිය මිතුර එක්වෙන්න

අපට තව දුර යන්න තියෙනවා

මේ ගමන තව යන්න තියෙනවා

සුසුදු සඳපාන මැද , නේක මල් උයන්වල

මල් පිපී දිලි දිලී තියෙනවා

කටුක රුදු කතර මැද එක්වෙලා ගියෝතින්

සත්තමයි කෙම් බිමක් පෙනෙනවා

ඒ ගමන යන්න දිරි ලැබෙනවා

හරියටම දුක සැපත්, හමන මද නල වගෙයි

කුණාටුත් විටෙක එය මවනවා

අත් අල්ලගෙන එකට අත් නෑර හිටියොතින්

ඇත්තමයි අපට ජය ලැබෙනවා

සතුට , සැප අප වටා ඉන්නවා

පුතේ මම ගමට යමි

අනුරාධා ගුණසේකර - හොරණ

ඉර දැවෙන දහවලට
පුතේ හරි අමාරුයි මේ සිදාදිය මට
හදාගෙන යස ඉසුරු පිරි සිරි මැදුරු
නුඹ කොලොම්තොට ආවාට
අර හුරුපුරුදු ගම් පියස
මට මතක් වෙනවා නිතරම....

තුරු වදුලු සිප හමන
ගමේ මහ ගෙදර මිදුලට
දැනෙන්නෑ පුතේ මේ තරම් ගින්දර
කර දිය සුවඳ අරගෙන
හමන මේ ගිනි ගහන හුළඟට
මට පනක් නැ පුතේ ඇත්තට....…

සියලු සැප සම්පත් දීගෙන
යස ඉසුරු පිරුණු මැදුරක
තබාගෙන කරන ගරු සැලකිලි
පුතේ මහ ඉහළයි මට...

නුඹ අරන් උකුලටට පෙරදාක
කියාදී ගුණ නැණය හවසට
තාත්තගේ උණුසුමට සැපයට
නිදාගත් එළියේ පිල මත
ඇති තාම තාත්තගේ හුස්ම වල හඬ.....

අතින් අල්ලා මහා ගිරි දුර්ග පසුකොට
අරන් ආ හැටි හොඳට මතක බව
නුඹ ළඟින් ඉඳන් කියන කොට
සෙත් පිරිත් වගේ දැනෙනවා මට......

මේ සුවිසල් මැදුරුවල අයිතිය
මට වඩා තියෙන්නේ මගේ අම්මට
ඉතින් ජීවිතය ගෙවනකම්
ඉන්න කිව්වාට මේ වහල යට
කිසිම හුරුවක්
නැ පුතේ මට...

ගරා වැටෙන්නට ලං වුන
ගමේ ගෙදරට දියවුන
මගේ සොඳුරු තරුණ කාලය
ආදරෙන් ඉතිරුණු
ඒ ගෙදර සුවඳට
තාම ආදරෙයි පුතේ මම.....

තාත්තයි මායි මැද්දට
නුඹ ඇවිත් තුරුල්වී නිදියපු
මතක පිරුණු ඒ යහන මත
තාත්තගේ සුවඳ එක්කල
නින්ද යනවා හොඳට .......

වත්තේ ලිඳෙන් වතුර ටිකක් නාගෙන
කොස් පොලොස් දෙල් ගෙඩියකින්
රස දැනෙනවා මීට වඩා මට
තාත්තගේ හුස්ම හඬ එක්ක
ඒ දහදිය සුවඳ
තවම ඇති මහගෙදර .....

ඉතින් පුතේ....
මොන තනියක්ද .......

හෙට උදේ ගමට යන බස් එකට
ගිහින් දමාපන් හදාගෙන හිත
නිවාඩුවක් ඇති වෙලාවට
දරුවො එක්කල ඇවිත් පලයන් ......

බිඳීම් සහ බැඳීම්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය

පාන්දර ඇවිල්ලා ස්තාලෙ සෙව්වාම
දුක හිතුනා පැත්තකින් නිදන හැටි දැක්කාම
සසර පරදා දුකට නැවතුමක් තිබ්බාම
උඔට යහපතැක්මයි මට දැනුනෙ එවලේම

නොපැලෙන්න ඇගේ හිත පාළු ගැබ දුටුවාම
රාහුලව උණුසුමට ඒ නිසයි දුන්නේම
කන්ථකගෙ ආදරේ මා කෙරේ හින්දාම
දෙපාරක් නෑ හිතුවෙ ඇහරන්න රහසේම

රම්‍ය සුබ සුරම්‍ය අමර රස වින්දාම
අතැර යන ගමන හරි මිහිරි නෑ සිතුවාම
මෙබැමි ලිහමින් නදිය පසුකරන් ඇදුනාම
සත්තමයි සේදුවා මට උරුම හැමදේම

නේරංජනා නදිය එතෙර වී හැරුනාම
බිඳූ බැමි අහුලගෙන නුඹ බැඳන් දැක්කාම
එතෙර කළ ආදරේ දිව ඇසින් දුටුවාම
සසර කෙටි වෙන්නමයි හදවතත් පැලළුවේම

AnA 2024

අරා ගගනත පුරා සඳ

ආරියරත්න ජයසිංහ - මහරගම

( ප්‍රාග් ඓතිහාසික අවධියක එක්තරා ග්‍රහ වස්තුවක ආකර්ෂණයට හසුව
පෘථිවියෙන් කොටසක් කැඩී අභ්‍යාවකාශයට ඇදීගොස් පෘථිවියේ
ගුරුත්වාකර්ෂණය නිසා පොළොව වටා භ්‍රමණය වන බවටත්
ඒ කැඩීගිය තැන අත්ලාන්තික් සාගරය වූ බවටත් මතයක් ඇත.)

චණ්ඩ අහසේ හිරුට පෙම්බැඳ
එදා හොර රහසින්
නික්මුණා නුඹ මිහිමවුන් ඇකයෙන්
ලොල්ව හිරුගේ ආදරයට උණුසුම්

අදත් දිස්වේ නුඹ එදා සිටි තැන
විසල් අත්ලාන්තික් සයුර විලසින්

අත්ලාන්තික් සයුර පිරී ඉතිරින
ලවණ රස වැඩිවින සත් සමුදුර
එදා මිහිකත වැගිරු කඳුළින්

ඇය නැඟු විලාපයෙ හඬ එදා
දෙදරවී සත්කුළු පව්ව සිට
පොළෝ ගැබ ලෝදිය කඳත්
ගිනිකඳුත් විවරවී ගැලී දස අත.

මෙදා විත් නුඹ හිස මුඳුනට ඉහලින්
පෝය දා පිපි පුරා හඳ විලසින්
අරා නුබගැබ තරුද නිදිගත් මොහොතින්
එබී බලමින් සුදු වලා සේලය අතරින්

ලොවට පෙන්වයි දිය සිඳුනු මුහුදු කඳු වැටි
සක්‍ රදුන් ඇඳි සස රුවක් විලසින්
ලප කැළැල් පිරි නුඹේ සොමි වත
එදා සිට විඳි වේදනාවේ පිළිබිඹුව විලසින්.

ආදරය

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය

නිල් පැහැ දිය පිරුණ වෙල’සල ළිඳට යන

මල් මල් සිනා පාමින් මා දෙස බලන

සිල් ගෙන කන්ඳෙ පංසළ අසලදි හැරෙන

ඇල්මක මතක සිත සරමින් දුක ගෙනෙන

මා දං දිවුල් අඹ බෙලි ගෙඩි ඇහිඳ ගෙන

එනවිට කන්ද බැසගෙන දකිනට මුහුණ

නාරන් ඉදුණු ගස යට ඇය සිනාසෙන

අමතක නොවී මගෙ සිත කකියයි දුකින

පාසළ ඇරී එන විට මා දෙසට හැරී

පානා සිනා මැවෙමින් වද දෙයි නාරී

ඇය කොහි ගියෙද නැත දකිනට සිනා පිරී

දින දින තැවෙන්නේ සිත පතුලටම ඉරී

නිල් පැහැ දිය පිරුණ වෙල’සල ළිඳ ළඟට

මල් මල් සිනා පාමින් ඇය එන දිනට

හී වේගයෙන් පියඹා විත් ඇගෙ ළඟට

වත සිඹ බදාගෙන පියඹමි දෙව් ලොවට

වියපත් බඹරා සහ සුදු නෙලුම.

ආරි ලියනගේ - ඉතාලිය

තෙවන යම ගෙවෙන විට හිත පාලුවට
ආදරයක් යොවුන් බැදුනා දිනෙක මා හිතට
මෝදු වුනා ආදර මල හිතක් යට
නව ජීවයක් අරුතක් දැන් දැනෙයි මට

වියපත් බඹරෙකුට නුඹ පෙම් කරන්නට
කිවමැන සුදු නෙලුම රහසින් ඇයිද මට
රේණු පෙති නටවන්න මා කුල්මත් වෙන්ට
බමමින් හාදු සුදු නෙලුමක පැණි බොන්ට.

ආදරෙයි ආ-දරෙයි කියනා තුරා වට
නැත සිදී ආදරේ උල්පත හිතක් යට
සුවඳ සුදු නෙලුම උණුසුම දෙන්න මට
අවසන් වසන්තය සතුටින් මියෙන්නට.

Behind the tears — Chandrawansha Gnanasekara

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය

Now I know your tears
I thought
It was my harsh words
your confession
awakened the bitter truth
it must have been
a devastating blow
and sorrow that followed
deep inside your little heart
you kept hiding.

My words like knives
may have pierced the tight lid
what overflowed was
uncontrollable sadness
you kept bottled up
with humanly difficult effort
while giving a pleasant smile
to everyone around

I am relieved
that I am not the culprit
but I am moved by your loss
to the edge of t he tears
I travel back down the memory lane
what I would have done
under such circumstances
I am sure that
I wouldn"t have had the
same courage

I bend my head to you
little thing
for the courage and the strength
to hold such a load
in your little frame
without giving a hint
to friends and relatives

Dear little courageous
life is a mix bag
things come and go
sometimes it is painful
pain slowly dissolves
scars might remain
for a long time to come

20-03-2024

Tribute to the courage of the girl whose boyfriend passed away
due to blood cancer

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න…………….

චම්මින්ද වෙලගෙදර (ග්‍රන්ථ කතුවර)

වලාකුළක්.

කළුම කළු වළාපෙලක්. හිරු නොඑතැයි බිය හිතෙන වළාපෙලක්.
බලා හිඳිමි හිරු නැඟෙන තුරා
නැඟෙන්ස් හිරු සමග අවදිව ඔබ මවෙත එනතුරා
................
හිරු හෙමින් බැස යන ඔබේ පෑළදොර අහසේ වලාකුළක්. බලන්න බැරි තරමට ඔබව වෙහෙස කරවූ, දාහයෙන් හෙම්බත් කළ නුඹ මෙතෙක් වෙහස කළ අහස දෙස නොබැලූ නුඹ .....
හදිසියේ දුටු අඳුරු අහස දෙසට යොමු වූ නෙත් දුටු අඳුරු වැහි වළාවක්.
කාලෙකින් ගෙදර යන විටෙක අම්මලා නංගිලා දකින සතුටක්.......
කලෙකින් නුදුටු ආදරවන්තිය හදිසියේ හමු වූ සේ දැනෙන සතුටක් ඔබ ඊයේ හවස දුටු වළාවෙන් ලැබුයේ.......
ඔබ එයිද නිවා මේ දාහේ ගලා බැස යන්නට වර්ෂා
මං බලා ඉන්නවා නිවී යන්න
තෙමි තෙමී නුඹ සීතලෙන්
වහින්න නොනැවතී වර්ෂා
එහෙම හිතූ නුඹ ඊයේ රැයේ
කාලෙකින් පස්සේ අතට ගත්තා නේද නිවාඩු දුන් පොරෝනය.
නුඹ නිදන්න සීතලේ
නිවා සීතල කියා ගතම වේලු විදුලි පංකාව මොහොතක් .

ඔබ අත්මිදෙයි උණුහමින්.

වළාකුලක්
මේඝ වළාවක්.....

කොතරම් ඉන්නද තවත් ඔබ අවදි වෙන තුරා
අන්ධකාර මේ උදේ............
මං බලා සිටි හිරු පේනවා
හෙමින් හිනැහෙන වගක්
මා අත්මිදෙයි සීතලෙන්.

සතුට අප විඳින්නේ මිදීමයි
සිත් දැවූ ඔබ , මගේ
තාපයෙන්,
සීතලෙන්
සිර ගෙයක් නොවෙද මේ ජීවිතේ
සිරගෙයක් කියන්නෙම තමන්ට තමන් නැතිවෙන තැනක් නොවේදැයි ඇසූ දේවල් සිහි නොවේද දැන්.
හැබෑ හිරගෙයක් නම් අච්චු විඳිනා එහි නොමැත වගකීම්
ඒත් අපි අපේ ජීවිතේම කරගෙන හිරගෙයක් නොවිඳීද වගවීමක්....
ඒ නිසා මේ හිරු හෙවීමත් වැසි සෙවීමත් අතර නොඇළී සිටියොත් ,
එයම විඳිනා ලෙස මනාසේ සිතුවොත් මට හිතෙන්නෙම අපි පත්වෙන වගක් සෑහීමකට.
සෑහීමට පත්වීමමයි මිදීම වෙන්නේ හිත දවන හැමදේයින්ම හැබෑවටම මිදීමට නම්.
හැමදේම හිර ගේ කරගත්තෙත්, සුව මැඳුරක් කරගත්තෙත් මායි මගෙ හිතයි.
එයම මා සීතල සීතල කියා සිතුවා
එයම ඔබ දාඩිය දාඩිය කියා සිතුවා.
නුඹ නිදන්න දාහය ගැන නොතකා
මම යමි නික්ම සීතල ගැන නොසිතා.

ඔබට ඔබ ඔබෙන් අත් මිදෙන සුවපත් දිනක්.

30-04-2024

Photo credit; Pixabay

Magic Of The Twilight – Charith Hiripitiya

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

The dawn with big hopes,
Stimulate my whole soul.
The dusk with hard copes,
Ends with your smile falls.

Without you, I feel I'm ill,
So come to me and make me fulfilled.
Tell me everything, and I will,
Make my princess a queen and it's my will.

The magic of the twilight,
Is your sweet smile,
Is there something to highlight?
Of course, it's your descent style.

Coming through the dark days..
I with my pen for long days..
The missing piece is what the young prays..
So I'll find the lost treasure in your face..!

අළු පාට

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

සීයක් ගත්තොත් අනූ අටක්ම කළු පාට
ඉතුරු දෙක අළු පාට
දැක්කෙ නැහැ තවම මම සුදු පාට
හිතලම කියන්න! කියවන නුඹත් මොන පාට ?

ප්‍රශ්නෙකදි උනෝතින් කළු පාට
මගහැරෙයි හැම විටෙක සුදු පාට
බැලුවොතින් මනසකින් අළු පාට
පෙනෙයි උත්තරය නිසැකවම සුදු පාට!

ජීවිතේ කියන්නෙම අළු පාට
ගොඩක් තැන්වලදි කළු පාට
කළු පාට පැරදුවොත් අළු පාට
සමරමු තුටින් වී සුදු පාට!

ඉතින් හිතවත ;

දැක්කත් හැමතැනම ඔලු ගෙඩි කළු පාට
දඟලන්න එපා උලාගෙන සුදු පාට
යථාර්ථයම දකිමින් හැමවිටම අළු පාට
ගෙනියන්න යනකොට අතින් ගෙන සුදු පාට..!

කෙලවරක් නැති ගමනක් ය.

චමරි වික්‍රමසිංහ - පිලියන්දල

දිරාගිය ඒදඬු කොටය
අත් වැල නොමැති මුත් යා යුතුය
පහතින් හිස පැලදි මල් සමගින් ඇලය
කුඩ මසුන් සේම මිනී කන කිඹුලුන් ඇතිය

ඒදඬු කොටය පොල් කොටයක්ය
පිට පොත්ත ගැලවී වැටෙන හැඩය
දිරාගිය මගෙ කබල් රබර් සෙරප්පුය
අතක් බර මගී මල්ලක් ඇතිය.

තෙල පෙනෙන ඉම කෙලවරෙහි
ගමනාන්තය ඇතත් පෙනෙන
වල් බූටෑ ගගන අතු පාරක් ඇතිය
මගියෙක් නොගිය හැඩය.

වතු පාලු වැල් එතුනු හිතය
ඒ මේ අත දුවනු නවතනු බැරිය
නොයාද යායුතුද සිත එකල මෙකලය
නමුත් අඩිය නොතියා බැරිය.

Photo credit; Bahador

සැමරුම් යාය

චමින්ද ලියනගේ - බලංගොඩ

කන්ද වටට නිල්ල ගලන
ගහකොළ සිරි දරනා
ලන්ද දිගට පේර හිඹුටු
මොර මා දං ඉදෙනා
බැද්ද උඩින් ගම්මානෙට
සීත පවන් ගලනා
ඉද්ද සමන් යායෙ පැලක
නුඹත් එසඳ පිපුනා,

වාන් දමන වැව පිරෙද්දි
මෝසම් වැහි වැහැලා
හේන් කුඹුරු තෑගි ගෙනත්
තිබුනා බැත නෙලලා
පාන්දරම යද්දි එද්දි
නිතර අකුරු කරලා
හීන් සැරේ බැඳුණ බැඳුම්
ගියා දුරක ඇදිලා,

සිතන පැතුම් නොපිරුනාට
පිරුව සිහින වදුලේ
රැඳුන කිරණ හරි එළියයි
පුංචි පැලක ඇතුළේ
පිපෙන කුසුම් නැති උනාම
ඉස්සර වගෙ මිදුලේ
මැවෙන මතක අතරෙ හිරව
හිත තවමත් සසැලේ,

හිතන පතන දේම නොවන
මග එකටම සරා
නොයෙන තැනක සැඟ උනාට
දිනක මටත් හොරා
කොතැන ගියත් මේ සැමරුම්
යායෙ දවස පුරා
දකින දසුනෙ නුඹව දකිමි
උවන කැළුම් පෙරා,

Photo credit; Gursher Gill

මා අයිති දුරු රටට මට යන්න ඉඩ දෙන්න !

දයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය

තුරු ලතා මල් පැළඳි වන වදුලු පීරන්න

වැහි වළා දුහුල් ඇඳි කඳු ශිඛර නැග ගන්න

නෑ සියන්, යහළුවන් මුහුණුවර දැක ගන්න

මා අයිති දුරු රටට මට යන්න ඉඩ දෙන්න !

නෙක බොජුන් ඇති නමුත් බත තරම් රස නොවේ

මුදු යහන රළු පැදුර තරම් මට සුව නොවේ

වදන් මිහිරිය ඔබේ සැබෑ සෙනෙහස නොවේ

ගතින් මා මෙහි නමුදු සිතින් මා මෙහි නොවේ

සිනා අමතකව ගොස් හද පෙළෙන දුක් ගින්න

පිරි දනන් සමග ඉඳ උන් කඳුළු පිස ලන්න

මා ද එහි කෙනෙකු බැව් පෙර මතක නැති වෙන්න

මා අයිති දුරු රටට මට යන්න ඉඩ දෙන්න !

ලන්ඩනය - එක්සත් රාජධානිය

ඇහුම්කන් දීම…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල

දුකකට පත් අයෙක් එම
දුක පවසන්නේ...
හිතකට සහනයක් ලැබ
ගැනුමට වන්නේ...
පවකට සමහරුන් එය
මගහැර යන්නේ...
කනකට යවුල් අනිනව
සේ සිතමින්නේ...

මදකට සිතා බැලුවොත්
වැය වේද මිලක්...
ටිකකට ඇහුම්කන් දුන්නොත්
නොවී ගලක්...
හදකට සතුට ගෙන දීමේ
නැතිද පලක්...
පිනකට ලැබුණ දෙසවනටත්
යාවි කලක්...

ඔය කට යොදා නොකපනු
තවකෙකුට වලක්...
රටකට, වැටුනු, ඒමට නම්
හොඳම කලක්...
සිතකට අපේ ඉඩ දුන්විට
වන්න විලක්...
දිනකට එක බැගින් සුපිපෙයි
සුවඳ මලක්...

විජය කුවේණි

පී.ධම්මික දුමේන්ද්‍ර - පාමංකඩ

කපු මලින් සුදු සේල ගෙතුවට
තම්බපණ්ණියේ බින්න බැස්සට
පෙම්බැන්ද නුඹ විජය කුමරුට
විජය කුවේණිගේ පෙම් කතාවට ...........

හෙලූ කඳුලැලි නුඹේ දෙනෙතින්
ශාප කෙරුවට බිමේ හෙළයට
ගැලපුමක් නැති විවාහ ගිවිසුම
නුඹට වැරදුනු තැනක් තිබුනද ...............

විජය කුමරුට රහස හංගා
කුවේණිගේ ඒ බලය පෙන්වා
රජ කරන්නට ඔටුනු පළඳා
යනවා කුවේණිය විමන හැරදා ............

යලිත් වරමක් ලැබේ නම් …

දීපා ද සිල්වා - ලන්ඩනය

කාල නෞකාව
හරවන්න වරමක් ලැබේ නම්
නතර කරලමි
මවු ඇකය මත
අරඹමි මුල සිටම
ජීවිතය
වැරදියට ලියවුනු
පද පේලි ගලපමි
යලි වැරැද්දක්
නොවන ලෙසටම
තනුව සකසමි
මියුරු විලසින
සතුට පමණක්
ගැයෙන විලසට
විසිරි ගිලිහුණු
ජීවිතේ තත්
සකස් කරලමි
ඇවැසි පරිදිම
රිදුනු මතකය
මකා දා එමි
කවමදාවත්
ගොඩ නොඑන ලෙස
කදුළු සමුදුර ලඟට හරවමි
කැළණි කළු හා හාද වෙන්නට
සතුටු සිත මං
රැගෙන එන්නෙමි,

එහෙත් ….

යලි තත්පරෙන් කාලට
නැවත පෙර සිටි
තැනම නැවතෙමි
යලිත් වරයක්
ලැබෙනවානම්
හොඳයි කියමින්
ලත වෙමින් ඉමි …..

මෙහෙව් රටේ

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

නිර්දය ලෙසින් රැවටෙන මිණිසුන් හන්දා

හර්දය දවයි රට ඇත විපතට කැන්දා

කර්මය නොදත් නිකමෙක් බුදු යැයි ඇන්දා

ධර්මය නොදත් මී ගොන් ඌටත් වැන්දා

කොරෝනා වලට බී ධම්මික පැණිය

කියානා අගෙයි මැති ඔවදන් දුනිය

පුරෝනා පිරිත් පැන් කළ ගෙඩි ගැනිය

දමානා ගඟේ දියුණුව පෑ වැනිය

බියවී කැළණිපුර මහ හඬ දමාගෙන

මතුවී නාගරජු පොළොවත් පලාගෙන

කොටුවී බෝතලේ දරණය ගසාගෙන

නතුවී මුසාවට සත්‍යය මරාගෙන

බැන්දුව ගලෙන් ලොව හැම විශ්මය ගන්නා

කැන්දුව මෙතින් අවුකන හිමි වැඩ උන්නා

ඇන්දුව සිවුර දොස්තරයැයි හෙළු පෙන්නා

ගැන්නුවෙ කෝප හිස් නිසි අගයක් දන්නා

තිදොස් කිපී මම රාවණ රජුයි කියා

එකිස් නැති එකෙක් සුදු අසු පිටට ගියා

වෙසෙස් දනා කුතුහලයක අරුම තියා

නොගොස් දමති කුදලන් අංගොඩට එයා

රැවටී අප්පච්චිලා හට නැහැ අවසාන

නොවැටී උගල්වල යෑමක් නොමපේන

දැවටී සිටන මිත අඳුරෙහි දුකගේන

නොවටී මිනිස්කම ලැබ එය ගරහාන

වෙසක් සුවය

විශාරද එඩ්වඩ් ජයකොඩි

වෙසක් සුවය සොයා සොයා
කැලැන්ඩරය පෙරැළේවා

ටික දොහකින් මගෙ සිරිලක
බුදු සිසිලෙන් නැහැවේවා

මිලට ගත්තු වෙසක් කූඩු
මිදුල - ගෙපිල නැළැවේවා

ඒ අතරේ අප මැ තැනූ
කූඩු රජෙක් වැජැඹේවා

බේබද්දා…

හශාන් සම්පත් සමන්වත්ත

කයිවාරුවට රුසි නොදෙමින් කටට විඩා
අරුතක් නොමැති බර වැකිනම් එමට දොඩා
ඉන රැඳි සරොම වැටුණත් දෙපතුලට කඩා
කෙරුමෙක් නොමැත අහලක තව ඔහුට වඩා

පෙර වෙර නොවුණු අතපයෙහි හත්තිය
වෙනුවෙන් යොදයි පැළ ඉනි වැටෙහි බුත්තිය
ගමටම හඬ නගා ඉල්ලුවද යුක්තිය
බල්ලොත් දනිති ඒ උත්තමයන්ගේ විත්තිය

ලෙන්ගතුකමින් අමතන්නට යැයි සොඳුරේ
මැදුරෙහි නොමැත වැඩියම පැය විසි හතරේ
සලෙ ලුන් වෙත සෙමෙන් යන එන අඩ අඳුරේ
නින්දක සුව තැනෙයි තම අඹුවගේ පැදුරේ

කළ ගුණ තබා යුතුකම්වත් බොහෝ හිඟයි
රහ මෙර ලොබින විසුමත් මව් රටට නිගයි
රත්වනතුරු හැලිය කකුළුවො දියෙහි රඟයි
බේබදු කමත් පරිහෙන ජාතියක මගයි

Photo credit; Motoki Tonn

පෙම් කරද්දී මා

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

පෙම් කරද්දී
මා කාලයට අධිපති යැයි හැඟෙයි මට
මුළු ලොවම මගේ වී ඇත
මගේ අසු පිට නැඟී
හිරු තුළට වුව යා හැකි බව දැනේ

පෙම් කරද්දී
පියවි දෑසට නොපෙනෙන
ද්‍රව ආලෝකයකි මා
පිටු මත ලියැවෙන මගේ කවි
යායට පිපුණු පොපී හා මිමෝසා මල් මෙනි

පෙම් කරද්දී
සිහිල් දිය ගලයි මා අතැඟිලි අගින්
දිව’ග තණ පලසකි
මා කාලයේ රීතියෙන් පිටත ය

පෙම් කරද්දී මා
තුරු පෙළ දිව එයි මා වෙත
නිරුවත් දෙපයින් යුතුව

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘When I love’ by Nizar Qabbani

සිරියානු ජාතික කවියෙකු වන Nizar Qabbani වෘත්තියෙන් නීතිඥයෙකු වූ අතර රටවල් කිහිපයකම රාජ්‍ය දූතයෙකු ලෙසද සේවය කර තිබේ. ශෘංගාරාත්මක පෙම් කවි ලිවීමට ඔහු ප්‍රසිද්ධියක් ඉසිලුවේය.

දැවෙමි විඳිමි

කපිල කුමාර කාලිංග

බිලිය ගිලගත්
මසෙකු සේ
ඈ වටා සරමි

නෙත් කොනින් හෝ
නොබලයි ඈ මා දෙස
ගොඩ ගනු නොරිසින් ද
මා මේ දුකින්

ගිලෙමින් නැගෙමින්
දිය ගැඹරෙහි
විඳිමි විටින් විට
ඈ රූසිරි
එවිට ළසෝ ගිනි
හැරේ සතුටට

නොබලනු ඇතැයි ඈ
දියේ ගිළෙන මසු දෙස
මියෙනතුරුම
හැඟුණ ද
විඳිනු රිසිය
සරා දුක

දිවා රෑ දෙකෙහිම
උණුසුම් සයුරක් ලෙසින්
මසිත නොනිවේ
එකම නෙතු සිසිල ද
ඇයම ය
මානයෙන් පිරි

සැඳෑ කල සරදාකාසයෙහි
සරණ
මද මත් කොවුලෙක්
මහිස මතින් යමින්
ගයයි පෙම් ගීයක්
අස්වසනු පිණිසදෝ

නිශා යම
අසල ගල් කුළෙක
ඉසිඹුලන දියකිඳුරියක
ඇරයුම් බැලුම් හෙළයි
බිලියෙන් මුදනු පිණිස මා

නැත සිතක් ඈ ගැන
වෙළෙමි වෙළෙමි
උඩඟු රුසිරු ලිය වෙතම
උමතුවෙන් මෙන්
ඈ පිළිබඳ සිතින්
දැවෙමි දැවෙමි
හැර නොයමි එහිම රැඳෙමි
කටු සයනයක සැතපෙන
තවුසෙකු ලෙසින්..

24/04/06

දිය රැල්ලක් අභියස

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

හලාගෙන යන සුදෝ සුදු දිය සේල පට නැත නතරවන්නේ,
ගලාගෙන යන සඳේ එය නිල් දුහුළු පට සේ ඇදී යන්නේ,
හමාගෙන යන පවන දිය බිඳු වලාවක් සේ රැගෙන යන්නේ,
බලාගෙන සිටි විටදි මගෙ සිත දැහැනකට ඇයි සම වැදෙන්නේ?

වරෙක දිය රැලි ගලක ගැටෙමින් සේල පට සුනු විසුනු වන්නේ,
අරමුනක සිටි නිසල සිත පෙර අතීතය වෙත ගමන් ගන්නේ,
තවත් දිය රැල්ලක් ගැටෙන විට සිහින් සළු පට පුලුල් වන්නේ,
අනාගතයට දිවෙන සිත නව ලොවක් මවමින් සුව පතන්නේ!

ජලය හිඟ වුන දිනෙක සලුපොට හැලෙන රිද්මය වෙනස් වන්නේ,
හිරුගෙ ‍රශ්මිය ප්‍රබල වනවිට ඉරුනු සලුපොට හකුල ගන්නේ,
නැගෙන සිතුවිලි සෙමින් ගලනට
හිරුට නියඟට සමෙක් නැහැනේ!
ගලන සිතුවිලි නතර කරනට නිවන පමනද සහය දෙන්නේ?

සුබ අලුත් අවුරුද්දක් වේවා !

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර

ආවේ අලුත් අවුරුදු තුරු-ලිය පල සරු කර

රාවේ සියොත් ගී සවනත නංවා සත් සර

යාවේ හිරුත් නව ලොවකට විදා කිරණ තර

හාවේ දසත් දැය දිනවුම කර අදිටන බර

කාගේ නැතත් බක් මහ අවුරුදු අසිරිය අපේ

වාගේ කිසිත් නැත දුරුතේ පල නැති ගස් හපේ

මාගේ අලුත් අවුරුදු ඇති තුරු ඉර-හඳ කපේ

යාගේ සුරත් ගෙන රැකි යුතු හෙළ දෙස-රැස ඔපේ

දාමේ බඳිත් සැම දෙන ගෙන දැය නැඟුමට දිරි

නාමේ දෙසෙත් පතුරා තුර උදා - අවර ගිරි

යාමේ අලුත් වී දොර-දොර නිති උතුරන කිරි

සාමේ සිතෙත් රජ වේවා, ලැබ තිසරණ සිරි !

සුබ අලුත් අවුරුද්දක් වේවා !

ආපසු හරවන විසුද්ධි මාර්ගය.

ලයනල් ගමගේ ඌරුමුත්ත

ආශාව ප්‍රහීන කරමින්
නිර්වාණ පටිපදාවට
සක්මන් කරන
වියපත් යතිවරුන්ට
රන්වන් සන්නස්පත්
පවන් සලන විජිනිපත්
පිළිගන්වති ගෞරවයෙන්
නායක පදවියට
තව දුරක් වඩින්නට
සංසාර ගමන

ආයාචනය!!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය

"මා අසනීපයෙන් දරුවනි
දුටුවොත් මෙය
හැකිනම් පමනක්
මා බලන්න එන්න
මගේ හුස්ම පොද යන්නට පෙර"

දුටුවෙමි ඇදහිය නොහැකි
දැන්වීමක්
දිනපතා පුවත් පතක!

Image by LATUPEIRISSA from Pixabay

Snake and ladders

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්

දාදු කැටේ කිව්ව පළියට
යන්නම ඕනෑ ද ඉතිං මුලු දුර
නැවතිලා ටිකක් හුස්ම ගත්තට
මොර දෙන්නෙ පිස්සුද ඔච්චර

තහනම් ද නෑනේ නගින්න
නැට්ටෙ වුනත් එල්ලිලා හිමිහිට
මොකද ඇයි බැරි බහින්න
ඉණිමගක දිගෙත් අපිට පහළට

මොනව කිව්වත් ඔක්කොම
නීතිනෙ ඕවා හදාපු ඉස්සර
කරන්න හිතුන දේ කැමතිම
කළොත් මරුනේ නොහිත එච්චර

හඳෙන් හාල්

මාක් ඇන්ටනි කුමාරගේ

හඳෙන් හාල් ගෙනැවිත් දෙන බව කිවු සිරිමාවෝ
එය බොරුවක් වුව රට වැසි බොහො අත්පුඩි තැලුවෝ
එදා සිටන් මෙ'සිරිලකේ සිටිනා අම්බරුවෝ
දුවල ගිහින් පාන්දරින් ඡන්දය වුව දැමුවෝ

ඇට අට දෙන බව කිවු විට ජේ.ආර් ට වැන්දා
පාළක රැළ රට වැසියගෙ කොඳු නාරටි බින්දා
විධායකයෙ ඔටුණු දරන් කළ ජඩ වැඩ හින්දා
මිනිහගෙ බෑණා පසු කල "හිට්ලර්" ට ත් ඇන්දා

ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද සහ මෛත්‍රී
හාල් ගෝණි ගණන් බෙදුවෙ පාමින් බෝ මෛත්‍රී
ප්‍රේමදාස ගෙ පුතා සමඟින් ජේ.ආර් ගේ බෑණා
මුට්ට ගොඩවල් පටවගෙන අද බඳිමිනා ගොන් බානා
බෑණ ගේ ගබඩාවෙ හාලේ ගුල්ලො දැක්කේ හූනා
ගුල්ලො නොගැසූ ඔවුන් බෙදනා හාල් කන්නත් ඕනා

දෙයියන්ගේ හාල් කාපු එකා වගේ එදා
රැවටීමෙන් ඡන්දෙ දුන්නෙ බඩ ගෙඩිය ද බදා
දූෂිතයින් හට හොරුන් ට නුඹ ඡන්දය නොදා
මුදා ගනිමු අප මව් බිම බුද්ධිමත්ව මෙදා

26/04/2024

සමනල සඳෙස -12

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 10

වැලි මග

226. සමන් දෙවිඳුගේ අවසර ඇති ව ම
සිරිලක් මෑණිය සතු ලොකු වස්තුව
ගැමුණු කුමරු රට එක්සත් කර ගනු
පිණිස ම මග පිය සලකුණු තැබු බව
තෝරා ගත් මග ගලන දිසාවට
වැලි මග ගමනට පහසු තිබෙනු තව
පිරිස් සමග තම මව් ද රැගෙන ගිය
බව කියැවෙනුයේ ඇති තතු සුරැකිව

227. සමනල එ කරුණ නුඹට වැටහු‌ණෙ ද
මහ එළියේ හෝර්ටන් තැන්නේ
පණ නළ සේ විහිදුණු මහවැලියෙහි
මුල් දිය බිදු කදුළයි පැන්නේ
අග්‍රා බෝපත් කදුවැටියෙන් එන
දිය සීරාවෙන් දිව එන්නේ
කිරිගල් පොත්තෙන් එන දිය දහරත්
එක් වී අග්‍රා ඔය වෙන්නේ

228. මේ අග්‍රා ඔය “අග්‍රා බෝපත් ඔය”
සේ නව නමකුත් ගන්නේ
තොටුපල කන්දෙන් එන දිය දහරත්
බෝපත් ඔයට ම එක් වන්නේ
හෝර්ටන් තැන්නේ දිය සීරාවත්
හෙමින්-හෙමින් විත් සැනැහෙන්නේ
අග්‍රා ඔය “කොත්මලේ ඔය” ම වී
හැටන් ගගට විත් සැතැපෙන්නේ

229. මෙලෙසට එක් වූ කොත්මලේ ඔයත්
හැටන් ගගත් දෙකට ම පොදුවේ
එක ම නමින් “මහවැලිය” කියා අපෙ
මුතුන් - මිත්තනුත් ගුණ කිව්වේ
තැනින් - තැනට එබි-එබී බලන සිත
හැම විට කුකුසෙනි විමසූවේ
බලන් සොයුරු සමනල මල් රද
“මහවැලිය” ගලා සම්පත් යාවේ

230. මැද රට මැදිකොට උතුරු දෙසට ගොස්
ඊසානෙ දි කෙළවර දකින
ඇද - බැද ගෙන කෙත්-වතුපිටි-හේන් ද
පෝෂිත කරමින් යන ගමන
පෙරහුරුවක් නැති සුදුවුන් ඇවිදින්
හදි කෙටුමට සිරිලක් විමන
එහෙව් පරයො ගිළ දැමුවෙ එදා
“පනිනාගල” ළග මහවැලි සුරන

231. දැන ගත හැකි - දත යුතු දේ දැන ගෙන
දැනුම බෙදන පින දන්නේ නම්
හෙළයකු වී - හෙළ බිමට වැඩක් ඇති
කෙනෙකු විලස සිත දන්නේ නම්
දෙසට - බසට ළැදි ළය උතුරන පෙම
දැයේ දනට දන් දෙන්නේ නම්
පිනට- දහමට ද වඩා සුදුසු දෙය
ඒ දේ සිත් සතුටින් දේ නම්

232. නුඹටත් ඒ කුසල ම අත් වේවා
සමනල නොපමාව ම මග සාදා
කියන් මිතුර හැබැහින් නුඹ දකිනා
දෑ ඇය පිළිබද ඇති තතු පාදා
අගර - දගර පාමින් යන ගමනා
සරන දිශානති පිළිබද වාදා
මහවැලි ගං කොමළිට ජය වේවා
ගමන - බිමන යන්නට බිද බාදා

සමනලයා දුටු නදී කොමලිය-2
මහවැලි මනාලිය 14

233. මහ එළියේ කදුළ දිය බිදු ලෙසින් නුබේ
මහ කැලයේ බි‌දෙන්-බිද එක් වුණා ඉබේ
මහ සිලයේ එකී දිය කද පිරී ගැබේ
මහ වැලියේ උපත ඒ බැව් කියනු ලැබේ

234. දිය මං දෙ මං පත් තුන් මං පතට සැදී
ඒ මං සිව් වනු ව එක් වී යසට මැදී
බිං මං සොය-සොයා පහළට ඇදී-ඇදී
නෑ ගං යයි ගමින් - ගම මුව හාදු දිදී

235. කඩිසර ගමන ලාලිත හැඩයට ම දිසේ
මල්සර පහස විද - විද ඇය නටන විසේ
සත්සර හඩ මැගෙයි “ සරිගම-පධනි” ඇසේ
මල්වර වූ කුමරි සරතැස නිවන තොසේ

236. නෙක ගං කොමළියන් පහළට බැස යන්නේ
මේ රූමතිය ඉහළින් ම ය තැන ගන්නේ
දිගු සමනක යෙදෙන මැගෙ කෙහෙරළ මැන්නේ
එහි කෙළවරය ත්‍රිකුණාමලයෙන් පැන්නේ

237. දුරු මග ඇය ගෙවන ගල්පර තිබෙන වගින්
ගරු කොට විසල් පර මැද ඔප දැමුණි මතින්
ගුරු ඒ දවස සිටි ගෙන විරි කෙරුණු සොදින්
සුරු කම අදත් සිදුවෙයි ඇගෙ සොදුරු අතින්

238. නිරතුරු තෙළි තුඩට ගෙන කටු පැන්සලට
තොරතුරු-පන්හිදට-කොළයට - තල්පතට
විසිතුරු රටා ඈ වට සිත් ගත් කමට
පිවිතුරු සිතින් ලිව්වැයි රසවත් ලෙසට

239. කවිකර කියන්නට නුඹ ගැන බිදක් දැන
සවිකර ගතිමි දත්තය මොළකැටි ව මැණ
මැවි - මැවි බරට තිබු විස්තර මද වු තැන
“තැවි - තැවි ඉන්ට මග වෙ ද?” නැගි සිතෙහි පැණ

240. විටෙක දි ඇය පහන් සිත් ඇති සුකොමාලී
වි‌ටෙක දි මැය නුරා මනැසැති මනමාලී
වටෙක දි දැය අරා බැස නිති වන මාලී
විටෙක දි රැය පුරා වෙස බැති රණ මාලී

241. වන ගිරි දනව් බැස ගම් - ජනපද මැදිනී
පැන උස් බිමින් පහළට ජව ගෙන පැමිනී
තැන හිමි පළමු ගෙන දන පැසසුම් මැවුනී
පින ඇගෙ නමට ඇත ඇය හිමි ලක් මවුනී

142. පය ඉදිරියට ඔසවන ලක් මාතාව
කය ඉඩ සදා නැති කළෙ මැගෙ සංකාව
දැය පෝෂිත කරන මහවැලි ගංගාව
වැය කළ ජවය දෙයි යළි නුඹෙ හද ගාව

143. ඉපදුණු දින පටන් නොනැවති දවස පුරා
සවි දුනි කෙතට - හේනට පිපසට ද අරා
කුසගිනි ඉවස දන ගිනි නිවනෙමැයි දරා
බැස යන්නී ද ඇගෙ ඉවසුම පෙමට පෙරා

144. නුඹ “සරසවියක්” ය මට ඉගෙනුමට රුතී
සැමට ම වෙසෙස් රස ඇස ඇති අය ද ඇතී
සරමින් ගම් - දනව් බත සරි කරන ගැතී
නුඹෙ රන් නමට මගෙ මුදු හිස නැමෙයි නිතී

(මතුසම්බන්ධයි.)

2024.05.01

ඉතිරිය මෙතැනින්...

සසුන රකින යතිවර හැම බබලත දන මන සදනා

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය

දා ගබ් කොත් කැරළි මැදින් - සුදු බුදු රස් නුබට ඇදී
සිරිලක සිරිදුල් කරනුව - පතුරයි මුදු ගුණායෙ මැදී
පුරස| සොමි කිණිති නඟා - මුදු රස් තව දිදුල කරයි
ඒ බුදු ගුණ සිලිලාරේ - බොදු හදවත් නිති නැහැවේ
සාදු සාදු හඬ නැගෙනා - වෙහෙර බුදුන් වැඩ සිටිනා
ඒ හඬ නුබ ගිගුම් දිදී - හැම දෙසවනට ම ඇසෙනා...

ප්‍රාර්ථනා පෙරදැරි වී - බෝ පත් සිලිසිලිය මැදින්

සිතුවිලි වැල පඬුරක ලා - පුහුදුන් සිත් සරණ සොයයි
බෝමැඬ මල පහන් තබා - නේක දූප සුවඳ සදයි
බුදු ගුණ බුදු පද දෙතොලග - මුදු නඳ දී මුවගෙ නටයි
පිරිසුදු සුදු තිර අතරේ - පැතුමන් තද වෙයි නිබ‌ඳේ
බලාපොරොත්තුවෙ අබියස - බෝ සමි`දුන් ළ`ග ම රැඳේ ..

තෙමඟුල සිහිපත් කරනා - වෙසක් මහේ පුන් පෝදා
බොදු සිත් බුදු සිරිතෙ සැදී - වත්පිළිවෙත් සරි කරනා
මෙත් මල් සිත් තුළ පිබිදී - දයාව කරුණා පුරනා
මනුසත වෙසඟේ සිරියෙන් - බැතිබර කුළුණින් පිරෙනා
දාන මාන දන්සල ඈ - සිත කය මන සුව සදනා
නේක පහන් කූඩු තොරණ - බුදු සිරිතට පණ පොවනා
බොදු පිළිවෙත් ගරු කරනා - බොදු හදවත් නිති බඳනා
සසුන රකින යතිවර හැම - බබලත දන මන සදනා!!!

2004.05.01

සොබා අසිරිය………..

මානෙල් ගමගේ - බොරලැස්ගමුව

කිචි බිචි ගගා කුරුලන් පානා සද්දේ
සමනල රෑන එහෙ මෙහෙ පියඹා ඇද්දේ
සුපිපුණු කුසුම් සුවඳක රසයක්
මැද්දේ
සිරිබර උදෑසන සතුටක් සිත
වැද්දේ

මිහිදුම් සළුව මිහිළිය මත පතිත වෙලා
ඉවසුම් නොදෙන සීතල එයි අවට ගලා
සැනසුම් දෙවන ගත සිත දෙක
අවදි කලා
උණුසුම් සුවය වින්දේ සතුටකිනි බලා

කඳු පෙළ දිගේ එන වැහි බීරිම අතරේ
බිඳු දිළිසුනා පිණි කැට හිරු.රැස් පැතිරේ
ලඳු මං තලා පිස එන
පවනින් නිතරේ
සඳු තරු සමග සොබදම්
කවියක් මැතිරේ

ඉපනැලි තිබේ කෙත් වතුවල
තෙත පිරුණු
සෙවනැලි ඇඳේ හිරු මැදියම
වෙත දරුණූ
නොවමැලි වෙමින් ගොවිලිය
නැගිටින අරුණූ
සියුමැලි ගතට වෙහෙසක් දැනුනිද කරුණූ

පිපි මල් කැකුළු සුවඳක් නැහැයට දෙද්දී
හැපි හැපි සුළං තුරු ගොමුවල යයි පැද්දී
අපි සැම දෙනට දිනයට
සිරියක සිද්දී
සුපිපුණු ඉර මලින් රැස් කඳ
එයි ඇද්දී

කවි සිතක්…

මාලා විජේකෝන් - උතුරු කැලිෆොර්නියාව

වසන්තය මම නම්
කලියෙන් නො එමි මෙතරම්
සිසිරයේ කඩ ඉම්
පසු කළා පමණකිය යන්තම්

සිසිල විඳ එතරම්
පලා ගිය සිත උණුසුම්
සමග මුදු සැමරුම්
පැමිණ ඇත මග ගෙවා සැතපුම්

රෝස පෙති මනරම්
සැලෙයි සුළඟට බැඳ පෙම්
ඩේලියා මල නම්
හිරුගෙ දැඩි සෙනෙහසට නොතරම්

ගතට දෙන සැනසුම්
සුළඟට ගෙනෙමි පැසසුම්
වසන්තයෙ ඉසියුම්
හැඟුම් පෙළ පිළිගනියි ඇගයුම්

කවි සිතක විමසුම්
නවතනු කෙලෙස නොදනිම්
ගිම්හාන ගිනියම්
වුවද කවි කළ හැකිය මටනම්
....මාලා විජේකෝන්...
කැලිෆෝනියාව

රට රැකියා සොයා අම්ම එතෙර ගියා

මංගලා රත්නායක - වැලිමඩ

වහලය හිල් වෙලා වැස්සට ගේ තෙමිලා
කටුමැටි බිත්තියද දියවී ගෙන බැහැලා
දෙන්නට දෙයක් නැහැ දරුවන් හට උයලා
වෙන පිළියමක් නැත කිම කරනුද කියලා

අගහිග කම් නිසා රන් කහවණු සොයලා
දැනුනා වේදනා නිම කර යුතු කියලා
දූ දරුවනුත් නිවසේ තනියම තියලා
මා පිට උනා ඉරණම මේ යැයි හිතලා

පහසුය කියා හිතුවට මෙහි ඇති කාරී
පුතුගේ හාමු දියණිය හරි වද බාරී
අසනීපයක් හැදුනත් අප අත නාරී
මැසවිලි නගා නම් ඉන්නට බැහැ බේරී

වරද සුළු උවත් සුළු දමාවි ගෙලද සිඳ
සමහර දාට ලැබුනේ නෑ අපට කැඳ
මතකයෙ තබා ගෙන නිතරම පැතුම් බිඳ
ගත විය දෙවසරක් හැම දුක් ගැහැට මැඳ

අමනාපයක් සිත තුල නැත දළුලන්නේ
දාරක සෙනේහය නිතරම මතුවෙන්නේ
යම් දවසකදි මව්ගුණ සිහියට ගන්නේ
එදිනට පුතේ හැකිනං සහයක් දෙන්නේ....

Photo credit; Tima Miroshnichenko

Success- Niranjan Selvadurai

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

I raced up the mountain looking for you
So many others were running up too
To be the first and to be the best
From childhood we train for this test

I went past many in my haste
Some seemed tired some seemed dazed
But reaching that summit was my solitary aim
My unerring shot at wealth and fame

As slopes grew steeper less climbers I saw
Many a fallen comrade on the mountain floor
But if I fall back I must take the blame
I thought I knew the rules of this game

Finally, I did conquer the mountain peak
There your welcoming presence I seek
But the top was barren where no flowers bloom
And you were nowhere, just the misty gloom

So where else could I venture from there?
Need for that descending trek was clear
But there was no race and there was no rush
Time to absorb the tranquil stillness and hush

On the way I stopped by the fallen weak
I help them rise and then up the steep
And then I see you…in their gratefully tear
The sun had risen and the mist was clear

So, did I ascend a higher peak?
Is this the journey that one must seek?
The new focus is on the path and not on I
Success, you were sighted - Is that why?

අම්මා..

නයනශාන්ති දිසානායක

මවක මවුවත් ව ගුණ රැදි
හිත දැඩිව හැඩි දැඩි
ගත මොලොක් සුදු මුදු
හිතුවක්කාර ගති නිමිති
කිසිදිනක වයසට නොගිය
ඈ... සිව් අසූ විය සපිරි
අම්මා...ය..

සසර ම දිග් ගස්සවන
දරු පෙමින් පමනක් ම වෙළුන
උප'නූපන් නුවරක හිමි සිටින
සිට හමන හුළගවත් නොපතන
පිනට දහමට බෝ ලැදි
අතැර ගත නොහී දන් දෙන
ඈ.. සිරියාව පිරි උවන හිමි
අම්මා...ය

හතලිස් වියෙදී මා විදුම්
ඈ හට එකල නොවුනි ද හැඟුම්
විස්සෙ දී මා සිතුම්
අභියෝග ගැන්වූ රිඳුම්
තේරුනා නම් එදා ඒ ඇනුම්
අද මා නිවී සංසුන්
ඈ.. විසි වසක් දුර දැක්ක
අම්මා..ය

කිඹුහුමක වෙනසකට
අනේ.. විස්සෝප උන
කවදාක හරි දෙන්න
නැතිවුනොත් වී..සි කෙරුමට
සම ව සම සම ව වෙන්කොට
අයිස් පෙට්ටියේ ගල් උන
හැම එකාටම හිමි පංගුව
ඈ.. සම සිතින් ඉවසූ
අම්මා..ය

පාර අමතක නැතත් ගෙදරට
ආපු දුර මහ ගොඩක් හින්දම
නුඹ ට වාරුව වෙන්න බැරි මම
දැවෙමි මා, මා තුලම ගිලෙමින
වචන නොදෙඩූ ම'සිත ඉව කර
'උඹ හොදින්' දැයි අහන නිතරම
ඈ.. ම'හද ගැස්මට පන දුන්
අම්මා..ය

නවීකරණය වූ හදක හැඩ තතු

නාලිනී ද සිල්වා

රක්ත වර්ණය
සෙමෙන් බොඳවෙන
අද මන්දාරම, මට තනිවට
රැලි නැගෙන වෙරළ ළඟ සිට
පාලු අහසයි නිහඬයි පොළවයි
පියවූ නෙතු අග මිදෙන මුතුකැට
මායිමක් නැතිව බොඳවූ සිතිජය
මුවෙන් ගිලගත් සුසුම් ශ්වේතය
ගොලු සුළඟෙන් බිහිරිය සවන
වෘතයක මග සලකුණ කි ජීවය
ඔබට අයිති නැති මට අයත් වූ
විසිරී ඇති දුක්වේදනා ගඟුලැල්
දෙපලු වුන හද පලු ඉවතලා
වෑල්ඩින් කර අලුත් හදවත
යලි වර්ණගන්වා තබා ඇත
නවවෙළඳසැලක ඉදිරියේ
අද අයිතිකරුවෙක් නැත
විකිණීමට ඇත්තෙ
ඔබද මමද ඇයද
කියනු මැන
විමසා
ඔබ
මා

කඩතිර හරිනු මැන

නිලූකා පතිරණ - ඇඹිලිපිටිය

නොමිනිස්කමින් පිරි සිත් නම් නිරන්තරේ
මිනිසත්කම ඇදෙයි දින දින වනන්තරේ
බුදු බණ පද ඇසෙයි දසතින් සවන්පිරේ
ඉවසනු නොහැක මගෙ රට දැන් පවින්පිරේ

දෙවියන් බුදුන් වැඩ හිඳිනා උසස් හෙලේ
සැඟවී මාර වෙස් ලත් රුදු අපිස් බලේ
බුදු පුතුනගේ රුධිරය ගත් රකුස් කුලේ
දෙව්දත්ලා ද හොඳ ගති ගුණ වෙනස් කලේ

දුටුවම පුවත්පත්වල තතු හද සෙලවේ
මිනිසා දරුණු වී ඇති බව එහි පලවේ
බුදුදම නොගත් අගතිය මෙය හට මුලවේ
අප්පා දරුවො උස්සලා ගහනවා පොළවේ

තුරු මුදුනෙහි තැනින් තැන යන වඳුරු රැළ
නැහැ කිසි දබර උන් එක සේ බුදිති පළ
බියකරු හඬක් ඇසුනොත් ඒ වනය තුළ
කාගෙද දරුවො ගෙන යති උන් දුවන කළ

එක මඟ ඇවිද ආ මතකය රස බරවූ
රස මසවුළු දිදී සැමගෙම කුස පිරවූ
සිව්වන සිල් පදය බිඳිමින් ගත පිනවූ
සැමියගෙ ගෙල සිඳී පස් පවකට සිරවූ

රඳවා දස මසක් සෙනෙහෙන් බිහි කෙරුවේ
ආ අඟහිගය මැද්දේ දුක සැප බැලුවේ
තව දුක් විඳින්නට දෙනු බැහැ යැයි සිතුවේ
මව්වරු දරු පැටව් ගං තුරුළට හෙළුවේ

පොඩි මල් කැකුළු පිබිදෙන විට බොළඳ වියේ
ව්‍යසනවලට ඇයි මෙතරම් ගොදුරු වුයේ
දෙවියොත් සොබාදම් නීතිය එකඟ නොයේ
මේකද සදාචාරය අප දිනුව දැයේ

සොබදම් ළඳගෙ වියරුය මෙම හැසිරීම
මහ වැසි වසියි කඳු ගැලවෙයි ඉඳුරාම
ලොකු පොඩි භේද නැත ඇති වෙයි මියයාම
සිදු වෙයි කොසොල් සිහිනය දැයි විමසීම

ඇඹිලිපිටිය ..

සාර්ථකත්වය

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

ඔබ සොයා දිව්වෙමි කඳු මුදුනක් දෙසට
බොහෝ අන් අයත් එහි දුවති එක පිම්මට
අති සමතා වීමට, අති ජගතා වීමට
එයයි අප පුහුනුව ළමා කල සිට

අනුන් පසුකොට දිව්වෙමි කලබලෙන්
විඩාපත් ඔවුන් විය බැගෑපත් මුහුනින්
මට එකම අරමුණය එයයි ගිරි තරණය
යස ඉසුරු ලැබුමට ලද නියත විවරණය

බෑවුම වැඩි වුනි, කඳු නගින්නන් අඩු වුනි
මග වැටුනු අසරණුන් නිරතුරුව දුටුවෙමි
එනමුදු නතරවීමට කිසි ඉඩක් නොදිටිමි
තරගය දිනනු වස් නොනැවතී දිව්වෙමි

ඉක්බිති ගිරි තරණය නිම කලෙමි මම
මා පිළිගැනුමට ඔබ නොපැමිණි කරුණ කිම?
මීදුම් වැසුනු මල් නොපිපෙන කඳු මුදුන් බිම
සෙව් මුත් සැම තැන, ඔබව නොදිටිමි මම

මින් මතු මා යායුතු ගමන කිම?
නියතව යලි පහලට යායුතුය මම
නමුදු නොදුවමි, සංසුන්ව ගමන යමි
නිසල නිහැඩියාවේ රසය අගයමි

මග වැටුනු සගයින් හට මම අත දුනිමි
බෑවුමේ ඉහලට ටිකින් ටික ගෙන ගියෙමි
ඔවුන් තුටු කඳුලු තුල ...සැනින් මම ඔබ දිටිමි
මීදුම පහව ගොස් යලිත් හිරු පයා තිබිනි

මෙයද උස් කඳු මුදුන අප පිවිසිය යුතු?
මෙයද නිසි ගමන අප දැන ගත යුතු?
අවධානය, මමත්වය නොව ගමන් මග වෙත
සාර්ථකත්වය, එවිටද ඔබ දිස්වන්නේ නෙත?

හදවත පොබකරන සිත සනසන
ගමන
නිදහස පිරිනමන සිහිලස නිති
විඳින
මදහස මුව රඳන සතුටක සිරි
ගෙනෙන
සොඳුරුය මේ යනෙන දුම්රිය
ගමන

කවුළුව අසල ඉඳගෙන රිසි ලෙස
විඳින
ලැබුව ත්‍යාගයකි මන සිහිලස
ගෙනෙන
දියදම රඳන සෝබාදම මන
පිනන
මිලක නොරඳමින සැමටම සුව
සදන

එහෙ මෙහෙ පද්දමින නැළවිලි
ගී ගයන
නල මුසු කරමින නෙක සුවඳක
ලකුණ
දුටු හැම විඳින ගමනක දුම්රිය
යනෙන
නැඟි හඬ නලාවෙන ගමනක
ඉම කියන
සුදු සේලයෙන ශිඛර මත රූසිරි
වරුණ

මෙලෙසක රැඳුණ මහ බරපොදි
අත හරින
ක්ලේශ රැඳුන සිත නික්ලේශීම
වෙන
සසරක ඉම දකින මරණය මැරුණ
තැන
එතනය සිතක ගිම් නිවෙනා
නවාතැන

දිවියක අරුත……

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ

දිලෙනා තරු සේ
වසන්ත අහස් තලේ
නෙතු කැන් දල්වා
හසරැල් නංවා
සැනසෙමු නිරන්තරේ .

විකසිත කුසුමන්⁣ සේ
ජීවන නදී තෙරේ
සිත් මල් පුබුදා
අත් වැල් පටලා
හිනැහෙමු වසන්තයේ.

ගලනා ගඟුලැලි සේ
දෙරණත දසන්තයේ
මිහිකත සනසා
සෙනෙහස පතුරා
බැස යමු නිසංසලේ.

ළබැඳිකම

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

බොහෝ වටිනා මැණික් ඇත්තේ
ඟං දියේ පතුලටම වන්නයි
සක් පබළු මුතු සැඟව ඇත්තේ
මුහුදු පතුලේ යටට වන්නයි

රාජ ගජ මුතු රැඳී ඇත්තේ
ඇත් රජුගෙ දළ තුළට වන්නයි
ලොවට එළි දෙන ලහිරු ඇත්තේ
අහස් තලයේ ගැබට වන්නයි

හිතැති මිනිසුන් රැඳී ඉන්නේ
හිතේ නොව හිත් යටට වන්නයි
සිත් රිදුම් සිදු වුණත් වන්නේ
සිතට නොව සිත් බිත්ති මතටයි

හිරුගෙ එළියෙන් හිනා වෙන්නේ
සඳයිත් තරු කැට දහස් ගණනයි
ළබැඳි සිත් මත සුවඳ වන්නේ
ළබැඳිකම ම යි... ළබැදිකම ම යි

Photo credit ; Dương Nhân

මුනිවර මුනිවත – තොරණ විස්තරය

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

පන්සල් බිමක කුදලන් යන පැවිදි රුවක්
මුගුරු පහර කයි බිම ඇදවැටුන පසුත්
වහල ගිනිතියයි කෝ⁣පෙන් දැවෙන අයෙක්
සන්නාලියක් අත දඟලයි බිලිඳු පුතෙක්

ඉනික්බිති එකදු වදනක්වත් නොදොඩම
හඬන දරුව තම දෑතට අරගෙන
ගැහැණියද කැටුව පිඬු සිඟමින් වැඩියම
තැන තැන සැඟවෙති ගම්මු සියල්ලම

ගෙන්ගෙට ගොස් නින්දා අපහාස විඳිමින
හිස් කුසට නිසි අහරක් නොලැබ
දිය පිහිල්ලකින් පවස නිවාගත් අඟන
සැබෑ තතු පවසයි කී මුසාවන් පිලිගෙන

සඟනම මෙදින රැක ගත් මුනිවත ඇසුරින්
නෙක පැන අසන දන මන සනසන විලසින්
අට ලෝ දහම ගැන කියමින් සරල බසින්
අකම්පිත සිතින් උන් බව වදාරා සිටිත්

15.03.2024

හෙවණැල්ල

ප්‍රියංගිකා බටගොඩ

සිත තුල පිරිලා තනිකම අපි දෙන්නට අපිම මිසක්
වැතිරිල උනුහුමෙ විඳපන් ඇස් දැල්වෙද මගට කෙනෙක්
සහලොල ගනඳුර එන්නට කොහොම නමුත් ගෙවෙයි කලක්
කලබල වෙන්නේ කුමටද විවේකයෙන් සිටිමු පැයක්...

විඳවල කෙනෙහිලි මගහැර සැනසෙන්නට සුමුදු රැයක්
තවරල සියොළඟ මිහිමව රමණය කර දවසෙ නිමක්
කියවල මුවමත කෙඳිරිලි සංසාරෙම උරුම සොවක්
උහුලල දෙසවන යොමපන් දැනෙනවාද ගැහැණු දුකක්.....

නැවතිල ආයෙත් නොඑන්න වැසිය යුතුයි දොරටු සයක්
මතුවෙල පීනත් දෙගොඩට ගිලෙනවමයි මෙහෙම දොසක්
වදහල බුදු බණ තැවරෙන කැනිමඩලම බිඳින තැතක්
කොනහල වඩුරුව ගනිතත් තණ්හාවම සිහින දැළක්.....

සනාතන දහම

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

අහස් කුස තෙක්
වැඩුණු ගහකොළ
නපුරු ගති ඇති
හිම රකුසු දොස
වෙලාගෙන
හලා කොළ මල්
මහ පොළොව මත
ඉපනැල්ල අහස තෙක්
උඩට විහිදා
මියැදුනාසේ
සිටිති නිසසලව
මෙනෙහි කරමින්
අනිත්‍ය
එවන් ගහ කොළ
ආදා වසන්තය
අතුරිකිලි දළු දමා
මලින් හා ඵල බරව
පෙර විඩා නොවිඳිසේ
ගෙනෙයි ජීවිත
චමත්කාරය
පෙන්වමින්
ආශාව මුලුගෙන
බුදුහිමි දෙසූ ඒ
සනාතන දහමවේ

Photo credit; Pat Whelen

තනියේද සීගිරි ලඳුනේ

රංජනී කොස්තා - වෙන්නප්පුව

වළාකුලෙ මුදු පහසෙ තැවරෙන
මහා කළුගල් සිරස මත්තේ
නෙලූ තඹුරුත් රැඳුන අතගත්
දුහුළු සළුපිලි දවට ගත්තේ
රුවින් අගතැන් රූසපුව නෙත්
පිනවමින් දන දහස් මත්තේ
යොමන් යුග නෙත් මිහිතලම මත
කිමද නොදනිමි රඳවගත්තේ

පුළුල් උකුලෙත් හැඩය පෙන්වා
බඳෙහි සේලෙත් ඔතා ඇත්තේ
හමන් එන මඳනලට එහෙ මෙහෙ
නොයාවිද මටසිළුට ඇත්තේ
බැඳන් වරලත් ගවසමින් මල්
මුදුනෙ සිරසෙහි රඳව ඇත්තේ
කොයින් ලද ඇරයුමක් හින්දද
මෙවන් සිරියෙන් පළඳ ඇත්තේ

දකින්නට ලොව නුඹගෙ දෑසින්
වරම් නැතිවද තැවෙනු ඇත්තේ
පුරන්නට මුළු දවස දිවියෙම
හිතෙහි හිරකළ සතුට මත්තේ
ගඟන සරනා සියොත් කැලවත්
නැතිද තනියට ලඟට ගත්තේ
කියන් ලඳුනේ ගලෙහි සීගිරි
කා නිසාදැයි තනිව ඇත්තේ

එහෙමයි ආදරේ හැටි….

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

දෑස් කඳුළින් තෙමා
මුවගට කැන්දු
ඒ තමයි මල් සමය
හිසේ මල් පොදි රැන්දු
කාලයක් ගත වුනත්
මල් මතක මන බැන්දු
අදත් සිහි වෙයි සැන්ඩ්විචස්
සේම සරුවත් බිංදු..

නන්නාඳුනන හිතක වුව
පෙමක් පැල කරන
හිනාවම ඉනාවකි
ආත්මය කිති කවන
තරු පොකුරු අතර මැද
ආඩම්බරෙන් රැඳුන
ඔරායන්ටත් බැරිලු
නෙත් සරින් ගැලවෙන්න..

හිරු උණුහුමේ ඉන්න
සඳ සිහිලෙ නැහැවෙන්න
ලද එකම මොහොත ඇති
හදවතක් උතුරන්න
කොහේ හෝ පිපීලා
හිතක් අසලම උන්න
මලක් හැමදා පැතුවෙ
සුවඳ දී පරවෙන්න ..

කල්පාන්තය තෙක් බැරි වුණත්
ලඟම රැඳෙන්නට
පුබුදු වන මදහාස ඇති
හිතක් නිවන්නට
එදා, අද මෙන් හෙටත්
රන් රසින් බැඳෙන්නට
දුකත් පැණි රස වේවි
දෙතොලතර තියන්නට..

දොඩමලු දෙනෙත් ලෙන්ගතුව
සනහස පෑව
අත ඉතිරි වත්කමයි
හැමදාම ගතු කීව
ඒ සුවඳ එහෙම මයි
තාම මේ හිත ගාව
ඔන්න ඔහොමයි පෙමක්
නැති කලේ මට මාව!!!

Photo credit; Jonathan Borba

Unexpressed Love – Ramya Attanayake,

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර

The day
I saw you for the first time.....
Eye to eye instantly
I felt something special.....
My mind bound
By
Your eyes
By
Not knowing
Since then......
I was searching for the image which was in my mind......
All over the premises
The library......
Among the book shelves
I could see the image I was searching for
I was not sure whether It was a
Daydream.....
Across the road with no end in sight
Restaurant....
Ground....
Gymnasium.....
All over, I was searching for you
Once in a while
My daydream came true........
At last
I made up my mind to meet you
But.......
I was never able to make that moment happen.....
Today.....
We have come a long way on our own paths.

Ramya Attanayake,
Ukdandugoda,
Pethiyagoda,
Gelioya.

25.4.2024

Photo credit ; Yoann Boyer

The Missile

Sanjaya Priyadarshana - Sri Lanka

Was that the thing when

Ceaser was stabbed by Brutus

Made holes all body

May be the thing Hitler struck

When he was poisoned by them

Struck through all the vein

AHIMSAKA! Can’t you remember that guy?

turned in to Angulimal by apna Guru

That’s THE MISSILE, the terminator

from a long time ago ,It strikes again and again

As a scholarship exam! It might be today

To cut fingers of a friend by seeing as a foe

To break in to two by a sledge hammer

It’s a Missile for a heavy green wood, burdened

දල්ල

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

කන්දක් බරැති හිත ලා සැනසීම වෙත
එන්නට වගේ යන්නත් හුරු කරමු හිත
ඉපදෙන විටම මරණය ලියැවිලා ඇත
දැන් දුක් නොවනු මැන මේ වෙන්වීම මත

පෙර සසරකදි හුරු කමකුත් මතක් වුණ
ළඟ ගැවසිලා සිටි කාලය නිමාවිණ
ශත වර්ෂයක් දිගු සේ දැනෙනවා දින
උගුරේ යමක් සිරවී ඇති ලෙසය ඝන

ගිය දා තියා ගිය නොමැකෙන මතක රැස
නටබුන් වෙලා හොල්මන් කරනවා හිස
හිත යට තිබුණු මල් පැලයක දල්ල පිස
එන සුළඟකත් ඇත මිහිරක් දැනෙන රස

Photo credit ; Kornél Máhl

සුවඳ

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

මොහොතකට පෙර
හිටි හැටියේම
විඳ පුරුදු සුවඳක්
දැනෙයි මට
කොහේ සිට කොහොම
කුමට පැමිණියේ ද
පර වූ රෝස මල්
සුවඳ මුසු
ඒ සුවඳ...

ස්පර්ශ කිරීමට හෝ
ග්‍රහණය කරගැනීමට
නොහැකි ය
සුවඳක් නිසා එය
එහෙත් හුරු පුරුදු
සුවඳක් ය එය මට

කොහේ ,කවදා කොතැන
දැනුණේ ද එය මට
මතකය හාරා පෙරළා
සොයන්නෙමි මම
යළි යළිත් වෙළී මනසින්
ඒ සුවඳේම
මේ මොහොතේ
නොදැනෙන මුත් එය

අහෝ!...සිහිවිය එය මට

සැලෙන හදින්
රහසින්
සියක් වාරයකටත්
වැඩියෙන්
සිඹ බැලූ
ප්‍රථම ප්‍රේමයේ
ප්‍රථම හසුනේ
සුවඳ ය එය......

ඈ..

සුදර්මා වීරක්කොඩි

සුපහන්‍ ය, සුපිවිතුරුය
නිසසලය, නොවිසිරුනිය
සුමිහිරිය, නොනිමිය
පැහැදිලිය, අපමණය...
සන්සුන්‍ ය, දිලිසුනිය
ආලෝකමත්‍ ය, ගුණවත් ය
මනස නියාමනය කළාය.
සියලු අසුබවාදී සිතුවිලි පහන් කළාය.
විශ්වයම එකමුතු කළාය.
හැගීම් නම් සුළි සුළඟ මැඩලුවාය.
වේදනාවන් අවබෝද කළාය.
සැනසුම සංයෝජනය කළාය.
පරිවතනීය වෙනස අත්විදෙව්වාය.
පීඩාකාරී ඉල්ලිම් සමනය කළාය.
සුසුමක සැබෑ ගමන පසක් කළාය
හුස්ම රිද්මය රූප රාමුවක තැබුවාය
ඈ භාවනාව නම් විය..
භාවනාව කවියකි
කවිය භාවනාවකි...
ඉබේ ආ වචන රැළි
සුලියක් නොවී සැනහුනි...
එබැවින්ම ඈ කවියකි.
සංයමය ගෙනා කවියකි..
කවියම භාවනාවකි...

Photo credit ; Barcelos_fotos

මහළු විය

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

අරගෙන සැරයටිය තනියට ළඟ හිඳින
පළඳින උපනෙතට රිසි ලෙස ලොව හැඳින
වෙව්ලන දෙපා ඇණ ඇණ මං ලකුණු දැන
ඇවිදින මහළුවිය එළඹින තනිව යන

අතිනත් බැඳන් ආ අසනිය මතදි බැඳී
සිතගත් පියඹ ඇත බිතුසිතුවමක රැඳී
තවමත් නැගෙන හදවෙණ සත්සර නො බිඳී
ඇසුණත් නොමැත මිහිරක් පෙර විලස විඳී

පෙරදා දෙවුර දෑලේ සැතපූ දරුවන්
හැරදා ගිහිං උනුනගෙ ලොව තනන ලෙසින්
සැමදා ගණින අතැඟිලි උන් දකින රිසින්
සිඳදා ලනු සිතයි සිහිවන විටදි ඔවුන්

දෙසවන් බිහිරිමුත් එය සැපයකි මහරූ
නැතියෙන් ළතෙත් වදනක් මිස දෑ කුරිරූ
දෙනුවන් බොඳ වුවද පණ නල සිඳෙන තුරූ
තනියෙන් හිඳිමි තනිකම හා වී මිතුරූ

මූකා

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර

ගල්කදුරේ ලැයිම් පේලියෙ සිටි මූකා
කල් ගිය කුඩ හදයි,නෑ අගුපිල් සාකා
සිල් පද රකී, සිල් නොගනී කිසි දාකා
අල්ලේ කර ගැටය සැගවී දන රේකා

දනින් ඉහල වියැකුන බොර වේට්ටිය
උරෙන් පහල මතු උන ඉල පාත්තිය
කටින් දුන් දායි විටකදි කෝච්චිය
මුවින් දත් හැලුන මල් මල් සිරික්කිය

අහුමුලු පුරා හැංගුන කුඩ කබල් සොයා
කෙහෙවලු බැදන් දෑතම ඉගටියේ තියා
කුණු මලු ලෙසින් ගොඩකර "යස කුඩයි" කියා
පන් සිල් ගනී, අත්තම්මා දෙනෙක් පියා

ගෙදර ගොඩ ගැහුන කුඩ එක එක පන්නේ
දිගැර බල බලා ඉදි කටු අමුනන්නේ
වපර ඇහැ රැජින කුඩ මිටටයි යන්නේ
කෙකර නොම ගගා කුඩ යලි තටු ලන්නේ

කැඩුන නන පුරුද්දා නිසි තැනම තබා
කටින නූල් කඩමින් ඉදි තුඩෙහි ඔබා
වැටෙන නූල් අන්කොන් පිලිවෙලට තබා
කරණ කාරි අගයයි ඇස් දෙකෙන් නොබා

නිමයි කෙමෙන් කුඩ වට කර කල කාරී
ඇසෙයි සෝරු බෙදනා හඩ කන මීරී
බෙදයි පෙලාකා මුට්ටිය අත නාරි
බලයි අත්තම්ම කුඩ පෙල නිම කාරී

සෝරු ටිකයි වැඩි පංගුව පෙලාකා
ආරු මුගම් සිහි කරමින් උලාකා
සීරු මාරුවට වෙත්තිලෙ සොයා කා
වාරු අරන් නැගිටියි නිමි සලාකා

බූලයි මමයි මූකා ලග ඇනබාන
ලූලයි කනයි වාගේ නෑ ඔරවාන
හාරයි නාස්,තෙල උන්දෑ ඇග ගාන
"පායයි" කීවාට පේනය අඩමාන

අහස ඉරා මහ වැස්සකි වැටෙන්නේ
පවස නිමයි පොලවයි ඇති කියන්නේ
සිරස උඩට හබරල කොල වඩින්නේ
අහස දේවදත් මූකම සොයන්නේ

කැඩුන කුඩ වලට පන දුන් වෙදානෝ
තුටින හබරලා මහ කොල සොයානෝ
ඉතින වැසි මඟැ,ර යන මං දකින්නෝ
සිතින, ඔබ නොවෙද මෙත් බෝ සතානෝ

මුචලිඳු පෙනය වාගෙයි හබරල කොලය
වැහි බිදු මොර පොකුරු බිම හාරන සවිය
මදකුදු නොම සැලේ මූකා සතු දිරිය
පරසිදු නොවිනි ලැයිමේ බෝසත් සිරිය

Photo credit; Mathias Konrath

අහස ගුගුරා- පොළොව වෙවුලා
උසම උස කඳු කඩන් වැටුණෙත්
බැතින ඒ කඳු සිරස නමැදූ
අහිංසක හිස් මතටමැයි....

වැටෙන වැහි පොද-තරග වැද වැද
අකරුණාවෙන් තලා දමමින...
වියරු වැටි වැටි පහර දුන්නෙ ද
සුමුදු මල් පෙති වලටමැයි...

මුහුදු රළ පෙළ පෙරලි පෙරලී
වෙරළ වැළැඳ ම රැඳෙනු රිසි වුව
යළි හැරී යා යුතු ම වෙයි...
සිඳු යළිදු රළ ගිල ගනියි...

කුසෙහි කලලය පෙමෙන් වඩමින
දූ පුතුන් තුම් රජුන් කරවා
දුක ම වළඳා කඳුළු බොන්නෙ ද
අනේ, අම්මාවරුන්මැයි...!

වෙසක් සඳ සැගව්ලා

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

දෙනෝ දාහක් දනෝ කුසේ ගින්දර නිසා
තුන්වේල කෙසේමුත් දෙවේලක් හෝ සොයා
ගනු බැරිව, ලත වෙවී දස අතේ ණය වෙලා
සිටිනු දැක නිලඹරෙහි
වෙසක් සඳ සැගව්ලා

පුරන් කෙත් වතු දිහා දිවා රෑ.නෙත් අයා
සිතින් සෝ සුසුම් ලන ගොවි පවුල් රට වටා
උකස් කළ සොච්චමද.සින්න වේදැයි සිතා
මිලක් නැති වගා දෑ, දී ගන්න මඟ බලා
වී ගන්න තැන් පවා වසුණු දොරගුළු දමා
රටට වුණු දේ කිමැයි
සිතා ගනු බැරි නිසා
අත් හිසේ රුවාගෙන
අහස දෙස බැලූමුත්
නොපායපු තරු අතරෙ
වෙසක් සඳ සැගව්ලා

වසර ගණනක සිටම
වැඩි නොවූ පඩි පතෙහි
ඉලක්කම් දකින්නෝ
සෙයිලමේ ගම් දොරේ
වෙළඳ සැල් සිවු කොනේ
අවැසි තුන පහ සහල්
එදා මෙන් මිල දෙතුන් -
ගුණයකින් වැඩි නිසා
රිසි පරිදි ගනු බැරිව
මිල මුදල් නැති නිසා
යනෙන සහසක් දනෝ
දකින්නට අකැමැතිවැ
ඈත ආකාසයේ
වෙසක් සඳ සැගව්ලා

Photo credit;Greg Rosenke
=-================
රාජ්‍ය කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
(අතකස හිටපු සම ලේකම්)

සර්වෝදය නිර්මාතෘ

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සර්වෝදය නිර්මාතෘ
ආචාර්ය ඒ.ටී.ආරියරත්න සූරීන්
දැයෙන් සමුගත් වගයි
=====================
ගිරි කුලක් සේ නොසැලි සිතකි
දියවැලක් සේ ළතෙත් .හදෙකී
මිණිවැටක් සේ දිදුල රුවකි
විස්වයක් ආලෝකමත් කල
ව්ද්වතෙක් මිහිකත දිනූ

ගාල්ලේ උණවටුන ග්‍රාමේ
උපන් දක්ෂිණ ලක්බිමේ
මහත් අබිමානයෙන් බලැතිව
ගොඩනැගූ ශක්තියෙන් බලයෙන්
නියමුවෝ සර්වෝදයේ
ජාතියෙන් සමුගත් වගයි

මෙහෙවරට කළ අභීත
ලැබූ බුහුමන් සුනීත
දෙස් ව්දෙස් වල සුජාත
කිහිපයකි පෙර අතීත
දැයේ ඉහළම ඇගැයුම
ශ්‍රී ලංකාභිමානී නාමය
ලොවේ සුපතල උසස්ම
මැග්සෙසී සම්මානය
මහත්මා ගාන්ධී භාරත
මහා සම්මානයත් ලැබුවේ
සිදුකලාවූ මෙහෙවරට මයැ ඔහු

නික්ම ගිය සද දේශයෙන්
නමින් ආරියරත්න ඒ.ටී.
ඇදුරු සද හෙට ශේෂ කරනා
හිඩැස පුරවනු කෙලෙස දෝ අද
සිතාගන්නට වත් නොහේ

24/4/2024

මිදීම……

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

කර තබාගෙන වෙරෙන්
බර දරාගෙන සෙමෙන්
මමම ඔසවන් යමි මම්
කොහේ යම්දැයි නොදනිම්

අසීරුය ඇවිදීම
නොපෙනේය මගක ඉම
මටත් වැඩි බරක් ලෙස
දැනේ මට මගේ හිස

දුක් දෝමනස්ස බැමි
තවත් දේ මට අහිමි
ජීවිතය හා වෙලී
මා ලඟය ඇලි ගැලී

සිත කයෙන් වෙන්කරමි
අනිසි දේ අත් හරිමි
නොදැනේවි දුකක් දැන්
නිදහස් ය මා බරෙන්

THE BROKEN MIRROR~ Sithuki Disara

සිතුකි දිසාරා - ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

My veil glides down in a hushed church
As eyes search for a true father
Except there, one sits in the pews
Whom one day i thought i loved

Within a charming dress she wears
Beneath are arts of wounds
Her hand holds me in a tight grip
"He's okay" I told

Heart within strucks a pause
His cold eyes, cherish my sight
A paradox it is!
To be so in love,
As cuts hurt beneath
Though sometimes harsh , it's love i know

Will it be true, that happily ever after ?
Dear just one wish! for my daughter
Don't let me be, my mother
I know it's love, you give
Even with yells and cuts
My mother looks at a man ,still in love
Guess it's what women do,
Love what's harsh and cold..!

Photo credit ; Jennifer Kalenberg

සුව සොයා දුවමු

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

දවසින් දවස ජීවිතයම එපාවී
සිටිනා කෙනෙක් ඇඳ පුටු මත දපාවී
හැකිනම් අනුන්ටත් වලවල් කපාවී
නොදැනම අපායක අසිරිය සිපාවී

සිටිනා එවැනි සමහරු දිවි එපාවී
සැමවිට හැකි ලෙසින් පර දුක නසාවී
හෙට ගැන සිතා සිත පිනටම නමාවී
ඉනු ඇත මතු දිනක සතුටින් සිනාවී

දහමක් නොමැති මිනිසුන් ලොව වසාවී
තම යහපතට උන් සැම දෙය කරාවී
අන් අයගේ සැපත ගැන නොම සිතාවී
ජීවිතයක් වුවත් නොපැකිල නසාවී

කළ කම් විලස ප්‍රතිඵල ඔබ ලබාවී
පව නම් කළේ දුක පසුපස හඹාවී
පින් කළ කෙනා සැප සතුටම ලබාවී
නිවනට යන්න ඒ පින් මඟ හදාවී

පින් සිත කුසලයට ඔබ යොමු කරාවී
සිත ඇති දුබලකම් දුරුකර දමාවී
ඉන්පසු නිවන් මඟ දිගටම දුවාවී
නොවෙනස් වන සුවය දවසක ලබාවී

ලියුමක් වගේ කවියක්

තුෂාරි ජයසිංහ - මහනුවර

ඔයා කතා කරන්නෙ ප්‍රාඩෝ එකේ රෝදෙ ගැන
මම කතා කරන්නෙ එදා වේල පිරි මහගන්න හැටි ගැන
ඔයා හිතන්නෙ යමක් දීල
පිනක් රැස් කර ගන්න හැටි ගැන
ඒත් එදා
අපි කතා කලේ ආදරේ ගැන
අනාගතේ ගොඩ නගන ගෙදර ගැන
ඒ ගෙදර දුව පනින අපෙ දරුවො ගැන
ඒත් දැන්
මගේ දුකක් ඔයාට කියන්න හිතන කොටම
ඊට වඩා දුකක් ඔයා මට කියනව
එතකොට දුක වැඩි කිරීම දුක වෙලා
දුකේ ගුණාකාර හැදෙනවා
අපිට එහෙම උනේ එදා ඉඳන්ම සතුටු වෙන හැටි අපි ඉගෙන ගත්තෙ නැති නිසාද?
නැතිනම් මගේ සතුට උදුරගෙන
ඔයාගෙ දුක මගෙ ළඟ තියල
මට නොකියම ඔයා ගිය නිසාද?
එහෙමත් නැති නම් අපේ තෝරා ගැනිම් මුල ඉඳන්ම වැරදි නිසාද?
කොහොම වුණත්
දුක වර්ග වෙන බව නම් පේනවා
ඒවට තව එක එක වර්ග වල දුක් එකතුවෙලා
විසඳන්නත් අමාරු සංකීර්ණ සමීකරණත් හැදෙනවා
මම දන්නෙ එච්චරමයි
ඒ වගේම මට හිතෙන්නෙ මෙච්චරයි
ඒ දුක විසඳ ගන්න පුලුවන් සරලම සරල සමීකරණයක් වුණා නම්
එදා ඔයා සතුට ධන කරල දුක ඍන කලා නම්
අද අපි දෙන්නටම සතුටෙ ගුණාකාර ලැබෙන්න තිබුණා.

Image by Rajesh Balouria from Pixabay

2024.04.06.

තරහ

තිලිනි උත්පලා ලක්ශාන්ති - මහනුවර

සසරෙදිම තරහ වන්නට බැරි බව දැන දැනම,
කිමද නුඹ එක්ක තරහදැයි අසන කාරණ...
මගේ හිත රිදුනාම නුඹෙ ඇස් තෙත් වුනෙම,
හිත් දෙකක් නැති නිසා නුඹට මට වෙන වෙනම...

2024.04.08

සසර

උපාලි අත්තනායක - මහනුවර

ලොවට වින්දනය දෙන
සතර මහ ධාතූන්
විසිර යයි කෂනයකින්
එයයි අටලෝ දහම

නොදැන අටලෝ දහම
හඹායයි කම්සැපය
නැත තවම විමසුවේ
ඹබේ ඇතුලාන්තය

මම මගේ කියා නැති
ලොවක් හිමි කරගන්න
මිනිස් ජීවිත ගෙවයි
අවිඳු අඳුරේ ගිලී

ලොව මහා ගවේශන
නැන නිවන සොයායන
බුදුන් දෙසු දහමමයි
සිත නිවන ගමන් මග

තෘප්තිමත් නොවන සිත
රාගයෙන් වෙලීලා
ලුහුබඳියි මිරිඟුවක්
සසර සැරිසරණ තෙක්

Image by Sasin Tipchai from Pixabay

2024 04 20