ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අස්ථිර ජීවිතය

අස්ථිර ජීවිතය

වෛද්‍ය රසීකා ජයතුංග - ලන්ඩනය
2021-June

අරුණලු රැස් කිරණ මැදින්
විහගුන් ගී හඩ අතරින්,
හිමිදිරියේ උදා එළිය ….
නව දවසක් එකලු කරයි .
සැදෑ අදුර පැතිරෙන විට
හිරු අවරට ගොස් එදවස
අදුරු ලොවක ගිලී යාම
වලක්වන්න හැකි කාටද?

ලස්සන මල් කැකුළු කිනිති
බිගුන් රාගයෙන් මත් කර
සුවද විහිදුවමින් දසත
විකසිත වෙයි. අනේක වර
ඒ කුසුමම ටික දිනකින්
අතු අග සිට බිම පතිතව
මුකුලිත වී පරවී යනු
වලක්වන්න හැකි කාටද?

දිනකට දස දහස් වරක්
සුසිනිදු සුදු වැලි තලාවේ
ගොඩට ගලන මුතු පෙණ රැලි
ගල් පර වල වැදී නැසී
තණ අග රැදි පිණි බිඳු මෙන්
සුදෝ සුදට නැගි ජල කද
වැල්ල මතම වියලි යාම
වලක්වන්න හැකි කාටද?

දෙහදක ආදර විමනක
මල් පල හට ගත් සමයක
කුළුදුල් නව ජීවිතයක්
කැකුලක් ලෙස උපත ලබයි.
ඒ දිවියම ටික කලකින්
ලේ, මස්, ඇට දිරා ගොසින්
මෙලොවින් සමු ගැන්ම වුනත්
වලක්වන්න හැකි කාටද?

යුගයෙන් යුගයට නොදැවී
නොමියෙන එක සොදුරු රහස
දස දහසක් බොදු ජීවිත
මෙත් සිසිලෙන් ඔකද කරන
අප හද තුල සුවදවත්ව
විකසිත වී දිලෙන මිහිරි
නිර්මල බුදු දහම් කුසුම
වැලද ගනිමි සදාකල්හි.

සම්මා සම්බුදු පියන්ගේ
ඔවදන් මාවතේ යමින්
අස්ථිර මේ ජීවිතයේ
ස්ථිර එක අමා දහර
සදාකල්හි ආලෝකය
ඔබේ නුවන් හෙළි කර දුනි.
සමිදුනි ඔබෙ පා අභියස
මා හද බැති කැකුළු කුසුම්!

වලක්වන්න නොහැකි සිද්ධි
නවත්වන්න නොහැකි කරුණු
තත්පරයෙන් තත්පරයට
විපර්යාස වෙන ලෝකෙක
අස්ථිර ජීවිත ගමනේ
කරදර බාධක හමුවේ
නොසැලී නොබියව සිටීම
බොදු අප හට අරුමයක්ද?